කසළ තේ ජාවාරමේ මහමොළකරු අල්ලන්න රේගුව අධිකරණයෙන් වරෙන්තු ඉල්ලයි

කසළ තේ ජාවාරමේ මහමොළකරු අල්ලන්න රේගුව අධිකරණයෙන් වරෙන්තු ඉල්ලයි

*********************************************

කසළ තේ ජාවාරමේ මහමොළකරු අල්ලන්න රේගුව අධිකරණයෙන් වරෙන්තු ඉල්ලයි

(12.03.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට තේ වල කීර්ති නාමයට හානි වන අයුරින් කසල තේ විදෙස් ගත කරන ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට ගැනීම සදහා රේගු දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක්ද කල බවයි රේගුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

විදෙස් රටවලට අපනයනය කරන තේවල කීර්ති නාමයට හානි වන අයුරින් කසළ තේ විදෙස්ගත කරන ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මිරිස් කුඩු සහ හාල්පිටි අපනයන කරන මුවාවෙන් විදෙස් රටවලට මෙලෙස කසල තේ අපනයන කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එලෙස කසළ තේ කිලෝග්‍රෑම් 70,000 ක් අඩංගු බහාලුම් 04 ක් ඩුබායි රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට ගත් අතර ඒවා මේ මස 23 වනදා මෙරටට රැගෙන ඒමටද නියමිතයි.

මීට පෙර ද කසල තේ අඩංගු කන්ටේනර් 160 ක් ඉරාකය වෙත අපනයනය කර තිබුණා.

ඊට අදාළව ද ප්‍රධාන සැකකරු වන්නේ දැනට චෝදනා එල්ල වී සිටින පුද්ගලයායි.

කෙසේවෙතත් සැකකරුට රේගුව විසින් අවස්ථා ගණනාවකදී අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඒවා මඟහරින බවටයි රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

ඔහු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර දැනටමත් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවටයි වාර්තා වී ඇත්තේ

ජාවාරමට අදාළව මේ වන විට පුද්ගලයින් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අතර වාප්පු ලිපිකරුවන් දෙදෙනෙකු (2) ද සිටින බවටයි රේගුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

******************************************

(12.03.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ යතුරුපැදියක් ද සමඟ කාන්තාවක් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, රත්ගම, කපුමුල්ල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක්.

සැකකාර කාන්තාව සිය දියණිය සමඟ යතුරුපැදියෙන් ඊයේ (11) සවස නිවසින් පිටත්ව ගොස් ඇති අතර පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ ඇය හෙරොයින් ගෙන ඒමට මෙලෙස නිවසින් ගොස් ඇති බවටයි.

ඒ, අනුව පොලිස් නිලධාරීන් ඇයගේ නිවස අසල රැකවල්ලා සිටියදී සැකකාරිය සිය දියණිය සමඟ නැවත නිවසට පැමිණි අවස්ථාවේ සිදුකළ පරික්ෂාකිරීම් වලදී මෙම හෙරොයින් සොයාගැනීමට හැකිව තිබෙනවා.

සැකකාරිය සිය යතුරුපැදියේ අසුන යට සඟවාගෙන මෙම හෙරොයින් රැගෙන ඇවිත් ඇති අතර අත්අඩංගුවට ගැනුණු ඇය අද (12) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

******************************************

(12.03.2021 – 06:51 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ග ඔස්සේ කැනඩාව බලා යෑමට උත්සාහ කළ බවට සැකකෙරෙන 24 දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගන්නට නාවික හමුදාව ඊයේ (11) සමත්ව තිබෙනවා.

කල්පිටිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගැනුනේ ත්‍රිකුණාමලය, මඩකලපුව, කිලිනොච්චිය ආදී ප්‍රදේශවලින් පැමිණි පිරිසක්.

අත්අඩංගුවට පත් පිරිස අතර කුඩා දරුවන් තිදෙනෙකු (3) ද සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

කල්පිටිය ප්‍රදේශයට ඔවුන් රැගෙන පැමිණි ලොරි රථය ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පිරිස කැනඩාවට මුහුදු මාර්ගයෙන් යෑම සඳහා අදාළ මිනිස් ජාවාරම්කරුට රුපියල් ලක්ෂ 03 සිට රුපියල් ලක්ෂ 05 දක්වා මුදලක් ගෙවා ඇති බවටයි මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස අද (12) දින පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාල ජාවාරම්කරු සොයා පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(12.03.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

කලා වැව සහ බලලු වැව රක්ෂිතයේ සැරිසැරූ රේවත නම් ඇතා විදුලි රැහැනක ගැටීමෙන් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේ තම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපයේ වනජීවි නිලධාරීන් විසින් අදාළ විමර්ශනය සිදුකරන බවයි.

රේවත මිය ගියේ කැකිරාව – මහ කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේ බඩඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන්.

කෙසේ වෙතත්, සතෙකු මරණයට පත්වීමට තරම් ප්‍රබල විදුලි සැර යෙදීමට නෛතිකව හැකියාවක් නොමැති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

විදුලි වැට සවි කිරීමේදී අඩු බලයක් සහිත විදුලි සැරක් යොදා සතුන් විකර්ශණය කිරීම පමණක් සිදුකළ යුතුයි.

කෙසේ වෙතත් , විදුලි වැටවල ගැටීමෙන් අලි ඇතුන් ඇතුලු විවිධ සතුන් මරණයට පත්වීම කලක සිට සිදු වන අතර කුඩා ළමයින් මරණයට පත්වූ අවස්ථාද පසුගිය කාලයේ වාර්තා වුනා.

පසුගියදා රේවත ජීවිතක්ෂයට පත්වූ බඩඉරිගු හේනට ජාතික විදුලිබල පද්ධතියෙන් නීතිවිරෝධී ලෙස විදුලි බලය ලබාගෙන ඇති බවට සැක මතුවන බවට ද පරිසරවේදීන් ප්‍රකාශ කළා ෴

******************************************

(12.03.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

මෑත ඉතිහාසය තුළ මෙරට ජාතික උරුමයන්ට රට තුළින් මෙන්ම බාහිරවද තර්ජන එල්ල වන බව ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් වන ජාතික නාමල් උයන ව්‍යාපෘතියේ සංරක්ෂණ කටයුතු ඊයේ (11) ආරම්භ කෙරුණු අතර, අමාත්‍යවරයා එහිදී මේ බව කියා සිටියා.

එහිදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා උපදෙසක්ද ලබාදුන්නා.

1991 වසරේ ආරම්භ කළ ජාතික නාමල් උයන ව්‍යාපෘතිය 2018 වසරේ සිට මධ්‍යම සංස්කෘතික අරමුලේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වනවා.

අක්කර 2,000 කින් යුත් මෙම භූමි ප්‍රදේශය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමට කෙටුම්පත් සකස් කරමින් පවතින අතර, පාරිසරික සංචාරක කර්මාන්ත ව්‍යාපෘතියක් ලෙස කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද රජයේ අවධානය යොමුව ඇති බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ ෴

******************************************

(12.03.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ පුත්තලම – කල්අඩිය ප්‍රදේශවාසීන් අද (12) අලුයම සිට විරෝධතාවක නිරතවනවා.

ඔවුන් පුත්තලම – කුරුණෑගල මාර්ගය කල්අඩිය මංසන්ධියෙන් අවහිර කරමින් මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ (11) මැදියම් රැයේදී වන අලි ප්‍රහාරයට ලක්වී මියගොස් ඇත්තේ 53 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු තම සේවා ස්ථානයේ සිට සේවා මුරය අවසන් කොට නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මීට දින 10 කට පෙරද මෙම ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.

සිය ගම්මානවලට නිරන්තරයෙන් එල්ලවන වන අලි ප්‍රහාර වැළැක්වීමට බලධාරීන් පියවර නොගන්නා බව පවසමින් ප්‍රදේශවාසීන් මාර්ගයේ ටයර් පුළුස්සා විරෝධය පළ කළා.

++++++++++++++

(12.03.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ පුත්තලම – කල්අඩිය ප්‍රදේශවාසීන් අද (12) අලුයම සිට විරෝධතාවක නිරතවුණා.

ඔවුන් පුත්තලම – කුරුණෑගල මාර්ගය කල්අඩිය මංසන්ධියෙන් අවහිර කරමිනුයි මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ.

ඊයේ (11) මැදියම් රැයේදී වන අලි ප්‍රහාරයට ලක්වී මියගොස් ඇත්තේ 53 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු තම සේවා ස්ථානයේ සිට සේවා මුරය අවසන් කොට නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මීට දින 10 කට පෙරද මෙම ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.

සිය ගම්මානවලට නිරන්තරයෙන් එල්ලවන වන අලි ප්‍රහාර වැළැක්වීමට බලධාරීන් පියවර නොගන්නා බව පවසමින් ප්‍රදේශවාසීන් මාර්ගයේ ටයර් පුළුස්සා විරෝධය පළ කළා.

විරෝධතාවය පැවැති ස්ථානයට පොලිසිය පැමිණිමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද හටගත්බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව එම ස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සහ වනජිවි නිළධාරීන් විරෝධතාකරුවන්ට පොරොන්දු වූයේ ගම්වදින වන අලින් පළවා හැරිම සඳහා අද (12) සිටම පියවර ගන්නා බවයි.

එම පොරොන්දුව සමඟ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිරී ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

******************************************

(12.03.2021 – 09:13 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – රාගල ප්‍රදේශයේ වතු නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (12) අලුයම ඇතිවූ ගින්නෙන් වතු නිවාස 16 ක් මුළුමනින්ම විනාශ වී ඇති අතර, මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් පුද්ගලයින් 56 දෙනෙකු අවතැන්වී ඇති බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴

******************************************

(12.03.2021 – 09:28 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන – කපුගොල්ලෑව මාර්ගයේ ඊයේ (11) සිදුවූ රිය අනතුරකින් 16 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හොරොව්පතාන රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය සිසුවාගේ මෘත ශරීරය හොරොව්පතාන රෝහලේ තැන්පත්කර ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(12.03.2021 – 09:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ජාතික කොඩිය ආකාරයට නිෂ්පාදනය කළ පා පිස්නාවක් ලොව ප්‍රමුඛතම අන්තර්ජාල පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයක් වන Amazon වෙබ් අඩවිය හරහා අලෙවි කිරීමට තබා තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කොඩියේ කිසිඳු සංස්කරණයක් නොකර එය ඒ ආකාරයෙන්ම අලෙවිය සඳහා තබා ඇත්තේ ඇමරිකානු ඩොලර් 12 ක මිලකටයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙදෙහස් පන්සීයකට (2500) ආසන්න මුදලක් වනවා.

කෙසේ වෙතත් මෙම දැන්වීම සම්බන්ධයෙන් මේ වන විට මෙරට බොහෝ දෙනෙකු අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වා ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

= ජාතික කොඩිය භාවිතය නීති සංග්‍රහය =

+++++++++++

+++++++++++

@@@@@@@@@@@@@@@@

(12.03.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරස් එන්නත් ලැබූ සංඛ්‍යාව මේ වනවිට 7,59,548 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (11) රාත්‍රියේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ (11) දිනයේදීද තවත් 7,450 දෙනෙකු ඔක්ස්ෆඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් ලබාගෙන ඇති බවයි.

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන පසුගිය ජනවාරි 29 වනදා ආරම්භ වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එමෙන්ම නොවවැක්ස් නැමති ඇමරිකානු කොරෝනා එන්නත මුල් කොරෝනා වෛරස් ප්‍රභේදය සඳහා සියයට 96 ක ශක්‍යතාවක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ නවතම සායනික අධ්‍යයන වලින් අනාවරණ වී තිබෙනවා.

එමඟින් අතුරු විපාක හෝ මරණ වාර්තාවී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ඇමරිකානු නොවවැක්ස් එන්නත් සමාගම විසින් නිෂ්පාදිත මෙම එන්නත මගින් බ්‍රිතාන්‍යයෙන් සොයාගත් නව කොරෝනා ප්‍රභේදයට එරෙහිව සියයට 86 ක ශක්‍යතාවක් පෙන්නුම් කරන බව සඳහන්.

සමස්තයක් ලෙස සියලු කොරෝනා වෛරස් ප්‍රභේද වැළැක්වීමේ සියයට 90 ක හැකියාවක් ඊට පවතින බවයි නවතම සායනික පරීක්ෂණවලින් පසු ප්‍රකාශ වී ඇත්තේ.

මාත්‍රා දෙකකින් (2) සමන්විත මෙම එන්නත ඇමරිකා එක්සත් ජනපදය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කළ සිව්වන (4) එන්නත විය හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මීට පෙර ෆයිසර් – බයොඑන්ටෙක්, මොඩර්නා සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් සඳහා ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනයේ අනුමැතිය හිමිවුණා.

මෙම එන්නත ඉන්දියාවේ සීරම් ආයතනය ඇතුලු ලොව පුරා පිහිටි නිෂ්පාදනාගාර අටක (8) නිපදවීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ අතර කොරෝනා මර්ධන එන්නතට ප්‍රතිරෝධී වෛරස ප්‍රභේද ඇතිවිය හැකි බැවින් ඊට අදාල පරීක්ෂණ සදහා පහසුකම් පුළුල් කල යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර ඊයේ (11) දිනයේදීත් කොරෝනා මරණ 05 ක් වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයින් 292 දෙනෙකු ඊයේ (11) දිනයේදී වාර්තා වුණා.

ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,989 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම, කටුනායක නිදහස් වෙළද කලාපය තුල සේවය කරන සේවක සේවිකාවන් 26 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (11) තහවුරු වී තිබෙනවා.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා ඇති යාපනය චෙන්නායි ඍජු ගුවන් ගමන් යළි ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

එමෙන්ම ඉන්දියාව හා මෙරට අතර ආරම්භ කිරීමට අපේක්ෂා කරන සංචාරක ගුවන් බුබුළ සංකල්පය යටතේම මෙයද ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *