සාරා ඇතුළු 5 දෙනෙකු ගැන විමර්ශන සිදුකරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

සාරා ඇතුළු 5 දෙනෙකු ගැන විමර්ශන සිදුකරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

*********************************************

සාරා ඇතුළු 5 දෙනෙකු ගැන විමර්ශන සිදුකරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

(10.03.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාලව, ජනපති කොමිසමේ වාර්තාව මගින් අනාවරණ කළ පුද්ගලයින් 5 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එම පුද්ගලයින් වන්නේ මහේන්ද්‍රන් ‘පුලස්තිනී’ හෙවත් ‘සාරා ජස්මීන්’, ‘අබු හින්ද්’, ‘අහමඩ් තාලිබ් ලූක්මන් තාලිබ්’ සහ ‘ලූක්මන් තාලිබ් අහමඩ්’ නොහොත් ‘අබු අබ්දුල්ලා’ සහ ‘රිම්සාන්’ යන අයයි.

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ‘මොහොමඩ් හස්තූන්’ නමැත්තාගේ බිරිඳ වන ‘සාරා ජස්මින්’ කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවසක පුපුරාගිය බෝම්බෙන් පසු ඉන්දියාවට පලා ගිය බවට මත පළ වී තිබෙනවා.

ඉන්දියාවේ සිටි ‘අබු හින්ද්’ සමග ‘සහරාන්’ 2017 වසරේ අගභාගයේ සිට සබඳතා පැවැත්වූ බව ‘සහරාන්’ගේ බිරිඳ වන ‘හාදියා’ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියා.

ත්‍රස්තවාදයට ආධාර කිරීම සහ අනුබලදීම සම්බන්ධයෙන් ‘අහමඩ් තාලිබ් ලූක්මන් තාලිබ්’, 2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කටාර් රාජ්‍යයේදීයි.

‘ලූක්මන් තාලිබ් අහමඩ්’ හෙවත් ‘අබු අබ්දුල්ලා’ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ තුර්කි ක්‍රියාකාරිකයෙකු වන අතර, ‘රිම්සාන්’ නමැත්තා ඔහු සමඟ සබඳතා පවත්වා ඇති බවයි පාස්කු ප්‍රහාරය පිලිබඳව විමර්ශ කළ ජනාධිපති කොමිසමේදී හෙළි වුණේ.

මේ අතර, පාස්කු ප්‍රහාර කාලසීමාවේ කිසියම් පිරිසක් මෙරටට කඩු 6000 ක් ගෙන්වීම පිළිබද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ රීට් පෙත්සමේ සඳහන් කරුණු සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද, නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන්නා.

එසේම නීතිපතිවරයා පසුගිය සඳුදා කාදිනල් හිමිපාණන් හමුවී විමර්ශන සම්බන්ධයෙන් දැනුවත් කළ බව ද අද (10) වාර්තා වුණා.

******************************************

(10.03.2021 – 15:43 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑමේ වැඩි ප්‍රවණතාවක් මේ දිනවල දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව ගත වූ පැය 24 තුළ, පැමිණිලි 3 ක් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(10.03.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 27 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේදී අද (10) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

******************************************

(10.03.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

මහා ශිව රාත්‍රී දිනයට සමගාමීව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන් සංස්කරණය කරන ලද හින්දු විශ්වකෝෂය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වනු ලැබුවා.

ඒ අනුව, හින්දු විශ්වකෝෂයේ 12 වන වෙළුමේ සංස්කරණ ඇතුළත් නවතම මුද්‍රණය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් ඊයේ (09) අරලියගහ මන්දිරයේදී පළමුව හින්දු පූජකවරුන්ට ප්‍රදානය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. 1988 වසරේදී ආරම්භ කළ හින්දු විශ්වකෝෂය නිර්මාණය කිරීම 2014 දී වෙළුම් 12 සම්පූර්ණ කර තිබෙනවා.

එසේම, තෝරා ගත් හින්දු කෝවිල් 50 කට රුපියල් 50,000 බැගින් මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ සමාරම්භය ද මීට සමගාමීව සිදුකළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කළේ ෴

******************************************

(10.03.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

මීට විසි (20) වසරකට පෙර තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා හරින ලද බාමියන් බුද්ධ ප්‍රතිමා අතරින් එක් ප්‍රතිමා වහන්සේ නමක ඊයේ (09) යළි ප්‍රතිනිර්මාණය කෙරුණා.

ඒ ත්‍රිමාණ, ප්‍රක්ෂේපන ස්වරූපයෙන්. 2001 වසරේ මාර්තු මාසයේ සිදුවූ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශය සිහිපත් කරමින් පැවැත්වුණු උත්සවයකදී මෙම කටයුතු සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ක්‍රිස්තු වර්ෂ 6 – 7 සියවස් වල නිර්මාණය කළ බාමියන් බුද්ධ ප්‍රතිමා ඩයිනමයිඩ් සහ කාල තුවක්කු යොදා ගනිමින් තලේබාන් ත්‍රස්තයන් විසින් විනාශ කළේ 2001 වසරේ මාර්තු දෙවනදා සිටයි.

******************************************

(10.03.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වල්සපුගල ගොවීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (10) පස්වරුවේ අවසන් කෙරුණා.

ඒ මාසයක් ඇතුළත අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවට වනජිවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලැබුණු ලිඛිත පොරොන්දුවත් සමගයි.

කෙසේ වෙතත්, අද (10) පස්වරුව වනතුරු ඔවුන් ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය නිමවී තිබුණේ නැහැ.

මේ අතර, මාරාන්තික උපවාසයේ නිරත වල්සපුගල ගොවීන්ට සහය පළ කර පැවැති විරෝධතාවක් හේතුවෙන් කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට නගරයෙන් අද (10) දහවල් අවහිර වුණා.

දෙවැනි වරටත් පසුගිය 07 වැනිදා ආරම්භ කෙරුණු මෙම මාරාන්තික උපවාසය අද (10) සිව්වන (4) දිනටත් ක්‍රියාත්මක වූ අතර, ඊට සහය පළ කර ගොවි සංවිධාන නියෝජිතයින් අද (10) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණේ සූරියවැව නගරයේදීයි.

ඊට සුරියවැව වෙළෙඳ සංගමයද සිය වෙළෙඳසැල් වසා සහය පල කළා.

පොලිසිය අධිකරණ නියෝගයක් ඉදිරිපත් කිරීම නිසා ඔවුන් රථ පෙළපාලියකින් අම්බලන්තොට නගරයට පැමිණි අතර, ඒ හේතුවෙන් වලවේ ගඟ පාලම ආසන්නයෙන් කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර වුණා.

එම ස්ථානයට ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ද වැඩම කර සිටියා.

ගිලන් රථ හා වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා විරෝධතාව පැවති ස්ථානයෙන් ගමන් කිරීමට විරෝධතාකරුවන් අවස්ථාව ලබා දී තිබූ අතර බස් රථයක් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත්, විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන්ද ඉවත් වීමට සිදුවුණේ අම්බලන්තොට පොලිසිය අධිකරණ නියෝගයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්.

අනතුරුව ඔවුන් හම්බන්තොට පරිපාලන සංකීර්ණ අසලට පැමිණ යලි සිය විරෝධය යළි දියත් කළා.

පසුව විරෝධතාකරුවන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එල් කරුණාරත්න මහතා හමු වූ අතර, එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අදහස් පළ කළා.

මේ අතර වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මතුවී ඇති තත්ත්නය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් ඊයේ (09) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

එහි සඳහන් වන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු යෝජනාවක් ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කිරීමට ගතවන කාලය නොඉවසා සිටීම ප්‍රහේළිකාවක් බවයි.

******************************************

(10.03.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල ප්‍රධාන ඉන්ධන පිරවුම් අසල තිබූ වැල්බෝධිය අද (10) ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් විශාල අනතුරක් වී තිබෙනවා.

බදුල්ල පහළ රජවීදියේ උදයරාජ මංසන්ධියේ පිහිටි මෙම වැල් බෝධිය එකවරම විශාල ශබ්දයක් නඟමින් ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් කාර් රථයක් සහ යතුරුපැදියක් මතට මෙම ගස කඩා වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් ජීවීත හානි සිදුවී නැති බව, බදුල්ල පොලිසිය තහවුරු කළා.

මීට මාස කිහිපයකට පෙර ප්‍රදේශවාසීන් විසින් කළ ඉල්ලීමකට අනුව බදුල්ල මහ නගර සභාවෙන් පැමිණ මෙම ගසේ දිරාපත් වූ අතු කපා දැමූ බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

මෙම සිදුවීම හේතුවන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණා.

බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිළධාරීන්, කර්මාන්ත අංශයේ නිළධාරින් සහ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ පැමිණ කඩා වැටුනු ගස ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන අයුරු දැක ගත හැකි වුණා.

******************************************

(10.03.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය වතු හිමිකරුවන්ට වාසි වන අයුරින් නිකුත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් චෝදනා කරනවා.

පඩි පාලක සභා ආඥා පනතේ විධි විධාන පරිදි කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය අද (10) නිකුත් කරනු ලැබුවේ තේ සහ රබර් කර්මාන්තවලට වැටුප් පරිමාණ අදාළ වන අයුරින්.

කෙසේ වෙතත්, පඩිපාලක සභාවේ තීරණය අනුව වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් ලෙස ගැසට් කළහොත් සාමූහික ගිවිසුමෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා වතු වැවිලිකරුවන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කර තිබුණා ෴

******************************************

(10.03.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 7 ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවෙසෙන ස්වාමින් වහන්සේ නමකට අයත් රුපියල් ලක්ෂ 70 කට අධික වටිනාකමෙන් යුත් මෝටර් රථයක් සොරකම් කළ 23 හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම නගරයේදී ඊයේ (09) රාත්‍රියේදී මෙම මෝටර් රථය සොරාගෙන ඇත්තේ රියදුරු විසින් එය මාර්ගය ආසන්නයේ නවතා වෙළඳසැලකට ගොස් ඇති අවස්ථාවේදීයි.

පසුව පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ මෝටර් රථය සොයා ගෙන තිබුණා.

එම අවස්ථාව වනවිටත් සැකකාර තරුණයා විසින් මෝටර් රථයෙහි අංක තහඩු සහ වෙනත් උපාංග කිහිපයක් ද ගලවා ඉවත් කර තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පසුව ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 800 ක් ද සොයා ගෙන තිබුණා.

මේ අතර, මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කෝටි 70 කට අධික පමණ වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 75 කට ආසන්න හෙරොයින් තොගය, මිදිගම – දොස්තරවත්ත ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ බවට අනාවරණ වී තිබෙනවා.

පෙබරවාරි 24 වනදා මෙම ඉඩමේ සඟවා තිබූ හොරොයින් කිලෝග්‍රෑම් 45 ක් පොලිසිය සොයා ගත්තා.

අද (10) සොයා ගත් හෙරොයින් තොගය දැනට විදේශ රටකට පළා ගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ ට අයත් බවටයි පොලීසිය ප්‍රකාශ කළේ. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුවල මහනුවර සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

(10.03.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයකට එරෙහිව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ තමන් සහ සොහොයුරා පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් සමඟ දුරකථනයෙන් කතා කළ බවට අමාත්‍යවරයා කළ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

@@@@@@@@@@@@@@

(10.03.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වෙත ගොස් ඒවායේ වෙසෙන වැඩිහිටියන්ට කොරෝනා එන්නත් ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ කොළඹ අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඊයේ (09) වන විට කොරෝනා මර්ධන එන්නත් පුද්ගලයන් 7,43,775 දෙනෙකුට ලබා දී තිබූ අතර එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා ගත් සියලු දෙනාට දෙවන (2) මාත්‍රාව ලබා දීමට හැකියාව පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

මේ අතර, සාමාන්‍ය පෙල විභාගය අද (10) අවසන් වන විට ඊට පෙනී සිටි අපේක්ෂකයන් 62 ක් කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කලා.

අද (10) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාදිතයින් 160 දෙනෙකු වාර්තා වූ බවයි හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 140 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (10) දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 300 ක් ෴

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 515 ක් දක්වා අද (10) ඉහළ ගියා. ඒ අද (10) දිනයේ අලුතින් වාර්තා වූ මරණ හතරත් (4) සමඟයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *