සීගිරියේ පිහිටි පර්චස් 90 ක ඉඩම කාගේද?

සීගිරියේ පිහිටි පර්චස් 90 ක ඉඩම කාගේද?

*********************************************

සීගිරියේ පිහිටි පර්චස් 90 ක ඉඩම කාගේද?

(10.03.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභී කාන්තාවකගේ සීගිරියේ පිහිටි ඉඩමක් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳගේ නමට සිදුකර ඇති පැවරීම අවලංගු කරන බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය මහතා පවසනවා.

අදාල ඉඩම හිමි කාන්තාවගේ සැමියා පවසන්නේ මිය යනතෙක් තමන් හා බිරිඳ රැකබලාගන්නා බවට සිදුකළ ප්‍රකාශ හේතුවෙන් මෙම ඉඩම් පැවරීම සිදුකළ බවයි.

දඹුල්ල – සීගිරියල මයිලැත්තෑව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉඩමට ඓතිහාසික සීගිරිගල මනාව දර්ශනය වනවා. පර්චස් 90 ක් පමණ වන මෙම ඉඩම හා නිවස ව්‍යාජ ලේඛන සකසා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳකගේ නමට පවරා ගැනීමට කටයුතු කර ඇති බවට හෙළිවීමත් සමග අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ වැඩ තහනම් කෙරුණේ ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනාව මතයි.

වැඩ තහනමට ලක්වු ග්‍රාම නිලධාරීවරයා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මෙම ඉඩම රජයෙන් හිමිව තිබුනේ ‘ඇතුල් පේලිගේ පද්මිණී’ යන කාන්තාවටයි ඇය හා ඇගේ සැමියා අදාල ඉඩමේ හා නිවසේ පදිංචි වී සිටිනවා. රෝගී තත්ත්වයන් හේතුවෙන් එක්තැන්වී සිටින මෙම කාන්තාවට ප්‍රතිකාර කිරීමට පසුගිය කාලයේ පුද්ගලයෙකු ඉදිරිපත්ව තිබෙනවා.

ඒ මීට යාබදව පිහිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඉඩම බලාගන්නා පුද්ගලයායි.

කෙසේ වෙතත් ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් සිදුකර ඇති මෙම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා මෙලෙස අදහස් පළ කළා :

******************************************

(10.03.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා අද (10) වැඩ භාර ගනු ලැබුවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේදී ඔහු මෙලෙස වැඩ භාර ගත් බවයි ෴

******************************************

(10.03.2021 – 11:55 +0530 – hirunews.lk/sinhala)

නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක තිබෙනවා.

පෙරේදා (08) දිනයේදී මෙම හමුව සිදුව ඇති අතර එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ ෴

******************************************

(10.03.2021 – 12:25 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර කාලසීමාවේ කිසියම් පිරිසක් මෙරටට කඩු 6000 ක් ගෙන්වීම පිළිබද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ රීට් පෙත්සමේ සඳහන් කරුණු සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

අභියාචනාධිකරණය පසුගිය දා මෙම රීට් පෙත්සම සලකා බැලීම ලබන 31 වන දා දක්වා කල් තැබීමටයි කටයුතු කළේ.

පෙත්සම සලකා බැලුණු අවස්ථාවේ කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේ මෙම කඩු වලින් 600 ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

ඉතිරි ප්‍රමාණය රට තුළ නිදැල්ලේ සැරිසරමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නා. ඒ අනුව නීතිපතිවරයා, පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ අදාළ කඩු, කිනිසි සහ වෙනත් ආයුධ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි ෴

******************************************

(10.03.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා.

එම කල්තැබීමේ විවාදයට පෙර විශේෂ අමාත්‍යාංශ ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ මෙරට තුළ බුර්කාව තහනම් කිරීමට පියවර ගන්නා බවයි.

******************************************

(10.03.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

වාර්ෂිකව සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හෙට (11) රාත්‍රී 10 ට විවෘත කරන බැවින් ජලාශයේ පහළ කොටස සහ මහවැලි ගඟ දෙපස රැදී සිටීමෙන් වළකින ලෙස මහවැලි අධිකාරිය දැනුම් දෙනවා ෴

******************************************

(10.03.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

තම නඩු කටයුතු පමා වී ඇති බව පවසමින් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය අද (10) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

අනතුරුව ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අමාත්‍යාංශය වෙත ගොස් තම ඉල්ලීම් ලිඛිතව ලබාදීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ ෴

******************************************

(10.03.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගොවීන් පිරිසක් දියත් කර ඇති මාරාන්තික උපවාසයට සහය පළ කරමින් ගොවි සංවිධාන කිහිපයක් විරෝධතා පෙළපාලියක් ආරම්භ කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මාරාන්තික උපවාසය සිදුකෙරෙන වල්සපුගල සිට අම්බලන්තොට නගරය දක්වා රථ වාහන පෙළපාලියකින් ඔවුන් ගමන් කරමින් සිටින බවයි ෴

******************************************

(10.03.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

පක්ෂය තුල වැරදි සිදුවන්නේ නම් පක්ෂය තුළ සිටිමින් අඛණ්ඩව හඬ නගන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක පවසනවා.

ඒ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ඊයේ (09) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

******************************************

(10.03.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

දැනට බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තාගේ ගෝලයෙකු මාළිගාවත්ත ප්‍රදේශයේදී රිවෝල්වරයක් සහ මත්කුඩු තොගයක් සමඟ මාළිගාවත්ත පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලීසිය එහි තිබී රම්බෝ වර්ගයේ පිහි දෙකක් (2), මත්කුඩු ඇසිරීම සඳහා භාවිතයට ගන්නා පැකට් 1095 ක් ද සොයාගෙන තිබෙනවා.

******************************************

(10.03.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් (1000) ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පඩි පාලක සභා ආඥා පනතේ විධි විධානයන්ට අනුව කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා විසිනුයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.

එය මේ මස 05 වන දා සිට බල පැවැත්වෙනවා.

මෙම ගැසට් පත්‍රයට අනුව අවම දෛනික වේතනය රුපියල් 900 ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර රුපියල් 100 ක සහන දීමනාවක් ඊට එක්කර තිබෙනවා.

ඒ අනුව මෙම තීරණය තේ වැවීමේ හා සැසදීමේ කර්මාන්ශාලා සේවකයන්ට මෙන්ම රබර් වැවීමේ සහ දළ රබර් නිපදවීමේ කර්මාන්තවලද වලංගු බවයි මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

******************************************

(10.03.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන එකහමාරක (1½) ණය මුදලක් චීනය විසින් අනුමත කර තිබෙනවා.

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ අදාළ ණය මුදල ඕනෑම අවස්ථාවක ලබා ගැනීමේ හැකියාව පවතින බවයි ෴

******************************************

(10.03.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

වසර 21 කට පෙර ඉන්දියාවේ – තිවේන්ද්‍රම් හි සිට හොරොයින් කිලෝග්‍රෑමයක් කිරිපිටි පැකට්ටුවක් තුල සඟවා මෙරටට රැගෙන පැමිණි බවට චෝදනා එල්ල වූ කාන්තාවක් නිදහස් කිරීමට මීගමුව මහාධිකරණය නියෝග කළා.

මීගමුව පූර්වගාමී මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඊයේ (09) නියෝග කළේ පැමිණිල්ල ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම සැලකිල්ලට ගනිමින් සැකකාරිය නිදහස් කරන බවයි.

51 හැවිරිදි කේ.ඩී.ස්වර්ණලතා නොහොත් කිලෝ නමැත්තිය මෙලෙස නිදහස් කෙරුණු අතර, 1999 වසරේ අප්‍රේල් මස 13 වනදා රේගු නිලධාරින් විසින් කටුනායක ගුවන්තොටුපලේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා ෴

******************************************

(10.03.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය නගරයේ පිහිටි ගොඩනැගිල්ලක අයිතිය තමන් සතු බව පවසමින් එහි වහළය මත නැග විරෝධය පළ කරමින් සිටියදී ඉන් ඇද වැටුණු කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මේ වන විට කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේවෙතත් මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පවසමින් කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා එහි පැමිණ තිබුණේ ඊයේ (09) උදෑසනයි.

මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන පොදුජන පෙරමුණු කාර්යාලයේ තිබූ රුපියල් 150,000 මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදුකර තිබූ පැමිණිල්ලක් විමර්ෂණ සඳහා පොලිසිය එම ස්ථානයට පැමිණ තිබෙන්නේ ඒ අතරතුරයි.

එම අවස්ථාවේදී අදාළ වෛද්‍යවරයා මෙම ගොඩනැගිල්ල තමන්ට අයත් බව පවසමින් කළහකාරීලෙස හැසිරුණු අවස්ථාවේ වහළය මතින් ඇද වැටුණේ මෙලෙසින්.

******************************************

(10.03.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළිය – ඕල්ටන් වත්තේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහරදී තුවාල සිදුකළේ යැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් 22 දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය අද (10) නියෝග කළා.

ඒ සැකකරුවන් හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී එක් අයෙකුට රුපියල් පහලොස් දහසක (15,000) මුදල් ඇපයක්, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මෙන්ම සෑම සැකකරුවෙකුම සෑම මසකම අවසන් ඉරුදින මස්කෙළිය පොලීසියේ පෙනී සිටිය යුතු බවයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ෴

@@@@@@@@@@@@@@@@

(10.03.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

ගුවන් යානා 14 කින් මගීන් 978 දෙනෙකු අද (10) උදෑසන 08:30න් අවසන් වූ පැය 24 තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් 185 දෙනෙකු පැමිණ ඇත්තේ කටාර් රාජ්‍යයේ සිටයි.

එමෙන්ම, යානා 17 කින් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත මගීන් 332 නෙකු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජර්මනිය, පෝලන්තය, ඕස්ට්‍රේලියාව, ඊජිප්තුව, පිලිපීනය, නෙදර්ලන්තය සහ යුක්රේනය යන රටවලින් විදෙස් සංචාරකයින් 72 නෙකු ද මෙම කාලය තුළ මෙරටට පැමිණ ඇති බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

(10.03.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

මාස 4 කට පසු මෙරට අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) වාර්තා වුණා. ඊයේ (09) දිනයේදි අලුතින් ආසාදිතයින් 304 සොයා ගැනුණු අතර, ඉන් දේශීයව හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 288 ක්.

ඉන් වැඩිම පිරිස වන 58 දෙනෙකු වාර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

රත්නපුර දිස්ත්‍රිකක්යෙන් අලුතින් ආසාදිතයින් 42 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 32 ක් හඳුනා ගැනුණා.

බන්ධනාගාර රැදවියන් 24 දෙනෙකු ද කොරෝනා වැලදී ඇති බවට ඊයේ (09) සොයා ගැනුණු අතර, ඒ අනුව මේ දක්වා බන්ධනාගාරවලින් හමුවී ඇති මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5043 ක් දක්වා ඉහළ ගියා.

මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 86,343 ක් ලෙස දැක්වෙන අතර, ඉන් 82,763 ක් සුවය ලබා තිබෙනවා.

එමෙන්ම, මේ වනවිට කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 7,43,775 දෙනෙකුට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

මේ අතර, කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා ඉරණතිව් දූපත යොදා නොගන්නා ලෙසට බල කරමින් දූපත්වාසීන් ඊයේ (09) 7 වන දිනටත් විරෝධතාවයේ නිරත වුණා.

කොරෝනා ආසාදිතවූවන් 457 දෙනෙකු අද (10) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 83,210 ක් ලෙසයි දැක්වෙන්නේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 160 ක් වාර්තා වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *