වේල්ලවීදියේදී හිස නැති සිරුර හමු වූ තරුණියගේ දේහය නිවසට

වේල්ලවීදියේදී හිස නැති සිරුර හමු වූ තරුණියගේ දේහය නිවසට

*********************************************

වේල්ලවීදියේදී හිස නැති සිරුර හමු වූ තරුණියගේ දේහය නිවසට

(10.03.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

වේල්ලවීදියේදී සිරුර හමු වූ තරුණියගේ දේහය ඊයේ (09) පස්වරුවේ ඇයගේ නිවසට රැගෙන විත් තිබෙනවා.

කෙසේවෙතත් ඇයගේ හිස කොටස තවමත් සොයා ගෙන නැහැ.

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක දමා ඝාතනය කර තිබියදී හමුවූ තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කුරුවිට – තෙප්පනාව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

ඒ ඝාතනය සිදුවී දින 11 කට පසුවයි.

ඊයේ (09) දිනයේදී ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදී තිබුණා.

ඊයේ (09) රාත්‍රියේ දේහය ඇයගේ නිවසේ තැන්පත් කර තිබූ අතර, ඉන් පසුවයි අද (10) පස්වරුවේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකළේ.

මේ අතර, තරුණියගේ හිස කොටස සොයා තවදුරටත් විමර්ශනය සිදුකෙරෙන අතර ඊට අදාළව පිටකොටුව ප්‍රදේශයේ සහ හංවැල්ල නගරයේ ඇති සී.සී.ටී.වී පරීක්ෂා කිරීම යළිත් සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

******************************************

(10.03.2021 – 06:57 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් (1000) ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පඩි පාලක සභා ආඥා පනතේ විධි විධානයන්ට අනුව කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා විසිනුයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.

එය මේ මස 5 වන දා සිට බල පැවැත්වෙනවා.

මෙම ගැසට් පත්‍රයට අනුව අවම දෛනික වේතනය රුපියල් 900 ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර රුපියල් 100 ක සහන දීමනාවක් ඊට එකතු වනවා.

ඒ අනුව මෙම තීරණය තේ වැවීමේ හා සැසදීමේ කර්මාන්ශාලා සේවකයන්ට මෙන්ම රබර් වැවීමේ සහ දළ රබර් නිපදවීමේ කර්මාන්තවලද වලංගු බවයි මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ෴

******************************************

(10.03.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පක්ෂ 38 ක් අලුතින් ලියාපදිංචිය සඳහා අයදුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ පසුගිය වසරේ පමණක් දේශපාලන පක්ෂ 158 ක් අලුතෙන් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර තිබූ බවයි.

ඉදිරිපත් වී ඇති අයදුම්පත් මූලික සුදුසුකම් මූලික විමර්ශනවලින් අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

මේ වනවිට පක්ෂ 76 ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වී තිබෙනවා ෴

******************************************

(10.03.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම මහජන හන්දියේ පිහිටි නිවසක නිදන කාමරයේ සිවිලිම මත ඉතා සූක්ෂම අයුරින් සගවා කසිප්පු විකිණීමේ ජාවාරමක නිරත වු 26 හැවිරිදි දෙදරු මවක තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විහාර මාවත, තිස්සමහාරාම ලිපිනයේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවකි.

සැකකාර කාන්තාව කලක් තිස්සේ සිය සැමියා සමඟ එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් තිබේනවා.

සැකකාරිය පිළිබදව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමේදී සැකකාරියගේ නිවසේ නිදන කාමරයේ සිවිලිම මත සගවා තිබු කසිප්පු ස්ප්‍රිතු බෝතල් 80 ක් අත්අඩංගුවට තිබේනවා.

වැටලිම සිදුකරන අවස්ථාව වන විට සැමියා නිවසේ නොසිටි අතර සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(10.03.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

වී මල්ලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති වූ ගැටුමකින් පසු බෙලිඅත්ත – තාරපේලිය ප්‍රදේශයේදී පුද්ගල ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔහු තම වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.

තම බාප්පාගේ පිහි පහරින් බරපතල තුවාල ලැබූ 20 හැවිරිදි තරුණයා බෙලිඅත්ත දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් තිබෙනවා.

මියගිය තරුණයාගේ පියා සහ ඔහුගේ සොහොයුරා අතර මෙම ගැටුම ඇතිව ඇති අතර, ඊට මිය ගිය පුත්‍රයා මැදිහත්ව තිබුණා ෴

******************************************

(10.03.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා.

රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස එය විවාදයට ගැනෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ.

ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු 05:30 දක්වා විවාදය පැවැත්වෙනවා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු තම සංසදය පිළිගන්නා බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසදය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එමඟින් සිදුකර තිබෙන නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීමට රජයට බල කරන බවත්, ඒ සඳහා නීතිපතිවරයා වෙත පූර්ණ බලතල ලබාදිය යුතු බවත් අදාළ නිවේදනයේ සඳහන්.

ජාතීන් අතර අසමගිය ඇති කරන ආකාරයේ ඡායාරූප ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කළ පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(10.03.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සැසිවාරයේ පළමු වාර්තාව අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින්.

එම වාර්තාවට කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 6 ක් ඇතුළත් වනු ඇති.

ඊට 2009 සිට 2016 දක්වා නොරෝච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා ලංකා ගල් අඟුරු සමාගම සිදුකරන ලද ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් වන වාර්තාවද ඇතුළත්.

එසේම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, ලක් විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු, කැළණි ගඟේ දූෂණ ඇතුලු විශේෂ විගණන වාර්තා ඊට ඇතුළත් වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

******************************************

(10.03.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා මධ්‍යස්ථාන 4513 කදී පසුගිය 1 වනදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය අදින් (10) අවසන් වනවා.

විභාගය පැවැත්වීමෙන් අනතුරුව කණ්ඩායම් ලෙස රැස් නොවී විසිර යන ලෙසයි පොලීසිය අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ.

අපේක්ෂකයන් හයලක්ෂ 22,352 ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අතර, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අවස්ථා දෙකකදී කල් දැමුණු මෙම විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි පැවැත්වුණේ.

සිසුන් හෝ බාහිර කණ්ඩායම් නීතිවිරෝධී ක්‍රියාවල යෙදුණහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවියන් දෙපිරිසක් අතර ඇතිවූ බව කියන ගැටුමක දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා.

පාසල් භූමියට සීමා නොවන එම ගැටුම බස් රථයක් තුළද සිදුවන ආකාරයද එහි දැක්වෙනවා ෴

******************************************

(10.03.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා වල්සපුගල ගොවීන් ආරම්භ කළ උපවාසයට මේ වනවිට දින 53 ක් ගත වනවා.

මේ අතර හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කිරීමට ගතවන කාලය පිළිබඳ ඉවසීමක් නොමැතිවීම ප්‍රහේලිකාවක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මෙම රක්ෂිත යෝජනාව වන අලින්ගේ මෙන්ම ගොවි ජනතාවගේ සහ පරිසර පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන්නක් බවයි ඔහු කියා සිටියේ.

එම තත්වය උද්ඝෝෂණවල යෙදෙන සහ ඊට වෙනස් අරමුණුවලින් සහය දක්වන සියලු පාර්ශවයන්ට අමතක වීම පිළිබඳව අමාත්‍යවරයා කණගාටුව පළ කරනවා.

එම නිසා කිසිදු බාහිර පාර්ශවයක උසි ගැන්වීමකට යටත් නොවන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ෴

******************************************

(10.03.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් අනුව මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 68 ක් සමග සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ (09) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකාර කාන්තාව වයස අවුරුදු 38 වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බවටයි මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ.

මේ සම්බන්දයෙන් මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අතර දිවයිනේ දකුණු ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සුලමුල මේ හරහා අනාවරණය කරගත හැකි බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

++++++++++++++

(10.03.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 70 ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 68, දැනට විදේශ රටකට පළා ගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ ට අයත් බවට පොලීසිය සැක කරනවා.

මාතර කොට්ඨාශ විමර්ශන අංශය අද (10) අලුයම සිදුකළ වැටලීමකදියි මෙම මත්කුඩු තොගය සොයා ගැනුණේ.

දෙයියන්දර – දෙනගම ප්‍රදේශයේදී අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් අණ නොතකා ධාවනය කර තිබෙනවා.

ඒ සමඟම පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක් නවතා පරීක්ෂා කළ පොලීසිය, එහි තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 10 ක් සොයාගනු ලැබුවා.

මෝටර් රථයේ සිටි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනුණු අතර, සැකකරු මීගමුව – කටාන ප්‍රදේශයේ සහ සැකකාරිය මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙනත් ස්ථානයක සගවා තිබූ මත්කුඩු කිලෝග්‍රෑම් 58 ක් සොයාගෙන ඇති අතර, පසුව පළා ගිය මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම මෝටර් රථය සහ සැකකරුගේ මීගමුව නිවසේ තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඒවා පරීක්ෂා කිරීම මේ වන විට සිදුකරන බවයි වැටලීම සිදුකළ උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ ෴

******************************************

(10.03.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් වන ‘ජාතික නාමල් උයන’ ව්‍යාපෘතියේ ප්‍රථම කැණීම් කටයුතු හෙට (11) ආරම්භ වනවා.

නාමල් උයන ව්‍යාපෘතියේ නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි කැණීම් කටයුතු උදෑසන 10 ට ආරම්භ කිරීමට නියමිතයි.

1991 වසරේ ආරම්භ කළ ජාතික නාමල් උයන ව්‍යාපෘතිය 2018 වසරේ සිට මධ්‍යම සංස්කෘතික අරමුලේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වනවා.

අක්කර 2,000 කින් යුත් මෙම භූමි ප්‍රදේශය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමට කෙටුම්පත් සකස් කරමින් පවතින අතර, පාරිසරික සංචාරක කර්මාන්ත ව්‍යාපෘතියක් ලෙස කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද රජයේ අවධානය යොමුව ඇති බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ ෴

******************************************

(10.03.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු මාළිගාවත්ත ප්‍රදේශයේදී ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ 34 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම, ලුනාව – මෝය ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (09) සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴

******************************************

(10.03.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කළා.

ඒ, අද (10) ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෝ ඇයගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත වරෙන්තුවක් නිකුත් කළා.

අනතුරුව නඩුව ජූනි මස 17 වනදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදිනට හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇපකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස ද නියෝග කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථවලින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර පහර දී අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ ආධාරකරුවන් අට දෙනෙකුට (8) එරෙහිව නීතිපතිවරයා විසින් පසුගිය රජය සමයේ නඩු පවරනු ලැබුවා.

නඩු විභාගය අතරවාරයේ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් අටදෙනා (8) අධිකරණය හමුවේ වරද පිළි ගත්තා.

ඉන් අනතුරුව අධිකරණය විසින් ඔවුන්ට වසර 12 කට අත්හිටවූ වසර 02 ක් බැගින් වූ බරපතල වැඩසහිත සිර දඬුවම් නියම් සහ දඩ නියම කරනු ලැබුවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම චෝදනා වලට වරද නොපිළිගැනීම හේතුවෙනුයි ඇයට එරෙහිව මේ වනවිට නඩු විභාගය පැවැත්වෙන්නේ.

@@@@@@@@@@@@@@@@

(10.03.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 304 දෙනෙකු ඊයේ (09) හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,343 ක් දක්වා ඉහළ ගියා.

වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 283 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 5 දෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි 16 දෙනෙකු මේ අතර වනවා.

ඊයේ (09) නව මරණ 4 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 511 ක් දක්වා ඉහළ ගියා.

අවුරුදු 57 ත්, 81 ක් අතර වයස්වල පසුවන අකුරණ, රාගම, හොරපේ සහ උඩුවිල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් මෙලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව ආසාදිතයින් 3079 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 82,763 ක්.

එමෙන්ම, මේ වනවිට කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 7,43,775 දෙනෙකුට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් 11,81,36,603 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 26,20,788 ක් ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *