කොමිසමේ විකෘති කරුණුවලට අපි බය නෑ ; අන්තවාදය රටින් අතුගා දානවාමයි – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

කොමිසමේ විකෘති කරුණුවලට අපි බය නෑ; අන්තවාදය රටින් අතුගා දානවාමයි – දළදා වහන්සේ පෙනෙන මානයේ සිට ඥානසාර හිමියෝ කියති

*********************************************

කොමිසමේ විකෘති කරුණුවලට අපි බය නෑ; අන්තවාදය රටින් අතුගා දානවාමයි – දළදා වහන්සේ පෙනෙන මානයේ සිට ඥානසාර හිමියෝ කියති

(09.03.2021 – colombotoday.com)

මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ ශ්‍රීමත් මහනායක හිමියන් වහන්සේලා මෙන්ම අනුනායක ස්වාමින් වහන්සේලා මුන ගැනිලා අද වනවිට රට තුල කතාබහට ලක්වී තිබෙන පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සිදුකර ඇති විකෘතිය පිළිබඳව සාකච්ඡා කළ බව බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (8) මහනුවරදී පැවසීය.

ඉතා ඉක්මනින් මෙම වාර්තාව විදිමත් ලෙස අධ්‍යනය කර එකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලෙස නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් මේ රටේ සියයට 70 කට ආසන්න බෞද්ධ ජනතාවට නායකත්වය දෙන මහනායක හිමිවරු රට තුල ගොඩනැගුනු ජාතික ආගමික හැම අවස්ථාවකදීම උන්වහන්සේලා තම කාර්ය ඉෂ්ඨ කරලා තිබෙන බවත් ඥානසාර හිමියෝ පැවසුහ.

“මේක මහා විපත්තියක්. පාස්කු ප්‍රහාරයෙන් මියගිය දෙසිය හැත්තෑ ගණනට මෙන්ම මේ වාර්තාවේ විකෘතිය බෞද්ධ සමාජයට අවාසනාවක් කැන්දලා තිබෙනවා. එක නිසා ඒකාබද්ධ නිවේදනයක් ප්‍රධාන නිකායන්ගෙන් රට බලාපොරොත්තු වෙනවා.” යැයි අවධාරණය කර සිටි ඥානසාර හිමියෝ “සත්‍යග්‍රහයකින් අපි මේ වැඩපිළිවෙල 11 වනදා සවස 2 ට නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ කරනවා. දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් පාසා ගිහිල්ලා යුග කාර්යයක් ලෙස සලකා ඉස්ලාම් අන්තවාදය නිසා රට වැටුන විපතින් ගොඩ ගන්න සමස්ත සංඝ සමාජය දැනුවත් කරන්න අපි පෙරමුණ ගන්නවා.” යැයි සඳහන් කරන ලදි.

මේ රටේ සිංහලයන් හෝ බෞද්ධයන් තුල අන්තවාදයක් හෝ ජාතිවාදයක් තිබුනානම් මේ රටේ කෝවිල් හෝ පල්ලි හැදෙන්නේ නෑ. අවසානයේදී අපේ මනුස්සකමට පයින්ගහන මේ පාහර බලමුළු සියල්ල එක තලයක තියලා පරාජය කරනවා.

මේ වෙලාවේදී සංඝ සාමග්‍රිය ඉතා වැදගත් බව සඳහන් කල ඥානසාර හිමියෝ ඒ සංඝ සාමග්‍රිය තුලින් සිංහලයන්ට තිබෙන එකම රටත්, අපේ බෞද්ධ අනන්‍යතාවයත් උරුමයනුත් ආරක්ෂා කර ගන්න කටයුතු කරන බව පැවසීය.

කොමිෂන් වාර්තාවේ තිබෙන විකෘති කරුණු ගැන කලබල වෙන්නෙ හෝ බයවෙන්නෙ නැති බව පැවසූ ඒ හිමියෝ “අපි එදත් ඇත්ත කතා කළා. අදත් කතා කරනවා. ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා විතරක් නොවෙයි මේ අන්තවාදය අතුගාලා දාන්න සියලු බලමුළු රට තුල අපි ගොඩ නගනවා.” යැයි සඳහන් කරන ලදි.

+++++++++++++++++++

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද

(09.03.2021 – colombotoday.com)

“දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාදයෙන්, ජය ශ්‍රී මහා බෝ හිමියන්ගේ ආශීර්වාදයෙන්, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන්ගේ ආශීර්වාදයෙන්, තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් සියලු දෙවි දේවතාවන්ගේ ආශීර්වාදයෙන්… ආරක්ෂාවෙන්… රැකවරණයෙන් ඔබවහන්සේලා කරගෙන යන ශාසනික, අපේ එකම රට ආරක්ෂා කරගන්න ගෙන යන ව්‍යාපාරයට, ඔබවහන්සේලාට ශක්තිය… ධෛර්ය… බලය… වාසනාව… නිරෝගී සුව… දීර්ගායුෂ ලැබේවායි එකසිතින් ප්‍රර්ථනා කරනවා” යැයි පවසමින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නායක ස්වාමින් වහන්සේ බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලාට ආශීර්වාද කරන ලදි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ බොදු බල සේනා සංවිධානය සහ අනෙකුත් ජාතික සංවිධාන ඉලක්ක කර ඇති නිර්දේශ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මහනායක, අනුනායක හිමිවරු බැහැදැකීම සඳහා ඥානසාර හිමියෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා ඊයේ (8) දින මහනුවරට වැඩම කරන ලදි.

2001 වසරේ බුද්ධශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නැගී එන ඉස්ලාම් අන්තවාදය සහ ක්‍රිස්තියානි මුලධර්මවාදය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කර තිබූ බවත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම නිසා මේ ප්‍රශ්නය පිළිබඳව කතා කිරීමට සිදුවූ බවත් ඥානසාර හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.

2014 වසරේ අලුත්ගම ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමට හේතු පැහැදිලි කල උන්වහන්සේ රැස්වීම තිබුනේ අලුත්ගම නගරයේ බවත් රැස්වීම අවසන් වී නිවෙස්බලා යමින් සිටි මිනිසුන්ට ඊට කිලෝමීටර කිහිපයක් දුරින් තිබුණු ධර්ගා නගරයේදී මුස්ලිම් ජාතිකයන් විසින් ගල්ගැසූ බවත් සත්‍ය එසේ වුවද එහි චෝදනාව එල්ලවුවේ බෞද්ධ සමාජයට බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

++++++++++++++++++

පාස්කු වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන ප්‍රකාශනයක් – අස්ගිරි සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ කියති

(09.03.2021 – colombotoday.com)

මේ වනවිට පෞද්ගලික අදහස් තමන්වහන්සේ දක්වා ඇති බවත් ඉදිරියේදී සංඝ සංහාවේ මතය ප්‍රකාශ කරන බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ ඊයේ (8) දින ප්‍රකාශ කර සිටියා.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව බැලුවහම ජාත්‍යන්තරය වුනත් හිතන්න පුළුවන් මේ දේ කලේ සිංහල බෞද්ධයා කියලා. ඒ තරමටම මේක වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන විදිහේ ප්‍රකාශනයක්” යැයි අනුනායක හිමියෝ අවධාරණය කර සිටියහ.

බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ජාතික සංවිධාන නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඊයේ (8) මහනුවරදී හමුවූ අවස්ථාවේදී අනුනායක හිමියෝ මෙම අදහස් දැක්වීම සිදුකරන ලදි.

++++++++++++++++++

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ – රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි

(09.03.2021 – colombotoday.com)

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා රජය විශ්වාස කරන්නේ නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කර සිටිනවා.

ඊයේ (08) දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු වෙනවා. ඒක අපි අවංකව කියන්න ඕනි. යම්කිසි අභිමතයක් රජයට තිබෙනවා මේ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම බොදු බල සේනා සංවිධානය සම්බන්ධ නිර්දේශය ක්‍රියාත්මක කිරීම අසීරුයි. ඒ පිළිබඳව රජයේ එකඟත්වයක් නෑ. බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඉතින් ඒ නිර්දේශය ක්‍රියාත්මක කරන්න රජයේ එකඟත්වයක් නෑ.”

++++++++++++++++++

“ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට”

(09.03.2021 – YouTube : Wimal Weerawansa)

***************************************

පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප යොදා ගත් සිසුවෙක් කෝටිපතියාගේ ගිණුමක් හිස් කල හැටි

(09.03.2021 – colombotoday.com)

කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක 15 හැවිරිදි සිසුවියක් රවටා නිරුවත් ඡායාරූප ලබාගෙන සමාජ ජාලාවලට නිකුත් කරන බවට තර්ජනය කරමින් ඇගේ ව්‍යාපාරික පියාගේ ගිණුමෙන් සූක්ෂමව මුදල් ලබාගැනීමේ සිදුවීමක් අධිකරණයට වාර්තා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් අරඹා ඇති අතර ගිණුමෙන් මුදල් ලබා ගත් ආකාරය සූක්ෂම බවයි එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා සඳහන් කළේ.

මෙම කාන්තා පාසලේ සිසුවියක් තමාට පෙම්වතකු සිටින නිසා තම පන්තියේ තවත් මිතුරියකට පවසා ඇත්තේ ඇයටද පෙම්වතකු සොයාගන්නා ලෙසයි.

ෆේස්බුක් හරහා පෙම්වතකු සොයා ගැනීමට එම සිසුවියට හැකිවී ඇති අතර ඔහු තම පෙම්වතියට පවසා ඇත්තේ තමන් ගම්පහ ප්‍රධාන පෙළේ විද්‍යාලයක ඉගෙනුම ලබන බවයි.

පසුව පෙම්වතා සිය පෙම්වතියට පවසා ඇත්තේ ඇය නැති අවස්ථාවලදී දැක බලාගැනීමට ඇගේ නිරුවත් පින්තූර ඔහු වෙත එවන ලෙසයි.

ඔහු ගැන විශ්වාස කළ ඇය ඡායාරූප කිහිපයක් ඔහු වෙත යොමුකර තිබෙනවා.

පසුව දිනක් පෙම්වතා පියාගේ ක්‍රෙඩිට් පතේ ඡායාරූපයක් තමා වෙත එවන ලෙස දැනුම්දී ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු ඇයට පවසා ඇත්තේ පියාගේ ක්‍රෙඩිට් කාඩ් පතේ පින්තුරයක් නොඑවන්නේ නම් නිරුවත් පින්තූර ෆේස්බුක් ජාලයට එක කරන බවයි.

බියට පත් සිසුවිය පියා නින්දට ගිය විට කාඩ්පතක ඡායා පිටපතක් පෙම්වතාට යවා ඇති බව පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබෙනවා.

පසු කලෙක සිසුවියගේ පියාට වැටහී ඇත්තේ සිය බැංකු ගිණුමෙන් මුදල් අඩුවන බවයි.

ඔහු බැංකුවෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබී ඇත්තේ ක්‍රීඩාවක් සඳහා දිනකට රුපියල් දස දහසක් (10,000) ඔහුගේ බැංකු ගිණුමෙන් ආයතනයකට බැරවන බවයි.

පසුව මෙම ව්‍යාපාරිකයා දියණියගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ විට තරුණයකු සමඟ සම්බන්ධ වී යැවූ පින්තුර දැක ගැනීමට ලැබී ඇති නිසා ඔහු මේ බව දන්වමින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පහළොස් (15) හැවිරිදි පෙම්වතා ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර ඔහු අන්තර්ජාලය හරහා ක්‍රීඩාවන්හි නිරත වීමට තදින් ඇබ්බැහි වූ අයකු බව හෙළිව තිබුණා.

මොහු ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන සිසුවකු නොවන අතර දුෂ්කර ප්‍රදේශයක පිරිවෙනක අධ්‍යාපනය ලබන සිසුවකු වනවා.

ඔහුගේ පියාද පොලිසියට කැඳවා ඇති අතර එහිදී පියා පවසා ඇත්තේ තමා ඉතාමත් දුප්පත් අයකු බවයි. ණයට මුදල් ගෙන ජංගම දුරකථනයක් රැගෙන දුන්නේ ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීමට අවශ්‍ය බව කී නිසා බවද හෙතෙම පොලිස් නිලධාරීන්ට පවසා තිබෙනවා.

සැකකාර 15 හැවිරිදි සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට යොමුකර ඇති අතර සිසුවිය මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකර තිබෙනවා ෴

***************************************

විහාරස්ථානයක් තුළදී දරුවෙකු අපයෝජනය කළ චිත්‍ර ශිල්පියාට වසර 36 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

(08.03.2021 – colombotoday.com)

විහාරස්ථානයක් තුළදී කුඩා දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකර තිබේ.

එම පුද්ගලයා සිද්ධිය සිදුවූ විහාරස්ථානයේ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු බව අධිකරණයේදී අනාවරණය විය.

තලාව ප‍්‍රදේශයේ රජමහ විහාරස්ථානයක මෙම සිද්ධිය සිදුවී තිබුණි.

2013 වසරේ ජූනි මස 01 වන දින සිට එම මාසයේ 30 වන දින දක්වා අතර කාලය තුළ එම දරුවා අපයෝජනය වී තිබුණි.

අපයෝජනයට ලක්ව තිබුණේ බාල වයස්කාර පිරිමි දරුවෙකි.

වරදකරු විසින් වරින්වර විහාරස්ථානය තුළදීම එම දරුවා අපයෝජනය කර ඇති බව අනාවරණය වී ඇත.

චිත්‍ර ශිල්පියාට එරෙහිව අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 06 ක් ගොනු කර තිබුණි.

ඊට අමතරව වින්දිත දරුවාට මුදලින් රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කර තිබේ ෴

***************************************

ජාවාරම්කාර මුස්ලිම් ව්‍යාපාරිකයන් බේරා ගන්න ඇමතිවරයෙක් මට තර්ජනය කලා… – පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති මාධ්‍ය හමුවේ කියයි…

(09.03.2021 – 22:02 +0530 – lankacnews.com)

ජාවාරම්කාර මුස්ලිම් ව්‍යාපාරිකයන් බේරා ගැනීම සඳහා ආණ්ඩුවේ ඇමතිවරයෙක් තමනට තර්ජනය කල බව පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා සඳහන් කරයි.

තමන්ට කප්පන් දී යටගැසීමට ද බලපෑම් කල බවටද ඔහු චෝදනා කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයාට පහරදීමක් සිදුකර නැති බවත් එය සම්පූර්ණ අසත්‍යයක් බවත් පවසන ඔහු නීතිපති දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව තමනට බලපෑම් කළ බවද එහිදී කියා සිටියේය.

***************************************

(09.03.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

සුවදුක් විමසීමට පැමිණි මන්ත්‍රිවරයෙකු සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි, රන්ජන් රාමනායක සම්බන්ධයෙන් පරික්ෂණයක් ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර හතරක (4) බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක සමඟ මෙම ඡායාරූපය ලබාගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණායි. පසුව ඔහු එය තම ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම අවස්ථාවේ රාජකාරි කටයුතුවල නිරතවූ ප්‍රධාන ජේලර්වරයාගේ ද වැඩ තහනම් කර ඇති බවයි.

***************************************

(09.03.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙන්ම ඉන්දීය රජය සිදුකළ ප්‍රකාශයද සත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ අදාළ ප්‍රකාශවල පරස්පරතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමකදීයි.

පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් ප්‍රකාශ කෙරුණේ කොළඹ වරායේ බටහිර පර්යන්තය රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

ඒ සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග කටයුතු කිරිමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතියද හිමි වූ බව එහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් එදිනම පස්වරුවේ අප ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් සදහන් කළේ බටහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දීය රජයේ මැදිහත්වීමක් සිදු නොවන බවයි.

පසුගිය සිකුරාදා නව දිල්ලියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකවරයා ඒ බහ තවහුරු කළා.

ඔහු සඳහන් කළේ අදාළ ව්‍යාපෘතියට ඉන්දීය මහ කොමාසාරිස් කාර්යාලයේ අනුමැතිය දුන් බවට පළ වූ වාර්තා සත්‍ය නොවන බවයි.

අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මෙම පරස්පරතාව පිළිබඳව විමසා සිටියා.

******************************************

(09.03.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවල සිදුවන අක්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ දී අද (09) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

******************************************

(09.03.2021 – 22:23 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය නගරයේ, ගොඩනැගිල්ලක අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් වෛද්‍යවරයෙකු එහි වහලයෙන් බිමට වැටී රෝහල් ගත කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ එම ගොඩනැගිල්ල තමාට අයිති බවයි.

මෙම නිසා ඔහු මෙම ස්ථානයට අද (09) පැමිණ තිබෙනවා.

එම ස්ථානයට පොලීසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ අදාළ වෛද්‍යවරයා ගොඩනැගිල්ලේ වහලය මතට නැඟ විරෝධයක් පළ කළා.

අදාළ ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර නඩුවක් පවතින පසුබිමක ඉන් එක් පාර්ශ්වයක් වන අදාළ වෛද්‍යවරයා අද (09) පෙරවරුවේ එහි පැමිණ තිබුණේ ගොඩනැගිල්ල තමන්ට අයත්යැයි පවසමින්.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවත්වාගෙන යන සම්බන්ධීකරණ කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ වහලය මතින් එලෙස ඔහු ඇද වැටුණා.

එලෙස වහලය මතින් ඇද වැටීමෙන් පසුව අදාළ වෛද්‍යවරයා යුහුසුළුව නිකවැරටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@

පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත විෂවීමෙන්.. – අතුරලියේ රතන හිමි

(09.03.2021 – 18:45 +0530 – truenews.lk)

ජනප්‍රිය ධර්ම දේශක පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයන් හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන දිනයක් තවමත් තීරණය කර නොමැති බවද පැවසූ රතන හිමියන් කොරෝනා පරීක්ෂණයක් කිරීමෙන් පසු ලැබෙන වාර්තාවලින් පසු ඒ ගැන තීරණයක් ගන්නා බවද සඳහන් කළේය.

පූජ්‍ය ඥාණාලෝක හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රතන හිමියෝ මේ බව සඳහන් කරන ලදී ෴

++++++++++++++++++++++

(09.03.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි අප්‍රේල් 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (09) ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් කඩාවැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (09) පැවැත්වුණේ අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

එසේම ඩුබායි හි සංචාරයක නිරතව සිටින අතරතුර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කොරෝනා වසංගතය හේතුවෙන් එහි සිරව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමුව ඇති අතර, ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට කටයුතු සම්පාදනය කළ බව ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණා.

මේ අතර ආසාදිත තරුණියක් වාර්තාවීමත් සමඟ පසුගිය 25 වනදා දෙයියන්දර නගරයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගි වූ 63 දෙනෙකු සමන්විත පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද (09) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 240 දෙනෙකු සුවය ලබා පිටව යෑමත් සමඟ මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 82,753 දක්වා ඉහළ ගියා.

එසේම මඩකලපුව – ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අදත් (09) කොරෝනා ආසාදිත මෘතදේහ හතක් (7) භූමදාන කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 511 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 133 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 288 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *