මුතුරාජවෙල අභය භූමියේ අධ්‍යයන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයාට නියෝග

මුතුරාජවෙල අභය භූමියේ අධ්‍යයන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයාට නියෝග

*********************************************

මුතුරාජවෙල අභය භූමියේ අධ්‍යයන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයාට නියෝග

(09.03.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල සංරක්ෂිත අභය භූමි ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳ අධ්‍යයන වාර්තාව ලබන 24 වනදාට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නීතිපතිවරයාට නියෝග කළා.

ඒ මුතුරාජවෙල විනාශයට එරෙහිව අතිඋතුම් අගරදගුරු හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ පෙත්සම් අද (09) කැඳවූ අවස්ථාවේදී.

මුතුරාජවෙල සංරක්ෂිත අභය භූමි ප්‍රදේශයේ සිදුකෙරෙන නීතිවිරෝධී ඉදිකිරීම් සහ කැලිකසල බැහැර කිරීම් වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු අර්ජුන් අබේසේකර සහ මායාදුන්නේ කොරයා මහත්වරුන්ගෙන් සමන්විත ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී එම පෙත්සම් අද (09) කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට දැනුම්දුන්නේ මුතුරාජවෙල සංරක්ෂිත භූමි ප්‍රදේශය තුල පවතින තත්ත්වය පිලිබඳ අධ්‍යයනය කර වාර්තාවක් මාර්තු මස 4 වනදා වනවිට සකස් කර ඇති බවයි.

අදාළ වාර්තාව ලබන 24 වනදාට පෙර අභියාචනාධිකරණය හමුවේ ගොනුකරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය ලබන 30 වනදාට කල් තැබුවා.

අදාල පෙත්සම් මගින් පෙන්වා දී තිබුණේ මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ නීතිවිරෝධී සහ අනවසර ඉදිකිරීම් රාශියක් සිදුවෙමින් ඇති බවයි.

කැලිකසල බැහැර කිරීම සහ කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් දැඩි පාරිසරික දූෂණයක් සිදුවන බවද පෙත්සම්කරුවන් චෝදනා කර සිටියා.

පෙත්සම් මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ අදාල කටයුතු වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා, වනජීවී දෙර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මීගමුව, වත්තල හා ජා ඇල ප්‍රාදේශීය ලේකම්වරු නම් කර තිබෙනවා.

***************************************

(09.03.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අගරදගුරු පදවිය විසින් ප්‍රකාශයට පත් කළ කළු ඉරිදා සහ පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද විවිධ අදහස් පළ කළා.

***************************************

(09.03.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව ලබාදුන් බන්ධනාගාර ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා රන්ජන් රාමනායක බැලීමට බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මෙම සෙල්ෆ් ඡායාරූපය ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඊට අවස්ථාව ලබාදුන් අදාළ බන්ධනාගාර ජේලර්වරයාගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(09.03.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

යාපනය – චෙම්මනි සුසාන භූමිය අසළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අඩංගු පාර්සලයක් සොයාගෙන තිබෙනවා.

යාපනය පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (08) එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙලෙස සොයා ගත් පාර්සලය තුළ තිබී ‘සී-ෆෝ’ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 5 ක්, ඩෙටනේටර්, පතොරොම් තොගයක් හමුවුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කිසියම් පුද්ගලයෙකු විසින් මෙය තවත් අයෙකුට ලබාදීම සඳහා මෙම ස්ථානයේ තබා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

***************************************

(09.03.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෙවන (2) ස්වභාවික ද්‍රව බලගාරය ඉදිකිරීම සඳහා ලබන මාසයට පෙර ජාත්‍යන්තර ලංසු කැඳවීමට හැකි වනු ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, ඉදිරි වසර 05 සඳහා ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවය පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් සිදුකල ප්‍රශ්න කිරීම්වලට පිලිතුරු ලබාදෙමින්.

කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකෙරෙන පළමු එල්.එන්.ජී. බලාගාරයට පසුගිය සිකුරාදා අග්‍රාමාත්‍යවරයා අතින් මුල් ගල තැබුණු අතර දෙවන එල්.එන්.ජී. බලාගාරයේ සැලසුම මේ වනවිට සකස් කර අවසන් බව ද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.

මේ අතර, දේශපාලන පලිගැනීම් පිලිබද ජනපති කොමිසන් සභා අවසන් වාර්තාවේ 1, 2 සහ තුන්වන (3) වේළුම් සහ 2015 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ සිංහල පිටපත අද (09) පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.

***************************************

(09.03.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (09) දෙවන දිනටත් පෙනි සිටියේ නැහැ.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයාගේ නීතිඥවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටි බවයි එහි සිටි අප වාර්තාකරු කියා සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටි අදාල නීතිඥවරයා මාධ්‍යට අදහස් දැක්වීමකින් තොරවම ඉන් පිටව ගොස් තිබෙනවා.

අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය ඉරිදා පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඒ අනුව ඊයේ (08) මන්ත්‍රීවරයාට එහි පෙනී සිටින ලෙස දැනුම් දුන්නා.

එහෙත් ඔහු ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නොසිටි අතර ඒ අනුවයි අද (09) දිනයේද එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබුවේ.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට අද දිනයේ පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ ෴

***************************************

(09.03.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

සීනි බදු වංචාව නිසා රජයට රුපියල් බිලියන 15.9 බදු ආදායමක් අහිමි වී ඇතැයි, මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරමින් හෙළිකර තිබෙනවා ෴

***************************************

(09.03.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව – තිබ්බටුවැව අලියාවැටුණු වැව ප්‍රදේශයේ වගාබිමක ඇද තිබූ නීතිවිරෝධී විදුලි රැහැනක ගැටී කලා වැව ජාතික වනෝද්‍යානයේ වෙසෙන රේවත නැමැති හස්තියා මියගොස් තිබෙනවා.

හස්තියාගේ වයස අවුරුදු 40 ක් පමණ වන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.

රේවත – කලා වැව ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ දැඩි ආකර්ශනයට ලක්ව සිටි හස්තියෙක්.

මේ වන විට අනුරාධපුර පශු වෛද්‍ය ඒකකය මගින් මරණ පරීක්ෂණය ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාල වගාබිමේ හිමිකරු කැකිරාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

(09.03.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

හැටන් ප්‍රදේශයට අද (09) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.

මෙලෙස අයිස් වැස්ස පතිත වි ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, හැටන් කුඩාගම ප්‍රදේශයි.

අද (09) පස්වරු 03:30 ට පමණ අයිස් කැට විශාල ප්‍රමාණයක් වැස්ස සමඟ විනාඩි 5 ක පමණ කාලයක් පතිත වු බවයි ප්‍රදේශවාසින් පැවසුවේ.

***************************************

(09.03.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

තමන්ට ජීවිත තර්ජන ඇති බව ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ සම්බන්දයෙන් අද (09) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යයි පවසමින් අවස්ථා ගණනාවකදී තමාගේ රියදුරාගේ නිවසටත් තම පන්සල අවට නිවාස කීපයකටත් පැමිණ තමන් ගැන විපරම් කර ඇති බව උන්වහන්සේ පවසනවා.

තමන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ සිදුවන පරිසර විනාශ ගැන සොයා බලන නිසා මෙම තර්ජන ඇති වී ඇති බවයි උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

***************************************

මෙහෙම දඬුවම් දෙනවා නම්, අර බෝම්බ ගහන්න ආපු අය කෝ? – පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි

(09.03.2021 – 12:10 +0530 – lankaleadnews.com)

මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මාධ්‍ය හමුවක් අමතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම් සභා වාර්තාව පිළිබඳව අදහස් පළ කරමින් මෙසේ පැවසීය.

“මේකෙ 411 වෙනි පිටුවෙ ලියවිලා තියෙනවා අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක්‍රියාවලිය. දිගන තෙල්දෙණිය සිද්ධියට වෙනම කොමිසමක් පත් කරන්න ඕනේ.

එදා මම නුවර යන්නේ ඥාතියෙකුගේ මල ගෙදර. දෙයි හාමුදුරුවනේ මේකට ගියා කියලා මෙහෙම නීති පනවනවා නම් අර බෝම්බ ගහන්න ආපු අය කෝ? දෙයි හාමුදුරුවනේ මම බණ කියන එක වැරදිද? මොන කුණුහරපයක් ද මේ?

30 අවුරුදු යුද්ධයකට මුහුණ දීපු භික්ෂුවක් හැටියට මම වගකීමෙන් කියනවා පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්න මේ අහිංසක ජනතාවට, කතෝලික ජනතාවට දෙවියන් වහන්සේගේ පිහිට පමණයි, ආශීර්වාදය පමණයි, ස්වර්ගය පමණයි. ඊට වඩා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ කෙහෙල්මල් පාස්කු වාර්තාව ඒ පත් කරපු මිනිස්සුත් වැරදිකාරයෝ කරලා තියෙනවා නම්; අපි වගේ කැලේ ඉන්න අහිංසක මිනිස්සු වැරදිකාරයෝ කරලා හෙට අනිද්දට සිරගත කලාට පස්සේ, මේ රටේ ඉතුරු වන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද? කියන එක ගරු ජනාධිපතිතුමාගෙන් මම අහනවා.”

***************************************

කළු ඉරිදා දේව මෙහෙයට කුරාන රැගෙන පැමිණි මුස්ලිම් කත අත්අඩංගුවට

(09.03.2021 – colombotoday.com)

කටුගස්තොට සියඹලාගස්තැන්නේ රෝමානු කතෝලික දේවස්ථානයේදී පාස්කු ප‍්‍රහාරයට විරෝධය පාමින් පැවති කළු ඉරිදා දේව මෙහෙයට කුරාණයේ පිටපත් කීපයක් රැගෙන පැමිණි කාන්තාවක කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉංග‍්‍රීසි නමකින් පෙනී සිටි 53 හැවිරිදි මෙම කාන්තාව දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටියදී සැකකළ පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප‍්‍රශ්න කළ අවස්ථාවේ මෙම කාන්තාව තමාගේ සැබෑ නම හෙළිකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්යි.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.කේ. රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ මහනුවර පොලිස් මූලස්ථානය සහ කටුගස්තොට පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද වාර්තාවේ ෴

@@@@@@@@@@@@@@@@

(09.03.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ඉරණතිව් දූපතේ කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය අංශය මෙතෙක් තීන්දුවක් ලබාදී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කොරෝනා මරණ ඉරනතිව් දුපතේ භූමිදානය කිරීම පිළිබඳව මේ දිනවල විවිධ අදහස් පළ වන අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මෙම තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ස්ථාන මාරු කර ඇති බවට මේ දිනවල පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අප ඔහුගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ තමා මෙතෙක් කටයුතු කළේ වැඩබලන මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස බවයි.

එම තනතුර සඳහා වෙනත් අයෙකු ස්ථිරව පත් කිරීම හේතුවෙන් තමන් මීට පෙර කටයුතු කළ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා ලෙස යළි පත් කර ඇති බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

ඒ අනුව නව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ් මහතා.

පසුගිය 25 වනදා දෙයියන්දර නගරයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගි වූ 63 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අංශ පැවසුවේ මනාල යුවල ද එම පිරිසට අයත් අතර, එම මංගල උත්සවයට පැමිණි කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන තරුණියකට කොරෝනා ආසාදනය වීම නිසා ඔවුන් මෙලෙස නිරෝධායනයට ලක් කළ බවයි.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල කණ්ඩායම් වශයෙන් රැස් නොවී විසිර යන ලෙස පොලීසිය එම අපේක්ෂකයින්ට දැනුම් දෙනවා ෴

කොරෝනා ආසාදිතවූවන් 240 දෙනෙකු අද (09) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 82,753 ක් ලෙසයි දැක්වෙන්නේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 155 ක් වාර්තා වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *