විදෙස්ගත ශ්‍රමිකයන් ඉතාලියේ වෙරෝනා නගරයේදී විරෝධතාවයක

විදෙස්ගත ශ්‍රමිකයන් ඉතාලියේ වෙරෝනා නගරයේදී විරෝධතාවයක

*********************************************

විදෙස්ගත ශ්‍රමිකයන් ඉතාලියේ වෙරෝනා නගරයේදී විරෝධතාවයක

(08.03.2021 – 21:41 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රමිකයන් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත්වන ලෙසට ශ්‍රී ලංකා රජයට බල කරමින් ඉතාලියේ වෙරෝනා නගරයේදී විරෝධතාවන් මාලාවක් සංවිධානය කර තිබුණා.

ඒ, ජනතා විමුක්ති පෙරමුණ විදේශ කමිටුව මැදිහත්වීමෙන්.

රුවන් මල්දෙණිය – ඉතාලියේ හිරු ප්‍රවෘත්ති වාර්තාකරු රටේ ආර්ථිකයට පන දෙන විදෙස් ශ්‍රමිකයන් පීඩාවට පත්කිරීම හෙළා දැකීම කොවිඩ් වසංගතයට මුහුණ දී සිටින විදෙස් ශ්‍රමිකයන්ට මව්බිමට ඒමේ ඇති අයිතිය සුරැකීම වැනි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා සංවිධානය කර තිබෙනවා.

මේ අතර මැද පෙරදිග රටවල සිට මව්බිමට පැමිණීමට නොහැකිව සිටින කාන්තාවන් නැවත ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් හැකි ඉක්මනින් දියත් කරන ලෙසට රජයට බල කරමින් ‘යුක්තිය උදෙසා කාන්තාවෝ’ සංවිධානය අද (08) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වුණා.

***************************************

(08.03.2021 – 21:58 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

(08.03.2021 – 22:20 +0530 – hirunews.lk/sinhala)

2020 වසර වන විට මෙරට 21,919,000 වූ සමස්ථ ජනගහනයෙන් 11,306,000 ම කාන්තාවන්.

එය මෙරට සමස්ථ ජනගහණයෙන් 51.58% ක්.

2019 මහ බැංකු වාර්ෂික දත්ත වාර්තාවට අනුව ස්ත්‍රී ශ්‍රම බලකාය 3.9% කින් ඉහළගිය අතර එය ශ්‍රම බලකායේ සමස්ත ඉහළයාමෙන් 56% ක් වුණා.

එමෙන්ම 2019 වසර තුළ පුරුෂ ශ්‍රම බලකාය ඉහළගොස් තිබුණේ 1.6% ක් වැනි පහළ අගයකින්.

සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලාංකික ස්ත්‍රීන්ගේ අධ්‍යාපන මට්ටම් පුරුෂයින්ට වඩා ඉහළ මට්ටමක පැවතුනද විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ආශ්‍රිත අධ්‍යාපනය සඳහා ඔවුන්ගේ සහභාගීත්වය සෑහීමකට පත්විය නොහැකි මට්ටමක පවතින බවයි 2019 මහ බැංකු වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ.

මෙරට කාන්තාවන් විදේශ රැකියා, තේ සහ ඇගළුම් කර්මාන්තවල නිරත වෙමින් රටේ සංවර්ධනයට දක්වන්නේ සුවිශේෂි දායකත්වයක්.

රුවින් පමනක් නොව දැනුම,හැකියාව, කෞෂල්‍යයෙන් ලෝකය ජය ගැනිමට ලාංකේය කාන්තාව මේ වන විටත් සමත් වි තිබෙනවා.

එපමනක් නොව පවුල තුල කුසගිනි නිවනු වස් ඇය ඉසිඹුවක් නොබලාම පිරිමි හා උරෙන් උර ගැටෙනවා.

විටෙක තෙරක් නොපෙනෙන අහස් කුසද ජය ගන්නා ඇය, තවත් විටෙක ජීවිත අවධානමද නොතකමින් තම පවුල රැකීම වෙනුවෙන් ඉදිරිපත් වන්නීය.

මේ ගෙවෙන්නේ 21 වන සියවස වුවද අද වනවිට කාන්තාව මුහුණ දෙන ගැටළු පිලිබදව , කාන්තාව ඇතැම් අවස්ථාවල මුහුණ පාන අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් ලාංකේය සමාජය විධිමත් අවධානයක් යොමු කර ඇත්දැයි අප අපගෙන්ම විමසා බැලිය යුතු නොවේද..?

මේ අතර, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ හැම විටම මුදලින් ගණනය කළ නොකලද ජාතික නිශ්පාදනයට කාන්තාවගෙන් ලැබෙන දායකත්වය නිසැකවම ඉතා ඉහළ අගයක් ගන්නා බවයි.

එමෙන්ම ස්ත්‍රියකගේ අභිමානය, ගෞරවය සහ සතුට ආරක්ෂා කරමින් පෝෂණය කිරීම සමාජ වගකීමක් බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.

***************************************

(08.03.2021 – 22:38 +0530 – hirunews.lk/sinhala)

ලෝකයක් එක්ව කාන්තා දිනය අභිමානයෙන් සමරණ අද (08) දිනයේත් තම පවුල පෝෂණය කිරීමට දහදිය හෙළන කාන්තාවන් පිරිසක් අපට පොළොන්නරුවෙන් හමු වුණා.

මේ ඔවුන්ගේ කතාවයි.

ජීවන දිවියේ 61 වන කඩඉම පසු කරමින් සිටින සීලවතී පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්.

මතක ඇති කාලයක සිට කුළියට ගඩොල් කැපීම වෘත්තිය වූ ඇයට කාන්තා දිනයද ගඩොල් කපන දිනයක්ම වී තිබෙනවා.

සීලවතී පදිංචි බැඳිවැව ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් ගැන අපට වාර්තා වුණා.

දෙදරු මවක්වන ඇයගේද රැකියාව කුළියට ගඩොල් කැපීමයි.

ජීවිතයේ සැඳෑසමය බණක් භාවනාවක් කරමින් දරු මුණුපුරන්ගේ සුරතල් විඳිමින් ගත කරන්නට සමාජයේ බොහෝ දෙනා සිහින දකිද්දී මෙවන් කාන්තාවන්ට සිදුව ඇත්තේ හෙට දවසේ බඩ වියත රැක ගැනීමට මැටි සමඟ ඔට්ටුවීමටයි.

පොළොන්නරුව, රොටවැව ප්‍රදේශයේ පදිංචි බොහෝ කාන්තාවන්ගේද වෘත්තිය කුළියට ගඩොල් කැපීමයි.

තිදරු මවක්වන 31 හැවිරිදි නිරංජලා කුමාරි ද මැටි සමඟ ඔට්ටු වී තම දරුවන් සුරකින්නට අපමණ දා බිඳු හෙළන කාන්තාවක්.

අව්වට වැස්සට හුරු මිනිසුන් අතර ඇඟිලි තුඩඟ සියුමැලි බව රැක ගැනීමට නොව දරුමල්ලන් පෝෂණය කිරීමට වෙහෙසෙන මෙවන් කාන්තාවන්ට අදට යෙදී ඇති කාන්තා දිනය උපහාරයක්ම වේවා.

***************************************

(08.03.2021 – 22:43 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි ඇති අද (08) දිනයේ වයස අවුරුදු 45 ට වැඩි රැකියා විරහිත උපාධිධාරි කාන්තාවන් පිරිසක් රාජ්‍ය සේවා හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින්.

+++++++++++++++

***************************************

(09.03.2021 – 06:31 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, කෝකිලායි සිට මුලතිව් නගරය දක්වා ගමන් ගත් කැබ් රථයක් ඊයේ (08) පස්වරුවේ නයාරු පාලම ආසන්නයේදී නයාරු කලපුවට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.

අනතුරෙන් එහි ගමන් ගත් එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු (3) තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව කලපුවට පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

***************************************

(09.03.2021 – 06:49 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (10) අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක් සිදුකරමින් පවසන්නේ විභාගය අවසන් වීමෙන් පසු කලහාකාරී ලෙස හැසිරීම් වලින් වැළකී සිටින ලෙසයි.

එලෙස කලහාකාරී ලෙස හැසිරුණහොත් විභාග පනත යත්තේ දැඩි දඬුවම් පනවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴

***************************************

(09.03.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාකච්ඡා කිරීම සඳහා ලක් රජය යාන්ත්‍රණයන් කීපයක් යොදා ගත් බව නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා ප්‍රකාශ කළා.

එහෙත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට යොමු කිරීමට නොහැකි වූ බවයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්ත මර්දන ක්‍රමෝපාය පිළිබඳ 07 වන ද්වි වාර්ෂික ඇගයීම් සමුළුව අමතමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලක් රජයේ ප්‍රයත්නයන් නිෂ්ඵල කරමින් එල්.ටී.ටී.ඊ. ය කුරිරු ත්‍රස්ත ක්‍රියා අඛණ්ඩව සිදුකළ බවයි.

ඒ හේතුවෙන් අහිංසක ජීවිත රැසක් අහිමි වූ අතර, පොදු දේපළ රැසක් විනාශයට පත්වූ බවත් ඔහු කියා සිටියා.

වාර්ගිකත්වය පදනම් කරගෙන ත්‍රස්ත ක්‍රියාවල නිරත වීමට එල්.ටී.ටී.ඊ-යට බාහිර සහය ලැබුණු බව ඔහු අවධාරණය කළා.

මේ හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාව එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා 2009 වසරේ මානුෂීය මෙහෙයුම ආරම්භ කිරීමට සිදුවූ බවයි ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා කියා සිටියේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව එම අඳුරු යුගය පසු කර මේ වන විට බොහෝ දුරක් පැමිණ ඇති අතර, රට තුළ සාමය ගොඩනැගීමට සමත් වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(09.03.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රධානතම පාරිභෝගික භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානය වන පිටකොටුව ප්‍රදේශයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිය සියයට 50 කින් පමණ අඩු වී ඇති බව කොළඹ වෙළද සංගමය පවසනවා.

විශේෂයෙන්ම අල, ලූණු, කුළුබඩු ඇතුළු එදිනෙදා පරිභෝජනය සඳහා යොදා ගනු ලබන ආහාර අලෙවිය මෙලෙස අඩුවී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අලෙවිය අඩු වී ඇති බවයි කොළඹ වෙළද සංගමයේ සභාපති කේ. පලනියන්ඩි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

***************************************

(09.03.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ක්‍රමයෙන් පහළ යන බවට පැතිර යන ප්‍රකාශ විද්‍යාත්මක සමීක්ෂණයකින් තහවුරු වී නොමැති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ එවැනි තත්ත්වයක් සත්ව හා ශාක ප්‍රජාවෙහි පැවැත්මට බලපාන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාවට අනුව ඔක්සිජන් ප්‍රතිශතය පහත බැස ඇති බවට වන ප්‍රකාශ අසත්‍ය බවයි.

මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මේ පිළිබදව විමර්ශනය කර තිබුණා ෴

***************************************

(09.03.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට ගෑස් සමාගම් ඉල්ලීම් සිදුකළ ද ගෑස් මිල ඉහළ දැමීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ද ගෑස් මිල වැඩි කිරීමට සමාගම් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ ගෑස් මිල සංශෝධනය නොවීමෙන් තම සමාගම දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ලාෆ් සමාගම පසුගිය දා ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ පවතින ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට පැහැදිලි කිරීමක් ඊයේ (08) සිදු කරනු ලැබුවා.

ගෑස් මිල සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණද කිසිදු ආකාරයකින් ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව ඊයේ (08) පැවති කැබිනට් සාකච්ඡාවේදී තීරණය වූ බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ෴

***************************************

(09.03.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

ප්ලාස්ටික් නිෂ්පාදනවල කේතය සටහන් කිරීම අනිවාර්ය කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේදී ප්ලාස්ටික් වර්ග වෙන් කර ගැනීමේ පහසුව සඳහා එම පියවර ගත් බවයි ෴

***************************************

(09.03.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

කිලෝග්‍රෑම් 250 කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික යාත්‍රා 03 ක් කේරළ වෙරළේදී ඉන්දීය වෙරළාරක්ෂකයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද එරට වෙරළාරක්ෂක බලධාරීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ඡා කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළා.

සිද්ධිය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා අදාළ සාකච්ඡා වෙත අවතීර්ණ වන බවයි.

එමෙන්ම, මෙම යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ ඥාතීන් පිරිසක් ඊයේ (08) තමන් හමුවී සාකච්ඡා කළ බව ද ධීවර අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් වරහා නෞකාවෙන් මත්ද්‍රව්‍ය රැගත් මෙම යාත්‍රා නිරීක්ෂණය කර ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේයි.

ආකර්ෂා දුව, චතුරාණි දුව සහ චතුරාණි 8 යන මෙම යාත්‍රා 3 ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වන බවට ඉන්දීය බලධාරීන්ට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

මෙම යාත්‍රාවල සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, යාත්‍රා සහ අත්අඩංගුවට ගත් පිරිස කේරළයේ විජින්ජම් වෙරළ තීරයට රැගෙන විත් තිබෙනවා.

මෙම යාත්‍රා මගින් කොකේන් සහ හෂීස් මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට මුලින් වාර්තා වුවද ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කළේ එමගින් හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් පමණ රැගෙන විත් ඇති බවයි.

කෙසේ නමුත් එම මත්ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් මුහුදට දමා ඇති බවයි ඉන්දීය වෙරළාරක්ෂකයන් ප්‍රකාශ කළේ.

ඉන්දීය සාගරයේ ලක්ෂද්වීප් දිවයින් පෙළ ආසන්නයේ දී පාකිස්තාන යාත්‍රාවකින් මෙම මත්ද්‍රව්‍ය ලබා ගත් බවට අත්අඩංගුවට ගත් පිරිස පාපොච්චාරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මෙම යාත්‍රාවල භාවිතය තහනම් කර ඇති චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ තිබී ඇති අතර එමගින් ප්‍රධාන ජාවාරම්කරු වන සංජේ අන්නා නැමැත්තා ඇමතීමට උත්සාහ කර තිබෙනවා.

ඉන්දීය වෙරළාරක්ෂකයන් යාත්‍රා පෙළ හඳුනා ගැනීම සඳහා එම ඇමතුම් ග්‍රහණය කර ගත් බවයි වාර්තා වන්නේ.

මෙම මත්ද්‍රව්‍ය මෙහෙයුමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු වන සංජේ අන්නා ඩුබායි සහ ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් සිදුකරන බව අනාවරණ වී තිබෙනවා ෴

@@@@@@@@@@@@@

(09.03.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3335 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔවුන් අතරින් පුද්ගලයින් 3300 කට මේ වන විට නිරෝධායන ආඥා පනත යටතේ නඩු පවරා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගතවූ පැය 24 තුළ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් දසදෙනෙකු (10) අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මේ වන විට පොලිස් ක්ෂේත්‍ර රාජකාරියේ නිරත නිලධාරීන් 40,000 කට පමණ කොවිෂීල්ඩ් එන්නත ලබාදී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියා ෴

+++++++++++++++++++++

(09.03.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ආසාදිතයින් වාර්තා වීම අඩු වූ පමණින් කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් ඇතැයි අනුමාන කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ පසුගිය දින කිහිපය තුළ ආසාදිතයින් වාර්තා වීම සැලකිය යුතු මට්ටමින් පහත වැටී තිබුණ ද ජනතාව තවදුරටත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි ෴

++++++++++++++++++++

(09.03.2021 – 08:48 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (08) දිනයේ තවත් මරණ 5 ක් වාර්තා වූ අතර, 19 හැවිරිදි තරුණියක් ද මෙලෙස මිය ගිය පිරිසට අයත්.

ඇය හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.

ඊට අමතරව තවත් කාන්තාවන් තිදෙනෙකු (3) ඊයේ දිනයේදී මිය ගිය පිරිසෙහි සිටින අතර, 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද මිය ගිය පිරිසට අයත්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිතයින් 344 දෙනෙකු ද ඊයේ (08) වාර්තා වූ අතර, විදේශයන් හි සිට පැමිණි දස දෙනෙකු (10) සහ බන්ධනාගාර ආශ්‍රිත පොකුරේ 22 නෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම කොරෝනා එන්නත් ලබාදුන් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව හත්ලක්ෂ 37,062 ක් වන අතර ඊයේ (08) දිනයේදී පමණක් පුද්ගලයින් 7500 කට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *