මෙරට බෝට්ටු 03 කින් මත්ද්‍රව්‍ය කිලෝ 260 ක් ප්‍රවාහනය කළ 12 ක් ඉන්දියාවේදී අල්ලයි

මෙරට බෝට්ටු 03 කින් මත්ද්‍රව්‍ය කිලෝ 260 ක් ප්‍රවාහනය කළ 12 ක් ඉන්දියාවේදී අල්ලයි

*********************************************

මෙරට බෝට්ටු 03 කින් මත්ද්‍රව්‍ය කිලෝ 260 ක් ප්‍රවාහනය කළ 12 ක් ඉන්දියාවේදී අල්ලයි

(08.03.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

කොකේන් කිලෝග්‍රෑම් 200 ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 60 ක් රැගත් ශ්‍රී ලාංකික යාත්‍රා තුනක් (3) කේරළ වෙරළේදී ඉන්දීය වෙරළාරක්ෂකයන් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒවායේ සිටි පුද්ගලයන් 12 දෙනෙකුද කේරළයේ විසින්ජම් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (07) මෙලෙස සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය පැටවූ යාත්‍රා සහ ඒවායේ සිටි පුද්ගලයන් වෙරළාරක්ෂකයන් විසින් විජින්ජම් වෙරළ තීරයට රැගෙන විත් තිබෙනවා.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු වැඩිදුර තොරතුරු හෙළිදරව් කළ හැකිවනු ඇති බවයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ ෴

***************************************

(08.03.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

මේ ඉන්නේ ආර්.එම්.කාවින්දි මහේෂිකා.

කාන්තාවගේ හිත කෙතරම් ශක්තිමත්ද යන්න පිළිබඳ කාවින්දි අපිට දෙන්නේ අපූරු ආදර්ශයක්.

විශේෂ අවශ්‍යතා සහිත තරුණියක් වන කාවින්දි මේ වනවිට සේරුවාවිල සහන සෙවණේ ආරක්ෂාව ලබමින් ජීවිතය දිනන්න ඉගෙන ගනිමින් ඉන්නේ.

ඉන් කාවින්දිට විතරක් නෙවෙයි රටේ සංවර්ධන ක්‍රියාවලියටත් අත්වන්නේ සුළුපටු මෙහෙයක් නෙවෙයි.

කාවින්දි වගේම විවිධ කුසලතාවන් වැඩි දියුණු කරගත් තරුණියන් 17 දෙනෙකුට සහන සෙවණින් නව ජීවයක් ගෙන දෙන්නට අද වනවිට සමත් වෙලා තිබෙන්නේ ආබාධ සහිත වුවත් සමාජයට බරක් නොවී ජීවත් වන්නට ඔවුන්ට මාර්ගය සලසා දෙමින්.

ජීවිතයේ කප්පරක් බලාපොරොත්තු නැතත් කිසිවෙකුට අතනොපා තමන්ගේ දිරියෙන් හෙට දවස ගැන සිහින දකින මේ තරුණියන්ගේ දෑතින් නිමවෙන අපූරු නිර්මාණයන් ගොන්නයි මේ.

ආබාධයක් කියන්නේ ශක්තිමත් හිතක් ළඟ කිසිදු වටිනාකමක් නැති වචනයක් පමණයි කියන දේ සහන සෙවණේ මේ පිරිසෙන් අපට ලැබෙන ලොකුම ආදර්ශයයි.

රටක් – දැයක් – ලොවක් සනහාලන්නට ඇයගෙන් ඉටුවන්නේ අපරිමිත මෙහෙයක් යන්න මෙවර කාන්තා දිනයේදී අප සිහිපත් කරන්නේ හද පිරි ආඩම්බරයෙන්..

***************************************

(08.03.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් අද (08) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.

***************************************

(08.03.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

(08.03.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

වයස් සීමාව ඉක්මවූ උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවාගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවනවා.

අද (08) දහවල් ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ බවයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් ප්‍රකාශ කළේ.

මේ අතර ඌන සේවා උපාධිධාරීන් මුහුණ දෙමින් සිටින ගැටලුවලට විසදුම් ඉල්ලා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය අද (08) දහවල් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.

ඔවුන් මේ වනවිට ජනාධිපති කාර්යාලය අසළ පිහිටි විරෝධතා සඳහා වෙන්කර ඇති ස්ථානයේ උද්ඝෝෂණයක නිරතවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(08.03.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවකු වන ඉජාස් අහමඩ් ඇතුළු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගත තවත් සැකකරුවන් දෙදෙනකුට (2) පහසුකම් ලබා දීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට රුපියල් ලක්ෂ ගණනක අල්ලසක් ලබාදීමට ගත් උත්සාහයක් සම්බන්ධීකරණනය කළ ජේලර්වරයකු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සැකකාර ජේලර්වරයා රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා වෙත ගොස් “සර් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු හා මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සර්ට ඕනෑම ආකාරයක උදව්වක් කරන්න සූදානම්ව සිටින බැවින් ඔවුන් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස” ඉල්ලා ඇති බවද අනාවරණය වනවා.

එම යෝජනාවට අනුකූලතාවක් පෙන්වා ඇති අධිකාරීවරයා සැකකාර ජේලර්වරයා මගින් ඉහත කී රැඳවියන් තිදෙනා (3) අධිකාරීවරයාගේ කාර්යාලයට ගෙන්වා ගෙන තිබෙනවා.

එසේ කැඳවා “තමුන්ට මගෙන් මොනවාද වෙන්න ඕනෙ ?” යනුවෙන් අධිකාරිවරයා එම සැකකරුවන්ගෙන් විමසීමේදී “සර් ඕන මුදලක් සර්ට දෙන්නම් අපිට සිර මැදිරිය තුළ දුරකථනයක් ළඟ තියාගෙන අපේ පාඩුවේ නිදහසේ ඉන්න ඉඩ දෙන්න” යනුවෙන් එම සැකකරුවන් තිදෙනා අධිකාරීවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධව සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු යටතේ කරන ලද මූලික විමර්ශනයේ අතුරු වාර්ථාව අනුව එම සිද්ධියේ අතර මැදියෙකු ලෙස සම්බන්ධ වු ජේලර්වරයාගේ වැඩ තහනමට ලක්කර තිබෙනවා.

එම යෝජනාවට කැමැත්ත දක්වන බව පේනවා ඇති අධිකාරිවරයා සැකකාර ජේලර්වරයාගේ මාර්ගයෙන් ඉහත කි රැඳවියන් තිදෙනා අධිකාරීවගේ ගේ කර්යාලයට ගෙනවාගෙන ඇති බවටයි වාර්තා වන්නේ ෴

***************************************

(08.03.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක අද (08) දිනයේ කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, සමස්ත මිල දර්ශකය ඒකක 264 කින් පමණ ඉහළ ගොස් 7318 ක් ලෙස සටහන් වුණා.

ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 131 කින් ඉහළ ගිය අතර දිනය අවසන දී සටහන් වූයේ 2922.86 ක් ලෙසයි.

ඒ අනුව සමස්ත මිල දර්ශකය අද (08) දිනයේ සියයට 3.74 කින් ඉහළ ගොස් ඇති අතර, එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 4.7 කින් ඉහළ ගොස් තිබෙනවා.

කොටස් වෙළදපොලේ අද (08) දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.7 කට අධිකයි ෴

***************************************

(08.03.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරකයින්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අද (08)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

ඒ මෙම ප්‍රකාශය නිවැරදි නොමැති බවත් එය මුළුමනින්ම වෛරී ප්‍රකාශයක් බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කල පැමිණිල්ලකට අදාළවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හෙට (09) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාර්ඩ් සභාපති නිස්සංක සේනාදිපති මහතාද අද (08) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇති අතර එහි දැක්වෙන්නේද මෙම ප්‍රකාශය සහමුලින්ම සාවද්‍ය වන අතර ඒ පිලිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටයි ෴

***************************************

(08.03.2021 – 17:29 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල – පාසල් මාවතේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී යුද හමුදාවේ බුද්ධි බලකායේ නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ මහනුවර අලවතුගොඩ – මාරුපන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

ඔහු අනෙක් නිලධාරීන් සමඟ එක්ව තෙමහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී ඉහළ මාලයේ සිට ඇද වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා ෴

***************************************

සිංහරාජය අබියස බුදුන් සරණ යන රුසියානු තරුණ පරපුර

(08.03.2021 – 17:05 +0530 – lankaleadnews.com)

සිංහරාජයට පිවිසුම් මාර්ගයේ රක්වාන, හතේ වංගුව ප්‍රදේශයේ පිහිටි පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කොට පවත්වාගෙන යනු ලබන ‘බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ’ රුසියානු තරුණ, තරුණියන් විශාල පිරිසක් පැවිදි බව ලබාගැනීමට පුහුණුව ලබමින් සිටින බව ‘සහෝදරත්වයේ දෑත පදනම’ විසින් එම මධ්‍යස්ථානයේ වැඩ වසන පූජ්‍ය රක්වානේ ඤාණසීහ හිමි සමඟ කරන ලද සාකච්ඡාවක් මගින් ලොවට හෙළිකර සිටී.

එහිදී බෞද්ධ ධර්ම ප්‍රචාරය යනු කෙතරම් අව්‍යාජ මෙන්ම අවිහිංසක ප්‍රචාරක ක්‍රමයක්ද යන්න පූජ්‍ය රක්වානේ ඤාණසීහ හිමියන් විසින් පැහැදිළි කර දෙන ලදී. එමෙන්ම මෙම රුසියානු තරුණ, තරුණියන් බෞද්ධ ආර්යය මාර්ගය තෝරාගැනීමට මූළිකව ඇති කරුණු පිළිබඳව ද මනාකොට විස්තර කර දෙයි.

***************************************

(08.03.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

නිරවුල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විදිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදුකෙරුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදියි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම රජයේ අරමුණයි.

ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව දිවයිනම ආවරණය වන පරිදි නීත්‍යානුකූලව තෝරා ගන්නා ලද 20,000 කට පළමු අදියර යටතේ දීමනා පත්‍ර පිරිනැමෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රදානයක් වන දීමනා පත්‍රය සින්නක්කර ඔප්පුවක් ලෙස ද සැලකෙන අතර එය ඇපයට තබා බැංකු ණයක් ලබා ගැනීමේ හැකියාව ද දීමනා පත්‍ර ලාභීන්ට හිමි වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

***************************************

(08.03.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ 5, 11, සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අනුමැතිය ලබා දී තිබෙනවා.

***************************************

(08.03.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකුවලින් ලබා ගන්නා ණය ඩොලර් වෙනුවට රුපියල්වලින් ලබා ගැනීමේ හැකියාව රාජ්‍ය බැංකු සහ මහබැංකුව සමඟ සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම සහ බොර තෙල් සඳහා වන වරාය, ගුවන් තොටුපළ සංවර්ධන බද්ද නැවත සකස් කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද (08) ප්‍රථම වරට රැස්වූ අවස්ථාවේදියි.

භූමිතෙල් සහනාධාරය අවභාවිතයෙන් තොරව ඍජුවම ගොවීන්ට හා ධීවරයින් ඇතුළු ඉලක්ක ගත ප්‍රතිලාභීන් වෙත ලබාදීමට ඇති හැකියාව පිළිබදව ද සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී ඇති බව සඳහන් ෴

***************************************

(08.03.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට (3) එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව මැයි 31 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළා.

ඒ රාජගිරියේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වන එම නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදී.

2016 වසරේ පෙබරවාරි 28 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් පැදවූ ජිප් රථයක් රජගිරිය ප්‍රදේශය පසුකර යාමේදී සිදු වූ අනතුරකින් සංදීප් සම්පත් නමැති තරුණයා බරපතල තුවාල ලැබුවා.

මෙම අනතුර සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සහ සාක්ෂි වසන් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඔහුගේ රියදුරෙකු වූ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ රථ වාහන අංශයේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරණු ලැබුවා.

එම නඩුව අද (08) පෙරවරුවේ කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේයි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙසයි.

එමෙන්ම විත්තිකාර පාඨලී චම්පික රණවක විසින් අනතුර සිදුකළ අවස්ථාවේ පැදවූ බව කියන WPKD 7545 දරණ ජීප් රථය මේ වන විට මුදල් අමාත්‍යාංශය භාරයේ පවතින බවත් එය ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා මීලග නඩු දිනයේදී අදාළ ජීප් රථය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළා.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම්කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විනිසුරුවරයා ඊටද අවසර ලබාදුන් අතර ඔහු නඩුවේ 20 වැනි සාක්ෂිකරු ලෙස නම් කෙරුණා.

***************************************

(08.03.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

නව අනුරාධපුර ග්‍රිඩ් උපපොළේ තාක්ෂණික දෝෂයක් නිසා උතුර පළාතට මෙන්ම, හබරණ, පොළොන්නරුව සහ වාලච්චේන උපපොළ මගින් විදුලිය බෙදා හැරෙන ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීමක් සිදු වන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළා ෴

***************************************

(08.03.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශකයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙට (09) පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂ ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් කිහිපයක් අදහස් පළ කළා.

***************************************

විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(08.03.2021 – 21:48 +0530 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අභාවප්‍රාප්ත වු බව ඥාතීන් පැවසීය. මිය යන විට ඇය 86 වන වියේ පසුවිය ෴

+++++++++++

(08.11.2016 – gossip.hirufm.lk)

ශ්‍රී ලාංකේය සංගීත ලෝකයේ අමරණීය නාමය වූ අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේවයන්ගේ ජිවිත ගමනේ සෙවනැල්ල වුණේ විමලා අමරදේව මැතිණියයි.

අමරදේවයන්ගේ සංගීත ලෝකය දික්විජය කරන්නට ඇය අවුරුදු 53 ක විවාහ ජීවිතය පුරාවටම සවියක් වී තිබුණා.

දරුවන් තිදෙනෙකු (3) ද ලොවට දායාද කර ඇති මේ සොදුරු යුවළගේ හමුවීමද අහඹු සිදුවීමක්.

2013 වසරේ ඔවුන්ගේ 50 වැනි විවාහ සැමරුම අත්තිඩිය මිහිදු සෙත්මැදුර රණවිරු පියසේදී සමරද්දී විමලා අමරදේව මැතිණිය ඔවුන්ගේ ආදර අන්දරය දිගහැර තිබුණේ මෙලෙසින්.

“ඒ කාලේ ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා කියල හඳුන්වපු මගේ මහත්තයා සංගීත ශිල්පියෙක් විදිහට ප්‍රසිද්ධයි. මම එතකොට මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි ශිෂ්‍යාවක්.

මමත් නැටුම් වලට, ජනගී ගායනයට හරිම දක්ෂයි.

මොරටුව කොරලවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය ඉස්කෝලේ තිබුණු උත්සවයකට නැටුම් අංගයක් ඉදිරිපත් කරන්න කියල අපේ ඉස්කෝලෙටත් ආරාධනාවක් කරලා තිබුණා.

ඉතිං ඒකට යවපු කණ්ඩායමේ මාත් හිටියා. ඒ උත්සවය ගැන හරියටම දැනගත්තේ එතනට ගියාම තමයි.

ප්‍රේමකුමාර එපිටවල, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇතුළු පිරිසක් තමා සංවිධානය කරත තිබුනේ.

ඩබ්ලිව්.ඩී. ඇල්බට් පෙරේරා සංගීත ශිල්පියාව වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඉන්දියාව බලා පිටත් කර හැරීම වෙනුවෙන් තමා ඒ උත්සවය සංවිධාන කරලා තිබුණේ.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විදිහට උත්සවේට ඇල්බට් පෙරේරා එනකොට මල්මාලාව පළ‍ඳන්න කෙනෙක් අපි අතරින් තෝරගත්තේ මාව.

ඒකත් පුදුම සිදුවීමක්. ඉතිං මම මාල් මාලාව ඔහුට පැළඳුවා. එදා මාත් එක්ක ඔහු කතා කළා. මාව ඔහුට හොඳට මතක හිටියත් එදා වැඩි විශේෂත්වයක් තිබුනෙ නෑ.

ඒත් පස්සේ මම ඔහුගේ සින්දු සැරින් සැරේට අහන්න ගත්තා. ‘ශාන්ත මේ රෑ යාමේ’ සිංදුව ගුවන් විදුලියේ යද්දි මට අමුතු හැඟීමක් දැනුනා.

ඇල්බට් පෙරේරා ඒ වෙනකොට ඉන්දියාවට ගිහින්. මාත් විවිධ දේවල්වලට යොමුවෙලා තිබුණා.

මම ටවර්හෝල් නාට්‍යවල රඟපෑවා, නැටුම් කළා, සංගීතය කළා. ඔහු නැවතත් ලංකාවට ආවම ජන ගී ඇසුරු කරගෙන යම් යම් නිර්මාණ කළා.

එම ජන ගායනාවලට මාවත් සම්බන්ධ කරගත්තා. මේ ජන ගී වලින්ම තමා අපේ ආදර කතාව ගොඩනැගුනේ.

විවාහයෙන් පස්සේ මේ හැමදෙයක්ම පෙට්ටගමක දාලා ලොකු ඉබ්බෙක්‌ දාලා පැත්තක තිබ්බා.

මම සංගීතය අතහැරලා මෙතුමා පසුපස ආවා.”

+++++++++++++

+++++++++++++

06-12-2015

@@@@@@@@@@@@@

(08.03.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – ඕට්ටමාවඩි ප්‍රදේශයේදී අදත් (08) කොරෝනා මරණ 7 ක් මිහිදන් කර තිබෙනවා.

ඒ අනුව එහි මිහිදන් කළ කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලන්ගේ සිරුරු සංඛ්‍යාව 31 ක් ෴

අද (08) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

කොරෝනා ආසාදිතවූවන් 454 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 82,513 ක් ලෙසයි දැක්වෙන්නේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 507 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 177 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 344 ක් ෴

++++++++++++++++++++

(08.03.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සඳහා ප්‍රාදේශීයව ස්ථාන හඳුනා ගැනීමට පළාත් බලධාරීන්ට දැනුම්දීමක් සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

සියළුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ඒ සඳහා වන නිර්ණායක ද ඉදිරිපත් කර ඇති බවයි ඔහු කියා සිටියේ. කොළඹ අද (08) පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර, මඩකලපුව – ඕට්ටමාවඩි ප්‍රදේශයේදී අද (08) දිනයේදීත් කොරෝනා මරණ 7 ක් මිහිදන් කර තිබෙනවා. ඒ අනුව එහි මිහිදන් කළ කොරෝනා ආසාදිත මෘත දේහ සංඛ්‍යාව 31 ක්.

එමෙන්ම, වයස අවුරුදු 30 ට වැඩි සියළු පුද්ගලයින්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම රජයේ අපේක්ෂාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

කොවැක්ස් පහසුකම යටතේ ඊයේ (07) මෙරටට ලැබුණු දෙලක්ෂ 64,000 ක් වන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ලබාදීම අද (08) ආරම්භ කෙරුණා.

මේ අතර, සීරම් ආයතනයෙන් මෙරටට ලබාදීමට නියමිත දෙවන (2) එන්නත් තොගය ගෙන්වීම ප්‍රමාද වන බවට එම ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට කළ දැනුම්දීමත් සමඟ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ගැටළු මතුවිය හැකි බවට මේ වන විට විවිධ මත පළ වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *