දඹුල්ලේ ඉඩම් වංචාව ගැන සංගාගෙන් පිළිතුරු

දඹුල්ලේ ඉඩම් වංචාව ගැන සංගාගෙන් පිළිතුරු

*********************************************

දඹුල්ලේ ඉඩම් වංචාව ගැන සංගාගෙන් පිළිතුරු

(07.03.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් ලබා ගත් බවට සිය බිරිඳට අන්තර්ජාලය ඔස්සේ රැගෙන යන ප්‍රචාර ද්වේශ සහගත සහ අසත්‍ය එකක් බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රකාශ කළා.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවයි.

අඩු ආදායම්ලාභීන්ට බෙදා දීමට තිබූ රජයට අයත් දඹුල්ල – සිගිරිය – කායන්වල – මයිලැත්තෑව ප්‍රදේශයේ අක්කර 2 ක ඉඩමක් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳකට ලබාදුන් බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට ඊයේ (06) වාර්තා කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙසටයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර, අදාල ඉඩම සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛණ සහ හැදුුනුම්පත් ඉදිරිපත් කිරීමක් පිළිබද දඹුල්ල ප්‍රදේශීය ලේකම්වරයා පසුගිය ජනවාරි මාසයේදි ඉහල ඇරව්වල ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරිවරයාගේ සේවය ද අත්හිටුවා තිබුණා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර මුහුණු පොතේ මෙම සටහන තබා තිබුණේ.

++++++++++++++++

(08.03.2021 – 09:27 +0530 – lankaleadnews.com)

මාතලේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 5 වැනිදා පැවති අවස්ථාවේදී සීගිරිය මයිලත්තාව ප‍්‍රදේශයේ වටිනා ඉඩම් අක්කර දෙකක් කුමාර සංගක්කාර මහතාගේ බිරිඳගේ නමින් ඇය අඩු ආදායම්ලාභී අයකු ලෙස දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු විසින් නීති විරෝධී අයුරින් කූට ලේඛන සකස් කර විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, දැනට ලබාදී ඇති දීමනා පත‍්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා ලෙසත් අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ.

දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදාළ ඉඩම් ජාවාරම පිළිබඳව දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සාකච්ඡාවට ගැනුණු අතර එහිදී අනාවරණය වූයේ කූට ලේඛන පිළියෙළ කර අඩු ආදායම්ලාභී කාන්තාවක බවට ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ බිරිඳ හඳුන්වා දීමට හා දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක බවට පුද්ගල හැඳුනුම්පතක්ද සකස් කර ඉඩම් ගනුදෙනුව සිදුකර ඇති බවය. මාතලේ දිස්ත‍්‍රික් කමිටු රැස්වීමේදී අදාළ ඉඩම් ගනුදෙනුව සාකච්ඡා වෙමින් තිබියදී කමිටුව නිල වශයෙන් නියෝජනය කළ ඉහළ නිලධාරීන් දෙදෙනකු සාකච්ඡා මඟහැර ගොස් ඇති බව මාධ්‍යය වාර්තා පවසයි.

සිද්ධිය පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයෙන් පසුව අදාළ ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරියාගේ සේවය අත්හිටුවා තිබේ. ඔහුගේ දරුවකු මහනුවර ප‍්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරීම සඳහා කුමාර සංගක්කාර මහතා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මෙහිදී ආණ්ඩුකාරවරයා කමිටුව ඉදිරියේදී පැවසූ බවද වාර්තා වේ ෴

***************************************

(07.03.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – රත්ගම – පොල්වත්තක මුරකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගල්කටස් ගිනි අවි දෙකක් (2) සොයාගෙන තිබෙනවා.

අක්මීමන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් අද (07) සිදුකරන ලද වැටලීමකදියි මෙම ගිනි අවි සොයාගෙන ඇත්තේ.

මේවා පුද්ගලයින්ගෙන් කප්පම් ගැනීම සඳහා මෙන්ම බිය වැද්දවීම් සඳහා භාවිත කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

32 හැවිරිදි සැකකරු අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ සමග සබදතා පැවැත්වූවේ දැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

***************************************

(07.03.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය, මුහුදු මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් අද (07) පොලීසිය විසින් වටලා තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තායිලන්ත ජාතික කාන්තාවන් 03 දෙනෙකු සහ විදෙස් ලිංගික සංක්‍රාන්තිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු මොවූන් අවුරුදු 35 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

මෙම ගණිකා නිවාසයේ හිමිකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

(07.03.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ආනයනය තාවකාලිකව නතර කර ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් යළිත් වරක් වෙළඳපොළේ ඉහළ ගොස් තිබෙනවා.

කව්පි, මුංඇට, උඳු, කුරහන් සහ කහ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළදපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

මුංඇට වෙළදපොළේ හිග වන අතර, කහ කිලෝග්‍රෑමයක තොග මිල පවතින්නේ රුපියල් 4500 ත්, 5000 ත් අතරයි.

මීට අමතරව කව්පි කිලෝග්‍රෑමයක් රුපියල් 600 දක්වාත් උඳු කිලෝග්‍රෑමයක් රුපියල් 1600 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි ආරංචි මාර්ග සදහන් කළේ.

මීට අමතරව කුරහන් කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 600 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ වෙළදපොළට අවශ්‍ය පරිදි දේශීය නිෂ්පාදනයක් සිදුනොවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

එවන් පසුබිමක මෙරටට ආනයනය කිරීම තාවකාලිකව නතර කර ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනත් ආහාර ද්‍රව්‍ය තුළ සඟවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අර්තාපල්, ලොකුලූණු, වියළි මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් තුළ සගවා කව්පි, මුංඇට සහ කහ මෙලෙස ගෙන්වන බවටයි රේගුව සඳහන් කළේ.

ඒ අනුව එලෙස ගෙන්වන ලද බහාලුම් 15 කට වැඩි සංඛ්‍යාවක් රේගු භාරයේ පවතින බවයි වාර්තා වන්නේ ෴

***************************************

(07.03.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් මස 21 වන දාට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොවුණහොත් මීටත් වඩා ශක්තිමත්ව ජනතාව පෙළ ගස්වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කළු ඉරිදා විරෝධයට සමගාමීව කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවට අද (07) එක්වෙමින්.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා ඉස්ලාම් අන්තවාදීන් අටදෙනෙකු (8) දියත් කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී මේ වන විට වසර දෙකකට (2) ආසන්න වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම සිය වාර්තාව පසුගිය දා ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණා.

එම වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුලු පිරිසකට අපරාධ චෝදනා ගොනු කිරීම ඇතුලු තවත් නිර්දේශ රැසක් එහි දැක්වුණා.

මෙම වාර්තාව ප්‍රකාශයට පත් වීමෙන් පසුව ඊට බොහෝ පිරිසක් විරෝධය පළ කළ අතර, එවන් පසුබිමක් තුළදියි කොළඹ අගරදගුරු පදවිය, අද දිනය කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

ඒ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින්.

ඒ අනුව දිවයින පුරා කතෝලික දේවස්ථානවලදී අද කළු ඉරිදා සැමරුම් සංවිධාන කර තිබුණා.

දේව මෙහෙයන් සඳහා සහභාගී වූ බොහෝ පිරිස් කළු ඇඳුමින් සැරසී සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය එල්ල වූ පළමු වේලාව ලෙස සටහන් වූ පෙරවරු 08:45 ට සියලු දේවස්ථානවල සීනුව නාද කෙරුණේ ප්‍රහාරයෙන් මිය ගිය බැතිමතුන්සිහි කරමින්.

ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙය ආරම්භ කෙරුණේ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම ජනතාවද එක්ව සිටියා.

එමෙන්ම, කටුවාපිටිය දේවස්ථානයේ සහ මඩකලපුව සියොන් දේවස්ථානයේද අද (02) සැමරුම් පැවැත්වුණා.

මෙම දේවස්ථානවල මෙන්ම දිවයිනේ බෙහෝ දේවස්ථාන වෙත පැමිණි බැතිමතුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක ද නිරත වුණා.

කොච්චිකඩේ දේවස්ථානයේ දේව මෙහෙයෙන් අනතුරුව පැවති නිහඩ විරෝධතාවයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද එක්ව සිටියා.

එමෙන්ම, කටුවාපිටිය දේවස්ථානයට ද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කතෝලික සභාව ප්‍රකාශයට පත්කළ කළු ඉරිදාවට තමන්ගේ සහය ද ලබා දෙන බවයි.

ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතිය හමුවට ගෙන ඒමට කඩිනමින් කටයුතු කළ යුතු බව ද එහි දක්වා තිබෙනවා.

එසේම කතෝලික සභාව ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාවට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කිතුනු ජනතාව ද සහය පළකර සිටියා.

+++++++++++++

***************************************

(07.03.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මෙම ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකළා.

***************************************

(07.03.2021 – 20:59 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්න මහතාට පහරදුන්නේ යැයි කියන සිද්ධියකට වැඩ තහනමකට ලක්ව සිටින කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අද (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා විශේෂ අනාවරණයක් සිදුකළා.

අදාළ සිද්ධියෙන් පසු තමන්ට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමක හඬ පටද මාධ්‍යයට ඉදිරිපත් කළා.

***************************************

(08.03.2021 – 07:06 +0530 – hirunews.lk/sinhala)

විවිධ සමාජ මාධ්‍ය භාවිත කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන පුද්ගලයින්ට එරෙහිව සහ එවැනි ගැටළු වලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ගේ ගැටලු සඳහා කඩිනමින් පිළියම් යෙදීමට රජයක් ලෙස ක්‍රියාකරන බව ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ශ්‍රී ලාංකීය වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගයීම සඳහා කොළඹදී ඊයේ (07) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා ෴

***************************************

(07.03.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකදී වරෙන්තුකරුවන් 584 දෙනෙකු ඇතුලු සැකකරුවන් 1,158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) උදෑසන අටේ (08:00) සිට සවස හය (06:00) දක්වා අදාළ වැටලීම සිදුකළ බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පුදගලයින් අතර, අපරාධවලට සම්බන්ධ 44 දෙනෙකු ද වනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී 53 දෙනෙකු අත්ඩංගුවට ගෙන ඇති බවයි ෴

(08.03.2021 – 09:40 +0530 – sinhala.adaderana.lk)

විවිධ ප්‍රදේශවලදී ත්‍රීරෝද රථ සොරකම් 4 ක් පමණ ඊයේ (07) දිනයේදී ද වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම සොරකම් සිදුව ඇත්තේ කුරුවිට, ඇහැළියගොඩ, කැලණිය සහ පල්ලෙකැලේ යන ප්‍රදේශවලය.

එලෙස සොරකම් කරන ලද ත්‍රීරෝද රථ කොළඹ නගරයේ යම් නිශ්චිත ස්ථාන කිහිපයකටත් කොළඹින් පිටත ස්ථාන කිහිපයකටත් අලෙවි කරන බවත් අනාවරණය වී තිබේ.

පොලීසිය මෙම ස්ථාන වැටලීමට ක්‍රියාකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි ෴

***************************************

(08.03.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

එහි ජාතික උත්සවය අද (08) පස්වරුවේ කොළඹ-7 නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් කියා සිටියේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධන පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බවයි.

ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් ද සපයා ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

‘රටකි, දැයකි, ලොවකි, ඇය’ යන්න මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව කොට ගැනීම අතිශයින් කාලෝචිත බවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ තවදුරටත් සඳහන්.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් කියා සිටියේ ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක්දිනයක් සැමරීමට වෙන් වුවද සෑම මොහොතක්ම කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් වෙන් විය යුතු බව තමන් විශ්වාස කරන බවයි.

කාන්තා දිනයට සමගාමීව ආශිර්වාද පූජාවක් කැළණිය රජමහා විහාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ පැවැත්වුණා.

බෝධීන් වහන්සේට මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව කැළණිය චෛත්‍යරාජයාණන් වහන්සේ ආලෝකමත් කිරීම ද සිදුවූයේ අග්‍රාමාත්‍යවරයාගේ සුරතින්.

ආලෝක පූජාවෙන් අනතුරුව කැළණිය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස දී ආශිර්වාද පූජාවක් ද පැවැත්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@@

(07.03.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතවූවන් 290 දෙනෙකු අද (07) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 82,059 ක් ලෙසයි දැක්වෙන්නේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 85,336 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2780 ක් ෴

+++++++++++

අද (07) දිනයේ දී නව ආසාදිතයින් 176 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 85,512 ක්.

තවදුරටත් ආසාදිතයින් 2956 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

කොරෝනා ආසාදිතවූවන් 290 දෙනෙකු අද (07) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 82,059 ක්.

මේ අතර, අද (07) දිනයේත් කොරෝනා ආසාදිතව මිය ගිය 4 දෙනෙකුගේ මෘත දේහ මඩකලපුව – ඕට්ටමාවඩි – සූඩුපත්තිනසේනයි ප්‍රදේශයේදී භූමදානය කරනු ලැබුවා.

ඒ අනුව මේ දක්වා භූමදානය කර ඇති කොරෝනා ආසාදිත මුළු මෘත දේහ සංඛ්‍යාව 24 ක් ෴

++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 502 ක් දක්වා ඉහළ ගියා.

අද (07) දිනයේ දී තවත් නව ආසාදිතයින් 161 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අද (07) දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 337 ක් ෴

++++++++++++++++++++

(07.03.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3324 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම පසුගිය පැය 24 ක කාලය තුළදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයෙක් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන නිරෝධායන නීතිය තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බවත් වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ අහුරාලමින් එම නීතිවලට තවදුරටත් අනුගත වන ලෙසටත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

+++++++++++++++++++

(08.03.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත විසි එක් (21) හැවිරිදි තරුණයෙකු ඊයේ (07) ඉන් පලාගොස් තිබෙනවා.

මොහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 9 ට පමණ අදාළ තරුණයා රෝහලෙන් පලාගොස් ඇති බවට මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ තරුණයා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *