තම පොලිස් සැමියා නිසා දිවි නසා ගත් දියණියගේ මරණයට ඇගේ මව සාධාරණය ඉල්ලයි

තම පොලිස් සැමියා නිසා දිවි නසා ගත් දියණියගේ මරණයට ඇගේ මව සාධාරණය ඉල්ලයි

*********************************************

තම පොලිස් සැමියා නිසා දිවි නසා ගත් දියණියගේ මරණයට ඇගේ මව සාධාරණය ඉල්ලයි

(06.03.2021 – 22:44 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකු සමඟ ෆේස් බුක් ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකින් විවාහ වූ තරුණියක් පසු කාලීනව එල්ලවූ වදහිංසා හේතුවෙන් සිය දිවි නසා ගෙන ඇති පුවතක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ආර්. එල් චන්ද්‍ර ප්‍රභා ජනාදරී නම් 26 හැවිරිදි මෙම තරුණිය පසුගිය වසරේ මාර්තු මාසයේදී ග්‍රෑන්ඩ්පාස් පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරියෙකු හා විවාහ වී ඇත්තේ ෆේස් බුක් ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකට අනුවයි.

අදාළ පොලිස් නිලදාරියා විකෘති ආශාවන්ගෙන් පෙළුණු පුද්ගලයෙකු බවටයි මෙම මව චෝදනා කරන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කල ද ඒ සදහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ.

කෙසේ වෙතත් අදාළ චෝදනාව එල්ල වන දැනට කන්කසන්තුර පොලිසියට අනුයුක්තව සේවය කරන අදාළ පොලිස් නිලධාරීයාව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප සම්බන්ධකර ගත්තා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළ අදාළ පොලිස් නිලධාරියා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

මේ අතර යතුරු පැදියක ගැට ගසා මාවක් ඔයේ ගිල්වා තිබියදී පසුගියදා සොයාගත් මළසිරුර කොහිලවත්ත අංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි සසංක සඳරුවන් යන අයගේ බවට මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ දුරකථන වාර්තා විශ්ලේෂනයකින් පසු කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්ත යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (06) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

***************************************

(07.03.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය දක්වා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ පවතින වියලි කාලගුණ තත්වය සමග ජල හිඟයක් මතුව ඇති බවයි.

කෙසේ වෙතත් ජල කප්පාදුවක් සිදු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අද (07) සිට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඉදිරි දින 3 ක කාලයක් දක්වා මෙම තත්වය පැවතිය හැකි බවයි ෴

***************************************

(07.03.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

හෙට (08) සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවමින් රාජ්‍ය ආයතන යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

මහජන සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්වයට ගෙන ඒමට කාලය පැමිණ ඇති බැවින් එම තීරණය ගත් බවයි එම අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කළේ.

ඊට අදාල චක්‍රලේඛයක්ද පසුගිය 5 වනදා නිකුත් කෙරුණා. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් සියලු රාජ්‍ය ආයතන තවදුරටත් අඛණ්ඩව අනුගමනය කළ යුතුයි.

ඊට අදාල වගකීම ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන බවයි අදාල චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

(07.03.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශවයන්ට මෙතෙක් යුක්තිය ඉටු නොවූ බව පවසමින් කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාව සැමරීම මේ වනවිට දිවයින පුරා කිතුනු දේවස්ථානවලදී සිදුවනවා.

කළු ඇඳුමින් සැරසී කිතුනු බැතිමතුන් දේවස්ථානවලට පැමිණ සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පෙරවරු 08:45 ට ප්‍රහාරය අනුස්මරණය කරමින් සියලු දේවස්ථානවල සීනුව නාද කරන ලෙසටයි කොළඹ අගරදගුරු පදවිය දැනුම්දී ඇත්තේ ෴

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉල්ලා, දිවයින පුරා දේවස්ථානවලදී කිතුණු බැතිමතුන් අද (07) කළු ඉරිදාව සමරනු ලැබුවා.

එහිදී ඔවුන් විනාඩි දෙකක (2) නිශ්ශබ්දතාවකද නිරතවුණා.

හිරු වාර්තාකරුවන් සඳහන් කළේ කළු ඇඳුමින් සැරසී කිතුනු බැතිමතුන් අද (07) උදෑසන සිට දේවස්ථාන වෙත පැමිණි බවයි.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා ෴

***************************************

(07.03.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

දික්ඔය නගරයේ දරවල මාර්ගයේ පිහිටි රෙදි පිළි මැසිමේ වෙලඳසැළක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ඊයේ (06) රාත්‍රි 7 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වි නොමැති අතර වෙළදසැලේ තිබූ රෙදි මැසිමේ යන්ත්‍ර දෙකක් (2) සහ රෙදි පිළි විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

පැතිර යමින් තිබු ගින්න ප්‍රදේශවාසින් එක්ව පාලනය කර ඇති අතර ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

විදුලි කාන්දුක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි පොලිසිය සැකපළ කරනවා.

හැටන් පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේ.

***************************************

(07.03.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලේඛණ සැකසූ සහ වාහනවල කොටස් ව්‍යාජ ලෙස වෙනස් කළ ස්ථානයක් හබරණ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් තුන්දෙනෙකු (3) එහිදී අත්අඩංගුවට ගත් අතර, මෝටර් රථයක් සහ ජංගම දුරකථන 9 ක්ද පොලිස් භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය, කුරුණෑගල සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

(07.03.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණී සංචාරකයන්ගේ සංඛ්‍යාව ජනවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

ජනවාරියේ විදේශ සංචාරකයන් 1,682 කු දිවයිනට පැමිණි අතර, පෙබරවාරි මාසයේ පැමිණි සංඛ්‍යාව 3,366 ක්.

කෙසේ නමුත් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් සංචාරක ආගමනය තවදුරටත් පහළ මට්ටමක පවතින බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

2020 වසර හා සසඳන විට මේ වසරේ ජනවාරි මාසයේ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සියයට 99.3 කින් පහත වැටී ඇති අතර, පෙබරවාරියේ සංචාරක ආගමනය සියයට 38 කින් පහත වැටී තිබෙනවා.

පෙබරවාරි මාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් එනම් 845 දෙනෙකු පැමිණ ඇත්තේ යුක්රේනයෙන් ෴

***************************************

(07.03.2021 – 11:21 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – චලෙයි ප්‍රදේශයේ කැලෑබද කොටසක තිබී උණ්ඩ සහ බෝම්බ තොගයක් සොයාගෙන තිබෙනවා.

මුලතිව් කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම අවි ආයුධ සොයාගෙන ඇත්තේ.

ඒ අතර ආර්.පී.ජී. උණ්ඩ හයක් (6), මෝටාර් උණ්ඩ හතක් (7), පුද්ගලනාශක පීඩන බෝම්බයක් (1) සහ හඳුනා නොගත් වර්ගයේ බෝම්බ හතරක් (4) තිබී ඇති බව සඳහන්.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සඟවා තබන්නට ඇති බවට සැක කෙරෙන අතර, ඒවා නිශ්ක්‍රිය කර විනාශ කර දැමීමට නියමිතයි ෴

***************************************

(07.03.2021 – 09:42 +0530 – sinhala.adaderana.lk)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පත්කර ඇති කොමිෂන් සභාව වෙත නව යෝජනා 10 ක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබේ.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදේණිය මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතේ පමණක් බලපැවැත්විය යුතු බවට වන යෝජනාවක් ද ඉදිරිපත් කළ බවය.

“රටට වැදගත් යෝජනා 10 ක් අපි ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමේදී ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියට අනුකූලව පමණක් සිදුවිය යුතු බවත් එය අවසානයේ සම්මත කිරීම ජනමත විචාරණයකින් පමණක් සිදුකළ යුතු බවත් අපි එතනදි සඳහන් කළා.”

***************************************

(07.03.2021 – 07:39 +0530 – sinhala.adaderana.lk)

හබරණ නවාතැන් පොළක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන පිළියෙල කිරීමේ ස්ථානයක් වැටලීමට හබරණ පොලීසිය විසින් ඊයේ (06) අලුයම පිවරයගෙන තිබුණි.

එහි තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත්, වාහන අංක තහඩු, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික, වාහනවල එංජින් අංක සහ චැසි අංක නිර්මාණය කළහැකි උපකරණ, රජයේ ආයතනවල මුද්‍රා ඇතුළු තවත් විවිධ උපකරණ තොගයක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙනඇති අතර ඔවුන් කුරුණෑගල, දිවුලපිටිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඔවුන් සතුව තිබූ අංක තහඩු රහිත මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

***************************************

වාහන සොරකම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

(06.03.2021 – 10:25 +0530 – sinhala.adaderana.lk)

කූඨ ලේඛන සකස්කර වාහන ජාවාරමක යෙදෙන පුද්ගලයින් දෙදෙනෙකු (2) බස්නාහිර බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුලී පදනම මත ලබාගන්නා වාහන සඳහා ව්‍යාජ ලියාපදිංචි ලේඛන සකස්කර අඩු මුදලකට එම වාහන විකිණීම ජාවාරම්කරුවන් විසින් සිදුකර ඇත.

මුල්ලේරියාව සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු (2) එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සැකකරුවන් තවත් අපරාධ 17 කට පමණ සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර මාතර, අනුරාධපුර සහ මන්නාරම යන ප්‍රදේශවලින් ඊයේ (05) දිනයේදී යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධි 3 ක් වාර්තා වී තිබේ.

පොලීසිය සඳහන් කළේ තංගල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ද සොරකම් කරඇති බවට වාර්තා වූ බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් මෙවැනි සොරකම් කිරීම් සිදුකරන ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවය.

ඒ හේතුවෙන් රියදුරන් සිය වාහන නවතා යෑමේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කළයුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

@@@@@@@@@@@@@@

(07.03.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

කොවැක්ස් පහසුකම යටතේ හිමිවන පළමු එන්නත් තොගය රැගත් ගුවන්යානය කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.

කොවිඩ් මර්දන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත එන්නත් තොගය නිල වශයෙන් බාරදුන් බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත 20% ක එන්නත් ප්‍රමාණයෙන් කොටසක් ලෙසටයි ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ්’ එන්නත් මාත්‍රා 264,000 ක් අද (07) දින අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ.

යුනිසෙෆ් ආයතනය මගින් මිළදී ගනු ලැබූ එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා ශ්‍රී ලංකාවට ලබා දෙනවා.

ඒ අනුව ගෙන එනු ලැබූ එහි පළමු කොටස යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත කටුනායක ගුවන්තොටුපොළේදී නිල වශයෙන් බාරදී තිබෙනවා.

කොවැක්ස් පහසුකම හරහා ලැබෙන එන්නත් කොවිඩ්-19 සඳහා අවදානම් ප්‍රදේශවල අවදානම් කාණ්ඩයට අයත්වන වයස අවුරුදු 60 ට වැඩි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කලේ.

ඊයේ (06) මධ්‍යම රාත්‍රී 12:15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ශීතාගාර පහසුකම් සහිත විශේෂ ප්‍රවාහන ගුවන් යානයකින් කොවැක්ස් එන්නත් තොගය දිවයිනට රැගෙන ආ අතර, පසුව ගුවන් තොටුපල ආනයන ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාර තුළ තැන්පත් කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවැක්ස් පහසුකම අතර ඇති කරගත් ගිවිසුමේ කොටසක් ලෙස සහ නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලයිස්තුවෙන් බලය පැවරෙන පරිදි මාත්‍රා මිලියන 1.44 ක් යුනිසෙෆ් ආයතනය විසින් 2021 මැයි මස අවසානය දක්වා අදියරෙන් අදියර ලබාදෙනු ඇති.

මේ අතර, ඊයේ (06) දිනයේදී කොරෝනා ආසාදිතයින් 376 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 85,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 85,336 ක්.

පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 81,769 ක් වන අතර, තවදුරටත් ආසාදිතයින් 3,074 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එසේම, කොරෝනා ආසාදිත මරණ 04 ක්ද ඊයේ (06) වාර්තා වුණා.

ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 497 ක්.

කොළඹ 9 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ඊයේ (06) මෙලෙස වාර්තාවූ කොරෝනා මරණවලට අයත් වන අතර, දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුද කොරෝනා ආසාදනයෙන් මියගොස් තිබෙනවා.

++++++++++++

@@@@@@@@@

සංගක්කාරගේ බිරිඳ අඩු ‍ආදා­ය­ම්ලා­භි­යකු සේ පෙනී සිට කූට ලේඛන සකසා ඉඩ­මක් පවරා ගනියි. සැමියාගේ මාසික වැටුප රුපි­යල් 7,000 යි ලු.

(07.03.2021 – colombotoday.com)

තන්හාය ජායතී සෝකෝ – තන්හාය ජායතී භයං …

++++++++++++++++

ලෝක පූජිත ක්‍රීඩ­ක­යාගේ බිරිඳ කෝටි ගාණක රජයේ ඉඩ­මක් ගිල්ල හැටි

(06.03.2021 – silumina.lk)

රජයේ ඉඩම් ඉතා සූක්ෂම ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකසා රාජ්‍ය සේවකයන් සහ තැරැව්කරුවන් එක්ව ව්‍යාපාරිකයින්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ විවිධ ව්‍යාපාරික ප්‍රජාවට අලෙවි කිරීමේ ජාවාරමක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කෙරෙන බව තොරතුරු දැනගැනීමේ පනත අනුව හෙළිදරව් කිරීමට ඉකුත් දා හැකි විය.

දඹුල්ල සහ සීගිරිය අවට ප්‍රදේශවල කාලයක් තිස්සේ රජයේ ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩකඩම් වලට ද ව්‍යාජ ඔප්පු සහ බලපත්‍ර දීමනාපත්‍ර සකසා මෙම ඉඩම් ජාවාරම සිදු කරගෙන යන බව ප්‍රදේශය පුරා මහජනතාව දන්නා කරුණකි.

මේ පිළිබඳව කිසිදු අයෙකුගේ අවදානමක් යොමු නොකොට විශාල වශයෙන් සංචාරක හෝටල් සංචාරක කර්මාන්තය මෙන්ම විවිධ බෝග වගා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පැවතිණි. එමෙන්ම ඉඩම් අලෙවි කිරීම කූට ලේඛන සැකසීම පදිංචි සහතික ලබාදීම හැඳුනුම්පත් සැකසීම ආදී සියලු ඉඩම් ගනුදෙනු සඳහා සංවිධානාත්මක ඉඩම් තැරැව්කරුවන් රැසක්ද කිසිදු නීතියකට අවනත නොවී දඹුල්ලේ ක්‍රියාත්මක වෙමින් සිටිති.

කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ව්‍යාජ පදිංචි සහතික, ව්‍යාජ හැඳුනුම්පත් සහ මාසික රුපියල් 7000 කට අඩු ආදායම්ලාභී අයකු ලෙස කූට ලේඛණ සකසා රජයේ ඉඩමක් පවරා දීමේ තොරතුරක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනත හරහා අනාවරණය කරගැනීමට හැකි විය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරී වරයෙක් හදිසි වැඩ තහනමකට ලක් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත තොරතුරු දැනගැනීමේ පනත හරහා මෙම රජයේ ඉඩම් කා විසින් කවුරුන් හට පැවරුවේ ද යන්න විස්තර ඉල්ලා අයදුම්පත්‍රයක් ලබාදීම සිදුකළ අතර එයට ලබා දුන් තොරතුරු අනුව ඉතා සූක්ෂම ලෙස මෙම සුවිශාල වූ හෙළිදරව්ව හෙළි කිරීමට හැකි විය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලත්තාව ප්‍රදේශයේ පදිංචි ‘ඇතුල් පේලිගේ පද්මිණි’ නැමැති කාන්තාවක වන අඩු ආදායම්ලාභී කාන්තාවක විසින් මෙම ඉඩම රජයෙන් පවරා ගෙන භුක්ති විඳිමින් සිට තිබේ.

පසුව ඇයට එම ඉඩම භුක්ති විඳීමෙන් ඉඩම නඩත්තු කරගැනීමට නොහැකි නිසා තවත් අඩු ආදායම්ලාභී කාන්තාවකට පවරා දෙන ලෙස ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව හිමිකම් පැවරීම සඳහා වසමේ ග්‍රාම නිලධාරිවරයා මෙන්ම ඉඩම් නිලධාරි ජනපද නිලධාරිවරයාද හිමිකම් පරීක්ෂා කොට සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදිය යුතුය.

අවසානයේ දී ප්‍රාදේශීය ලේකම් විසින් එම පැවරීම සනාථ කරන අත්සන ඔහු විසින් යොදනු ලැබේ.

රජයේ ඉඩම් නොමිලයේ එසේ පැවරීම සිදුකරනු ලබන්නේ අඩු ආදායම් ලාභී පවුල් වල ආර්ථික සංවර්ධනය ඉටුකිරීම නිසාවෙනි.

ඒ අනුව ඉහළ ඇරෑවුල දඹුල්ල යන ලිපිනයේ පදිංචි බව කියන එහෙත් එහි පදිංචි නැති සුපිරි කතකට මෙම ඉඩම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය ගේ අත්සනින් යුතුව එය දෙසැම්බර් 14 දින පවරා ඇතිබව ලිපි ලේඛණ අනුව සනාත වී තිබේ. පැවරුම්කාරියගේ ස්වාමි පුරුෂයා ගොවිතැන් කරන මෙම දෙපළට දරුවන් නැති බවද ග්‍රාම නිලධාරිවරයා සනාථ කොට තිබේ.

අමතරව පවුලේ මාසිකව රුපියල් 7,000 ක අඩු ආදායම්ලාභී බව ද ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද ග්‍රාම නිලධාරිවරයා සනාථ කොට තිබේ. මෙම කාන්තාව ඉහල ඇරෑවුල දඹුල්ල යන ලිපිනයේ පදිංචි බවට ජාතික හැඳුනුම්පතක ඡායාපිටපතක්ද ලිපි ගොනුවට ඇතුළත් කොට ඇත්තේ පදිංචිය තහවුරු කිරීම සඳහාය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු අනුව එවැනි කතක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි වී හෝ පදිංචි වී නැත. ඉහළ ඇරෑවුල දඹුල්ල යන ලිපිනයේ පදිංචි හෝ ජාතික හැඳුනුම්පතක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නිකුත් කර නැත.

මෙම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ කවුරුන්ද යන්න තහවුරු වී නැත . කාන්තාව අඩු ආදායම්ලාභී කාන්තාවක් බවට ග්‍රාම නිලධාරිවරයා ලිඛිතව පෙන්වා දී ඇති කාන්තාව ‘ප්‍රවීණ ‍ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳ’ බව පසුව හෙළි විය.

තොරතුරු දැන ගැනීමේ පනත අනුව ලබාගත් දත්තයන් වලට අනුව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය කලාපයේ රුඩ් 2 යි පර්චස් 15.1 රජයේ ඉඩමක් මෙසේ එම බිරියට පැවරී තිබේ.

මෙම වැරදි තොරතුරු ලබාදී රජයේ ඉඩම් ලබාදුන් ග්‍රාම නිලධාරීවරයාගේ සේවය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අප දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ. පෙරේරාගෙන් විමසීමක් කළෙමු. ව්‍යාජ ලිපි ලේඛන සකසා රජයේ ඉඩම් පැවරීම සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණයට අනුව ගාම නිලධාරිවරයා ගේ සේවය අත්හිටුවා තිබෙන බවය. උදව් කළ තවත් පිරිස් ඇත්දැයි යන්න විශේෂ පරීක්ෂණයක් පවත්වා එම පිරිසට ද නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය ගෙන් විමසීමේදී කියා සිටියේ : මෙම ලිපි ගොනුවට තමාගේ අත්සන යොදා තිබෙන බව. ඉඩම් හිමිකම් පැවරීමේ සිද්ධියකදී ග්‍රාම නිලධාරීවරයා, ඉඩම් නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් විශේෂ පෝරම් කිහිපයක් පිරවිය යුතු බව. අඩු ආදායම්ලාභියකු බවට සහතික කිරීම එම අයට දරුවන් සිටී නම් ඒ දරුවන්ගේ කැමැත්ත ලබා ගැනීම වෙනත් සම්බන්ධකම් ඇත්නම් එය සනාථ කිරීම විශේෂයෙන්ම ඔවුන් අඩු ආදායම්ලාභී බවට සනාථ කිරීම, පදිංචිය ඇතුලු සියල්ල සලකා බලා තමා අතට මෙම ලිපිගොනු ලැබෙන බව. පහළ නිලධාරින් සනාථ කොට තිබීම හේතුවෙන් තමා එම ඉඩම් පැවරීම සඳහා තම අත්සන යෙදූ බව.

පසුව මෙම ඉඩම වෙනත් වාණිජ කටයුත්තක් සඳහා යොදා ගැනීමට අවැසි බව තමාට ලද දුරකතන ඇමතුමකින් අනාවරණය වූ බවත් පසුව තමන් මෙම ලිපිගොනු පරික්ෂා කිරීමේදී වැරදි තොරතුරු ඇතුළත් කොට ඇති බව අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් හෙතෙම සඳහන් කළේය.

ඉඩම පෙර අයිති ‘පේළියේ පද්මිණී’ යන අයගෙන් අප කළ විමසීමේදී කිවේ තමා හා සැමියා දැඩි අසනීප තත්ත්වයෙන් සිටින නිසා තම ඉඩම ආසන්නයේ තිබෙන ඉඩමේ අයකු ප්‍රතිකාර සඳහා උදව් කොට මුදල් ලබාදුන් නිසා තම ඉඩම ඔහුට පැවරූ බවය. ඉඩම දැනට පැවරී ඇති ඉහළ ඇරෑවුල දඹුල්ල ලිපිනයේ පදිංචි බව කියන අඩුආදායම්ලාභී කාන්තාව හඳුනන්නේ නැති බවය.

තොරතුරු දැනගැනීමේ පනත අනුව මේ ඉඩම් පැවරීමේ ලිපි ගොනු ලබාගෙන පරික්ෂා කිරීමේදී මෙම පැවරීමේ සාක්ෂිකරුවන් ලෙස ඩබ්ලිව්.ජි.අයි. සංජිව අසේල සහ ඩබ්ලිව්.ජි.ඒ.ජි. වර්ණසුරිය යන දෙන්නා අත්සන් තබා තිබේ.

අප මේ පිළිබඳව ඩබ්ලිව්.ජි.ඒ.ජි. වර්ණසුරියගෙන් විමසීමේදී කීවේ තමන්ට හිතවතකු මාර්ගයෙන් අත්සන් තැබූ බවත් මේ පිළිබඳව කිසිවක් නොදැන අත්සන් කළ බවය. එමෙන්ම අනෙක් සාක්ෂිකරු වූ ඩබ්ලිව්.ජි.අයි. සංජිව අසේල කියා සිටියේ ඉඩම පවරාගත් කාන්තාව වසර 10 ක සිට දන්නා හඳුනන නිසා ඇය ඉඩම භුක්ති විඳිමින් සිටි යුවළට උදව් කළ නිසා මේ ඉඩම පැවරීමට අවශ්‍ය කටයුතු සිදුකළ බවය. මෙම ලියකියවිලි වල වරදක් ඇති නිසා ඒ බව ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කළ බව කීවේය. ඉඩම ලබාගත් කාන්තාව සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා සිටියදී කියා සිටියේ ඇය විදේශගතව සිටින බවය.

සීගිරිය විශේෂ වාර්තාකරු

***************************************

උතුරේ වෙනම රටක්‌ හදන්න ඇමරිකාව සල්ලි විසිකරයි

(07.03.2021 – divaina.com)

ඇමෙරිකානු ‘යූ.එස්.ඒඩ්’ නැමැති සංවිධානය උතුරු නැගෙනහිර වෙනම රටක් බවට පත් කිරීම සඳහා දියත් කළ රහසිගත මෙහෙයුමක් රජය අනාවරණය කර ගෙන ඇත. මේ සඳහා ගත වූ කාලය මුළුල්ලේ ඩොලර් මිලියන 500 කට අධික මුදලක් වැය කර තිබේ.

මෙම තොරතුරු හෙළිවීමත් සමඟම ‘යූ.එස්.ඒඩ්’ ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු වූ ‘ට‍්‍රැවිස් ගාඩ්නර්’ නැමැත්තාට රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයට පැමිණ එම රහස් වැඩපිළිවෙළ ගැන කරුණු දක්වන ලෙස නියෝග කර ඇතත් ඔහු එය ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම රහස් වැඩපිළිවෙල භාරව ක‍්‍රියා කළ ද්‍රවිඩ ජාතිකයා රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලය හඳුනා ගෙන ඇත.

මේ අතර ‘යූ.එස්.ඒඩ්’ සංවිධානයේ ප‍්‍රධාන නිලධාරියකු වන ‘ට‍්‍රැවිස් ගාඩ්නර්’ ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා බලපත් ලබාගෙන ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයෙන් බවද හෙළි වී තිබේ.

එහෙත් අදාළ වීසා ලබාගැනීමට නිර්දේශ කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලය විසිනි.

උතුරු නැගෙනහිර වෙනම රටක් කිරීමේ රහස් වැඩපිළිවෙල සඳහා මොනරාගල ප‍්‍රදේශයේ කාර්යාලයක්ද පිහිටුවා ගෙන ඇතැයි පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *