ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කළ කරුණු කිහිපයකට සංශෝධන

ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කළ කරුණු කිහිපයකට සංශෝධන

*********************************************

ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කළ කරුණු කිහිපයකට සංශෝධන

(06.03.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සංශෝධණයට ලක්වී තිබෙනවා.

ලක් රජය ඉදිරිපත් කළ යෝජනා සළකා බැලීමෙන් අනතුරුව අදාළ සංශෝධිත යෝජනාව ඉදිරිපත් කරන බව මානව හිමිකම් මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ඊයේ (05) ඉදිරිපත් කර ඇති යාවත්කාලීන කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මගින් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව සඳහන්.

ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය ප්‍රකාශ කරන පරිදි සංශෝධිත යෝජනාවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය යෝජනා කර තිබූ ආකාරයෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ගේ වත්කම් තහනම් කිරීම හෝ සංචාරක තහනම් පැනවීම ඇතුළත් කර නැහැ.

එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමද නව යෝජනාවට ඇතුළත් නොවන බව සඳහන්.

එමගින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය සාක්ෂි එක් රැස් කිරීම, තහවුරු කිරීම, විශ්ලේෂණය සහ සංරක්ෂණය අවශ්‍ය වන බවයි.

එමෙන්ම මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අනාගත වගවීම් ක්‍රියාමාර්ග තහවුරු කළ යුතු බවයි.

දෙමළ සහ මුස්ලිම් සුළු ජන කොටස් තවදුරටත් කොන්වීම සහ ඔවුන් සම්බන්ධයෙන් බලපෑම් සිදුකිරීම වැළැක්වීම මෙන්ම මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ අවකාශය සුරැකීම වැදගත් වන බවයි.

යුද්ධයෙන් පීඩාවට ලක්වූවන්ගේ පොදු සිහිගැන්වීම් සඳහා සීමාවන් පැනවීම සඳහා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන්ද අවධාණය යොමුවී ඇති බවයි නව යෝජනා කෙටුම්පතේ දැක්වෙන්නේ.

කවර ආකාරයෙන් කවරෙකු විසින් සිදුකළද මෙරට සිදුව ඇති සියලු ආකාරයේ ත්‍රස්තවාදී සහ ප්‍රචන්ඩ අන්තවාදී ක්‍රියා අවිවාදයකින් තොරව හෙළා දකින බවද මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියේ නව සංශෝධනවලට ඇතුළත්.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ඇතුළත්ව තිබූ ප්‍රකාශයද නව කෙටුම්පතේ සංශෝධනය කර තිබෙනවා.

විසිවන සංශෝධනය සඳහා වූ මංපෙත් සහ ක්‍රියාමාර්ග යන්න වෙනුවට එහි දැක්වෙන්නේ විසිවන සංශෝධනය බලගැන්වීම යන වදනයි.

කෙසේ නමුත් ස්වාධීන ආයතනවල ක්‍රියාකාරීත්වය ව්‍යවස්ථා සංශෝධන මගින් තහවුරු විය යුතු බව නව යෝජනාවේද අඩංගු කරුණක්.

***************************************

කොළඹ, වේල්ලවීදියේ කාන්තා ඝාතනයේ සුලමුල සෙවීමට බුත්තල සී.සී.ටී.වී. පරීක්ෂාවක්

(06.03.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා සිදු කරන විමර්ශණ අද (06) තුන්වන (3) දිනටත් ක්‍රියාත්මකයි.

අදාල විමර්ශණවලට සහය දැක්වීම සදහා කොළඹින් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායම සිය පරීක්ෂණ කටයුතු අද (06) උදෑසන ආරම්භ කළා.

වේල්ලවීදියේ පොලිස් ස්ථානාධිපති, ආදුරුප්පු වීදියේ පොලිස් ස්ථානාධිපති ඇතුලු අපරාධ සම්බන්ධ දැනුමක් ඇති නිලධාරීන් අටදෙනෙකු (8) ගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස කොළඹ සිට බුත්තල බලා ඊයේ (05) පස්වරුවේ පිටව ගියා.

මෙම විමර්ශන සඳහා එක්ව සිටින නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඝාතනයට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට බස් රථයකින් පැමිණ බුත්තල නගරයෙන් බැස ගිය ස්ථානයේ සිට ඔහුගේ නිවස දක්වා වන සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඝාතනය සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා බුත්තල නගරයේ සිට ඔහුගේ මිතුරෙකුගේ ආධාරයෙන් යතුරුපැදියකින් නිවස බලා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ. මේ වනවිට එම ප්‍රදේශයේ පුද්ගලයින් තුන්දෙනෙකු (3) ගෙන් මෙම විමර්ශන කණ්ඩායම ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

මීට අමතරව හංවැල්ල පොලීසියද ඝාතනය වූ තරුණිය සහ ඝාතනය සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා නවාතැන් ගත් ලැගුම්හල තවදුරටත් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් අතුරුදන්වූ හිස කොටස සම්බන්ධයෙන් එහිදී කිසිදු හෝඩුවාවක් ලැබී නැහැ.

ඊයේ (05) කැළණි ගං ඉවුර දෙපසද සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ සැකකාර දිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ ඝාතනයට ලක්වූ තරුණිය හංවැල්ල ප්‍රදේශයේ අදාළ ලැගුම්හලක නවාතැන් ගෙන තිබූ බවට අනාවරණ වීමත් සමගයි.

මේ අතර, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා කරේ එල්ලා ගත් බෑගයක් රැගෙනවිත් ඇති බවට අනාවරණ වී ඇති කරුණු අනුව ඝාතනයට ලක්වූ තරුණියගේ හිස එම බෑගයේ දමාගෙන පැමිණ ඇති බවට ද සැක කෙරෙනවා.

ඒ අනුව එම සැකය මත අදාළ පොලිස් පරීක්ෂකවරයාගේ නිවස හා ඒ අවට විශේෂ සෝදිසියක් ඊයේ (05) ක්‍රියාත්මක කෙරුණා.

එහිදී සැකකරුගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳේ ජලය ඉවත් කර එය විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටද පොලීසිය කටයුතු කළා.

ඊට පෙර විශේෂ කැමරාවක් ළිඳ තුලට යොමුකර හිස කොටස එහි තිබේදැයි පරීක්ෂා කළත් එම කිසිදු පරික්ෂාවකදී අදාල තරුණියගේ හිස කොටස සොයා ගැනීමට හැකිවූයේ නැහැ.

***************************************

(06.03.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් අවිධිමත්ව පවත්වාගෙන යන ගල් ව්‍යාපෘති කිහිපයක් හේතුවෙන් තමන් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බව පැල්මඩුල්ල – කිරිවන්දල ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් ඊට විසඳුම් නොලැබුණු බවයි.

වසර 32 ක පමණ කාලයක සිට පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුටිටපිය – කිරිවන්දල ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල්කොරි 4 ක් හේතුවෙන් ඒ අවට පවුල් 50 ක පමණ ජනතාව අර්බුද රැසකට මුහුණ පා සිටිනවා එම ගල්කොරිවල බෝර ගැසීම සහ ගල් කැඩීම හේතුවෙන් අවට නිවාසවලට හානි සිදුව ඇති අයුරුයි මේ.

මේ හේතුවෙන් කුටිටපියල මදුරප්පුලිකන්ද ලකිරිවන්දල ආදී ප්‍රදේශ කිහිපයක ජල උල්පත් සිඳී යාමේ තර්ජනයකටද ජනතාව මුහුණ පා තිබෙනවා.

එමෙන්ම ගම්මානවලට පිවිසීමට ඇති පිවිසම් මාර්ගද මෙම ව්‍යාපෘති හේතුවෙන් අවහිර වී ඇති බවට චෝදනා එල්ල වනවා.

ගම්මුන් එම ප්‍රදේශයේ පවතින ගල්කොරියක් ඉදිරිපිටට ගොස් තිබුණේ අදාළ බලධාරීන් මේ පිළිබඳ දැනුවත් කිරීමටයි.

කෙසේ වෙතත් එහිදී ගල්කොරි හිමියන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

තත්ත්වය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද ගල්කොරියෙහි සේවකයින් බාධා එල්ල කළේ මෙලෙසයි.

කුටිටපිය – කිරිවන්දල ඇතුළු ප්‍රදේශවල ජනතාවට ගල්කොරිවලින් එල්ලවී ඇති පීඩා මගහැරවීමට බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්.

***************************************

(06.03.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් තුන්දෙනෙකුට (3) බරපතල තුවාල සිදුකළ බීමත් රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඔහු සමඟ මෝටර් රථයේ ගමන් ගත් බීමතින් සිටි තවත් පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගත් බවයි.

බීමත්ව රිය පැදවු 49 හැවිරිදි පුද්ගලයා වැල්ලවත්තේ ප්‍රසිද්ධ හෝටලයක කළමනාකරුවෙකු වන අතර, ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා නාරාහේන්පිට පදිංචි 48 හැවිරිදි අයෙක්.

කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිට ඔවුන් උදෑසන පිටව යන අවස්ථාවේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

සිද්ධියෙන් යතුරුපැදි දෙකක (2) ගමන් කරමින් සිටි සිව් දෙනෙකු (4) තුවාල ලැබූ අතර, එහිදී එක් යතුරුපැදියක ගමන් කළ සොහොයුරන් දෙදෙනෙකු ද ඊට අයත්.

ඔවුන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ වැඩිමහල් සොහොයුරා මියගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර කාන්තාවකද සිටින බව සඳහන්. ඔවුන් සියලුදෙනාම වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ මගී බස් රථයක් අද උදෑසන ඇල්ල – හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් බදුල්ල සහ දෙමෝදර රෝහල් වෙත ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.

https://www.youtube.com/watch?v=d3i0TDCXnCI#t=5

***************************************

(06.03.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට පිරිපහදු කළ ඉන්ධන, මාලදිවයිනට අපනයන කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ මාලදිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා හමුවූ අවස්ථාවේදී එම යෝජනාව ඉදිරිපත් කළ බවයි ෴

***************************************

(06.03.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන ‘ගම සමඟ පිළිසඳර’ 13 වන වැඩසටහන මේ වනවිට පැවැත්වෙනවා.

ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වේරගල – මාඳුරාගම ක්‍රීඩා පිටියේදීයි. දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් ප්‍රමුඛ මහජන නියෝජිතයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ විවිධ ආයතන ප්‍රධානීන් සහ නිලධාරින් ද ජනාධිපතිවරයා සමඟ මෙම වැඩසටහනට එක්ව සිටිනවා.

දේශපාලන බලධාරින් සහ නිලධාරින් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙලෙන ආර්ථික හා සමාජ ගැටලු සියැසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් ලබාදී ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම ගම සමග පිළිසඳර වැඩසටහන සැලසුම් කළා.

එහි පළමුවැන්න පසුගිය වසරේ සැප්තැම්බර් 25 වනදා ආරම්භ වූයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්.

පසුව, මාතලේ, රත්නපුර, අනුරාධපුර, අම්පාර හා කළුතර ආදී දිස්ත්‍රික්ක රැසක් ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගම සමඟ පිළිසඳර 13 වන වැඩසටහන අද (06) පැවැත්වෙන ගිරිබාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගම්මානවල ජනතාව සෙසු ප්‍රදේශවලට ද පොදු ගැටලු රැසකින් පීඩා විඳින බවයි.

පානීය සහ වගා ජල හිඟය, වන අලි උවදුර මෙන්ම වැව් අමුණු කැඩී බිඳී යාම එවැනි ප්‍රධාන ගැටළු කිහිපයක් බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දුන්නා.

***************************************

(06.03.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඒ, අරලියගහ මන්දිරයේදීයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සර සමරුවට සහභාගී වීම සඳහා පකිස්ථාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් සහ බංග්ලාදේශ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් මසිහුසාමාන් සර්නියාබාත් යන මහත්වරුන් මෙරටට පැමිණ සිටිනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, අරලියගහ මන්දිරයේදී පැවති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුවන් හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡාවේදී ක්ෂේත්‍ර රැසක් පිළිබඳව අවධානය යොමු වූ බවයි.

ශ්‍රී ලංකාවට ලබා දිය හැකි තාක්ෂණික සහය මෙන්ම, මෙරට ගුවන් හමුදා නිලධාරීන්ට ලබා දිය හැකි පුහුණු පාඨමාලා පිළිබඳව පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අග්‍රාමාත්‍යවරයාට සැලකර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පකිස්ථාන ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා පැවසුවේ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සංචාරයෙන් දින කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමක් සහ වැඩිදියුණු කිරීමක් බවයි.

පකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගාසිටුවීමට ශ්‍රී ලංකාව කළ මෙහෙයට ස්තුති වන්ත වන බවත්, 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ සංචරය කිරීම ලොව සෙසු රටවලට පකිස්ථානයේ ක්‍රීඩා කිරීම සඳහා විශ්වාසය ඇති කිරීමට ඉවහල් වූ බවත්, පකිස්ථාන ගුවන් හමුදාපතිවරයා පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, මීට අමතරව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංග්ලාදේශය යන රටවල කොවිඩ් තත්ත්වය, ආර්ථිකය නගාසිටුවීම, කලාපීය සහයෝගීතාව සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවද අවධානය යොමු වූ බවයි.

***************************************

(06.03.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

සහන මිලට වැලි ලබාදීම සඳහා නව වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් සහභාගී කර ගැනීමටද අපේක්ෂා කරන බවයි.

***************************************

(06.03.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

රජය ගෙනයන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් අදහස් ප්‍රකාශ කළේ එය නිවැරදි මාවතට ගෙන යෑමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

තමන් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ අදහස්වලට ප්‍රතිචාර දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ.

රජය ගෙන යන මාර්ගය ගැටලුකාරී බවත් එය නිවැරදි කරනොගත හොත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා ප්‍රකාශ කළා.

රජය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් එලෙස රජයේ වැඩපිළිවෙළ විවේචනය කිරීම පිළිබඳව මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

කෙසේ වෙතත් අද (06) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී චන්දිම වීරක්කොඩි මහතා සිය ප්‍රකාශය සම්බන්ධයෙන් යළිත් තම ස්ථාවරය පැහැදිලි කළා.

@@@@@@@@@@@@@@@@@

(06.03.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (05) දිනයේදීත් මෙරට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ එම සංඛ්‍යාව 94 ක් බවයි.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 82 කු සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 31 දෙනෙකුද ඊයේ (05) හඳුනාගැනුනා.

ඊයේ (05) දිනය ආසාදිතයන් 350 දෙනෙකු හඳුනාගැනුනු අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84,959 දක්වා ඉහළ ගියා.

ඊයේ (05) තවත් කොරෝනා මරණ 4 ක් වාර්තාවූ අතර, මෙරටින් වාර්තාවන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව පවතින්නේ 493 ක් ලෙසටයි.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද (06) දිනයේදීත් කොරෝනා මෘතදේහ 9 ක් භූමදාන කිරීමට නියමිතයි.

මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නාගලිංගම් මයුරන් මහතා කියා සිටියේ මඩකලපුව – ඕට්ටමාවඩි – සූඩුපත්තිනසේනයි ප්‍රදේශයේදී එම මෘත දේහ භූමදාන කිරීමට නියමිත බවයි.

එම ස්ථානයේ ඊයේ (05) දිනයේදීද කොරෝනා මෘත දේහ 9 ක් භූමදාන කෙරුණා. මඩකලපුව – ඕට්ටමාවඩි ප්‍රදේශයට අමතරව, අම්පාර – ඉරක්කාමන් ප්‍රදේශයද කොරෝනා මරණ භූමදාන කිරීම සඳහා තෝරා ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *