තරුණිය ඝාතනය කළ බුත්තල එස්.අයි. නිවසේ ළිඳට කැමරාවක් – කොළඹිනුත් කණ්ඩායමක් පිටත් වෙයි

තරුණිය ඝාතනය කළ බුත්තල එස්.අයි. නිවසේ ළිඳට කැමරාවක් – කොළඹිනුත් කණ්ඩායමක් පිටත් වෙයි

*********************************************

තරුණිය ඝාතනය කළ බුත්තල එස්.අයි. නිවසේ ළිඳට කැමරාවක් – කොළඹිනුත් කණ්ඩායමක් පිටත් වෙයි

(05.03.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා අද (05) දෙවන (2) දිනටත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

ඒ, කැළණි ගඟ සහ දිවි නසා ගත් උපපොලිස් පරීක්ෂකවරයාගේ බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස ආශ්‍රිතවයි.

අදාළ තරුණිය ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් මල්ල තවමත් අතුරුදන්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරනවා.

විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (05) කොළඹින්, බුත්තලට පිටත්ව ගියා.

සැකකාර දිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ ඝාතනයට ලක්වූ තරුණිය හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන තිබූ බවට අනාවරණ වූ අතර ඇය එහිදී ඝාතනය වන්නට ඇති බවටයි මේ වනවිට තොරතුරු ලැබී ඇත්තේ.

කෙසේ වෙතත්, තවමත් මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා නැහැ.

අදාළ ලැගුම්හලින් ඝාතකයා පිටව යන අවස්ථාවේ අතේ රැගෙන යන ගමන් බෑගය සහ පිටේ එල්ලාගෙන යනු ලබන බෑගයක් ද පැවති ආකාරය විවිධ ස්ථානවලදී ලබා ගත් සී.සී.ටී.වී. දර්ශන මගින් තහවුරු වුණා.

කෙසේ වෙතත්, පොලීසියේ පැවසුවේ ලැගුම්හලට පැමිණ ඝාතනයට ලක්වූ කාන්තාව සතුව පැවති තවත් බෑගයක් ද තවමත් අතුරුදන්ව ඇති බවයි.

ඝාතනය කළ තරුණියගේ හිස එම බෑගය තුල බහා ලැගුම්හල ආසන්නයෙන් ගලා බසින කැළණි ගඟට විසිකර ඇති බවට මතු වූ සැකය මත කැළණි ගං ඉවුර දෙපස ඊයේ (04) මෙන්ම අද (05) දිනයේදීත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව අද (05) දිනයේත් අඹතලේ ප්‍රදේශයේ සිට තොටලග නව කැළණි පාලම දක්වා වූ ගං ඉවුර දෙපස සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකළ පොලීසිය සැකකරු සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඔහු කාන්තා මළ සිරුර සහිත බෑගය වේල්ල වීදියේ දමා පස්වරු 04:10 ට පමණ මොනරාගල – කොළඹ බස් රථයකට ගොඩවන ආකාරය සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබුණා.

මේ අතර, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා කරේ එල්ලා ගත් බෑගයක් රැගෙනවිත් ඇති බවට අනාවරණ වී ඇති කරුණු අනුව ඝාතනයට ලක්වූ තරුණියගේ හිස එම බෑගයේ දමාගෙන පැමිණ ඇති බවට ද සැක කෙරෙනවා.

එම සැකය මත ඝාතකයාගේ නිවස හා ඒ අවට විශේෂ සෝදිසියක් අද (05) ක්‍රියාත්මක කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔහු බුත්තල සිට මිතුරෙකු සමඟ යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති බවට ද වාර්තා වනවා.

එම සෝදිසිය අතරතුර සැකකරු නිවසට පැමිණි අවස්ථාවේ ඇඳ සිටි බවට සැලකෙන කමිසයක් නිවස පිටුපස පුළුස්සා දමා තිබියදී පොලීසිය සොයා ගත්තා.

එම කමිසය සිය පියාගේ බවට ඔහුගේ දියණිය විසින් හඳුනා ගත් බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

පිලිස්සුනු එම කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද නියමිතයි.

එසේම, සැකකරුගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳේ ජලය ඉවත් කර එය තවදුරටත් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පොලීසිය සූදානම් වනවා.

ඊට පෙර විශේෂ කැමරාවක් ළිඳ තුලට යොමුකර හිස කොටස එහි තිබේදැයි පරීක්ෂා කළා.

මේ අතර ඝාතනයට ලක්වූ තරුණියගේ සොහොයුරා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ද තෙප්පනාව ප්‍රදේශයේ පිහිටි මියගිය තරුණියගේ නිවසට ඊයේ (04) පස්වරුවේ පැමිණ තිබුණා.

***************************************

(05.03.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී කසල තේ කිලෝ 24,600 ක් සොයාගෙන තිබෙනවා.

ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි උස්වැටකෙයියාව සහ ඒකල ප්‍රදේශවලදී අද (05) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී ඒකල කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබූ කසල තේ කිලෝ 3900 ක් සහ උස්වැටකෙයියාව අලුත්අක්කරේ ප්‍රදේශයේ ගබඩාවක තිබූ කසල තේ කිලෝ 20,700 ක් සොයාගෙන තිබෙනවා.

මෙම කසල තේ අපනයනය සඳහා සූදානම් කරමින් තිබූ ඒවා බවටයි හෙළිවී ඇත්තේ.

මෙම ගබඩාවල හිමිකරු ඇතුලු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

(05.03.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ නැවතත්, සහල් මිල ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ රජය විසින් ඉහළ මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම ඊට එක් හේතුවක් වී ඇති බවයි.

එමෙන්ම, සම්බා සහල් නිෂ්පාදනය අඩු වීම ද ඊට හේතුවක් වී තිබෙනවා.

ඊට විසඳුමක් ලෙස සුළු කාලසීමාවකට සහල් ආනයනය කර වෙළඳපොල නිකුත් කර සහල් මිල අඩු කිරීමට රජය පියවර ගත යුතු බවයි සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාත්න මහතා කියා සිටියේ සහල් ආනයනය කිරීම, සහල් මිල පාලනය කිරීමට විසඳුමක් නොවන බවයි.

මේ අතර, වැඩි විලට සහල් අලෙවි කළ දහසකට (1000) පමණ මේ වනවිටත් නඩු පවරා ඇති අතර, අදාළ වැටලීම් තවදුරටත් සිදුකරන බවයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, නියමිත මිල ඉක්මවා දිවයින පුරා වෙළඳසැල් රැසක තවදුරටත් සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා ෴

***************************************

(05.03.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගිතා තුළින් දේශසීමාවෙන් ඔබ්බට පැතිරෙන අභියෝගවලට සාර්ථකව මුහුණදිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අද (05) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ජාතිය වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට (2) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වර්ණ ප්‍රදානය කළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක ගුවන් බලඝණය සහ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට මෙලෙස ජනාධිපතිවරයා විසින් වර්ණ ප්‍රදානය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

වර්ණ ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, කටුනායක මූලික ගුවන් හමුදා කඳවුර ද නිරීක්ෂණයට ලක් කළා.

***************************************

(05.03.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනයේදී ප්‍රමුඛ අවශ්‍යතා හඳුනා ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පෞද්ගලික අවශ්‍යතා මත ජාතික වැඩපිළිවෙලක් ගොඩනැගිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙරවලපිටියේ ඉදිවන මෙරට පළමු ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාරය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (05) එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

***************************************

(05.03.2021 – 20:40 +0530 – hirunews.lk/sinhala)

ජා ඇළ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත පැමිණෙන ජනතාවට එහි නිලධාරීන් අකාරුණික අයුරින් සලකන බව ජනතාව පවසනවා.

අද (05) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ ගැටලු සදහා බොහෝ පිරිසක් ජා ඇළ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත පැමිණෙනවා.

එහෙත්, එහි නිලධාරීන් ජනතාව සම්බන්ධව කිසිදු තැකීමක් නොකොට ඔවුන්ව දිගින් දිගටම අපහසුතාවට පත්කරන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා.

මේ අද (05) දිනයේ එම කාර්යාලය වෙත සේවා ලබාගැනීම සදහා පැමිණ සිටි ජනතාවගෙන් කොටසක්.

සේවා ලබාගැනීම සඳහා අළුයම සිට රැඳීසිටියද ඔවුන්ට ආපසු හැරී යන ලෙස කම්කරු කාර්යාලයේ සේවකයන් දැනුම් දී තිබුනා.

පෝලිම්වල දිගුවේලාවක් රැදී සිටි ජනතාවට කාර්යාල සේවිකාවක් පෙරවරු 10:30 ට පමණ පැමිණ ප්‍රකාශ කලේ සේවා ලබාදීමට අදට (05) අංක ලබා දී අවසන් බවයි.

***************************************

පාස්කු කොමිසන් වාර්ථාව දැක්කම අපිට මතක් වෙන්නේ කැකිල්ලේ නඩු තින්දුව – වෛද්‍ය වසන්ත බණ්ඩාර (05.03.2021)

+++++++++++

@@@@@@@@@@@@@@

(05.03.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා තෝරා ගත් මඩකලපුවේ ඕට්ටමාවඩි – සූඩුපත්තිනසේනයි ප්‍රදේශයේදී අද (05) මරණ තුනක් (3) භූමදානය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තවත් මරණ 4 ක් අද (05) භූමදාන කිරීමට කටයුතු කරන බවයි.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ අනිවාර්යයෙන් ආදාහනය කිරීම සඳහා පැවති විධිවිධාන හේතුවෙන් විශේෂයෙන් මෙරට මුස්ලිම් ජන ප්‍රජාව සිය නොසතුට පළ කර තිබුණා.

ඒ පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන සහ අරාබි රටවලින්ද විටින් විට යම් ප්‍රකාශ නිකුත් කරනු ලැබුවා. කෙසේ නමුත්, අදාළ පියවර මෙතෙක් ක්‍රියාත්මක වූයේ කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්.

කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි 25 වැනිදා කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමිදානය කිරීම සඳහා ඉඩ සලසන අතිවිශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළා.

ඒ අනුව ‘මෘතදේහ ආදාහනය කිරීම’ යන්න ‘මෘතදේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම’ යනුවෙන් සංශෝධනයට ලක් කිරීමටයි පියවර ගැනුණේ.

ඉන් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා මෘතදේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් අනතුරුවයි අද (05) පළමුවරට වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කෙරුණේ.

අද (05) දිනයේදී පළමුව භූමදානය කෙරුණේ පසුගිය පෙබරවාරි 25 වැනිදා කුරුණෑගල රෝහලේදී කොරෝනා ආසාදිතව මියගිය 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අයි.ඩී.එච්. රෝහලේදී පසුගිය 02 වැනිදා ජීවිතක්ෂයට පත්වූ 65 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් දෙදෙනාම (2) එරාවූර් ප්‍රදේශයේ පදිංචිකරුවන්. එසේම, කාත්තන්කුඩි රෝහලේදී කොරෝනා ආසාදිතව මියගිය 71 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මෘත දේහය ද අද (05) පස්වරුවේ භූමදානය කෙරුණා.

මඩකලපුව – ඕට්ටමාවඩි ප්‍රදේශයට අමතරව, අම්පාර – ඉරක්කාමන් ප්‍රදේශයද කොරෝනා මරණ භූමදාන කටයුතු සඳහා තෝරා ගෙන තිබෙනවා.

එසේම, මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී.එච්. සුබිහාන් ප්‍රකාශ කළේ තම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල තෝරා ගත් ස්ථානයක කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා හැකියාව පවතින බවයි.

මීට පෙර ඒ සඳහා තෝරා ගැනුණු ඉරණතිව් දූපත් වැසියන් ඊට පසුගිය දින දෙක (2) තුළම විරෝධය පළ කළා.

කෙසේ වෙතත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේ කොරෝනා මරණ භූමදානයට තෝරාගත් ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධයට යහපත් ප්‍රතිචාරයක් ලබන සඳුඳා (08) ට පෙර ලබාදිය හැකි බවයි.

ඉරණතිව් දූපතේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බැවින් කොරෝනා මෘතදේහ මිහිදන් කිරීම සඳහා විකල්ප ස්ථානයක් භාවිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දුන් බව ඔහු කියා සිටියා.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා විකල්ප දූපත් කිහිපයක් හඳුන්වා දුන් බවද මෙහිදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළා ෴

+++++++++

කොරෝනා ආසාදිතව සිටි තවත් 485 දෙනෙකු අද (05) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,321 ක් බවයි ෴

+++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 182 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේවන විට හමුවී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 84,792 ක් ෴

+++++++++++++++++++++

(05.03.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන දින දෙකකට (2) පසුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනා (2) හෘදයාබාධ හේතුවෙන් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව සිටි තවත් 485 දෙනෙකු අද (05) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,321 ක් බවයි.

එසේම, අද (05) තවත් කොරෝනා ආසාදිතයින් එකසිය අසූ දෙදෙනෙකු (182) හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 04 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 493 ක් ලෙසටයි ෴

++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 156 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේවන විට හමුවී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 84,792 ක් ෴

@@@@@@@@@@@@@

හිස නැති මලකඳ : ඇයට රුසියාවෙත් පෙම්වතෙක් සිටියා

(06.03.2021 – aruna.lk)

දිලිනි උපන්නේ රත්නපුරේ කුරුවිට ගම්බද පළාතකය. දුප්පත් ගොවි ගෙදරකය. ඒත් ඇය දකින්නෙකුට එවන් තැනක උපන් කෙනෙක් කියා සිතුණේ නැත. ඒ තරමට දිලිනි තුළ සුන්දර බවක් මෙන්ම පෞර්ෂත්වයක්ද තිබුණේය.

“අනුන්ට ඕන විදිහට ඉන්නේ නෑ. මං ඉන්නෙ මට ඕනෑ විදියට”

පසුගිය කාලයේ ඇගේ ෆේස්බුක් ගිණුමට එම වැකිය එක් කර තිබුණේ ඇගේ ‘හිත’, ඇය හිතනපතන වැඩ කරන විදිය අනුනට කියා පාන්නට මෙනි.

ඒත් දැන් ඒ සියල්ල අවසන්ය. අවුරුදු තිහක් වැනි ජීවිතේ තුනෙන් එකක් ගෙවෙද්දී ඇයට මහපොළොවේ සිව්රියනක් උරුම වුණේය. ඒ ඇය ලෝකයක් තරමට ආදරය කළ ‘එස්.අයි. අප්පච්චි’ගේ පිහි පහරින් බෙල්ල කැපී ගිය නිසාය. ඇයට සිව්රියනේ සැතපෙන්නට වූයේද සැනසිලිදායක නින්දක නම් නොවේ. ඒ සුන්දර වත සහිත හිස කිසිවකුත් නොදන්නා තැනකත්, හිස නැති සිරුර තව තැනකත් මිහිදන් වන්නට සිදුවීමත් නිසාය.

‘ලීනියා කුමාර දුලනිගේ දිලිනි යශෝදා ජයසූරිය’ ජීවත් වුණේ කුරුවිට තෙප්පනාගම බඩෝවිටයි. ඇයට සිටින්නේ අයියා කෙනෙක් පමණි. ඔහු ප්‍රභාත් ජයසූරියයි. ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ලෙස කටයුතු කරන ඔහුත් දිලිනිත් ඔවුනගේ මවත් ජීවත් වූයේ එකම නිවසේය.

“නංගිට අවුරුදු එකොළහක් වගේ කාලෙදි තමයි තාත්තා නැති වෙන්නේ. ඒ ‘හාට් ඇටෑක්’ එකකින්. එතකොට එයා තෙප්පෙනාව ඉස්කෝලේ පහේ – හයේ වගේ ඉගෙන ගන්නවා. මම හිටියේ 12 පන්තියේ. ඊට පස්සේ අම්මා තමයි තේ දලු කඩලා එහෙම අපිව බලා ගත්තෙ. ඊට අවුරුදු දෙකකට – තුනකට පස්සේ මම රස්සාවක් කරන්න ගත්තා.”

දිලිනිගේ සොයුරා ඔවුනගේ විස්තර එසේ කීවත් දිලිනි ඇගේ යහළු යෙහෙළියන්ට කියා ඇත්තේ ඊට වඩා වෙනස් විදිහේ පවුල් තොරතුරුයි. ඈ කී තොරතුරුවල අම්මාත් අයියාත් සිටි මුත් හෘදයාබාදයකින් මිය ගිය බැව් කියන තාත්තා කෙනෙක් හිටියේ නැත.

“දිලිනි අක්කා කියලා තියෙන්නෙ එයාගේ තාත්තා තාම ජීවත් වෙනවා කියලයි. එයා අම්මගෙ බඩේ ඉන්නැද්දි ඒ ගොල්ලන්ගෙ අම්මාගෙ නංගි එක්ක සම්බන්ධයක් ඇති කරගෙන එයාල අතෑරලා ගියා කිව්වා. තාත්තා වැඩකළෙත් පොලිසියේ කියලයි කිව්වේ. ඊට පස්සේ පොලිසියෙන් අයින් වෙලා තාත්තා රට ගියාලු. ඊටත් පස්සේ ඇවිත් ලංකාවේ ජීවත් වෙනවා කිව්වා.

පහුගිය දවස්වල මට කිව්වා, තාත්තා එයා හිටපු තැනකින් ගියා. ඒ දැන් බැඳලා ඉන්න කෙනාගේ ළමයත් එක්ක. එයාගේ මූණ දිහාම බලාගෙන දැක්කත් නොදැක්ක ගානට යන්න ගියා. ඒ වෙලේ හරියට දුක හිතුනා කියලා කිව්වා. තාත්තාගෙ කියලා ෆොටෝ එකක් ෆේස්බුක් එකේ ‘ෆ්‍රොෆයිල් ෆොටෝ’ එකටත් දාගෙන හිටියා. පහුගිය කාලේ දවසක් මට තාත්තගෙ කියලා පින්තූරයක් පෙන්නලත් තියෙනවා.”

ඒ දිලිනි යශෝදරා ළඟින්ම ඇසුරු කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේම ඇගේ මිතුරෙකු කී කතාවකි. අවසන් කාලයේ ඔහුත් ඔහුගේ පෙම්වතියත් ඇයගේ හොඳම මිතුරන් වී සිටියහ. නම හෙළි කරනවාට අකමැති ඇගේ තවත් මිතුරු මිතුරියන් කීප දෙනෙකුටත් දිලිනි යශෝදරා එවන් කතාවක් පවසා තිබුණාය.

දිලිනි පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළ පන්තියෙන් නිම කළ බව කියයි. ඉන්පසු කලින් කලට ඇය පෞද්ගලික අංශයේ රැකියාවන් කීපයක් කර ඇත. ඇඟලුම් කම්හලක වසර ගණනක් වැඩ කළ දිලිනි රක්ෂණ සමාගමකද සේවය කර තිබුණාය. ගෙන් ගෙට ගොස් වතුර ෆිල්ටර් විකුණන රැකියාවක් ද ඇය කළාය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ ඇයට රැකියාවක් ලැබී තිබුණද ස්ථිර නොවීමේ සහ තවත් හේතු නිසා මාස කීපයකින් ඒ රැකියාවද අහිමි වී ඇත. අවසන් කාලයේ ඇය තෝරාගෙන තිබුණේ දුරකතන සමාගමක කඩුවෙල ප්‍රදේශයේ රැකියාවකි. අම්මාගේ අසනීප තත්ත්වය නිසා ඇගේ සොයුරා ඇයව යළි ගමට ගෙන්වාගෙන ඇත. මේ සියලු දේවල් අතරේ පාසල් හැරයාමත් සමග දිලිනි ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජයටද සම්බන්ධ වුණාය. එමගින් යොවුන් පුරයන් සඳහාත් ඇය සහභාගි වූවාය. යෞවන සමාජයේ දී මෙන්ම යොවුන් පුරයේදීත් ඇය බොහෝ මිතුරු මිතුරියන් පිරිසක් හඳුනාගත්තාය.

“එයාට හොඳ නායකත්ව හැකියාවක් තිබ්බා. ඒ නිසා යොවුන් පුරේ නගර සභාවටත් මෙයා එතකොට තේරෙනවා. නගර සභාවට දිස්ත්‍රික්කයකින් ගන්න දෙන්නාගෙන් එක්කෙනෙක් වෙන්නෙ දිලිනි. එහෙම වැඩ කරගෙන හිටපු දිලිනි තමයි පසුගිය මැතිවරණ කාලේ හේෂා මන්ත්‍රිතුමාගේ ඡන්ද වැඩවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්න එතකොටයි මන්ත්‍රීතුමාගේ බොඩිගාඩ් වෙලා හිටපු එස්.අයි. ප්‍රේමසිරි අඳුරගෙන තියෙන්නේ. හැබැයි අපි හැමෝටම කිව්වේ එස්.අයි. දිලිනිගෙ ‘මාමා’ කියලයි. අපිට එයා හඳුන්වලා දීලත් තියෙනවා. එයත් අපිට ‘පුතා’ කියලා කතා කරල තියෙනවා. අපි යාළුවෝ කිසි කෙනෙක් සැක කළේ නෑ. එයාට අවුරුදු පනහයි. දිලිනිට අවුරුදු තිහයිනේ. එහෙම සැකයක් මුලින් හිතුණෙත් නෑ. අපි හෙව්වෙත් නෑ.”

ඇගේ මිතුරු ගොන්නේ තව එක් යහළුවෙක් එසේ කියද්දී ඈ සමග අවසන් කාලයේ ළඟින්ම සිටි යෙහෙළියකටද මේ ‘එස්.අයි. අප්පච්චි’ව දිලිනි යශෝදරා හඳුන්වා දී තිබුණාය.

“අපේ ගෙදර දවසක් ඒ මනුස්සයා එක්ක ආවා. සුදු පාට කාර් එකක. මට කිව්වේ අම්මගෙ මල්ලි කියලා. දිලිනි අක්ක කතා කළේ අප්පච්චි කියලා. තාත්තා නැති නිසා අප්පච්චි කියලා කතා කරනවා කිව්වා. එයාට ඒ එස්.අයි. කිව්වේ දෝණි කියලා. එස්.අයි. මට කතා කළෙත් දෝණි කියලා. තාත්තා නැති නිසා අප්පච්චි තමයි මාව හැම තැනකම එක්කගෙන යන්නෙ කිව්වා. දිලිනි අක්කා එස්.අයි. ගොඩක් ඇවිදින්න ගියා. දවස් දෙක තුන ඇවිදලා එනවා කියලත් කියලා තියෙනවා.”

පසුගිය මැතිවරණ සමය වෙනතුරුත් මන්ත්‍රීවරයාගේ ආරක්ෂක අංශයේ සිටි ‘එස්.අයි. අප්පච්චි’ වන උප පොලිස් පරීක්ෂක අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරි පසුගිය වසරේ බුත්තල පොලිසියේ සේවයට අනුයුක්ත කර තිබුණි. එහි ගිය ද ඔහු දිලිනි බලන්නට බුත්තල සිට කුරුවිටට පැමිණ තිබුණි. ඒත් දිලිනිගේ අයියා කියන්නේ දෙවරකට වඩා ඔහු නිවසට නොආ බවයි.

“බුත්තල ගියාට පස්සේ ‘හෙඩ්ක්වාටර්ස්’ යන ගමන් කියලයි, කොළඹ ඉඳලා බුත්තල යන ගමන් කියලයි දවස් දෙකක් අපේ ගෙදර ආවා. ඒ දවස් දෙකේම මං ගෙදර හිටියා. නංගි එක්ක විශේෂයෙන් කතා බහ කළේ නෑ. මාත් එක්ක කතා කර කර ඉඳලා දවල් කෑම කාලා යනවා කියලා ගියා. මං නැති අතරේ ඊට පස්සේ ගෙදරට ඇවිල්ලත් නෑ. හැබැයි මීට මාස තුන හතරකට කලින් මගේ ටෙලිෆෝන් එකට ගෑනු කෙනෙකුගෙන් කෝල් එකක් ආවා. කතා කළේ එස්.අයි ගේ අක්කා කියලා කෙනෙක්. එයා කිව්වා ‘නංගියි එස්.අයි. අතරෙයි සම්බන්ධයක් තියෙනවා’ කියලා. මම කිව්වා ‘අහලා බලන්නම්’ කියලා. මං නංගිගෙන් ඇහුවා. ‘පිස්සුද අයියේ මට ඔය වයසක මිනිස්සු එක්ක සම්බන්ධකම් තියන්න ඕන නෑ. මට ඒ කතා කරපු කෙනාගේ නොම්මරේ දීපන්, කතා කරලා මං විස්තරේ අහගන්නම්’ කිව්වා. මං ඉතින් නොම්මරේ දුන්නා.”

ඒ දුරකතන අංකය ඉල්ලා ගෙන ඔවුන් කතා කළ දෑ දන්නේ දිලිනිම පමණි. නමුත් එසේ පැමිණි දුරකතන ඇමතුම එතෙකින් නැවතී නොතිබිණි. දිලිනි බොහෝ ඇසුරුකම් පවත්වන යෞවන සමාජ මිතුරු පිරිසේ කෙනෙකුටත් ඒ ඇමතුම ඇවිත් තිබුණි.

“කුරුවිට ‘යූත්’ එකේ කෙනෙකුට කතා කරලා දිලිනිගෙයි එස්.අයි. ගෙයි සම්බන්ධෙ ගැන කෙනෙක් කියලා තිබුණා. ඒ මීට මාස තුන හතරකට කළින්. ඒ කතාව දැනගත්තම යාළුවෝ හැමෝම වාගේ දිලිනි අක්කව අතෑරලා තිබ්බා. මටත් කට්ටිය කතා කරලා කිව්වා ‘දිලිනි ආශ්‍රය කරන්න එපා. ‘අප්පච්චි’ කියලා එක්ක එන මනුස්සයා එයාගේ මාමා නෙවෙයි’ කියලා. ඒත් ඉතින් එයාගෙන් මට වරදක් තිබ්බෙ නැති නිසා මං එයාව අතෑරියේ නෑ. ඒත් මේ දේවල් අපි දන්නවා කියලා දැන ගත්තම දිලිනි අක්කා මාසයක් – දෙකක් කතා කරන්නෙවත් එන්න යන්නෙවත් නැතුව හිටියා. ඒ මනුස්සයා දිලිනි අක්කට හරි ආදරෙන් හිටියේ. හැම වෙලේම කෝල් කළා. ඉල්ලන්නෙ මොනවද ඒ හැමදේම අරන් දෙනවා කියලයි එයා කිව්වේ. කොහොම හරි මට එදා 23 වැනිදා දිලිනි අක්කා කතා කළා. අම්මගෙ අසනීපෙ ගැන තමයි කිව්වේ. ‘අම්මට දැන් හරි අමාරුයි’ කිව්වා. එයාලගේ ගෙවල් ළඟ වෙලාව බලපු තැනකින් කිව්වාලු ‘අම්මට තව සති දෙකයි ආයුෂ තියෙන්නේ’ කියලා. ‘ඒ හින්දා අයියා කන්නෙ බොන්නෙත් නෑ. මට ගෙදරින් එළියට බහින්න බෑ’ කියලත් කිව්වා. ඊට පස්සෙ මට කතා කළේ නෑ.”

ඇය ඒ ළතැවිල්ලෙන් සිට ඇත්තේ මවගේ අසනීප තත්ත්වය නිසා නොව එක් පසෙකින් ඇගේ නිදහස් ජීවිතය සීමා වී තිබූ නිසාය. ඇය ගෙවූ නිදහස් ජීවිතය ගැන ඇයව ළඟින් ඇසුරු කළ හැම කෙනෙක්ම දැන සිටියහ.

“අපි එකට ‘යූත්’ එකේ ‘ප්‍රෝග්‍රෑම්’ කළා. දේශපාලන වැඩ කරද්දී එකට හම්බ වුණා. ඒ හින්දා ගොඩක්ම ‘ෆිට්’ වුණා. යාළුවෝ වුණා. දිලිනි කියන්නෙ කෙල්ලෙක් වුණාට කොල්ලෙක් වගේ වැඩ කරපු කෙනෙක්. එයා උදව් කරද්දි කෙනෙකුට කවුද කෙනා කියලා බැලුවෙ නෑ. අවුරුද්දකට කලින් දෙසැම්බර්වල අපේ තාත්තා නැති වුණ වෙලේ අපේ ගෙදර ඇවිත් දවස් හතක් – අටක් හිටියා. මම පිරිමි ළමයෙක් කියලා නෑ. මට එයාගේ ගොඩක් විස්තර කියනවා. දිලිනිගේ ප්‍රේම සම්බන්ධයක් තිබ්බා. ඒ ‘බෝයි’ හිටියේ රුසියාවේ. මට ෆොටෝ පෙන්නුවා. ගෙවල්වලින් මේ සම්බන්ධෙට ප්‍රශ්න තිබ්බා. මාත් එක්ක ඒ ගැන පහුගිය කාලේ ‘චැට්’ වලිනුත් කතා කළා. ඒ අතරේ ලංකාවේ තව සම්බන්ධතා දෙක – තුනක් තිබ්බා. ඒ අතරේ එයා එක්ක ඇඹිලිපිටිය පැත්තෙත් කොල්ලෙකුත් යාළුවෙලා හිටියලු. ඒ කොල්ලා මේ ගැන කියලා බඳින්න අවසර ඉල්ලන්න ගෙදර එන්න අහද්දි එයා එන්න දුන්නෙ නැතිලු. පසුගිය දවස්වල මෙයා ‘මට ගෙදර ඉන්න බෑ’ කියලා යාළුවන්ටත් මැසේජ් කරලා තිබුණා.”

“එදා එයා සිරිපාදේ යනවා කියලා අවට ගෙවල්වල අයගෙන් කාසිත් අරගෙන අටපිරිකරකුත් ගෙනල්ලා අම්මා වෙනුවෙන් පූජා කරන්න කියලා බෑග් ලෑස්ති කරගෙන එහෙම තමයි ඔය ගිහින් තියෙන්නේ. ඒ 27 වැනිදානේ. විසිහත යන්න කළින් 26 වැනිදා හවස අපේ යාළුවෙකුට එයා ‘වට්ස්ඇප් මැසේජ්’ එකක් දාලා තිබ්බා. ඒකෙ තිබුණේ ‘මල්ලි උඹ කොහෙද ඉන්නෙ? මම ඔයාලගේ ගෙවල් පැත්තෙ එනවා. පොඩි කතාවක් කියන්න තියෙනවා. මට කෝල් එකක් ගන්නවද? මං පොඩි ප්‍රශ්නෙක. මට කියන්න වෙන කෙනෙක් නැහැ. උඹලව දැක්කෙ නැහැ මල්ලී ගොඩක් දවසකින්. දැන් අසනීප හොඳයිද? ‘ඔන්ලයින්’ ආවම ‘මැසේජ්’ එකක් දාපන් මල්ලියා’ කියලයි.”

“ඒක යාළුවා දැකලා තිබුණේ ගොඩක් පරක්කුවෙලා. අදටත් එයා කම්පාවෙන් ඉන්නේ මෙයා කියන්න හදපු ප්‍රශ්නෙ මොකක්ද කියලා අහගන්න බැරි වුණ එකට. අපේ තව ‘ගෲප්’ එකක යාළුවෙකුටත් ‘මැසේජ්’ කරලා තියෙනවා. ‘අඩෝ මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මට ප්‍රශ්න ගොඩක් බං’ කියලා.”

මිතුරාට කියන්නට සිටි ප්‍රශ්නය නොකියාම ඇයට 27 වැනිදා ගමන පිටත් වන්නට සිදු වී තිබුණි. ඇය 27 සිරීපාදේ යන්නට නිවසින් එළියට බහිද්දී ඇය හමුවන්නට බුත්තල සිට ඇගේ ‘එස්.අයි. අප්පච්චි’ ප්‍රේමසිරිද පැමිණෙමින් සිටියේය. ඔහු බුත්තල පොලිසියට කියා තිබුණේ ‘අම්මාගේ තුන් මාසේ දානයට යන’ බවයි.

“සෙනසුරාදා තමයි නංගි සිරීපාදේ ගියේ, යාළුවෝ එක්ක දන්සලක් දීලා අම්බලම් පිරිසිදු කරන්නත් යනව කියලයි ගියේ. එදා රෑ 09:30 ට විතර මම කෝල් එකක් දුන්නා. ආයේ රෑ 10:05 ට විතර නංගි කතා කරලා කිව්වා දැන් ඉන්නේ එරත්නෙ කියලා. ඊට පස්සෙ කතා කරගන්න බැරි වුණේ සිග්නල් නැති හින්දා කියලයි අපි හිතුවේ.”

දිලිනි හැමදාම ගමන් බිමන් ගියා සේ ‘එස්.අයි. අප්පච්චි’ත් සමග ඇත්තටම සිරීපාදේ යන්නට ගියා දැයි දන්නේ නැත. ඒත් ඈ සිරිපාදේ වත් එස්.අයි. ප්‍රේමසිරිගේ මවගේ තුන්මාසේ පින්කටමවත් ගොස් තිබුණේ නැත. එදා රාත්‍රී 10:00 ට පමණ ඔවුන් දෙදෙනාම හංවැල්ලේ හෝටලයට ගොස් ඇත. ඒ එහි 106 කාමරයටයි. හෝටලයේ ගත කළ කාලයේ කීපවරක් ඔවුන් දෙදෙනා හෝටලයෙන් පිටතට ගොස් පැමිණ තිබුණි. නමුත් පළමුවැනිදා උදෑසන 10:00 ට ‘එස්.අයි අප්පච්චි’ හෝටලයේ බිල ගෙවා දමමින් එළියට බසින්නේ තනිවමය. ඔහු අත පැමිණෙන විට නොගෙනා විශාල බෑගයක්ද විය. නවාතැන්පොළ හිමිකාරියට ඔහුත් සමග දිලිනි නැති අඩුව හෝ ඔහු ගෙන යන විශාල බෑගය ගැන හෝ අවධානයක් ද නොතිබිණි. හෝටලයේ සිට ත්‍රීවීලරයකින් බස් නැවතුමට ගොස් බසයක නැගී කොළඹ ගිය ‘එස්. අයි. අප්පච්චි’, අත වූ විශාල බෑගය වේල්ලවීදියේ දමා පැන ගියේය. ඒ ඔහුගේ බුත්තල ගෙදරටයි. හංවැල්ල හෝටලයට දෙපයින් ගිය දිලිනි, වේල්ල වීදියට හිසත් නැතිව බෑගයක ආවේ එහෙමය. දවසකට විසිතිස් වරක් දුරකථන ඇමතුම් දුන්, කියන කියන තැන එක්කගෙන ගිය ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නු, යාළුවන් ඉස්සරහ දෝණිට හුඟක්ම ආදරේ අප්පච්චි ලෙස රඟපෑ එස්.අයි. ප්‍රේමසිරිගේ අතින් හංවැල්ල හෝටලයේදී මියගොස් තිබිණි. ඒ සිරුරින් හිස කපා වෙන් කර කවන්ධය පමණක් බෑගයට දමාගෙන යන්නට ඇත්තේ මිනීමරුවකු වූ බයටය. ඇගේ සුන්දර සිනාවෙන් පිරි මුහුණ සහිත හිස තවමත් අතුරුදන්ය. ‘කළ දේ පළ දේ’ කියන්නා සේ ඔහුගේ හෘද සාක්ෂිය නිහඬව නොසිට ඔහුටද ඒ ඉරණමම අත්කර දුන්නේය. පොලිසිය ඔහු සොයා යද්දී කැලයට පැන වස පානය කොට ගෙළ වැළලාගෙන මියගියේ ඒ හෙයිනි. ඒත් ඔහු නිර්දෝෂී වන්නට, මරණය පෙනෙන්නට ගත් මොහොතේ කොළයක් පෑනක් ගෙන ආදරණීය බිරින්දෑටත්, දරුවන්ටත් ලෝකයට පේන්නට ලිපියක් ලියා ඇත. එහි දිලිනි වරදකාරියක කර ඇත්තේ තමන් කෙරේ අනුකම්පාවක් දිනා ගන්නට වන්නට ඇත. ඒත් මියෙන්නට මොහොතකට පෙර දිලිනිටත්, පෑනක්, කොළයක් හමු වුණා නම් මේ කතාව සමහර විට මීට වඩා වෙනස් ලෙස කාටත් අසන්නට ලැබෙනු ඇත.

බියංකා නානායක්කාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *