ශ්‍රී ලංකාවට චීන සහය ස්ථිරයි – චීන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවට චීන සහය ස්ථිරයි – චීන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් සහතිකයක්

*********************************************

ශ්‍රී ලංකාවට චීන සහය ස්ථිරයි – චීන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් සහතිකයක්

(05.03.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට චීනය සහතික වී තිබෙනවා.

චීනයේ විදේශ සබඳතා නියෝජ්‍ය අමාත්‍ය ලුඕ ෂාඕහුයි මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පෙරේදා (03) හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කල බවයි බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමට එක්කර තිබූ නිවේදනයක දැක්වුනේ.

කොරෝනා වසංගත තත්වය කළමනාකරණයට සහය ලබා දීමට සහ මෙරට සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට අවශ්‍ය සහය ලබා දෙන බවටද එහිදී විදේශ සබදතා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ දැන් පැවැත්වෙන එහි 46 වන සැසිවාරයට එක්වූ චීන නියෝජිතයාද ශ්‍රී ලංකාවට සහය පළ කරමින් කරුණු දක්වනු ලැබුවා.

ඔහු එහිදී කියා සිටියේ රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාව මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් බවයි.

චීනයේ විදේශ සබඳතා නියෝජ්‍ය අමාත්‍ය ලුඕ ෂාඕහුයි මහතා සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා අතර පැවති සාකච්ඡාවේදී චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳවද අදහස් හුවමාරු වී තිබෙනවා ෴

***************************************

(05.03.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

පූජා භූමි ආශ්‍රිතව අලෙවි කෙරෙන පොලිතීන් මල් මාලා භාවිතයෙන් ඉවත් වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරනවා.

ඒ, කතරගම පුදබිම ආශ්‍රිතව සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසින්.

කතරගම ආශ්‍රිතව මල්මාලා නිෂ්පාදනය කර ජීවිකාව ගෙන ගිය පුද්ගලයින්ට පොලිතීන් මල්මාලා වෙනුවට ආදේශකයක් ලෙස කඩදාසිවලින් මල් මාලා නිෂ්පාදනය කිරීමට ජාතික ශිල්ප සභාව හරහා මේ වනවිට පුහුණුවක්ද ලබාදී තිබෙනවා.

එසේම, දිවයිනේ සියලුම පූජා භූමි ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලීතින් භාවිතය පාලනය කිරීම අත්‍යවශ්‍ය බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ මස 22 වැනිදා සිට කතරගම පුදබිම ආශ්‍රිතව මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා මල්මාලා නිෂ්පාදකයින් සමඟ එකඟතාවයකට පැමිණි බවයි මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා සරෝජනී ජයසේකර මහත්මිය කියා සිටියේ ෴

***************************************

(05.03.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි මාසය අවසානයේ මෙරට විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.6 දක්වා පහත වැටී තිබෙනවා.

මහ බැංකුවේ අතුරු ඇස්තමේන්තුවලට අනුව මෙලෙස සංචිතය පහත වැටී ඇත්තේ ඉන්දියානු සංචිත බැංකුව සමඟ ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුවක් සිදුව තිබියදීයි.

ජනවාරි මාසය අවසානයේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 4.8 ක් වූ අතර, පසුගිය වසර අවසානයේ එය ඩොලර් බිලියන 5.6 ක් ලෙස පැවතුණා.

විදේශ සංචිතය ගොඩනැගීමේ පියවරක් ලෙස මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 28 ක විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ හුවමාරු ලබාගෙන ඇති අතර, ඩොලර් මිලියන අටක (8), අපනයන ආදායම්, විනිමය හුවමාරු ලබාගෙන තිබෙනවා.

අපනයනකරුවන්ගේ විදේශ විනිමය ගලනයන් ගෙන් සියයට 12.5 ක් දේශීය මුදලට හුවමාරු කළ යුතු බවට මහ බැංකුව පසුගියදා රෙගුලාසියක් පනවනු ලැබුවා ෴

***************************************

(05.03.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

ගන්දර – නාකුට්ටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

47 හැවිරිදි සැකකරු මාතර – කැකනඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම නාකුට්ටිය ප්‍රදේශයේදීම ඊයේ (04) රාත්‍රියේ හෙරොයින් ග්‍රෑම් 5.6 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

37 හැවිරිදි ඔහුද කැකණදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනාම අද (05) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(05.03.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථාන ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජහිඩ් අන්වර්ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා.

පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උත්සවයේ ආරාධිතයෙකු ලෙසයි.

ඔහු ඊයේ (04) අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවැසි ඕනෑම අවස්ථාවක පාකිස්ථානයේ නියත සහය ලබාදෙන බව අවධාරණය කළා.

එමෙන්ම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නංවන බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

මේ අතර පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් දෙරට අතර වෙළඳ සහ ආර්ථික සබඳතා ඉහළ නැංවීමේ මංපෙත් විවර වූ බව පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ලාහෝර් නුවරදී එරට ව්‍යාපාරික ප්‍රජාව අමතමින්.

ලාහෝර් වානිජ හා කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධාන කළ හමුවක් අමතමින් මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ පාකිස්ථානය, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව අගනාම තේ වැඩි වශයෙන් මිලදී ගත යුතු බවයි ෴

***************************************

(05.03.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

අදට යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන දිනය නිමිත්තෙන් සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහි සමාරම්භක අවස්ථාව අද පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරුණේ දුම්රිය මගීන්ට පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණින්.

ඒ අනුව අද දිනයේදී සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන් සිදු කෙරෙන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ ෴

***************************************

(05.03.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා රැඳවියන්ගෙන්ම සමන්විත විශේෂ කණ්ඩායම් යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘති වැලිකඩ, කොළඹ රිමාන්ඩ් හා මැගසින් යන බන්ධනාගාරවල මේ වනවිටත් ක්‍රියාත්මක බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

එසේම පාතාල ගණයේ රැඳවියන්ට අදාළ නඩු, වීඩියෝ තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කළ බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළා ෴

***************************************

(05.03.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 9,08,16,000 ක් පමණ වටිනා දුම්වැටි අඩංගු බහාලුමක් ග්‍රැන්ඩ්පාස් රේගු අංගනයේ තිබී අද (05) සොයා ගැනුනා.

අදාළ බහාලුම රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා ඉදිරියේ විවෘත කෙරුණු අතර, දුම්වැටි තොගය චීනයේ නිෂ්පාදිත ඒවා බවට හඳුනා ගෙන තිබෙනවා.

යකඩ බට තුළ සැඟවූ දුම්වැටි කාටුන් 7568 ක් පමණ මෙහි අඩංගු බව සඳහන්.

අදාළ භාණ්ඩ මෙරටට ගෙන්වු පුද්ගලයා සහ එම ආයතනයේ වාප්පු ලිපිකරු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ප්‍රධාන පෙලේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යකඩ සහ පලංචි ආනයනය කරන ව්‍යාපාරියෙකු විසින් මෙම දුම්වැටි සැඟවූ පලංචි කණු චීනයෙන් කොළඹ වරායට රැගෙන විත් තිබුණේ පසුගිය 28 වනදායි ෴

***************************************

(05.03.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව වැරදි සහගත සහ තහවුරු නොකළ බාහිර මූලාශ්‍ර මත පදනම් වී ඇති බවට, ලක් රජය ජගත් මානව හිමිකම් කොමිසම වෙත දැනුම්දීමක් කරනවා.

එමෙන්ම එය මානව හිමිකම් මණ්ඩලය නිර්මාණය කිරීමට ඉවහල් වූ සර්ව සාධාරණත්වය, පක්ෂපාතී භාවය, විෂය මූලිකත්වය සහ වරනයකින් තොරව සමානත්වයෙන් සැළකීම යන ප්‍රතිපත්ති උල්ලංඝනය කරන්නක්.

ඒ අනුව මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රකාශ කරන ආකාරයේ ජාත්‍යන්තර මට්ටමේ වගවීම් විකල්පයන් ලක් රජය ප්‍රතික්ෂේප කරනු ලබනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත වාර්තා කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගද එලෙස ප්‍රතික්ෂේප කරන බවයි ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව ගොනුකළ පිළිතුරු වාර්තාවේ දැක්වෙන්නේ.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ශ්‍රී ලංකාව සපයන පිළිතුරු වාර්තාව මුළුමනින්ම ප්‍රකාශයට පත් කරන ලෙසද ලක් රජය ඉල්ලා සිටියා.

ඒ අනුව එය ජගත් මානව හිමිකම් මණ්ඩලය මගින් දැන් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ පූර්ව විනිශ්චයන් සහිතව දේශපාලනීකරණය වූ අගතිගාමී වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ලක් රජය කණස්සල්ල පළ කරනවා.

එමගින් සීමාවන් ඉක්මවූ, අසාධාරණ ක්‍රියාමාර්ග යෝජනා කර ඇති අතර, එය ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් ලෙස සැළකිය හැකියි.

එමෙන්ම එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියද උල්ලංඝනය කිරීමක්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කරගැනීමක් හෝ ඉවත දැමීමක් සිදුකර නැහැ.

ඒ පිළිබඳව පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු මෙන්ම ආගමික නායකයන්, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන ඇතුලු අංශ වෙතින් අදහස් ලබාගැනීම සිදු කෙරෙනවා.

සංවර්ධන සහ සංහිඳියා අංශවල ප්‍රගතිය සැළකිල්ලට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති යළි සළකා බැලීමට රජය කටයුතු කරමින් සිටින බවයි ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ගොනු කෙරුණු ලක් රජයේ පිළිතුරු වාර්තාවේ දැක්වෙන්නේ.

***************************************

(05.03.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළ කාලසීමාවේ කිසියම් පිරිසක් මෙරටට කඩු 6000 ක් ගෙන්වීමේ සිද්ධියට අදාළව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ගොනුකළ රිට් පෙත්සම සළකා බැලීම ලබන 31 වනදා දක්වා කල් දැමුණා.

ඒ, අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ අද (05) කැඳවූ අවස්ථාවේදියි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ අවන්ති පෙරේරා කියා සිටියේ මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මොනවාදැයි ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් විමසා අධිකරණයට කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසයි.

අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන පෙත්සම අද (05) කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 31 වනදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.

පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නමැත්තාගේ අවශ්‍යතාවයකට මේවා ගෙන්වා තිබෙන බවට තොරතුරු වාර්තාවී ඇති බවයි අදාළ පෙත්සමේ දක්වා ඇත්තේ.

***************************************

(05.03.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට ගුවන් තලයේ ආරක්ෂකයන් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විශේෂ ගුවන් සංදර්ශනයේ අවසන් දිනය අදයි.

මහජනතාවට විවෘත එම සංදර්ශනය, විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

එමෙන්ම මෙම ගුවන් සංදර්ශනය සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ යානා 23 ක් එක්ව සිටින අතර, එය ඉන්දියාවෙන් පිටත විශාලතම ගුවන් යානා යෙදවුම ලෙසයි සැළකෙන්නේ.

මෙවර ගුවන් හමුදා සංවත්සර සැමරුම් සංදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇති විශේෂ අවි පද්ධතියක් පිළිබඳව විශාල අවධානයක් යොමුව තිබෙනවා.

මෑත කාලයේදී වෙසෙසින් සංවර්ධණය වූ ඩ්‍රෝන තාක්ෂණය ප්‍රහාර සඳහා යොදාගැනීමේ අවස්ථා ලොව යුද බිම් රැසකින් වාර්තාවුණා.

එලෙස තර්ජනාත්මක ඩ්‍රෝන හඳුනාගැනීම සහ ගුවනේදීම විනාශ කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති අවි පද්ධතියක් ගුවන් ප්‍රදර්ශනයේදී දැකගත හැකියි.

ඉන් එක් උපකරණයක් මගින් ඩ්‍රෝන සංචරණය, අවහිර කරන අතර, ඍජුවම එය විනාශ කළ හැකි අවියක්ද ගුවන් ප්‍රදර්ශනයේදී දැකගත හැකිවනු ඇති.

***************************************

(05.03.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

තරුණියක ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් මල්ලක් අතුරුදන්වී ඇති බවට සිදුව ඇති අනාවරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

පසුගිය දෙවනදා අලුයම මෙම උප පොලිස් පරීක්ෂකවරයා බඩල්කුඹුර ප්‍රදේශයේ සිය නිවසට පැමිණ ඇති අතර, එහිදී ඔහු සතුව එම ගමන් මල්ල තිබූ බවට බිරිඳද තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් නිවස ආසන්නයේ පිහිටි ළිඳෙහි ජලය ඉවත් කර පරීක්ෂා කර ඇති අතර, අවට කැලෑ ප්‍රදේශද සෝදිසි කර තිබෙනවා.

මේ වනතුරුත් අතුරුදන්ව ඇති බව කියන බෑගය සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නැහැ.

එමෙන්ම කොළඹ සිට මොණරාගල දක්වා සැකකරු පැමිණි බස් රථය සහ එහි ගමන් කළ මගීන් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ කරගනිමින් සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

තරුණිය සමඟ උප පොලිස් පරීක්ෂකවරයා රැඳී සිටි ලැගුම් හල ආසන්නයේ පිහිටි කැළණි ගඟ දෙසටද මොහු ගමන් කරන ආකාරය සී සී ටී වී දර්ශනවල දැක්වෙන බවයි වාර්තාවන්නේ.

ඒ අනුව එම ප්‍රදේශයේ කැළණි ගඟේ පතුල පිරීක්සීමේ කටයුතු අද දිනය තුළ සිදුවනවා.

ඝාතනයට ලක්වූ තරුණියගේ සහ ඇයගේ මවගේ සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර, එහි වාර්තාව ලැබීමට සතියක පමණ කාලසීමාවක් ගතවනු ඇති බවයි වාර්තාවන්නේ.

***************************************

(05.03.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

වැලි ජාවාරම නැවැත්වීමට සහ වැලි මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා සමුපකාර සමිති ක්‍රමයක් මගින් වැලි කැණීම් කටයුතු හා බෙදා හැරීම් සිදු කිරීමට පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබෙනවා.

ඒ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සමඟ එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී වැලි මිල ඉහළ යාම පාලනය, වැලි බෙදාහැරීමේදී ජාවාරම්කරුවන් පිරිසක් විසින් අධීක ලෙස මුදල් අය කරමින් මහජනතාව ගසා කෑම, මහවැලි ගඟෙහි වැලිවලට වෙනත් වැලි වර්ග කලවම් කර අලෙවි කිරීම, ඇණවුම් කරන නියමිත ප්‍රමාණයෙන් වැලි මහජනතාවට නොලැබීම වැනි කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

මනම්පිටියේ වැලි කියුබ් 03 ක වැලි ටිපර් එකක් රුපියල් 14,000 ක් වැනි මිලක් වුවද, ඒවා කොළඹ ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව අලෙවි වන්නේ රුපියල් 65,000 ක් වැනි මුදලකටයි.

ඒ හේතුවෙන් වැලි මිල ඉහළ යාම වැළැක්වීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් වහාම සකස් කරන්නැයි මෙම සාකච්ඡාවේදී පරිසර අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව වැලි ජාවාරම නැවැත්වීමටත්, වැලි මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා සමුපකාර සමිති ක්‍රමයක් මගින් වැලි කැණීම් කටයුතු හා බෙදා හැරීම් සිදු කිරීමට මෙහිදී යෝජනා වූ බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව මඩකලපුව, ත්‍රිකුණාමලය හා පොළොන්නරුව දිස්ත්‍රික්ක තුනෙහි තෝරා ගන්නා ලද ස්ථාන 06 ක් ආශ්‍රිතව වැලි කැණීම්කරන්නන්ගේ සමුපකාර සමිති පිහිටුවීමත්, වැලි කැණීම හා ප්‍රවාහනය සඳහා නියාමන ව්‍යාපෘතියක් එම දිස්ත්‍රික්ක 03 ආශ්‍රීතව ක්‍රියාත්මක කිරීමටත් තීරණය වී තිබෙනවා ෴

***************************************

(05.03.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ සහ අමරපුර නිකායන්හි මහානායක හිමිවරුන් වෙත පිළිගන්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඊයේ (04) සහ අද (05) දිනයේදී ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින් එය පිළිගැන්වූ බවයි.

රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට ඊයේ (04) පස්වරුවේ එම වාර්තාව පිළිගන්වා තිබෙනවා.

එමෙන්ම, අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමිපාණන්ට අද (05) පෙරවරුවේ එම වාර්තාව පිළිගන්වා ඇත්තේ කෑගල්ල ගන්තුන උග්ගල පුරාණ විහාරයේදීයි.

මේ අතර, පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළ කාලසීමාවේ කිසියම් පිරිසක් මෙරටට කඩු 6000 ක් ගෙන්වීමේ සිද්ධියට අදාළව කාදිනල් හිමිපාණන් ගොනුකළ රිට් පෙත්සම සළකා බැලීම ලබන 31 වනදා දක්වා කල් දැමුණා.

ඒ, අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ අවන්ති පෙරේරා ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් විමසා අධිකරණයට කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසයි.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නම් කිරීමට රජය තවදුරටත් අපොහොසත්වීම නිසා කාදිනල් හිමිපාණන් ඊට විරෝධය දක්වමින් නම් කළ කළු ඉරිදාට සිය පක්ෂයේ සහයෝගය ලබාදෙන බව සමගි ජනබලවේගය අද (05) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පැනගිය බවට සැලකෙන සාරා නමැත්තිය පිළිබඳ අනාවරණයක් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් සිදුකළා.

***************************************

(05.03.2021 – 16:02 +0530 – hirunews.lk/sinhala)

ජාතිය වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට (2) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වර්ණ ප්‍රදානය කර තිබෙනවා.

ඒ අද (05) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති උත්සවයකදීයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක ගුවන් බලඝණය සහ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට මෙලෙස ජනාධිපතිවරයා විසින් වර්ණ ප්‍රදානය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඒ සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, මේ වනවිට ජනපති වර්ණ 13 කින් පිදුම් ලැබ තිබෙනවා.

වර්ණ ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, කටුනායක මූලික ගුවන් හමුදා කඳවුර ද නිරීක්ෂණයට ලක් කරනු ලැබුවා ෴

***************************************

හෙට (06) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 20 ක ජල කප්පාදුවක්

(05.03.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සැපයෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (06) පෙරවරු 9 සිට පැය 20 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, කොළොන්නාව නගර සභා ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

@@@@@@@@@@@@@@

(05.03.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග වසා දැමුනු බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ සියලු වෙළෙන්දන් සඳහා අද (04) කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ.

එමෙන්ම ඊයේ (03) දිනයේදීත් තවත් කොරෝනා මරණ 05 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 489 දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයන් 351 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 84,610 දක්වා ඉහළ ගියා.

මේ අතර, මේ දක්වා එන්නත්කරණයට ලක්කර ඇති වැඩි පිරිසක් වයස අවුරුදු 30 ත් 39 ත් අතර පසුවන්නන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ලක්ෂ 6 කට වැඩි පිරිසකට මේ වන විට එන්නත් ලබාදී ඇති අතර ඉන් වැඩිම පිරිසක් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ සාමාජිකයන්.

ඒ අනුව වයස අවුරුදු 30 ත් 39 ත් අතර සියයට 30 ඉක්මවූ පිරිසක් මේ වන විට එන්නත්කරණයට ලක් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන් සදහා කොරෝනා එන්නත් ලබා දීම අද (04) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කිරීමට නියමිතයි ෴

++++++++++++++++++++++

(05.03.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුළ ගුවන් යානා 18 ක මෙහෙයුම් කටයුතු සිදුකරමින් ගුවන් මගීන් 1161 දෙනෙකුට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් ගුවන් පහසුකම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ගුවන් මගීන් 568 දෙනෙකු ගුවන් යානා 8 කින් දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.

කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි 90 දෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණ 83 දෙනෙකු ද ඊට ඇතුළත්.

එමෙන්ම ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති ගුවන් මගීන් සංඛ්‍යාව 593 ක් ෴

++++++++++++++++++++

(05.03.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මෘත දේහ භූමදානය කිරිම සඳහා හට ගෙන ඇති අර්බුදයට හොඳම විසඳුම වන්නේ මන්නාරම – මුසලි ප්‍රදේශයේ එම මෘතදේහ මිහිදන් කිරීම බව මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී.එච්. සුබිහාන් පවසනවා.

මේ වනවිට සෞඛ්‍ය බලධාරින් විසින් කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ ඉරණතිව් දූපතයි.

කෙසේ වෙතත්, දූපත්වාසීන් එම තීරණයට විරෝධය පළ කරමින් පසුගිය දින දෙක තුලම විරෝධතාවල නිරත වුණා.

එවැනි පසුබිමක් තුල මුස්ලිම් ප්‍රජාව වැඩි වශයෙන් වාසය කරන මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා මෘතදේහ භූමදානය කිරිමට හැකියාව පවතින බව එහි සභාපති ඒ.ජී.එච්.සුබිකන් ප්‍රකාශ කළා.

මේ අතර, බදුල්ල පළාත්බද මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකයෙන් කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් එක් අයෙකු වෛද්‍යවරයෙකු වන අතර, 20 දෙනෙකු පිළිකා රෝගීන් බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රෝගීන් රැකබලාගැනීම සඳහා පැමිණි අටදෙනෙකුද ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

පසුගිය 2 වනදා බදුල්ල පළාත්බද මහ රෝහලේ මෙම පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකයේ සේවය කළ හෙද නිලධාරිනියක් සහ ඇගේ මව කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයන් වාර්තාවී ඇති බව සඳහන්.

ඊයේ (04) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 384 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 78 ක්.

ඊට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 64 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 04 වනදායින් පසු ආරම්භ වූ කොරෝනා දෙවන රැල්ලට අදාළව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 30,038 ක් වාර්තා වි තිබෙනවා.

එම කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,745 ක්.

කොරෝනා දෙවන රැල්ලට අදාලව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6,240 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,089 ක් හඳුනාගෙන තිබෙනවා.

මේ වනවිට කොරෝනා දෙවන රැල්ලේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,588 ක්.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 84,610 ක් වන අතර, ඉන් 80,836 ක් පූර්ණ සුවය ලබා ඇති බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මේ අතර මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලද රුසියාවේ ස්පුට්නික් ෆයිව් එන්නත කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අදාළ එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනය සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතක් වන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට තුළ ජනතාවට ලබාදීම සිදු කෙරෙන අතර, මේ දක්වා ලක්ෂ 6 කට වැඩි පිරිසකට එම එන්නත ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කොරෝනා ආසාදිතයන්ගේ මරණ මඩකලපුව ඔට්ටමාවඩි සහ අම්පාර ඉරක්කාමම් ප්‍රදේශවල භූමදානය කිරීමට අවසර ලබාදුන් බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා ෴

+++++++++++++++++++

(05.03.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

යුනිසෙෆ් සංවිධානය විසින් ශ්‍රී ලංකාව සඳහා ලබාගන්නා ලද කොරෝනා එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් ලබන ඉරිදා (07) දිවයිනට ළඟාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොවැක්ස් යනු අඩු සහ මැදි ආදායම්ලාභී රටවල් 92 කට කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පිහිටවනු ලැබූ වැඩපිළිවෙලයි.

ඒ යටතේ කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 1.44 ක් දිවයිනට ලැබෙන අතර, ඉන් පළමු තොගයයි ඉරිදා දිවයිනට ළඟාවන්නේ.

එම එන්නත් වයස අවුරුදු 60 ට වැඩි අධි අවදානම් කලාපවල වෙසෙන පුද්ගලයන් සඳහා ලබාදීමට නියමිතයි.

කොවැක්ස් වැඩසටහන යටතේ යුනිසෙෆ් සංවිධානය මේ වසර තුළ ලොව පුරා බෙදාහැරීම සඳහා කොරෝනා එන්නත් මාත්‍රා බිලියන දෙකක් (2) ලබාගනු ඇති.

එමඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන පළමු කොරෝනා එන්නත් තොගය ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *