මොරටුව සරසවියේ යෝජිත වෛද්‍ය පීඨයට පස්දුන් රට ජාතික අධ්‍යාපන පීඨ පරිශ්‍රය යොදාගැනීමට අවසන් තීන්දුවක් ගෙන නැහැ – අධ්‍යාපන රාජ්‍ය ඇමති

මොරටුව සරසවියේ යෝජිත වෛද්‍ය පීඨයට පස්දුන් රට ජාතික අධ්‍යාපන පීඨ පරිශ්‍රය යොදාගැනීමට අවසන් තීන්දුවක් ගෙන නැහැ – අධ්‍යාපන රාජ්‍ය ඇමති

*********************************************

මොරටුව සරසවියේ යෝජිත වෛද්‍ය පීඨයට පස්දුන් රට ජාතික අධ්‍යාපන පීඨ පරිශ්‍රය යොදාගැනීමට අවසන් තීන්දුවක් ගෙන නැහැ – අධ්‍යාපන රාජ්‍ය ඇමති

(04.03.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

මොරටුව විශ්වවිද්‍යාලයේ යෝජිත වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා පස්දුන් රට ජාතික අධ්‍යාපන පීඨ පරිශ්‍රය යොදාගැනීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ‘ආටිකල් ෆෝටීන්’ විශේෂාගයට එක්වෙමින්.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සංවාදයට එක්වුණේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා.

***************************************

(04.03.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

දින 14 ක් තුල වත්කම්-බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයෙන් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට උපදෙස් ලබා දී තිබෙනවා.

***************************************

(04.03.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, වේල්ල විථිය ප්‍රදේශයේ ගමන් බෑගයකින් හමුවූ ඝාතනය කරන ලද තරුණියගේ හිස කොටස සොයා පොලිසිය කැළණි ගඟ දෙපස විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ පොලිස් නාවික කොට්ඨාශයේ නිලධාරින් විසින් මෝදර සිට හංවැල්ල දක්වා කැළණි ගඟේ ඉවුරු වල මෙම සෝදිසි කිරීම ආරම්භ කර ඇති බවයි.

මේ අතර, තරුණිය ඝාතනය කරන ලද උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට යලිත් බුත්තල සිය නිවසට ගමන් කල බස්රථය පොලිසිය විසින් අද (04) හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, අදාල බස්රථයේ රියදුරුට සහ රිය සහයකයාට වේල්ලවිදිය පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසටයි දැනුම් දි ඇත්තේ.

සියදිවි හානි කර ගත් උප පොලිස් පරික්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (05) සිදුකෙරෙන අතර, තරුණියගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු තවදුරටත් කල් දමා ඇත්තේ ඇයගේ හිස සොයා ගෙන නොමැති වීම හේතුවෙන්.

+++++++++++++++++

ප්‍රේමසිරිගේ නංගිත් එතැනම එල්ලිලා මැරිලාලු

(04.03.2021 – 19:03 +0530 – truenews.lk)

බුත්තල උප පොලිස් පරීක්ෂක අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි සිය විවාහක බිරිය හා දරුවන්ට ඇති ආදරයට බාධා වන මට්ටමට පැමිණි නිසා දිලිනි නමැති අනියම් පෙම්වතිය මරා දැමූ බව අවසන් සටහන බිරිය වෙනුවෙන් තබමින් සිය ඝාතනය සාධාරණීකරණය කර තිබේ.

කෙසේ වෙතත් දැන් හෙළිවන තොරතුරු අනුව ඔහුට අනියම් පෙම්වතියන් තව ගණනාවක් සිටි බවට තොරතුරු ලැබී තිබේ.

පොලිස් සේවයේ ඇමැති ආරක්ෂක අංශයට එකතු වූ ප්‍රේමසිරි මුලින් වැඩ කළේ මර්වින් සිල්වා ළඟය, ඊළඟට හරීන් ප්‍රනාන්දු ළග වන අතර වැඩි කාලයක් හේෂා විතානගේ දේශපාලනඥයාගේ ආරක්ෂකයකු ලෙසද කටයුතු කර ඇත්තේය.

ප්‍රේමසිරිට කුරුවිට පදිංචි තිස්හැවිරිදි දිලිණි යසෝදා ජයසූරිය මුණගැහෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේගේ ආරක්ෂක අංශයේ සේවය කරද්දීය. දිලිණිගේ එකම සොහොයුරා ප්‍රභාත් ජයසූරිය මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රබල ආධාරකරුවකු මෙන්ම 2017 කුරුවිට ප්‍රාදේශීය සභාවටද තරග කළ අයෙකි. දිලිණිට ප්‍රේමසිරි මුණගැහෙන්නේ ප්‍රභාත්ගේ ඡන්ද කටයුතුවලට උදව් කරන්නට පැමිණි ගමන්වලදීය.මේ ප්‍රේමසිරි කියන කෙනාව අපි හඳුනගත්තේ “ඡන්ද වැඩවලට හේෂා මන්ත්‍රීතුමත් එක්ක අපේ ගෙදර ආව ගිය වෙලාවේ ඒ දවස්වල එයා අපට කතා කළේ පුතේ, දුවේ කියලා.” ප්‍රභාත් ජයසූරිය කියයි.

මියගිය දිලිණිගේ මව මේ වනවිට ස්නායු රෝගයකින් ඔත්පලව සිටී. “මෙයා නිවාඩු ගිහිල්ල එනකොටත් කෝල් කරලා අපේ ගෙදර එනව අම්මව බලන්න කියලා. නංගි එක්කත් හිතවත් වුණාට අපි හිතුවේ නෑ මෙහෙම සම්බන්ධයක් ඇතිකරගත්තායි කියලා” ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රභාත් කියන්නේය.

එස්.අයි. ප්‍රේමසිරි අතින් ඝාතනය වූ දිලිණි ටික කලක් රත්නපුර ප්‍රදේශයේ රක්ෂණ නියෝජිතවරියක් හැටියට කටයුතු කර තිබූ අතර එම රස්සාව අතහැර දැමුවේ සිය සොහොයුරාගේ ඡන්දවැඩවලට උදව් උපකාර කිරීම සඳහාය. ඉන් අනතුරුව කඩුවෙල ප්‍රදේශයේ දුරකථන අලෙවි ස්ථානයක රැකියාවට ආවත් එයද වැඩි කලක් කර නැත. දිලිණි-ප්‍රේමසිරි එක්ක සම්බන්ධයක් තිබුණු බව ප්‍රභාත් දැන ගන්නේද ප්‍රේමසිරිගේ සොහොයුරියක ලෙසින් කතා කළ අනියම් පෙම්වතියක නිසාය. දිනක් ප්‍රභාත්ට දුරකථන ඇමැතුමක් දුන් ප්‍රේමසිරිගේ අක්කා යයි කියූ අයෙකු, තම සොහොයුරා දෙදරු පියෙක් බවත්, ඔහු සමග දිලිනිට සම්බන්ධයක් පවතින බවත් එය නවත්වන ලෙස දිලිණිට අවවාද කරන ලෙසත් කියා තිබුණි. එසේ කියන තුරුම ප්‍රභාත් එවන් සම්බන්ධයක් ගැන දැන සිටියේ නැත.

ඔහු එය නැගණීයගෙන් විමසුවත් ඇය කියා ඇත්තේ මෙසේය.

“අනේ අයියෙ නාකි මිනිහෙක් එක්ක මඟුල් නටන්න මට පිස්සුද?” සිය සොයුරිය තමාට බොරු නොකියන බව එදා ප්‍රභාත් විශ්වාස කළේය.

අනතුරුව සතියකට පසූ ඒ කාන්තාවම නැවත ප්‍රභාත්ට කතා කර තිබෙන අතර එම අවස්ථාවේ ඇය පවසා ඇත්තේ තමා පොලිස් පරීක්ෂකවරයාගේ අක්කා නොවන බවත් තවත් අනියම් බිරියක බවත්ය. තිදරු මවක වන තමා සමග ඇසුර අතැරදමා දිලිනි සමග සම්බන්ධවී ඇති නිසා එය නවතා දෙන ලෙස ඇය ඉල්ලා ඇත.

එසේ බලද්දී ප්‍රේමසිරිට පෙම්වතියන් ගණනාවක් සිට ඇති බවත් දිලිනි එක් අයෙකු පමණක් බවත් පෙනී යයි.

හිස කඳෙන් වෙන් කළ සිය ළාබාල පෙම්වතියගේ සිරුර පිටකොටුවේ දෙනෝදාහක් මැද තනිකර දමන ප්‍රේමසිරි වහාම යන්නේ බඩල්කුඹුරේ සිය බිරිඳ සහ දරුවන් දකින්නටය. සිය හපන්කම ගැන රූපවාහිනියේ දකින්නේ එහිදීය.

අවසානයේදී ප්‍රේමසිරි සියදිවි හානිකර ගන්නට තීරණය කරන්නේය. ඒ මේ අපරාධයෙන් ගැලවෙන්නට ක්‍රමයක් නැති බව පොලිස් නිලධාරියකු වූ ඔහු දැනගෙන සිටියේය.

පොලිස් නිලධාරීන් ඉදිරි දොරෙන් ගෙට එනවිට ප්‍රේමසිරි පෑල දොරින් එළියට බසින්නේ “පොලිසියෙන් ඇවිත්, මම අසපුවට යනව මොකද කියල බලන්න” යැයි ගේ පිටුපස රෙදි සෝදමින් සිටි සිය බිරිඳට කියමිනි. ඒ ඔහු සිය බිරිඳ හා කතා කළ අවසන් වචන කීපයයි. පොලිස් නිලධාරීන්ගෙන්ද බිරිඳ තොරතුරු දැනගන්නා විට ප්‍රේමසිරි රබර් වත්තෙන් කැලෑවට පැන හමාරයි. ඔහු සිය බිරිඳට ලියූ ලිපිය හමුවන්නේ එතනදීය. එය පිටු තුනක ලිපියකි.

“මට සමාවෙන්න මගේ ජීවිතේ මගේ පණ මගේ පවුල. මොන දේ කළත් මම එක දුන්නේ පවුලට” එහි ලියා තිබුණි. ‘එස්.අයි. අංකල්, එස්.අයි. අකංල්’ කිය කියා එයා මට ළංවුණා. එයා දැනගත්තා මගේ ළමයින්ට කොපමණ ආදරේද කියලා. මම ඒ ළමයා කියපු හැමදේම කළා. ඉල්ලපු හැමදේම දුන්නා. පස්සේ ඔයාටයි ළමයින්ටයි බණින්න ගත්තා. මට එපා වුණා. නවත්වමු මේ සම්බන්ධෙ කිව්වා. එහෙම බෑ කියල නොයෙක් දේ කිව්වා කළා. ඒක ඔයා දන්නවා” යැයිද ඔහු එම ලිපියේ වැඩිදුරටත් ලියා ඇත්තේය.

ඔහු එසේ ලීවත් ඇත්ත වශයෙන්ම ඔහු පවුලට ද්‍රෝහීවී ඇත්තේ දිගු කලෙක පටන්ය. ඔහුට අනියම් ඇසුරුකම් වැහිවැහලාය.

ළාබාල පෙම්වතිය දිලිනිගේ තතු බිරිඳගේ කනට ගොස් ගෙදර අඹුසැමි අඬදබර අඩුවක් නැතිව සිදුවී තිබේ.

ලිපියේ කරුණු වැඩිදුරටත් විමසද්දී දිලිනි ගැන බිරිය දන්නා නිසා වැඩිදුර කරුනු පමණක් ඇතුළත් කර ඇති වගද පෙනී යයි.

‘මොනතරම් නින්දා අපහාස ආවත් මහ මෙරක් වගේ උහුලගෙන දරුවොත් එක්ක ඉන්න.’ යැයි සිය බිරිඳට ලියූ ලිපිය අවසන් කළ ප්‍රේමසිරි කුස්සිය පැත්තෙන් කැලෑවට වැදී සිය කලිසමෙන් තොණ්ඩුව සාදාගෙන ගසක එල්ලී මිය යන්නේ වස බෝතලයක්ද පානය කිරීමෙන් පසුවය. ඒ සිය ළාබාල පෙම්වතියගේ හිසට වූ දෙය ගැන තවමත් ලෝකයට අබිරහසක් ඉතිරි කරමිනි.

මීට වසර කීපයකට පෙර ප්‍රේමසිරි දිවි නසාගත් තැනට අසන්නයේදීම ප්‍රේමසිරිගේ නැගණියද ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබුණේ මෙවැනිම ආලයක පැටලීමේ ප්‍රතිඵලයක් හැටියට බවට වාර්තාවී තිබේ ෴

++++++++++++++++

කුරුවිට තරුණියගේ හිස සොයා SIගේ නිවස අවට පීරයි

(05.03.2021 – mawbima.lk)

කුරුවිට තරුණියගේ ගෙල කපා මරා සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඇගේ සිරුර බෑගයක අසුරා වේල්ල වීදියට ගෙන ගොස් අතහැර දමා ඇගේ හිස සහිත බෑගය සිය නිවෙසට රැගෙන ගොස් වත්තේ ඇති ළිඳකට දමා ඇත්දැයි සෙවීම සඳහා එම ළිඳ හිස් කිරීමට බඩල්කුඹුර පොලිසිය කටයුතු කර ඇත.

ඊට හේතුව වී ඇත්තේ තරුණියගේ ගෙල කැපූ පොලිස් පෙම්වතා බඩල්කුඹුර සිය නිවෙසට කළු බෑගයක් රැගෙන පැමිණි බවට ලැබුණු තොරතුරක් මතය. ඒ අනුව එම බෑගයේ දමාගෙන මොහු තරුණියගේ හිස ගෙදරට ගෙනැවිත් ලඳු කැලෑවට හෝ වත්තේ ඇති ළිඳට දැම්මේ දැයි දැන ගැනීමට පොලිසිය ක්‍රියා කරමින් සිටී.

ලැබුණු එම තොරතුර මත සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතාගේ උපදෙස් මත බඩල්කුඹුර ස්ථානාධිපති සුනිල් දිසානායක ඇතුළු කණ්ඩායමක් වහා උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවෙසට ගොස් එම නිවෙසද ඔහුගේ වත්තද දැඩි සෝදිසියට ලක් කළහ. එහෙත් කාන්තා හිසක් සොයා ගැනීමට හෝ කළු බෑගයක් සොයා ගැනීමට නිලධාරීන්ට නොහැකි විය.

එහෙත් නිවෙසේ සිටි බිරිය පොලිසියට කීවේ සැමියා ගෙදර එද්දී කළු පැහැති කරේ එල්ලාගෙන යන බෑගයක් ගෙනා බවකි. එහෙත් පොලිසිය එය කොහේදැයි විමසූ විට ඇය පවසා ඇත්තේ ඒ බෑගය දැන් නිවෙසේ නැති බවය. තම සැමියා මියයන්නට කලින් එම බෑගය කොහේටවත් වීසිකරන්නට ඇත්දැයි තමා නොදන්නා බවත් ඇය නිලධාරීන්ට පවසා තිබේ.

එහෙත් එම බෑගය සී.සී.ටී.වී. දර්ශනවල පෙනෙන ආකාරයට ඔහු විසින් කරේ එල්ලාගෙන ඇති බෑගයමද යන්න තවමත් තහවුරුවී නැත. මේ සම්බන්ධයෙන් නිශ්චිත ලෙස දැන ගැනීම සඳහා මියගිය පුද්ගලයා කොළඹ සිට බුත්තලට පැමිණි බස්රථය හඳුනා ගත යුතු බවද බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

එම බස් රථය එහි රියැදුරා හා කොන්දොස්තර ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඔවුන් සොයා ගැනීමට බුත්තල පොලිසියද දැනුවත් කර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

ඊට අමතරව බුත්තල නගරයේ හා ඒ අවට සී.සී.ටී.වී. කැමරා සෝදිසියට ලක්කිරීමටද පොලිස් කණ්ඩායමක් යොදවා ඇත. එහෙත් සී.සී.ටී.වී. කැමරා එතරම් සංඛ්‍යාවක් නගරයේ නැති බවත්, තිබෙන කැමරා සෝදිසියට ලක්කරන බවත් මේ පිළිබඳ කළ විමසීමකදී සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතා කීවේය.

“මේ තරුණියගේ හිස කොටස මෙහාට ගෙනාවේ දැයි බලන්න දැඩි සෝදිසියක් සිදුකළා. උප පොලිස් පරීක්ෂකවරයාගේ ගෙයත්, වත්තත් ටීම් එකක් දාලා චෙක් කළා. මුකුත් හම්බවුණේ නැහැ. හැබැයි කලිසමකුයි, සෙරෙප්පු දෙකකුයි හම්බ වුණා. ඒ කලිසමයි, සෙරෙප්පු දෙකයි දාගෙන තමයි මිනිහා කොළඹ ඉඳලා බුත්තලට ඇවිත් තියෙන්නේ. අපි ඒක අපේ භාරයට ගත්තා” යැයි සහකාර පොලිස් අධිකාරිවරයා කීවේය.

මේ අතර තරුණිය ගෙල කපා මරා ඇගේ හිසසුන් සිරුර සහිත බෑගය වේල්ල වීදියේ අතහැර දැමූ ඇගේ පොලිස් පෙම්වතා, ඉන් අනතුරුව බසයක නැඟී බුත්තල පොලිසියටද ගොස් එහි ස්ථානාධිපතිවරයා හමු වී ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයකට අස්සන් පවා ලබාගෙන ඇති බවද පොලිසිය කළ විමර්ශනයකදී හෙළි වී ඇත.

ඒ අවස්ථාවේ ස්ථානාධිපතිවරයා ඔහුගෙන් විමසා ඇත්තේ නිවාඩු ලබාගෙන ගිය පුද්ගලයා නිවාඩු කාලයේ පොලිසියට පැමිණියේ මන්දැයි යනුවෙනි. කෙසේ වෙතත් ස්ථානාධිපතිවරයා ඔහුට තම අනුමැතිය දෙමින් පොලිස් ණය පෝරමයට සිය අස්සන තබා ඇත.

මේ අතර ඔහු විසින් මරා දමනු ලැබූ තරුණියගේ හිස කොටස සොයාගැනීම සඳහා ඊයේත් (04) පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබිණි. මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් කණ්ඩායමක් පවසන්නේ තරුණියගේ හිසකොටස ඔහු විසින් කරේ දමාගෙන සිටි බෑගයේ දමාගෙන සිටින්නට ඇති බවත් සිරුර සහිත බෑගය වේල්ල වීදියේ අතහැර දැමීමෙන් පසු හිස සහිත බෑගය වෙනත් තැනකට රැගෙන යන්නට ඇති බවට සැක කරන බවත්ය.

එමෙන්ම උප පොලිස් පරීක්ෂකවරයා මිය යන්නට කලින් බඩල්කුඹුර පහේ කණුව ප්‍රදේශයේ වෙළෙඳසලකින් වස කුප්පියක් ගන්නට උත්සාහ කර ඇතත් එම වෙළෙඳසලේ එවැනි දේ විකිණීමට නොමැති බව වෙළෙඳසලේ හිමිකරු ඔහුට පවසා ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර මෙම උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට බුත්තලට පැමිණි බසයත් එතැනින් බඩල්කුඹුරට ගිය රථයත් සොයාගැනීමට හා එකී සේවකයන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට බඩල්කුඹුර පොලිසිය කටයුතු කර ඇත. එමෙන්ම මොහු මියගිය තැන වස කුප්පියක් තිබූ බැවින් වස කුප්පිය මොහු බුත්තල පොලිසියට ගිය මොහොතේ වෙළෙඳසලකින් මිලදී ගන්නට ඇතැයි පොලිසිය කියයි.

මේ අතර ඝාතනයට ලක්වූ තරුණියගේ හිස කැලණි ගඟට විසි කරන ලද්දේදැයි යන සැකය මත පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (04) සවස කැලණි ගඟ පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී.

ඊයේ (04 දා) හවස තුනට (03:00) ඇරැඹි මෙම මෙහෙයුම මඟින් කැලණි ගඟට විසි කරන ලද බෑගයක් හෝ පාවෙමින් තිබූ බෑගයක් දුටුවේදැයි දැනගැනීමට අපේක්ෂා කරන බව පොලිසිය කියයි.

ඊට හේතුව වී ඇත්තේ දිලිනි ජයසූරිය නමැති තරුණියගේ හිස ඇය සතුව තිබූ බෑගයටම දමා කැලණි ගඟට විසිකරන්නට ඇතැයි ඇති වූ සැකයක් නිසාය.

දිලිනි නමැති තරුණිය සිරිපාදේ යන බව කියමින් ඇගේ ඇඳුම් පැලඳුම් සහිත බෑගයක් සිය උප පොලිස් පරීක්ෂක පෙම්වතා සමඟ හංවැල්ලේ ඔවුන් නතර වී සිටි හෝටල් කාමරයට ගෙනැවිත් ඇත. එහෙත් ඒ බෑගය මේ වන තුරු සොයා ගැනීමට පොලිසියට හැකි වී නැත.

මොවුන් දෙදෙනා නතරව සිට ඇති මිඩ්වේ හෝටලය පිහිටා ඇත්තේ කැලණි ගඟ ආසන්නයේය. කොළඹ – හංවැල්ල මාර්ගය ආසන්නයේ මෙම හෝටලය පිහිටා තිබේ. ඒ හංවැල්ල නගරයට නුදුරුවය.

මේ අනුව පොලිසිය සැකකරන්නේ මරා දමා ගෙල කපන ලද තරුණියගේ කඳ කොටස ලොකු බෑගයට දමා ඇගේ හිස කොටස ඇගේම ඇඳුම් බෑගයට දමා කැලණි ගඟට විසිකරන්නට ඇති බවය.

ඒ අනුව නාවික හමුදා භටයන් 8 දෙනකු බෝට්ටු දෙකක (2) ආධාරයෙන් කැලණි ගඟ දිගේ සියුම් පරීක්ෂාවක යෙදීම ඊයේ (04) හවස 03:00 සිට ඇරැඹිණි. ඒ එවන් බෑගයක් දුටු අයකු හෝ එවැනි බෑගයක් ගඟේ කොතැනක හෝ සිරවී ඇත්දැයි සොයා ගැනීමටය.

කැලණි ගඟ මුහුදට වැටෙන මෝදර මෝය අසල සිට හංවැල්ල දක්වා මෙම නාවික මෙහෙයුම ක්‍රියාත්මක වේ.

කීර්ති මෙන්ඩිස්

+++++++++++++++++

+++++++++++++++++

‘දරුවන්ගේ නාමයෙන් ඔය සම්බන්ධය නවත්තන්නැයි’ ඉල්ලුවා

(05.03.2021 – mawbima.lk)

“දවසක් මම මහත්තයාගේ හෑන්ඩ්ෆෝන් එක බැලුවම ඇඹිලිපිටිය පැත්තේ කෙල්ලෙක් එවපු මැසේජ් හතකුයි, ඒ කෙල්ලගේ පින්තූර වගයකුයි තියෙනවා දැක්කා. පස්සේ මම එයාට කිව්වා ‘ඔයාට ලොකු පුතෙක් ඉන්නවා නේද දරුවන්ගේ නාමයෙන් ඔය සම්බන්ධය නතර කරන්න’ කියලා.”

තිස් හැවිරිදි තරුණියක ගෙල සිඳ මරා, රබර් ගසක එල්ලී මියගොස් සිටි බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක අදිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි යන අයගේ බිරිය වන රමණි ක්‍රිෂාන්ති නමැති අය බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ ඉකුත්දා එසේ කියා සිටියාය.

ඇය වැඩිදුරටත් මෙසේද පැවැසුවාය :

“දවසක් මහත්තයා මට කිව්වා එයා වැඩ කරන තැන කෙල්ලෝ කට්ටියක් අපේ ගෙදර එන්න අහනවා කියලා. එහෙම කියලා එයා ගෑනු ළමයින් දෙන්නෙක් එක්ක මෙහෙ ආවා. ඇවිත් මගේ දුවත් එක්ක ඒ ගෑනු ළමයින්ව අරගෙන ‘පරවියන් ඇල්ල’ට නාන්න ගියා. හැබැයි මට කිව්වේ මොනරාගල ළමයි කියලා. ඒත් මගේ පොඩි දුව ඇවිත් කිව්වා එයාලා ඇඹිලිපිටියේ අක්කලා කට්ටියක්. එක්කෙනෙක්ගේ නම තමයි දිලිනි කියලා. මේක ඇහුවට පස්සේ එයා ගෙදර ආවම මම එයාට හොඳටම බැන්නා. මම පැහැදිලිව දන්නවා මට කළේ බොරුවක් කියලා. ඒ දිලිනි කියන ළමයත් හොඳ චරිතයක් ඇති කෙනෙක් නෙමේ කියලා යාළුවකුත් මට කිව්වා.”

ඇය බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා ඉදිරියේ හැඬූ කඳුළෙන් එසේ පැවැසුවාය.

රමණි ක්‍රිෂාන්ති තිදරු මවකි. ඇගේ ලොකු පුතාට වයස අවුරුදු 26 කි. රශ්මි දුවට වයස 17 කි. ඌෂානිගේ වයස 11 කි. ලොකු පුතා කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරයි. ඒ නිසා ඔහු කොළඹ නතරවී සිටී.

දිලිනි යසෝධා නමැති තරුණිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති ඇගේ සැමියා එම තරුණිය හංවැල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට රැගෙන ගොස් ඇගේ ගෙල කඳෙන් වෙන් කර, කඳ කොටස බෑගයක දමාගෙන කොළඹ වේල්ල වීදියට රැගෙනවිත් දමාගොස් තිබිණි. ඉන් අනතුරුව කරන ලද පරීක්‍ෂණයේදී සී.සී.ටී.වී. කැමරා ඔස්සේ කරන ලද විමර්ශනවලින් පසු පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ තරුණියගේ කඳ කොටස සහිත බෑගය වේල්ල වීදියෙන් දමා ඔහු යළි නිවෙසට ගොස් ඇති බවය. ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇගෙන් ප්‍රශ්න කර සිටියේය.

“තුන්වැනිදා රෑ 11:30 ට විතර එයා ගෙදර ආවා. අතේ කළුපාට බෑගයකුත් තිබුණා. ඊට කලින් එයාට මගේ දුව කෝල් එකක් ගත්තා. එතකොට මහත්තයා දුවට කියලා තිබුණා එයා කොළඹ ඉන්නේ. දවස් හතරකින් විතර ගෙදර එනවා කියලා. එහෙම කියලා තමයි තුන්වැනිදා රෑ ආවේ. මම රෑ බතුත් බෙදලා දුන්නා. හැබැයි කතාබහක් තිබුණේ නැහැ. ලොකු පුතාගේ කාමරයේ වෙනමම නිදාගත්තා.

පහුවදා උදේ නැඟිටලා මම දුවත් එක්ක බුත්තල පන්ති ගියා. ගිහින් 12 ට විතර ගෙදර ආවත් මහත්තයා පේන්න හිටියේ නැහැ. රෑ වෙලා ගෙදර ආවා. අපිට අයිස්ක්‍රීම් වගයකුත් ගෙනාවා. පස්සේ තමයි පොලිසියේ දෙන්නෙක් අපේ ගෙදර ආවේ. ඒපාර තමයි එයා ගෙදරින් යන්න ගියේ” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

ඉකුත් 27 වැනිදා හවස තුනට පමණ තම සැමියා බුත්තල බස් නැවතුම්පළේදී ලොකු දුවට මුණ ගැසී තිබෙනවා. එවිට සැමියා රශ්මි දුවට පවසා ඇත්තේ හදිසි වැඩකට ඔහු කොළඹ යන බවත්, ඒ බව තමාට පවසන ලෙසත්ය. “එයා හරිම වැරදියි. මම එයා හදාගන්න උත්සාහ කළා. ඒත් එයා ඇහැව්වේ නැහැ.” ඇය වැඩිදුරටත් පොලිසිය හමුවේ පැවැසුවාය.

ඇගේ ප්‍රකාශයක්ද පොලිසිය විසින් සටහන් කරගෙන තිබිණි.

මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම යන මහත්වරුන්ගේ උපදෙස් මත බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන පවත්වති.

කීර්ති මෙන්ඩිස්

***************************************

(04.03.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – දාරලුවේ ඉපැරණි කෲඩියා සෙලනිකා ශාඛය එම ස්ථානයේ තිබියදීම අධිවේගී මාර්ගය ඉදිකරන්නේ නම් රුපියල් ලක්ෂ 80,000 ක අමතර මුදලක් වැය කිරීමට සිදුවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.

අනුරාධපුරය – එප්පාවල ප්‍රදේශයේ අද (04) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා ෴

***************************************

(04.03.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

තවත් සති දෙකක (2) කාලයක් සඳහා පමණක් බාධාවකින් තොරව පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල සැපයුම සිදුකළ හැකි බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

එහි සාමන්‍යාධිකාරි තිළින විජේතුංග මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජල සැපයුම අඩාල වි ඇති උස්බිම් ප්‍රදේශ වලට බවුසර් මගින් ජලය බෙදා හැරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි.

ජලය ඝන මිටර එක්ලක්ෂ අසුදහසක් (1,80,000) නිපදවිය හැකි නව ජලපිරිපහදුවක් අඹතලේ දකුණු ඉවුරේ පසුගිය නොවැම්බර් 18 වනදා සිට ස්ථාපිත කර තිබෙනවා.

එම නිසා, කොළඹ, කැළණිය සහ මහර ප්‍රදේශ සදහා ජලය බෙදා හැරීමේ ගැටලුවක් මෙතෙක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කලේ.

මේ අතර, දිවයිනට බලපා ඇති පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලි නිෂ්පාදනයේ අඩුවක් පවතිනවා.

විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විදුලි කප්පාදු කිරීමක් පිළිබද විදුලි බල අමාත්‍යාංශයේ අවධානය යොමුව නොමැති බවයි ෴

***************************************

(04.03.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

පාඨලී චම්පික රණවක 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුරෙන් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් අද (04) පළමුවරට අධිකරණයට පැමිණියා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවකට ගොනු කෙරුණු අධි චෝදනා අද (04) මහාධිකරණයේදී කියවනු ලැබුවා.

රථය අපරික්ෂාකාරීව පැදවීම, වේගයෙන් පැදවීම, මාර්ගය භාවිත කරන අන්අය ගැන නොසැලකිල්ලෙන් රථය පැදවීම, අවශ්‍ය පරිදි සැලකිලිමත් නොවී රථය පදවා සංදීප් සම්පත් නැමැති අයට බරපතල තුවාල සිදුකිරීම ඇතුලු‍ චෝදනා ඒ අතර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයක් රාජගිරිය ප්‍රදේශය පසුකර යාමේදී සංදීප් සම්පත් තරුණයා අනතුරට පත්වීමෙන් බරපතල තුවාල ලැබුවේ 2016 වසරේ පෙබරවාරි 28 වනදායි.

පාඨලී චම්පික රණවක සිදුවීමෙන් වසර 03 කට පමණ පසුව රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අතර, පසුව ඇප මත මුදාහැරුණා.

ඊට අදාළ නඩුව අද යළි කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේයි.

එහිදී අධිකරණය නිකුත් කර තිබූ සිතාසි අනුව සිද්ධියේ වින්දිත පාර්ශ්වය වන බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් සහ සාක්ෂිකරුවන් තිදෙනෙක් පළමුවරට අධිකරණය හමුවේ පෙනී සිටියා. සංදීප් අද (04) එහි පැමිණියේ රෝද පුටුවක ආධාරයෙන්.

කෙසේ වෙතත්, කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට යුද හමුදා රෝහලට ගොස් ඇති බව පවසමින් පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට පැමිණ සිටියේ නැහැ.

අදාළ චෝදනා විභාග කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් මූලික විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව විත්තිකාර පාර්ශ්වයේ කණිෂ්ඨ නීතිඥයා අධිකරණය හමුවේ සඳහන් කළා.

ඊට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ විත්තිකරු අදාල චෝදනා සම්බන්ධයෙන් ඇප ලබා ගැනීමෙන් පසු දැන් විරෝධතා ගොනු කිරීමට අවශ්‍ය බව පැවසීම සුදුසු නොවන බවයි.

වින්දිත පාර්ශ්වය රෝද පුටුවකින් අධිකරණයට පැමිණ සිටියදී පවා එන්නතක් විදගැනීමට යැයි පවසා විත්තියේ ජනාධිපති නීතිඥවරයා නොපැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමුකර සුදුසු තීරණයක් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අනතුර සිදුවන අවස්ථාවේ විත්තිකාර පාඨලී චම්පික රණවක පැදවූ විදුලිබල අමාත්‍යාංශයට අයත්ව තිබූ ජීප් රථය මේ වනවිට මුදල් අමාත්‍යාංශයේ තිබෙන බැවින් මීළඟ නඩු දිනයේදී එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්නැයි ඔහු තවදුරටත් ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ නියෝග කළේ නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවන ලෙසයි.

***************************************

(04.03.2021 – 20:21 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන්ගේ සපත්තු සහ අභ්‍යාස පොත් මිල අඩු කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකදීයී ෴

***************************************

(04.03.2021 – 20:51 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (03) අප හෙළිකලේ, කුඩා දරුවන් සිව්දෙනෙකු (4) අපහරණය කල තිස්සමහාරාම – පන්නෙගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙකු පිළිබදවයි.

අපහරණයට කළ දරුවන්ට එම පුද්ගලයා ඔහුගේ ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන ද පෙන්වා තිබෙනවා.

පසුගිය මස 18 වැනිදා සිදුකර ඇති මෙම ළමා අපහරණය පිළිබදව එදිනම 119 පොලිස් හදිසි ඇමතුම හරහා දැනුවත් කළ බවයි දරුවන්ගේ පියා ප්‍රකාශ කලේ.

කෙසේ වෙතත් ‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී හෙළිවුයේ මෙම ළමා අපහරණයෙන් පසුව නීතියේ රැහැනින් මිදීම සදහා අදාල පුද්ගලයා හම්බන්තොට රෝහලේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවකට ඇතුලත්ව ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර සිටියේ මානසික රෝගී තත්ත්වයක් ඇති පුද්ගලයෙකුට රාජ්‍ය සේවකයෙකු ලෙස සේවය කළ හැකිද යන්නයි.

මෙම අනාවරණයෙන් පසුව හෝ දැනට දින 12 කට ආසන්න කාලයක් ගතව ඇති මෙම ළමා අපහරණ සිදුවීමට නිසි පරීක්ෂණයක් සිදුවේ ද ?

‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් ඒ පිළිබද අවධානයෙන්.

***************************************

(04.03.2021 – 21:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 05 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 489 ක් ලෙසටයි.

***************************************

(04.03.2021 – 22:16 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භක උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

විශ්ව විද්‍යාල වෙබ් අඩවිය සක්‍රීය කළ ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල අමුත්තන්ගේ පොතෙහි අත්සන් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

නිල ලාංඡනය, ධජය සහ ගීතය එළිදැක්වීම ද ඊට සමගාමීව සිදු කෙරුණා.

ආයුර්වේද විද්‍යාව හදාරණ සිසුනට ආයුර්වේද ක්‍රමය න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව ඉගැන්වීමේ අරමුණින් ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මහතා විසිනුයි 1929 වසරේදී ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පිහිටවනු ලැබුවේ.

ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට අයත් වූ සංඛ්‍යාව 20 ක්.

වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යායතය 1995 වසරේදී කැලනිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ විශ්ව විද්‍යාල ආයතනයක තත්ත්වයට උසස් කරනු ලැබුවා.

දකුණු ආසියානු කලාපයේ දේශීය වෛද්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2021 මාර්තු 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ‘ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය, ශ්‍රි ලංකාව’ යන නාමය යටතේ ස්ථාපනය කර තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි විශ්ව විද්‍යාලයයි. ඊට එක් කර ඇති නව උපාධි පාඨාමාලා සංඛ්‍යාව 07 කි.

කණ්ඩායමකට සිසුන් 50 දෙනෙක් බැගින් 2021 වසර සඳහා සිසුහු 350 දෙනෙක් ඇතුළත් කර ගැනෙනවා.

2020 වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති.

ජනාධිපතිතුමා විශ්ව විද්‍යාලයේ ප්‍රථම කුලපති මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීය.

***************************************

(04.03.2021 – 23:28 +0530 – hirunews.lk/sinhala)

අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් එම පක්ෂයේ නියෝජිතයින්ගෙන් ප්‍රශ්න කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියා.

***************************************

(05.03.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

හෙට (06) දින සිට පවතින වියලි කාලගුණ තත්වයේ වෙනසක් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (05) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

මධ්‍යම සබරගමුව,ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බවද සඳහන් ෴

***************************************

මාධ්‍යවේදී, රාජ්‍ය තාන්ත්‍රික බන්දුල ජයසේකර සමුගනී

(05.03.2021 – 10:07 +0530 – truenews.lk)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු, පුවත්පත් කර්තෘවරයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන බන්දුල ජයසේකර මහතා අද (5) උදෑසන අභාවප්‍රාප්ත විය. ඔහු 2006-2007 දී ඩේලි නිවුස් හි ප්‍රධාන කර්තෘවරයා විය.

ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (මහජන සන්නිවේදනය) ලෙසත් සේවය කළේය. ඔහුගේ අවසන් වරට සිරස \ එම්ටීවී මාධ්‍ය ජාලයේ සේවය කළ අතර එහිදී ඔහු ජනප්‍රිය ‘පැතිකඩ’ වැඩසටහන ද ඉදිරිපත් කළේය.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහු ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ සේවය කළ අතර නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස ද සේවය කළේය.

බන්දුල ජයසේකරට 2019 ජූලි මාසයේදී මයිලෝඩිස්ප්ලාස්ටික් සින්ඩ්‍රෝම රුධිර පිළිකාවක් ඇති බව හඳුනා ගන්නා ලදී. සුවපත් කිරීම සඳහා ඔහු දැරූ උත්සාහය සාර්ථක නොවූ අතර, ඔහු සිංගප්පූරුවේද ප්‍රතිකාර ලැබීය. රෝගාතුර වූ රෝග විනිශ්චය කිරීමෙන් පසු ජයසේකර සිය අවසන් කාලය ගත කළේ කරාපිටි රෝහලේ රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේය.

අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත ෴

බන්දුල ජයසේකර මහතා

***************************************

(04.03.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරන රක්ෂිතය ගැසට් කිරීමේ කටයුතු තවදුරටත් සිදු නොවන්නේ නම් එළඹෙන සතියේ සිට දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බව වලව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.

ඔවුන් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අදට දින 48 ක් ගතවනවා.

කෙසේ වෙතත් යෝජිත වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කිරීමට අදාල කැබිනට් අනුමැතිය ලැබී ඇතත් මෙතෙක් ඊට අදාල කටයුතු මන්දගාමී අයුරින් සිදුවීම යම් සැකයක් මතු වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ ෴

@@@@@@@@@@@@

(04.03.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්’ එන්නත ලබාගෙන දින දෙකකට පසුවද උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ එන්නත ලබාගෙන දින දෙකකට (2) පසු පුද්ගලයින් දෙදෙනෙකු (2) මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයාගේ ප්‍රතිදේහ පිළිබද පර්යේෂණයක්.

පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා මෙරටින් වාර්තා වී මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගතවනවා.

මත්තේගොඩ පදිංචි වෘත්තියෙන් සංචාරක මාර්ගෝපදේශකයෙකු වූ ජයන්ත රණසිංහ මහතා අද (04) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය වෙත කැඳවා තිබුණේ ප්‍රතිදේහ පිළිබඳ පර්යේෂණයක් සඳහායි.ඒ අනුව, ඔහුගෙන් රුධිර සාම්පල ලබා ගැනීම එහිදී සිදුකෙරුණා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 147 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84,577 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *