වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණිගේ මළසිරුර ජලයෙන් නහවා ඇති බවට සැකයක්

වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණිගේ මළසිරුර ජලයෙන් නහවා ඇති බවට සැකයක්

*********************************************

වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණිගේ මළසිරුර ජලයෙන් නහවා ඇති බවට සැකයක්

(03.03.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

තරුණියක් ඝාතනය කර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දමා සිය දිවි හානි කරගත් බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා මිය යාමට පෙර සිය බිරිඳට ලියූ ලිපියක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ තරුණියගේ හිස කොටස මෙතෙක් හමුවී නැහැ.

පසුගිය සඳුදා වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී හමුවූ හිස නොමැති මළ සිරුර කුරුවිට – තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකගේ බවට ඊයේ (02) හඳුනා ගැණුනා.

මෙම මළ සිරුර වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දැමූ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඒ.එම්. පේමසිරි නමැති මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඔහුගේ මළ සිරුර අද (03) උදෑසන හමුවූයේ නිවස ආසන්නයේ කැළෑබඳ ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදීයි.

ඔහුගේ මළ සිරුර ආසන්නයේ වස බෝතලයක් ද තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී පොලිසිය සොයා ගත් ලිපියේ තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බවත් ඉන් තමාට කරදර රැසකට මුහුණ දීමට සිදුවූ බවත් සඳහන් කර තිබුණා.

එමෙන්ම තමා අතින් වැරදි රැසක් සිදුවූ බවත් ඒ සියල්ල ගැන තමා කණගාටුවන බවත් බිරිඳට ලියා තිබූ ලිපියේ තවදුරටත් දැක්වෙනවා.

සියදිවි හානිකර ගත් උප පොලිස්පරීක්ෂකවරයා බුත්තල පොලිස් ස්ථානයේ කොරෝනා මර්දන අංශයේ ප්‍රධානියා ලෙස රාජකාරි සිදු කර ඇති අතර තම මවගේ තුන්මාසයේ දානමය පිංකම සඳහා දින 6 ක නිවාඩුවක් ලබාගෙන නිවසට පැමිණි අවස්ථාවේදීයි මෙම අපරාධය සිදු කර ඇත්තේ.

තිදරු පියෙකු වන මොහු ඇමති ආරක්ෂක අංශයේද සේවය කර ඇති අතර බුත්තල පොලිසියට අනුයුක්ත වීමට පෙර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කර තිබෙනවා.

මියගිය තරුණිය මන්ත්‍රීවරයාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා සහයෝගය දක්වා ඇති අතර ඇයගේ සොහොයුරාද කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තිළිණි යසෝධරා ජයසුන්දර නමැති 30 හැවිරිදි මෙම තරුණිය ජීවත්ව ඇත්තේ සිය මව සමඟයි.

පසුගිය 28 වනදා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන දන්සැලකට සහය දැක්වීම සඳහා බව පවසමින් දියණිය නිවෙසින් පිටව ගිය බවයි මව සඳහන් කළේ.

කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී කවන්ද මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබුණේ පසුගිය සඳුදා පස්වරුවේයි.

ඒ අනුව වේල්ලවීදිය අවට සීසීටීවි දර්ශණ පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයෙකු ගමන් බෑගයක් තල්ලු කරගෙන යන අයුරු දැක්වෙන දර්ශණ පසුව මාධ්‍යයට මුදා හැරුණා.

ඒ අනුව මොහු මාර්ග අංක 143 හංවැල්ල – කොළඹ පෞද්ගලික බස් රථයකට ගමන් බෑගය ඔසවාගෙන ඇතුළු වන අයුරු දැක්වෙන සීසීටීවි දර්ශණද මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මොවුන් දෙදෙනා පසුගිය 28 වනදා රාත්‍රියේ හංවැල්ල බස්නැවතුම්පළ අසල තානායමකට පැමිණ ඇති බවයි.

පසුව 01 වනදා පිරිමි පුද්ගලයා පමණක් ගමන් බෑගයක් ද රැගෙන තානායමෙන් පිටව ගොස් තිබූ බවට විමර්ශණවලදී අනාවරණය වූ බවයි මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේ.

පොලිසිය සඳහන් කළේ සීසීටීවි දර්ශණ වල දැක්වෙන මෙම පුද්ගලයා කරේ පිටුපස එල්ලාගෙන යන බෑගයේ ඝාතනය කරනු ලැබූ කාන්තාවගේ හිස කොටස රැගෙන යන්නට ඇති බවට සැක කෙරෙන බවයි.

කෙසේ වෙතත් හිස කොටස කුමන ස්ථානයට ගෙනගොස් දමන්නට ඇති ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙලි කර ගැනීමට හැකි වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයා තානායමේ සිට හංවැල්ල බස් නැවතුම්පළට රැගෙන ආ ත්‍රීරෝද රථයේ රියදුරුගෙන්.

සියදිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා තානායමේ සිට හංවැල්ල බස් නැවතුම්පළට පැමිණීම සඳහා මෙම ත්‍රිරෝද රථයට නැග තිබෙනවා.

මොහු වෘත්තීයෙන් ත්‍රීරෝද රථ රියදුරෙකු නොවන අතර දිනපතා කොළඹට රැකියාවක් සඳහා පැමිණෙන්නෙකු බවයි හෙලිව ඇත්තේ.

ඒ අනුව මෙම ත්‍රිරෝද රථය සහ එහි රියදුරු පොලිස් භාරයට ගැණුනා.

පසුව සිද්ධිය සිදුවූ තානායමට මොහුත් සමඟ පොලිස් කණ්ඩායම් ගොස් ඇති අතර එහි අමුත්තන්ගේ තොරතුරු සටහන් කරන ලේඛණයේ ඝාතනයට ලක්වූ තරුණියගේ සහ සියදිවි හානිකරගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ සියළු තොරතුරු සටහන්ව තිබුණා.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනය සිදුකර ඔවුන් සිටි කාමරය සම්පූර්ණයෙන් පිරිසිදු කර ඉන් පිටව ගොස් ඇති බවයි.

එමෙන්ම තරුණිය මියගිය පසු මළ සිරුර නහවා ඇති බවට සැක කෙරෙන බවද පොලිසිය සඳහන් කළා.

***************************************

(03.03.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන අසල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අත්පත්‍රිකා බෙදා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) තෙවන (3) දිනයටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව පසුගිය දින දෙක (2) තුල විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව පුද්ගලයින් උපකාරක පන්තිවල දැන්වීම් ඇතුළත් අත්පත්‍රිකා බෙදා හරින බවට ලැබී ඇති තොරතුරු මත අද (03) සිට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

***************************************

(03.03.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

ගිනි අවි ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) අගුලාන සහ උඩුදුම්බර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ විශේෂ කාර්ය බලකාය ඊයේ (02) සිදුකළ මෙහෙයුමකදී රිවෝල්වරයක් ළඟ තබාගෙන සිටි 20 හැවිරිදි තරුණයෙකු සහ ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඉන් එක් අයෙකු ගුවන් හමුදාවෙන් පැන ගිය සෙබලෙකු බව ද අනාවරණ වී තිබෙනවා ෴

***************************************

(03.03.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ විදේශගතව සිටින ගෘහ සේවිකාවන්ගේ සහ වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබෙනවා.

ලෝක කාන්තා දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයකින් අනතුරුව අද (03) සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

එම කමිටුවේ සභාපතිණිය ලෙස නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය ආරියවතී ගලප්පත්ති මහත්මිය කටයුතු කරනු ඇත ෴

***************************************

(03.03.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධන අධිකාරියේ රථ වාහන සහ යන්ත්‍ර සූත්‍රවල වර්තමාන තත්ත්වය පිළිබඳ තාක්ෂණික වාර්තාවක් දෙසතියක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

ඒ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ප්‍රාදේශීය කාර්යාලවල අලුත්වැඩියා කර භාවිත කළ හැකි තත්ත්වයේ රථ වාහන 100 ක් සහ මාර්ග ඉදිකිරීමට භාවිත කරන යන්ත්‍ර සූත්‍ර 40 ක් පමණ අතහැර දමා තිබීමත් සමඟයි.

තමන් පසුගියදා සිදුකල ක්ෂේත්‍ර චාරිකාවලදී ඒ බව අනාවරණ වූ බවත්, එම වාහන සහ යන්ත්‍ර සූත්‍ර සියල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ අඟුලාන වැඩ ඒකකය වෙත ගෙන්වා ගෙන කඩිනමින් අලුත්වැඩියා කර යළි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට යෙදවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා ෴

***************************************

(03.03.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අකුරණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දස දහසක (10,000) අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව යටතේයි.

පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ලී මෝලේ සේවය කරන සේවකයින්ට අර්ථසාධක මුදල් නොගෙවීම සම්බන්ධව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා ඔහු මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

මෙහිදී සැකකරු ඒ සඳහා රුපියල් 30,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් 15,000 දක්වා අඩුකර ඉන් රුපියල් 5000 ක් මීට පෙර ලබාගෙන තිබෙනවා.

ඉතිරි රුපියල් 10,000 ලබා ගැනීමේදී කඩුගන්නාව ප්‍රදේශයේදී ඔහු අද (03) අත්අඩංගුවට ගෙන ඇති අතර, විමර්ශන කටයුතු වලින් පසු සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(03.03.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

මෙරටට විශාල වශයෙන් විදේශ විනිමය උපයා දෙන අපනයන භෝගයක් වන වැනිලා කර්මාන්තයේ නිරත පිරිස් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දැඩි ගැටළුකාරීත්වයට මුහුණ දී සිටිනවා.

වැනිලා වගාකරුවන් සහ ව්‍යාපාරිකයින් ඉල්ලා සිටින්නේ පහත ගිය ආදායම ඉහළ නැංවීම සඳහා වැඩපිලිවෙලක් සකස් කර දෙන ලෙසයි ෴

***************************************

(03.03.2021 – 16:30 +0530 – hirunews.lk/sinhala)

මොකක්ද මේ ඉරණතිව් ?

මන්නාරම් ද්‍රෝණියේ උතුරට වන්නට පිහිටා ඇති ඉරණතිවු දූපත වර්ග කිලෝමීටර 5 ක පමණ වපසරියකින් යුතු සුන්දර භූමි භාගයක්.

උතුරුකරය එල්.ටී.ටී.ඊ රුදුරු ත්‍රස්තවාදයේ ගිනිදැලින් වෙලී යන්නට පෙර ධීවර කර්මාන්තයෙන් බඩවියත සාදා ගත් පවුල් 200 ආසන්න පිරිසකට සෙවන දුන්නේ මේ භූමියයි.

ගොඩබිමට ඉතාම ආසන්න මුලන්ගාවිල් එහෙමත් නැත්නම් නච්චිකුඩා සිට කිලෝමීටර 20 පමණ දුරකින් මෙම දූපත පිහිටා තිබෙනවා.

මුලන්ගාවිල් සිට ඉරණතිව් මුහුදු ගමනට වැය වන කාලය පැය එක හමාරකට මදක් වැඩියි.

හැබැයි වාරකන් එහෙමත් නැත්නම් මුහුද ප්‍රචණ්ඩ කාලයේදී මේ ගමනට ඊට වඩා වැඩි කාලයක් වැය වෙනවා වගේම ඒක බොහෝම භයානක අත්දැකීමක්.

කෙසේ වෙතත් මේ හැම හොඳ නරකක්ම විඳගෙන ඉරණතිව් වැසියෝ තමන්ගේ ජීවිතය තමන්ගේ පාඩුවේ වසර සිය ගණනක් ගෙන ගියා.

නමුත් එල්.ටී.ටී.ඊ යුධ සමයේ මේ වැසියන්ගේ සාමකාමී දිවිපෙවෙතට බාධා පැමිණෙන්නේ ඔවුනට උන්හිටිතැන් සියල්ල අහිමි කරමින්.

1997 වසරේ මැද භාගයේ ඔවුන් සිය වතුපිටි හරකබාන අතහැර කිලිනොච්චි මුලන්ගාවිල් ප්‍රදේශයට කොටුවන්නේ යුද්දයේ කටුක අත්දැකීම් මොනවට විඳිමින්.

ඉරණතිව් වැසියන් දූපත අත්හැර පැමිණෙනවාත් සමගම ශ්‍රී ලංකා නාවික හමුදාව එහි කඳවුරක් පිහිටු වනවා.

2009 යුධ ජයග්‍රහණයෙන් පසුවත් මෙම වැසියන්ට සිය ගම්බිම් කරා නැවත යෑම පහසු කරුණක් වෙන්නේ නෑ.

ඔවුන් සිය ගම්බිම් නැවත අත්පත් කර ගන්නේ වසර 2016 ආරම්භ කරන දීර්ඝ සාමකාමී විරෝධතාවකින් පසුවයි.

ඒ 2018 වසරේදී හරියටම ඔවුන්ගේ විරෝධතාවට දින 395 ගතවෙද්දී.

සුදුකොඩි දමාගත් ධීවර යාත්‍රා 50 කින් නැවත සිය ගම්බිම් කරා පැමිණි ඔවුන් යලි තම ජීවිකාව සලසා ගන්නේ දැඩි දුෂ්කරතා මධ්‍යයේයි.

ඉරණතිව් මුහුදු ප්‍රදේශය මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම මුහුදු කූඩැල්ලන්ටත් එකසේ ප්‍රසිද්ධියක් උසුලනවා.

එමෙන්ම අද වන විට මෙම දූපත අනෙකුත් ධීවර යාත්‍රා සඳහා පහසුකම් සපයන අතරමැදි ධීවර තොටුපොළක් ලෙසටත් ප්‍රචලිතයි.

ඔවුන්ගේ ධීවර යාත්‍රා දැල් ආම්පන්න වලට මෙන්ම ධීවරයන්ටත් විවේකයක් සලසන භූමියක් බවට අද මේ බිම පත්වෙලා.

90% වඩා වැඩි කතෝලික ජනගහනයක් වෙසෙන ඉරණතිව් දූපතේ අද වන විට වාසය කරන පවුල් සංඛ්‍යාව 400 ට මදක් වැඩියි.

ඔවුන් දහසකුත් එකක් දුක් කරදර බාධා කම්කටොලු සමග නැවත ජීවිතය ජයගන්න උත්සාහ දරන සුන්දර මිනිසුන් කොටසක්.

කෙසේවෙතත් මේ බිම කෝවිඩ්-19 ආසාධිත වී මියයන්නන්ගේ මෘතදේහ මිහිදන් කිරීම සඳහා තෝරාගෙන තිබීම හරහා මොවුනගේ සාමකාමී දිවිපෙවෙතට කුමන බලපෑමක් සිදු කරයි ද ?

එය හෙට දවසේ තවත් ගැටළුවක් නිර්මාණය කරාවිද ?

මෙයට පිළිතුරු අදාළ බලදාරින් විසින් ලබා දිය යුතු නොවන්නේ ද ?

[ සේයාරූ ]

***************************************

(03.03.2021 – 17:09 +0530 – hirunews.lk/sinhala)

පස් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හාරලක්ෂ විසි පන්දහසක (4,25,000) අල්ලසක් ලබා ගැනීමේදී ඊයේ (02) අත්අඩංගුවට ගත් නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ නිකවැරටිය මහේස්ත්‍රාත් ලක්මාලී දිසානායකගේ නියෝගයකට අනුවයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අදාළ මන්ත්‍රීවරයා ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු කොටවෙහෙර – මීවැල්ලෑව – කීනව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

@@@@@@@@@@@@@@

(03.03.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

මේ අතර ඊයේ (02) වාර්තා වු නව ආසාදිතයින් 318 දෙනාගෙන් වැඩිම පිරිස වන 72 දෙනෙකු වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83,868 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 80,019 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 3366 ක් ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, ඊයේ (02) දිනයේදී කොරෝනා මරණ 7 ක් වාර්තා වීමත් සමඟ වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 483 ක් දක්වා ඉහළ ගියා.

එසේම, එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා කොවිෂීල්ඩ් එන්නත පුද්ගලයින් පන්ලක්ෂ 53,821 ක් සඳහා ලබාදී තිබෙනවා.

ඊයේ (02) දිනයේදී පමණක් පුද්ගලයින් 44,546 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියා.

(03.03.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

තම දූපතේ කොරෝනා මරණ භූමදානය කිරීමට එරෙහිව කිලිනොච්චිය – ඉරණතිව් දූපතේ වැසියන් විරෝධතාවක නිරත වුණා.

ඉරණතිව් ජැටියේ පැවති මෙම විරෝධතාවට කතෝලික පියතුමන්ලා ඇතුළු 300කට වැඩි පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කොරෝනා මරණ භූමදානය කිරීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් ප්‍රකාශයට පත් කළ අතර, ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා කිලිනොච්චිය – ඉරණතිව් දූපත තෝරා ගෙන ඇති බවයි.

විරෝධතාවයේ නිරත වූ දූපත් වැසියන් ප්‍රකාශ කළේ තමන් ජීවත් වන භූමිය තුළ සිදුකරන මෙම ක්‍රියාවට කිසිසේත් ඉඩ ලබාදිය නොහැකි බවයි.

මේ අතර, කොරෝනා මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මේ වන විට සකස් කර අවසන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ෴

කොරෝනා ආසාදිතව සිටි තවත් 417 දෙනෙකු අද (03) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,437 ක් බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *