පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබාගනියි

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබාගනියි

*********************************************

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබාගනියි

(02.03.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබා ගත් අතර, ජාතික ආරක්ෂාවට සංවේදී වෙළුම් 22 ක් බාර නොදුන් බව, නීතිපතිවරයාගේ ප්‍රකාශිකාව පවසනවා ෴

***************************************

(02.03.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

පස් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 425,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(02.03.2021 – 18:14 +0530 – hirunews.lk/sinhala)

කොටි හිතවාදීන් ඊයේ (01) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

යුරෝපය පුරා විසිර සිටින කොටි හිතවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයන් විසින් මෙය සංවිධානය කර තිබුණා.

මෙහිදී ඔවුන් ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම් වූයේ, ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීම, යාපනය, දමිළ ජනතාවගේ නිජ බිම ලෙස නම් කිරීම, උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කිරීම යනාදියයි.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් දමිළ ඊළම ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් ලබා ගැනීමත් ඔවුන්ගේ ප්‍රමුඛ ඉල්ලීමක් ෴

***************************************

(02.03.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල, නාරංගල කන්ද සංචාරකයින්ට තාවකාලිකව තහනම් ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා.

මෙලස නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් කර ඇත්තේ මෙහි ඇති සංවේදී පරිසර කලාපයක් නිසා බවයි වාර්තා වන්නේ.

+++++++++++++

සුන්දර බදුල්ල දිස්ත්‍රික්කයේ නාරංගල කන්ද අසිරිය (25-09-2020)

***************************************

(02.03.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වේල්ලවීථියේ ගමන් බෑගයක තිබී හමුවූ හිස කඳින් වෙන් කළ කාන්තා සිරුර සහිත බෑගය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා ඉන්පසු ගමන් කළ මාර්ගය සොයා මේ වනවිට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ වේල්ල වීථිය ආශ්‍රිත සී සී ටී වී දර්ශන ඒ සඳහා නිරීක්ෂණය කරන බවයි.

අදාළ පුද්ගලයා විසින් හංවැල්ලේ සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකින් කාන්තා මළ සිරුර සහිත බෑගය රැගෙන විත් ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

මේ වනවිට එම බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, රියදුරු සහ කොන්දොස්තරගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් යම් පුද්ගලයෙකු බෑගයක් රැගෙන ආ බව තහවුරු වී තිබුණා.

ඔහු මළ සිරුර සහිත බෑගය හංවැල්ල ප්‍රදේශයේදී බස් රථයට දමාගන්නා ආකාරය මෙන්ම පිටකොටුව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස යන ආකාරයද සී සී ටී වී දර්ශනවල සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාව තහවුරු වී නැහැ.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 859 1557 හෝ 011 243 3333 යන දුරකථන අංකවලට දැනුම්දීමේ හැකියාව පවතින බවයි පොලීසිය සදහන් කළේ.

මේ අතර හංවැල්ල නගරයේ තිබී කාන්තා ඇඳුම් සහිත බෑගයක් අද (02) පොලීසිය සොයාගත්තා.

කෙසේ වෙතත් එම බෑගය සහ මියගිය කාන්තාව අතර සබඳතාවක් පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.

එසේම හංවැල්ල බස් නැවතුම්පලට කිලෝමීටර 3 ක් පමණ දුරින් පිහිටි නීරියපොල ප්‍රදේශයේ පිහිටි වක්ඔයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක්ද අද (02) පොලීසිය සොයාගෙන තිබුණා.

***************************************

(02.03.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණී විභාගය අප්‍රේල් 04 පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා ෴

***************************************

(02.03.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

යාපනය – අරියාලේ – නාවල්අඩි ප්‍රදේශයේදී කුඩා බිළිඳෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බිළිඳාගේ මවගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙසට යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඊට අමතරව බිළිඳාට සිදුව ඇති තුවාල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබන 9 වනදාට ඉදිරිපත් කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

දෙදෙනාම ලබන 9 වනදා දක්වා පරිවාස භාරයට පත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

මාස 9 ක් වයසැති මෙම බිළිඳාට 24 හැවිරිදි මව විසින් කෝටුවකින් පහර දී පසුව කාමරයක් තුලට ඇදගෙන ගොස් යලි කෝටුවෙන් පහර දෙන ආකාරයත් එහිදී දැඩි වේදනාවෙන් එම දරුවා හඩන අයුරුත් සමාජ මාධ්‍ය සංසරණය වූ වීඩියෝවේ දැක්වුණා.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් යාපනය පොලිසිය අදාළ නිවසට ගොස් පරීක්ෂණ සිදුකළ අවස්ථාවේදී මව අත්අඩංගුවට ගත් අතර, දරුවාගේ පියා කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරත වන බව සඳහන්.

සැමියා විසින් තමාට ජීවත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවයි අදාළ මව පොලීසියට ප්‍රකාශ කර තිබුණේ.

***************************************

(02.03.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරුන් ලබාදුන් පොරොන්දු කඩ කළ බවට සඳහන් කර ඊට, අප්‍රසාදය පළ කරමින් කාදිනල් හිමිපාණන් නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා.

ඒ එහි සභාපතිවරයාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින්.

පසුගිය ජනවාරි 21 වනදා අගරදගුරු නිවසේ පැවති සාකච්ඡාවෙන් පසු මේ දක්වා කිසිදු ලෙසකින්වත් තාවකාලික හෝ ස්ථිර බලපත්‍ර ලබාදී නොමැති බව සභාපතිවරයා පවසනවා.

මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ යෝජනාවට තමන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ඊයේ (01) කාදිනල් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ලබාදුන් පොරොන්දු කඩ කළ බවටද එමඟින් චෝදනා කර තිබුණා.

එසේම අද (02) පෙරවරුවේ මුතුරාජවෙල පවතින තත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුලු පිරිසක් එම ස්ථානයට ගොස් තිබෙනවා ෴

***************************************

(02.03.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීම සඳහා මන්නාරමට ආසන්න ඉරණතිවු දූපත තෝරා ගැනීමේ තීරණයට විරෝධය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කොළඹ අද (02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව මගින් මෙම අවසන් තෝරා ගැනීම සිදුකර ඇති බවයි.

කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පසුගියදා නිකුත් කෙරුණේ ඒ පිළිබඳව දිගු කලක් තිස්සේ පැවති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේයි.

කෙසේ වෙතත් එම මෘතදේහ භූමදානයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙතෙක් ඉදිරිපත්ව නැහැ.

ඒ අනුව, පවුලේ ඥාතීන් දෙදෙනෙකුට ද අදාළ අවස්ථාවට සහභාගි විය හැකි බව අප කළ වැඩිදුර විමසීමකදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

කොරෝනා මෘතදේහ භූමදානය සඳහා තෝරාගෙන ඇති මෙම ඉරණතිවු දූපත පිහිටා තිබෙන්නේ මන්නාරම් බොක්ක තුළයි.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක් වන එම දූපත කිලිනොච්චිය – ඉරණමාතා ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 9 ක් දුරින් පිහිටා තිබෙනවා.

අතීතයේ කතෝලික දෙමළ ජනතාව බහුතරයක් ඉරණතිවු දූපතේ ජීවත්ව ඇති අතර පැවති යුද තත්ත්වය මත පසුව ඔවුන්ට කිලිනොච්චිය – නච්චිකුඩාහි ඉරණමාතා ප්‍රදේශයේ ඉඩම් ලබාදී පදිංචි කර තිබෙනවා.

කෙසේ වෙතත්, ධීවර කටයුතු ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා එම ජනතාව තවමත් ඉරණතිවු දූපතට පැමිණෙනවා.

මේ වන විට ඉරණතිවු දූපතේ ස්ථිර වශයෙන් පවුල් 10 ත් 15ත් අතර ප්‍රමාණයක් පදිංචි වී සිටින අතර විවිධ කාලවලදී ධීවරයින් තාවකාලිකව රැඳී සිටීමටද මෙම දූපත භාවිත කරනවා.

මීට අමතරව එහි නාවික හමුදා අනු ඛණ්ඩයක්ද වසර ගණනක සිට ස්ථාපිතයි.

මේ අතර, කොරෝනා මෘතදේහ භූමදානයට ඉරණතිවු දූපතම තෝරාගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර සිය විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට කොරෝනා ආසාදනය වීමෙන් පසු නිරෝධායනයට ලක් කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ගාල්ල – උඩුගම ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනෙකුට (2) වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

එසේම, බන්ධනාගාර නිලධාරින් 5153 කට කොරෝනා එන්නත ලබාදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 83,552 ක්.

අද (02) දිනයේදීත් ආසාදිතයින් 598 ක් සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 80,000 සීමාව ඉක්මවමින් 80,020 දක්වා ඉහළ යනවා.

එසේම අද (02) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 153 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

***************************************

(02.03.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

තෝරා ගත් ක්ෂේත්‍රවල වෘත්තීය අධ්‍යාපනයේ නිරත සිසුන්ට මාසිකව රුපියල් 4000 ශිෂ්‍යාධාරයක් ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙල අද (02) ආරම්භ වුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘හැකියාවෙන් පිරිපුන් පරපුරක්’ යන තේමාවෙන් පැවති ‘ස්කිල්ස් ශ්‍රී ලංකා’ වැඩසටහනේදීයි.

ලෝක ආර්ථිකයට සහ වැඩබිමට ගැලපෙන සුහුරු මානව සම්පතක් බිහිකිරීම අරමුණු කර ගනිමින් මෙය සංවිධානය කරන්නේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයයි ෴

***************************************

(02.03.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සඳහා ලබන අප්‍රේල් 21 දක්වා කාලය ලබාදෙන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (01) පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තාව උන්වහන්සේ වෙත ලැබීමෙන් පසු අද (02) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මේ අතර පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපතිවරයා අද (02) ජනාධිපති ලේකම්වරයාගෙන් ලබාගෙන තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ක් නොලැබුණු බවයි.

(02.03.2021 – 20:48 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් සහ කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

***************************************

(02.03.2021 – 21:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සහ එහි දේශීය නියෝජිතයා වන ‘ජෝන් කීල්ස් සමාගම’ සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරියට එක්ව සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

කෙසේ වෙතත් බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස කළ ඉල්ලීමට ජපන් රජය ප්‍රතිචාර දක්වා නැහැ.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම, මෙහෙයුම් කිරීම හා වසර 35 කින් පවරාදීම සඳහා වන ගිවිසුම සහ යෝජනා, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපන් තානාපති කාර්යාලය වෙත රජය විසින් පසුගිය සමයේදී යොමුකර තිබුණේ ආයෝජකයෙකු නම් කරන ලෙස ඉල්ලමින්.

ඒ අනුව ‘අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ්’ ඉදිරිපත් කළ යෝජනාව සදහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් ජපන් රජය ඒ සඳහා කිසිදු ආයෝජකයෙකු නම්කර නැහැ.

ඒ අනුව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලින් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ පරිදි ‘අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ්’ සහ එම සමාගමේ දේශීය නියෝජිතයා වන ‘ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්’ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියඑක්ව බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

***************************************

(02.03.2021 – 22:53 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටකින් ත්‍යාගයක් ලැබී ඇති බව පවසමින් ජනතාව මුලාකර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගැනීමේ ජාවාරමක් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වනවා.

අද (02) ‘හිරු CIA’ අනාවරණය ඒ පිළිබඳවයි.

විදෙස් රටක මිතුරෙකු ලෙස පෙනී සිටිමින් ෆේස් බුක්, වට්ස් ඇප් ආදී සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දුරකතන ඇමතුම් හා කෙටි පණිවුඩ ලබාදෙමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව ‘හිරු CIA’ වෙත තොරතුරක් ලැබුණා.

ඒ එම ජාවාරමට හසු වූ අවිස්සාවේල්ල ප්‍රදේශයේ කාන්තාවකගෙන්.

මෙරටට එවන බව පවසන එම තෑගි අතර වටිනා ජංගම දුරකතන, විදේශීය මුදල්, රත්‍රං බඩු මෙන්ම ඉහළ මිල ගණන්වලින් යුත් ඇඟලුම් හා පාවහන්ද වනවා.

මෙම වීඩියෝ දර්ශන එවීමෙන් පසු එම භාණ්ඩවල මුද්දර ගාස්තු ලෙස රුපියල් 95,000 ක මුදලක් ගෙවන ලෙසයි ඔවුන් දන්වා සිටින්නේ.

ඒ මෙරටට අදාළ තෑගි භාණ්ඩ මෙරටට එවා ඇති බවට ඡායාරූප සාක්ෂිද යොමුකරමින්.

රුපියල් 95,000 ක මුදලක් වංචනිකව ලබාගන්නා ඔවුන් මෙම වංචාව එතනින් නිමා කරන්නේද නැහැ.

මෙම වංචාවට රැවටුණු සිය ගණනක් දිනකට අප වෙත තොරතුරු ලබාදෙමින් පවසා සිටින්නේ මෙම විදෙස් මිතුරාගේ උගුලට තමන් හසුවී රුපියල් ලක්ෂ ගණන් මුදල් අහිමි කරගත් බවයි.

‘හිරු CIA’ මෙම අනාවරණය සිදු කරන්නේ හෙට (03) දිනයේ ඔබත් මෙම වංචාවේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක් පවතින බැවිනුයි.

***************************************

(03.03.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නාගලගන්වීදිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 152 ක් සමඟ පොල් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම ව්‍යාපාරිකයා කලක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවට වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි ෴

***************************************

(03.03.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)

කුරුවිට – තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාව ඝාතනය කර කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයට ගෙන විත් දැමූ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ කැළෑවක ගසක එල්ලෙමින් තිබියදී හමුවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහුගේ මළ සිරුර ආසන්නයේ වස බෝතලයක් ද තිබූ බවයි.

මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ බඩල්කුඹුර – 5 කණුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් ෴

++++++++++++++++

තරුණියගේ ඝාතනයට සැක SI සියදිවි හානි කරගනී

(03.03.2021 – 07:16 +0530 – sinhala.adaderana.lk)

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම මළ සිරුර ආසන්නයේ තිබී ‘වස කුප්පියක්’ ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

පසුගිය මාර්තු 1 වන දා වේල්ල වීදිය ප්‍රදේශයේ දී හිස නොමැති මළ සිරුරක් සොයාගනු ලැබු අතර එය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ කාන්තාවකගේ බවට අනාවරණය විය.

ඇය 30 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඇය ඝාතනය කළ පුද්ගලයා ලෙස සියදිවි හානි කරගෙන ඇති උප පොලිස් පරීක්ෂකවරයා හඳුනාගත් අතර, පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු නිවසින් පළාගොස් තිබුණි.

කෙසේවෙතත් අද (02) උදෑසන සෝදිසි මෙහෙයුම් කළ පොලිස් නිලධාරීන්ට පොලිස් නිලධාරියාගේ සිරුර හමුවුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

දැනට ඇති සාක්ෂි අනුව ඔහු වස පානය කර සියදිවි හානි කරගන්නට ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදුකිරීමට නියමිතය.

++++++++++++

හිස කපා තරුණිය ඝාතනයේ තවත් තොරතුරු මෙන්න..

(03.02.2021 – 09:20 +0530 – lankacnews.com)

කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01 දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි (50) උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත. මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත.

අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි (50) නමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් කැලෑවකට පැන ඇත.

ඊයේ (02 දා) රාත්‍රිය වන විට ඔහුව සොයා මෙහෙයුමක් අරඹා තිබුණු බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘අරුණ’ට පැවසීය.

ඝාතනයට ලක්වී ඇත්තේ ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරියකි. මෙම මියගිය කාන්තාවගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. සැකකරු විවාහකයකු වන අතර නිවසට පොලිස් කණ්ඩායම් යන විට ඔහු බිරිඳ සමග සිට ඇත.

සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10:00 ට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන ඇත. එම හෝටලයේ සිටියදී කාන්තාව සමග තුන් වතාවක් (3) පිටතට ගොස් ඇති අතර ඔහු එම හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ පෙරේදා (01 දා) උදෑසන 10:00 ට පමණය. එලෙස පිටව යෑමට පෙර මෙම කත ඝාතනය කර ඇතැයි අනාවරණය වේ. හෝටලයේ බිල රුපියල් 4100 ක් ගෙවා සැකකරු පිටව ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. ඒ හංවැල්ල නගරයටය. කාන්තාව ඝාතනය කළ පසු බහාලූ බෑගයද එම ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් ඇත. නවතැන්පොළේදී ඝාතනය සිදුකළ පසු සැකකරු හෝටල් කාමරය සම්පූර්ණයෙන් පිරිසුදු කර ඇතැයි හෙළිවන බවත්, බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘අරුණ’ට පැවැසීය.

මරා දමා පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බව අනුමාන කෙරේ. අධික රුධිර වහනයක් නොවී ඇත්තේ ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා විය හැකි බව විමර්ශන කණ්ඩායම් කියයි. කාන්තාවගේ හිස මෙතෙක් හමුවී නැත. මෘත දේහය බහාලූ බෑගය කොළඹ වේල්ලවීදියෙන් හමුවූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සැකකරු යැයි විශ්වාස කළ හැකි අයකු හෝටල් හිමිකාරිනියට දුරකථන ඇමතුමක් ලබාදී තමාගේ තොරතුරු පිටතට ලබාදුනහොත් මරා දමන බවට තර්ජනය කර ඇත.

ඝාතනයෙන් පසු හංවැල්ල්ලට පැමිණි සැකකරු බස්නැවතුමෙන් හංවැල්ල – කොළඹ බස්රථයකට ගොඩවී ඇතැයි කළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත. ඝාතනයට ලක්වූ කාන්තාවගේ යැයි සැක කරන යට ඇඳුම් සහිත ගමන් බෑගයක් හංවැල්ල නගරයේදී තිබී හමුවී ඇත.

මෙම ඝාතනය වූ කාන්තාව නිවසින් පිටවී ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා යැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට පොලිසිය ගිය මොහොතේ කැලෑවට පනින්නට පෙර බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද තබා ගොස් ඇත. “මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයාගන්න පුළුවන්තැනක සූසයිඩ් කරගන්නවා” යැයි ලිපියේ සඳහන් කර ඇත.

සැකකරුට වයස අවුරුදු 18 දරුවකු හා අවුරුදු දහයක (10) දරුවකු සිටී. මෙම දරුවන් හා බිරිඳ පොලිසිය සමග ඊයේ (02 දා) රාත්‍රියේ කැලෑබද ප්‍රදේශයට ගොස් කෑගසමින් ඔහු අමතා ඇතත් ඔහු පැමිණ නොමැත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
(Aruna)

***************************************

(03.03.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

අනවසර විදුලි රැහැන් ඇද සුනඛයෙකු මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහුගේ යාබද නිවසේ හිමිකරුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.

පැමිණිල්ලේ දැක්වෙන්නේ එම පුද්ගලයා සිය ගෙවත්තේ වගා කටයුතු සඳහා යොදාගන්නා වතුර මෝටරයකට සම්බන්ධ කර ඇති විදුලි රැහැනක් මගින් මෙලෙස සතුන් ඝාතනය කරන බවයි.

පැමිණිලිකරුගේ නිවසේ සුරතල් සුනඛයා ද මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇති අතර, ඒ අනුව දේවහූව – වැටකොළුවැව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අදාළ සැකකරු ඊයේ (02) අත්අඩංගුවට ගැනුනා.

මියගිය සුනඛයාගේ මළ සිරුර සම්බන්ධයෙන් වාර්තාවක් පශු වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබෙනවා ෴

***************************************

(03.03.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

අමතරව බඳවාගත් සිසුන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිලධාරීන්, උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (02) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදියි.

මෙවර විශ්වවිද්‍යාලවලට වැඩිපුර සිසුන් 10,588 දෙනෙකු බඳවාගෙන තිබුණා. දරුවන් වෙනුවෙන් ලබාදෙන මුදල් ප්‍රතිපාදනවලට අමතරව මෙම අතිරේක මුදල් පියවරෙන් පියවර අදියර කිහිපයකින් විශ්වවිද්‍යාලවලට මුදාහරින ලෙසටයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර, පැමිණි එකඟතාවයන්ට අනුව වසර පහක (5) වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන සිසුවෙකුට අවුරුදු 22 හෝ 23 වන විට වෛද්‍යවරයෙකු බවට පත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා ෴

***************************************

(03.03.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා නව සංවර්ධන මූල්‍යයෝපායන් ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මහ බැංකුවට නියෝග කර තිබෙනවා.

සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් සිතා නව්‍ය උපාය මාර්ගික සැලැස්මක් සකස් විය යුතු බවයි එම කාරක සභාව දැනුම් දී ඇත්තේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට මහ බැංකුව කැඳවූ අවස්ථාවේදී ඩොලර් මිලියන 323 ක ඉතුරුම් ශේෂයක් පවත්වාගෙන යෑමට සමත්ව ඇති බවද මහ බැංකුව අනාවරණ කළා. ඉන් අනතුරුව කාරක සභාව මෙම උපදෙස් ලබාදුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

සීනි සම්බන්ධව මෙතෙක් රජය ගත් බදු සංශෝධන ක්‍රියාමාර්ගවලින් රටට සහ රජයට පාඩු සිදුව ඇති බවට එල්ලවන චෝදනා පිළිබඳවද මෙහිදි අවධානය යොමුවුණා. මුදල් කාරක සභාව ප්‍රකාශ කළේ අදාළ විවේචන රජයට කළු පැල්ලමක් වන අතර, අපේක්ෂා කළ පරිදි පාරිභෝගිකයාටද වාසියක් සිදුව නොමැති බවයි.

ඒ සම්බන්ධව කැඳවූ වාර්තාව තවමත් ලැබී නොමැති බවද එහිදී අනාවරණ වුණා.

එසේම කොළඹ-3, ගාලු පාරේ අංක 116 ස්ථානයේ ඉදිවන නගර හෝටලයක් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර, ඊට අදාළව අතිරික්ත වැය බරක් දැරීමට සිදුවීම පිළිබඳව ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් අවශ්‍ය බවයි කාරක සභාව ප්‍රකාශ කර ඇත්තේ ෴

***************************************

(03.03.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව – මඩාටුගම ප්‍රදේශයේ පිහිටි සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) දහවල් ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් සිසුන් තුන්දෙනෙකු (03) අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බවයි ෴

***************************************

(03.03.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

මේ මස 21 වන දාට යොදාගෙන තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් මස 4 වනදා දක්වා කල් දමා ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර පළාතේ පාසල් මේ මස 15 වනදා ආරම්භ කිරීමට නියමිත බැවින් ඉන්පසු එළඹෙන ඉරිදා එම පළාතේ දහම් පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි ඔවුන් නිකුත්කළ නිවේදනයක දැක්වුණේ ෴

@@@@@@@@@@@@@@@

(02.03.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 7 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 483 ක් ලෙසටයි ෴

තවත් කොරෝනා ආසාදිතයන් 164 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++

(03.03.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබෙන කොරෝනා එන්නත් තොගයේ පළමු කොටස මේ මස 7 වනදා වනවිට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩි රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ පුත්තලම ප්‍රදේශයේ ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින් ෴

++++++++++++++++++++

(03.03.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (02) නව ආසාදිතයින් 318 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 83,870 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 308 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් 9 දෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි අයෙකු මේ අතර වනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 3367 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 80,020 ක්.

මේ අතර, නව මරණ 7 ක් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 483 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ මිය ගිය අය කොළඹ-15, කොළඹ-5, පිළියන්දල, පිළිමතලාව, කොළඹ-2 සහ ගලේවෙල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 63 ත්, 89 ත් අතර වයස්වල පසුවන්නන් වන බවයි ෴

++++++++++++++++++++

(03.03.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හි රැකියා සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක්ව මෙරටට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 266 දෙනෙකු අද (03) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් මෙලෙස පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඉන් වැඩි පිරිසක් කාන්තාවන් වන අතර, ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *