කොරෝනා මරණ භූමදානයට උතුරේ දූපතක්

කොරෝනා මරණ භූමදානයට උතුරේ දූපතක්

*********************************************

කොරෝනා මරණ භූමදානයට උතුරේ දූපතක්

(02.03.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චියේ ඉරණතිව් දූපතෙහි කොවිඩ් මරණ භූමදානය කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

අද (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී හිරු මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ භූමදානය කිරීම සඳහා පත් කළ තාක්ෂණික කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ වයස අවුරුදු 30 ට වැඩි සියළු දෙනාට කොරෝනා එන්නත ලබාදීමට තීරණය කර ඇති බවයි ෴

මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව ග්‍රාම නිලධාරි වසම් හුදකලාබවින් ඉවත් කර තිබෙනවා.

කොරෝනා ව්‍යාප්ති අවදානම හේතුවෙන් මීට පෙර එම ග්‍රාම නිලධාරි වසම් හුදකලාකළ අතර, එහි අවදානම අඩුවීම හේතුවෙන් මෙලෙස එම ග්‍රාම නිලධාරි වසම් අද (02) සිට හුදකලාබවින් ඉවත් කළ බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

(02.03.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (01) දිනයේදී කොරෝනා ආසාදිතයින් 310 ක් හඳුනා ගැනුණු අතර, ඉන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 60 ක්.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, අද (02) දිනය වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 4951 ක්.

ඊයේ (01) දිනයේදී බන්ධනාගාර ආශ්‍රිතව අලුතෙන් ආසාදිතයින් 18 දෙනෙකු සොයා ගැණුනා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ නිරෝධායන රීතීන්වලට අනුගතව කටයුතු නොකිරීමේ ප්‍රවණතාවක් මේ දිනවල දක්නට ලැබෙන බවයි.

ඒ පිළිබදව ජනතාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියා.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද (02) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක වනවා.

ඉදිරි පෙළ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු පාර්ශව රැසකට කොරෝනා එන්නත් ලබාදීම අදත් (02) දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකෙරෙනවා.

එසේම මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ද ඊයේ (01) නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී කොරෝනා එන්නත ලබාගෙන තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයින් 598 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 80,020 ක් ලෙසයි සඳහන් වන්නේ ෴

@@@@@@@@@@@@@@

(02.03.2021 – 12:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 පෙබරවාරි මාසයේ දී මාලදිවයිනේ මාලේ වෙත කිලෝග්‍රෑම් මිලියන 1.2 ක ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරමින් වාර්තාවක් සනිටුහන් කර තිබෙනවා.

එසේම මෙම කාලයේ දී මාලදිවයින තුළ ආහාර ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ගුවන් භාණ්ඩ සදහා ඉහළ ඉල්ලුමක් පැවතුණු බවයි වාර්තා වන්නේ.

එම ඉල්ලුම පිළිබඳ සැලකිලිමත් වෙමින් ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය විසින් භාණ්ඩ විශාල ප්‍රමාණයක්, මාලදිවයිනේ මාලේ වෙත සැපයූ අතර ඒ අනුව පසුගිය මාසයේ කොළඹ සිට මාලේ දක්වා පමණක් ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 500 ඉක්මවා ප්‍රවාහන කර තිබෙනවා ෴

***************************************

(02.03.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු අධිකාරිය සිදුකළ වැටලීමකින් රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් භාවිතයට නුසුදුසු ආලේපන තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේවා පාකිස්ථානය, කොරියාව සහ ඉන්දියාව යන රටවලින් ආනයන කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දීර්ඝ කාලයක් තිස්සේ මෙම ආලේපන බෙදා හැර අලෙවි කර ඇති බවට ද පාරිභෝගික අධිකාරිය සඳහන් කළා ෴

***************************************

(02.03.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව පිළිබද යෝජනා සම්මත කර ගනිමින් මෙරට සාමයත්, සංහිදියාවත් ඇති කර ගැනීමට හැකි බවට මානව හිමිකම් මණ්ඩලය හෝ වෙනත් කිසිදු පාර්ශවයක් අදහස් කරන්නේ නම් එය මුළුමනින්ම වැරදි අදහසක් බව විදේශ කටයුතු ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

ඉන්දියා ටුඩේ රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ සාමය හා සංහිදියාව ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට ඉඩ සැලසීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීමක් බවයි.

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබද වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ රටවල් 21 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ බව විදේශ කටයුතු ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

රටවල් 15 ක් ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි රටවල් සියල්ල බටහිර කදවුර නියෝජනය නොකරන අතර එම කදවුරෙන් පිටත ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්වූයේ එක් රටක් පමණයි.

එසේම එම ඡන්ද විමසීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂපාතීව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා එහිදී ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඉන්දියාව එම ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියද ඉන්දු – ශ්‍රී ලංකා සබදතාවලට එය බලපෑමක් නොවනු ඇති බවයි.

***************************************

(02.03.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

රටක රාජ්‍ය නායකයෙකු බිහිකිරීම සඳහා ක්‍රීඩාවෙන් ලැබෙන පන්නරය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මෙරට ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමේ ගමට පිටියක් ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

මෙරට ග්‍රාමීය ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමේ ගමට පිටියක් ජාතික ව්‍යාපෘතිය අද (02) පෙරවරුවේ ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් අමාත්‍යාශ සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යශය එක්ව සංවිධාන කරන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (02) උදෑසන අරලියගහ මන්දිරයේ සිට පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

මෙම ජාතික ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය ක්‍රීඩා පිටි 332 ක් සංවර්ධය කිරීමට නියමිතයි.

***************************************

(02.03.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට ප්‍රමිතිගත නියාමනයක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේදී වූ වරදක් පිළිබඳ අප පසුගියදා පළ කළ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින්.

ලොවම වෙලාගත් කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ මෙරට Online අධ්‍යාපන ක්‍රමය හෙවත් මාර්ගගත අධ්‍යාපනයට මෙරට දරුවන්ට ද ඉහළ අවධානයක් යොමුවුණා.

නමුත් එලෙස ඉගැන්වීම් සිදුකරන ඉංග්‍රීසි ගුරුවරියකුගේ වැරදි ඉගැන්වීමක් දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණයවීම පිළිබඳ පුවතක් අප පසුගියදා වාර්තා කළා.

මේ දරුවා තම ගුරුවරියගෙන් විමසන්නේ Poverty යන ඉංග්‍රීසි වචනයේ අර්ථයයි.

Poverty යන ඉංග්‍රීසි වචනයේ අර්ථය ‘දරිද්‍රතාවය’ වුවත් මෙම ගුරුවරිය දරුවාට උගන්වන්නේ බලය සම්බන්ධයෙන් අර්ථයක් පිළිබඳවයි.

මෙවැනි වැරදි ඉගැන්වීම් වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා ඊයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

***************************************

(02.03.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ඉහළ විදේශ විනිමයක් ගෙන දෙන කුළු බඩු අතර කරාබුනැටිවලට සුවිශේෂ ස්ථානයක් හිමිවෙනවා.

නමුත් මේ වන විට කරාබුනැටි සඳහා නිසි මිළක් නොමැති වීම හේතුවෙන් එම ගොවීන් තම වගාවන් අතහැර දමන තත්ත්වයකටයි පත්ව තිබෙන්නේ.

කොවිඩ් වසංගතය මුළු ලොවම වෙලාගෙන තිබූ කාලවකවානුවේදී ගතවූ වසර තුළ මෙරට කුළු බඩු අපනයනයෙන් පෙර වසරවලට වඩා වැඩි ආදායමක් ලබා ගත් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කරාබුනැටි ගොවීන් ද සිය වගාවන් ගෙන් වැඩි ආදායමක් ලබා ගත්තා. නමුත් මේ වන විට කරාබු නැටි සඳහා පවතින මිල පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම මිල කරාබුනැටි වගාවේ වියඳම සමඟ සැසඳීමේදී පාඩු ලබන තත්වයට පත්ව ඇති බවයි ගොවීන් පවසනවා.

මෙම තත්වය හමුවේ බොහෝ ගොවීන් කරාබුනැටි වගාව අතහැර දමන තත්ත්වයකටයි පත්ව ඇත්තේ.

ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රටට වැඩි විදේශ විනිමයක් සපයන කරාබුනැටි ගොවියන්ගේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි.

***************************************

(02.03.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

සිය ජීවිත අවදානමේ තබමින් නිසි පරිදි සංවර්ධනය නොකළ පාලමක් හරහා ගමන් කරන ගම්වැසියන් පිරිසක් පිළිබඳව තෙල්දෙණිය – රේටියගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සුන්දර පරිසරයකින් සමන්විත මෙම ගම්මානයේ වෙසෙන ජනතාවගේ ප්‍රධාන ගැටලුව වී ඇත්තේ නිසි මාර්ග පද්ධතියක් නොමැතිකමයි.

තෙල්දෙණිය – රේටියගම වැසියන් මීඅංපහේ ඔය හරහා තැන්නේවෙල ගම්මානයට ගමන් කරන්නේ වැඩ නිම නොවූ මෙම පාලම හරහායි.

එමෙන්ම ලබුවාගොඩ, අස්වැද්දුමේ වෙල, කිරිබත්තලාව, ගමේවෙල යන ගම්මාන 5 ක වැසියන් ද මොරගහමුල ගම්මානනයට ගමන් කරන්නේද මේ මාර්ගය හරහායි.

2018 වසරේදී රුපියල් 13,31,449 ක වියදමින් මෙම පාලම සාදා නිම කළත් ඊට දෙපසින් පිහිටි මාර්ගය ඊට සම්බන්ධ නොකිරීමෙන් ගම්වාසීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ පාලමට පැමිණීම සඳහා දෙපසින් උණ බට ආධාරයෙන් මාර්ගයක් සාදා ඇති අතර වැසි දිනවල එහි ගමනාගමනයේ යෙදීම ඉතා අවදානම් බවයි.

ත්‍රිවිල් රථයක් හෝ මෙම මාර්ගයේ ධාවනය කිරීමට නොහැකි හෙයින් ගැබිණි කාන්තාවන්, වයෝවෘද්ධ පුද්ගලයින්, පාසල් දරුවන් ඇතුළු පිරිසට සිය දෛනික රාජකාරී කටයුතු සිදුකර ගැනීමට සිදුව ඇත්තේ දැඩි දුෂ්කරතා මධ්‍යයේයි.

නාම පුවරුවලට පමණක් සීමා වූ නිසි පරිදි සංවර්ධනය නොකරන ලද මෙවන් ව්‍යාපෘති හේතුවෙන් නාස්ති වන්නේ ජනතා මුදල් නොවේද?

බලධාරීන් නිසි අවධානය යොමු කර මෙම පාලම හා ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කරන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්….

***************************************

(02.03.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළව රජය ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මේ වසරේදී ඩොලර් බිලියනයක අපනයන ආදායම් ඉලක්කය සාක්ෂාත් කරගැනීමට නොහැකිවනු ඇති බව එම කර්මාන්තකරුවන් පවසනවා.

පසුගිය සැප්තැම්බරයේදී රන් ආනයන සඳහා සියයට 15 ක බද්ද මෙන්ම ලාභය මත සියයට 14 ක බද්ද කපා හැරීමට රජය තීරණය කළා.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ එම තීරණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බරයේ අයවැය ඉදිරිපත් කරමින් තහවුරු කරනු ලැබුවා.

එහෙත් එම තීරණ මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන්.

පසුගිය 2020 වසරේදී ශ්‍රී ලංකාවට එම කර්මාන්තයෙන් ඉපයීමට හැකිවූයේ ඩොලර් මිලියන 212.2 ක් පමණයි ෴

***************************************

(02.03.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

LPL තරඟ පාවා දීමේ සැලසුමක් පිළිබඳව චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *