අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ මාරු වන ලකුණු

අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ මාරු වන ලකුණු

*********************************************

අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ මාරු වන ලකුණු

(02.03.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේදී ඊයේ (01) පැවති සාකච්ඡාවකදී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කළ ඉල්ලීමකට අනුවයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටළු හා එම ගැටළු විසදා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා ද මෙම හමුවේදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.

රජයේ වෛද්‍ය පීඨයකින් මේ වන විට බිහි වන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව බොහෝ විට අවුරුදු 28 හෝ 30කට ආසන්න වන බව එහිදී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දුන්නා.

මේ පිළිබදව වූ යෝජනා සලකා බැලූ අග්‍රාමාත්‍යවරයා රජයේ වෛද්‍ය පීඨයකින් බිහි වන වෛද්‍යවරයෙකුගේ වයස් සීමාව අවුරුදු 22 හෝ 23 දක්වා අඩු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ද උපදෙස් ලබාදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කරමින් කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පවත්වන නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට එළඹෙන සතියේදී යොමු කරන බවයි.

ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට වැඩි වශයෙන් ගත වූ මාස 9 ක කාලයක් අඩු කර ගැනීමට අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය විමසා බැලූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට ද සෞඛ්‍ය ඇමතිනිය වෙත උපදෙස් ලබාදුන්නා.

විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියළුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 ත්, 63 ත් දක්වා දීර්ඝ කිරීම පිළිබදව ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්වුණා.

පාසල් දරුවන්ගේ හා වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවන් සෞඛ්‍යාරක්ෂිත කිරීම, පාසල් දරුවන් අතරට වේගයෙන් පැතිර යන බෝ නොවන රෝග වසංගත මැඩලීම හා ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයට දුන් යෝජනා පිළිබදව ද ඊයේ (01) පැවති එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් වී තිබෙනවා ෴

***************************************

(02.03.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

2015 – 2018 කාලසීමාවේ රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ පිළිබද සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ (01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(02.03.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙට්ටලිවෙලගේ විලාජිත’ හෙවත් ‘හයිබ්‍රිඩ් සුරංග’ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මිරිස්ස ප්‍රදේශයේ ඊයේ (01) සිදුකළ විශේෂ වැටලීමකදියි.

සැකකරු එම ප්‍රදේශයේ හෝටලයක තවත් තරුණියන් දෙදෙනෙකු (2) සමඟ සැඟව සිට ඇති අතර ඔහු සතුව තිබූ අයිස් ග්‍රෑම් 20 ක්, හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ මුදලින් රුපියල් 58,830 ක් සොයා ගැනුණා.

මීට අමතරව ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් මෝටර් රථයක් ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

26 හැවිරිදි වියේ පසුවන මොහු පොලිස් වෙඩි පහරින් මාළිගාවත්ත ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්වූ ‘මාකඳුරේ මධුෂ්’ගේ සහ දැනට විදේශ රටකට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රුවන් නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ ගෝලයෙකු වනවා ෴

***************************************

(02.03.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

මුහුද රළුවීම නිසා හලාවත – මුතු පන්තියේ ආරක්ෂාවට යොදා තිබූ ගල් වැටි හා වැලි කඳු බිදී යාම හේතුවෙන් පවුල් 10 ක් පමණ අවතැන් වී තිබෙනවා.

ධීවරයින් සතු දැල් ආම්පන්න විශාල තොගයක් ද ඒ හේතුවෙන් මුහුදට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

(02.03.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

බෝසත් උපත මෙරට දී සිදුවූ බවට මිත්‍යා මත පැතිර වීමට කිසිසේත් ඉඩ ලබානොදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා. අදාළ මිත්‍යා මතය පැතිර වීමේ ඒකායන අරමුණ බවට පත්ව ඇත්තේ ‘බුදුදහමට හානි කිරීම’ බවයි ඔහු සඳහන් කළේ.

බෝසත් උපත සිදුවූ බවට පිරිසක් විසින් මත පළ කළ හබරණ – හිරිවඩුන්න ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක කැණීම් ඊයේ (01) සිට ආරම්භ කළා.

බෞද්ධ උපදේශක කමිටුවේ ඉල්ලීමක් අනුවයි එහි කැණිම් කටයුතු ආරම්භ කර ඇත්තේ.

හබරණ – හිරිවඩුන්න – බෝධිරාජාරාමයට පසුගිය ජනවාරි මස 8 වන දා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුලු කණ්ඩායමක් ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවුණා.

ඒ, ඔවුන් සමඟ පැමිණි කිහිපදෙනෙකු බෝසත් උපත අදාළ ස්ථානයේ සිදුවූ බවට ප්‍රකාශ කරමින් ඒ බව තහවුරු කිරීම සඳහා පැරණි ඡායාරූප සහ ග්‍රන්ථ කිහිපයක් පෙන්වමින් කටයුතු කිරීමත් සමඟයි ෴

***************************************

(02.03.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා විසින්, විශේෂ සාකච්ඡාවක් සඳහා අද (02) පස්වරුවේ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ජනාධිපති කාර්යාලය වෙත කැදවා තිබෙනවා.

එසේම පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය දා පත්වීම් ලැබූ ඔහු අද (02) පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට ද නියමිතයි.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත‌ා සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර තවත් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා.

මැතිවරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඇති කර ගත යුතු සංශෝධන ඇතුළු කරුණු රැසක් පිළිබදව එහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබදව ද එහිදී සාකච්ඡා කෙරුණු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචිහේවා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙතෙක් පැවති සාකච්ඡාවලදී ප්‍රකාශ වූ පරිදි පළාත් සභා මැතිවරණ ලබන ජුනි මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතයි ෴

***************************************

(02.03.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

යාතු කර්මයකදී වේවැල්වලින් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ 9 හැවිරිදි දැරියගේ අවසන් කටයුතු ගාල්ලේ දී ඊයේ (01) සිදුකෙරුණා.

ගාල්ල – කටුගොඩ ප්‍රදේශයේ පිහිටි එම දැරියගේ පියාගේ නිවසේ සිට කටුගොඩ – පුංචිවත්ත මුස්ලිම් පල්ලියට රැගෙන යාමෙන් අනතුරුව රාත්‍රියේදී මෙලෙස අවසන් කටයුතු සිදුකළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අමනුෂ්‍ය බලවේගයක් පලවා හැරීමට යැයි පවසමින් යාතු කර්මයක් සිදුකර වේවැල්වලින් පහරදීම හේතුවෙන් මෙම දැරිය පෙරේදා ජීවිතක්ෂයට පත්වූ අතර සිද්ධියට අදාළව යාතුකර්මය සිදුකළ කාන්තාව සහ දැරියගේ මව පසුව අත්අඩංගුවට ගෙන මේ මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

***************************************

(02.03.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300 ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160 ක් විදේශ රටකට රැගෙන යාමට උත්සාහ කළ සැකකරුවෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දුර්ලභ ගණයේ මත්ස්‍ය වරල් සහ කරමල් තොගය රැගෙන යාමට උත්සාහ කර ඇත්තේ හොංකොං රාජ්‍යයටයි.

ඒවා වේලීමෙන් අනතුරුව මෙලෙස රැගෙන යාමට උත්සාහ කර ඇති අතර, කුමන හේතුවකට හොංකොං රාජ්‍යයට රැගෙන යාමට උත්සාහ කළේ ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ ෴

***************************************

(02.03.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ලබාදුන් පොරොන්දු හිතාමතා කඩ කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බලවත් අප්‍රසාදය පළ කර තිබෙනවා.

මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ යෝජනාවට තමන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි අගරදගුරුවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහගේ සහභාගීත්වයෙන් පසුගිය ජනවාරි 21 වනදා අගරදගුරු නිවසේදී සාකච්ඡාවක් පවත්වා ඇත්තේ මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන සම්බන්ධයෙන්.

එහිදී මුතුරාජවෙල කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදුනොකරන බවට ඔවුන් කාදිනල් හිමියන්ට පොරොන්දු වී තිබෙනවා.

මීට අමතරව මුතුරාජවෙල මෙතෙක් සිදුව ඇති විනාශයන් සෙවීමට කමිටුවක් පත් කරන බවට ද පරිසර අමාත්‍යවරයා පොරොන්දු වූ අතර තමන් විසින් එම කමිටුව සඳහා නියෝජිතයන් දෙදෙනෙකු (2) ද අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි නම් කර යැවූ බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, අදාළ අමාත්‍යවරුන් සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබාදුන් පොරොන්දු හිතාමතා කඩ කර ඇති අතර, මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බවට ද මේ වන විට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එබැවින් තමන්ට ලබාදුන් පොරොන්දු හිතාමතා කඩ කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කරන බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.

***************************************

(02.03.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂපාතීව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

ඉන්දියා ටුඩේ රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඉන්දියාව එම ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියද ඉන්දු – ශ්‍රී ලංකා සබදතාවලට එය බලපෑමක් නොවනු ඇති බවයි.

එහෙත් ඉන්දියානු නායකයන් අසල්වැසියාට ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව කිහිප විටක්ම අවධාරණය කර තිබෙනවා.

මේ නිසා ඉන්දියාව මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි පවතින්නේ දැඩි විශ්වාසයක්.

කෙසේ නමුත් තමිල්නාඩු මැතිවරණය ඇතුළු ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන වාතාවරණය පිළිබදව ශ්‍රී ලංකාව අවබෝධයකින් පසුවන බවයි විදේශ කටයුතු ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් සදහන් කළේ ෴

***************************************

මාස 09 ක දැරියකට අමානුෂික ලෙස පහරදුන් මව අත්අඩංගුවට

(02.03.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන කුඩා බිළිඳෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයට අදාළව බිළිඳාගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාස 9 ක් වයසැති මෙම බිළිඳාට 24 හැවිරිදි මව විසින් අමානුෂික ලෙස කෝටුවකින් පහර දෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් යාපනය පොලිසිය අදාළ නිවසට ගොස් පරීක්ෂණ සිදුකළ අවස්ථාවේදී මව අත්අඩංගුවට ගෙන බිළිඳා පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන කුඩා බිළිඳෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයට අදාළව බිළිඳාගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ යාපනය – අරියාලේ – නාවල්අඩි ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වන බවයි.

මාස 9 ක් වයසැති මෙම බිළිඳාට 24 හැවිරිදි මව විසින් කෝටුවකින් පහර දී පසුව කාමරයක් තුලට ඇදගෙන ගොස් යලි කෝටුවෙන් පහර දෙන ආකාරයත් එහිදී දැඩි වේදනාවෙන් එම දරුවා හඩන අයුරුත් එම වීඩියෝවේ දැක්වෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම වීඩියෝව සම්බන්ධයෙන් යාපනය පොලිසිය අදාළ නිවසට ගොස් පරීක්ෂණ සිදුකළ අවස්ථාවේදී මව අත්අඩංගුවට ගෙන බිළිඳා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පහරදීම සිදුකළ මව මීට මාසයකට පමණ පෙර කුවේට් රාජ්‍යයේ සිට දරුවාද සමග මෙරටට පැමිණ ඇති අතර ඇය කලක් තිස්සේ එරට රැකියාව නිරතව සිට ඇති බවයි විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.

ඇයගේ සැමියා ද කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරත වනවා.

කෙසේ වෙතත් සැමියා විසින් තමාට ජීවත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවයි මෙම කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ ෴

++++++++++++

***************************************

(02.03.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්යන්තය, ඉන්දියාවේ අදානි සමාගම සහ එම සමාගමේ දේශීය නියෝජිත මෙරට සමාගම සමඟ සංවර්ධනය කිරීම සඳහා රජය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඊයේ (01) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35 ක කාලයක් සඳහා සංවර්ධනය කර ක්‍රියාත්මක කොට ආපසු භාරදීමේ පදනම යටතේ බටහිර පර්යන්තය අදාළ සමාගම් වෙත ලබාදීමටයි ෴

***************************************

(02.03.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනයට පැනවුණු සීමාවන් හේතුවෙන් මේ වසරේ ජනවාරි මාසයේ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.

පසුගිය වසරේ ජනවාරි මාසයේ ලියාපදිංචි කෙරුණු වාහන 34,475 කට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ ලියාපදිංචි කර ඇත්තේ වාහන 3256 ක් පමණයි.

වසරකට පෙර ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 2536 කට සාපේක්ෂව මෙම වසරේ ජනවාරියේ මෝටර් රථ 195 ක් පමණක් ලියාපදිංචි කර ඇති අතර, වෑන් රථ ලියාපදිංචිය ද 911 සිට 78 දක්වා පහත වැටී තිබෙනවා.

ජනවාරි මාසයේ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වූ 767 කට සාපේක්ෂව 20 ක් දක්වා පහත වැටී ඇති අතර, ලියාපදිංචි කළ යතුරුපැදි සංඛ්‍යාව ද 26,588 සිට 1228 දක්වා පහත වැටී ඇති බවයි ජේ.බී. සිකියුරිටීස් තැරැව්කාර සමාගම සඳහන් කළේ ෴

***************************************

(02.03.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීමට ඉදිරිපත් කළ යෝජනාව පඩිපාලක සභාව විසින් ස්ථිර කර තිබෙනවා.

ඒ ඊයේ (01) පැවති සාකච්ඡාවකදීයි.

කෙසේ වෙතත්, වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීමට හාම්පුතුන්ගේ සංගමය විරෝධතා ඉදිරිපත් කර ඇති අතර, ඊයේ (01) පැවති පඩිපාලක සභා රැස්වීමේදී බහුතරයකගේ එකඟතාවයෙන් වතුකම්කරු වැටුප රුපියල් දහස (1000) දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවයි කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ අනුව, ඊට අදාල ගැසට් පත්‍රය සතියක් ඇතුළත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළා ෴

@@@@@@@@@@@@@

(02.03.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් එන්නත ලබාදීමේදී ප්‍රාදේශීය දේශපාලනඥයින් වෙතින් බලපෑම් එල්ල වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ප්‍රදේශ කිහිපයකින් එවැනි බලපෑම් සිදුවූ බවට තොරතුරු වාර්තා වන අතර ඊට කඩිනම් විසදුම් නොලැබුණහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, තවත් ආසාදිතයින් 310 ක් ඊයේ (01) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 83,552 දක්වා ඉහළ ගියා.

ඊයේ (01) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි ආසාදිතයින් 7 ක් සහ බන්ධනාගාර ආශ්‍රිත පොකුරේ ආසාදිතයින් 12 දෙනෙකු සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම ඊයේ (01) දිනයේදී තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 476 ක් ලෙසටයි.

ඒ, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මහනුවර ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙන්ම, පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක වශයෙන්.

එමෙන්ම, කොරෝනා ආසාදිතව ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර සිටියදී පළා ගිය යාචකයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

මේ අතර, කොරෝනා මර්දන රාජකාරීවල ගම් මට්ටමින් නිරත සියළු ග්‍රාම නිලධාරීන්ට ද ප්‍රමුඛතා පදනම මත කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නැයි කළ ඉල්ලීම මෙතෙක් ඉටු වී නොමැති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති සුමිත් කොඩිකාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එසේ නොවුණහොත් ඉදිරියේදී රාජකාරීවලින් ඉවත්වීමට පවා සිදුවනු ඇති බවයි ෴

+++++++++++++++++++

(02.03.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා – සෙනෙකා හෝ ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නත්වල පළමු මාත්‍රාව ලබාදීමත් සමඟ කොරෝනා ආසාදිත පුද්ගලයින් රෝහල්ගත කිරීමේ අවශ්‍යතාව සියයට 80 කින් පමණ අඩු වන බව එංගලන්තයේ සිදුකළ පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මෙම අධ්‍යයනය සඳහා කොරෝනා එන්නත් ලබාදුන් වයස අවුරුදු 80 ඉක්ම වූ පුද්ගලයන් ද යොදා ගැනීම විශේෂත්වයක් ෴

+++++++++++++++++++++

(02.03.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

දිවයිනෙන් ඊයේ (01) හදුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 60 ක්.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 ක් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, ඊයේ (01) දිනය වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 4933 ක් වනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන් වන අතර එම සංඛ්‍යාව 911 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *