පාස්කු කොමිසම් වාර්තාව මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්, සහ කාදිනල් හිමිපාණන් වෙත පිළිගන්වයි

පාස්කු කොමිසම් වාර්තාව මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්, සහ කාදිනල් හිමිපාණන් වෙත පිළිගන්වයි

*********************************************

පාස්කු කොමිසම් වාර්තාව මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්, සහ කාදිනල් හිමිපාණන් වෙත පිළිගන්වයි

(01.03.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද (01) මල්වතු, අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන්ට සහ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට අදාළ වාර්තාව පිළිගැන්වූ බවයි.

එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ද අද (01) පස්වරුවේ පිළිගන්වා තිබෙනවා.

***************************************

(01.03.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

අද (01) ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටීමට සිටි තම දියණියගේ හැඳුනුම්පත්, විභාග ප්‍රවේශ පත්‍රය සහ ඇඳුම් ඇතුලු නිවසේ තිබු සියලුම දේපල ගිනි තබා ඇති බවට පුවතක් හබරාදුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පවුල් ආරවුලක් මත මෙලෙස පියා විසින් නිවස ගිනි තබා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට අදාළ සැකකරු හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුව මේ මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත්තේ.

පසුව විභාග ශාලාධිපති වෙත ඇයගේ හැඳුනුම්පත් සහ විභාග ප්‍රවේශ පත්‍රය ඇතුලු ලියකියවිලි ගිනිගෙන ඇති බවට පොලිසිය විසින් සහතික කරන ලද ලිපියක් විභාග ශාලාධිපතිට නිකුත් කිරිමෙන් අනතුරුව දැරියට විභාගයට පෙනී සිටීමට අවසර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හබරාදුව පොලිසිය සිදු කිරීමට නියමිතයි ෴

***************************************

(01.03.2021 – 18:36 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන බී. විජේරත්න මහතා ලෙමන් අලෙවි කරන ඡයාරූපයක් මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේනවා.

එහි සඳහන් කර තිබුනේ කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන බී. විජේරත්න මහතා සිය පුතුගේ කෘෂි නිෂ්පාදන අලෙවිකරණ ගැටලුවට පිළිතුරු සොයන්නට උර දෙමින් නුවර පාර අයිනේ ලෙමන් විකිණිමට තරම් ආදර්ශවත් වී සිටින බවයි.

***************************************

(01.03.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සිදුකරන ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ලබාදුන් සහන කාලය මැයි මස 31 වන දා දක්වා දීර්ඝ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා ෴

***************************************

(01.03.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

වාරියපොළ – පාදෙනිය පාරේ ඉන්ධන පිරවුම්හලක අද (01) පස්වරුවේ ගින්නක් හට ගත් අතර, එය පාලනය කිරීම සඳහා කුරුණෑගල මහනගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් (2) යොදවා තිබුණා.

***************************************

(01.03.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

යාතු කර්මයකදී වේවැල්වලින් පහරදීම්වලින් 9 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව යාතුකර්මය සිදුකළ කාන්තාව සහ දැරියගේ මව මේ මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද (01) මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් සිදුකළ යාතුකර්මයක් අතරතුරදී වේවැල්වලින් සිදුකළ පහරදීම් හේතුවෙන් දෙල්ගොඩ – කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය පෙරේදා ජීවිතක්ෂයට පත්වුණා.

පසුව අදාළ යාතුකර්මය සිදුකළ කාන්තාව සහ දැරියගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද (01) දිනයේදී නඩුව කැදවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මහර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ සැකකාරිනියන් සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙසටයි.

නඩුව කැදවූ අවස්ථාවේදී දැරිය වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිට ඇති අතර කාන්තාව සහ මව වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී සිට නැහැ.

මේ අතර, අදාළ යාතු කර්මය සිදුකළ කාන්තාවගේ කඳුබොඩ පිහිටි නිවස ඉදිරිපිට ප්‍රදේශවාසීන් අද (01) විරෝධතාවක නිරත වූයේ මිය ගිය දැරියට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින්.

+++++++++++++

***************************************

(01.03.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

සහරාන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිපති උපදෙස් ලබාදීමට අසමත් වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි‍ට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විනයානුකූලව කටයුතු කිරීමට ගත් තීරණය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයාට දන්වා ඇතැයි වාර්තාවනවා.

අසාද් නවාවි සම්බන්ධයෙන් කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලීමෙන් පසු ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සලකා බැලීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිර්දේශ කරනු ඇති බව පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේද සදහන් ෴

***************************************

(01.03.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමික යුද හමුදා සෙබලෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය පල කරමින් ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී අද (01) විරෝධතාවක් පැවැත්වුණා.

පසුගිය 26 වැනිදා කරුවලගස්වැව – 07 කණුව – තබ්බෝව මංසන්ධියේදී විජයපුර පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබලාට සභාපතිවරයා විසින් පහරදී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ කරුවලගස්වැව ප්‍රදේශයේ වීරපුර මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීම සම්බන්ධයෙන් සිදුකල අනාවරණයක් හේතුවෙන් අදාල පහරදීම සිදුකර ඇති බවයි.

මේ අතර, තමන් ස්ථිර කරන ලෙස ඉල්ලා දකුණු පළාතේ පළාත්පාලන ආයතනවල අනියම් සේවකයින් පිරිසක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් අද (01) පැවති විරෝධතාවය අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාකච්ජාවක් සඳහා එක්ව සිටි මැති ඇමතිවරුන් පිරිසක් ද ඉන් පිටත යාමට නොහැකිව පැය දෙකකට (2) ආසන්න කාලයක් එහි සිරවී සිට ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා ත්‍රිරෝද රථයකින් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු ඉහළ යාම හේතුවෙන් තම දරුවන් අසාධාරණයකට ලක්ව ඇති බව පවසමින් දෙමාපියන් පිරිසක් සහ සිසුන් පිරිසක් ද බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (01) විරෝධතාවක නිරතවුණා.

මීට අමතරව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන කිහිපයක් අද (01) කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සංදේශයක් භාරදෙනු ලැබුවා.

එමෙන්ම, ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ සංගමය අද (01) දහවල් මහබැංකුව ඉදිරිපිට විරෝධතාවක නිරත වූයේ පොරොන්දු වූ පරිදි තමන්ට ලැබිය යුතු මුදල් නොලැබීම සම්බන්ධයෙන් චෝදනා කරමින්.

එහිදී මහබැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද ඊට ප්‍රතිචාර නොලැබුණු අතර අනතුරුව ඔවුන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවීම සඳහා එම අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ තිබෙනවා.

සාමකාමී එක්සත් රණවිරු සංගමය ද ජනාධිපති කාර්යාලය අසළ පිහිටි විරෝධතා සිදුකිරීම සඳහා වෙන් කර ඇති ස්ථානයේ අද (01) විරෝධතාවක නිරත වුණා ෴

***************************************

(01.03.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව අදාළ මළ සිරුර සහිත බෑගය සොයාගත් බවයි.

කිසියම් පුද්ගලයෙකු විසින් ගමන් බෑගය එම ස්ථානයට ගෙනවිත් දමන අයුරු සී.සී.ටී.වී. කැමරාවල ද පටිගත වී ඇති අතර, ඒ ඔස්සේ මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, අදාළ කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

මේ අතර, ඝාතනය කර යතුරුපැදියක ගැට ගසා හොරණ – ගුරුගොඩඔයට දමා තිබියදී පසුගිය 11 වන දා හමුවූ පුද්ගල ඇටසැකිල්ල හිටපු හමුදා සෙබලෙකුගේ බවට පොලීසිය හඳුනාගෙන තිබෙනවා.

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මුදල් පොලියට ලබාදීමේ ව්‍යාපාරයක් ද ඔහු විසින් පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලීසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණවී ඇත්තේ.

මීට අමතරව ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉන්දියාවේදී මිය ගොස් ඇති බවට පැවසෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් පළා විත් හොරණ ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසක සැඟව සිට ඇති අතර එහිදී ඇති වූ ආරවුලකදී මොහු ඝාතනය කොට ගුරුගොඩඔයට දමා ඇති බව සඳහන්.

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී ඊයේ සොයාගත් කාන්තා මළ සිරුර හංවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ රැගෙන ඇවිත් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

අදාල ගමන් බෑගය පුද්ගලයෙකු විසින් හංවැල්ල – කොළඹ පුද්ගලික බස් රථයක දමාගෙන රැගෙන ඇවිත් ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව අදාළ මළ සිරුර සහිත බෑගය සොයාගත් බවයි.

කිසියම් පුද්ගලයෙකු විසින් ගමන් බෑගය එම ස්ථානයට ගෙනවිත් දමන අයුරු අසල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී තිබුණා.

එම දර්ශන ඔස්සේ මේ වන විටත් පොලිසිය සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර න අදාළ කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ ෴

(02.03.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී ඊයේ (01) සොයාගත් කාන්තා මළ සිරුර කොළඹට රැගෙන ආ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාර්ග අංක 143 හංවැල්ල – කොළඹ බස් රථයක දමාගෙන පුද්ගලයෙකු විසින් හංවැල්ල ප්‍රදේශයේ සිට මෙම සිරුර කොළඹට රැගෙන ඇවිත් ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ.

මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) සිදුකිරීමට නියමිතයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීමට පොලිසිය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

එම දුරකථන අංක වන්නේ : 071 859 1557 / 011 243 3333

++++++++++++

***************************************

(01.03.2021 – 20:41 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශවික ජාතික ආරක්ෂක උපදේශක ලේකම් කාර්යාලයක් කොළඹ දී අද (01) ස්ථාපිත කෙරුණා.

නාවික හමුදා මූලස්ථානයේ පිහිටුවා ඇති මෙම ලේකම් කාර්යාලය විවෘත කෙරුණේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ ඉන්දියාවේ සහ මාලදිවයිනේ ආරක්ෂක උපදේශකයින්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම ලේකම් කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර, ඉන්දියානු සාගරය ලෝකයේ සුවිශේෂී ස්ථානයක් වන බැවින් සමස්ත ලෝකයටම මෙමගින් ප්‍රතිලාභ ලැබෙනු ඇති බවයි මෙහිදී විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

(01.03.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී වෙළදපොළෙහි සහල් මිල වැඩි කිරීමට කිසිදු ඉඩක් ලබානොදෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මහා පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, රජයේ සහතික මිල ගොවීන්ට ලබාදීමට අද වෙළඳ අමාත්‍යාංශයේදී එකඟ වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා ෴

***************************************

(01.03.2021 – 20:53 +0530 – hirunews.lk/sinhala)

2015-2018 කාලයේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා ගැන සෙවූ කොමිසමේ වාර්තාව, ජනපති විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

එළඹෙන පළමු සැසිවාරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ෴

***************************************

(01.03.2021 – 21:58 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අරමුණු උදෙසා දේශපාලනඥයින් ද්වේශ සහගත ලෙස සිරගත කරමින් යහපාලන රජය ලබාදුන් වැරදි පූර්වාදර්ශය වත්මන් රජය යටතේ හැකි ඉක්මනින් නිවැරදි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ඊට අමතරව යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

***************************************

(01.03.2021 – 22:04 +0530 – hirunews.lk/sinhala)

බිම් මට්ටමේ ජනතාව වත්මන් ආණ්ඩුව පිළිකුල් කරන මට්ටමට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හඹරාදූව ආසන බල මණ්ඩල රැස්වීම සඳහා සහභාගි නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හඹරාදූව ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (28) පැවැත්වුණා.

එම රැස්වීම සඳහා පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් සහභාගි වී සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට ඒ සඳහා ආරාධනා නොකිරීම සම්බනධයෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

***************************************

(01.03.2021 – 22:39 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරාගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මුතුරාජවෙල පරිසර පද්ධතිය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක යන අමාත්‍යවරුන් තමන්ට ලබාදුන් පොරොන්දු හිතාමතාම කඩකිරීමක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

අදාළ නිවේදනයෙන් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කරන්නේ එම යෝජනාවට තමන් දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි ෴

***************************************

(01.03.2021 – 23:22 +0530 – hirunews.lk/sinhala)

උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කිලිනොච්චියේදී අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ යෝජනවාට සහය පල කරමින්.

උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මෙම උද්ඝෝෂණයේ නිරත වුණේ කිලිනොච්චිය කන්දස්වාමි කෝවිල ඉදිරිපිටදීයි.

ඒ මෙවර සැසිවාරයේදී ජිනීවාහී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යෝජනවාට සහය පල කරමින්.

දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාර, මානව වර්ගයාට එරෙහි අපරාධ, යුද අපරාධ, සැලසුම් සහගත ජන සංහාර සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී

ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරනලෙස දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලනවා.

ඒ වගේම ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ කාන්තාවන් ලිංගික වහලුන් ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ තොරතුරු 2017 පෙබරවාරි මාසයේ දී ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය වැඩසටහන එක්සත් ජාතීන් වෙත භාරදී තිබෙනවා.

ඒකාබද්ධ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථවත් පියවර ගැනීමට පසුගිය රජය අපොහොසත් වී ඇති අතර එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක නොකරන බව පවතින රජය පුන පුනා ප්‍රකාශ කර තිබෙනවා.

පවතින තත්ත්වය සලකා බලන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන්නට අවශ්‍යයයි.

මේ අතර අමෙරිකාව ඇතුළු බලවත් රටවල් මෙරට මානවහිමිකම් වලට අතපෙවීම නතර කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකිකයනගේ ජාත්‍යන්තර ජනතා සංවිධානය අද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරි පිට සාමකාමී විරෝධතාවයක් පවත් වනු ලැබුවා.

එහිදී එම සංවිධානය වෙනුවෙන් පූජ්‍ය ආනන්නද සාගර හිමියන් විසින් එල්.ටී.ටී.ඊ සමයේ සිදු වුණු යුධ අපරාධ සම්බන්ධයෙන් වන සංදේශයක් එම කාර්යාලයට භාරදීම සිදු කෙරුණා.

මේ අතර මෙරට රජය සහ හමුදාවන් විසින් මානව හිමිකම් කඩකර නොමැති බව පවසමින් යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රය සංවිධානය කරන සාම පාගමන අද (01) මාතර බෝධිය අසළින් ආරම්භ කෙරුණා.

එම අවස්ථාවට මහ සංඝරත්නයද එක්ව සිටියා.

***************************************

(02.03.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද (02) දිනට යෙදී තිබෙනවා.

සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා නිලධාරීන් 7,757 කට උසස්වීම් පිරිනමන බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ ෴

@@@@@@@@@@@@

(01.03.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 475 දෙනෙකු අද (01) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සමස්ත සුවය සංඛ්‍යාව 79,422 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් වාර්තා වී තිබෙනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 05 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 476 ක් ලෙසටයි ෴

තවත් කොරෝනා ආසාදිතයන් 111 ක් වාර්තා වී තිබෙනවා ෴

+++++++++++++++++++

(01.03.2021 – 16:31 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල රෝහලේ කොරෝනා වෛරසය ශරීරගත වී ප්‍රතිකාර ලබමින් සිට පැනගිය යාචකයකු සොයා සෝදිසි මෙහෙයුමක් අද (01) දින ආරම්භ කර ඇති බව දඹුල්ල පොලිසිය පවසනවා.

දඹුල්ල නගරයේ ඇවිදිමින් සිගමනේ යෙදෙන යුවලක් ගිය මස (28) දින දඹුල්ල රෝහලට හදිසි අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබෙනවා

ඒ අනුව ඔවුන්ට සිදුකරන ලද පී.සි.ආර්. පරීක්ෂණයකදී කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවටයි තහවුරු වීඇත්තේ.

රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයා සිය බිරිද දමා රෝහලෙන් පැනගොස් ඇතිබව වෛද්‍ය අධිකාරිවරයා පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පොලිසිය මේ වනවිට පලා ගිය පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

සප්පාන් චන්ද්‍රන් නමින් රෝහලට ඇතුළත් වී ඇති මොහුගේ ස්ථිර පදිංචියද මෙතෙක් සනාථ කර ගැනීමට නොහැකි වී ඇති බවයි පොලිසි සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

++++++++++++++++++++

(01.03.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් ජනතාව තවත් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමය අද (01) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව කියා සිටියා.

එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ මේ දක්වා පුද්ගලයන් ලක්ෂ 5 කට ආසන්න පිරිසකට එන්නත් ලබාදී ඇති අතර, ඉන් 1,76,808 දෙනෙකු වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්.

අද (01) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී එන්නත් ලබාදීම සිදුකෙරුණු අතර, බොහෝ ස්ථානවල ජනතාව පැය ගණනාවක් දිගු පෝලිම්වල රැදී සිටින ආකාරයක් නිරීක්ෂණය වුණා.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එන්නත්කරණය සඳහා ඉලක්ක ගත කණ්ඩායම්වලින් බැහැරව ඇතැම් පිරිස් එන්නත ලබා ගැනීමේ සිද්ධීන් වාර්තා වන බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 123 දෙනෙකු අද වන විට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන තිබෙනවා.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 205 දෙනෙකු ද අදාළ එන්නත ලබාගෙන ඇති බවයි.

එමෙන්ම, ගුරුවරුන්ට ද එන්නත්කරණය ආරම්භ කරමින් දැනට සාමාන්‍ය පෙළ විභාග රාජකාරිවල නිරතව සිටින ගුරුවරුන්ට ද කොරෝනා එන්නත ලබාදෙන ලෙස ඉල්ලා ලංකා ගුරු සේවා සංගමය මානව හිමිකම් කොමිසම වෙත අද (01) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4513 කදී අද ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය ලබන 10 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබූ ආකාරයක් දක්නට ලැබුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *