වනවාසලදී යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි

වනවාසලදී යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි

*********************************************

වනවාසලදී යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි

(01.03.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා නිලධාරීන් රැගත් බස් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වත්තල සිට තොරණ හන්දිය දෙසට ධාවනය වූ මෙම බස් රථය අද (01) උදෑසන ගැටී ඇත්තේ පොල්ගහවෙල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකයි.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, අනතුර සිදුවූ ස්ථානයේ ලොතරැයි අලෙවි කුටියක සිටි අලෙවිකරු සහ ලොතරැයි මිලදී ගැනීමට පැමිණි අයෙකු බරපතල තුවාල ලබා මෙලෙස රෝහල් ගත කෙරුණු බවයි පොලීසිය සඳහන් කළේ.

ඉන් එක් අයෙකු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

++++++++++++++

***************************************

(01.03.2021 – 12:31 +0530 – hirunews.lk/sinhala)

යාපනය, අච්චුවේලි, පුත්තූර් ප්‍රදේශයේදී පුත්‍රයෙක් සිදුකළ පහරදීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (28) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර සිය පියාට මෙලෙස පහර දී ඇත්තේ මානසික අබාධයකින් පෙලෙන පුත්‍රයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.

64 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුත්‍රයා විසින් පියාට පහරදීමෙන් පසු තුවාල ලැබූ පියා නිවසේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

***************************************

(01.03.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන මිගාර ගුණරත්න මහතාට පහර දුන්නේ යැයි පැවසෙන සිද්ධිය සහ ඔහු විසින් පොලිස් රාජකාරියට බාධා කළේ යැයි පැවසෙන සිද්ධීන් දෙක සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණ පෑලියගොඩ පොලිසියෙන් ඉවත්කර වෙනත් විශේෂ විමර්ශණ ඒකකය මඟින් සිදු කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය පොලිස්පතිවරයාට අද (01) නියෝග කළා.

ඒ මෙම පැමිණිලි දෙකම කැඳවූ අවස්ථාවේ දෙපාර්ශවයේම නීතීඥයන් ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලීමේ අනතුරුවයි.

පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී තමන්ට පොලිසිය පහර දුන් බව නීති සිසුවෙකු වන මිගාර ගුණරත්න මහතා ප්‍රකාශ කළේ පසුගිය 23 වනදායි.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් හෙරොයින් සමඟ නයිජිරියන් ජාතිකයින් 4 දෙනෙකු, බෙලරූස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු (2) සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (2) කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී අත්අඩංගුවට ගත් කාන්තාවක් ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ සේවාදායකයෙකු වනවා.

ඇයට ආහාර පාර්සලයක් ලබාදීම සඳහා මිගාර ගුණරත්න මහතා පොලීසියට ගොස් තිබුණා.

එහිදී මිගාර ගුණරත්න මහතා සිය ජංගම දුරකථනයෙන් ඇයට දුරකථන ඇමතුමක් ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියෙකු එය සිදුනොකරන ලෙසට දැනුම් දීමත් සමඟ බහින් බස්වීමක් ඇතිවී ඔහු තම රාජකාරියට බාධා කළ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම නඩුව මේ මස 15 වනදා යළි කැඳවනු ඇති.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයෙකු වූ මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ (3) සේවය මේ වනවිට අත්හිටුවා තිබෙනවා ෴

***************************************

(01.03.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

අද (01) ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අවස්ථා දෙකකදී (2) කල් දැමුණු මෙම විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි අද (01) ආරම්භ කෙරුණේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 4513 කදී අපේක්ෂකයන් 6,22,352 ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා.

එය ලබන 10 වන දා දක්වා පැවැත්වෙන අතර හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා විශේෂිත මධ්‍යස්ථාන 40 ක් ද ස්ථාපිත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් විභාග මධ්‍යස්ථාන වෙත සිසු සිසුවියන් ඇතුළත් කරගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ කොරෝනා ආසාදිත සිසු සිසුවියන් 38 දෙනෙකුද විභාගයට පෙනී සිටින බවයි.

මේ අතර සුනාමි ඛේදවාචකයෙන් අතුරුදන්වී පසුව සොයාගත්, රෝහලේදී මව්වරුන් 9 දෙනෙකු උරුමකම් කී සුනාමි බේබි-81 දරුවාද අද (01) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා.

අප වාර්තාකරු පැවසුවේ මඩකලපුව – සෙට්ටිපාලයම් මහා විද්‍යාලයේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයේදී ඔහු මෙලෙස විභාගයට පෙනී සිටි බවයි.

එසේම තරුණ වරදකරුවන් සඳහා වෙන්වූ පාදුක්ක සුනීත විද්‍යාලයේ දරුවන් 12 දෙනෙකුද බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ එම විද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිට තිබෙනවා.

***************************************

(01.03.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණු විරෝධතාවක් හේතුවෙන් සාකච්ජාවක් සඳහා එම කාර්යාලය වෙත පැමිණි මැති ඇමතිවරුන් පිරිසක් අද (01) පෙරවරුවේ පිටත යාමට නොහැකිව පැය දෙකකට (2) ආසන්න කාලයක් එහි සිරවී තිබෙනවා.

මෙලෙස අපහසුතාවයට ලක් වූයේ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකෝරල සහ ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරුයි.

තමන් ස්ථිර කරන ලෙස ඉල්ලා දකුණු පළාතේ පළාත්පාලන ආයතනවල අනියම් සේවකයින් පිරිසක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් අද (01) පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.

මොවුන් විරෝධතාවයේ නිරත වන විටත් මෙම මැති ඇමතිවරුන් පිරිස සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් මෙම පරිශ්‍රය තුළ සාකච්ජාවක නිරත වෙමින් සිට තිබෙනවා.

මෙම විරෝධතාවය නිසා එම පරිශ්‍රයෙන් පිටතට යාමට නොහැකිව සිරවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල්ද සිල්වා මහතාට යාමට සිදුවූයේ ත්‍රිරෝද රථයකින්.

විරෝධතාවය අතරතුර පොලිසිය සමඟ උණුසුම් තත්වයක් හටගත්තා.

කෙසේ වෙතත් පැය දෙකකට (2) ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදී සිටි මොවුන්ගෙන් දහ දෙනෙකුට (10) සාකච්ජාවක් සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයට යාමට ඉඩ ලබා දුන් අතර ඒ අනුවයි ඔවුන් විසිර ගියේ.

ඉන් පිටතට පැමිණීමෙන් අනතුරුව විරෝධතාවයේ නිරතවූවන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

මේ අතර පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු ඉහළ යාම හේතුවෙන් තම දරුවන් අසාධාරණයකට ලක්ව ඇති බව පවසමින් දෙමාපියන් පිරිසක් සහ සිසුන් පිරිසක් බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (01) විරෝධතාවක නිරතවුණා.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිසුන් මෙන්ම දෙමාපියන් ද සඳහන් කර සිටියේ තම ගැටළුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසටයි ෴

***************************************

(01.03.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන කිහිපයක් අද (01) කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සන්දේශයක් භාරදෙනු ලැබුවා.

අනතුරුව ඔවුන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරතවූණා.

ග්‍රාම නිලධාරීන් පිරිසක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජනාධිපති කාර්යාලයට සන්දේශයක් භාරදීම සඳහා අද (01) පෙරවරුවේ පැමිණියා.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාතලේ – අඹගහමුල සහ නුගගහමුල බස් නැවතුම්පලේ බස් රථ අද (01) පෙරවරුවේ ධාවනයෙන් ඉවත්ව විරෝධතාවක නිරතවුණා ෴

***************************************

(01.03.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන් පාසල්වලට ඇතුල් කිරීමේ කඩඉම් ලකුණු පහළදමන ලෙසට ඉල්ලමින් දරුවන් සහ දෙමව්පියන් පිරිසක් අද (01) විරෝධතාවයක නිරත වුණා.

ඒ කොළඹ විජයරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස අසලදී.

2020 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සමත්වූ දරුවන් සහ දෙමව්පියන් පිරිසක් කොළඹ විජයරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස අසළට රැස්වුණේ නිහඬ විරෝධතාවයක් සඳහායි.

ඒ විභාගය සමත් දරුවන්ට නව පාසලකට ඇතුළු කිරීමේදී නිකුත් කර ඇති කඩඉම් ලකුණු අඩු කරන ලෙස ඉල්ලමින්.

පසුව එම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට විරෝධතාවයේ නියැලී සිටි දෙමව්පියන් පස් දෙනෙකුට (5) අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත යාමට අවස්ථාව හිමිවුණා.

මේ අතර ETI තැන්පත්කරුවන් පිරිසක් මහ බැංකුව අසළ නිහඬ විරෝධතාවයක නිරත වුණේ තම තැන්පතු මුදල් යළි ලබාදෙන ලෙස ඉල්ලමින්.

පසුව එම පිරිසකට මහ බැංකු බලධාරීන් විසින් සාකච්ඡාවක් ලබාදුන්නා.

මේ අතර උද්ඝෝෂණ මධ්‍යස්ථානයේ රණවිරුවන් පිරිසක් නිහඬ විරෝධතාවයක නිරතවූයේ තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින්.

***************************************

(01.03.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් වේවැල්වලින් සිදුකළ පහරදීම්වලින් 9 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව ශාන්තිකර්මය සිදුකළ කාන්තාව සහ දැරියගේ මව මේ මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද (01) මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් සිදුකළ ශාන්තිකර්මයක් අතරතුරදී වේවැල්වලින් සිදුකළ පහරදීම් හේතුවෙන් දෙල්ගොඩ – කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය පෙරේදා ජීවිතක්ෂයට පත්වුණා.

පසුව අදාළ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව සහ දැරියගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද (01) දිනයේදී නඩුව කැදවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මහර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ සැකකාරිනියන් සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙසටයි.

***************************************

(01.03.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අරමුණු උදෙසා දේශපාලනඥයින් ද්වේශ සහගත ලෙස සිරගත කරමින් යහපාලන රජය ලබාදුන් වැරදි පූර්වාදර්ශය වත්මන් රජය යටතේ හැකි ඉක්මනින් නිවැරදි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටආරච්චි මහතා පවසනවා.

ඊට අමතරව යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

***************************************

(01.03.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 21 වන කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වූ තුෂාර උපුල්දෙනිය මහතා අද (01) එම ධුරයේ වැඩභාරගනු ලැබුවා. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදියි.

වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඔහු නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස පත් කිරීමට පසුගිය මස 19 වනදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.

කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිධාරියෙකු වන තුෂාර උපුල්දෙණිය මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය මෙන්ම ඕස්ට්‍ර්ලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියද ලබාගෙන තිබෙනවා.

***************************************

(01.03.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

මෙම වසර අවසන් වීමට පෙර තවත් ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන 350 ක් පමණ භාවිතය තහනම් කිරීම සඳහා ලැයිස්තුවක් සකස් කරමින් පවතින බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

මේ මස 31 වනදා සිට එක් වරක් භාවිත කර ඉවත දමන පොලිතීන් සහ ප්ලාස්ටික්, මයික්‍රෝන විස්සට (20) අඩු ආහාර දවටන, සැෂේ පැකට්, කොට්න් බඩ් සහ සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ තහනම් කිරීමට එම අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා.

කෙසේ නමුත් මෙම නිෂ්පාදන සහ බෙදාහැරීම තහනම් කළද ඒ සඳහා පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදන හඳුන්වාදීම සඳහා විවිධ අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

(01.03.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරුන් පත් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පත් කර ඇති අතර, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අතින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති කාර්යාලයේදී ලබාදී තිබෙනවා ෴

***************************************

(01.03.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

කුරහන් කිලෝවක් සඳහා කලින් පැවති රුපියල් 500 ක පමණ මිල මේ වනවිට රුපියල් 300 පමණ දක්වා පහත බැස ඇති බවට කුරහන් ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය අස්වැන්නට නිසි මිලක් ලබා දෙන ලෙසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල විල්ගමුව ප්‍රදේශයන්හි ප්‍රධාන භෝග බවට පත්ව තිබෙන්නේ කුරහන් වගාවයි.

මේ දිනවල ප්‍රදේශයේ අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර වැඩි අස්වැන්නක් ලැබෙන බවද ගොවීන් පවසනවා.

ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව වී ඇත්තේ සිය අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීමයි.

ගොවීන් ඉල්ලා සිටින්නේ සිය මහන්සියට නිසි වටිනාකමක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

***************************************

(01.03.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

වත්මන් දේශපාලන තත්ත්වය තුළ ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසට පාර්ශ්ව කිහිපයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනා ඉදිරිපත්ව ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුවන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ සූරියවැවදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

@@@@@@@@@@@@@@@

(01.03.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතට ප්‍රමුඛත්වය ලබාදී චීනයේ සයිනොෆාම් එන්නත ලබාගැනීම ප්‍රමාද කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බවට ඉන්දියා බ්ලූම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ වාර්තාවේ සඳහන් පරිදි සයිනොෆාම් එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් අප ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විමසීමක් කළා.

එහි ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා සඳහන් කළේ සායනික පර්යේෂණවල වාර්තාවන්හි අඩුවක් හේතුවෙන් එම ලියකියවිලි කඩිනමින් ලබාදෙන ලෙස ලිඛිතව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා සයිනොෆාම් සමාගමට දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් සහ භාරත් බයෝටෙක් ආයතනය මගින් නිෂ්පාදිත කොවැක්සින් එන්නත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා.

රුසියාවේ වෛද්‍ය විශේෂඥයන් සහ මෙරට විශේෂඥ කණ්ඩායම් අතර පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු ස්පුට්නික් ෆයිව් එන්නත සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති බවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා කියා සිටියා.

මේ අතර ඊයේ (28) වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 352 ගෙන් 112 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

මෑත කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තාවුණද ඊයේ (28) දිනයේ එම බලප්‍රදේශයෙන් බැහැරව කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් තලංගම ප්‍රදේශයෙන් ආසාදිතයන් 56 දෙනෙකු වාර්තාවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

පසුගිය පැය විසි හතරක (24) කාලය තුළ ගුවන් මගීන් 686 දෙනෙකු ගුවන් යානා 11 කින් දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් 105 දෙනෙකු සෞදි අරාබියේ රියාද් සිට, 70 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට සහ 89 දෙනෙකු සිංගප්පූරුවේ සිට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම එම කාලසීමාව තුළ 487 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් සෞදි අරාබිය, ඉන්දියාව සහ කටාර් රාජ්‍යය බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *