පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම

පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම

*********************************************

පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම

(28.02.2021 – 21:18 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයේ මා ඔය ගං ඉවුරුවලට ආසන්නව මහා පරිමානයෙන් අනවසර මැටි කැපීමේ ජාවාරමක් හේතුවෙන් එහි පරිසරය මුළුමනින්ම විනාශවෙමින් පවතිනවා.

ඒ පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ කල සොයාබැලීමකදී හෙළිවුයේ ජාවාරම්කරුවන් ආරක්ෂක අංශවලින් බේරීම සදහා රාත්‍රී කාලයේදී පමණක් මෙම මැටි කැපීමේ ජාවාරම ක්‍රියාත්මක කරන බවයි.

කලක පටන් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් පරිසරය වනසමින් සිදු කළ අනවසර මැටි කැපීම හරහා ජාවාරම් කරුවන් රුපියල් කෝටි ගණනක් උපයා ගෙන තිබුනා.

මධ්‍යම රාත්‍රී 12 සිට අළුයම 06:00 දක්වා ක්‍රියාත්මක වන මෙම මහා පරිමාන පරිසර විනාශය පිළිබදව අප භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාව දැනුවත් කළා.

ඔහුගේ උපදෙස් මත එම කාර්යාංශයේ වැටලීම් ඒකකය , ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම හා කුරුණෑගල පොලිස්විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මැටි ජාවාරමෙන් පරිසර වනසන්නන් සොයා වැටලීමක් සිදු කෙරුණේ ඒ අනුවයි.

එහිදී මුලින් අත්අඩංගුවට ගැනුනේ මැටි රැගෙන පැමිනෙන ටිපර් රථ රියදුරන්වයි.

එක් රියදුරෙක් වැටලීමට පැමිණි නිලධාරීන්ව ටිපර් රථයට යට කර පළායාමටද උත්සහ කර තිබුණා.

මෙම බාධා කිරීම් මධ්‍යයේ වැටලීම් නිලධාරීන් අනෙක් ටිපර් රථ, ට්‍රැක්ටර් රියදුරන් හා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

මෙම වැටලීමේදී බැකෝ යන්ත්‍රයක්, ටිපර් රථ 07, ට්‍රැක්ටරයක් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

පොලිසිය ප්‍රකාශ කලේ පළාගිය ටිපර් රථයේ රියදුරු සොයා මේ වනවිටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

***************************************

(28.02.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට එක්වීම සඳහා ඉන්දියානු ගුවන් හමුදාවට අයත් යානා 25 ක් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම සංවත්සරය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 2 වනදා පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව මාර්තු මස 03 වනදා සිට 5 වනදා දක්වා ගාලුමුවදොර පිටියේදී ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වෙනු ඇති.

ඊට එක්වීම සඳහායි මෙම ඉන්දියානු ගුවන් හමුදා යානා මෙරටට පැමිණ ඇත්තේ. ඒ අනුව එහි පුහුණුවීම් කටයුතු අද දිනයේද සිදු කෙරුණා ෴

***************************************

(28.02.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

දැඩි කතාබහට ලක්වූ ගම්පහ – දාරලුව ප්‍රදේශයේ පිහිටා ඇති මෙරටට ආවේණික කෲඩියා සෙලනිකා ශාඛය ආසන්නයේ හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක විසින් රෝපණය කරන ලද නුග වර්ගයට අයත් ශාඛයකට ගිනි තැබූ පුද්ගලයෙකු ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දාරලුව – දොරණාගොඩ මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ පිහිටා තිබූ මෙම ශාඛයට මෙලෙස ගිනි තබා ඇති සැකකරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ශාඛයේ මුලට ගිනි තැබීම නිසා එය ඊයේ (27) අදාළ මාර්ගය අවහිර වන සේ ඇදවැටී තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ තමාගේ ඉඩමට ගිනි තැබීම සිදුකරන අවස්ථාවේදී ගින්න පැතිරීයාම හේතුවෙන් එම ශාඛයේ මුලට මෙලෙස ගිනි ඇවිලී ඇති බවටයි.

1995 වසරේ ඉදි කෙරුණු ජපන් මිත්‍රත්ව පාලම විවෘත කරන අවස්ථාවේදී එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක විසින් මෙම ශාඛය ඇතුලු ශාඛ 6 ක් එම ස්ථානය අවට රෝපණය කර තිබූ බව ගම්වාසීන් ප්‍රකාශ කළා.

ඉන් කිහිපයක් ස්වභාවිකව මියගොස් ඇති අතර, ඉතිරිව තිබූ ගස ඊයේ (27) දිනයේදී මෙලෙස ගිනි තබා හානි කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

අධිවේගී මාර්ගය ඉදිකිරීමට යාමේදී ගැටළුකාරී තත්වයක් මතුවූ කෲඩියා සෙලනිකා ශාඛය පිහිටා ඇත්තේද මෙම ස්ථානයට මීටර 500 ක් පමණ ආසන්නයේයි ෴

***************************************

(28.02.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ කැනඩාව එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාව හෙට (01) දිනයේ ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත භාරදීමට නියමිතයි.

ඊට අදාළ ඡන්ද විමසීම මාර්තු 19 වනදා සිදුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මෙම යෝජනාවේ පිටපතක් මේ වනවිටත් විදේශ අමාත්‍යාංශය වෙත ලැබී තිබෙනවා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් ඇතැම් කරුණු මෙම සම අනුග්‍රාහකත්ව යෝජනාවේ අන්තර්ගත නොවන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවල් 193 ක් අතරින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඡන්ද බලය හිමිවන්නේ රටවල් 47 කට පමණයි.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඉන්දියාව පිළිබඳවද දැඩි විශ්වාසයකින් පසුවන බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ වනවිටත් රටවල් 21 ක් මෙරටට සහය පළ කරමින් අදහස් දක්වා තිබෙනවා ෴

***************************************

(28.02.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයෙකුගේ සේවය ආයතනයේ අවශ්‍යතාවය පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු උපරිම වන්දි මුදල රුපියල් දොළොස් ලක්ෂ පනස් දාහේ සිට රුපියල් ලක්ෂ විසිපහ (25) දක්වා ඉහළ දමා තිබෙනවා ෴

***************************************

(01.03.2021 – 06:20 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ කල් දැමුණු 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විභාගය අද (01) ආරම්භ වනවා.

මධ්‍යස්ථාන 4513 කදී මෙවර විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 622,352 ක්.

අද (01) ආරම්භ වන සාමන්‍ය පෙළ විභාගය මාර්තු මස 10 වනදා දක්වා පැවැත්වෙනවා.

මේ අතර අද (01) ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු සිසු සිසුවියන් මිනිත්තු 45 කට පමණ පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඊයේ (28) සඳහන් කළා.

එමෙන්ම හදිසි අවශ්‍යතාවක් මතුවුවහොත් භාවිතයට ගැනීම සඳහා සුවිශේෂී වූ විභාග මධ්‍යස්ථාන 40 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කර සිටියේ ෴

***************************************

(01.03.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala)

මීගහකිවුල, අරාව ප්‍රදේශයේ යාබද නිවාස දෙකක (2) පදිංචි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් දෙදෙනෙකු (2) රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ (28) රාත්‍රියේ මෙම ගැටුම සිදුව ඇති අතර තුවාල ලැබූ 41 සහ 29 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයින් දෙදෙනා මීගහකිවුල රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කන්දකැටිය පොලීසිය සඳහන් කළේ නිවසක සවිකර තිබූ ඇන්ටනාවක් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් දුරදිග යාමෙන් පසුව එකිනෙකාට ගල්වලින් සිදුකර ගත් පහරදීම්වලින් මොවුන් තුවාල ලබා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

***************************************

(01.03.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීමේ තීරණාත්මක අවසන් සාකච්ඡාව අද (01) පැවැත්වෙනවා.

වතු හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එම අමාත්‍යාංශයේදියි.

මෙහිදී පඩි පාලක සභා මගින් දැනට අනුමත කර ඇති රුපියල් දහසේ (1000) වතු කම්කරු වැටුප පිළිබදව හාම්පුතුන්ගේ සංගම්වල අවසන් තීන්දුව විමසා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය දා රැස්වූ පඩි පාලක සභා මගින් වතු කම්කරුවන්ට රුපියල් 900 ක මූලික වැටුපක් සහ රුපියල් 100 ක දීමනාවක් ලබාදීමට තීරණය කරනු ලැබුවා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී සාකච්ඡා වට කිහිපයක් පැවතුණද හාම්පුතුන්ගේ සංගමය ඊට එකඟතාව පළ කළේ නැහැ.

මෙම තත්ත්වය හමුවේ වතු කම්කරුවන් එක්දින වර්ජනයකද නිරතවුණා.

ඉන් අනතුරුවයි කම්කරු අමාත්‍යාංශය වතු කම්කරු දෛනික වැටුප සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පඩි පාලක සභාව වෙත පවරනු ලැබුවේ ෴

***************************************

(01.03.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුමයක් ලෙස සැලකෙන නකල්ස් කඳු පන්තියේ ඉතා සුන්දර ස්ථානයක් වන පතන ප්‍රදේශයේ වටිනා දුර්ලභ ශාක රැසක් ඉදිකිරීමක් සඳහා කපා දමා ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

මේ අතර, දැනට දිවයිනට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ රක්ෂිත ගිනි ගැනීම් සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

විශේෂයෙන් සතුන් දඩයම් කිරීම සඳහා කැළෑ ගිනි තැබීම් සිදුවන බැවින් එසේ වුවහොත් වියළි කාලගුණයත් සමඟ එය සීග්‍රයෙන් පැතිර යා හැකි බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

බදුල්ල – ඇටම්පිටිය – තවලම්තැන්න ප්‍රදේශයේ රක්ෂිතයක ඊයේ (28) දහවල් ඇතිවූ ගින්නකින් අක්කර 20 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා ෴

***************************************

(01.03.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

බෝසත් උපත සිදුවූ බවට පිරිසක් විසින් මත පළ කළ හබරණ – හිරිවඩුන්න ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක කැණීමක් අද (28) සිට ආරම්භ කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සදහන් කළේ බෞද්ධ උපදේශක කමිටුවේ ඉල්ලීමක් අනුව මෙම කැණීම් සිදුකරන බවයි.

හබරණ – හිරිවඩුන්න – බෝධිරාජාරාමයට පසුගිය ජනවාරි මස 8 වන දා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුලු කණ්ඩායමක් ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවුණා.

ඒ, ඔවුන් සමඟ පැමිණි කිහිපදෙනෙකු බෝසත් උපත අදාළ ස්ථානයේ සිදුවූ බවට ප්‍රකාශ කරමින් ඒ බව තහවුරු කිරීම සඳහා පැරණි ඡායාරූප සහ ග්‍රන්ථ කිහිපයක් පෙන්වමින් කටයුතු කිරීමත් සමඟයි.

කෙසේ වෙතත්, අදින් ඇරඹෙන කැණීම්වල ප්‍රතිඵල අනුව වැඩිදුර පර්යේෂණ සිදුකරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා කියා සිටියේ ෴

***************************************

භාතිය හා සන්තුෂ් වෙළෙන්දන් දෙදෙනෙකු පමණයි.. වික්ටර් රත්නායක අපට මුලින් මේ ගැන කිවුවා.. – ආචාර්ය රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

(01.03.2021 – 03:22 +0530 – lankacnews.com)

භාතිය හා සන්තුෂ් යනු වෙළෙන්දන් දෙදෙනෙකු පමණක් යයි ප‍්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහතා කලින්ම අවවාද කර තිබූ බවද ඔහු කියා සිටී.

මේ දිනවල ඇතිව තිබෙන මතබේදාත්මක තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

+++++++++++

***************************************

ව්‍යාපාරිකයාට වස්තුවක් උරුමයි කියා බොරු සාමි රුපියල් ලක්ෂ 22 ක් හොරා කාලා

(28.02.2021 – colombotoday.com)

වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ 22 ක් සොරා ගැනීමේ සිද්ධියකට සාමිවරයෙක් යැයි කියාගන්නා පුද්ගලයකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අද (28) දින අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර හිටපු හමුදා සෙබලෙක්, වාදක කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු (2) වේ.

ව්‍යාපාරිකයාගේ නිවසට ආරක්ෂාවක් කර ගැනීම සඳහා පුද්ගලයකු සොයමින් සිටියදී අසල්වාසී පුද්ගලයකු මාර්ගයෙන් සාමිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා හඳුන්වා දී ඇති අතර වූ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ සිට පැමිණෙන බවට පවසා මීගහතැන්න පදිංචිව සිටි එම පුද්ගලයා ව්‍යාපාරිකයාගේ නිවස වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ව්‍යාපාරිකයාගේ නිවසට ගිය එම පුද්ගලයා නිවස පරික්ෂා කිරිමෙන් පසුව ඉඩම ද පරික්ෂා කර ඉඩමේ තිබෙන වස්තුවකට ව්‍යාපාරිකයාට උරුමකම් තිබෙන බවත් ආරක්ෂාව කර කරගැනීමෙන් අනතුරුව ඒ දේ ලබාගැනීමට හැකියාව තිබෙන බවත් පවසා සතියක් පීලි ජාති අනුභව නොකරන ලෙස ව්‍යාපාරිකයාට හා ඔහුගේ පවුලේ අයට දන්වා තිබූ බව පොලිසිය කියයි.

නිවස ආරක්ෂා කර ව්‍යාපාරිකයාට හිමි වස්තුව ගොඩ ගැනීම සඳහා රුපියල් ලක්ෂ 22 ක් වැයවන බවත් පවසා ව්‍යාපාරිකයා එයට එකඟ වීමෙන් අනතුරුව නිවසින් පිටවී ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සතියක් ගතවීමෙන් අනතුරුව නිවසට පැමිණ තිබූ මෙම සාමිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) උපක්‍රමශීලීව ව්‍යාපාරිකයා නිවසින් පිටතට යවා නිවසේ කාමරයක අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 22 ක මුදල සොරාගෙන හොර රහසින් පිටවී ගොස් තිබූ බව බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය ෴

***************************************

(01.03.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය විසි හතරක (24) කාලය තුළ රිය අනතුරු මරණ 12 ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඉන් අටදෙනෙකුම (8) මියගොස් ඇත්තේ ඊයේ (28) දිනය තුළ සිදුවූ රිය අනතුරුවලින් බවයි ඔහු කියා සිටියේ ෴

***************************************

(01.03.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය ප්‍රදේශයේදී ඥාති සොහොයුරෙකු සිදුකළ පහරදීමකින් හත් (7) හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාල දරුවා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ (28) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ජීවිතක්ෂයට පත්වූ දරුවාගේ මව අදාල දරුවා සමඟ තවත් දරුවන් දෙදෙනෙකු (2), දරුවන්ගේ ලොකු තාත්තාගේ නිවසේ තබා මඩකලපුව වෙත ගොස් ඇති අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

මෙම හත් (7) හැවිරිදි දරුවා සිය ඥාති සහෝදරයෙකු සමඟ නිවසින් පිටතට ගොස් ඇති අතර පසුව සිය ලොකු තාත්තාගේ නිවස ආසන්නයේ පිහිටි ඉදිකරමින් පවතින නිවසක් අසල වැටී සිටියදී දරුවා ප්‍රදේශවාසීන්ට හමුව තිබෙනවා.

අනතුරුව දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා රෝහල්ගත කළ දිනයේ සිට දරුවාගේ ලොකු තාත්තාගේ පුතෙකු වන 17 හැවිරිදි තරුණයෙක් අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වි ඇත්තේ මොට ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් සිදුවු අභ්‍යන්තර රුධිර වාහන තත්ත්‍වයක් මත මරණය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

***************************************

(01.03.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි කියමින් සිදුකළ ශාන්තිකර්මයක් අතරතුර මීගහවත්ත ප්‍රදේශයේ නව හැවිරිදි (9) දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව අද (01) මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අදාළ ශාන්තිකර්මය අතරතුර අදාළ දැරියට වේවැල්වලින් සිදුකළ පහරදීම් හේතුවෙන් දැරිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) දින රාගම රෝහලේ දී පැවැත්වීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

***************************************

(01.03.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ – සෙන්ක්ලෙයාර් රක්ෂිතයේ ඊයේ (28) රාත්‍රියේ හටගත් ගින්නෙන් අක්කර 30 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

තලවකැලේ – ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතා ප්‍රකාශ කළේ යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව රක්ෂිතයේ හටගත් ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි.

පවතින දැඩි වියලි කාලගුණ තත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබුණා.

මේ අතර බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය කුඩා කර්මාන්තශාලාවක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ප්ලාස්ටික් කැබලිකර අපනයනය කිරීම මෙහි සිදුකර ඇති අතර, අද (01) අලුයම ගින්න හටගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@@@

(28.02.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 7 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 471 ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ කුරුණෑගල, අනුරාධපුර, ගම්පහ, රුක්ගැහවිල, දෙමළගම, කොළඹ 05, පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 56, 55 සහ 59 හා 51, 81 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 5 දෙනෙක් සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ෴

තවත් කොරෝනා ආසාදිතයන් 146 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාදිතයින් 146 දෙනා සමඟ අද (28) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 350 ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 83,205 ක් ලෙසයි ෴

++++++++++++++++++++

(01.03.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) දිනයේ කොරෝනා මරණ 7 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගියා.

මෙලෙස මරණ වාර්තාවී තිබුණේ කුරුණෑගල, අනුරාධපුරය, ගම්පහ, රුක්ගහවිල, දෙමළගම, කොළඹ පහ සහ පන්නිපිටිය ප්‍රදේශවලින්.

මේ අතර ඊයේ (28) දිනයේ නව ආසාදිතයන් 352 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 83,242 ක් දක්වා ඉහළ ගියා.

වාර්තා වූ ආසාදිතයන්ගෙන් 346 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ හතරදෙනෙකු (4) සහ විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙකු (2) ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 79,089 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තවදුරටත් ආසාදිතයන් 3,824 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 78,947 ක්.

එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ (28) දිනයේ පුද්ගලයින් 24,374 කට කොවිෂීල්ඩ් එන්නත ලබාදී ඇති අතර, ඒ අනුව මෙතෙක් එන්නත් ලබාදී ඇති මුළු සංඛ්‍යාව 4,66,350 ක්.

මේ අතර, දැනට සේවයේ නියුතු වයස අවුරුදු හැත්තෑ පහේ (75) සීමාවේ සිටින උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා ද කොරෝනා එන්නත ලබාදෙන ලෙස රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සභාපති දුශ්‍යන්ත කරුණානායක මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Bosath Upatha @ Habarana. What a joke! The country is of full of deceptionists trying to make a business out of Lord Buddha. Trying to rewrite history, these deceptionist mudalaalis are making fools out of ignorant devotees. Even government officials are falling victim to treachery. What a state of the nation? Where is the Minister of Buddha Sasana, and where are the Sanga Nayakas? Sleeping and farting? Wake up man, get your act together and save the Buddhist Heritage.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *