ටොෆියක් කන්න දීලා ඔක්කොම වෙනකන් මිස් එළියේ ඉඳලා තියෙනවා – අවන්ති දේවී දැරියන්ගේ අනාවරණයක්

ටොෆියක් කන්න දීලා ඔක්කොම වෙනකන් මිස් එළියේ ඉඳලා තියෙනවා – අවන්ති දේවී දැරියන්ගේ අනාවරණයක්

*********************************************

ටොෆියක් කන්න දීලා ඔක්කොම වෙනකන් මිස් එළියේ ඉඳලා තියෙනවා – අවන්ති දේවී දැරියන්ගේ අනාවරණයක්

(27.02.2021 – 22:56 +0530 – sinhala.adaderana.lk)

අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ සිදු වූ තවත් අකටයුතුකම් පිළිබඳව එහි දැරිවියෝ අද (27) දිනයේදීත් අනාවරණය කළෝය.

උකුස්සාගේ අද (27) අනාවරණය ඒ පිළිබඳවයි.

අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ සිදුවූ අකටයුතුකම් පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද (27) අනුරාධපුර දිස්ත්‍රික් අග්‍රාමාත්‍ය සම්බන්ධීකාරකවරයා ඇතුළු නීතීඥයින් පිරිසක් එහි ගොස් තිබුණි.

එහිදී එම දැරියන් තමන්ට මුහුණදීමට සිදු වූ ගැටලු සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසිනි.

දැරිය : මෙයාලාව එක්කන් ගිහින් තියෙනවා ගෙදරකට.

නිතීඥවරිය : ඒ කියන්නේ දහම් පාසල වගේ තැනකටද ගෙනියලා තියෙන්නේ ?

දැරිය : ඒකනම් හරියට දන්නේ නැහැ.

නිතීඥවරිය : ඔයාට දැක්කොත් අඳුරගන්න පුළුවන්වෙයි ද ?

දැරිය : ඔව් පුළුවන්.

දැරිය : මෙයා නැගිටිනකොට ඇඳුම් තිබිලා නෑ.

නිතීඥවරිය : ඒ කියන්නේ මෙයාට සිහි නැතිවෙලාද ?

දැරිය : ඔව්.

නිතීඥවරිය : බබාව එක්කන් ගියාට පස්සේ ?

දැරිය : මෙයා හිතලා තියෙන්නේ මෙයාව සැත්කමකට ගෙනිහිල්ල කියලා. මෙයා හිතලා තියෙන්නේ මිස් මෙයත් එක්ක ඉන්නවා කියලා. ඒ වුණාට මිස් ඉඳලා තියෙන්නේ මෙයාලත් එක්ක නෙවෙයි. මෙයා එළියට එද්දි මිස් එළියෙ ඉඳලා. මෙයාව ගෙදරකට එක්කන් ගිහිල්ලා බස්සලා ටොෆියක් කන්න දීලා ඔක්කොම වෙනකන් මිස් එළියේ ඉඳලා තියෙනවා.

නිතීඥවරයා : කවුද මිස් කිව්වේ ?

දැරිය : මෙහෙන් ගිය චංචලා කියන මිස්.

නිතීඥවරයා : ඕගොල්ලෝ ඔක්කොම දැක්කනේ උකුස්සා වැඩසටහන ? ඒකේ පෙන්නපුවා ඇත්තද ?

දැරිය : එක්කෙනෙකු ගෙන් අරක්කු ගඳ ආවා.

නිතීඥවරයා : අංකල්ලා කොහොමද මේක ඇතුළට එන්නේ ?

දැරිය : එදා කොත්තු පාටිය දවසේ ගෙන්නුවනේ කොමසාරිස්තුමා.

නිතීඥවරයා : මේ දෙපාර්තමේන්තුවට හෝ මේ පාලකයන්ට විරුද්ධව බොරුවට කරුණු කියන්න කියලා කවුරුහරි කිව්වද ?

දැරිය : සර්, එහෙම කවුරුත් කියලා නෑ.

නිතීඥවරයා : කියලා තියෙනවද කාටහරි ?

දැරිය : නැහැ සර්.

නිතීඥවරයා : අපි දැක්කා ඔයාලගේ මුහුණු වහලා පෙන්නුවා. යම් යම් අය කියනවා යම් යම් කරුණු. සර් මෙහෙම කිව්වා කියලා.

දැරිය : සර් එයාලා ඉස්සරහ වුණත් කියන්න පුළුවන්.

නිතීඥවරයා : මං කියන්නේ ඒවා ඇත්තනේ ?

දැරියන් : ඔව්…

නිතීඥවරයා : මට දැන් තව පාර්ශවයක් කරුණු දක්වලා තියෙනවා මේ ඔක්කොම බොරු; මේ කට්ටිය පටලවන්න තමයි ගැහැනු ළමයි යොදාගෙන කවුරු හරි මේක මෙහෙයවනවා කියන එක. එක් එහෙමද නැත්නම් ඇත්තටම වෙච්ච දෙයක් ද ?

අවන්තිදේවීයේ දැරිය : ඇත්තටම වෙච්ච දෙයක් සර්..

නිතීඥවරයා : අනිත් අයත් කියන්න ඇත්තටමද වුණේ ?

අවන්තිදේවීයේ දැරියන් : ඔව්…

***************************************

(27.02.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බව පැවසූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු මේ වනවිට මියන්මාර අත්අඩංගුවේ පසුවන බව වාර්තා වනවා.

පසුගිය 11 සහ 12 යන දෙදින තුල මොවුන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි.

කෙසේ වෙතත්, මෙම ධීවරයන් අතුරුදන්ව ඇති බවටත්, ඒ පිළිබඳව අවධානය යොමුවී නොමැති බවටත් පසුගියදා වාර්තා පළ වුණා.

මියන්මාර අත්අඩංගුවේ පසුවන ධීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය අමතා ඔවුන් මුහුණ දී ඇති ගැටලුව පැහැදිලි කළා.

එහිදී ඔහු කියා සිටියේ තමන් ගමන් ගත් යාත්‍රාව දියවැලකට හසුව මියන්මාරය දෙසට ගසාගෙන ගිය බවත් තමන් මුදා ගැනිම සඳහා ශ්‍රී ලංකා රජයෙන් මෙතෙක් කිසිදු මැදිහත්වීමක් නොවූ බවයි.

ඒ අනුව, මයෝමි සහ සාගර කුමාර 4 යන යාත්‍රා දෙක (2) ධීවරයින් සමඟ මියන්මාර අත්අඩංගුවේ පසුවනවා.

ධීවරයන් 12 දෙනාගෙන් කිහිපදෙනෙකු මාතර – දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, තමන් රඳවා සිටින ස්ථානය පැහැදිලිව ප්‍රකාශ කිරීමට ධීවරයන්ට නොහැකිවුණා.

මේ වනවිට මියන්මාරය හමුදා පාලනයක් යටතේ පවතින අතර, හිරු ප්‍රවෘත්ති අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පැවසුවේ මෙම ධීවරයන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු විදේශ අමාත්‍යාංශය හරහා මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි.

අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදුවන බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල්, මහාචර්ය ජයනාත් කොළඹගේ මහතා ද තහවුරු කළා.

එසේම, ඉන්දියානු සාගර කලාපයට ගසාගෙන ගොස් තිබියදී එරට වෙරළාරක්ෂකයන් විසින් මුදා ගත් මෙරට යාත්‍රාවක් සහ ධීවරයන් දෙදෙනෙකු (2) නාවික හමුදාව අද (27) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ආවා.

පසුගිය 23 වනදායි මන්නාරම සවුත් බාර් ප්‍රදේශයෙන් ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණේ.

අනතුරුව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ඔවුන් මුදා ගෙන තිබූ අතර, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ධීවරයින් දෙදෙනා සහ යාත්‍රාව නාවික හමුදාවේ සුරනිමල නෞකාවට භාර දී තිබුණා.

ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගොස් මියන්මාර අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනා ඉන් මුදා ගෙන මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළා.

***************************************

(27.02.2021 – 18:57 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – නාරංගල කන්දේ කඳවුරු බැඳ සිටියදී ඊයේ (26) රාත්‍රියේ අතුරුදන් වූ තරුණයාගේ මෘත දේහය අද (27) දහවල් සොයා ගැණුනා.

පොලීසිය සඳහන් කළේ යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ තරුණයාගේ මෘත දේහය එම කන්දේ ප්‍රපාතයක තිබී අද (27) දහවල් සොයා ගෙන ඇති බවයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල – මානියම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

මොහු ඊයේ (26) මිතුරන් 6 දෙනෙකු සමඟ නාරංගල කන්දේ රාත්‍රී කුඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කරමින් සිට ඇති අතර, වැසිකිලි යන බව පවසා ඉන් පිටතට ගිය පසු අතුරුදන් වී තිබෙනවා.

මේ අතර, කොස්ලන්ද – උඩ දියලුම සංචාරක ප්‍රදේශයේ රාත්‍රී කූඩාරම් ඉදිකර නවාතැන් ගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක් කුමාර මහතා සඳහන් කළා.

අදාළ සංචාරක කලාපයේ දියවලක නාමින් සිටි 9 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (26) දියේ ගිලී මියගියා.

මීට පෙර මඩොල්සිම – පුංචි ලෝකාන්තයේ කඳවුරක සිටි තරුණයෙකු ද ඉන් පහතට වැටී ජිවිතක්ෂයට පත්වුණා.

***************************************

(27.02.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවට, ශ්‍රී ලංකා අපනයන කොරිඩෝවක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව, අපනයන කෘෂි කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන හම්බන්තොට – කසාගල රජමහා විහාරස්ථානයේදී අද (27) අමතමින්.

මේ වසර අවසන් වනවිට දිස්ත්‍රික්ක 10 ක කෘෂි අපනයන කලාප 100 ක් ස්ථාපිත කිරීම රජයේ සැලසුමයි.

***************************************

(27.02.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දුන් ජනතාවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ක්‍රියාත්මක වන ගම සමග පිළිසඳර වැඩසටහනේ දොලොස්වැන්නට, ත්‍රිකුණාමලය – ගෝමරංකඩවල – කිවුලේකඩවල විද්‍යාල භූමියේදී අද (27) එක්වෙමින්.

ප්‍රදේශවාසියෙකු එහිදී සිය ගැටලුව ජනාධිපතිවරයාට යොමුකළ අතර පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආණ්ඩුකාරවරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට කඩිනමින් ඊට විසඳුම් ලබාදෙන ලෙසටයි උපදෙස් ලබාදුන්නේ ෴

***************************************

(27.02.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨය දැනට පවතින ස්ථානයෙන් ඉවත් කර එම ස්ථානයේ මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටුවීමට පවතින සූදානම් සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතියට තම සංගමය දැඩි ලෙස විරෝධය පළ කරන බවයි ෴

***************************************

(28.02.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

මීගහවත්ත දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේදී පහරදීමකට ලක්වූ කුඩා දැරියක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 9 හැවිරිදි දැරියක් බවයි පොලිසිය කියාසිටියේ.

මෙම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට පවසමින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් තෙල් සාත්තුවක් සිදු කිරීමෙන් අනතුරුව වේවැලකින් පහරදී ඇති බවට හෙළිවී තිබෙනවා.

එහිදී දැරිය සිහිසුන්වී ඇති අතර බියගම රෝහලට ඇතුලත් කිරීමේදී හෙළිවී ඇත්තේ ඇය මියගොස් ඇති බවටයි.

දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට දැන ගැනීමෙන් පසු අදාළ දේවාලය පවත්වාගෙන යනු ලබන කාන්තාව වෙතට රැගෙන ගොස් ඇත්තේ ඇයගේ මව විසින් බව ද සඳහන්.

පොලීසිය සඳහන් කළේ සිද්ධියට අදාළව ශාන්තිකර්මය සිදුකළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ ශාන්තිකර්මය දින 3 ක් පුරා සිදුකර ඇති අතර, ඊයේ (27) දිනයේදී සිදුකළ පහරදීම් හේතුවෙනුයි දැරිය සිහිසුන්වී ඇද වැටී ඇත්තේ.

පසුව ඊයේ (27) රාත්‍රියේම අදාළ දැරිය, ප්‍රදේශවාසීන් විසින් බියගම ප්‍රාදේශීය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර, එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි ෆාතිමා රිෆ්ෆා නැමති 9 හැවිරිදි දැරියක්.

මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (28) දින එම ස්ථානය පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ වේවැල් පහකින් අදාළ දැරියට පහරදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ශාන්තිකර්මය සිදුකළ කාන්තාව පොලිස් භාරයට ගෙන ඇති අතර, මවද ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලීසියට කැඳවා තිබෙනවා.

පොලිසිය පෙන්වා දෙන්නේ මෙවැනි අවිධිමත් ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් මීට පෙර ද කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන් ද මියයාමේ සිදුවීම් වාර්තා වී ඇති බවයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් සියලුදෙනා අවදානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පොලිසිය පෙන්වා දෙනවා.

***************************************

(28.02.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පසුගිය කාලය පුරා වාර්තා වූ භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර භූ විද්‍යා ගවේෂකයින් සමඟ මේ වනවිට අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාව හා කැනඩාව යන රටවල විද්වතුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ මේ දිනවල ඊට අදාළ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවයි.

මහනුවර – දිගන හා පල්ලෙකැලේ ආශ්‍රිත ප්‍රදේශයේ මෙන්ම ලුණුගල – ඇකිරිය යන ප්‍රදේශවල පසුගිය දිනවල සුළු භූ චලන වාර්තා වී තිබුණා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා කියා සිටියේ අදාළ ජාත්‍යන්තර භූ විද්‍යා ගවේෂකයින්ගේ අධ්‍යයන වාර්තා සැලකිල්ලට ගෙන ඉදිරි ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බවයි ෴

***************************************

(28.02.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ප්‍රවේශපත්‍ර විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමට සැලසුම්කර ඇති ව්‍යාපෘතිය චීන සමගාමකට ලබා දීම තුලින් මුදල් අපතේ යන බවට දුම්රිය එන්ජින් රියදුරු සංගමය චෝදනා කරනවා.

එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ අදාල ව්‍යාපෘතිය දේශීය සමාගමකට ලබා දීමට රජය කටයුතු කළ යුතු බවයි ෴

***************************************

(28.02.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණයෙන් පසු තම පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

@@@@@@@@@@@@@@@@

(27.02.2021 – 18:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශවලට අදාළ මූලික කෙටුම්පත මේ වනවිට සකස් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අදාළ මාර්ගෝපදේශවලට ඇතුළත් කළ යුතු එම මෘතදේහ භූමදානය කළ යුතු ස්ථාන හඳුනා ගැනීම එහි ප්‍රධාන අභියෝගය වී ඇති බවයි.

ඊට අදාළව අද (27) දිනයේදී සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉඩ සලසන අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා.

එමඟින් දැක්වුණේ අදාළ මෘතදේහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධිවිධානවලට අනුකූලව නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක බලධාරීයාගේ අධීක්ෂණය යටතේ භූමදානය කළ යුතු බවයි.

මේ අතර, මේ වනවිට රෝහල්ගතව හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,813 දක්වා පහත වැටී තිබෙනවා.

ඒ, ආසාදිතයින් 748 දෙනෙකු අද දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යෑමත් සමඟයි. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 78,373 ක් ලෙසයි.

එසේම, කොරෝනා ආසාදිතයින් 220 දෙනෙකු අද (27) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82,650 ක්.

මේ අතර, දීර්ඝ සති අන්තය හේතුවෙන් නුවරඑලිය, කතරගම, ඇල්ල ඇතුළු ප්‍රදේශවලට අද (27) විශාල සංචාරකයින් පිරිසක් පැමිණ සිටි බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

කෙසේ වෙතත්, තවදුරටත් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

+++++++++++++++++++

(27.02.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 205 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82,855 ක් ෴

+++++++++++++++++++

(28.02.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයන් 460 දෙනෙකු ඊයේ (27) හදුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82,890 දක්වා ඉහළ ගියා.

මොවුන්ගෙන් 425 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, 35 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව 4,053 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 78,373 ක්.

කිසිදු මරණයක් ඊයේ (27) දිනයේ වාර්තාවී නොමැති අතර, ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 464 ක් ලෙසයි.

එමෙන්ම කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගිය දින 07 ක කාලය ඇතුළත ඉන් ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වුණා. රැඳවියන් 300 ක් පමණ රැඳවිය හැකි මෙම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පිරිස 637 ක්.

හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් නව කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වුණා.

ඒ අතර පෞද්ගලික වතු සමාගමක ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධානියා හා සේවකයන් සිව් දෙනෙකුද (4) වනවා.

එමෙන්ම කොරෝනා පාලනයට සහය නොදෙන රජයේ සේවකයින්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

කොවිඩ්-19 පාලනය සඳහා රෝගීන් රෝහල් ගත කිරීම, ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ කිරීම, රෝහලේ රඳවා ගැනීම මෙන්ම මෘත දේහ බැහැර කිරීම ඇතුලු බලාත්මක වන නීති පද්ධතියක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම නීතියට පරිභාහිරව කටයුතු කිරීමට කිසිඳු නිලධාරියෙකුට හෝ පුද්ගලයෙකුට හැකියාවක් නොමැති බව උපුල් රෝහණ මහතා සඳහන් කළා.

කොවිඩ්-19 පාලනය සඳහා PCR පරීක්ෂණ කිරීම වැළැක්වීම හෝ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතිනවා.

පොලිසිය, ත්‍රිවිද හමුදාව ඇතුලු සියලු ආයතන ප්‍රධානීන් සෞඛ්‍ය බලධාරීන්ට සහය ලබාදීමට නීතියෙන් බැඳී සිටින බවයි උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේ.

එලෙස කටයුතු නොකළ හොත් ඔවුන්ට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට සිදුවන බවයි ඔහු කියාසිටියේ.

පුද්ගලයින් 35,343 දෙනෙකුට ඊයේ (27) දිනයේදී කොවිෂීල්ඩ් එන්නත ලබාදී ඇති අතර, මේ වනවිට එන්නත් ලබාදී ඇති මුළු සංඛ්‍යාව 441,976 ක්.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් 11,43,55,659 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 25,36,467 ක් ලෙසයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තාවීමේ අඩුවක් මේ වනවිට දක්නට ලැබෙන අතර, ගතවූ පැය විසි හතරේ (24) ලොව පුරා මරණ 7,812 ක් සහ ආසාදිතයන් 3,78,088 ක් ලෙස වාර්තාවී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *