සමාජ මාධ්‍ය නියාමනයට පාස්කු කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ

සමාජ මාධ්‍ය නියාමනයට පාස්කු කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ

*********************************************

සමාජ මාධ්‍ය නියාමනයට පාස්කු කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ

(26.02.2021 – 19:34 +0530 – sinhala.adaderana.lk)

සයිබර් අවකාශය ඔස්සේ වර්තමානය වනවිට ත්‍රස්තවාදය හා අන්තවාදය ප්‍රබල ලෙස ව්‍යාප්ත වන බව පවසන ජනාධිපති කොමිසම අයි.එස්, වහබ්වාදය, තව්හිද් ඇතුලු අන්තවාදි අදහස් ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය හා සයිබර් අවකාශය නියාමනය කළ යුතු බව අවධාරණය කර තිබේ.

අන්තවාදයේ ව්‍යාප්තියට බලපා ඇති මෙරට මද්‍රසා සහ අරාබි පාසල් රජයේ දැඩි නියාමනයකට යටත් කරන ලෙසද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ආගමික හේතු සහ විශ්වාසයන් මත පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් කළ යුතු බවත්, කිසිම ආගමක නමක් දේශපාලන පක්ෂයක නාමයේ කොටසක් නොවිය යුතු බවය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂ සඳහා ඉහත කී නිර්ණායක මත නියමිත වෙනස්කම් සිදු කිරීමට සහන කාලයක් ලබාදිය යුතු බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම මෙරට තුළ ජනවාර්ගික හා ආගමික ගැටුම් ඇති කිරීමට හේතුවන අන්තවාදී සංවිධාන සහ පුද්ගලයින් පිළිබඳ නිගමන හා නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් වන සුෆි මුස්ලිම්වරුන්ට තර්ජනයක් වෙමින් රට තුළ වහබ්වාදය ව්‍යාප්තවෙමින් පවතින බව පවසන ජනාධිපති කොමිසම පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වහබ්වාදය තහනම් කළ යුතු බවය.

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදි සංවිධාන වන ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සහ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම සියලු තවුහිද් සංවිධාන ද වහබ් දෘෂ්ටිවාදය අනුගමනය කරන බැවින් ඒවාද තහනම් කළ යුතු බව කොමිසම පෙන්වා දෙයි.

කොමිසම නිර්දේශ කරන්නේ, ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රෂීඩ් හජ්ජුල් අක්බාර්ට එරෙහිව අපරාධ නඩු පැවරීම කෙරෙහි සළකා බලන ලෙසය.

එමෙන්ම ආගමික අසමගිය පැතිරෙන ආකාරයේ වෛර ප්‍රකාශ සහ දේශන සිදුකිරීම පිළිබඳ අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ හැකි ද යන්න කඩිනමින‍් සලකා බලන ලෙස ද අදාළ නිර්දේශවලට ඇතුළත් ය.

ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ වැඩිදුරටත් නිර්දේශ කර ඇත්තේ ආගමික හෝ ජනවාර්ගික අසමගිය ඇති කිරීමට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙක් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකිවන අකාරයේ විධිවිධාන සම්පාදනය කරන ලෙසය.

එසේම මුස්ලිම් අධ්‍යාපන ආයතන වන මද්‍රසා සහ අරාබි විද්‍යාල දැඩි රජයේ නියාමන ක්‍රමවේදයකට යටත් කළ යුතු බව ජනාධිපති කොමිසමේ නිර්දේශය වී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියල්ල අධීක්ෂණය කළ යුතු යැයි නියම කර තිබේ.

මද්‍රසා හි සියලුම මව්ලවිවරුන් සහ ගුරුවරුන් නියාමන ආධිකාරියක ලියාපදිංචි වියයුතු බවත් මද්‍රසා වෙත විදේශිය අරමුදල් ගලාඒම නියාමනය කළයුතු බවත් ජනාධිපති කොමිසම විසින් නිර්දේශකර ඇත.

සියලුම දහම්පාසල්, ඉරිදා පාසල් සහ අහඩියා සහ තක්කියා පාසල් රජය විසින් එකම ආයතනයක් යටතේ නියාමනය කළයුතු බවද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් ය.

පවත්නා සියලු පාසල් බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හෝ ඉස්ලාම් යන ආගමික බෙදීම්වලින් නිදහස් කළ යුතු අතර සෑම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම නොසලකා ආගමික අධ්‍යාපනය යන නව විෂයක් ඉගැන්විය යුතු යැයි ජනාධිපති කොමිසම නිර්දේශකර තිබේ.

සියලුම ආගමික කටයුතු සඳහා පැවතිය යුත්තේ එකම අමාත්‍යාංශයක් පමණක් බවත්, එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවතිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීති සම්පාදනය කළයුතු බවත් ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇති තවත් නිර්දේශයකි.

විවිධ ප්‍රජාවන් අතර වෙනස්කම් ඇතිවීම වැළැක්වීම සඳහා එක රටක් එක් නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපති කොමිසම නිර්දේශකර තිබේ.

***************************************

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී හෙටට (27) වසර 6 ක්

(26.02.2021 – 18:58 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධානම චුදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව හෝ එහි නඩු විභාගය සිදුකරගෙන යාමට නීතිපතිවරයා සූදානමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී හෙටට (27) වසර හයකි.

2015 වසරේ පෙබරවාරි 27 වැනි දින, එනම් යහපාලන ආණ්ඩුව බලයට පත්වී මාස දෙකක් (2) ගතවීමටත් පෙර රුපියල් බිලියනයක බැඳුම්කර වෙන්දේසි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ලංසු කැඳවූ අතර එදින වෙන්දේසියේදී බිලියනයක් වෙනුවට රුපියල් බිලියන 10.058 කම ලංසු භාරගැනීමට බැඳුම්කර ටෙන්ඩර් කමිටුව අනපේක්ෂිත ලෙස තීරණය කර තිබුණි.

භාරගත් ලංසු ප්‍රමාණයෙන් 50% ක්ම හිමිව තිබුණේ එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්ට අයත් පර්පචුවෙල්ට්‍රෙෂරීස් සමාගමටය.

එළෙස බිලියන 10 ක ලංසු භාරගැනීමට සිදූවූයේ අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර ටෙන්ඩර් කමිටු තීරණයට මැදිහත්වී උපදෙස් ලබාදීම නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ පසුව අනාවරණය වුණි.

ඔහු වෙන්දේසියට මැදිහත්වීම හරහා රජයට එම වෙන්දේසියේදී පමණක් රුපියල් මිලියන 688 ක අලාභයක් සිදුවී ඇති බවත්, ඔහුගේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව ලංසු තබා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම මිලදී ගත් බැඳුම්කර ද්වීතීක වෙළඳපොළේදී සේවක අර්ථසාධක අරමුදල ඇතුළු රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමෙන් එම සමාගම රුපියල් බිලියන 08 කට වැඩි අයථා ලාභයක් ලබාඇති බවත් බැඳුම්කර කොමිසම අනාවරණ කළේය.

ඊට අදාළ නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග කිරීමට මේ වනවිට සූදානම් කරඇති අතර විත්තිකරුවන් දස දෙනෙකුට (10) එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ, “අනිවාර්යයෙන්ම දිනපතා ඒ නඩුව අහලා, කල්දාන්නේ නැතුව ඒකට විසඳුමක් දෙන්න අවශ්‍යයි” යනුවෙනි.

කෙසේ වෙතත් මෙහි පළමු විත්තිකරු වන අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියකු වනඅතර ඔහුට එරෙහිව රතු නිවේදන පවා නිකුත් කර තිබුණත් උදර්පණ නීතිය යටතේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තවමත් හැකි වී නැත.

ඒ අනුව බැඳුම්කර වංචාවේ චුදිතයන්ට එරෙහි නඩු විභාගයත් අගරමග නතර වේ ද?

ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, “විශ්වාසයක් තිබුණා ඔහුව ගෙන්නගන්න පුළුවන් වෙයි කියලා. කැඳවගන්නම බැරි වුණොත් ඔහු නැතුව හරි නඩු විභාගය පටන් ගන්න ඕනේ කියලයි කිව්වේ” යනුවෙන් පැවසීය.

***************************************

රුපියල් ලක්ෂ 38 ක ස්වර්ණාභරණ කොල්ලකා බෝට්ටුවෙන් පළාගිය කල්ලිය අත්අඩංගුවට

(26.02.2021 – 08:04 +0530 – sinhala.adaderana.lk)

රුපියල් ලක්ෂ 38 ක වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් ඊයේ (25) දිනයේදී අත්අඩංගුවටගත් බව පොලීසිය පවසයි.

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි වෙළෙඳසැළක ඉකුත් 8 වනදා එම කොල්ලකෑම සිදුකර තිබුණි.

ත්‍රිකුණාමලය කෝණේෂ්වරම මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් පැමිණි කොල්ලකරුවන් මෙම කොල්ලකෑම සිදුකර බෝට්ටුවෙන්ම පළාගොස් ඇති බවට එහිදී සිදුකර තිබූ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

එම කොල්ලකෑමට අදාළව සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (25) දිනයේ අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමල පොලීසියට හැකිවිය.

මෙම කොල්ලය මෙහෙයවා ඇති 35 හැවිරිදි සැකකරුවා ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනඅතර ඔහු සතුව තිබූ ජීව අත්බෝම්බයක්, විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ එම උණ්ඩ 6 ක් සොයාගෙන තිබේ.

මීට පෙර සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ දැනට අතුරුදහන්ව සිටින අයිස් මංජු නැමැත්තාගේ සහෝදරයෙකු බවට අදාළ සැකකරුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොල්ලය සඳහා යොදාගත් බෝට්ටුව සහ එහි හිමිකරු ද මේ වනවිට අනාවරණය වී තිබේ.

කොල්ලකා තිබූ ලක්ෂ 38 ක වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගය සොයා මේ වනවිට පොලිස් විමර්ශන සිදු කෙරේ.

***************************************

රටක් සුවපත් කරන්නට සිතා සිටි වෛද්‍ය සිසුවාට සිදු වූ හිත කීරි ගැසෙන ශෝකාන්තය (26-02-2021)

ඔබත් මොවුන්ට යම් හෝ පිළිසරණක් වීමට කැමතිනම් මෙම දරුවාගේ පියා කේ.කේ. පියවත්ත මහතා 077 821 5587 දුරකථන අංකයට කථා කර සම්බන්ධ කරගන්න.

කේ. කේ. පියවත්ත
නො. 464 රවුම් පාර,
කුඩා අරුක්ගොඩ
අළුබෝමුල්ල

077 821 5587

ගිණුම් අංකය : 105953573938
සම්පත් බැංකුව – බණ්ඩාරගම

***************************************

(27.02.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ අතර වරෙන්තුකරුවන් 1,430 ක්ද සිටින බවයි ෴

***************************************

(27.02.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරුවන් අයිස් ග්‍රෑම් 43 යි මිලිග්‍රෑම් 190 ක් සමඟ අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සෙල්වි පාර්ශවයේ ‘පලනි රිමෝෂන්’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයින් බවට අනාවරණ වී ඇත්තේ.

***************************************

(27.02.2021 – 09:23 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – උඩුවෙල මාර්ගයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එක් තරුණයෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගැටුම අතරතුර එක් තරුණයෙකු මියගිය තරුණයා මාර්ගය දෙසට තල්ලු කර ඇති අතර මාර්ගයේ පැමිණි බස් රථයකට යටවී ඔහු මියගොස් ඇති බවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24 ක උඩුවෙල ප්‍රදේශයේම පදිංචි තරුණයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) සහ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

(27.02.2021 – 10:38 +0530 – hirunews.lk/sinhala)

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් සියයට 80 දක්වා ඉහළ නැංවීමට මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඊට අදාළ නියෝගය මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත යොමුකර ඇත්තේ පසුගිය 17 වනදායි.

මූල්‍ය ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති අදාළ නියෝගය අනුව, පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහනවලට ඒවායේ වටිනාකමින් සියයට 80 දක්වා මූල්‍ය පහසුකම් ලබා ගත හැකියි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ මහබැංකුව නිකුත් කළ නියෝගයකට අනුව, වසරකට වඩා පැරණි වාහන සඳහා ලබා ගත හැකිවූයේ සියයට 70 දක්වා මූල්‍ය පහසුකම් පමණයි.

කෙසේ නමුත්, පසුගිය වසරේ පැනවුණු වාහන ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මේ වනවිට භාවිත කළ වාහනවල මිල ගණන් සියයට 30 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර, රජයේ ආයතන විසින් භාවිත කරනු ලබන සියලු රථවාහන පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් එස්.ආර්. ආටිගල මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම රථ වාහන පිලිබඳ තොරතුරු ලබන මස 15 වනදාට පෙර ලබා දෙන ලෙස සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇති බවයි.

ඒ අනුව, අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලින් මෙම තොරතුරු ලබා ගැනීමට තීරණය කර ඇති බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා ෴

***************************************

(27.02.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – නාරංගල කන්දේ කඳවුරු බැඳ සිටියදී ඊයේ (26) රාත්‍රියේ අතුරුදන් වූ තරුණයාගේ මෘත දේහය අද (27) දහවල් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ තරුණයාගේ මෘත දේහය එම කන්දේ ප්‍රපාතයක තිබී අද (27) දහවල් සොයා ගෙන ඇති බවයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල – මානියම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

මොහු ඊයේ (26) මිතුරන් 6 දෙනෙකු සමඟ නාරංගල කන්දේ රාත්‍රී කුඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කරමින් සිට ඇති අතර, වැසිකිලි යන බව පවසා ඉන් පිටතට ගිය පසු අතුරුදන් වී තිබෙනවා ෴

***************************************

(27.02.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

වරාය තුල සිදුවන විවිධ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් එහි ස්ථාපිත කිරීමට වරාය අධිකාරිය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේ දීර්ඝ කාලීනව සිදුවන අක්‍රමිකතා හඳුනා ගැනීම සඳහා මෙම රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලය ස්ථාපිත කරන බවයි.

එමෙන්ම, වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයට නව දොඹකර ගෙන්වීමේ කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ද වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කළා.

නව තාක්ෂණයට ගැළපෙන ලෙස වරාය අධිකාරියේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම දොඹකර ගෙන්වීම් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@

(27.02.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 497 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 151 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 37 දෙනෙකුද ඊයේ (26) වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.

අනෙකුත් ආසාදිතයින් 210 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා.

++++++++++++++++++++

(27.02.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කය තුල එන්නත්කරණ සේවා වලින් ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යළි සේවයට වාර්තා කර තිබෙනවා.

ඒ තම ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය ලිඛිතව විසඳුම් ලබාදීම හේතුවෙන්.

ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (27) පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවේ එන්නත් ලබාදීම සඳහා යොදාගැනෙන මධ්‍යස්ථාන ප්‍රමාණය අඩු කිරීමේ තීරණයට සහ එන්නත්කරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදුනොකිරීමට විරෝධය දක්වමින්.

කෙසේ නමුත් අදාළ ක්‍රියාවලිය ක්‍රමවත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යළි සේවයට වාර්තා කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *