රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරයේ

රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරයේ

*********************************************

රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරයේ

(26.02.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය – නාගදීප රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීයි.

මෙහිදී උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65 ක් සහ දහම් පාසල් 35 ක් සම්බන්ධ කරගනිමින් එය සංවිධාන කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

සාම්ප්‍රදායික වෙසක් උත්සවයකින් වෙනස්ව අනෙකුත් ආගම් සමඟ එක්ව මෙවර වෙසක් උත්සවය සංවිධාන කිරීමටද එහිදී තීරණය වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

***************************************

(26.02.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයතනයේ අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රසිද්ධියට පත්කළ යුතු බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපතිනි අනූෂා ජයන්ති මහත්මිය පවසනවා.

කොළඹ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

***************************************

(26.02.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ මෙරට තුළ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලදී සැකකරුවන් 61,550 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

***************************************

(26.02.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමෝපාය සකසන්නැයි අමෙරිකා එක්සත් ජනපදය ලක් රජයෙන් ඉල්ලීමක් කරනවා.

ජීනිවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඊයේ (25) එක්වෙමින් ජිනීවා නුවර අමෙරිකානු නියෝජිත ඩැනියෙල් ක්‍රොනේෆෙල්ඩ් කියා සිටියේ එවැනි ක්‍රමෝපායක් නිශ්චිත කාලසටහනකට අනුව ක්‍රියාත්මක කළ යුතු බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව ඊයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී වැඩිදුරටත් සංවාදයට ලක්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමෙරිකානු නියෝජිතයා කියා සිටියේ මෙරට සුළු ජනකොටස් කොන්වීමේ තත්ත්වයන් පිළිබඳව වාර්තා මෙන්ම නිදහස් මාධ්‍ය ඇතුළු සිවිල් සමාජයේ අවකාශය සීමා වීම සම්බන්ධයෙන් තම අවධානය යොමුවන බවයි.

යුද සමයේ විවිධ චෝදනාවන්ට ලක්වූ හමුදා නිලධාරීන් ඉහළ තනතුරුවලට පත් කිරීම ඇතුළු මෙරට වගවීම් ක්‍රියාවලියේ අඩුපාඩුකම් පිළිබඳවද අමෙරිකාවේ අවධානය යොමුවන බව පැවසූ ඔහු මෙරට පරීක්ෂණ කොමිෂන් සභාවලට වගවීමේ ක්‍රියාවලිය බලාත්මක කිරීමේ හැකියාව පැවතිය යුතු බව අවධාරණය කළා.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය දේශපාලන බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක විය යුතු බව ඔහු සඳහන් කළ තවත් කරුණක්. ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ සශ්‍රීකත්වය උදෙසා වගවීම, යුක්තිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අර්ථවත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවයි අමෙරිකානු නියෝජිතයා වැඩිදුරටත් කියා සිටියේ.

මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාවද ඊයේ (25) අදහස් දැක්වූ අතර, එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ ඒකියභාවය සහ භෞමික අඛණ්ඩතාවය සහතික වන අතරතුර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කළ යුතු බව අවධාරණය කළා. ඒ සඳහා 13 වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවටයි ඉන්දියාව වෙනුවෙන් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මානිපාණ්ඩේ කියා සිටියේ ෴

***************************************

(26.02.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ එම පොලීසියේම සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ රාජකාරි සිද්ධියක් මත පදනම්ව සිය රාජකාරි පිස්තෝලයකින් අදාල සැරයන්වරයා ඊයේ (25) පස්වරුවේ මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බවයි.

එහිදී වෙනත් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු එය වළක්වා ගෙන ඇති අතර, පසුව අදාළ සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(26.02.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

දිවි සරි කිරීමට වාරුවක් ඉල්ලන තරුණියක් පිළිබද ඛේදනීය පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්ථා වනවා.

මේ 23 හැවිරිදි නදීෂා ලක්මාලි. උපතේදීම පුර්ණ ආබාධිත වීම හේතුවෙන් උපන්දා සිට ඇයට ජිවත් වන්නේ මෙලෙසින්.

මිට වසර 13 කට පෙර ඇයගේ පියා මෙලොව හැර යන්නේ රිය අනතුරක් හේතුවෙන්.

එතැන් පටන් අගේ මව කුලී වැඩ කර උපයා ගන්නා සොච්චම් මුදලින් යන්තම් ජීවිතය ගැටගසා ගන්නට ඔවුන්ට සිදුවෙලා.

මේ තරුණියගේ සෞඛ්‍ය පහසුකම් වලට සහ බෙහෙත් වලට අධික වියදමක් දැරීමට වීම නිසාත් අගේ මව සංවේදී හිත ඇති කාගෙන් හෝ පිහිටක් බලාපොරොත්තු වෙන්නේ අන් සරණක් නොමැති නිසාමයි.

***************************************

(26.02.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මානව හිමිකම් වලට මුවාවී ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවත්නා රටවලට බලපෑම් එල්ල කරන බව චීන විදේශ අමාත්‍ය වෑන්-යි මහතා පවසනවා.

එවැනි ක්‍රියාමාර්ග චීනය විසින් දැඩි සේ හෙළා දකින අතර, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අයිතීන් සහ අභිලාෂයන් ඒකාබද්ධව සුරක්ෂිත කරලීම සඳහා නොසැලෙන සහයක් ලබාදෙන බවයි චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග දුරකථන සංවාදයකට එක්වෙමින් චීන විදේශ අමාත්‍ය වෑන්-යි මහතා මේ බව ප්‍රකාශ කළේ යැයි චීන විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන්.

ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු ලෙස මෙරට ආර්ථික සංවර්ධනයට සහ ජනතාවගේ ජීවිකා වෘත්තීන් වැඩි දියුණු කිරීම සඳහා දිගු කලක සිට චීනයෙන් ලැබෙන සහය මෙහිදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැසසුමට ලක්වී තිබෙනවා.

අභ්‍යන්තර සහ බාහිර අභියෝගයන්ට මුහුණදීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ලබාදී ඇත්තේ මනා සහයක්.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ඇතැම් බටහිර රටවල් නැවතත්, නිසි සාක්ෂිවලින් තොරව මානව හිමිකම් කරුණු මතු කරමින් දැඩි පීඩනයක් එල්ල කරන බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ජිනිවා මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නගන චෝදනා ඊට උදාහරණයක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

චීන විදේශ අමාත්‍ය වෑන්-යි මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලික පාලන ක්‍රමවේදයන් මෙන්ම, අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම ඇතුළු එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සුරක්ෂිත කිරීමට චීනය පෙරමුණ ගන්නා බවයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය ඉහළ නැංවීමට ද චීන විදේශ අමාත්‍ය වෑන්-යි මහතා එහිදී ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

වසංගතය කඩිනමින් තුරන් කිරීම සඳහා එන්නත්කරණ සහාය ද ලබාදීමට සූදානම් බවයි ඔහු එහිදී පවසා ඇත්තේ.

***************************************

(26.02.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයෙකු වූ මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නිලධාරින් පිරිසක් පහරදී ඇති වූ ආරවුලට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරින්ගේ වහාම වැඩ තහනම් කර පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයෙකු වූ මිගාර ගුණරත්න මහතා සහ පොලිස් නිලධාරින් පිරිසක් අතර ආරවුලක් ඇතිවූයේ පෙරේදා (24) දිනයේයි.

තුන්වන වසරේ නීති ශිෂ්‍යයෙකු ද වන මිගාර ගුණරත්න මහතා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත යනු ලැබුවේ 23 වනදා අත්අඩංගුවට ගත් සිය පියාගේ සේවාදායකයෙකුට ආහාර පාර්සලයක් ලබාදීමටයි.

එහිදී මිගාර ගුණරත්න මහතා සිය ජංගම දුරකථනයෙන් සැකකරුට දුරකථන ඇමතුමක් ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියෙකු එය සිදුනොකරන ලෙසට දැනුම් දීමත් සමඟ දෙපාර්ශවය අතර බහින් බස්වී පහරදීම් සිදුවූ බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතල ලෙස පහරකෑමට ලක්වූ මිගාර ගුණරත්න මහතා මේ වනවිට රෝහල් ගත වී තිබෙනවා.

කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් පොලීසියෙන් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මිගාර ගුණරත්න මහතා පොලිස් නිලධාරියෙකුට පහරදීමට උත්සාහ කිරීමත් සමඟ මෙම ආරවුල ඇති වූ බවයි.

ඒ සම්බන්ධයෙන් අප නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගෙන් ද විමසූ අතර, එහිදී ඔහු සඳහන් කළේ සිය සේවාදායකයා සමඟ තමන්ට දුරකථනයෙන් කතා කිරීමට පුත්‍රයාට අවස්ථාව සලසා දෙන ලෙස පැවසූ අවස්ථාවේදී මෙම ආරවුල සහ පහරදීම සිදුව ඇති බවයි.

එහිදී පොලිස් නිලධාරින්ට තම පුත්‍රයා සහ තමා නිවැරදි ලෙස හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ද නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළා.

මේ අතර, හෙරොයින් කිලෝ 45 කට වැඩි ප්‍රමාණයක් සමඟ හොරණදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මීට පෙර අවස්ථා දෙකක (2) දී ඒ ආකාරයෙන්ම හෙරොයින්ම ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඒ, ඔවුන් ඊයේ (25) හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07 ක රැඳවුම් නියෝග ලබාගැනීමෙන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීයි.

වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී යුද හමුදා සෙබලෙකු සහ යුද හමුදාවෙන් පළාගිය ලාන්ස් ක්‍රෝපල්වරයෙකු මෙලෙස ඊයේ (25) අත්අඩංගුවට පත්වුණා.

එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ දැනට ඩුබායි හි සිටින ‘රුවන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ සහ 24 හැවිරිදි තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබුණා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර, සංවිධානාත්මක මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාශය ඊයේ (25) දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි.

පසුගිය අඟහරුවාදා මෙම මුදල් වංචා කිරීමේ ජාවාරමට සම්බන්ධ විදේශිකයන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ මෙහෙයුමකදීයි.

පසුව එම ජාවාරම මෙහෙය වූ පුද්ගලයින් සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී 26 සහ 30 හැවිරිදි වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනකු සහ 53 හැවිරිදි හැව්ලොක් ප්‍රදේශයේ පදිංචි පුද්ලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් සතුව තිබී වංචා සහගතව උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 80 ක මුදල් ද පොලිස් භාරයට ගනු ලැබුවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කලේ.

හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ රුපියල් ලක්ෂ එකහමාරකට (1½) ආසන්න මුදලක් සමඟ කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොහු කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ෴

***************************************

(26.02.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

‘ගම සමඟ පිළිසඳරක් – වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන යටතේ කිලෝමීටරයට අඩු මාර්ගයක් හෝ දෙකක් ලබන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර සෑම ග්‍රාම සේවා වසමකම ක්‍රියාත්මක කෙරෙනවා.

‘වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරි කොට්ඨාශ 14,022 සඳහා එක් කොට්ඨාශයකට රුපියල් ලක්ෂ 20 බැගින් ලබාදීමට කටයුතු යොදවා ඇති බවයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි ෴

***************************************

(26.02.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයට තදාසන්න ප්‍රදේශවල මේ දිනවල විටින් විට සිදුවන බව කියන තාවකාලික විදුලිය ඇණ හිටීමේ සිද්ධි සම්බන්ධයෙන් සොයා බලන බව ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කළා.

එහි සභාපති ඉංජිනේරු, විජිත හේරත් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සාමාන්‍ය නඩත්තු හැර විශේෂ නඩත්තු කටයුතු මේ දිනවල සිදු නොවන බවයි.

කෙසේ වෙතත්, විදුලිය කඩින් කඩ විසන්ධි වීම පිළිබඳව මහජනතාවට දැනුම් දිය හැකි බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.

මේ අතර, පවතින වියලි කලගුණ තත්වය හමුවේ කොළඹ මෙන්ම කොළඹින් පිට ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණඩලය පවසනවා.

එහෙත් පවතින තත්වය යටතේ ජලය කප්පාදුවක් සිදුකිරීමට මේ මොහොතේ අවධානය යෙමුවී නොමැති බවයි එහි ප්‍රකාශිකාවක වැඩි දුරටත් සඳහන් කළේ.

කලටුවාව ජලාශයේ ජල මට්ටම අඩි 30 කින් පහත වැටී ඇති නිසා මීපේ, පාදුක්ක, හෝමාගම, මහරගම ඇතුළු කොළඹ තදාසන්න නගරවල අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි කලටුවාව ජල සම්පාදන ක්‍රමයේ කාර්ය භාර නිලධාරී මාධව ලලිත් අමරතුංග මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් රැසක් පීඩාවටද පත්ව සිටිනවා.

ඔවුන් සඳහා පානීය ජලය ලබාදීමේ කටයුතු බවුසර් මගින් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා ෴

***************************************

(26.02.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මගින්, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිබඳ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ කොමිෂන් වාර්තාව මගින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව කර ඇති නිර්දේශ ද තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

***************************************

(26.02.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

වගකිව යුතු බලධාරින්ගේ නිසි අවධානයට යොමු නොවීම හේතුවෙන් මෙරට ඓතිහාසික සිද්ධස්ථාන වැනසී යන අයුරු විවිධ අවස්ථාවල වාර්තා වෙනවා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ වැඩ අරඹා ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ වැඩ අවසන් කර ඇති බව කියැවෙන අරණායක – සැලව රජ මහා විහාරය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් පූජ්‍ය මොරොන්තොට ධම්මකන්ද නාහිමියන්ට පිදූ බවට දැක්වෙන සෙල්ලිපියක් ද මෙම විහාරස්ථානයේ දැකිය හැකියි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මෙම විහාරස්ථානය එක් පසෙකින් ගිලා බැසීමකට ලක්ව ඇති අතර, බිතුසිතුවම් ද ක්‍රම ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

***************************************

(26.02.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අද (26) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 ක කාලය තුලදී ගුවන් යානා 27 ක මෙහෙයුම් කටයුතු සිදුකරමින් ගුවන් මගීන් 2005 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබෙනවා.

මෙම කාලසීමාව තුල ගුවන් යානා 13 කින් මගීන් 855 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි ගුවන්තොටුපල බලධාරින් සඳහන් කළේ.

එසේ පැමිණි ගුවන් මගීන් අතර, දෝහා සිට 152 දෙදෙනෙකු, හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 113 දෙනෙකු වනවා.

මීට අමතරව, මෙම කාලසීමාව තුලදී ගුවන් මගීන් 1150 දෙනෙකු ගුවන් යානා 14 කින් කටුනායක ගුවන්තොටුපලෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර, ඕමානයේ රැකියා සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 315 දෙනෙකු ඊයේ (25) මස්කට් සිට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(26.02.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක සිට ප්‍රතිකාර ලබමින් සිටින අතර අද (26) මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් සේවයට අමතරව, ජනප්‍රිය ගීත කිහිපයක් ද ඔහු විසින් ගායනා කර තිබෙනවා.

සඳ කිඳුරු කිඳුරියන්, මාගේ කිරිල්ලී, කුරුළු පොඩිත්තෝ ඔහු විසින් එලෙස ගායනා කළ එවැනි ගීත කිහිපයක්.

ඔහුගේ දේහය මේවන විට රාජගිරිය මාදින්නාගොඩ පාර ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

වසර 43 කට ආසන්න කාලයක් ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර තිබෙනවා.

1953 ජනවාරි මස 7 වනදා අනුරාධපුරයේදී උපත ලබා ඇති අනුර සේනානායක මහතා මාතර සර්වේසස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

1973 ඔක්තෝම්බර් 15 වනදා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසට පොලිස් සේවයට එක්වන අනුර සේනානයක මහතා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල රාජකාරී කර තිබෙනවා.

වීරගුල, වේයන්ගොඩ, කිලිනොච්චි, රාගම සහ වැලිකඩ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයා ලෙසට ද කටයුතු කර ඇති ඔහු මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසට ද සේවය කර තිබෙනවා.

1989 වසරේදී සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලැබූ අනුර සේනානායක මහතා පසුව පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු ලබා 2010 වසරේදී නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලබා තිබෙනවා.

ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වී ඇත්තේ 2012 වසරේදීයි.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසට රාජකාරී කිරීම හේතුවෙන් අවස්ථා තුනකදී (3) සේවා දිගුවක් ලැබුනු අතර 2015 වසරේදී පොලිස් සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවා.

අනුර සේනානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි ෴

***************************************

(26.02.2021 – 16.33 +0530 – hirunews.lk/sinhala)

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයෙකු වූ මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ පහරදීමේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනයකට අනුව මෙම පොලිස් නිලධාරින් සිව්දෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඉදිරි පියවර ගැනීමට නියමිත බව පොලීසිය කියා සිටියා.

මේ අතර, බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද සිද්ධියට අදාළව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිලධාරින්ගේ වැඩ වහාම තහනම් කර පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් වලින් පසුවයි මෙලෙස විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

එසේම, කැළණිය කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුමිත් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ද, තවත් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබනවා.

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයෙකු වූ මිගාර ගුණරත්න මහතා සහ පොලිස් නිලධාරින් පිරිසක් අතර ආරවුලක් ඇතිවූයේ පෙරේදා දිනයේයි.

පසුගිය 23 වනදා මුදල් වංචාවක් සම්බන්ධයෙන් හෙරොයින් සමඟ නයිජිරියන් ජාතිකයින් 4 දෙනෙකු, බෙලරූස් කාන්තාවන් දෙදෙනෙකු (2), ශ්‍රී ලාංකික පුද්ගලයෙකු (1) සහ කාන්තාවක් (1) කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගත්තා.

එහිදී අත්අඩංගුවට ගත් කාන්තාවක් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ සේවාදායකයෙකු වනවා.

ඇයට ආහාර පාර්සලයක් ලබාදීම සඳහා මිගාර ගුණරත්න මහතා පොලීසියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මිගාර ගුණරත්න මහතා සිය ජංගම දුරකථනයෙන් ඇයට දුරකථන ඇමතුමක් ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියෙකු එය සිදුනොකරන ලෙසට දැනුම් දීමත් සමඟ දෙපාර්ශවය අතර බහින් බස්වීමක් ඇතිවී පහරදීම් සිදුවූ බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්වූ මිගාර ගුණරත්න මහතා මේ වනවිට රෝහල් ගත වී තිබෙනවා.

++++++++++++++

@@@@@@@@@@@@@@

(26.02.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) ආසාදිතයින් 466 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81,933 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 77,827 ක්.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 4,513 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (25) දිනයේදී තවත් ආසාදිතයින් 447 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 76,961 ක් වනවා.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 02 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 459 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කඩවත පදිංචි 62 හැවිරිදි කාන්තාවක් සහ වත්තල පදිංචි 83 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි.

මේ අතර, මෙරට එන්නත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය අංශ යොමු කිරීම හේතුවෙන් කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදුකිරීමේ අඩුවක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා. එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ අඩුවක් දක්නට ලැබීම විද්‍යාත්මක කරුණක් නොවන බවයි ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 664 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 77,625 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

තවදුරටත් ආසාදිතයින් 4049 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *