ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කැළෑ රකින්න කඩාපනින හමුදාවක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කැළෑ රකින්න කඩාපනින හමුදාවක්

*********************************************

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කැළෑ රකින්න කඩාපනින හමුදාවක්

(24.02.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදුවන වන විනාශය නතර කිරීම සදහා කඩාපනින හමුදාවක් යෙදවීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ පැවැත්වු විශේෂ රැස්වීමකදී තීරණය කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් මෙම කඩාපනින හමුදාව නිර්මාණය කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් සිදු වන වනාන්තර විනාශය නතර කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සදහා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

හදිසි වැටලීම් වලට අමතරව නැගෙනහිර පළාතේ සිදුවන වන විනාශයන් ආරක්ෂක අංශ වෙත දැනුවත් කිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංක ( 070 701 1117 ) සහිත දැන්වීම්පුවරු සවි කිරීමටද තීරණය කර තිබෙනවා.

මීට අමතරව ප්‍රාදේශිය මට්ටමින් පරිසර කමිටු පිහිටුවීමටද පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මින් ඉදිරියට වනාන්තර සහ පුරාවිද්‍යා ස්ථාන විනාශ කරවන කුමන හෝ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද ආණ්ඩුකාරවරිය ආරක්ෂක නිළධාරින්ට උපදෙස් දී ඇති බවයි වාර්තාවන්නේ.

මේ අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතා, නැගෙනහිර නාවික ආඥාපතිවරයා, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් දිස්ත්‍රික් ප්‍රධානින් සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිළධාරින් පිරිසක් එක්වූවා ෴

***************************************

(24.02.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට වෙළඳපොලේ හිඟව ඇති වාහන ටයර් වර්ග කිහිපයක් කඩිනමින් නිෂ්පාදනය කර පාරිභෝගිකයාට ලබාදීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

ඒ ටයර් සමාගම්වල නියෝජිතයන් සමඟ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

හිඟ ටයර් කාණ්ඩ පිළිබඳ අධ්‍යයනයකින් පසු කඩිනම් විසඳුම් ලබාගැනීමේ අරමුණින් එම සාකච්ඡාව කැඳවා තිබුණා.

අදාළ ටයර් කාණ්ඩ දින කිහිපයක් තුල වෙළඳපොලට මුදා හරින ලෙසයි අමාත්‍යවරයා එහිදී සමාගම්වලට උපදෙස් ලබාදී ඇත්තේ ෴

***************************************

(24.02.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

දෙදින නිල සංචාරය නිම කළ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

දෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වනු ලැබුවා.

ජනාධිපති කාර්යාලයට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පිළිගනු ලැබුවේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ විසින්.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වූයේ ඉන් අනතුරුවයි.

දෙරටේ කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳවත් රාජ්‍ය නායකයින් මෙහිදී අදහස් හුවමාරු කරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පාකිස්ථානය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙක් වන අතර, දෙරටේ වෙළෙඳාම, ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව ද මෙහිදී නායකයින් සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, කොළඹ පෞද්ගලික හෝටලයකදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළෙඳ සහ ආයෝජන සමුළුවකට ද අද (24) එක්වුණා.

කොළඹ පෞද්ගලික හෝටලයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර ඇති අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ද අද (24) පස්වරුවේ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව අද (24) පස්වරු 04:42 ට පමණ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දිවයිනෙන් පිටත්ව ගියා.

මේ අතර, ශ්‍රී ලංකා පාකිස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ඊයේ (23) රැස්වූ අතර, එහි සභාපති ධූරයට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත් කර තිබෙනවා. ලේකම්වරයා ලෙස පත්කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්.

***************************************

(24.02.2021 – 18:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර එහි ඵලදායිතාවය ඉහළ නැංවීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නගේ සභාපතිත්වයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කර තිබෙනවා ෴

***************************************

සියදිවි හානි කරගත් 26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

(24.02.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ දෙසැම්බර් මස 23 දා සියදිවි හානි කරගත්, යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදුකෙරුනා.

ඒ එම දේහය ගොඩගන්නා ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් කළ නියෝගයකට අනුවයි.

මෙම තරුණිය යක්කල ප්‍රදේශයේ කුලී නිවසක් තුළදී දිවි හානි කරගෙන ඇති අතර දෙසැම්බර් 26 දා ඇගේ දේහය භූමදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම මරණය පිලිබඳ මියගිය කාන්තාවගේ පියාට සහ සහෝදරියන්ට පසුව සැකයක් මතු වී ඇති බව සඳහන්.

ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් ආර්.එස්.එම්. මහේන්ද්‍ර රාජා නියෝග කර ඇත්තේ දේහය ගොඩ ගන්න ලෙසයි.

පසුව රතුපස්වල සුසාන භුමියේ වලදමා තිබු දේහය අද (24) නැවත ගොඩ ගෙන තිබෙනවා.

ඒ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් ඉදිරිපිටයි.

ගොඩගත් දේහය වතුපිටිවල රෝහලට ගෙන යාමට නියම කල නමුත් පියාගේ සහ සහෝදරියන්ගේ ඉල්ලීමක් මත දේහය යලි රාගම ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබෙනවා.

දේහය පිලිබඳ ඉදිරි පරීක්ෂණ රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් හෙට (25) දින සිදු කිරීමට නියමිතයි.

***************************************

(24.02.2021 – 20:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ ප්‍රමාණවත් වගවීමක් නොමැති වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති යෝජනාවට ඇමෙරිකා එක්සත් ජනපදය සහය පළ කළා.

ජිනිවා යෝජනාව ඇතුළු අනෙකුත් යෝජනා ද මෙවර සැසිවාරයේදී සම්මත කර ගැනීම සඳහා සාමාජීය රටවල් දිරිගන්වන බව ජිනිවා නුවර පැවැත්වෙන 46 වන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිය අමතමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී ජේ. බ්ලින්කන් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජනපති බයිඩ්න්ගේ පරිපාලනය මගින් සිදුකළ ප්‍රථම ප්‍රකාශය මෙය ලෙස සැලකිය හැකියි.

මානව හිමිකම් මණ්ඩල සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ නව පරිපාලනය මානව හිමිකම් මණ්ඩලයට යළි එක්වීමට අපේක්ෂා කරන බවයි.

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වසරේ ජුනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් කර ගත්තේ එය කුහක, ආත්මාර්ථකාමී සහ ඊශ්‍රායල් විරෝධී සංවිධානයක් ලෙස හඳුන්වමින්.

කෙසේ නමුත්, මානව හිමිකම් මණ්ඩලයට යළි එක්වීම සඳහා දක්වන අභිලාෂය ඇමෙරිකාව සිය විදේශ ප්‍රතිපත්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් මත ක්‍රියාත්මක කිරීමේ ඉඟියක් ලෙසයි විචාරකයන් හඳුන්වන්නේ.

ශ්‍රී ලංකාව පිළිබඳ මූලික සත්කාරක කණ්ඩායම ඉදිරිපත් කරන යෝජනාව ඊයේ (23) ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී සභාගත කෙරුණා.

එහි දැන් පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ 46/එල්/1 දරණ යෝජනාව මෙලෙස සභාගත කළ බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශක රොලාන්ඩෝ ගෝමෙස් ප්‍රකාශ කළේ.

එක්සත් රාජධානිය ඇතුළු සත්කාරක කණ්ඩායම ඉදිරිපත් කළ එම යෝජනාව මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ සභාගත කෙරුණු ප්‍රථම යෝජනාව වීම ද විශේෂත්වයක්.

එම යෝජනාව සැසිවාරයේ අවසන් දින දෙක (2) වන ලබන මාර්තු 22 වනදා සහ 23 වනදා සලකා බැලෙන බව ද මානව හිමිකම් මණ්ඩල ප්‍රකාශකයා සඳහන් කළා.

අදාළ යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවටයි යෝජනා කර ඇත්තේ.

කෙසේ නමුත්, ඊයේ (23) දිනයේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ඇමතූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ශ්‍රී ලංකාව සමඟ එක්වන ලෙස මිතුරු රටවලින් ඉල්ලීමක් කළා.

මේ අතර, ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්ෂික වාර්තාව ද අද (24) දිනයේ ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක් කෙරෙනවා.

එසේම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (24) යාපනයේදී පැවැත්වුණා.

එහි පෞද්ගලික හෝටලයක මෙම හමුව පැවති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රී ධරන් මෙන්ම, උතුර පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.ශිවඥානම් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා ෴

***************************************

(24.02.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනයට පත්කෙරුණු, චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව දෙවන (2) දිනටත් අද (24) රැස්වුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

මේ අතර, කථානායකවරයා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාව හෙට (25) දිනයේ සභාගත කිරීම සඳහා කඩිනමින් පිටපත් සකසා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි.

එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කලින් දැනුවත්ව නොසිටි බව ජනපති කොමිසමේ වාර්තාවේ සඳහන් බවයි.

මේ අතර, මෙතෙක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ලැබී නොමැති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ.

***************************************

(24.02.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක සුළු සේවකයින් ආරම්භ කළ වර්ජනයක් නිසා රෝගීන් අද (24) දැඩි අපහසුතාවට පත්වුණා.

පෙර දැනුම්දීමකින් තොරව වර්ජනය ආරම්භ කිරීම ඊට හේතුවයි.

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන නිලධාරින් රෝහල් සේවයට යොමුකළ බවට චෝදනා කරමිනුයි ඔවුන් වර්ජනය ආරම්භ කර තිබුණේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, නියෝජ්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පැවති සාකච්ඡාවේදී සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබුණ ද ඇතැම් ඉල්ලීම් සඳහා යම් එකඟතාවයකට පැමිණි බව වර්ජනයට එක්වූ සමස්ත ලංකා සුව සේවා සංගමය ප්‍රකාශ කළා.

***************************************

(24.02.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පත්ව තිබෙනවා.

ඒ අද පැවති නිලවරණයේදී ඡන්ද 5162 ක් ලබාගනිමින්.

කුවේර ද සොයිසා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2807 ක්.

ලේකම්වරයා ලෙස නීතිඥ රජීව් අමරසූරිය පත්වී තිබෙනවා.

අද (24) පෙරවරුවේ ආරම්භ වු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පස්වරු 5 ට අවසන් වුණා.

දිවයින පුරා මධ්‍යස්ථාන 85 ක් තුළ සාර්ථකව පැවැත් වු මෙම නිලවරණයේදී නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නිතීඥවරුන් වන කුවේරද සොයිසා සහ සාලිය පීරිස් තරඟ වැදුණා.

රටේ පවතින තත්ත්වය හමුවේ නිලවරණය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැතියා.

***************************************

(24.02.2021 – 20:52 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පක්ෂයේ මතය හෙට (25) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අද පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය අදහස් දක්වමින්.

පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද (24) පැවැත්වුණේ එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

***************************************

(24.02.2021 – 22:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ලබන මාර්තු 03 වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කාසි මිලියන 05 ක් ලබන මාර්තු 03 වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙනු ඇති.

කාසිය පැති 07 ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේ වලිනුයි නිෂ්පාදනය කර ඇත්තේ ෴

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාධ්‍ය නිවේදනය (pdf) : [ සිංහල ][ ඉංග්‍රීසි ]

***************************************

(24.02.2021 – 22:53 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව නියෝජනය කර පක්ෂ කිහිපයක නායකයින් සහ ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවූ භික්ෂූන් වහන්සේ පිරිසක් අතර සාකච්ඡාවක් අභයාරාම විහාරස්ථානයේදී අද (24) පස්වරුවේ පැවැත්වුණා.

ඊට එක්වු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසූවේ මෙරට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ ශක්තිය දේශපාලන වශයෙන් බලසම්පන්න කිරීමේ වැදගත්කම භික්ෂූන්වහන්සේ පෙන්වා දුන් බවයි.

@@@@@@@@@@@@@@@@@

(24.02.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව සිටි තවත් 672 දෙනෙකු අද (24) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,514 ක් බවයි.

තවදුරටත් ආසාදිතයින් 4042 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

++++++++++++++++++++

(24.02.2021 – 18:20 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර දෛනික කොවිඩ් ආසාදිතයින් අඩුවෙන් වාර්තා වීමට හේතුවක් වී ඇත්තේ වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂණ අඩාල කිරීම බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා මේ බව කියා සිටියේ අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, කොරෝනා ආසාදිතව සිටි තවත් 672 දෙනෙකු අද (24) දිනයේදීත් සුවය ලැබිමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,514 දක්වා ඉහළ ගියා.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපැදවුනු පැණිය පිළිබඳ සායනික පරීක්ෂණ පැවැත්වීම සඳහා රජරට සරසවියේ අචාර ධර්ම කමිටුව ලබා දී ඇති කාල සීමාව මාර්තු 20 වැනිදායින් අවසන් වනවා.

ඒ දෙවැනි වරටද කාලය දීර්ඝ කිරීමෙන් පසුවයි.

සායනික පරීක්ෂාව සඳහා පුද්ගලයන් 128 දෙනෙකු ඉදිරිපත් විය යුතු වුවත් මෙතෙක් ඉදිරිපත් වී ඇත්තේ 50 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත්, දේශීය ඖෂධ සඳහා සායනික අත්හදා බැලිම සිදු කළ යුතු බවයි වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද (24) පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේ.

+++++++++++++++++++++

(24.02.2021 – 20:46 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 04 ක් වාර්තාවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 457 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මරණකරුවන් පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් :

තවත් කොරෝනා අසාදිතයන් 266 ක් වාර්තාවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *