ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියයයි

ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියයයි

*********************************************

ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියයයි

(23.02.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

බොරලුගොඩ කර්මාන්තපුරයෙන් නිකුත් කෙරෙන අපජලය හොරණ කොස්ගහගොඩැල්ලේ පිහිටි මිදිගහ ඇළට මුදාහැරීම හේතුවෙන් මිරිදිය මසුන් විශාල සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

එම ගැටලුව පිළිබඳව සොයා බැලීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළා.

හොරණ – කොස්ගහගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි මිදිගහ ඇළ ඒ අසල ගම්මාන රැසක ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලූ ජල මූලාශ්‍රයක්.

ප්‍රදේශයේ කෙත්වතු සාරවත් කිරීමට අවැසි ජලය සපයමින් ගලාගිය මිදිගහ ඇළ අවසන් වන්නේ කලුගඟෙන්.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක බොරලුගොඩ කර්මාන්ත පුරයෙන් ඉවත් කරන අපවිත්‍ර ජලය මෙම ඇළ මාර්ගයට මුදාහැරීම හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්ව තිබෙනවා.

ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙම ගැටලුව පිළිබඳව සොයාබැලීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මිදිගහ කොස්ගහගොඩැල්ල ගම්මානයේ සංචාරයක නිරත වුණා.

සිදුව ඇති විනාශය දැකීමෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ සිටි ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට දෝෂාරෝපණය කළා.

***************************************

(23.02.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී එම්.එස්. සුමන්දිරන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව පසුගියදා ඉවත් කළ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේනතුවේදී ද වාද විවාද මතුවුණා.

ඒ අනුවයි, කතානායකවරයා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත්, එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයාට ලබාදී ඇති පොලිස් ආරක්ෂාව තවදුරටත් ක්‍රියාත්මකයි ෴

***************************************

(23.02.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමක් සිදු කෙරෙන්නේද යන්න සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගෙන් ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමේ තීරණයක් ගෙන නොමැති බවයි.

***************************************

(23.02.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (23) භාර දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කතානායකවරයා වෙත එය යොමුකර තිබුණා.

පසුව කතානායකවරයා ඒ පිලිබඳව පාර්ලිමේන්තුව ද දැනුවත් කළා ෴

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුව පිළිබඳව දේශපාලඥයින් විවිධ අදහස් පළකළා.

***************************************

(23.02.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

දීමනා ගෙවීම සහ සේවා ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් අතර සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

පාගමනකින් අමාත්‍යාංශය අසලට පැමිණී විරෝධතාකරුවන් එම පරිශ්‍රයට ඇතුළුවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

අනතුරුවයි නියෝජිතයන් කිහිපදෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරින්ට සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවුණේ.

***************************************

(23.02.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය යළි ආරම්භ කිරීම පිළිබඳව මෙම වසර අවසානයේ සලකා බැලීමක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රජය විසින් වාහන ආනයනය නවතා ඇත්තේ තාවකාලික පියවරක් ලෙස බවයි එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ.

වාහන ආනයනය මගින් විදේශ විනිමය අනුපාත ස්ථාවරභාවයට වැඩි බලපෑමක් එල්ලවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එසේම වාහන ආනයනකරුවන්ට සහනයක් ලබාදීම සඳහා අපනයන පාලකවරයා විසින් අවස්ථා කිහිපයකදී වරායන් වෙත පැමිණි වාහන නිදහස් කිරීමට උපදෙස් ලබාදුන් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

එසේම මෙසේ රථවාහන ඇතුළු තාවකාලිකව පනවා ඇති අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව ඉදිරියේදී විනිමය අනුපාතයේ ස්ථාවරත්වය මත තීරණය කෙරෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර මහබැංකුව විසින් රුපියල් බිලියන 48 ක අතිරික්ත මුදල් මුද්‍රණය කළ බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල පිලිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ මූල්‍යමය ද්‍රවශීලතාව පවත්වා ගැනීම සඳහා එම පියවර ගනු ලැබූ බවයි.

වර්තමානය වාතාවරණය හමුවේ එවැනි පියවරක් නොගතහොත් ආර්ථිකය සංකෝචනය වීම වැළැක්විය නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළා.

වාහන ආනයනය පිළිබඳව ඇතුළු මුදල් මුද්‍රණය කිරීම පිළිබඳව අමාත්‍යවරයා අදහස් පලකළ එම වැඩසටහන පහතින්.

***************************************

(23.02.2021 – 18:40 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ජා අරලියගහ මන්දිරයේදී ආරම්භ වී තිබෙනවා.

එම සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා – පාකිස්ථාන රජයන් අතර, ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත අතර දෙරටේ අග්‍රාමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම ද සිදුවනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (23) පස්වරුවේ දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ පස්වරු 4 ට පමණ පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බවයි.

දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගත් අතර, ගුවන්තොටුපලේදී හමුදා උත්තමාචාර පිරිනැමීමක් ද සිදුකෙරුණා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර, හමුව හෙට (24) පෙරවරු 10:30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එසේම, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡාව හෙට (24) පෙරවරු 09:30 ට විදේශ අමාත්‍යාංශයේදී සිදුකිරීමට නියමිත අතර, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හෙට (24) පෙරවරු 11:30 ට කොළඹදී වෙළඳ හා ආයෝජන සමුළුවකට ද එක්වනු ඇති.

මීට අමතරව පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (24) පස්වරුවේ කතානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිලිගන්වන භෝජන සංග්‍රහයට සහභාගි වීමට ද නියමිතයි.

හෙට (24) පස්වරුවේ නාවල – කිරිමණ්ඩල මාවතේ ඉහළ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා මධ්‍යස්ථානයක් පිළිබඳ වූ සාකච්ඡාවක් ද කොළඹදී පැවැත්වෙනවා.

පසුව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (24) පස්වරු 3 ට කටුනායක ගුවන්තොටුපලෙන් යළි ශ්‍රී ලංකාවෙන් පිටව යනු ඇති.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ව්‍යාපාර සහ ආයෝජන සංසදයක් මෙන්ම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිහිපයක් ද සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදඟන් කළා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය උපදේශකවරයා මෙන්ම, විදේශ කටයුතු ලේකම්වරයා ඇතුළු පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ශ්‍රී ලංකා සංචාරයට එක්වනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා 2021 වසරේ දිවයිනට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා වන අතර මේ වසරේ ඔහුගේ ප්‍රථම නිල සංචාරය ද මෙයයි.

[ සේයාරූ ]

***************************************

(23.02.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය යළි ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියට අදාළ නඩුවේ 16 වන සැකකරු අද (23) අධිකරණයට පැය 2 ක රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද (23) විභාගයට ගත් අවස්ථාවේදීයි.

එමෙන්ම, සිද්ධියේ 17 වන සැකකරු ද හෙට (24) දිනයේදී අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි.

මේ අතර, අදාළ නඩුවේ සැකකරුවන් 17 දෙනා ලබන මස 9 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු ඊට ඇතුළත් ෴

***************************************

(23.02.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් අද (23) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දුන්නා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීති අධ්‍යක්ෂ හරිගුප්තා රෝහණධීර මහතා විසින්.

මෙම වාර්තාව ඊයේ (22) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමට ද, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් නිර්දේශ ගණනාවක් සහ නිගමන 10 ක් ඉදිරිපත් කර ඉදිරිපත් කර තිබෙනවා ෴

***************************************

(23.02.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

අසනීප තත්වයක් හේතුවෙන් මාතලේ – විල්ගමුව රෝහලට ඇතුලුත් කල වයස අවුරුදු දෙකහමාරක (2½) දැරියක් අද (23) පෙරවරුවේ හදිසියේ මිය ගොස් තිබෙනවා.

විල්ගමුව පොලීසිය සදහන් කලේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම දැරිය ඊයේ (22) රාත්‍රී 11:30 ට පමණ රෝහලට ඇතුලත් කර ඇති බවයි.

මියගිය දැරිය මාතලේ, විල්ගමුව, දේවගිරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දඹුල්ල රෝහලට රැගෙන ගොස් තිබෙනවා ෴

***************************************

(23.02.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම නිසා දින 14 කින් පසු අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද කියා සිටියේ අද (23) පැවති විරෝධතාවයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක බවයි.

දීමනා ගෙවීම සහ සේවා ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද (23) පස්වරුවේ කොළඹ ජාතික රෝහල අසල සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනින් පැමිණියා.

මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හට ගත් අතර විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිශ්‍රයට ඇතුළුවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද හට ගත් බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුව, විරෝධතාකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින් සමග සාකච්ඡාවක් ලබාදුන්නා.

එම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්වුණා.

එහිදී සිය ඉල්ලීම් සඳහා නිෂ්චිත විසඳුම් ලිඛිතව ලබා නොදීම හේතුවෙන් සාකච්ඡාව අසාර්ථක බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සඳහන් කළේ.

ඒ අනුව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ තවත් ක්ෂේත්‍රයන් එක්ව ඉදිරි දින 14 කින් පසු අඛන්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා ෴

***************************************

(23.02.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මකව මුදල් වංචා කිරීමේ ජාවාරමත නිරත විදෙස් ජාතිකයන් 6 දෙනෙකු ඇතුලු පුද්ගලයන් 8 දෙනෙකු කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විදේශයක සිට රේගුව වෙත පැමිණි පාර්සලයක් නිදහස් කරවා දෙන බව පවසමින් වංචනික ලෙස පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 17 හමාරක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයකදීයි.

එහිදී බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙරට ගිණුම් හිමි ශ්‍රී ලාංකිකයෙකු පළමුව අත්අඩංගුවට ගත් බවයි කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කලේ.

ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ගල්කිස්ස ප්‍රදේශයේ රැදී සිටි විදෙස් ජාතිකයන් 6 දෙනෙකු සහ තවත් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයන් අතර නයිජීරියානු ජාතිකයන් සිව් (4) දෙනෙකු සහ රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු (2) ද වනවා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක්ද සොයා ගත් බවයි කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රකාශ කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

@@@@@@@@@@@@@@@

(23.02.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව සිටි තවත් 732 දෙනෙකු අද (23) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,842 ක් බවයි.

තවදුරටත් ආසාදිතයින් 4,225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරිවල ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නිදන මැදිරි සඳහා යොදන ඇඳ ඇතිරිලි පවිත්‍ර කිරීමේ කටයුතු බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදුකළ අතර, කොරෝනා අවදානම හේතුවෙන් එම කටයුතු මේ වනවිට අත්හිටුවා තිබීම මෙම තත්ත්වයට හේතුවයි ෴

තවත් කොරෝනා ආසාදිතයන් 222 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(23.02.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට ගොදුරු වී පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) යළිත් සිය අමාත්‍යාංශයේ රාජකාරි සඳහා පැමිණ තිබෙනවා.

එහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ අමාත්‍යාංශ නිලධාරින් අතර කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙහිදී පසුගිය කාලය තුළ ක්‍රියාත්මක එන්නත්කරණය සහ පී.සී.ආර්. කටයුතු සම්බන්ධයෙන් ද අමාත්‍යවරියගේ අවධානය යොමුවූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ.

+++++++++++++++++++

(23.02.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරසය පාලනය වි නොමැති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා මේ බව කියා සිටියේ ජා-ඇල ප්‍රදේශයේ පැවති උත්සවශාලා හිමියන්ගේ සහ ආහාර පාන සපයන්නන්ගේ සංගමයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණයක් ද සිදුනොවන බවයි.

කොළඹ මහ නගර සීමාවේ පුද්ගලයින් සඳහා දියත් කෙරෙන එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද (23) මධ්‍යස්ථාන 5 කදී සිදුවුණා.

එහිදී පුද්ගලයින් 4500 කට පමණ එන්නත් ලබා දී තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ ඊයේ (22) කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයින් 7400 කට පමණ කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවයි වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොවිඩ් ආසාදනය වී සුවය ලැබීමෙන් පසු අද (23) ප්‍රථමවරට සෞඛ්‍ය අමාත්‍යංශයේදී සාකච්ඡාවකට එක්වුණා.

වෛරස මර්ධන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව සිටි තවත් 732 දෙනෙකු අද (23) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,842 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4,225 දෙනෙකු වනවා.

අද (23) දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 222 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් ගණන 80,739 ක් දක්වා ඉහළ ගියා.

සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 450 ක් ලෙසයි ෴

තවත් කොරෝනා ආසාදිතයන් 270 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *