කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට

*********************************************

කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට

(23.02.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) ආසාදිතයින් 518 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,517 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 76,413 ක්.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 4,957 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (22) දිනයේදී තවත් ආසාදිතයින් 811 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 75,110 ක් වනවා.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 450 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ දූනගහ, නුගේගොඩ, කොළඹ 12, මිනුවන්ගොඩ සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 05 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඔවුන් අවුරුදු 33, 82, 69, 83 සහ 77 යන වයස්වල පසුවන්නන්.

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු (2) හඳුනා ගැනීම හේතුවෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ භාර ගැනීමේ කටයුතු ලබන 28 වනදා දක්වා තාවකාලිකව නතර කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත ලබාදීම අද (23) දිනයේත් සිදුකෙරෙන අතර මේ වනවිට මන්ත්‍රීවරුන් 75 කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා එන්නත් ලබාගෙන ඇති බව සඳහන්.

එසේම, නිරන්තරයෙන් ඇස් කන්නාඩි පළඳින පුද්ගලයින්ට කොරෝනා වැළඳීමේ ප්‍රවනතාවය තුන් ගුණයකින් අඩු බව ඉන්දියානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

පර්යේෂකයන් විසින් පුද්ගලයින් 304 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇස් කන්නාඩි පැළඳ සිටින අය ඔවුන්ගේ මුහුණ අඩුවෙන් ස්පර්ශ කිරීම හේතුවෙන් වෛරසය ආසාදනය වීමේ අවදානම අඩු බවයි.

මේ අතර, කොවිඩ්-19 රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග වලදී සිදුව ඇති ප්‍රමාදයන් නිවැරදි කර ගැනීම සහ එන්නත්කරණ ක්‍රියාවලියේදී මතුවී ඇති අපැහැදිලි තැන් නිවැරදි කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා ෴

++++++++++++++++++++++

(23.02.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ලබාගැනෙන කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් මිලියන 10 ක් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත එංගලන්තයේ මව් සමාගමෙන් මිලදී ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි ඔහු සඳහන් කළේ.

ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධාන එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් ලබාගැනීමේ ගිවිසුමද අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කර තිබෙනවා.

කොවැක්ස් ලෙස හඳුන්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා එන්නත් වැඩසටහන යටතේ දුප්පත් සහ මැදි ආදායම් රටවලට කොරෝනා එන්නත් ලබාදෙන්නේ ප්‍රදානයක් ලෙසින් ෴

+++++++++++++++++++

(23.02.2021 – 11:47 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සීරම් ආයතනයෙන් කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් මිලියන 10 ක් ලබාගැනීම වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත එංගලන්තයේ මව් සමාගමෙන් ඍජුවම මිලදී ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

මේ අතර, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රමුඛතා ලැයිස්තුව මත පමණක් කොරෝනා එන්නත් ලබාදීම වහාම නැවත ක්‍රියාවට නංවන ලෙසයි.

කොළඹ අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ද එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රශ්න යොමුවූ අතර එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊට පිළිතුරු ලබාදුන්නා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද එන්නත ලබාගෙන ඇති බවයි.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයන් 80,517 ක් වාර්තා වන අතර, පුද්ගලයන් 75,110 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 450 ක් ලෙසයි.

@@@@@@@@@@@@@

(23.02.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

‘පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්’ සේවාව නුදුරේදීම හඳුනාගත් ප්‍රවාහන වේදිකා කිහිපයක් සඳහා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නුදුරේදීම එම සේවාව පිලියන්දල ප්‍රධාන බස් නැවතුමේ සිට ක්‍රියාත්මක කිරීමට ඊයේ (22) පැවති සාකච්ඡාවකදී තීරණය වූ බවයි ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කළේ.

ඒ සඳහා විධිමත් මගී ප්‍රවාහන කාල සටහනක් සැකසීමට සහ සිටි හෙවත් නාගරික බස් සේවාවේ දැනට පවතින දුර්වලතා මග හරවා ගෙන, එම සේවය තවදුරටත් කාර්යක්ෂමව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ ෴

***************************************

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව අපරාධ නඩු පැවරීමට නිර්දේශ

(23.02.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ (22) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට, හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම වාර්තාව 600 කට අධික පිටු සංඛ්‍යාවකින් යුක්ත වන බව සඳහන්.

එසේම මෙහි සිංහල පිටපත් ඊයේ (22) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූ සියලු දෙනාට ලබාදී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නඩු පැවරීමට ප්‍රතිපාදන තිබේදැයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමුකරන්නැයි අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවද වාර්තා වනවා.

මෙවැනි සිදුවීම් ඉදිරියට නොවීමට ගතයුතු ක්‍රියාමාර්ගද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති අතර, එම සියලු‍ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බවද අවසන් වාර්තාවේ දක්වා ඇතැයි ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

වාර්තා වන පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 වසරේ අප්‍රේල් 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට සහ පසුව සිංගප්පූරුවට යන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍ය ධූරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව, එය සිදුකිරීම තුළින් චේතනාන්විතව සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මග පෑදු බව කොමිසමේ අදහසයි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම වගකීම් පැහැර හැරීමක් ලෙස කොමිෂන් වාර්තාවේ දක්වා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එලෙස සාපරාධී ලෙස වගකීම් පැහැර හැරීම මත දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බව සඳහන්.

මේ අතර, කැබිනට් ආරංචි මාර්ගවලට අනුව එම වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, එම අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලැබෙන තෙක් කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිබෙනවා.

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියාකළ යුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 19 වැනිදා සය (6) පුද්ගල කමිටුවක් පත්කරනු ලැබුවා.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්.

මෙම කමිටුව ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර, ඔවුන් හෙට (24) යළි රැස්වීමටද නියමිතයි ෴

***************************************

(23.02.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල රිය අනතුරුවලින් සිදුවන මරණවල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පසුගිය පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දස දෙනෙකු (10) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ෴

***************************************

(23.02.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ විවිධ කරුණු පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේදී 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා මුලතිව් ප්‍රදේශයේ උපත ලබා දැනට හැටන් ප්‍රදේශයේ පදිංචිව සිටින බවයි අනාවරණ වී ඇත්තේ.

එසේම, මොහුගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්‍රවෘත්ති මොහු විසින් නිර්මාණය කර ඇති බවයි ෴

***************************************

(23.02.2021 – 09:45 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට සිය ගුවන් තලය යොදා ගැනීමට ඉන්දියාව අද (23) අවසර ලබාදුන්නා.

ඒ ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය සඳහායි.

කෙසේ නමුත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විදෙස් සංචාරයක් සඳහා සිය ගුවන් තලය භාවිත කිරීමට පාකිස්ථානය අවසර ලබා නොදුන් අවස්ථාවක් පිලිබඳව ද ඉන්දීය මාධ්‍ය සිහිපත් කළා.

2019 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබියේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එලෙස පාකිස්ථාන ගුවන්තලය විවෘත වූයේ නැහැ.

මේ අතර ඉන්දියාව විසින් දේශීය වශයෙන් නිෂ්පාදිත කෙටිදුර මිසයිල දෙකක් ඊයේ (22) අත්හදා බලනු ලැබුවා.

සිරස් අතට සිදුකළ එම මිසයිල අත්හදා බැලීම් ගුවනින් ඉන්දියාවට එල්ල විය හැකි තර්ජනයක් නිෂ්ක්‍රිය කිරීමේ පෙරහුරුවක් ලෙසයි හඳුන්වා ඇත්තේ.

***************************************

(23.02.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයන් පැවරී ඇති ප්‍රධානම ආයතනය වන ශ්‍රී ලංකා පොලීසිය වෙත පැවරෙන රාජකාරිය නිසි ලෙස ලෙස ඉටු කිරීමට ප්‍රමාණවත් වාහන නොමැති බවටයි වාර්තා වී ඇත්තේ.

ඒ හේතුවෙන් කඩිනම් විසඳුම්ක් ලෙස ත්‍රීරෝද රථ 2000 ක් මිලදී ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනවාට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ෴

***************************************

(23.02.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වනඅලි – මිනිස් ගැටුමට පිළියමක් ලෙස වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23,746 ක භූමියක එම රක්ෂිතය ඉදිකිරීමට හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා මාර්ගෝපදේශ හා රෙගුලාසි අදාළ ගැසට් නිවේදනයට ඇතුළත්.

එම ගැසට් නිවේදනය වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියේ එකඟතාවය මත කෙටුම්පත් කිරීමට නියමිතයි.

මෙලෙස හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සූරියවැව – වල්සපුගල ප්‍රදේශයේ ගොවි සංවිධාන 86 ක් එක්ව ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අදට (23) දින 35 ක් වනවා.

අදාල ගැසට් පත්‍රය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් මේ වනවිට එම ගොවි සංවිධානවල නියෝජිතයින් සාකච්ඡාවක නිරතව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කලේ ෴

***************************************

(23.02.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන මාර්තු 10 වනදා තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධාන කිරීම සහ මෙහෙයවීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම මෙන්ම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීමද තහනම් වනු ඇති.

තවද විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමද තහනම් වනවා.

එම නියෝග කඩ කරන හෝ උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 1911 ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

(23.02.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් රක්ෂිතය තුළ කඩොලාන ශාක විනාශ කළ පුද්ගලයින් 03 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් විනාශ කර ඇති එම ශාකවල වටිනාකම රුපියල් 1,22,500 ක් වන බවයි.

***************************************

(23.02.2021 – 12:37 +0530 – hirunews.lk/sinhala)

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

දීමනා ගෙවීම සහ සේවා ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් ඔවුන් අද (23) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල අසල සිට විරෝධතා පාගමනක ද නිරත වුණා.

කෙසේ වෙතත්, මේවනවිට විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දොරටුව විවෘත කරමින් අමාත්‍යශය පරිශ්‍රයට ඇතුළුවිමට උත්සහා කිරිමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ද හට ගෙන ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(23.02.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

දණ්ඩනීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම, අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (22) පස්වරුවේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර, එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පසුගිය පළවනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දුන්නා.

අනතුරුව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සය (6) පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් මෙම කොමිෂන් සභා වාර්තාව අධ්‍යයන කිරීම සඳහා පත් කරනු ලැබුවා.

මෙම කමිටුව පත් කෙරුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් තමන්ට ද මෙම කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ පසුබිමක වීම විශේෂත්වයක්.

මේ අතර, උන්වහන්සේ ඊයේ (22) තීරණය කර තිබුණේ අවසන් වාර්තාවේ පිටපතක් තමාට ලැබෙනතෙක් කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමටයි.

මෙවන් පසුබිමක ඊයේ (22) පස්වරුවේ මෙම වාර්තාව පිළිබඳව අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනුකමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා. එමෙන්ම, මෙම පාස්කු කොමිසම් වාර්තාව ඊයේ (22) කැබිනට් මණ්ඩලය වෙත ද ඉදිරිපත් කළා.

මේ අතර, ආරංචි මාර්ග සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නඩු පැවරීමට ප්‍රතිපාදන තිබේදැයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමුකරන්නැයි එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවයි.

මෙවැනි සිදුවීම් ඉදිරියට නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති අතර, එම සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බව ද අවසන් වාර්තාවේ දක්වා ඇතැයි ද ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 16 සිට 21 වනදා දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම සම්බන්ධයෙන් ද එහි කරුණු ඇතුළත්.

ප්‍රහාරය පිලිබඳව දැනුවත් භාවයක් සහිතවම එය සිදුකිරීම තුලින් චේතනාන්විතව සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මඟ පෑදු බවත් එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් වාර්තාවේ දැක්වෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩබලන පත්වීමක් සිදුකිරීමට ජනාධිපතිවරයාට අභිමතයක් පවතින බවට සැකයක් නැති බවත්, එහෙත් අවස්ථාපිත තත්ත්වය අනුව ඔහුට එසේ කිරීමට වගකීමක් පැවතුණ බවත් කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්.

සාක්ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයේ සාපරාධි වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවේ අනුමැතිය වී තිබෙනවා.

ඒ අනුව, දණ්ඩනීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු පැවරිය හැකි බව නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.

***************************************

(23.02.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දේශපාලන මෙහෙයුම් සහ පළිගැනීම් මත සිරගත වූවන්ට සාධාරණයක් ඉටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

‘හිරු ටී.වි. සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *