සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී

සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී

*********************************************

සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී

(22.02.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග නොතකමින් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා විරෝධතා පාගමනක නිරතවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ගෙන් පොලිසිය අද (22) ප්‍රකාශයක් ලබාගත්තා.

දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පසුගියදා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන කළ මෙම විරෝධතා පාගමනට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සිටියා.

කොළඹදී මෙලෙස තමාගෙන් පොලිසිය ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ.

අධිකරණ නියෝග නොතකමින් මෙම පාගමනට එක්වීම සම්බන්ධයෙන් මීට පෙර ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ගෙන් මෙන්ම දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, රාසමානික්කම් සානක්කියන් සහ තවරාසා කලේඅරසන්ගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබුණා.

එසේම, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගෙන් මෙන්ම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීනිතම්බි යෝගේෂ්වරන්ගෙන්ද පාගමනට එක්වීම සම්බන්ධයෙන් පොලිසිය පසුගියදා ප්‍රකාශ ලබාගත්තා.

***************************************

(22.02.2021 – 17:19 +0530 – hirunews.lk/sinhala)

මාර්තු පළමුවනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාසය වනවිට ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ අනුව, එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

***************************************

(22.02.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22) ජිනීවා නුවරදී ආරම්භ වුණා.

පසුගිය වසරේ කොරෝනා ගෝලීය වසංගතයෙන් ලොව බොහෝ රටවල මානව හිමිකම් තත්ත්වය පිලිබඳ සැබෑ ප්‍රතිරූපය දැක ගත හැකිවූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ පවසනවා.

එම රටවල යථා තත්ත්වය වසා ලූ කඩතුරාව ගෝලීය වසංගතයෙන් මෑත් කිරීම ඊට හේතුව බව ඇය කියා සිටියා.

ලොව පුරා පැතිරෙන අන්ත දුගීභාවය, අසමානත්වය මෙන්ම, අත්‍යාවශ්‍ය සේවාවන් සහ අයිතිවාසිකම් උදෙසා අවම දායකත්වයක් හිමිවීම එලෙස දැක ගත හැකිවූ කරුණු අතර වනවා.

කෙසේ නමුත්, එම තත්ත්වයන් බොහෝරටවල ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් නොසලකා හැර ඇති බවයි ජිනිවා නුවරදී 46 වන මානව හිමිකම් මණ්ඩල සැසිවාරය අමතමින් කොමසාරිස්වරිය සඳහන් කළේ.

එමෙන්ම, මානව හිමිකම් සවිමත් කිරීමේ ප්‍රවේශය පිළිබඳව විශ්වාසය තැබිය හැකි බවත්, ගෝලීය වසංගතයෙන් පසු නැගී සිටින ලෝකයේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම අත්‍යාවශ්‍ය බවත්, ඇය අවධාරණය කළා.

සමුළුවේ ප්‍රධාන වාර්ෂික සැසිවාරය අද (22) පස්වරුවේ ආරම්භ වූ අතර, ඉදිරි දින දෙක තුල ලොව පුරා රටවල් 130 ක නියෝජිතයන් තම රටවල මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර එය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සමුළුවේ ආරම්භක සැසිය අමතමින් ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස්, මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය පිළිබඳව දැඩි ප්‍රකාශයක් සිදුකළා. විරෝධාවල නිරතවන ජනතාව පෙලා දැමීම නතර කරන ලෙසත් අත්අඩංගුවේ පසුවන දේශපාලන නායකයන් නිදහස් කරන ලෙසත් ජගත් මහලේකම්වරයා එහිදී ඉල්ලීමක් කළා.

මෙවර ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකාව පිලිබඳ මූලික සත්කාරක කණ්ඩායම වන කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටෙනීග්‍රෝ, මලාවි සහ එක්සත් රාජධානිය විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම යෝජනාව සඳහා පදනම් වී ඇත්තේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිලිබඳව පසුගියදා නිකුත් කළ වාර්තාවයි.

මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාව ඉදිරිපත් කරන බවයි සත්කාරක රටවල් කණ්ඩායම ප්‍රකාශ කළේ.

අදාළ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අනිද්දා දිනයේදීයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය කොරෝනා ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් අද (22) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි ෴

+++++++++

***************************************

(22.02.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනපති කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එය හෙට (23) දිනයේ පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතය බවටයි වාර්තා වන්නේ ෴

***************************************

(22.02.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ගොවීන් සහ පාරිභෝගිකයින් සහල් මාෆියාවෙන් නිදහස් කර ගැනීමේ අරමුණින් රජය සහතික මිලට වී මිලදි ගැනීමට කටයුතු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පවසනවා.

කෙසේ වෙතත්, ගොවීන් පෙන්වා දෙන්නේ සහතික මිලට වී ලබාදෙන ලෙස රජය දැනුම්දී තිබුණ ද අස්වැන්න අඩුවීම හේතුවෙන් එම මිල ගණන් යටතේ වී ලබාදීමට නොහැකි බවයි.

මෙවර මහ කන්නයේදී සහතික මිලක් යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීමට රජය පසුගියදා තීරණය කළා.

ඒ, යටතේ ප්‍රමිතිගත නාඩු තෙතමනය 14% ක් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 50 කට ද, තෙත බර ඉවත් නොකළ නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 44 කට ද මිලදී ගැනීමට සැලසුම් කර තිබුණා.

එසේම, ප්‍රමිතිගත සම්බා තෙතමනය 14% ක් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 52 කට සහ තෙතබර ඉවත් නොකළ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 46 කට ද මිලදී ගැනීමට ද රජය තීරණය කළා.

මේ වනවිට මහ කන්නයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති අතර ගොවීන් පවසන්නේ පෙර කන්නයට සාපේක්ෂව මෙවර අස්වැන්නේ අඩුවක් පවතින බවයි.

කෙසේ වෙතත්, තම අස්වැන්න අඩුවීමත් සමඟ රජයට වී ලබාදීමට හැකියාවක් නොමැති බවත් රජය ලබා දී ඇති සහතික මිල ඉක්මවා පෞද්ගලික අංශය වී මිලදී ගැනීමට කටයුතු කරන බවත් ගොවීන් පෙන්වා දෙනවා.

මේ අතර, ‘ගොවි අරගල ව්‍යාපාරය’ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.

පොහොර සහනාධාරය යටතේ මෙරට වී වගා කරන ගොවින් ගණන දසලක්ෂ 41,923 ක්.

රජයේ වී මිලදි ගැනීමේ වැඩපිළිවෙළ යටතේ එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 1000 බැගින් මිලදී ගනු ලබන්නේ කුඹුරු හෙක්ටයාර 1 ත්, 1.5 ත් අතර වගා කරන ගොවීන්ගෙන් පමණයි.

එවැනි භූමි ප්‍රමාණයක වී වගා කරන ගොවීන් සිටින්නේ 266,291 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත්, පොහොර සහනාධාරය අහිමි වන්නේ එම පිරිස අතරින් වී ලබා නොදෙන ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා සඳහන් කළා.

***************************************

(22.02.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගිය ද, එහි බර ජනතාව වෙත පැවරීමට සූදානම් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ වැටුප් ගැටලු සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ අද (22) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල නැවතත් ඉහළ යාම මෙරට බාහිර වෙළඳ ක්ෂේත්‍රය කෙරෙහි ඍජු බලපෑමක් ඇතිකරන බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 63 යි ශත 34 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 60 කට ආසන්න වී තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුල ලෝක වෙළඳපොලේ තෙල් මිල සියයට 20 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යාම විශේෂත්වයක් ෴

***************************************

(22.02.2021 – 21:18 +0530 – hirunews.lk/sinhala)

නව ඉදිකිරීම් හේතුවෙන් ඓතිහාසික දෙවනගල පුදබිමට අයත් පුරාවස්තුවලට යම් හානියක් සිදුව ඇත්නම් අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට අනිවාර්යයෙන් කටයුතු කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ දෙවනගල පුදබිමේ ගැටලුව සම්බන්ධයෙන් සොයාබැලීමට එහි සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි.

ඓතිහාසික දෙවනගල රජමහා විහාරයට අයත් භූමියේ බලහත්කාරයෙන් ඉදිකිරීම් සිදු කර ඇති ආකාරය පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ අවස්ථා කිහිපයකදීම රටට පෙන්වා දුන්නා.

අප එහිදී අනාවරණය කළේ එම ඉදිකිරිම් මගින් පුදබිමට අයත් පුරාවස්තූන් ඇතැම් පිරිස් විසින් විනාශයට පත් කර ඇති ආකාරයයි.

එම අනාවරණයෙන් පසු එම ගැටලුව පිළිබඳ සොයාබැලීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු පිරිසක් දෙවනගල පුදබිම වෙත පැමිණියා ෴

***************************************

(22.02.2021 – 22:09 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. මෙම ඉල්ලා අස්වීමට හේතුව ලේස ඔහු සඳහන් කළේ පෞද්ගලික හේතුවක් බවයි.

***************************************

(22.02.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් ලෙස සෙසු පුද්ගල නීති සමඟ සංසන්දනය කිරීම සංවේගයට කරුණක් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වය පවසනවා.

මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර අදාළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කළයුතු බවයි.

***************************************

නොමිලේ බෙදාදුන් පොත් අලෙවි කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

(22.02.2021 – 21:50 +0530 – hirunews.lk/sinhala)

නාගරික මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදනවලින් මීගමුව නගර සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසුන් සඳහා නොමිලේ බෙදාදීමට නියමිත පාසල් අභ්‍යාස පොත් විශාල ප්‍රමාණයක් මීගමුව නගරයේ වෙළෙඳ සැළක අලෙවි කරන ආකාරය ‘අද දෙරණ’ ඊයේ (21) වාර්තාකර තිබුණි.

ඒ අනුව මීගමුව පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ ය.

මීගමුව නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ඇතුලු නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද අද (22) ඒ පිළිබඳව ප්‍රශ්න කෙරුණි.

***************************************

රැකියාවක යෙදවීමට හැකි අවම වයස ඉහළට

(22.02.2021 – 17:17 +0530 – sinhala.adaderana.lk)

මෙරට රැකියාවක යෙදවීමේ අවම වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමමින් පාර්ලිමේන්තුවේදී නීතිගත කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ළමයාගේ අනිවාර්යය අධ්‍යාපන වයස අවුරුදු 16 දක්වා ඉහළ යන බවද පෙන්වා දෙයි.

ඊට අදාළ පනත් කිහිපයක අවම වයස් සීමාව සංශෝධනය කිරීම ද අනුමත වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

***************************************

‘නෙල්ලි කෝලා’ පානය හරහා ‘පැණි බීම – කෝලා’ සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

(22.02.2021 – 22:18 +0530 – lankaleadnews.com)

අද (22) දින පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා :

“ඉතිහාසයෙන් අපට උරුම වූ ආහාර සංස්කෘතියෙන් එළියට ගොස් ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප අද පත්වෙමින් සිටිනවා. ඒ ඉරණමට එරෙහිව සටන් වැදීමේ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තම කොටස ඉටු කරමින් ‘පැණි බීම – කෝලා’ සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට ගැනීමට ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම දේශීය දැනුම් පද්ධතිය සහ ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘නෙල්ලි – කෝලා’ පානය ජනගත කිරීම මෙරට සෙසු ව්‍යවසායකයන්ට ගත හැකි බෙහෙවින් අගය කළ යුතු ආදර්ශයක්”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය :

“මුදිත සමනක්කොඩි මැතිතුමා ‘නෙල්ලි කෝලා’ නැමැති පානය මෙරට වෙළඳපොළට පමණක් නොවෙයි අනාගතයේදී පිටරට වෙළෙඳපොළ ද ඉලක්ක කොටගෙන නිපදවා ජනගත කරන අවස්ථාවට සහභාගී වීමට ලැබීම මම ඉතා වැදගත් කොට සලකනවා. ඕනෑම ජාතියක ඉරණම තීරණය කළ හැකි එක් ප්‍රබල සාධකයක් වන්නේ එම ජාතිය සතු ආහාර සංස්කෘතියයි. යුද්ධයකදී එකවර මරන්න පුළුවන් වගේම ජාතියක ආහාර සංස්කෘතිය වැරැද්දුවොත් එම ජාතිය ටික ටික මරන්න පුළුවන්.

‘ආහාර සංස්කෘතියේ අවුල’

අද අපි ජීවත් වන්නේ බෝවන රෝගවලට වඩා බෝනොවන රෝග බහුල වූ සමාජයකයි. ‘රෝහල්වල ඉඩකඩ මදි’ කියා අවලාද නැගුවාට අපේ ආහාර සංස්කෘතියේ තිබෙන අවුල ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. පිටරටින් ‘කිරිපිටි’ කියා එන එහෙත් කිරිපිටි නොමැති ඌරු තෙල් වැනි දෑ අඩංගු බහුජාතික සමාගම්වල පිටි බීලා අපේ දරුවෝ පාසල් ගියාම ඔවුන් ටික කාලයකින් දියවැඩියාවෙන් ඔත්පල වූ දරුවන් වෙනවා. පාන් පිටි කෑම කාලා කොලෙස්ටරෝල් බහුල දරුවන් වෙනවා. ඉතිහාසයෙන් උරුම වූ ආහාර රටාවෙන් අපි එළියට යනවා. ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප පත් වෙමින් තිබෙනවා.

‘පැණිබීම – කෝලා සංස්කෘතියෙන් එළියට ගැනීම’

මේ ඉරණමට එරෙහිව සටන් වැදීම මේ යුගයේ අප සියලුදෙනාටම පැවරුණු ඓතිහාසික වගකීමක්, යුතුකමක්. ඒ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තමන් සතු කොටස තමයි අද මුදිත සමනක්කොඩි මැතිතුමා ප්‍රධාන මේ පිරිස ඉටුකරමින් සිටින්නේ. අපේ දරුවන් ‘පැණි බීම – කෝලා’ බීලා ඒ නිසා හැදෙන බෝනොවන රෝගවලට ගොදුරු වන විට ඒ දිහා නිකං බලා නොසිට ඒ දරුවන් ‘පැණිබීම – කෝලා’ සංස්කෘතියෙන් එළියට ගැනීමට තමයි මේ අය කටයුතු කරන්නේ. අපේ දේශීය දැනුම් පද්ධතිය තුළ තිබෙන, ස්වාභාවික අමුද්‍රව්‍ය පාදක කරගත් පානයක් තරඟකාරීව නිපදවන්න තමයි මේ පිරිස කටයුතු කර ඇත්තේ.

‘වැල යන අතට මැස්ස ගහන්න එපා’

මෙය ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගත් පානයක්, ඒ වගේම ශක්තිජනක පානයක්. දැනට වෙළඳපොළේ තිබෙන සියලුම කෘත්‍රිම ශක්තිජනක පානවලට වඩා මෙය ශක්තියෙන් අනූනයි. අපේ ජීවන රටාවේ ඇති වෙමින් තිබෙන අවුලට උත්තර සොයන මෙවැනි නිෂ්පාදකයන් තමයි අද අපට ඕනේ. එහෙම නැතිව ‘වැල යන අතට මැස්ස ගහන’ අය නොවෙයි. මුදිත සමනක්කොඩි මැතිතුමන් ලබාදී ඇත්තේ ඒ ආදර්ශයයි. ඒ ආදර්ශය අපේ සෙසු ව්‍යවසායකයන්ට හා නිෂ්පාදකයන්ට ඉතාම ඉහළින් අගය කළ හැකි ආදර්ශයක්.

දැනට මාස ගණනාවකට කලින් මෙතුමා මේ නිෂ්පාදනයේ සාම්පල අරගෙන අපේ අමාත්‍යාංශයට පැමිණියාම ඒ වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට අප එකඟ වුණා. එතුමන් සමග හවුල්කාරීත්වයකට පිරිසක් එක්ව තිබෙනවා. ඒ පිරිස සමඟ එක්ව කෙටි කලකින් මේ ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීමට හැකිව තිබීම ඉමහත් සතුටට කාරණාවක්. යුරෝපය ඇතුළු බටහිර රටවල ජනතාව කෘත්‍රීම දෙයින් දැන් හෙම්බත් වෙලා. ඔවුන් දැන් සොයන්නේ ස්වාභාවික දේවල්. ඒ නිසා අන් කවර කලකටත් වඩා වැඩි වෙළඳපොළ අවකාශයක් මෙවැනි නිෂ්පාදකයන්ට ඇතිව තිබෙනවා. එය ද නිවැරදිව වටහාගෙන අපේ ආහාර සංස්කෘතියේ පවතින අවුලට එරෙහිව සටන් වදින මුදිත සමනක්කොඩි මැතිතුමා වැනි ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහි කිරීමට දායක වීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම ‘නෙල්ලි කෝලා’ පානය මේ රටේ දූ දරුවන් අතරට පමණක් නොවෙයි එතෙර සිටින දූ දරුවන් අතරට ද ගෙන යාමට ශක්තිය හා ධෛර්යය පතනවා”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටි අතර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මුදිත සමනක්කොඩි මහතා අදහස් දැක්වීය. චින්තන ජයසිංහ, පියුමි සමනක්කොඩි, මන්ද්‍රී සමනක්කොඩි යන එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.02.22

***************************************

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති

(23.02.2021 – colombotoday.com)

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව තුලින් සාධාරණයක් ඉෂ්ඨවී වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුවද දැනට දැනගන්න ලැබෙන තොරතුරුවලට අනුව ‘යන්නේ කොහොද? මල්ලේ පොල්’ තත්වයට පත්වී ඇති බව සිංහල රාවය දේශපාලන පක්ෂයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි සඳහන් කර සිටිනවා.

‘පාස්කු කොමිසමේ කැකිල්ලේ තීන්දුව’ තේමාව යටතේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.

දැනට තොරතුරු ලැබී ඇති පරිදි මේ රටේ ජාතික සංවිධානවලට සහ ජාතික සංවිධාන නායකයින්ට පාස්කු ප්‍රහාරයේ වගකීම බැර කර ඇති බව පැවසූ ඒ හිමියෝ ‘අන්තවාදී ක්‍රියා ඇතිවීම තුල ජාතික සංවිධාන බිහිවූවා’ විනා ‘ජාතික සංවිධාන හේතුවෙන් අත්වාදය ඇතිවුනා’ යැයි කිසිවෙකුට හෝ කිව නොහැකි බව පැවසීය.

පාස්කු කොමිෂන් වාර්තාව සැබෑ ලෙසම සැකසුවේ එහි සාමාජිකයන් ද නැතිනම් අන්තවාදීන් ද යන ප්‍රශනය මේ මොහොතේ ජාතිය හමුවේ තිබෙන බවත් කොමිෂන් සභා වාර්තාව වහා අහෝසි කර නව කොමිසමක් පත්කර සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙසත් අක්මීමන දයාරතන හිමියෝ මෙහිදී ඉල්ලා සිටියහ.

@@@@@@@@@@@@@@@

(22.02.2021 – 17:40 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ ඇනවුම් කරන ලද ‘ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නතේ මාත්‍රා ලක්ෂ 5 ක් එළඹෙන බ්‍රහස්පතින්දා (25) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා තහවුරු කරනු ලැබුවා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 223 ක් හඳුනා ගත් බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් 80,000 ඉක්මවා ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 267 ක් හඳුනා ගත් බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් 80,489 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++

(22.02.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සීමාවේ පුද්ගලයින් සඳහා මහාපරිමාණ එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද (22) ආරම්භ වුණේ මධ්‍යස්ථාන 07 කදීයි.

මෙම සෑම මධ්‍යස්ථානයකදීම පුද්ගලයින් 1,000 කට අධික සංඛ්‍යාවකට එන්නත ලබා දී තිබුණා.

කොළඹ මහජන පුස්තකාලය, බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණය, බණ්ඩාරනායක මාවත මාතෘ නිවාසය, මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය, ටොරින්ටන් මහල් නිවාසය, උතුරු කොළඹ කාක දූපත සහ බටහිර කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන ස්ථානවල එම මධ්‍යස්ථාන පිහිටුවා තිබුණා.

කොළඹ මහ නගර සභාවේ සේවකයින් සඳහා කොවිෂිල්ඩ් එන්නත් ලබා දුන්නේ මරදානේ ෆෝබස් පාරේ පිහිටි කාන්තා හා ළමා සුභ සාධක මධ්‍යස්ථානයේදී.

කෙසේ වෙතත්, එම ස්ථානයට නිලධාරීන් සහ සේවකයින් විශාල පිරිසක් කැඳවා තිබීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

+++++++++++++++++

++++++++++++++++++

(22.02.2021 – 21:31 +0530 – hirunews.lk/sinhala)

අද (22) දිනය තුල මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 5 ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම මරණ පහත් (5) සමඟ මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 450 ක් දක්වා ඉහළ ගියා.

+++++++++++++++++++

කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තියක් වළක්වා ගැනීමට ගතයුතු පියවර 3 ක් ගැන GMOA කියයි

(22.02.2021 – 13:41 +0530 – sinhala.adaderana.lk)

‍ලොව පුරා විකෘතියට ලක්වූ කොවිඩ් නව වෛරස් ප්‍රභේද හමුවීමත් සමග ශ්‍රී ලංකාවේද මේ මොහොතේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව හා කාර්යක්ෂම ලෙස අනුගමනය කළයුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කරුණු 3 ක් පිළිබඳව අවධානය යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ සිදුවෙමින් ඇති ප්‍රමාදයන් වහාම නිවරැදි කළයුතුව ඇති බවය.

ශ්‍රී ලංකාව තුළ වෛරසයේ ඉදිරි සීඝ්‍ර ව්‍යාප්තියක් වළක්වා ගැනීම සඳහා එම පියවරයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවද ඉන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ the UN Human Rights accusations. Out of the 7 signatories, 3 of them, i.e. Canada, Germany and United Kingdom have large Tamil diaspora population of which large proportions are made up of ex-tamil LTTE terrorists that escaped from Sri Lanka and terrorist supporters. These countries harbour such undesirable terrorist elements, exporting terrorism to Sri Lanka, and sponsoring their wicked programs. The main concerns of the governments and political parties in those Western Countries are winning local tamil voting population for their in country political activities and not for any love of human rights. Just masquerading for promoting a different political agenda of their own. The other 4 backward countries are financially dependent on the westerners, and so, just stringing along for financial gain. They are covering of large scale human rights abuses in their own countries, but at UN they are pretending to be holier than thou. Seven rogues pretending to be policemen.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *