කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි

කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි

*********************************************

කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි

(21.02.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන් සහ මරණ සම්බන්ධයෙන් වන සංඛ්‍යාලේඛණවල නිරවද්‍යතාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹදී අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ මේ හේතුවෙන් බිම් මට්ටමේ සෞඛ්‍ය වෘත්තිකයින්ට සිය රාජකාරී කිරීමේදී ගැටළුවලට මුහුණදීමට සිදුව ඇති බවයි.

කොරෝනා ආසාදිතයින් 543 දෙනෙකු ගතවූ දිනයේදී හඳුනාගත් අතර ඉන් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් 79,480 ක් දක්වා ඉහළ ගියා.

ඉන් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 180 ක්.

කොළඹ මහ නගරසභා සීමාවෙන් ආසාදිතයින් 133 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 30 දෙනෙකු වාර්තා වී තිබුණේ මීරිගම ප්‍රදේශයන්.

ඊයේ (20) දිනයේදී දිස්ත්‍රික්ක 22 කින් ආසාදිතයින් හඳුනාගැණුනු අතර පුත්තලම හා රත්නපුර දිස්ත්‍රික්කවලින් 39 බැගින්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 35ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 29 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 27ක් ලෙස ආසාදිතයින් වාර්තා වුණා.

මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 4747 දෙනා අතරින් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 121 දෙනෙකු පමණයි.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට පුද්ගලයින් 302,857 දෙනෙකුට එන්නත් ලබා දී ඇති අතර ඊයේ (20) දිනය තුළ එන්නත් ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 39,078 ක්

මේ අතර, තමන් කොරෝනා මර්දන එන්නත ලබා නොගන්නා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න ප්‍රකාශ කළා.

මේ අතර, කලාකරුවන් පිරිසක් කොළඹදී ප්‍රවාත්ති සාකච්ඡාවක් පවත්වමින් කොරෝනා හමුවේ තමන් ඇතුළු කළා ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග පිළිබඳව අදහස් පල කළා.

මේ අතර, විවාහ මංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස 150 ක් වන බවත් එය 50 දෙනෙකු සඳහා සීමා කිරීමක් සිදුකර නොමැති බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

@@@@@@@@@@@@@

(21.02.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

කළුතර ප්‍රදේශ කිහිපයක වීථි සුනඛයින් අභිරහස් ලෙස මියයාමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

දින කිහිපයක සිට කළුතර – මග්ගොන, පයාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක වීථි සුනඛයින් මිනිසුන්ගේ අමානුෂික ක්‍රියා හමුවේ ඝාතනයට ලක් වන බවයි අයාලේ යන සුනඛයින් සුරැකීමේ සංවිධානයේ සාමාජිකාවක සඳහන් කළේ.

***************************************

(21.02.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

මෙරට අපනයනයන් සඳහා ලබාදී ඇති ඇමෙරිකානු ජී.එස්.පී. තීරු බදු ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව ඉහළ පෙලේ සාකච්ඡාවක් පසුගියදා පැවති බව වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළා.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවීනාථ ආරියසිංහ මහතා මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ ඇමෙරිකානු සහකාර වෙළඳ නියෝජිත ක්‍රිස්ටෝපර් විල්සන් සමගයි.

ශ්‍රී ලංකාවේ අංක එකේ අපනයන ගමනාන්තය වන ඇමෙරිකා එක්සත් ජනපදයට මෙරට මුළු අපනයනයන්ගෙන් සියයට 27 ක් පසුගිය වසරේදී යවා තිබෙනවා.

ඉන් සියයට 75 ක්ම මෙරට ඇගලුම් නිෂ්පාදනයි. කෙසේ නමුත්, ඇගලුම් සඳහා ඇමෙරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය ක්‍රියාත්මක නොවන අතර, රබර් නිෂ්පාදන, සක්‍රිය කාබන් සහ කොහු නිෂ්පාදන ඇතුළු සියයට 25 ක අපනයනයන් සඳහා පමණක් එම සහනය ක්‍රියාත්මක වනවා.

ශ්‍රී ලංකා තානාපතිවරයා ඇමෙරිකානු වෙළඳ නියෝජිතයා සමග සාකච්ඡා කර ඇත්තේ මෙරට තවත් අපනයනයන් සදඟා එලෙස තීරුබදු සහන ලබා ගැනීම පිළිබඳවයි ෴

මෙරට අපනයන සඳහා ලබාදී ඇති ඇමෙරිකානු ජී.එස්.පී තීරු බදු ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව ඉහළ පෙලේ සාකච්ඡාවක් පැවති බව වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළා.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවීනාථ ආරියසිංහ මහතා මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර වෙළඳ නියෝජිත ක්‍රිස්ටෝපර් විල්සන් සමඟයි.

ශ්‍රී ලංකාවේ අංක එකේ අපනයන ගමනාන්තය වන ඇමෙරිකා එක්සත් ජනපදයට මෙරට මුළු අපනයන වලින් සියයට 27 ක් පසුගිය වසරේදී යවා තිබෙනවා.

ඉන් සියයට 75 ක්ම ඇඟලුම් නිෂ්පාදනයි.

කෙසේ නමුත්, ඇඟලුම් සඳහා ඇමෙරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය ක්‍රියාත්මක නොවන අතර, රබර් නිෂ්පාදන, සක්‍රිය කාබන් සහ කොහු නිෂ්පාදන ඇතුළු සියයට 25 ක අපනයන සඳහා පමණක් එම සහනය ක්‍රියාත්මක වනවා ෴

***************************************

(21.02.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී හාම්පුතුන් අතින් විවිධ හිරිහැර සහ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා.

ගුවන්තොටුපල හිරු වාර්තාකරු පැවසුවේ මෙලෙස පැමිණි අයගෙන් වැඩි පිරිසක් එරට ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් බවයි.

විදේශ ගත වී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ඔවුන් මෙලෙස ගෙන්වා ගෙන ඇති අතර, පසුව මෙම පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා යුද හමුදාව විසින් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා ෴

***************************************

(21.02.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

මහජනතාවට සිය ප්‍රදේශයේ සිදුකරන පරිසර විනාශයන් පිළිබඳව පොලිසිය වෙත දැනුම්දීමට නව දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

මේ අතර, ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළේ පරිසර විනාශයන් සිදු කිරීමට සහයෝගය ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසූවේ පරිසර විනාශයන් පිළිබදව දැනුම් දීමට 1997 දුරකථන අංකය ස්ථාපිත කර ඇති බවයි.

***************************************

(21.02.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

කැබැතිගොල්ලෑව – කණුගහවැව ගම්මානයේ පැවති “ජනපති ගම සමග පිළිසඳර” වැඩසටහනේදී හඳුනාගෙන සිදුකිරීමට නියමිත සංවර්ධන කටයුතු ගුවන් හමුදාව විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීවයි.

ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ කැබැතිගොල්ලෑවල කණුගහවැව ගම්මානයේ පැවති වැඩසටහනේදී සංවර්ධනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගුවන් හමුදාවට වගකීම් කිහිපයක් පවරනු ලැබුවා.

ඒ අනුව ගුවන්හමුදා 70 වන සංවත්සරය සංකේතවත් කරමින් එම ගම්මානයේ නිවස 70 ක්ද ඉදිකෙරෙමින් පවතිනවා.

ප්‍රදේශයේ විහාරස්ථානයල දහම් පාසල් හා පාසල් ගොඩනැගිලි සංවර්ධනය කෙරෙන අතරල අලි වැටක්ද ඉදිකිරීමට නියමිතයි.

ග්‍රාමීය ජනතාවගේ නොවිසිඳුණු ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදීම උදෙසා ක්‍රියාත්මක වන “ජනපති ගම සමග පිළිසඳර” 4 වන අදියර කැබැතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැත්වුණේ පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදායි.

මේ අතර ගම සමග පිළිසඳරක් වැඩසටහනට සමගාමීව කැබතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ජංගම වෛද්‍ය සායනයක් ද ගුවන් හමුදාව විසින් ඊයේ (20) පවත්වනු ලැබුවා.

***************************************

(21.02.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් අද (21) දහවල් පීලිපැනීමට ලක්ව තිබෙනවා.

ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ නාවලපිටිය – ඉගුරුඔය අතර, ජයසුන්දරඕවිට ප්‍රදේශයේදී දුම්රියේ නැරඹුම් මැදිරිය පිලීපැනීමට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය හැකි බව ද එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.

මේ අතර පීලිපැනීමට ලක් වූ නැරඹුම් මැදිරිය ගලවා සෙසු මැදිරි බදුල්ල බලා ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පීලිපැනීමට ලක්වූ දුම්රියේ නැරඹුම් මැදිරිය කඩිනමින් පීලිගත කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(21.02.2021 – 16:13 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 13 සහ 14 යන වයස්වල පසුවන බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකුට (2) බරපතල ලිංගික අපයෝජන කළ පුද්ගලයෙකු ඉමදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 19 වනදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මෙම දරුවන් දෙදෙනාගේ (2) මව සමඟ අනියම් සම්බන්ධතාවයක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

කාන්තාවගේ සැමියා මිය යාමෙන් පසු ඇය දරුවන් දෙදෙනා (2) සමඟ තනිව ජීවත්ව ඇති අතර පැවති ආර්ථික අපහසුතා හේතුවෙන් දරුවන් දෙදෙනා (2) වසර දෙකකින් (2) පමණ පාසල් ගොස් නැති බවට හෙළිව තිබෙනවා.

දිගින් දිගටම ඇතිවන දුක් කරදර නිසා ශාන්ති කර්මයක් කර ගැනීම සදහා අදාල සැකකරු සමඟ මව සහ දරුවන් දෙදෙනා වැලිගම ප්‍රදේශයේ දේවාලයකට ගොස් ඇති බව සඳහන්.

එහිදී එම දේවාලය පවත්වාගෙන යන කාන්තාව මෙම දරුවන් දෙදෙනාට (2) අදාල පුද්ගලයාගෙන් හිරිහැර සිදුවනවාදැයි මවගෙන් විමසා තිබෙනවා.

එම අවස්ථාවේ මව පවසා ඇත්තේ එසේ සිදුවන බවයි.

අනතුරුව දේවාලය පවත්වාගෙන යන කාන්තාව විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු ඉමදූව, කෝදාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දරුවන් පොලීසියට පවසා ඇත්තේ ඔහු මාස කිහිපයක සිට මෙලෙස ඔවුන් දෙදෙනා (2) අපයෝජනයකට ලක්කළ බවයි.

අදාල දරුවන් පදිංචි නිවස ආසන්නයේ මෙම සැකකරු ද පදිංචිව සිට ඇති අතර කාටුන් බැලීමට යැයි පවසා දරුවන් සිය නිවසට කැඳවාගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මව හා දරුවන් දෙදෙනා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

(21.02.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා එල්ල වී තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද (21) දහවල් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් නාවලපිටිය – ඉගුරුඔය අතර, ජයසුන්දරඕවිට ප්‍රදේශයේදී පිලීපැනීමට ලක්ව වූ බවයි.

ඒ හේතුවෙන් පැයක පමණ කාලයක් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

***************************************

(21.02.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම්ගෙන් ත්‍රස්ත පුහුණුව ලබා මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා දී තිබූ කාන්තාවන් පිළිබඳව තවත් තොරතුරු අනාවරණ වෙමින් පවතිනවා.

ඉන් 07 දෙනෙකු දැනට රැඳවුම් නියෝග මත පසුවන අතර, තුන්දෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඒ අතර, සිටින බොහෝ දෙනෙකු සහරාන් හෂීම් සහ ඔහුගේ ත්‍රස්ත ක්‍රියා සඳහා සහය දුන් පුද්ගලයන්ගේ ඥාතීන් සහ සමීපතමයන්.

එම කාන්තාවන් 15 දෙනාගෙන් 05 දෙනෙකු සයින්දමරුදු ප්‍රහාරයේදී මියගොස් තිබූ අතර, ඒ අතර සහරාන් හෂීම්ගේ මව, සොහොයුරියක, මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳ මොහොමඩ් සෙයිනිගේ බිරිඳ සහ මඩකලපුව සියොන් දේවස්ථාන ප්‍රහාරකයාගේ බිරිඳ සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

එසේම, මෙලෙස ත්‍රස්ත පුහුණුව ලැබූ සහරාන් හෂීම්ගේ තවත් සහෝදරියක්, මොහොමඩ් සාදික්ගේ බිරිඳ සහ මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳ මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

තවත් 07 දෙනෙකු අත්අඩංගුවේ පසුවන අතර, ඒ අතර සිටින ෆාතිමා නුස්රා නමැත්තිය සහරාන්ගේ සමීපතම ඥාතියෙකුගේ බිරිඳක්.

වයස අවුරුදු 25 ක් වන ඇය කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වනවා.

එසේම, කාත්තන්කුඩි ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවන් 05 දෙනෙකු මීට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර, මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳගේ මව, ප්‍රදේශයේ පල්ලියක සභාපතිවරයාගේ දියණිය සහ බිරිඳ මෙන්ම, ‘ගෆූර් මාමා’ නමින් හැඳින්වුණු පුද්ගලයාගේ බිරිඳ ද සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

මෙම තොරතුරු අනාවරණ කළ මොහොමඩ් ඊබ්‍රාහීම් සාදික්ගේ නැගණිය වන සර්දා පෙරේදා (19) මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

***************************************

(21.02.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය වීරත්වයට පත් කිරීමට උත්සාහ දරා ඇති බවට බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා චෝදනා නඟනවා.

එම වාර්තාව පදනම් කර ගනිමින් බ්‍රිතාන්‍යය ඇතුළු මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික සත්කාරක කණ්ඩායම විසින් යෝජනාවක් ද ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ මන්ත්‍රී කණ්ඩායමේ සභාපතිවරයා ද වන නෙස්බි සාමිවරයා පෙන්වා දෙන්නේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ කෲරත්වය අමතක කර ඇති බවයි.

ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ගේ කාර්යාලය වෙත ලිපියක් යොමුකරමින් නෙස්බි සාමිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කුරිරු ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය මධ්‍යස්ථ මතධාරි දෙමළ නායකයන් මෙන්ම, හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස සහ ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ද ඝාතනය කර ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළ බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ රජයට එරෙහිව අන්තවාදී ප්‍රචණ්ඩ සන්නද්ධ යුද්ධයක් දියත් කළ එල්.ටී.ටී.ඊ ය ළමා සොල්දාදුවන් යොදා ගත් ආකාරය යුනිසෙෆ් සංවිධානය විසින් ද පිළිගෙන ඇති කරුණක්.

යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් සියයට 60 ක් පමණ ළමා සොල්දාදුවන් බව ද නෙස්බි සාමිවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම, එලෙස ළමා සොල්දාදුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත ඇඩලේ බාලසිංහම්ට එරෙහිව කටයුතු නොකරන්නේ මන්දැයි ඔහු බ්‍රිතාන්‍ය රජයෙන් ප්‍රශ්න කර සිටිනවා.

මිෂෙල් බැචලේ ගේ වාර්තාවෙන් යුද්ධයේ අවසන් සටනේදී මියගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව 40,000 ක් ලෙස සඳහන් වුව ද, එය ස්වාධීනව තහවුරු කළ සංඛ්‍යාවක් නොවන බව පෙන්වා දෙන නෙස්බි සාමිවරයා එම සංඛ්‍යාව 5000 ත් 7000 ත් අතර සංඛ්‍යාවක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් විය හැකි බව ද පෙන්වා දෙනවා.

ජගත් මානව හිමිකම් මණ්ඩල කොමසාරිස්වරියගේ වාර්තාව මගින් වත්මන් රජය පිළිබද පමණක් කරුණු දක්වා ඇති නමුදු යුද්ධයෙන් පසුව මෙරට පාලනය කළ අනෙකුත් ජනාධිපතිවරුන්ගේ කාල සීමාවන් පිළිබඳව ද ඇගයීමක් කළ යුතුව තිබූ බවයි නෙස්බි සාමිවරයා අවධාරණය කළේ.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් වත්මන් රජය විසින් හමුදා නිලධාරින්ට ඉහළ තනතුරු ලබාදීම පිළිබඳ කරුණු දක්වා තිබෙනවා.

එහෙත්, නෙස්බි සාමිවරයා සඳහන් කළේ දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවූ බ්‍රිතාන්‍ය නායකයන් එලෙස ප්‍රධාන තනතුරු සඳහා හමුදා නිලධාරින් යොදා ගත් අතර, 30 වසරක යුද්ධයකට මුහුණදුන් ශ්‍රී ලංකාව එලෙස කටයුතු කිරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවයි ෴

***************************************

(21.02.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – පත්තඬුවන ප්‍රදේශයේදී අවි ආයුධ, ජීව උණ්ඩ සහ වාහන අංක තහඩු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර මිනුවන්ගොඩ පොලීසිය ඊයේ (20) ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂාවකට ලක් කළා.

එහිදී බෝර 12 ගිනි අවියක්, උණ්ඩ 16 ක්, කඩු 03 ක්, කෙටේරි 01 ක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 12 ක් ඇතුළු ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගනු ලැබුවා.

සැකකරු සතුව තවත් ගිනි අවි තිබේ ද යන්න පිළිබඳව පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

***************************************

(21.02.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට පොලිසිය තුළ කාන්තාවන්ට උසස්වීම් ලබා නොදීමේ තත්ත්වයක් පෙර සිටම පැවති බව මෙරට පළමු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වන ප්‍රමිලා දිවාකර මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ නිලධාරිණියකට දුන් උසස්වීමකට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසක් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදියි.

@@@@@@@@@@@@@@

(21.02.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව සිටි තවත් 843 දෙනෙකු අද (21) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 74,299 ක් බවයි.

තවදුරටත් ආසාදිතයින් 4,746 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 254 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 79,734 ක් ෴

+++++++++++++++++++++

(21.02.2021 – 16:02 +0530 – hirunews.lk/sinhala)

තමාට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ පුත්‍රයෙකු වන සජිත අනුත්තර ඇන්තනී මහතා පවසනවා.

සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඊයේ (20) සිදු කළ PCR පරීක්ෂණයකින් මෙය තහවුරු වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළ අතර සමීප ආශ්‍රිතයන් සොයා ගැනීමට ද කටයුතු කර ඇතැයි සජිත අනුත්තර මහතා සිය ෆේස්බුක් සටහන මගින් දන්වා තිබෙනවා.

සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව මේවන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ ෴

+++++++++++++++++++

(21.02.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියේ ගැටලු‍ රැසක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලු‍ත්ගේ මහතා සඳහන් කළේ එන්නත්කරණ ක්‍රියාවලිය ගැන සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මෙතෙක් නිතුක් වී නොමැති බවයි.

කෙසේ වෙතත්, වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා කහටගස්දිගිලිය ප්‍රදේශයේදී අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අදහස් පළ කළා.

මේ අතර, අද (21) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 843 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 74,299 ක් ලෙසයි.

අද (21) දිනයේදී කොරෝනා ආසාදිතයින් 254 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, තමාට සහ බිරිඳට කොරෝනා වෛරස ආසාදනය වී බව රංගන ශිල්පී සජිත අනුත්තර සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.

++++++++++++++++++++

(21.02.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 264 ක් හඳුනා ගත් බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව අද (21) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 518 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *