මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක්

මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක්

*********************************************

මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක්

(21.02.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම් විසින් පැවැත්වූ අන්තවාදී පන්තිවලට සහභාගි වූ මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේදී හෙලිදරව්වක් සිදුකර තිබෙනවා.

තමන් සමඟ කාන්තාවන් 15 දෙනෙකු එම පන්තියට සහභාගි වූ අතර, ඔවුන් සියලු දෙනාම මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥාවක් ලබාදුන් බවයි ඇය එහිදී සඳහන් කර ඇත්තේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් විසින් පැවැත් වූ ත්‍රස්ත පුහුණු දේශන සඳහා එක් වූ මෙම සැකකාර තරුණිය මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින්.

අත්අඩංගුවට ගත් තරුණියගේ පියා හා සහෝදරයන් දෙදෙනා (2) ද පාස්කු ප්‍රහාරය හා මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ඊබ්‍රාහිම් ෂහීඩා නම් තරුණියක්.

ඇගේ පියා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාර ගතව සිටින ඊබ්‍රහිම් මව්ලවි නැමැත්තායි.

ඇගේ සොහොයුරන්වන මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල් හක් නැමැත්තන්ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.

***************************************

(21.02.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන මුහුදු වෙරළට වැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේදුරුතුඩුව පොලිසියට යොමුකර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

***************************************

(21.02.2021 – 07:15 +0530 – hirunews.lk/sinhala)

ඇත් දළයෙන් නිර්මාණය කළ කරඬුවක් සහ පිරිත් හුයක් විකිණීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු (2) ගනේවල්පොල බමුණුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජජාල මාධ්‍ය ඔස්සේ සැකකරුවන් මෙම උපකරණ විකිණීමට සූදානම් කර තිබී ඇති අතර ගැනුම්කරුවන් ලෙසට උපාය දූතයන් යොදවා වැටලීම සිදුකර ඇත්තේ ඊයේ (20) පස්වරුවේයි.

වනජීවී නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති අතර ගනුදෙනුව සිදු කිරීමට භාණ්ඩ ද රැගෙන සැකකරුවන් බමුණුගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ඔවුන් සතුව තිබී ඇත් දළයෙන් නිමවා කැටයම් කරන ලද අඟල් දෙක හමාරක් (2½) පමණ උසැති කරඬුවක් සහ අඟල් 6 ක් පමණ දිගැති පිරිත් හුයක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

(20.02.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය හෙට ආරම්භ වනවා.

ඉතිහාසයේ පළමු වරට එම රැස්වීම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. ඒ, ලොව පුරා පවතින කොරෝනා වසංගතය හේතුවෙන්.

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව පදනම් කරගනිමින් එක්සත් රාජධානිය, කැනඩාව ඇතුලු රටවල් 6 ක් විසින් මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබෙනවා.

මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පදනම් කරගනිමින් මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බවයි ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ අදාළ රටවල් හය (6) ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ලක් රජය ඊට විරුද්ධත්වය පළ කරනවා.

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් ඒකාබද්ධව ශ්‍රී ලංකාව පිළිබඳ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

රට තුළ තිරසාර සාමයක් ගොඩනැගීමට සහ යුද්ධයේ හානිකර උරුමයන් විසඳීම සඳහා තවත් බොහෝදේ කළ යුතු බවටයි එම යෝජනාවට සම අනුග්‍රහය දක්වන රටවල් ප්‍රකාශ කර ඇත්තේ.

මීට පෙර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා මෙම රටවල් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, පසුගිය රජය ඊට සම සත්කාරයද දක්වනු ලැබුවා.

මේ අතර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ පසුගියදා සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ජාත්‍යන්තරයෙන් එන බලපෑම්වලට මුහුණදීමට වත්මන් රජයට හැකියාවක් පවතින බවයි ෴

***************************************

(20.02.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන දෙකකට (2) වැඩි වටිනාකමකින් යුත් ‘හෑෂ් ඔයිල්’ මත්ද්‍රව්‍ය බෝතල් 06 ක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය තලංගම – පැලවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ 32 හැවිරිදි සැකකරු ඊයේ (19) සිය නිවසේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගත් බවයි.

කලක සිට මොහු මෙම ජාවාරම සිදුකළේ ද යන්න පිළිබඳව පරික්ෂණ පවත්වන බව ද පොලීසිය සඳහන් කළා.

මීට පෙර පසුගිය මස 27 වනදා ශ්‍රී ලංකාවෙන් පළමු වරට සොයා ගනු ලැබූ ‘හෑෂ් ඔයිල්’ නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අත්අඩංගුවට ගනු ලැබුවේ මහරගම ඇරැව්වල ප්‍රදේශයෙන්. එහි වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධිකයි ෴

***************************************

(21.02.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

පස් ලබාගැනීමේ ගැටළුව ඇතුළු තවත් ගැටළු කිහිපයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගඩොල් කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10 ක පවුල් දහසකට වැඩි පිරිසක් සිය ජීවනෝපාය වශයෙන් සිදුකරන්නේ ගඩොල් නිෂ්පාදනයයි.

මෙරට උසස්ම ගඩොල් නිෂ්පාදනය කිරීම අතින් දීර්ඝ කාලයක සිට තම ගඩොල් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවයි නිෂ්පාදනකරුවන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත් වර්තමානය වනවිට පස් ලබාගැනීමේ ගැටළුව ඇතුලු තවත් ගැටළු කිහිපයක් හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි ගඩොල් නිෂ්පාදකයින් කිහිපදෙනෙකු අදහස් දක්වමින් කියා සිටියේ ෴

***************************************

(21.02.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

බලපිටිය විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ගෙන් කප්පම් මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 6 දෙනෙකු ලබන මස දෙවනදා (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මොවුන් පසුගිය 18 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ විමර්ශන කොට්ඨාශයකින් බව පවසා අදාළ විහාරස්ථානයේ ලිපි ලේඛන පරීක්ෂා කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

විහාරස්ථානයේ සිටි වෙනත් පුද්ගලයෙකු මේ පිලිබදව පොලීසිය දැනුවත් කර ඇති අතර, පොලීසිය එම ස්ථානයට පැමිණීමත් සමග අදාළ පිරිස පළා ගොස් තිබුණා.

ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී බලපිටිය ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් ලබන 2 වනදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(21.02.2021 – 12:02 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම කාර්සල් සහ තාවුල්පාඩු වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකින් කේරළ ගංජා සහ වියළි කහ තොගයක් සොයාගෙන තිබෙනවා.

වියළි කහ කිලෝ 400 කට වැඩි ප්‍රමාණයක් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති අතර ඊට අදාළව සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව කියාසිටියේ.

කේරළ ගංජා කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් සමග ද සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනා.

සැක සහිත යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එම යාත්‍රාව් මලු 12 ක අසුරා තිබියදී කහ තොගය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පේසාලේ සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා සිලාවතුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත භාරදී ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.

කේරළ ගංජා වැඩිදුර විමර්ශණ සඳහා මන්නාරම පොලිසියට භාරදී ඇති අතර වියළි කහ තොගය යාපනය රේගු කාර්යාලයට භාරදී තිබෙනවා ෴

***************************************

(22.02.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

නව ඉදිකිරීම් හේතුවෙන් ඓතිහාසික දෙවනගල පුදබිමට අයත් පුරාවස්තුවලට යම් හානියක් සිදුව ඇත්නම් අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට අනිවාර්යයෙන් කටයුතු කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ දෙවනගල පුදබිමේ ගැටලුව සම්බන්ධයෙන් සොයාබැලීමට එහ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි.

ඓතිහාසික දෙවනගල රජමහා විහාරයට අයත් භූමියේ බලහත්කාරයෙන් ඉදිකිරීම් සිදු කර ඇති ආකාරය පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ අවස්ථා කිහිපයකදීම රටට පෙන්වා දුන්නා.

අප එහිදී අනාවරණය කළේ එම ඉදිකිරිම් මගින් පුදබිමට අයත් පුරාවස්තූන් ඇතැම් පිරිස් විසින් විනාශයට පත් කර ඇති ආකාරයයි.

එම අනාවරණයෙන් පසු එම ගැටලුව පිළිබඳ සොයාබැලීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු පිරිසක් දෙවනගල පුදබිම වෙත පැමිණියා.

එහිදී පැවති සාකච්ඡා වලින් පසුව පුදබිමට අයත් පුරාවස්තු පිහිටි ස්ථානවල මැනීම් කටයුතු කඩනමින් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(20.02.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවේ පූනේ හි සීරම් ඖෂධ නිෂ්පාදන ආයතනයෙන් ඇණවුම් කළ ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ලබන සති අන්තයට පෙර මෙරටට ලැබෙනු ඇතැයි වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 20 ක් පමණ වටිනා එක්ස්රේ යන්ත්‍රයක් ලබාදීමේ අවස්ථාවට අද (20) සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, පසුගිය ජනවාරි 29 වන දා සිට ලබාදීම ආරම්භ වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද (20) දිනයේත් වෛසරය වැළදීමේ වැඩි අවදානමක් සහිත හඳුනා ගත් ප්‍රදේශ සහ කණ්ඩායම් ඉලක්ක කර ලබාදීම සිදුකෙරුණා.

එම එන්නත භික්ෂූන් වහන්සේට ලබාදීම ආරම්භ කරමින් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන්ට පළමුව එන්නත ලබාදුන්නේ මහනුවර ජාතික රෝහලේදීයි.

මීට අමතරව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ටද එහිදී එන්නත ලබාදුන්නා.

ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී එන්නත් ලබා ගැනීමට පැමිණි ජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරුණේ දිගු වේලාවක් තමන්ට පෝලිම්වල රැදී සිටීමට සිදුවූ බවට චෝදනා කරමින්.

මාකොළ – සපුගස්කන්ද ප්‍රදේශයේ එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිසක් දුෂ්කරතාවයට පත් වුණේ එන්නත් ප්‍රමාණවත්ව නොතිබීම හේතුවෙන්.

මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපීය රටවල සහ ඉන්දීය සාගර කලාපීය දූපත්වල කොරෝනා වෛරසය කළමනාකරණය කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නව යෝජනා මාලාවට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ඇතුලු සාක් කලාපයේ රටවල්, මුරුසිය සහ ෂීසෙල්ස් රාජ්‍යයන් අනුමැතිය පළ කර තිබෙනවා.

ඒ, කොරෝනා කළමනාකරණය සම්බන්ධයෙන් අත්දැකීම් සහ ඉදිරි ක්‍රියාවලිය පිළිබදව අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාව, මාලදිවයින, පාකිස්තානය, බංග්ලාදේශ, නේපාලය, ඇෆ්ගනිස්ථානය, භූතානය, මුරුසි දිවයින සහ සී – ෂෙල්ස් යන රටවල සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවකදියි.

ඒ යටතේ මෙම කලාපයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් සඳහා කලාපය තුළ ගමන් කිරීමට නව වීසා ක්‍රමයක් ඇති කිරීමට ද යෝජනා කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

මේ අතර අද (20) දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 257 අලුතින් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 79,194 ලෙසයි.

එමෙන්ම, අද (20) තවත් 890 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 73,456 ක් දක්වා ඉහළ ගියා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 271 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 79,465 ක්.

අද (20) දිනයේ මේ දක්වා ආසාදිතයන් 528 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++++

(20.02.2021 – 21:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 2 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 435 ක්.

මියගොස් ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ තිහාරිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

කුරුවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මහරගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 19 වනදා මරණයට පත්වී තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ ශ්වසන පද්ධතිය අක්‍රිය වීම ලේ විෂවීම කොවිඩ් නිව්මෝනියාව සහ පිළිකා රෝගී තත්වයක්.

තිහාරිය ප්‍රදේශයේ පදිංචි පුද්දගලයා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳූනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුණා.

එහිදී අද (20) මරණයට පත්වී ඇති ඔහුගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාවයි ෴

++++++++++++++++++++

(21.02.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 80,000 ට ආසන්න වී තිබෙනවා.

ඊයේ (20) දිනයේ කොරෝනා ආසාදිතයන් 543 දෙනෙකු වාර්තා වූ අතර, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 79,480 ක් ලෙසයි.

මේ අතර, ඊයේ (20) දිනයේදීත් කොරෝනා මරණ දෙකක් (2) මෙරටින් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ මරණ දෙක (2) කුරුවිට ප්‍රදේශයෙන් සහ තිහාරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, ඔවුන් 66 හැවිරිදි සහ 78 හැවිරිදි පිරිමි පුද්ගලයින්.

එසේම, කොරෝනා එන්නත් ලබාදීම තවදුරටත් අඛන්ඩව සිදුකෙරෙන අතර, බන්ධනාගාර නිලධාරීන් සඳහා එන්නත් ලබාදීම අද (21) සිට යළි ආරම්භ කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව අගුණකොලපැලැස්ස, වීරවිල සහ මාතර බන්ධනාගාරවල නිලධාරීන් දහසකට (1000) පමණ අද (21) සහ හෙට (22) යන දින දෙක (2) තුළදී කොරෝනා එන්නත් ලබාදීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(21.02.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අද (21) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 ක කාලය තුලදී ගුවන් යානා 22 ක මෙහෙයුම් කටයුතු සිදුකරමින් ගුවන් මගීන් 1504 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබෙනවා.

මෙම කාලසීමාව තුල ගුවන් යානා 12 කින් මගීන් 943 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි ගුවන්තොටුපල බලධාරින් සඳහන් කළේ.

එසේ පැමිණි ගුවන් මගීන් අතර, ඕමානයේ මස්කට් සිට 96 දෙනෙකු, සෞදි අරාබියේ සිට 75 දෙනෙකු සහ දෝහා සිට පැමිණි 79 දෙනෙකු ද වනවා.

මීට අමතරව, මෙම කාලසීමාව තුලදී ගුවන් මගීන් 561 දෙනෙකු ගුවන් යානා 10 කින් කටුනායක ගුවන්තොටුපලෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *