දෙවනගල වනසන්න දෙවැනි වරටත් ඇවිත්… ඓතිහාසික උරුමය දෙවනත් කරන්න සුදානම් ….!

දෙවනගල වනසන්න දෙවැනි වරටත් ඇවිත්… ඓතිහාසික උරුමය දෙවනත් කරන්න සුදානම් ….!

*********************************************

දෙවනගල වනසන්න දෙවැනි වරටත් ඇවිත්… ඓතිහාසික උරුමය දෙවනත් කරන්න සුදානම් ….!

(21.02.2021 – divaina.com)

මෑත කාලය වන විට ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයන් ඉතාමත් ශෝචනීය ඉරණමකට ලක්වී තිබේ. උතුර සහ නැගෙනනහිර මෙන්ම රටේ විවිධ තැන්වල පවතින අගනා වටිනාකම් සහිත සිද්ධස්ථාන ඩෝසරයට අසුවී තිබේ. අනෙක් පැත්තෙන් එවැනි ඉඩම් මුස්ලිම් අන්තවාදීන්ට සහ දෙමළ කෝවිල්වල බලපෑමට නතුවී තිබේ. මෙම ප‍්‍රශ්න පසුගිය යහපාලන රජය කාලයේ දී බෙහෙවින්ම උත්සන්න විය. වත්මන් රජය පත් වූ පසු මෙම ප‍්‍රශ්න නිරාකරණය කරලීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්ද පත්කරන ලදහ. මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ මඩකලපුව ප‍්‍රදේශයේ විශේෂ ගවේෂණයක් සහ මැණුමක් සිදු වෙයි. කූරගල, දෙවනගල සහ මුහුදු මහා විහාරය පිළිබඳ චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් පත් කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ දී ද සඳහන් කර තිබේ. දැනට මේ ස්ථාන තුනේම පවතින මුස්ලිම් ග‍්‍රහණයන් සම්පූර්ණ වශයෙන් අවසන් වී ගැටලු නිරාකරණය වී නොමැත.

මෙම ලිපියෙන් සාකච්ඡා කරලීමට බලාපොරොත්තු වන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාවනැල්ල අසල පවතින ඓතිහාසික දෙවනගල විහාරගමේ පවතින ඉඩකඩම් සම්බන්ධව පවතින ගැටලු පිළිබඳවයි. දෙවනගල යනු උඩරට රාජධානිය ස්ථාවර කිරීමට මූල්වූ පූජ්‍ය දෙවනගල රතනාලංකාර නම් යතිවරයන් වහන්සේ වැඩ සිටි අසිරිමත් පුදබිමකි. මෙම පුදබිම විහාරගම් දේවාලගම් පනත යටතේ පාලනය වන මල්වතු මහාවිහාරයට අයත් පූජ්‍ය ස්ථානයකි.

දෙවනගල පර්වත මස්තකයේ පවතින ගල් ගොඩනැගිල්ල පැරණි සූර්ය දේවාලයක් ලෙසට දැක්වේ. මෙම ඉදිකිරීමට පහළින් උඩ පමුණුව පාරට වැටෙන පඩිපෙළේ මදක් දුර යන විට පොලොන්නරු යුගයට අයත් සෙල් ලිපියක් හමුවෙයි. පොළොන්නරුව ජයගත් පළමුවැනි පරාක‍්‍රමබාහු රජතුමා විසින් කෙටවූ එම සෙල් ලිපිය වටේ ගසා තිබූ යකඩ වැට කලකදී අන්තවාදීන් කඩා දමා තිබුණි. සෙල් ලිපිය මත ගඩොල්වලින් හූරා එයට හානි කරන්නට ද මුසල්මානුවන් කළ උත්සාහයද ප‍්‍රකට වෙයි. අනෙක් සෙල් ලිපියට ඇසිඩ් වත්කර තිබුණි. ‘කිත් නුවර ගල් නම් සෙනෙවියකු බුරුමයේ රාමඤ්ඤ රට කුසුමිය නගරය ජයගෙන එහි රජ කරමින් සිටි අහංකාර අලෞංසිතු රජු දමනය කොට කරන ලද දස්කම සඳහා උඩ පමුණුව පල්ලෙ පමුණුව සහ ලබුටුව ආදී ගම්වලින් අමුනු පණස් දෙකක ඉඩ කඩම් නින්දගම් කොට පවරාදීම’ පිණිස මේ සන්නස් කොටවා තිබේ. පූජ්‍ය කොත්මලේ අමරවංශ හිමියන්ගේ ලක්දිව සෙල් ලිපි ග‍්‍රන්ථයේ මේ සෙල්ලිපි පාඨයන් අඩංගු කර ඇත. නමුත් මේ සෙල් ලිපි පාඨවල සඳහන් ඉඩකඩම් බොහොමයක් අද විහාර සන්තකයේ නොමැත.

1941 වර්ෂයේ දෙසැම්බර් දොළොස් (12) වැනිදා නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයක් මගින් දෙවනගල විහාර සන්තක ප‍්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවට ඇතුළත් කර ඇත. නමුත් පෙර සඳහන් කරන ලද රජවරුන් පූජා කරන ලද ගම් බිම් සහිත සම්පූර්ණ විහාරගම ඇතුළත් බිම් මැනුම සකස් කර ඇත්තේ 1876 වසරේ දීය. කැකිරිගොඩ ලියන රාළ නැමැත්තෙක් හේන් කෙටීම සඳහා දෙවනගල විහාරස්ථානයෙන් අවසර ලබාගෙන ගල පාමුළ කොටස භුක්ති විඳ තිබේ. ඒ අනුව ගල පාමුළ කැලේ කොටා හේන් පැල් ඇටවිණ. කලක් යද්දී ස්වාමීන් වහන්සේ අපවත් වූ පසු මේ ඉඩම්වලට බලපත‍්‍ර ලබාගත් ඔවුහු ස්ථිර නිවාස ද ඉදිකළහ. අනතුරව වරින් වර රුපියල් එකසිය පනහක් (150) වැනි සුළු මුදලකට මේ ඉඩකඩම් මුස්ලිම් පිරිසකට විකුණා දමා ඇත. මේ වන විට ගල පාමුළ මුස්ලිම් ජනතාවට අයත් නිවාස, වෙළෙඳ ව්‍යාපාර මෙන්ම පල්ලිද ඉදිවී අවසන්ය. ගල පාමුළ විහාරස්ථානයට පිටුපසින් තවත් මුස්ලිම් ඉදිකිරීම් විසි දෙකක් (22) පමණ වාර්තා වේ.

කලක් මෙම විහාරස්ථානය ආරාජිකව පැවතුණි. නීතිමය කටයුතු නිසා මුස්ලිම් ජනතාවගේ ඉඩම් ආක‍්‍රමණයන්හි සීමාවක් නොමැති විය. මේ වන විට පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ දෙවනගල විහාරස්ථානයේ අධිපතීත්වය උසුලයි. උන්වහන්සේ මෙහි වැඩම කළදා පටන් මෙම ඉඩම් ආක‍්‍රමණයන් වළක්වා ගැනීමට කළ මෙහෙයුම් නිසා රජයේ අවධානය යොමුවිණ. මීට ප‍්‍රථම අවස්ථා ගණනාවකදීම දෙවනගල පර්වතය මැන පුරාවිද්‍යා මායිම් කණු සිටුවීමට උත්සාහ කරනු ලැබිණ. 2009 දී පමණ සපුරගමු ආණ්ඩුකාරවරයාව සිටි ජානක ප‍්‍රියන්ත බණ්ඩාර මහතාගේ මැදිහත් වීමෙන්ද උත්සාහක් දරණු ලැබිණ. නමුත් මුස්ලිම් පිරිසට හිතවත් ආතාවුද සෙනෙවිරත්න වැනි ඇමැතිවරුන් මැදිහත්ව ඒ වෑයම් පසෙකට කර තිබුණි. මෙවැනි බාධාකිරීම් මධ්‍යයේ මුස්ලිම් පිරිස දිනෙන් දින ඉඩම් අල්වා ගන්නටත් පර්වතය අසල ඉදිකිරීම් කරන්නටත් වීම බරපතළ අභියෝගයක් විය. වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ නැඟූ හඬ මාධ්‍ය මගින් ඉස්මතු වීම නිසා මේ වන විට අදියර කීපයකින් මැනුම් කටයුතු සිදුකරමින් තිබේ. ඒ අනුව විහාරගමට අයත් අක්කර අසූපහක (85) පමණ ඉඩමක වපසරිය මේ වන විට මැන වෙන් කර තිබේ.

පෙර සඳහන් කළ මුස්ලිම් නිවාස 22 ක් පවතින්නේ මේ කොටස තුළය. මැනීමෙන් පසු මායිම් කණු ගලවා වීසි කරන්නට ඔවුන් උත්සාහ ගෙන තිබේ. මේවා නැවැත්වීමටත් විනාශකාරී ක‍්‍රියා කරන මුස්ලිම් කලහකාරීන් අත්අඩංගුවට ගැනීමටත් පියවර ගැනීම ඉතා ප‍්‍රමාදය. මේ නිසා නීතියට හිස නොනමන හිතුවක්කාරයන් පිරිසකට රැකවරණය ලැබී තිබේ.

පුරාණ විහාරගම් නීතිය අනුවද වැඩ වසම් ආඥා පනත අනුවද කෙතරම් කාලයක් වුවද විහාරගමක බදු වශයෙන් හෝ වෙනත් ක‍්‍රමයකින් ඉදිකිරීම් පවත්වා ගෙන යනු ලබන පුද්ගලයකුට අයිතිය හිමි වන්නේ නැත. සැලව රජ මහා විහර සන්තක දේපළ නිරවුල් කරලීමේ දී මෙම නීතිමය තර්කයන් පෙරට ගැනීම නිසා 2016 වසරේ දී එම රජ මහා විහාරයට අයත් ඉඩකඩම් නිරවුල් විය. එසේ තිබියදී ‘දාසෙන් පව්ව’ නොහෙත් දෙවනගල ගල පමණක් පුරාවිද්‍යා රක්ෂිතයක් කරලීමෙන් සෑහීමකට පත්වීමට අපට නුපුළුවන. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට මේ සම්බන්ධව බරපතළ වගකීමක් පැවරී ඇත. පුරාවිද්‍යා ස්මාරක වශයෙන් සැලකෙන දෙවනගල පර්වත මස්තකයේ පිළිමගෙය ඇතුළු දේ ආරකෂිත කරන අතරවාරයේ ඓතිහාසික දෙවනගල විහාරගම් දේපළ නිරවුල් කර දීමේ වගකීම ඔවුන්ට කිසි ලෙසකින් වත් පැහැර හැරිය නොහැකිය. මේ කාලයේ බෞද්ධ ජනතාව විසින් ප‍්‍රශ්න කරනු ලබන්නේ මහාවිහාරය මගින් හෝ දළදා මාළිගය මගින් හෝ බදු දෙන ලද ඇතැම් ඉඩකඩම් සම්බන්ධව පවතින ප‍්‍රශ්නයන්ය. මහනුවර මීනක්කම් පල්ලිය එවැන්නකි. විහාරගමක බදු ඉඩමක කිසි ලෙසකින් වත් අන්‍යාගමික පල්ලියක් හෝ යාඥා මධ්‍යස්ථානයක් සෑදීම පනතට අනුව නීතියෙන් තහනම්ය. නමුත් මහනුවර අවට මෙන්ම දෙවනගලද සිදුව ඇත්තේ එයයි. මේවා නීතියට අනුව නිදහස් කරලීම වෙනුවට අධිකරණ ඇමැතිවරයා උත්සාහ කරනුයේ විහාරගම් දේවාලගම් පනත අහෝසි කරලීමට පිඹුරුපත් සැකසීමයි. මෙයට ප‍්‍රධාන හේතුව මෙරට විහාරගම් රාශියකම බදු පදනමින් පසුවන්නේ මුස්ලිම් ජනතාව බැවිනි.

අතීතයේ දී නම් මේ රටේ පාරම්පරික උරුමකරුවන් හට පීඩා කරන දමිළ ජනතාව ඇතුළු විදේශිකයන් මාවටු තොටින් පිටුවහල් කළහ. එසේත් නැතිනම් කලබලකාරී විදේශිකයන් හට ඌලියම් නම් බද්දක් පණවා පාලනය කළහ. පාලකයන්ගේ වගකීම විය යුත්තේ දෙවනගල කෝලාහලයන් වහා සංසිඳවීමට ක‍්‍රියාකිරීමයි. ජිනීවා සැසිවාර පැමිණෙන නිසා හෝ පකිස්ථාන් අගමැති පැමිණෙන නිසා හෝ මේ ප‍්‍රශ්න කල් දැමීම ඥාණාන්විත නොවේ. මාසයකට වරක් මහා සංඝ රත්නය සමග සතුටු සාමිචියේ යෙදී සිටිනවා මෙන්ම මහාවිහාරවලට පැමිණ මෙවැනි ප‍්‍රශ්න විසඳීම කාලෝචිත බව ජනාධිපතිවරයා තේරුම්ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

***************************************

ඉස්‌ලාම් සංවිධාන 43 ක්‌ තහනම් ?

(21.02.2021 – divaina.com)

අන්තවාදී සංවිධාන හතළිස් තුනක් (43) තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ.

එම සංවිධාන අතරට ‘සමස්ත ලංකා සලෆි කවුන්සලය’, ‘ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත්’, ‘සමස්ත ලංකා තව්හිද් ජමාත්’ ඇතුළු සංවිධාන ගණනාවක්ම ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බුද්ධි අංශ මගින් ලබාදී ඇති තොරතුරු සහ වාර්තා පදනම් කරගනිමින් මෙම තහනම් කිරීම් සිදු කිරීමට නියමිතය.

එම සංවිධානය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂක අංශ සිය අවධානය යොමුකර ඇති අතර ඒ මඟින් සිදුවන අන්තවාදී ඉගැන්වීම් සහ මතවාද ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව ඒ මගින් පෙන්වා දී තිබේ.

සිරිමන්ත රත්නසේකර

***************************************

වීරවංශාභිධානය

(21.02.2021 – divaina.com කතුවැකිය)

ශ‍්‍රී ලංකාව මේ වන විට කොරෝනා රෝගය නිසා මහත් සේ රෝගීව ආර්ථික අර්බුදය නමැති ළිඳේ පතුලටම බැස ගල් කැට අහුලමින් සිටී. මෙය මේ රටේ ඉතිහාසය තුළ පහළ වූ නරකම දේශපාලන යුගයයි. අප දන්නා පරිදි ලංකා ඉතිහාසයේ දරුණුම දේශපාලන කුණාටු හමන ලද්දේ 2015 දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුව හරහා ය. එම ආණ්ඩුව අතට අසුවන හැම දේශපාලන විරුද්ධවාදියෙක්ම හිරේ දැමීය. ඔවුන්ට ඇතුළට දමා ගැනීමට බැරි වූයේ ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ සහ ශිරන්ති රාජපක්‍ෂ පමණි. සමහර විට මෙයට හේතු වන්නට ඇත්තේ ගෝඨාභය සහ ශිරන්ති කෙරෙහි ජනාධිපති මෛත‍්‍රී තුළ වූ හිතවත්කම විය යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේදී මෛත‍්‍රිපාල සිරිසේනට අගමැති පදවිය දිය යුතුය යන අදහස වෙනුවෙන් ගෝඨාභය සහ ශිරන්ති තරයේ පෙනී සිටියාහ. කෙසේ වුවද මහින්දගේ ආණ්ඩුව පැරදුණු පසු එම ආණ්ඩුවේ සිටි බලවන්තයින් වැඩිදෙනා හිරභාරයට ගන්නා ලදී. මෙවැනි සිරභාරයට ගැනීම් ගැන මෛත‍්‍රී ජනාධිපතිතුමා ඇතැම් විට දැනගත්තේ හයේ ගුවන්විදුලි ප‍්‍රවෘත්තිවලට සවන් දීමෙනි. නැතහොත් පසුදා පුවත්පත් කියවීමෙනි. යහපාලන ආණ්ඩුව තුළ ආණ්ඩු දෙකක් තිබිණ. ඉන් පළමුවැන්න ජනාධිපති මෛත‍්‍රීගේ ආණ්ඩුවය. දෙවැන්න යූ. එන්. පී. ආණ්ඩුවය. ඊට අමතරව තවත් සුළු සුළු දේශපාලන කට්ටිය වෙන වෙනම පුංචි පුංචි ආණ්ඩු පවත්වාගෙන ගියහ.

කාල් මාක්ස් වරක් කියූ පරිදි ඉතිහාසය හැමවිටම පුනරුච්චාරණය වෙයි. පළමුව එය ඛේදජනක ජවනිකාවක ස්වරූපය ගනියි. ඊළඟ මොහොතේදී එම ජවනිකාවම හාස්‍ය ජවනිකාවක් ලෙස නිරූපණය වේ. ගිය ආණ්ඩුවද මේ ආණ්ඩුව තුළ පුනරුච්චාරණය වෙමින් පවතින අතර මෙවර එය හාස්‍යජනකය. ඒ මෙසේය; ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පොහොට්ටු පක්ෂයේ ඉහළම තැන ලබාදිය යුතු බව විමල් වීරවංශ පසුගියදා පැවසීය. ඔහු විසින් මෙය කියන ලද්දේ ෆන් එකට ද නොඑසේ නම් ජනාධිපතිතුමා සමග තිබෙන ෆිට් එකටද යන්න තවමත් හෙළිවී නැත. ලංකා ඉතිහාසය විසින් 1980න් පසු පහල කරන ලද දෙවන තාර්කික කථිකයා වූ විමල් වීරවංශ (පළමුවැන්නා රෝහණ විජේවීරය) ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞී රාජපක්ෂවරුන් වෙත පැමිණි දේශපාලන සහෘදයෙකි. 2015 දී මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවන් විසින් නිපදවන ලද මහින්ද සුළෙඟ් ප‍්‍රමුඛ සම්පත් දායකයා වූ විමල් වීරවංශ, කට නැමති ඉන්ද්‍රියේ ප‍්‍රයෝජනය ආහාර ගැනීමට පමණක් සීමා නොවන බවට ඇති යාවජීව නිදර්ශනයකි.

විමල්ගේ කට නිසා මහින්ද සුළඟ මුලින්ම කුණාටුවක් බවටත් පසුව සුළි සුළඟක් බවටත් ඊළඟට ටෝනාඩෝවක් බවටත් පත්විය. මේ බව හොඳටම දන්නෝ මහින්ද සුළෙඟ් රැස්වීම්වලට සහභාගි වූ මහා ජනතාවත්, එම සුළෙඟ් සෙසු සම්පත් දායකයන් සිව්දෙනාත්ය. ගෝඨාභයට පොහොට්ටු පක්ෂයේ නායකකම දිය යුතු බව වීරවංශ විසින් ප‍්‍රකාශයට පත්කරන ලද අවස්ථාවේදී පොහොට්ටු පක්ෂයේ ලේකම් තැන්පත් සාගර කාරියවසම් නමැති අය බලවත් සේ කුලප්පු වී අං සහ ගෙජ්ජි සොලවමින් විමල්ට පහරදෙන අතර ලාඩම්වලින් පොළොව හාරන්නට විය. මේ ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක ස්වරූපයෙනි. සංජීව එදිරිමාන්න නමැත්තෙකු ද මේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවට කඩා පැන විමල්ට පහර දෙන්නට පටන් ගත් අතර එම හාදයා මීට කලකට පෙර ටී වී එකේ කතා කරන ආධුනිකයකු පමණක් බව අපට මතකය. සාගර කාරියවසම් යනු ඡන්දය නොඉල්ලා පාර්ලිමේන්තු ගිය පොහොට්ටු මන්ත‍්‍රී කෙනෙකි. මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ මතයට අනුව හෙතෙම පිං මන්ත‍්‍රී කෙනෙකි. එහෙත් මෙහිදී අප, අපේ නායක හාමුදුරුවන්ට විරුද්ධය. පිං මන්ත‍්‍රීලා නැති අතර, සිටින්නේ පිං ගොනුන් පමණක් ය. මේ අතර මහින්ද පතිරණ නමැති ගොබ්බයෙක් විමල් වීරවංශ යනු රාජපක්ෂලාගේ වැඩ නිසා බලයට පැමිණි පිං ඇමැති කෙනකු බව කියා තිබේ. ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිගේ නම ද මහින්ද පතිරණය. විමල්ට පිං ඇමැති කී ගොබ්බයා එකී මහින්ද පතිරණ නොවන බව අපට විශ්වාසය. මේ සියලූ කරුණු අතර විමල්ට පහරදෙන අය පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බව උදය ගම්මන්පිල විශ්වාස කරයි. එසේ වුවත් විමල්ට ගහන කට්ටියට බැසිල් නායකත්වය දෙන බව අපි නම් විශ්වාස නොකරමු.

විමල් වීරවංශ යනු ජාතික බලවේගයකි. රට දැය සමය වෙනුවෙන් ගිනි ගොඩක් උඩ ඉඳගැනීමට වුවද ඔහු සූදානම් බව පෙනේ. දැනට මේ රටේ විපක්ෂයක් නැත. තිබෙන්නේ ආණ්ඩු පක්ෂයක් පමණි. විමල් ඇපයට තබා මේ ආණ්ඩුව කඩා ඉහිරවීමට කිසියම් හරක් රැළක් උත්සහ කරන බව පෙනේ. මේ හරක් රැළ මෙල්ල කිරීම මහින්ද රාජපක්ෂට භාරය. උන් හරක් ගාලට දක්කාගෙන ගොස් තණ සහ පුන්නක්කු ලබාදීමත් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ යුතුකමය ෴

***************************************

අපි විමල්ගේ කුලී හේවායො නෙවෙයි; සාගර සමාව ගන්න – ජානකී අල්විස් – Talk with Sudaththa (17.02.2021)

***************************************

හරි වෙලාවට හරි තීරණය ගන්න සූදානම් වෙන්න.. – ඇමති විමල් වීරවංශ කියයි

(21.02.2021 – 13:20 +0530 – lankacnews.com)

ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ දී සහ සබඳතා පවත්වාගෙන යාමේ දී බැංකු කටයුතු කරන ආකාරය, ඔවුන්ගේ ආකල්ප හා මානසිකත්වය මෙරට ආර්ථික දියුණුවට අඩ තබන මට්ටමේ පවතින බවත් එම තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගය ජය ගනිමින් දියුණු ‘ව්‍යවසායකත්ව සංස්කෘතියක්’ ගොඩනැගීමට කැප වන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

පසුගියදා තංගල්ල ගෝල්ඩන් පර්ල් හෝටලයේ දී පැවැති ‘දකුණු පළාත් ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය – 2020’ ට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සිය දේශනයේ දී ඒ මහතා එසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය :

“කොරෝනා වසංගතය හේතුවෙන් සාමාන්‍ය දිවි පැවැත්මට එල්ල වී ඇති අභියෝග මැද හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව පවත්වනු ලබන ‘දකුණු පළාත් ව්‍යසායක සම්මාන ප්‍රදානෝත්සවය 2020’ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ලැබුණු ඇරයුම අනුව අද තංගල්ලට පැමිණියේ ඒ ව්‍යවසායකයා දිරිගැන්වීමේ වගකීමට රුකුලක් වන නිසයි. දකුණු පළාත කියන්නේ මේ රටේ ආර්ථික බලවතුන් බිහිවුණු පළාතක්. රට පුරා තිබෙන ‘මාතර බත් කඩ’, ඕනෑම දිස්ත්‍රික්කයක වෙළඳ සංගම් ගත්තොත් ඒවායේ සභාපතිවරු, ලේකම්වරු බොහෝ විට දකුණේ අය වීම අපට කියන්නේ දකුණේ මිනිසා තුළ තිබෙන සුවිශේෂ ව්‍යවසායකමය, කර්මාන්තමය හැකියාවයි. ඒ නිසා දකුණු පළාතේ නූතන පරපුර ද අපේ රටේ ව්‍යවසායකත්වයේ බලසම්පන්න කොටසක් අත්පත් කරගත යුතුව තිබෙනවා.

‘අභියෝග ඉදිරියේ දණින් නොවැටී උත්තර හොයන මිනිස්සු’

අභියෝග ඉදිරියේ දණින් නොවැටී උත්තර හොයන මිනිස්සුන්ට විතරයි සාර්ථකත්වය කරා ගමන් කිරීමට පුළුවන්. ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනය – 2021’ ට ඉතාම හොඳ දේශීය නිෂ්පාදනයක් ඉදිරිපත් කරපු තරුණයකුගෙන් මා ඔහු පිළිබඳ විස්තර විමසුවා. ඔහු ඉතාම මෑතකදී විශ්වවිද්‍යාලයෙන් පිට වූ තරුණයෙක්. මම ඇහුවා ‘උපාධිධාරීන්ට රජයේ රැකියා දෙනවනෙ ඇයි ඉල්ලුම් නොකළේ?’ කියා. ඔහු පැවසුවා ‘මට තියෙන්නෙ උපාධිය අරගෙන මගේ රස්සාව හොයාගන්න එක නොවෙයි. මම අනෙක් අයට රැකියා උපද්දවන්න පුළුවන් වැඩ කොටසක් කළ යුතුයි’ කියා. අපට උවමනා එහෙම හිතන මිනිස්සුයි. ‘මම ව්‍යවසායකයෙකු වෙනවා’ කියන අදහස පාසලේ දී දරුවන්ගේ ඔලුවේ පැල කරන්නේ නැහැ. ඔවුන්ගෙන් විමසුවොත් කියන්නේ ‘මම වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු, නීතිඥයකු වෙනවා’ කියන එකයි. පාසලේදී අවුරුද්දකට වතාවක් පවත්වන ‘පොළ’ විතරයි ව්‍යවසායකත්වය පුහුණු කරන එකම තැන. ‘ව්‍යවසායකත්ව සංස්කෘතියක්, කර්මාන්ත කිරීමේ උණක්’ පාසල තුළ නිර්මාණය නොකර අපට රටක් හැටියට සාර්ථක ව්‍යවසායන්, කර්මාන්ත ගොඩනැගීමට අපහසුයි.

‘හරි වෙලාවට – හරි තීරණය ගැනීම’

අපි දියුණු යැයි සලකන රටවල පාසල්වල වාහනයක් කැඩුණාම හදාගන්න හැටිත් උගන්වනු ලබනවා. අධ්‍යාපනය කියන්නේ ප්‍රායෝගික අභියෝග ජයගැනීම සඳහා දරුවන් මෙහෙයවීම. එහෙම නැතිව ‘කටපාඩම් කරලා, මතකය ගබඩා කරගත්තු දැනුම වැඩියෙන් මතකයේ තිබෙන්නේ කාටද ?’ කියන එක නොවෙයි. මම පාසල් යන අවධියේ ජවිපෙ දේශපාලනය තෝරා ගත්තේ ඉතාමත් අවදානම් කාලයක් වූ 80 දශකයේ අග භාගයේදීයි. අපට අවදානම්වලට මුහුණ නොදී ඉදිරියට යන්න බැහැ ව්‍යාපාර කරන විට අපට පුළුවන් වෙන්න ඕනේ ‘හරි වෙලාවට – හරි තීරණය’ ගන්න. කොරෝනා වසංගතයේ මැද්දේ වුවත් සාර්ථක වූ ව්‍යාපාර තිබෙනවා. අලුතෙන් නිර්මාණය වන වෙළඳපොළ අවස්ථා අධ්‍යයනය කරමින්, සංවේදීව නිවැරදි තීරණ ගන්නා අයගේ ව්‍යාපාර ඥානය පුළුල් වෙනවා. සාර්ථක ගමනක් යෑමට හැකියාව ලැබෙනවා. මේ රටේ එවැනි ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය සෑම සහයෝගයක්ම රජයක් ලෙස ලබාදීමට අප සැමවිටම කටයුතු කරනවා.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මේ රටට අභයදානය රැගෙන ආ, ඒ වගේම මේ රටේ ඉතිහාස කතාව මේ රටේ සුජාත දූ පුතුන්ට වුවමනා ආකාරයට ලියනු ලැබූ නායකයා මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේ නායකත්වයෙන් අපි මේ රටේ දේශීයත්වයට පණ දෙන, දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරන යුගයක් අරඹා තිබෙනවා. ඒ පදනම මත ඔබ හරියට හිටගත්තොත් ලෝකය දිනන ව්‍යවසායකයන් බවට පත්වීමට හැකි වේවි. ඉවසීමෙන්, යම් යම් අභියෝග මතු වෙද්දී කලබල නොවී, තිරසාර මනසකින් යුක්තව කටයුතු කළොත් ඔබට ඉලක්කය කරා යාමට හැකි වේවි.

‘හොඳ හිතක් නැති බැංකු’

දකුණු පළාත තුළ පමණක් නොවෙයි, රටේම ව්‍යවසායකයන් බලගැන්වීමට අපි විසින් පියවර ගෙන තිබෙනවා. අපට අද හැකිව තිබෙනවා, බැංකු පොලී අනුපාතිකය තනි ඉලක්කමකට ගෙන ඒමට. පැවති යහපාලන ආණ්ඩුව කාලයේ එය ඉලක්කම් දෙකක අගයකයි තිබුණේ. ව්‍යාපාරිකයා බැංකු පොහොසත් කරනවා, බැංකු ව්‍යාපාරිකයාව සූරා කනවා. මුලදී ව්‍යාපාරිකයා බැංකු සොයාගෙන යනවා. ව්‍යාපාරය සාර්ථක වුණාමයි බැංකු, ව්‍යාපාරිකයා හොයාගෙන එන්නේ. එහෙම ඇවිත් ඒ ව්‍යාපාරිකයා මත අනවශ්‍ය ණයක් බලෙන් පටවනවා. ඒක ගෙවා ගන්න බැරි වුණාම අතදෙන බැංකු තිබෙන්නේ අල්පයයි. ‘සුහද හදක්’ තියෙනවා කිව්වාට බොහෝ බැංකුවලට හොඳ හිතක් නැහැ.

‘බැංකු හිතන විදිහ’

අපේ රටේ ආර්ථිකය ගොඩගන්න නම් මේ බැංකුවල හිතන විදිහ වෙනස් වෙන්න ඕනේ. ජපානය වැනි රටවල ව්‍යාපාරිකයන්ට ඉතාම අඩු පොලියට ණය දෙනවා. ව්‍යාපෘති වාර්තාවක් පමණයි එහිදී සලකා බලන්නේ. ව්‍යාපාරිකයා අමාරුවේ වැටුණෙත් උපදෙස් ලබා දීමටත් ඒ බැංකු මැදිහත් වෙනවා. අපේ රටේ බැංකු, ව්‍යාපාරිකයා අමාරුවේ වැටුණොත් ඇපයට තැබූ දේපළ ටික සින්නකර ගන්න විදිහ හිත හිතා ඉන්නවා මිසක් මැදිහත් වන්නේ නැහැ. ඒ මනුස්සයාව නැගිටුවා දිගු ගමනක් යන්න හිතන බැංකු මේ පොළොවේ නැහැ. කොරෝනා වසංගතය හේතුවෙන් 4% පොලියට කාරක ප්‍රාග්ධන ණය ලබාදීමට බැංකු සමග පැවති සාකච්ඡාවලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග මම ද සහභාගි වුණා. ඒකටත් මේ බැංකු එකඟ කරවා ගත්තේ බොහෝ අමාරුවෙන්.

‘කුඩා ව්‍යාපාරිකයන්ට ණය දෙන්න උනන්දු නැහැ’

ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් නොමැති නම් බැංකුවලට පවතින්න බැහැ. බැංකු, ණය දෙන්න කැමති ඉතා ඉහළ ව්‍යාපාරවලට. අවදානමක් අරගෙන කුඩා, කුඩා ව්‍යවසායකයන්ට ණය ලබා දෙන්න එතරම් උනන්දුවක් නැහැ. බැංකුවක් බිලියනයක ණයක් ඉහළ ව්‍යාපාරිකයෙකුට දුන්නොත් යන්න වෙන්නෙ ඔහු පිටුපස පමණයි. ඒ මුදල සිය දෙනෙකුට දුන්නොත් සියදෙනෙක් පිටිපස්සේ යන්න වෙනවා. ඒක ඇඟට අමාරු වැඩක්. මෙන්න මේ කියන බැංකුවල අලස මානසිකත්වය අපේ රටේ ආර්ථික දියුණුවට අඩයක් තබා තිබෙනවා. මේ බැංකුවල මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරගෙන යෑමත් අපේ ආණ්ඩුවට තිබෙන අභියෝගයක්. මෙවැනි අභියෝග ජයගෙන ඉදිරියට යාමට අපේ ආණ්ඩුව පියවර ගන්නවා.

අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කරමින්, මෙවැනි මූල්‍ය ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදු කරමින් තමයි අපට දියුණු ‘ව්‍යවසායකත්ව සංස්කෘතියක්’ ගොඩනැගිය හැක්කේ. ඉන්දියාව කියන්නේ දේශීය ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන් බලසම්පන්නව ගොඩනැඟු රටක්. ඉන්දියානු සිනමාපටවල අපි දකිනවා, ඉන්දියානු පොලිසිවලින් සහ රජයේ කන්තෝරුවලින් වැඩක් කරගෙන යන විට ‘ජය හේ ඉන්දියා’ කියා කියනවා. අපේ රටේ මොන රජයේ කන්තෝරුවේ ද එහෙම ‘ජයවේ ශ්‍රී ලංකා’ කියා කියන්නේ. ඉන්දියාවේ සිනමා කර්මාන්තය තමයි ඒ රටේ ආර්ථිකයේ අත්තිවාරම. ඉන්දීය සිනමාපටවලින් මොන දේ විවේචනය කළත් අවසානයේදී ‘භාරතය’ ට වටිනාකම දීලයි එය අවසන් වෙන්නේ. අපේ රටේ සිනමා කෘති අවසන් වෙන්නේ වටිනාකම දීම කෙසේ වෙතත් ලංකාවටත් සමච්චල් කරලයි. ඒ සංස්කෘතික පදනම තමයි ඉන්දියාවේ ව්‍යවසායකයා, ස්වදේශිකයා බලගන්වමින් ඔවුනට ජීවය ලබා දෙන්නේ. එවැනි දේවල් දිහා බලමින් අපි අපේ අඩුපාඩු සකස් කරගත යුතුව තිබෙනවා. අපට බුදුදහම දායාද කළේ අපේ අසල්වැසි ඉන්දියාව විසිනුයි. අපි සියවස් ගණනාවක් තිස්සේ ඒ දහම ආරක්ෂා කරනවා. ඒ විශිෂ්ටතම දහම තමයි මුලින්ම ලොවට ව්‍යවසායකත්වය ගැන දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ධාර්මිකව උපයා ගන්නා දේ කළමනාකරණය කර ගන්නා ආකාරය. මේ පිළිබඳව හරියට අවබෝධ කර ගතහොත් අපට ‘කළ නොහැක්කක් නොමැත’ යන විශ්වාසයෙන් ඉදිරියට යාමට හැකියි.”

මෙහිදී දකුණු පළාත් ව්‍යාපාරික කවයේ ප්‍රමුඛයන් අතර ‘විශිෂ්ටතම ව්‍යවසායකයා’ ලෙස එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලාවේ සභාපති එම්.ටී. අරුණ ද සිල්වා මහතා සම්මානයට පාත්‍ර විය. එසේම ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික් තුන නියෝජනය කරමින් ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයෝ 20 දෙනෙක් ද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපුල් ගලප්පත්ති, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ජී.ආර්. ඩිපින්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ගාල්ල, මාතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයන්හි සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *