කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනපති කියයි

කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනපති කියයි

*********************************************

කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනපති කියයි

(20.02.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

කැලෑ කැපීම සඳහා කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ගම සමඟ පිළිසඳර වැඩසටහනේ 11 වන අදියරට පුත්තලම – කරුවලගස්වැව – නෙළුම්වැව ප්‍රදේශයේදී අද (20) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

එහිදී ජනාධිපතිවරයා තබ්බෝව – මූරියාකුලම කණිෂ්ඨ විද්‍යාලයට පැමිණ සිසුන් සමඟ පිළිසඳරකද නිරත වුණා.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බවයි.

වගකිවයුතු නිලධාරීන්ගේ නිසි දායකත්වය නොලැබීම ඵලදායක ව්‍යාපෘති ප්‍රමාදයට සහ ඒවායේ ප්‍රතිලාභ ජනතාවට අහිමිවීමට මුලික හේතුව බව ‘ගම සමග පිළිසඳර’ ආරම්භයේ පටන් තමා අවබෝධ කරගත් බවයි ඔහු කියාසිටියේ.

නිලධාරීන්, ඒ ඒ ආයතන සහ ජනතා නියෝජිතයන් අතර කඹ ඇදීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී වන ජීවි, වන සංරක්ෂණ, පරිසර, මාර්ග ඇතුළු සියලු ප්‍රධාන ආයතනවල වගකිවයුතු නිලධාරීන් සාමූහිකව තීරණවලට එළැඹීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඉඩම් පරිහරණයේ නිසි සැලැස්මක් නොමැතිවීම ජනතාව අතින් වූ වරදක් නොවන අතර ඉඩම් ප්‍රශ්න ඇතුළු බොහෝ ග්‍රාමීය ජන ගැටළුවලට ස්ථීර විසඳුම් දීමේදී නිලධාරීන් භූමියට ගොස් සැබෑ තත්ත්වය සියැසින් දැක තීරණ ගැනීම ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ජනතාවගේ පැත්තේ සිට ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ඇතැම් පිරිස් වැරදි අර්ථ කථන ලබාදෙන අතර එමගින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටගැසීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

” ‘ගම සමග පිළිසඳර’ සඳහා තෝරා ගන්නේ දිවයිනේ දිළිඳුතම සහ දුෂ්කරතම ගම්මානයක්. මේ ගම්වල ජිවත්වන ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළු සමූහයකින් පීඩා විඳිති. නිලධාරීන්ගේ හෝ වෙනත් පාර්ශවයක හෝ කෝණයෙන් පමණක් බලා මේ ගැටළු විසඳීමට නොහැකිය. එබැවින් නිලධාරීන් සහ ගැමියන් එකිනෙකා සමග මුණගැස්වීමෙන් නිවැරදි තීරණ ගැනීමට පිළිවන” පලීගම පිළිසඳර භූමියට රැස්ව සිටී ජනතාව අමතමින් ජනාධිපතිවරයා කියාසිටියා ෴

++++++++++++++

***************************************

(20.02.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු (2) මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ‘මොරටුවෙ බම්බා’ යන අන්වර්ථනාමයෙන් හැදින්වෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙකුද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

අගුලාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද බුද්ධි තොරතුරකට අනුව අඟුලාන – මෝදර වත්ත ප්‍රදේශයේ මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් පරීක්ෂා කළ පොලීසිය 29 හැවිරිදි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුගෙන් ලබාගත් තොරතුරු මත මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පොලීසිය විසින් පරීක්ෂා කළා.

එම අවස්ථාවේ ‘මොරටුවෙ බම්බා’ නැමති 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනුනු අතර, ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර ග්‍රෑම් 320 ක් බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

(20.02.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුලත් කරුණු අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය කමිටුව තමන්ට පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කටුවපිටිය ජනතාව අද (20) සංවිධාන කර තිබූ විරෝධතාවක් අතරතුරදියි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් ඊයේ (19) පත් කළ අතර, අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන එහි සෙසු සාමාජිකයින්.

අදාළ වාර්තා අධ්‍යයනය කර ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මස 15 වනදා වනවිට තමන්ට භාරදෙන ලෙසයි ජනාධිපතිවරයා අදාළ කමිටුවට උපදෙස් ලබාදී ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු ඇතුලු සාමාජිකයින් පස් දෙනෙකු (5) ගෙන් සැදුම්ලත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවේ පසුගිය 01 වනදායි.

අනතුරුව එහි පිටපතක් තමන් වෙත භාරදෙන ලෙස කාදිනල් හිමිපාණන් විසින් ඉල්ලීමක් කළ අතර, අදාළ කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කළේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත් අද (20) කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්වුණා.

අනතුරුව විරෝධතාව පැවති ස්ථානයට කාදිනල් හිමිපාණන් පැමිණීමත් සමග රැස්ව සිටි ජනතාව සිය ගැටළු සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා.

පසුව කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දේවස්ථානය තුළ සාකච්ඡාවක්ද පැවැත්වීමටයි කටයුතු කෙරුණේ ෴

***************************************

ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු.. – උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා

(19.02.2021 – 20:38 +0530 – truenews.lk)

තමන් වහන්සේ කැලෑව එළි පෙහෙළි කරන බව රටේ ප්‍රධාන පුරවැසියකු ලෙස ආරක්ෂක ලේකම්වරයා කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක හිමියෝ පැවසූහ.

ශාසන විරෝධී, ජාති විරෝධී කටයුතු නොකර ශාසනය ආරක්ෂ කිරීම වරදක් නම් සිවුරු හැරදමා එල්ලුම් ගසට වුවත් යෑමට තමා සූදානම් බවද ඒ හිමියෝ කීහ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක් කැලෑ එළි කරන බවට දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවැති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න කරන ලද ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

තමන් වහන්සේ කැලෑ කපා ඇත්නම් ඒ පිළිබඳව ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසද උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටිති.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“ත්‍රිකුණාමලේ ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාට කුටියක් ඉදිකළත් එම කටයුතු සිදු කරනු ලබන්නේ පරිසරය ආරක්ෂා වන පරිදියි. උපසම්පදා භික්ෂුවකට ගසකින් කොළයක් වත් කඩන්න අවසරයක් නොමැති ශාසනය තුළ ආරක්ෂක ලේකම්වරයා මෙවැනි චෝදනාවක් කරන්නේ කුමන පදනමක් තුළද, කාගේ අවශ්‍යතාවයකටද යන්න ගැටලුවක්.

මම ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. අපි අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ කටයුතු කරනු ලබන්නේ යම් වගකීමක් ඇතිවයි. උතුරු නැගෙනහිර පළාතේම විනාශවී යන පුරාවිද්‍යා නටඹුන් අන්තවාදී කල්ලිවලින් ආරක්ෂා කර ගැනීමට අපි විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එය භික්ෂූන් වහන්සේලා ලෙස යුතුකමක්.

ආරක්ෂක ලේකම් කියන්නේ රටේ වගකීමක් දරන ප්‍රධාන පුරවැසියෙක්. එතුමා මාධ්‍යයක් හරහා සොයා බැලීමකින් තොරව මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම කනගාටුවට කාරණයක්. එතුමා මේ සිදුකර තිබෙන්නේ සම්පූර්ණ අසත්‍යයක්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බොහෝ කැලෑ ප්‍රදේශ ආරක්ෂා වෙලා තියෙන්නේ අසිරිමලේ ආරණ්‍ය සේනාසනය නිසයි” ෴

***************************************

(20.02.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පාලන මිලට සහල් මිලදී ගැනීමට නොමැති බවත් එම මිල ගණන් වලට සහල් අලෙවි කිරීම නොහැකි බවත් පාරිභෝගිකයින් සහ වෙළදුන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, ඉදිරි වසර 3 ක කාලය සඳහා කැකුළු සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 100 ඉක්ම වීමට ඉඩ නොදෙන බවයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මඩකලපුවේ ඊයේ (19) පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ.

රජය විසින් මේ වන විට රතු සහ සුදු සම්බා මෙන්ම රතු හා සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 94 කටත්, රතු හා සුදු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 92 කටත්, රතු හා සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 89 ක මිලකටත් අලෙවි කිරීමටයි දැනුම් දී ඇත්තේ.

නමුත්, පාරිභෝගිකයින් චෝදනා කරන්නේ රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පාලන මිලට සහල් මිලදී ගැනීමට නොමැති බවයි ෴

***************************************

රිය අනතුරක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට තර්ජනයක්

(20.02.2021 – 18:08 +0530 – sinhala.adaderana.lk)

අද (20) අලුයම රත්නපුර – පානදුර මාර්ගයේ කිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් අසල මාර්ගයෙන් ඉවතට පැන මෝටර් රථයක් අනතුරට ලක්ව තිබේ.

එම අනතුරින් මෝටර් රථයට හා බෝක්කුවට හානි සිදුව තිබු අතර, ‘අද දෙරණ’ කලවාන ප්‍රාදේශීය වාර්තාකරු එම ස්ථානයේ අනතුර වාර්තා කිරීමට ගොස් සිටිය දී ඔහුගේ රාජකාරියට බාධා එල්ල විය.

එම අවස්ථාවේ දී අනතුරට ලක්ව තිබු මෝටර් රථයේ සිටි පුද්ගලයෙක් අප වාර්තාකරුට බැන වැදෙමින් කැමරාව උඳුරා ගැනීමට උත්සහ දරා තිබේ.

එම පුද්ගලයා හා පොර බැඳීමේ දී අප වාර්තාකරුගේ කැමරාවට සුළු හානි සිදුව ඇත.

එම ස්ථානයේ රාජකාරී කරමින් සිටි රථවාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට (2) තම අනන්‍යතාවය තහවුරු කර අදාළ අනතුර වීඩියෝ ගතකරමින් සිටිය දී අප මාධ්‍යවේදීයා මෙලෙස තර්ජනයකට ලක්ව තිබේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිරිඇල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දී මෝටර් රථය තුළ පුද්ගලයින් තිදෙනෙකු (3) සිට තිබේ.

අනතුර සම්බන්ධව කිරිඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අදාළ සිදුවීම පහතින් දැක්වේ :

***************************************

ඇමති බන්දුලගේ ‘රුපියල් පහේ සටන’ වී ගොවියා සහ සහල් කර්මාන්තය වනසනවා – ජාතික සංවිධාන එකමුතුව

(20.02.2021 – 14:02 +0530 – lankaleadnews.com)

ගොවියා වල පල්ලට ගියත් සහල් මිළ රුපියල් සියයට (100) අඩුවෙන් තැබිය යුතු බවත් ඕනෑවට වඩා කටයුතු කිරීමට උත්සහා කළහොත් ඉන්දියාවෙන් පොන්නි සම්බා රුපියල් 85 ට ආනයනය කර සහල් මාෆියාව නැති කරන බවටත් අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ අදහස් විමසා සිටියා.

එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ :

“බන්දුල ගුණවර්ධන ඇමති තුමා සම්බන්ධයෙන් අපි ඉතාම ආඩම්බර වෙනවා. හේතුව එතුමා තමයි වත්මන් ඇමති මණ්ඩලය තුළ සිටින එකම ලැජ්ජා බය නැති ඇමතිවරයා. එතුමාගේ සීනි ගැසට්, පොල් ගැසට්, බී ලූනු ගැසට්, සහල් ගැසට් ආදි වශයෙන් වන ගැසට් සියල්ලම මේ වන විට ඉතිහාසයේ කුණු ගොඩට එකතු වෙලා තියෙන්නේ. මිළ තීරණය කරන්නේ වෙලෙන්දෝ. බන්දුල ඇමති තුමා හිතනවා ගැසට් ගහලා බරපතල ආර්ථික සහ වෙළෙඳ පොළ ගැටළු විසඳන්න පුළුවන් කියල.

එතුමා සහල් මාෆියාවේ බලය බිඳිනවා කියලා කරන්නේ ගොවියාගේ බෙල්ල හිර කරන එක. ගොවියාට කිසිලෙසකින් රුපියල් පනහට (50) වැඩියෙන් රුපියලක්වත් ගෙවන්නේ නැහැ කියනවා. ඒ මිළට වී විකුණූ විට අක්කර දෙක හමාරකින් (2½) ලැබෙන ආදායම බෙදල බැලුවහම ගොවියට දිනකට ලැබෙන්නේ රුපියල් 600 යි. නමුත් වතු කම්කරුවෙකුට දිනකට රුපියල් 1000 ක් දෙන්න කියල අරගල කරණ අය මේ සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නේ නැහැ. මේ වේලාවේ ගොවියාට වී කිලෝ එකකට රුපියල් 60 ක් ගෙවල හාල් කිලෝ එක රුපියල් 105 ට 110 ට මේ රටේ මිනිස්සුන්ට කන්න බැරිනම් නුදුරු අනාගතයේදීම මේ රටේ මිනිස්සුන්ට කන්න වෙන්නේ පස්.” යනුවෙනි ෴

***************************************

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

(20.02.2021 – colombotoday.com)

ප්ලාස්ටික් නියාමනයට අදාළව අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව,

යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක කර තිබේ.

තවද යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම පාවිච්චි කිරීම තහනම් කර තිබේ.

(1) ශුද්ධ පරිමාව මි.ලී 20 ට / ශුද්ධ බර ග්‍රෑම් 20 ට සමාන හෝ ඊට අඩු සැෂේ (Sachet) (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිතා කිරීම සඳහා හැර)

(2) හුළං වලින් පිරවිය හැකි සෙල්ලම් බඩු (බැලුන්, බෝල, දිය මත පාවෙන/ පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර)

(3) ප්ලාස්ටික් කූර (Stem) සහිත කොට්න් බඩ්ස් (Cotton Buds) (වෛද්‍ය / සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර) පාවිච්චි කිරීම තහනම් වේ.

මේ අතර අංක 2211/50 2021 ජනවාරි 21 වන දින දරන ගැසට් පත්‍රය මඟින් ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාළව එම නිෂ්පාදන සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්ය කර ඇත ෴

@@@@@@@@@@@@@

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ ටියුෂන් පන්තියක්

(20.02.2021 – 15:42 +0530 – sinhala.adaderana.lk)

නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් පවත්වාගෙන ගිය උපකාරක පන්තියක් කුලියාපිටිය නගරයේ දී අද (20) සොයාගනු ලැබීය.

උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය නිලධාරින් විසින් ලබා දී තිබු උපදෙස් කිසිවක් එම උපකාරක පන්තිය තුළ අනුගමනය කර තිබුණේ නැත.

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයට යන විට දරුවන් කිසිවෙකු මුඛ ආවරණ පැළඳ සිටියේ නැති බව එහි ගිය ‘අද දෙරණ’ වාර්තාකරුට දැකගත හැකි විය.

එමෙන්ම උපකාරක පන්තිය තුළ සිටි ඇතැම් සිසුන් වට වී එකට ආහාර ගන්නා ආකාරය දක්නට ලැබිණි.

කෙසේවෙතත් මෙවැනි උපකාරක පන්ති කිහිපයක් නිරීක්ෂණය සඳහා කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරීන් ගොස් තිබු අතර, බොහෝ ස්ථානවල ගුරුවරුන් පවා මුඛ ආවරණ නොපැළඳ සිටි බවට තොරතුරු ලැබිණි.

ඒ අනුව උපකාරක පන්ති ගුරුවරුන්ට දැඩි ලෙස අවවාද කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත ෴

@@@@@@@@@@@@

දරුවා බඩේ ඉන්දැද්දිම මම සැමියාව දන් දුන්නා – මගෙන් කිරි බීපු දරුවො 17 දෙනා දැන් කොහෙ ඉන්නවද දන්නෙ නෑ (20.02.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *