පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

*********************************************

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

(19.02.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුලත් කරුණු අධ්‍යයනය කර වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක් පත් කර තිබෙනවා.

එහි සභාපති ලෙස පත් කර ඇත්තේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායි.

කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති කාර්යාලයේ නීති පිළිබද අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා පත් කර ඇති අතර කමිටු වාර්තාව මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාවද ඇතුළුව දකුණු ආසියානු රටවල ‘අයි.එස්. සංවිධානයේ’ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ එම සංවිධානයේ නව නායකයා බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ අයි.එස්. ත්‍රස්ත තර්ජන පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින යන රටවල ISIS සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එම සංවිධානයේ නව නායක ‘ෂිහාබ් අල් මුහජිර්’ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ISIS ත්‍රස්තයින්ගේ තර්ජන පිළිබඳ නව වාර්තාවට පසුගියදා ප්‍රකාශයක් ලබාදෙමින් මහලේකම්වරයා මේ බව සදහන්කර ඇති බවයි ෴

***************************************

(19.02.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය දෙන්නැයි ඉල්ලා ලක් රජය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය රජය මේ වනතුරුත් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදේශ අමාත්‍යාංශ ලේකම් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ.

විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ජිනීවා අභියෝගයට මුහුණදීමට ඇති සූදානම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට විශේෂ සංවාදයකට එක්වෙමින්.

***************************************

(19.02.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදි ආනයනය නතර කිරීමත් සමඟ වෙළදපළේ යතුරුපැදිවල සහ අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාම නිසා බස්නාහිර, වයඹ සහ උතුරුමැද යන පළාත්වල වැඩි වශයෙන් යතුරුපැදි සොරකම් වාර්තා වන බව පොලීසිය ප්‍රකාශ කළා.

අපරාධ, සංවිධානාත්මක අපරාධ නිවාරණ දිසාව භාර සහ අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ මේ හේතුවෙන් යතුරුපැදි අමතර කොටස් අලෙවි කරන සහ එකලස් කිරීමේ ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බවයි.

දිවයිනේ සිදුවන මෙවැනි යතුරුපැදි සොරකම් කිරීම් ඉහළ ගොස් ඇති බවට පසුගිය දා හිරු ප්‍රවෘත්ති තුළින් ද අනාවරණ කළා.

කෙසේ වෙතත්, පසුගිය දා කොළඹ දිස්ත්‍රික්කයේ යතුරුපැදි අලුත්වැඩියා කෙරෙන ස්ථාන ද පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපරාධ, සංවිධානාත්මක අපරාධ නිවාරණ දිසාව භාර සහ අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළා ෴

***************************************

(19.02.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

තම දෙමාපියන් ජීවත් වන නිවසට අලාභ හානි කර එම නිවසට ගිනි තැබූ දියණියක් පිළිබඳ තොරතුරු කටුගස්තොට – හල්ඔළුව ප්‍රදේශයෙන් වාර්තාවුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 31 හැවිරිදි එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

60 හැවිරිදි වියේ පසුවන ඇගේ දෙමාපියන් දෙදෙනා හල්ඔළුව ප්‍රදේශයේ ජීවත්වන අතර, ඔවුන් නිවසේ සිටියදීම පෙරේදා රාත්‍රියේ දියණිය පැමිණ නිවසට පහරදී ගිනි තබා තිබෙනවා.

එහිදී නිවසේ නතර කර තිබූ ත්‍රිරෝද රථයකට ද හානි සිදුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ගින්නෙන් දෙමාපියන් දෙදෙනාට හානියක් සිදුව වී නොමැති අතර අදාළ කාන්තාව සහ ඇගේ දෙමව්පියන් අතර දීර්ඝ කාලයක සිට ආරවුල් පවතින බව පොලීසිය කියා සිටියා ෴

***************************************

(19.02.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

වරාය අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් එහි සභාපති ජනරාල් දයා රත්නායක මහතා අතර සාකච්ඡාවක් අද (19) පැවැත්වුණා.

කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර ජැටිවල සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබාදීමට වෘත්තීය සමිතිවලට අවස්ථාවක් ලබාදෙන්නැයි මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

***************************************

(19.02.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම හා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අවබෝධතා ගිවිසුම් පිළිබදව පළ වන ඇතැම් වාර්තාවල සත්‍යතාවක් නොමැති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 84 ක් දෙරටේම සහභාගීත්වයෙන් කළමනාකරණය කිරීම පිළිබදව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බවයි.

***************************************

(19.02.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

අමාත්‍ය විමල් වීරවංශ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව ඇති වූ මතභේදකාරී තත්ත්වයෙන් පසු ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයින් අතර පැවති පළමු සාකච්ඡාව මෙය වනවා.

මෙම හමුවට පෙර අවස්ථා කිහිපයකදී අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් ස්ථාන කිහිපයකදී රැස්වී සාකච්ඡාවක ද නිරත වුණා.

අද (19) පස්වරු 4 ට පමණ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවට අමාත්‍ය විමල් වීරවංශ මහතාට අමතරව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා, නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස විතාරණ මහතා සහ ගෙවිදු කුමාරතුංග මහතා ඇතුළු පිරිසක් එක්වුණා.

***************************************

(19.02.2021 – 21:02 +0530 – hirunews.lk/sinhala)

උපරිම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කල පිටකොටුව ප්‍රදේශයේ තොග වෙළඳසැල් 16 ක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද (19) වටලනු ලැබුවා.

ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ ෴

***************************************

(19.02.2021 – 21:19 +0530 – hirunews.lk/sinhala)

ටී 56 ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක ගුවන්තොටුපලට ඇතුලුවීමට තැත් කළ ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලබන මාර්තු මස පළමුවනදා (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴

***************************************

(19.02.2021 – 21:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට දිගම ගංගාව වන මහවැලිය පළාත් කිහිපයක්ම සශ්‍රීක කරමින් ගලාබසින්නේ ඊට ජීවය සපයන අතු ගංගා රාශියකින් පෝෂණය ලබමිනුයි.

ත්‍රිකුණාමලයේ වෙරුගල්ආරුව ඒ අතුරින් ප්‍රමුඛයි.

කෙසේ වෙතත් වෙරුගල් ආරුව වැලි ජාවාරම්කරුවන් විසින් වනසමින් සිටින බවටයි ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු ලැබුනේ.

නීති විරෝධී ලෙස ට්‍රැක්ටර් පවා ගඟට බස්සවා මෙම ජාවාරම සිදුකරන බවත් ඒ තොරතුරු මඟින් සඳහන් කෙරුණා.

වැලි ජාවාරම්කරුවන් වැටලීම සදහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, සුරියපුර පොලිස් විශේෂ බලකායේ නිලධාරීන් හා ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම මෙලෙස ක්‍රියාත්මක වුණේ ඒ අනුවයි.

වැටලීමේදී ප්‍රථමයෙන්ම ට්‍රැක්ටර් රියදුරන්ගේ ජංගම දුරකථන නිලධාරීන්ගේ භාරයට ගැනුනේ ඔවුන්ගෙන් අනෙකුත් ජාවාරම්කරුවට පණිවිඩ ගලායාම වැලැක්වීම සදහායි.

වැලි කැණීම් කරමින් සිටි ඇතැම් පිරිස් නිලධාරීන්ගේ පැමිණීමත් සමග ගංගාවට පැන පළායාමට ද කටයුතු කළා.

වැටලීමේදී හෙළිවුයේ වැලි කැණීමට රජයෙන් අවසර ලබා ඇති ස්ථාන මගහරිමින් බලපත්‍රලාභීන් වෙනත් තැන්වලින් වැලි කැනීම් සිදුකරන බවයි.

වැලි ගබඩා කරන ස්ථානය ද නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වු අතර එහිදී හෙළිවුයේ භූ විද්‍යා කාර්යාංශයෙන් ලබාදෙන බලපත්‍ර ද මොවුන් නීති විරෝධීව භාවිතා කරන බවයි.

@@@@@@@@@@@@@@@@

(19.02.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා රෝහලට පැමිණ එන්නත ලබාගැනීමට දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රතික්ෂේප කළද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධර්ථන් අද (19) යුද හමුදා රෝහලට පැමිණ එන්නත ලබාගත්තා.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, එස්. විනෝගරාධලිංගම්, චාල්ස් නිර්මලනාදන් එන්නත ලබාගත්තේ මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදියි.

මේ අතර යුද හමුදා රෝහල්වලින් එන්නත ලබාගැනීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, එසේ ප්‍රතික්ෂේප කළ හැක්කේ ශ්‍රී ලාංකිකයින් නොවන අයට පමණක් බවත්, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් යුද හමුදා රෝහලෙන් එන්නත ලබාගැනීමට සූදානම් නොමැති බවට සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර දින 4 ක් තුළ බන්ධනාගාර නිලධාරීන් 3,145 කට එන්නත ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

මේ අතර ගාල්ල නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් ඔහු නිරෝධායනයට ලක් විය යුතු බවට දැනුවත් කළද ඊට නගරාධිපතිවරයා විරෝධය පළ කර ඇති අතර, පී.සී.ආර්. පරීක්ෂණයකට පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

අද (19) දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 248 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 78,768 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර තවත් මරණ 8 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 430 ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙමටගොඩ, කොළඹ 8, මීගොඩ, රිදීමාලියද්ද, දෙකටන, කොළඹ 10, කෙසෙල්වත්ත සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 20 ක තරුණියක්ද ඒ අතර වීම විශේෂත්වයක්.

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවා නිවසට එවීමෙන් පසු පසුගියදා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

එම මරණ සම්බන්ධයෙන් ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම්වරයා, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක්ද පැවැත්වුණා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 258 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 78,926 ක්.

අද (19) දිනයේදී මේ දක්වා මෙරටින් ආසාදිතයන් 506 ක් වාර්තාවී තිබෙනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 3 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 433 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *