ඊයේ (17) වාර්තාවූ මරණ 13 ම කොළඹින් පිට – සැළකිලිමත්වන්නැයි රජයේ වෛද්‍ය සංගමයෙන් දැනුම් දීමක්

ඊයේ (17) වාර්තාවූ මරණ 13 ම කොළඹින් පිට – සැළකිලිමත්වන්නැයි රජයේ වෛද්‍ය සංගමයෙන් දැනුම් දීමක්

*********************************************

ඊයේ (17) වාර්තාවූ මරණ 13 ම කොළඹින් පිට – සැළකිලිමත්වන්නැයි රජයේ වෛද්‍ය සංගමයෙන් දැනුම් දීමක්

(18.02.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (17) දිනයේදී වාර්තා වූ මරණ 13 එක්දිනක් තුළ පමණක් සිදුනොවූවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මෙරට කොරෝනා ආරම්භයේ සිට මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි එය දැක්වෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ මෙම මරණ 13 ම කොළඹින් පිටත ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.

අද (18) දිනයේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත් ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී සිදුකෙරුණා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ගීතා කුමාරසිංහ, තුෂාර ඉදුනිල් සහ ජගත් කුමාර ඇතුළු පිරිසක් පැමිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඊයේ (17) මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී කොරෝනා එන්නත ලබාගෙන තිබෙනවා. ඔහුට අමතරව ඔහුගේ කාර්ය මණ්ඩලය ද කොරෝනා එන්නත ලබාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ. අද (18) දිනයේදීත් බන්ධනාගාර පුහුණු පාසලේදී බන්ධනාගාර නිලධාරීන්ට කොරෝනා එන්නත ලබාදීම සිදුකෙරෙනවා.

දැනට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4725 ක්.

එමෙන්ම, වරාය සේවකයින්ට ද මේ වන විට කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළම එන්නත් කිරීම සිදුකළ අතර අද වන විට 4000 ක පමණ සේවක පිරිසකට එන්නත ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ආයතනවල සේවක සේවිකාවන්ට ද කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බවයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවකයන්ට අදත් (18) කොරෝනා එන්නත් ලබාදුන්නා.

බද්දේගම – ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයාට ද කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් 50 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මීට අමතරව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගිය මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි උතුරුමැද පළාත් සභාවේ සේවකයාගේ ආදාහනය ඊයේ (17) කැකිරාව ආදාහනාගාරයේදී සිදුකෙරුණා.

අදාළ පුද්ගලයා පසුගිය 15 වන දා සේවය නිම වී බස් රථයකින් නිවස බලා පැමිණෙමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර, අද (18) පෙරවරුවේ කසකස්ථානයේ සිට සංචාරකයින් 211 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් 425 දෙනෙකුට ද කොරෝනා එන්නත ලබාදී තිබෙනවා.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙලෙස එන්නත ලබාදී ඇත්තේ ෴

තවත් කොරෝනා ආසාදිතයන් 647 දෙනෙකු අද (18) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 71,823 ක් බවයි. තවදුරටත් පුද්ගලයින් 5,661 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

++++++++++++++++++

(18.02.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් ලක් රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව මෙරට ඇමරිකානු තානාපතිණි ඇලයිනා බී ටෙප්ලිට්ස් යලිත් සිය මතය ප්‍රකාශ කර තිබෙනවා.

ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ වෙනස් කොට සළකන ආදාහන ප්‍රතිපත්තිය අවසන් කිරීමට රජය සහ අගමැතිවරයා පසුබට වනු දැකීමෙන් කළකිරීමට පත්වන බවයි ෴

++++++++++++++++++++

(18.02.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 21 වන දා සිට සංචාරකයින්ට රට විවෘත කිරීමෙන් පසු ගත වූ කාලය තුළ සංචාරකයින් 3820 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ යුක්රේනයේ සිටයි. එම සංඛ්‍යාව 1374 ක්.

මීට අමතරව කසකස්ථානයෙන් ද සංචාරකයින් 526 දෙනෙකු ඉන්දියාවෙන් සංචාරකයින් 443 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

එමෙන්ම, එයාර් ඇරබියා, ෆලයි ඩුබායි, සලාම් එයාර් යන ගුවන් සමාගම් ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර, ජසීරා, ගල්ෆ් එයාර් යන ගුවන් සමාගම් ද මෙලෙස ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++

(18.02.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 258 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

@@@@@@@@@@@@@

(18.02.2021 – 12:22 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර සමයේ කඩු 6000 ක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය ගැන විමර්ශනය කරන ලෙස ආරක්ෂක අංශ වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් හිමිපාණන් ගොනුකළ පෙත්සම මාර්තු 5 සළකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා ෴

***************************************

(18.02.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

මේ රත්නපුර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් රත්නපුර – මාපලාන මාර්ගයයි.

ශ්‍රී ලංකාවේ උසම දියඇලි අතරින් සිව් වන (4) ස්ථානය ගන්නා සුන්දර මාපලාන දියඇල්ලද මෙම මාර්ගය ආසන්නයේ පිහිටා තිබෙනවා.

කෙසේ වෙතත් අක්කර 10, ජම්බුගස්හේන, කුඩාව, නිල්වල ඇතුළු ප්‍රදේශ රැසක පවුල් දහසකට (1000) අධික ජනතාවකට මේ වන විට මුහුණදීමට සිදුව ඇති ප්‍රධානතම ගැටලුව නිසි මාර්ගයක් නොමැති වීමයි.‍

සමනළ කඳු වළල්ලෙන් වට වූ ‘පුංචි දඹදිව’ පූජනීය ස්ථානයද යා කරන මාර්ගයක් වන මෙහි මෙතක් ප්‍රතිසංස්කරණයක් සිදුනොවීම කණගාටුවට කරුණක් බවයි.

මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස බලධාරීන් විටින් විට පොරොන්දු වුවද වසර ගණනාවක සිට කිසිඳු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුනොවූ බවට ගම්වාසීන් චෝදනා කරනවා.

මාපලාන දියඇල්ල පිහිටා තිබීම හේතුවෙන් ඊට සංචාරක ආකර්ශනය දිනාගැනීම සඳහාද නිසි මාර්ගයක අවශ්‍යතාව පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මෙවන් වටිනාකමකින් යුත් මාපලාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(18.02.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

කහතුඩුව – රිලාවල මංසන්ධියේ ඊයේ (17) යළිත් මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු බරපතළ තුවාල ලැබුවා.

මෙම ස්ථානයේ නිරන්තරයෙන් රිය අනතුරු සිදුවන බවට අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ ද අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් නමුත් මෙතෙක් ඒ සඳහා නිසි විසඳුමක් ලැබී නැහැ.

ජනතාව ඉල්ලා සිටින්නේ මෙම ස්ථානයේ අනතුරු වළක්වා ගැනීම සඳහා කඩිනමින් පිළියමක් යොදන ලෙසයි.

කහතුඩුව රිලාවල මංසන්ධිය නිරන්තරයෙන් අනතුරු සිදුවන ස්ථානයක් බවට ඉතා ප්‍රසිද්ධයි.

ඒ පිළිබඳ හිරු ප්‍රවෘත්ති ඔස්සේ ද අප අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා.

පසුගිය වසර තුළ පමණක් මෙම ස්ථානයේ අනතුරු 25 කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බව පෙන්වාදෙන ප්‍රදේශවාසීන් පවසන්නේ එම අනතුරුවලින් කිහිපදෙනෙකුම බරපතළ තුවාල ලැබූ බවයි.

මේ වසරේ ගත වූ මාස එක හමාරක (1½) කාලය තුළ පමණක් මෙම ස්ථානයේ අනතුරු 4 ක් සිදුව තිබෙනවා.

ජනතාව ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් මෙලෙස සිදුවන අනතුරුවලින් ජීවිතයක් බිලි ගැනීමට පෙර තමන්ට හැකි ඉක්මනින් මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙසයි.

***************************************

(18.02.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර – ලංකා සතොස වෙළඳසැල් 75 කදී සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 26 කදී, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 41 කදී සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන අටකදී (8) මෙලෙස සහන මිලට එළවළු අලෙවි කරන බවයි.

මිල අධික කැරට්, ලීක්ස්, බීට්රූට්, වට්ටක්කා, වම්බටු, අමු මිරිස් සහ ගෝවා වැනි එළවළු මෙහිදී ලබාගත හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර අර්තාපල් අඩු මිලට ලබාදීමට රජය පහසුකම් සළසා ඇති අතර, දේශීය ගොවියාගේ අර්තාපල් නිෂ්පාදනය සඳහා සාධාරණ මිලක් ලබාදීමටද අවධානය යොමුකරමින් සිටින බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

(18.02.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – ගැටඹේ – වරාතැන්න ප්‍රදේශයේ පිහිටි හක්කිඳ පරිසර ආරක්ෂිත කලාපය මේ වනවිට විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් පවතින බව පරිසරවේදීන් පවසනවා.

මෙම කලාපය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පරිසර ආරක්ෂණ කලාපයක් බවට පත් කර ඇත්තේ, 2017 වසරේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්.

මහවැලි ගඟේ වැඩි දූපත් සංඛ්‍යාවක් මෙම ප්‍රදේශයෙන් හමුවන අතර, එම කලාපයට ආවේණික ශාඛ මෙන්ම සතුන් ද මෙහි වාසය කරන බවයි මධ්‍යම පළාත් පරිසර එකමුතුවේ සභාපති පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා කියා සිටියේ ෴

***************************************

(18.02.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

දැඳුරුඔය සම්බන්ධව දීර්ඝ කාලයක සිට කතාබහට ලක්වුණේ අසීමාන්තිකව සිදුවන වැලි කැණීම් හේතුවෙන්.

දැවැන්ත පාරිසරික හානි සිදු වූ එම කාලවලදී එය නතර කිරීමට අධිකරණ නියෝග පවා ගැනීමටසිදුවුණා.

දැදුරුඔයේ වැලි කපමින් එකල සිදු වූ මිනිස් ක්‍රියාකාරකම්වල අනිසි ප්‍රතිඵල වර්තමානයේ භුක්ති විදීමට සිදුවූ ගොවීන් පිරිසක් පිළිබඳවයි මේ.

දැදුරුඔය දෑලේ පදිංචි ගොවීන් කීර වගාවේ නිරතවන්නේ 1980 පමණ කාලයේ සිටයි.

ඒ දැදුරුඔයදෑලේ පිහිටි බංගදෙනිය වෙහෙරකැලේ ගම්මානය ආශ්‍රිතව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ගොටුකොළ වගාව හඳුන්වාදීමට කටයුතු කිරීමත් සමඟයි.

දැදුරු ඔයෙන් සැපයෙන ජලයෙන් වසර 40 කට අධික කාලයක් මොවුන් ගොටුකොළ වගාවේ නිරතවුණා.

නමුත් කාලයක් තිස්සේ ඉවක් බවක් නැතිව සිදුවූ වැලි ගොඩදැමීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැදුරු ඔයේ ගැඹුර වැඩි වී ගොස් තිබෙනවා.

ඒ අනුව මේ ගෝවීන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් වී ඇත්තේ දැදුරු ඔයේ ජලයට කරදිය මුසුවීමයි.

මීට අමතරව දැදුරු ඔයේ ඉහළ කොටසේ ඉදිකර ඇති දැදුරුඔය ජලාශය සහ සෙංගල් අමුණ හේතුවෙන් ජලය පහළට ගලාඒමක් සිදුනොවන බවට ගොවීන් මැසිවිලි නඟනවා.

ගොවීන් ඉල්ලා සිටින්නේ තමන් මුහුණදෙන මෙම ගැටලු පිළිබඳව අවධානය යොමුකොට ගොවිතැන් කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදෙන ලෙසයි.

***************************************

(18.02.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දිනක සිදුකළ ප්‍රකාශයත් සමග හටගත් මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

***************************************

(18.02.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සඳහා හෙට (19) පස්වරු 4 ට සාකච්ඡාවක් ලබාදී ඇති බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජේ. වීරසිංහ මහතා ප්‍රකාශ කළා.

එහිදී රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ තවත් කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

ඊයේ (17) පස්වරුවේ බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් අතර හමුවක් ද පැවැත්වුණා.

ඊට ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා, පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි, ඒ.එල්.ඒ.එම්. අතාවුල්ලා, ගෙවිදු කුමාරතුංග මහතා, ටිරාන් අලස් ඇතුලු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් එක්වුණා.

කෙසේ වෙතත් මීට පෙර සාකච්ඡාවලට සහභාගිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ඊයේ (17) පැවති සාකච්ඡාවට එක්ව සිටියේ නැහැ ෴

***************************************

(18.02.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාලකයන් පත් කරනු ලබන්නේ ගෝලීය දේශපාලන බල වුවමනාව මත බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නිකවැරටිය කොබෙයිගනේ ප්‍රදේශයේ ඊයේ (17) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

***************************************

(18.02.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටුවේ සමාරම්භක රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ, අරලියගහ මන්දිරයේදීයි.

මෙහිදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටු පත් කිරීමේ පසුබිම සහ අරමුණු පැහැදිළි කළා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ, තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය අනුව සංවර්ධන අරමුණු 17 ක් සහ ඉලක්ක 169 ක් සැලසුම් කර ඇති බවයි.

වසර 2030 වනවිට මෙම අරමුණු කරා යාම කඩිනම් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ මෙහෙයුම් කමිටුව පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට අදාළ දත්ත විධිමත්ව ඒකරාශී කරමින් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා ඉටු කළ යුතු කාර්යභාරය, අමාත්‍යාංශ මට්ටමින් ඉටුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දුන්නා.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේ, ලෝක මට්ටමින් තිරසරබව සළකා බලන දර්ශකවල ඉහළ ඒම වැදගත් බවයි.

අදාළ සංවර්ධන සැලසුම් විධිමත් කිරීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊට සම්බන්ධ අමාත්‍යාංශ කඩිනමින් දැනුවත් කිරීමේ අවශ්‍යතාවද මෙම සාකච්ඡාවේදී අවධානයට යොමුව තිබෙනවා.

***************************************

(18.02.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට කෘෂි අස්වනු පරිභෝජනයට පමණක් සීමා නොකර අපනයනය සඳහාද යොමුකිරීමේ අවශ්‍යතාව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

ඔහු මේ බව කියා සිටියේ ගම්පොල – මහරවෙල – රජඇල සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ව්‍යාපෘතිය ලෙස ගම්පොල – මහරවෙල – රජඇල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට මුල්ගල තැබීම ඊයේ (17) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

රජඇල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර වන මීට වැයවන මුදල රුපියල් මිලියන 10 ක්.

***************************************

හොඳ හිත නෙළුම් බුදු කුළුණ අගමැති අතින් විවෘත වෙයි

(18.02.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම – පොල්ගහවැලෑන – පන්නෙගමුව ප්‍රදේශයේ පිහිටි ‘හොඳ හිත සිතුවිලි මන්දිර’ පරිශ්‍රයේ ඉදිකළ අඩි 120 ක් උස ‘හොඳ හිත නෙළුම් බුදු කුළුණ’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (18) විවෘත වුණා.

‘හොඳ හිත නෙළුම් බුදු කුළුණ’ මස්තකයෙහි ධර්ම චක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ශාසන කීර්ති ශ්‍රී කලාශූරි පූජ්‍යපාද රත්නපුරේ නන්ද හිමි මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙනවා.

[ සේයාරූ ]

***************************************

(18.02.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ පිහිටි කර්මාන්තශාලාවක කසල අංගනයක අද (18) පස්වරුවේ ඇතිවූ ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක කසල එක්රැස් කළ ස්ථානයකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ පිහිටා ඇති කසල අංගනයක ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා යොමුකර තිබෙනවා.

***************************************

(18.02.2021 – 17:35 +0530 – hirunews.lk/sinhala)

2016 මාර්තු බැඳුම්කර වෙන්දේසි දෙක සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු දෙකක් (2) පත් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා.

එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරු ඩී. තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්. ඉර්සඩීන් බැඳුම්කර සම්බන්ධ පළමු ත්‍රිපුද්ගල මහාධිකරණයට සහ අමල් රණරාජා, ආදිත්‍ය පටබැඳිගේ සහ නාමල් බලල්ලේ දෙවන මහාධිකරණයටත් පත් කෙරේ ෴

***************************************

(18.02.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් (2) යටතට පත් කිරීමත් සමඟයි මෙම නව දිවුරුම් දීම සිදුකෙරුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *