පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන් 5,100 කට අද (16) සිට එන්නත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන් 5,100 කට අද (16) සිට එන්නත්

*********************************************

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන් 5,100 කට අද (16) සිට එන්නත්

(16.02.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

නව මරණ 06 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 400 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව නව මරණ සංඛ්‍යාව දැක්වන්නේ 403 ක් ලෙසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අවුරුදු 48 ත් 80 ත් අතර, වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු (5) සහ කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි.

එමෙන්ම නව ආසාදිතයන් 774 දෙනෙකු ඊයේ (15) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 76,428 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 764 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 10 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ආසාදිතයන් 6,614 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 69,411 ක්.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 ඒ, වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් ඊයේ (15) රාත්‍රියේ සිට හුදකලා බවින් ඉවත් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාදීම අද (16) සිට ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 224 දෙනාටම ලබන සිකුරාදා (19) දක්වා යුද හමුදා රෝහලේදී එන්නත ලබාදීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් 5,100 කට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත් ලබාදීම අද (16) බන්ධනාගාර පුහුණු පාසලේදී ආරම්භ කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.

දැනට ආරම්භ කර ඇති පාසල්වල සිසුන්ගේ පැමිණීම සියයට 70 ඉක්මවා වාර්තාවී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරිනියකට කොරෝනා ආසාදනයත් සමඟ තාවකාලිකව වැසූ ආයතන අංශ කිහිපයක් අද (16) සියලු රාජකාරි කටයුතු සඳහා විවෘත කෙරෙනවා ෴

+++++++++++++++++++++++

(16.02.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික වශයෙන් දුෂ්කරතාවට පත් පෞද්ගලික බස් රථ හිමියන්ට රාජ්‍ය බැංකු හරහා රුපියල් ලක්ෂ 03 ක ණය මුදලක් සහ ප්‍රවේශ පත් නිකුත් කිරීමේ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තවත් රුපියල් 50,000 ක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.

එහි සංකේතාත්මක ණය ප්‍රදාන ලිපි බස් රථ හිමියන් 27 දෙනෙකුට ලබාදීම ඊයේ (15) ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදු කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ෴

+++++++++++++++++++++++++

(16.02.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් විදේශ අමාත්‍යාංශය මගින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා පිළිබඳව සැළකිල්ලට ගෙන මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේදී මාර්ගගත ක්‍රමයට වේලාව වෙන් කරගෙන සේවා ලබාගැනීමේ ක්‍රමය නැවත හඳුන්වාදීමට සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා සෞඛ්‍ය පූර්වෝපායන් අනුගමනය කරමින් රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානවලදී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතු කෙරෙන බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

@@@@@@@@@@@@@@@

(16.02.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් නිෂ්පාදිත ‘නිමෝඩිපින්’ ඖෂධය වෙළඳපොලට නිකුත් කිරීම අද (16) සිදුවනවා.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේදී ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සිදුවන්නේ.

මොළයේ සිදුවන යම් රුධිර වහනයක් හේතුවෙන් ඇතිවිය හැකි ගැටළු අවම කිරීම සඳහා නිමෝඩිපින් මිලිග්‍රෑම් 300 ඖෂධය රෝගීන්ට ලබාදෙනවා.

අදාළ ඖෂධයේ මෙරට වාර්ෂික අවශ්‍යතාව පෙති ලක්ෂ 15 ක් පමණ වන අතර, එය මෙරටට ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැයවනවා ෴

***************************************

(16.02.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය ආසන්න වනවිට සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවට සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අඟවනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වී තිබුණද පෙර වසරවලදී මෙන් මහා පරිමාණ මෝල් හිමියන් සහ වී ගැනුම්කරුවන් විසින් සහල් තොග සැඟවීමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් විජේසිරි මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ දැනටමත් වී කිලෝ මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීමට සැළසුම් කර ඇති බවයි ෴

***************************************

(16.02.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම පාලනය කිරීම සහ ගොවියා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඊයේ (15) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කිහිපයක් මෙහිදී සම්මත වී ඇති බවයි කැබිනට් මණ්ඩල හමුවෙන් පසුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

ඊයේ (15) අමාත්‍ය මණ්ඩල රැස්වීම සති කිහිපයකට පසුව රැස්ව තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.

පවතින කොරෝනා අවදානම හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාම අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේයි.

මේ අතර පසුගිය 01 වනදා ජනාධිපතිවරයාට භාර දුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ඊයේ (15) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එය එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ කොමිසන් සභා වාර්තාවේ පිටපත් කිහිපයක් ලබාගැනීම සඳහා ඇතිවූ අවශ්‍යතාව මතයි ෴

***************************************

(16.02.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩකයින් ආකල්පමය වෙනසක් සමඟ තමන්ගේ යුතුකම නිසි ආකාරයෙන් ඉටුකළ යුතු බව හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක සහ ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන් මහතා ප්‍රකාශ කළා.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආකල්ප අභිප්‍රේරණය කිරීම සඳහා පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ එසේ වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර ලෙස ක්‍රිකට් ජයග්‍රහණ අත්කරගත හැකි බවයි.

සියලුදේට ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම වැදගත් බවත්, යහපත් මානසික තත්වයක් පවත්වා නොගතහොත් කොතරම් දක්ෂ පුහුණුකරුවන් යොදා ගත්තද පළක් නොවන බවයි මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ.

ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ පුහුණුකරුවන් නොවන බවද ඔහු සඳහන් කළා.

ක්‍රිකට් පාලක මණ්ඩලය මාරු කිරීම ගැටළුවට විසඳුමක් නොවන බවයි මුරලි මහතාගේ මතය වී ඇත්තේ.

ක්‍රීඩකයින් ආකල්පමය වෙනසක් ඇති කර නොගතහොත් නවක ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් කර ක්‍රීඩාව පවත්වාගෙන යාමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

(16.02.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ ජනප්‍රිය රංගන ශිල්පි විජය කුමාරණතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණය අදට (16) යෙදී තිබෙනවා.

සීදූවේ පිහිටි විජය කුමාරණතුංග සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වීම සහ ආගමික වතාවත් සිදුකිරීමේ වැඩසටහනක් පෙරවරු 9 සිට පැවැත්වීමට නියමිතයි.

විජය කුමාරණතුංග මහතා 1988 වසරේ අද (16) වන් දිනක ඔහුගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණ වූ විජය කුමාරණතුංග මහතා සුගතපාල සෙනරත් යාපා මහතාගේ ‘හන්තානේ කථාව’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවේ දුර ගමනක් යෑමට අත්පොත් තැබුවා.

සිය දිවිය තුළ චිත්‍රපට 114 ක ප්‍රධාන චරිත රඟපා ඇති මොහු එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ගඟ අද්දර, බැද්දේගම, පාරදිගේ, මහගෙදර, කැඩපතක ඡායා, ක්‍රිස්තු චරිතය වැනි බොහෝ ජනප්‍රිය චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ පෙව්වා.

ජනප්‍රිය ගායකයෙකු ද වන විජය කුමාරණතුංග මහතා ගායනා කළ ගීත සංඛ්‍යාව සියයකට (100) අධික වන අතර, ඔහු ගීත කැසට් 10 ක්ද නිකුත් කර තිබෙනවා.

ගඟ අද්දර, කවුළුව අතරින්, දිනකර පායා, සීත රැයේදී, මංගල නැකත, රූස්ස ගහ ළඟ වැනි ජනප්‍රිය ගීත මොහු විසින් ගායනා කර තිබෙනවා ෴

***************************************

(16.02.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය විසි හතර තුළ රිය අනතුරු හේතුවෙන් 11 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

***************************************

(16.02.2021 – 09:28 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසයේ නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

ජනවාරි මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 60.2 ක් ලෙස වාර්තාවී ඇති අතර, සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වාර්තාවී ඇත්තේ 56.2 ක් ලෙසයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පසුබෑමට ලක්වූ සේවා අංශය තවදුරටත් යථා තත්වයට පත්වීමක් මෙමගින් පෙන්නුම් කෙරෙන අතර, එය ව්‍යාපාර සඳහා යහපත් ප්‍රවණතාවක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ෴

***************************************

(16.02.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

ආදරවන්තයින්ගේ දිනය දී තිබූ පසුගිය 14 වනදා සමාජ මාධ්‍ය ‍ඔස්සේ ප්‍රසිද්ධ හෝටල් තුළ සංවිධානය කරන ලද මත්පැන් සාද 03 ක් සුරාබදු නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

මොරටුව, බොරලැස්ගමුව හා උණවටුන යන ප්‍රදේශයන් හිදී මෙම වැටලීම් සිදුකර ඇති අතර එහිදී විදේශ මත්පැන් මිලි ලීටර් 49,300 ක් සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10 කට ආසන්නයි.

මෙම සාද සඳහා සහභාගී වීමට ප්‍රවේශපත්‍ර කලින් වෙන් කර ගැනීමෙන් අනතුරුව සුරාබදු නිලධාරීන් උපාය දූතයින් ලෙස සාද සඳහා සහභාගී වී මෙම වැටලීම සිදුකළ බවයි සුරාබදු දෙපාර්තමේන්තු සඳහන් කළේ.

මෙම සාද සඳහා සහභාගී වූ පෙම්වතුන් හට විදේශ මත්පැන් අධික මිල ගණන් යටතේ විකිණීම සිදුකර ඇති අතර සුරාබදු අවස්ථා බලපත්‍ර ලබාගැනීමකින් තොරව මෙම සාද සියල්ලම සංවිධානය කර තිබූ බවයි එම දෙපාර්තමේන්තු වැඩිදුරටත් සඳහන් කළේ.

වැටලීමේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් උනවටුන, අනුරාධපුර සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වන අතර මොවුන් ගාල්ල, මොරටුව හා ගල්කිස්ස යන මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතුකර තිබුණා.

මේ අතර මිරිස්ස ප්‍රදේශයේ හෝටල් දෙකක (2) පැවැත්වූ මෙවැනිම සාද දෙකක් (2) දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වටලා තිබෙනවා.

***************************************

(16.02.2021 – 10:10 +0530 – hirunews.lk/sinhala)

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

පොලිසියේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම සඳහා පොලිස් ස්ථානයකට අවම වශයෙන් මසකට වරක්වත් පැමිණීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය ලැබෙන පරිදි අදාළ පනත සංශෝධනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

එමෙන්ම පොදු ප්‍රවාහන බස් රථවල සහ දුම්රියවල භාවිතය සඳහා මෙරට පෞද්ගලික සමාගමක් විසින් සකස් කළ යෝජිත මාර්ගස්ථ පෙරගෙවුම් කාඩ්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් ෴

***************************************

(16.02.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරයෙකුගේ ATM කාඩ්පතකින් රුපියල් දසදහසක (10,000) පමණ මුදලක් වංචාකළ පුද්ගලයෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බූස්ස, කැඳල ප්‍රදේශයේ පදිංචි සංචාරක මඟ පෙන්වන්නෙක් ලෙස කටයුතු කළ අයෙක්.

අදාල වෛද්‍යවරයා ගාල්ල නගරයේ බැංකු ශාඛාවකට පැමිණ එහි ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමෙන් අනතුරුව කාඩ්පත එහි අමතකව ගොස් තිබෙනවා.

පසුව ATM යන්ත්‍රය වෙත පැමිණි සැකකරු එහි තිබූ කාඩ්පත ගෙන ඉන් රුපියල් දසදහසක (10,000) පමණ වටිනා මත්පැන්, ආහාර පාන සහ ශබ්ද විකාශන යන්ත්‍ර උපකරණ මිලදී ගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

තම කාඩ්පතින් භාණ්ඩ ලබාගත් බවට වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට ලද කෙටි පණිවුඩ අනුව ඒ සම්බන්ධයෙන් ඔහු පොලිසියට පැමිණිල්ලක සිදුකර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාල වෙළඳසැල්වලට ගොස් ආරක්ෂිත කැමරා පද්ධති පරික්ෂා කිරිමේදී තහවුරු කරගෙන ඇත්තේ වෛද්‍යවරයාගේ ATM කාඩ්පත භාවිත කරමින් භාණ්ඩ ලබාගත් පුද්ගලයා දිගු කොණ්ඩයක් සහිත අයෙකු බවටයි.

සැකකරු සංචාරක මඟ පෙන්වන්නෙකු බවට සැකකළ පොලිසිය උණවටුන ප්‍රදේශයට ගොස් එවැනි පුද්ගලයෙකු පිළිබඳ කළ විමසීමකදී පොලිසිය පෙන්වූ ඡායාරූපයේ සිටි පුද්ගලයා කාන්තාවක් විසින් හඳුනාගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ ෴

***************************************

(16.02.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.0 ත් 2.5 ත් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් සහ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ෴

***************************************

(16.02.2021 – 12:01 +0530 – hirunews.lk/sinhala)

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පළදින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි අභියාචනාධිකරණය හමුවේ අද (16) අනාවරණ වුණා.

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉදිරිපත් කළ රීට් පෙත්සමක් කැදවනු ලැබූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

පෙත්සම්කරු සදහන් කර තිබුණේ සම්පූර්ණයෙන් මුහුණු ආවරණ කළ ආරක්ෂිත හිස් වැසුමක් පැළද ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලීසිය මඟින් තමාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවයි.

2017 වසරේ අංක දෙක දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස් වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතැයි සදහන් කළ පෙත්සම්කරු එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේන්තුව මගින් අනුමත කර නොමැති බවත් එය නීතියට පටහැනි බවත් සදහන් කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ හමුවේයි කැදවනු ලැබුවේ.

ඒ අනුව මෙම පෙත්සම්කරුට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙස පොලීසිය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අධිකරණය හමුවේ කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *