පාසල් සිසුන් 72 දෙදෙනෙකුගේ නිළ ඇදුම් ගලවා පරීක්ෂා කිරීමක් ගැන, මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පාසල් සිසුන් 72 දෙදෙනෙකුගේ නිළ ඇදුම් ගලවා පරීක්ෂා කිරීමක් ගැන, මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

*********************************************

පාසල් සිසුන් 72 දෙදෙනෙකුගේ නිළ ඇදුම් ගලවා පරීක්ෂා කිරීමක් ගැන, මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

(15.02.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

යාපනය – වලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසලක සිසුන් 72 කුගේ නිල ඇඳුම් ගළවා ගුරුවරුන් විසින් පරීක්ෂා කිරීමක් සම්බන්ධයෙන් එම සිසුන්ගේ දෙමාපියන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබෙනවා.

අදාළ විදුහලේ 11 වන ශ්‍රේණියේ සිසුන් කිහිපදෙනෙකුගේ සිරුරේ පච්ච කොටා ඇති බවට ලද තොරතුරකට අනුව මෙම පරීක්ෂා කිරීම සිදුකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සිය නිල ඇඳුම් ගළවා පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ ඇතැම් සිසුන්ට ගුරුවරුන් විසින් බැණ වැදී ඇති බවටද චෝදනා කරමින් සිසුන්ගේ දෙමාපියන් මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලයට පසුගිය 11 වනදා මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

මීට අමතරව දෙමාපියන් කරුණු දක්වමින් අදාළ පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ තම දරුවන්ගේ සිරුරු තුළ කිසිදු පච්ච සළකුණක් ද නොතිබෙන බවටයි.

අප මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහි නිලධාරියෙකු සදහන් කළේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ෴

***************************************

(15.02.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් පිරිසක් අද (15) විරෝධතා පා ගමනක නිරත වුණා.

ඒ, මෙතෙක් තමන්ව සේවයේ ස්ථීර කර නොමැති බවට චෝදනා කරමින්.

කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් ආරම්භ වූ මෙම පා ගමන අවසන් වූයේ ලිප්ටන් වටරවුමෙන්.

වසරක පුහුණුවකින් පසු රාජ්‍ය සේවයේ ස්ථිර කරන බවට පොරොන්දු ලබාදී බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් මාස 6 ක් ඉක්මවා ඇතත්, මේ දක්වා ස්ථීර කර නොමැති බවයි විරෝධතාවට එක්වෙමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අද (15) දිනයේදී ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා ෴

***************************************

(15.02.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

බගවන්තලාව – චැපල්ටන් තේ වත්තේ ළඳු කෑළෑවක මන්දකට හසුවී සිටි කඳුකර කොටියෙකු බේරා ගෙන තිබෙනවා.

වතු කම්කරුවෙකු විසින් අද (15) උදෑසන අදාළ කොටියා දැක ඒ පිළිබදව පොලීසිය දැනුවත් කර ඇති බවයි නල්ලතණ්ණිය පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව නල්ලතණ්ණිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් පැමිණ මෙම කඳුකර කොටියා බේරාගෙන ඇති බව සඳහන් ෴

***************************************

(15.02.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

විනෝදාංශයක් ලෙස සෙල්ලම් ගුවන් යානා නිපදවන අපූරු තැපැල් ස්ථානාධිපතිවරයෙක් පිළිබඳ පාදුක්ක ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ, 47 හැවිරිදි ඉග්නේෂස් පෙරේරා. ඔහු වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයෙක්.

කුඩාකල සිටම ගුවන් යානාවලට පෙම් බැඳි ඔහු මේවන විට සෙල්ලම් ගුවන් යානා 20 කට වැඩි ගණනක් නිර්මාණය කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ එම සෑම ගුවන් යානයක්ම ගුවන්ගත කළ හැකි ඒවා වීමයි.

තමන් දැඩි ආශාවකින් සහ මහත් වෙහෙස දරා මෙම නිපදවූ සෙල්ලම් ගුවන් යානා හේතුවෙන් ඉග්නේෂස් මහතාට පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීමටත් සිදුවුණා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව අප සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් විමසූ අවස්ථාවේදී එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත මහතා පැවසුවේ පවතින නීති අනුව ආකෘතිමය යානයක් වුවද ගුවන්ගත කරන්නේ නම් ඊට අවසර ලබාගත යුතු බවයි.

මෙවැනි සෙල්ලම් ගුවන් යානා ඉහළ මිල ගණන් යටතේ විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන ආකාරය අප කොතෙකුත් දැක තිබෙනවා.

නමුත් අපේ රටේ දිරිය මිනිසුන්ගේ මෙවැනි නිර්මාණවලට නිසි ඇගයීමක් හෝ වෙළෙඳපොළක් නොලැබීම කනගාටුවට කරුණක්.

***************************************

(15.02.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

මේ පුත්තලම – ඇතුන්ගොඩ ගොවිජනපදය. මෙම ගොවිජනපදයේ වෙසෙන පවුල් 200 කගේ පමණ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි.

එහෙත් ඔවුන්ට කුඹුරු අස්වැද්දීමට ස්ථිර ජල මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් මී ඔයෙන් ජලය පොම්ප කර වගාවන් සිදුකරන අතර එහි අතු ගංඟාවක් වන පිටඇල හරහා කුඹුරුවලට යා යුතුව තිබෙනවා.

වැසි කාලයේදී ඇල පිරී ජලය ගලා යාම නිසා ගොවිතැන් කටයුතුවල නිරත වීමට නොහැකි අතර ගම්වැසියන් පවසන්නේ ඇල හරහා පාලමක් නොමැති වීම විශාල ගැටලුවක් බවයි.

ඇල හරහා පාලමක් ඉදිකරදෙන ලෙස වසර ගණනාවක සිට බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද කිසිවෙකුගෙන් හෝ විසඳුම් නොලැබීම හේතුවෙන් ගොවීන් එක්ව රුපියල් ලක්ෂ 4 ක් පමණ වැයකර පාලමක් සකස්කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් විවිධ බාධා හේතුවෙන් එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ගොවීන් පවසන්නේ පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කරගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුවන්නේ නම් තම ගොවිතැන් කටයුතු නිසිපරිදි සිදුකරගැනීමට හැකි වන බවයි.

ඇතුන්ගොඩ ගොවිජනපදයේ ජනතාවගේ මෙම ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(15.02.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

කැකුළු තුරු උදානය ජාතික ළමා රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ගම්පොල අටබාගේ – විමලධර්ම ජාතික පාසලේදී ආරම්භ වුණා.

බස්නාහිර හැර දිවයිනේ සියලුම පාසල් සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අද සිදු කෙරුණු අතර, ඊට සමගාමීවයි අදාළ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කෙරුණේ.

ඒ අනුව මින් ඉදිරියට පළමු ශ්‍රේණියට ඇතුළත්වන සෑම සිසුවෙකුටම පැළයක් ලබාදෙන අතර, එය පාසලේ හෝ තම ගෙවත්තෙහි සිටුවිය යුතුයි.

ඒ පිළිබඳව ප්‍රදේශයේ කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරියා විසින් අධීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා ෴

***************************************

(15.02.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටු සාමාජිකයින්ට ලබන මස 15 වන දා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස අද (15) නොතීසි නිකුත් කෙරුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් ගොනු කළ රිට් පෙත්සමක් අද (15) සලකා බැලුණු අවස්ථාවේදියි.

අභියාචනාධිකරණයේ සභාපති අර්ජුණ ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලුණා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් මහතා, සිදත් වෙත්තමුණි මහතා, ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සම ගොනු කර තිබෙනවා ෴

***************************************

(15.02.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

ලබන 23 මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන මාර්තු 10 වනදා තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධාන කිරීම සහ මෙහෙයවීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම මෙන්ම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීමද තහනම් වනු ඇති.

තවද විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමද තහනම් වනවා.

එම නියෝග කඩ කරන හෝ උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 1911 ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

(15.02.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයේ පවතින අවදානම් තත්වය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු පාසල්වල සියලු උත්සව පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ අධ්‍යාපන ලේකම්වරයා විසින් සියලු පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ උපදෙස් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව දැනට පාසලක උත්සව පැවැත්වීම සඳහා සංවිධාන කරමින් පවතින්නේ නම් ඒ සියල්ලද අත්හිටුවිය යුතු වනවා.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පෙබරවාරි 17 වනදා සිට 25 වනදා දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මාර්තු 1 වනදා සිට 11 වනදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පවත්වන අතර, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක් කර නොගත යුතු බවයි ෴

***************************************

(15.02.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කහ කිලෝග්‍රෑම් 1,164 ක් වෙන්නප්පුව – මාඔය ප්‍රදේශයේදී අද (15) සොයාගෙන තිබෙනවා.

අදාළ කහ තොගය බෝට්ටු දෙකකින් (2) මෙරටට රැගෙනවිත් ඇති අතර, ඒවා අධිශීතකරණ සහිත ලොරියකින් මත්ස්‍යයන් ප්‍රවාහන කරන මුවාවෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කහ ඇසුරුම් කළ දෙදෙනෙකු (2) ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් හලාවත සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

(15.02.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) උපදෙස් ලබාදී තිබෙනවා.

පළාත්පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අරලියගහ මන්දිරයේදී පැවති අතර, ඊට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව අදාළ සංශෝධනය දැනටමත් සූදානම් බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවයි ඊට එක්වූ විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

(15.02.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

52 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක් විසින් 20 හැවිරිදි වියේ පසුවූ තරුණියක් මුහුණුපොත හරහා රවටා රැගෙනගොස් ඇති පුවතක් ඊයේ (14) වාර්තා වී තිබෙනවා.

ආදරවන්තයන්ගේ දිනය යෙදුනු පෙබරවාරි 14 එනම් ඊයේ (14) මෙම පුවත වාර්තාවන්නේ අරණායක වසන්තගම ප්‍රදේශයෙන්.

අදාළ 20 හැවිරිදි තරුණිය කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇයගේ පෙම්වතා ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති 52 හැවිරිදි දෙදරු පියා ෆෙස්බුක් ඔස්සේ තමන් 20 හැවිරිදි වියේ පසුවන බව හැඟවීමට ව්‍යාජ ඡායාරූපයක් යොදාගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ බිරිඳ සහ දරු දෙදෙනා (2) සාමසර කන්ද නායයාම හේතුවෙන් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඔවුන් මීට මාස 6 කට පමණ පෙර මුහුණුපොත හරහා ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය 11 වනදා රාත්‍රියේ අග්බෝපුර බස් නැවතුම්පොළට එනලෙස තරුණියට දැනුමි දි ඇති 52 හැවිරිදි පෙම්වතා හිස් වැසුමක් හා මුව ආවරණයක් පැළඳ තරුණිය හමුවිමට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී අදාළ තරුණිය එම පුද්ගලයා සමඟ නිවසින් පැනවිත් ඇති අතර පසුව පෙම්වතා මුඛ ආවරණය හා හිස් වැසුම ඉවත් කිරිමෙන් පසුවයි ඔහුගේ සැබෑ රුව දුටු තරුණිය තමා රැවටී ඇතිබව දැනගෙන ඇත්තේ.

එහිදී තරුණිය පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇත්තේ තමා මුහුණු පොතේ දැක ආදරය කළ පෙම්වතා නොව තම පියාටත් වඩා වැඩිමහල් අයෙකු තමා රවටා කැඳවා ගෙනවිත් අඹු කමට තබාගෙන තමාට කරදර හිරිහැර කරන බවයි.

මේ පිළිබඳව දැනුම්දීමත් සමඟ ඊයේ 14 දිනයේ අදාළ නිවසට ගිය පොලිසිය පෙම්වතා අත්අඩංගුවට ගෙන තරුණියද පොලිසියට කැඳවාගෙනවිත් ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පසුව මව්පියන් කැඳවා තරුණිය ඔවුන් වෙත භාරදීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

අරණායක පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ෴

***************************************

(15.02.2021 – 18:39 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ මාර්තු මස 31 වනදා සිදුවූ බැඳුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස් ඇතුලු 10 දෙනෙකුට එරෙහිව නඩු විභාගය පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@@@

(15.02.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා වෛරසයට එරෙහි ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාදීම හෙට (16) ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මන්ත්‍රීවරුන් 224 දෙනාට හෙට (16) සිට ලබන සිකුරාදා දක්වා යුද හමුදා රෝහලේදී එන්නත ලබාදීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ ෴

තවත් කොරෝනා ආසාදිතයන් 715 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 69,411 ක් දක්වා ඉහලගොස් ඇති බවයි සඳහන් වන්නේ ෴

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ සීරම් ලිමිටඩ් අතර කොරෝනා එන්නත් මිලට ගැනීම සඳහා වන ගිවිසුමට, නීතිපතිවරයා සංශෝධනවලට යටත්ව අනුමැතිය ලබාදී ඇති බව නීතිපති සම්බන්ධීකාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ෴

අද (15) දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් ආසාදිතයන් 311 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 75,965 ක් ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *