මෙරට කොවිඩ් මරණ 400 ආසන්නයේ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අනිද්දා (17) වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

මෙරට කොවිඩ් මරණ 400 ආසන්නයේ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අනිද්දා (17) වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

*********************************************

මෙරට කොවිඩ් මරණ 400 ආසන්නයේ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අනිද්දා (17) වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

(15.02.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) දිනයේදීත් තවත් කොරෝනා මරණ 07 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, ඊයේ (14) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 802 නෙකු මෙරටින් වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 75,654 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එසේම පසුගිය ජනවාරි මස 29 වන දින සිට ඊයේ (14) දිනය දක්වා පුද්ගලයින් 1,89,349 දෙනෙකුට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ඊයේ (14) දිනයේදී පමණක් ලබාදී ඇති එන්නත් සංඛ්‍යාව 2695 ක් බවයි.

මේ අතර, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් 08 දෙනා ඉංජිනේරු පීඨයේ සිසුන් වන අතර මහනුවර සහ තෙල්දෙනිය කොරෝනා මධ්‍යස්ථානවලට මේ වන විටත් යොමු කර ඇති බවයි විශ්වවිද්‍යාල පරිපාලනය සඳහන් කළේ.

මීට අමතරව තවත් සිසුන් 250 ක් පමණ විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ අක්බාර් සිසු නේවාසිකාගාරයේ ආරක්ෂිතව රදවා තබා තිබෙනවා.

මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර අධ්‍යයනයකට සහභාගිවීමට නියමිතව සිට කොවිඩ් 19 ආසාදනය වූ ශිෂ්‍ය කණ්ඩායමේ පළමු පෙළ ආශ්‍රිතයින් 4 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (14) තහවුරු වී තිබෙනවා.

ඒ, පසුගිය 4 වන දින මානව ශාස්ත්‍ර පීඨයේ සිසුන් 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වීමෙන් පසුව පසුගිය 12 වන දා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුවයි.

අදාළ සිසුන් මේ වන විට පැවැත්වෙන අවසන් වාර විභාග කටයුතු සඳහා සම්බන්ධ සිසුන් නොවන බැවින් විභාග කටයුතු අඛණ්ඩව පැවැත්වීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් ද කොරෝනා ආසාදනය වූ සේවක සේවිකාවන් 27 දෙනෙකු හඳුනාගෙන ඇති බවටයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව තවත් සේවක සේවිකාවන් 67 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක තම ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුමක් මෙතෙක් නොලැබුණු හෙයින් අනිද්දා දින රට පුරා රෝහල්වල සේවයෙන් බැහැර වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ආදේශක සේවකයින් ස්ථීර නොකිරීම ඇතුළු ඉල්ලීම් 11 ක් සම්බන්ධයෙන් මීට පෙර ද ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන්ට ලීසිං වාරික ගෙවීමට ලබාදී තිබූ සහන කාලය මාර්තු 31 වනදායින් අවසන් වීමට නියමිත බැවින් එය තවත් වසරකින් දීර්ඝ කරන ලෙසටයි ෴

++++++++++++++++++++

(15.02.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ඊයේ (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට 80 වන වියේ පසුවූ ඔහු පසුගිය දා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යැවුණා.

1941 අගෝස්තු මස 05 වන දින හපුතලේ දී උපත ලැබූ විජේසිංහ ජයවීර මුදියන්සෙලාගේ ලොකුබණ්ඩාර හෙවත් වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිස එම රජයේ දේශීය වෛද්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ කටයුතු කළා.

එමෙන්ම, 1989 වසරේදී සංස්කෘතික කටයුතු, අධ්‍යාපන හා මාධ්‍ය අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කරනු ලැබුවා.

1994 වසරේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය පරාජයට පත්වීමෙන් පසුව 2001 දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේ ද වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතායි.

2004 අප්‍රේල් 22 වන දා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පත්වූයේ පැය 09 ක් පුරා පැවති මතභේදාත්මක රහස් ඡන්ද විමසීමකින්.

ඒ අනුව 2004 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා පාර්ලිමේන්තුවේ 16 වන කථානායක ලෙස අභාවප්‍රාප්ත වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා කටයුතු කළා.

දේශපාලනයට අමතරව සාහිත්‍යධරයෙකු, ගීත රචකයෙකු සහ කවියෙකු වන මොහු මුණිදාස කුමාරතුංග සූරීන් ආරම්භ කරන ලද ‘හෙල හවුලේ’ සිංහල සාහිත්‍ය සංවිධානයේ සාමාජිකයෙකු වනවා.

සීගිරි ගී සර, රසදීපනී, ගරු කතානායකතුමනි – මැතිසබේ කළ කතා වැනි ග්‍රන්ථ කිහිපයක් රචනා කර තිබෙනවා.

අභාවප්‍රාප්ත වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පුතුන් තුන් දෙනෙකුගේ (3) පියෙකු වනවා.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතින්ට අනුකූලව අද (15) කොටිකාවත්ත ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි ෴

++++++++++++++++++++

(15.02.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහි ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ජනතාවට ලබාදීම බස්නාහිර පළාතෙන් අද (15) සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ බස්නාහිර පළාතේ වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් සහිත පිරිස් සහ ජනතාව සමඟ වැඩි වශයෙන් ගැවසෙන පුද්ගලයන්ට ඒ යටතේ ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

මේ අතර කොරෝනා ආසාදිතව ඊයේ (14) අභාවප්‍රාප්ත වූ හිටපු කථානායකවරයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද (15) පස්වරු පහට (05:00) කොටිකාවත්ත ආදාහානාගාරයේදී සිදු කිරීමට නියමිතයි.

නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසෙහි අද (15) පස්වරු තුන (03:00) දක්වා ඔහු වෙනුවෙන් ශෝකය සටහන් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයන් 75,654 කු වාර්තාවී ඇති අතර, ඊයේ (14) වාර්තාවූ නව ආසාදිතයන් 802 දෙනාගෙන් වැඩිම පිරිසක්, එනම් 238 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 162 කුත් කළුතරින් 68 දෙනෙකුත් රත්නපුරයෙන් 45 දෙනෙකුත් පුත්තලමෙන් 39 දෙනෙකුත් නුවරඑළිය සහ කුරුණෑගලින් ආසාදිතයන් 38 දෙනෙකුත් වාර්තා වුණා.

එමෙන්ම මහනුවරින් 32 කු, මාතලෙන් 25 දෙනෙකු සහ කිලිනොච්චියෙන් ආසාදිතයන් 20 දෙනෙකු වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.

කෙසේ වෙතත් රට තුලින් වාර්තාවන ආසාදිතයන් පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳ මේ වනවිට ගැටළු පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා.

මේ අතර නව කොරෝනා ප්‍රභේදය රට තුළ කොතරම් දුරට ව්‍යාප්තව පවතින්නේද යන්න මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යයනය කරමින් සිටින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද (15) පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියා.

දංකොටුව – බුජ්ජම්පොල ප්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ආහාර නිෂ්පාදනය කරන ආයතනයකින් කොරෝනා ආසාදිතයන් 36 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

එම කර්මාන්තශාලාවෙන් මීට පෙර ආසාදිතයන් අටදෙනෙකු (08) හඳුනාගැනීමත් සමඟ පනස්දෙනෙකුට (50) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම නව ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එහි වෙළඳසැල් 5 ක් වසා දැමීමට පියවර ගැනුනා.

එමෙන්ම කොරෝනා ආසාදිත නිලධාරියෙකු හඳුනාගැනීම හේතුවෙන් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අද (15) දිනයේ වසා තැබෙන බව ඊයේ (14) නිවේදනය කළද ඒ පිළිබඳව සන්නිවේදනය නොවූ පිරිස් සේවා ලබාගැනීම සඳහා එම ස්ථානය පැමිණ තිබුණා.

එම තත්වය හමුවේ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන පරිශ්‍රය තුළ යම් නොසන්සුන්කාරී තත්වයක් හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

@@@@@@@@@@@@@@@@

(15.02.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala)

සිය දරුවන් සිඟමනේ යොදවා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් දෙදෙනකු (2) පෙරේදා (13) අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 26 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙකු (2) බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනාම (2) දෙදරු (2) මව්වරුන් වන අතර ඔවුන්, ඔවුන්ගේ දරුවන් අම්බලන්ගොඩ නගරයේ සිඟමනේ යොදවා, මෙම කාන්තාවන් දෙදෙනා (2) ගණිකා වෘත්තියේ නියැලී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මව්වරුන් දෙදෙනා (2) සහ බාලවයස්කාර දරුවන් සිව්දෙනා (4) බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔවුන් ඇප මත මුදා හැර තිබෙනවා.

ඇප ලබාදීමෙන් අනතුරව මොවුන්ට අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 22 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ෴

***************************************

(15.02.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 01 වනදා ජනාධිපතිවරයාට භාර දුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (15) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අද (15) කැබිනට් මණ්ඩලයට එම වාර්තාව ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවකදී ප්‍රකාශ කළ බවයි.

මෙම කොමිසම වසර එකහමාරකට (1½) ආසන්න කාලයක් සාක්ෂිකරුවන් 457 දෙනෙකුගෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි විමසනු ලැබුවා.

2019 වසරේ අප්‍රේල් 21 දින දිවයිනේ දේවස්ථාන 03 ක් ඇතුළු ස්ථාන අටකදී (8) එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් 260 කට පමණ සිය ජීවිත අහිමි වුණා.

පාස්කු ඉරුදින සිදුවූ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සඳහා පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරුණේ 2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදායි.

මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කටයුතු කළ අතර, එහි සෙසු සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරියක වන මංගලිකා අධිකාරීයි.

කොමිසමේ පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 වනදාත් දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු 02 වනදාත් හිටපු ජනාධිපතිවරයාට සහ වත්මන් ජනාධිපතිවරයාට භාරදුන්නා.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය 1,588 දෙනෙකුගෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර, එවක ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඒ අතරට අයත් ෴

***************************************

(15.02.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන ‘බඩෝවිට අසංක’ නැමති පුද්ගලයාගේ සමීපතමයෙකු වැල්ලවත්ත – වේළුවනාරාම ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක් සහ රුපියල් 6,15,000 ක මුදලක් සොයා ගත් බවයි ෴

***************************************

(15.02.2021 – 09:06 +0530 – hirunews.lk/sinhala)

ගෙලිඔය ප්‍රදේශයේදී සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඊයේ (14) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පසුගිය 12 වනදා ගෙලිඔය නගරයේ ත්‍රිරෝද රථගාලකදී මෙම පහරදීම සිදුව ඇති අතර පසුව ඔහු මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයා ද ත්‍රිරෝද රථ රියදුරෙකු වන අතර ඔහුගේ ත්‍රීරෝද රථය පිටුපසට ගැනීමේදී තවත් ත්‍රිරෝද රථයක ගැටී ඇති අතර එහිදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙනුයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කිලිනොච්චිය – උමයාල්පුරම් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ 14 ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 03 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයා උමයාල්පුරම් ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි අයෙක්.

සිද්ධියෙන් තුවාල ලැබූ තුන් දෙනා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ගැටුමට සම්බන්ධ 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි ෴

***************************************

(15.02.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත ආවරණය වන අයුරින් ඊයේ (14) සිදුකළ විශේෂ මෙහෙයුමකිනන් යතුරුපැදි 28 ක් සහ ලොරි රථ 3 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළේ අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ රථ වාහන හා යතුරුපැදි 128 ක් සහ අධික වේගයෙන් ධාවනය කළ වාහන 57 ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවයි.

මාරක රිය අනතුරු අවම කිරීමේ අමුණෙන් මෙලෙස විශේෂ රථ වාහන මෙහෙයුම් ආරම්භ කර ඇති අතර බස් රථ, ටිපර් රථ හා යතුරුපැදි 4962 ක් අදාළ කාලසීමාව තුළ පරීක්ෂා කර තිබෙනවා ෴

***************************************

(15.02.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

පළමු ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා සිය මව සමඟ පාසලට යමින් සිටි සිසුවෙකු ලොරියකට යටවී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බදුල්ල, අසේලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වරුන් ප්‍රදීෂ් නමැති සිසුවා අද (15) උදෑසන මෙම අනතුර මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

සිය මව සමඟ පාසලට යමින් සිටින අතර තුර සිසුවා පාසල ආසන්නයේදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර අනතුරින් තුවාල ලැබූ මව ද බදුල්ල මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

***************************************

(15.02.2021 – 10:12 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාකාරී දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව භාරතීය ජනතා පක්ෂය පවසනවා.

එහි හිටපු සභාපති ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා මේ බව සදහන් කර ඇත්තේ එම පක්ෂයේ අභ්‍යන්තර හමුවකදියි.

පසුව ඔහුගේ මෙම ප්‍රකාශය ත්‍රිපුර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බිබ්ලප් ඩෙබ්ප් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවයි ද හින්දු පුවත්පත වාර්තා කළේ ෴

***************************************

(15.02.2021 – 11:11 +0530 – sinhala.adaderana.lk)

කොළඹ (මරදාන – ඩීන්ස් පාරේ) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් අද (15) උදෑසන හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබුණි.

‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේ උදෑසන 09:15 ට පමණ එම ගින්න ඇතිව තිබූ බවය.

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීම් රථ අදාළ ස්ථානයට ළඟාවන විටත් ගින්නෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

***************************************

(15.02.2021 – 11:36 +0530 – hirunews.lk/sinhala)

පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් මොණරාගල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී එකවර උණ්ඩ දෙකක් (2) පිටවන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

***************************************

(15.02.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සතිඅන්ත ජාතික පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ විමල් වීරවංශ මහතා අතර ඇතිව තිබෙන මත ගැටුම සම්බන්ධයෙන් අදත් (15) පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

***************************************

(15.02.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නයේ දේශීය අර්තාපල් වගාව හිටු මැරීමේ රෝගයට ගොදුරුවීමෙන් වැලිමඩ ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා.

ගොවීන් චෝදනා කරන්නේ ආනයනික බීජ අර්තාපල් ප්‍රභේදයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවටයි.

මහ කන්නයේදී අර්තාපල් ගොවීන් වගා කටයුතු සිදු කරනු ලබන්නේ යල කන්නයේ වගා කිරීමට අවශ්‍ය බීජ ලබා ගැනීමට සිය අස්වනු සහ අළෙවිය සඳහායි.

වගා කටයුතු සඳහා ගොවීන් දේශීය මෙන්ම ආනයනික බීජද යොදාගනු ලබනවා.

මෙවර කන්නයේදී ගොවීන් ආනයනික බීජ පෙට්ටියක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 18,500 ක් වැනි ඉහළ මිලකටයි.

වැලිමඩ බොරලන්ද ආදී අර්තාපල් බහුලව වගා කෙරෙන ප්‍රදේශවල අක්කර සිය ගණනක් මේ වන විටත් මෙම රෝගයට ගොදුරුව විනාශ වී ගොස් අවසන්.

ගොවීන් චෝදනා කරන්නේ ප්‍රමිතියෙන් තොර බීජ ආනයනය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවටයි.

ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් අදාළ ගැටලුව පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි.

***************************************

(15.02.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වීමෙන් සිර දඬුවම් විඳීමට සිදුවූ පුද්ගලයින්ට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටුවිය යුතු බව පවසමින් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

***************************************

(15.02.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවේශවීමට අපේක්ෂා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය පවසනවා.

එහි හිටපු සභාපති ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මේ බව සඳහන් කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ අභ්‍යන්තර හමුවකදියි.

කෙසේ වෙතත්, ඊයේ (14) ත්‍රිපූර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බිප්ලබ් ඩෙබ් මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

ඔහුගේ ප්‍රකාශය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ මෙන්ම නේපාලය තුළ ද දේශපාලන කටයුතු ආරම්භ කිරීමට භාරතීය ජනතා පක්ෂය සූදානම් බවයි.

සිය පක්ෂ ලකුණ වන නෙළුම් මල අසල්වැසි රටවල ද පිපෙනු ඇති බව ත්‍රිපූර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, භාරතීය ජනතා පක්ෂ ප්‍රධානීන්ගේ මෙම ප්‍රකාශවලට ඉන්දීය කොංග්‍රස් පක්ෂය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

එමගින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව හෝ නේපාලය වැනි ස්වෛරී රටවල පාලන තන්ත්‍රයට බලපෑම් කිරීමට භාරතීය ජනතා පක්ෂයට කිසිදු හැකියාවක් හෝ අයිතියක් නොමැති බවයි.

වෙනත් රටක දේශපාලන පක්ෂයකට ශ්‍රී ලංකාව තුළ දේශපාලනයේ නිරත විය හැකි දැයි අප නීති විශාරදයෙකු මෙන්ම මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ එවැන්නක් සිදුකිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

***************************************

(15.02.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් දැඩි අවදානම් තත්ත්වයකට පත්වුණා.

ඒ හේතුවෙන් මේවන විට බොහෝ පිරිසකට සිය රැකියා ඇතුළු ආදායම් මාර්ග රැසක් අහිමි වී තිබෙනවා.

කොවිඩ් වසංගතයත් සමඟ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා එල්ල වී ඇති බලපෑම පිළිබඳ විමසා බැලීමටයි මේ වෑයම.

මීට වසරකුත් මාස 2 කට පමණ පෙර චීනයේ වූහාන් නගරයේ සිට ලොව පුරා ව්‍යාප්ත වුණු කොවිඩ්-19 වෛරසය මේ වන විට ලොකයේ මිලියන ගණන් ජනතාව පීඩාවට පත් කරමින් තව තවත් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

වෛරස ව්‍යාප්තියත් සමඟ ලෝකය පුරා දෛනික ක්‍රියාකාරකම් අඩපණ වීම හේතුවෙන් ක්ෂේත්‍ර රැසක රැකියා දැඩි අවදානම් තත්ත්වයකට පත් වුණා.

ඉන් ප්‍රබල බලපෑමක් එල්ල වූ ක්ෂේත්‍රයක් වන්නේ සංචාරක ක්ෂේත්‍රයයි.

2018 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි මිලියන 2.33 ක් සංචාරකයින් හරහා මෙරට ඉපයූ විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.5 කට අධිකයි.

නමුත් 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමත් සමඟ එම වසරේ අවසන් මාස 8 තුළ සංචාරකයින්ගේ පැමිණීම මිලියන 1.9 ක් දක්වා පහත වැටුණා.

අනතුරුව පසුගිය වසරේ මෙරට සංචාරකයන්ගේ පැමිණීම මිලියන 3 ක් දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කළද කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමණින්ම ඇණහිට තිබෙනවා.

මේ හරහා හෝටල්, සංචාරක මඟපෙන්වන්නන්, සමරුඵලක නිර්මාණකරුවන්, ප්‍රවාහන පහසුකම් සපයන්නන්, සෆාරි ජීප් රථ රියදුරන් ඇතුළු විශාල පිරිසකට සිය ජීවිකාව අහිමි වුණා.

එම තත්ත්වය හමුවේ මේ වන විට ඔවුන්ට සිදුව ඇත්තේ මහ මඟට බැසීමටයි.

පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල උසස් රැකියාවල නිරත වූවන්ද මේ වන විට මාර්ග දෙපස විවිධ ව්‍යාපාරවල නිරත වන අකාරය අපට දක්නට ලැබුණා.

සංචාරක කර්මාන්තයේ විවිධ රැකියාවල නිරත වූවන්ටද මේ වන විට අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමක්.

මේ අතර සංචාරක රියදුරු එකමුතුව පෙන්වා දෙන්නේ සිය රථවාහන සඳහා රජය ලබා දුන් සහනය ලීසිං සමාගම් හරහා නොලැබෙන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *