ජිනීවා කවුන්සිලයේදී රටවල් රැසක සහය ලැබෙනු ඇති බව සරත් වීරසේකර කියයි

ජිනීවා කවුන්සිලයේදී රටවල් රැසක සහය ලැබෙනු ඇති බව සරත් වීරසේකර කියයි

*********************************************

ජිනීවා කවුන්සිලයේදී රටවල් රැසක සහය ලැබෙනු ඇති බව සරත් වීරසේකර කියයි

(14.02.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට රටවල් රැසක සහයෝගය හිමිවනු ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

වාද්දුව ප්‍රදේශයේ ඊයේ (13) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය තිහ-එක (30-1) යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය බොහෝ රටවල ප්‍රශංසාවට හේතුවී ඇති බවයි.

***************************************

(14.02.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

දේශීය කහ සඳහා ස්ථාවර මිලක් නියම කර දෙන ලෙසට ගොවීන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

කහ ආනයනය නවතා දේශීය කහ ගොවීන් සඳහා වෙළඳපොළක් සකස් කිරීමට රජය සිදුකළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් අදාළ ස්ථාවර මිල ලබාදී තමන්ට සහ පාරිභෝගිකයින්ට සහන සලසන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ගොඩකවෙල, වැලිගෙපොළ, ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ රැසක කහ වගා කළ ගොවීන් සිය අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

සාමාන්‍ය වෙළඳපළේ කහ ග්‍රෑම් 100 ක මිල රුපියල් 350 ක් වැනි ඉහළ මිලක පැවතිය ද තමන්ගෙන් කහ කිලෝවක් මිලදී ගනු ලබන්නේ රුපියල් 300 කටත් අඩුවෙන් බවයි ගොවීන් චෝදනා කරන්නේ.

***************************************

(14.02.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

නගරයේ ඇති පහසුකම් ගමට ලබාදීම වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) ඓතිහාසික කන්දේ විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින්.

ඊයේ (13) පස්වරුවේ එම විහාරස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන් ද බැහැදුටු අතර, එහිදී රටේ පවතින තත්වය හමුවේ ධර්මානුකූල පිළිවෙතින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට අනුශාසනාවක්ද සිදුකළා.

මේ අතර ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) ආරම්භ කෙරුණා.

එහිදී අදහස් දැක්වූ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් කියා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල කළ පිරිසට අවශ්‍යව තිබුණේ ශ්‍රී ලංකාව යළි දෙකඩ කිරීම බවයි.

***************************************

(14.02.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ට ලබාදීමට යෝජිත රුපියල් දහසේ (1000) දෛනික දීමනාව පඩි පාලක සභාවට ඉදිරිපත් කිරීම මගින් ඔවුන්ගේ වැඩකරන දින ගණන අඩු කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එම පක්ෂයේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මේ බව සඳහන් කළේ ‘සොරි කවුද දිනුම්’ සම්මන්ත්‍රණ මාලාවට බදුල්ලේදී ඊයේ එක්වෙමින්.

***************************************

(14.02.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදීම සඳහා චීනය බලපෑමක් සිදු නොකළ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දීය මාධ්‍ය නාලිකාවක් වන ‘සී.එන්.එන්. නිව්ස් 18’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

(14.02.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – දාරලුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික ඉපැරණි ‘කෲඩියා සෙලනිකා’ ශාකය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරීක්ෂණයට ලක්වුණා.

අද (14) දහවල් තවත් පිරිසක් සමඟ අදාළ ශාකය සමීපයට ගිය හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පරිසර සංවිධාන ඇතුලු වගකිවයුතු බලධාරීන් සමඟ ‘කෲඩියා සෙලනිකා’ ශාකය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය තමන් පෞද්ගලිකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

අදාළ ශාකය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුව පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා වෙත පසුගියදා භාරදී ඇති අතර, එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නියමිතයි ෴

***************************************

(14.02.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

සතිඅන්ත ජාතික පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇතිව තිබෙන මත ගැටුම සම්බන්ධයෙන් කලාකරුවන් පිරිසක් අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

***************************************

(14.02.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වීමෙන් සිර දඬුවම් විඳීමට සිදුවූ පුද්ගලයින්ට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටුවිය යුතු බව පවසමින් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

***************************************

(14.02.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ආදරණීය හිත් තවත් ආදරයෙන් පුරවාලන ආදරවන්තයින්ගේ දිනය අදට (14) යෙදී තිබෙනවා.

හදවතේ උපන් නිර්මල ආදරය කිසිදු ලාබාපේක්ෂාවකින් තොරව පුද කරන්නට පුලුවන් නම් මෙවර ආදරවන්තයින්ගේ දිනයට නව අරුතක් ගෙන දෙන්නට ඔබට හැකි වනු නොඅනුමානයි.

සාලිය – අශෝකමාලා, සාජහන් – මුම්ටාස්, බොහෝ කැප කිරීම් මැද කළ ආදරය ජයගත් ලොව මවිත කළ ප්‍රේමනීය යුවළ ලෙසින් ඉතිහාසයට එක්වී අවසන්.

එවන් වූ තවත් ආදරණීය යුවළක් අපිට වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයෙන් හමුවුණා.

48 වැනි වියේ පසුවන තුවාන් මොහොමඩ්ට අනෙක් මිනිසුන්ට මෙන් කැඩපතකින් බලා තමන්ගේ සුන්දරත්වය විඳින්නට වරම් නැහැ.

ඒ ඉතා දුර්ලභ චර්ම රෝගයකින් සහ ආබාධිත තත්ත්වයකින් ඔහුගේ මුළු ජීවිතයම වෙලාගෙන සිටීම හේතුවෙන්.

ජීවිතයේ බොහෝ දේ අහිමි වුවත් තුවාන්ට ජීවිතය අලුතින් දකින්නට, ජීවිතය විඳින්නට ආදරණීය හිතක් ළඟ නතර වෙන්න පුලුවන් වෙලා තිබෙනවා.

වත්මන් සමාජයේ ආදරය කියන අකුරු 4, පිටතින් පෙනෙන රුව, මිල මුදල් මත පදනම් වුවත් මේ ආදරයට එවැනි සීමා මායිම් කිසිවක් නැත්තේ හදවතේ උපන් නිකැලැල් සෙහෙනස නිසාමයි.

තමන්ගේ ජීවිතයට නව අරුතක් දුන් ඇය නසීරා.

තමන්ගේ රෝගී තත්ත්වය හමුවේ එකකුස උපන් සහෝදර සහෝදරින් පවා තුවාන්ව ප්‍රතික්ෂේප කළත් නසීරාගේ ආදරය ඒ හැම වේදනාවක්ම දර ගන්නට තුවාන්ට ශක්තියක් වෙලා තිබෙනවා.

තුවාන්ගේ රුව දැකීමෙන් බොහෝ දෙනා තුළ බිය ජනක හැඟීමක් ඇති වුවත් නසීරා මනසින් හැම විටම දකින්නේ තුවාන්ගේ ආදරණීය හිතයි.

නිර්මල ආදරයට බාහිරින් පෙනෙනෙ බොහො දේ බාධාවක නොවන බවට කදිම උදාහරණයක් තුවාන් නසීරා ආදර අන්දරයෙන් ලොවට කියා පානවා.

බාහිරින් පෙනෙන රුව පරයා යමින් හදවතේ සුන්දරත්වය දකින්නට පුලුවන් සමාජයක් බිහි කරන්නට තුවාන් නසීරාගේ නිමක් නොමැති මේ ආදරය අදට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයට එක් කරන්නේ මහගු ආදර්ශයක්.

***************************************

(14.02.2021 – 14:33 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – ඇලයාපත්තුව – කුඩාමානිංගමුව කෑළෑබඳ ප්‍රදේශයකදී වන අලියෙකු පහරදී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් පිරිසක් වනජීවී නිලධාරීන්ට පහරදී තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (13) රාත්‍රියේ මෙලෙස පහරකෑමට ලක්වූ අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන් හතරදෙනෙකු (4) අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පසුගිය සිකුරාදා (12) පස්වරුවේ මෙම වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණේ 62 හැවිරිදි ගොවියෙකු වන අතර, ප්‍රහාරයෙන් පසුව ඔහු අතුරුදන්ව සිටියා.

කෙසේ වෙතත්, ඔහුව සෙවීමට වනජීවි නිලධාරීන් ප්‍රමාදවී පැමිණි බව පවසමිනුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ ෴

***************************************

(14.02.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ සැකකරුවෙකු රත්මලාන – ගොනාකෝවිල ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ අංශය විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘රත්මලානේ ලාරා’ යනුවෙන් හැදින්වෙන මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධීන් රැසක සැකකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

රත්මලාන – වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවූවෙකු බවට අනාවරණ වී තිබෙනවා ෴

***************************************

(14.02.2021 – 16:38 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය – කොටවෙහෙර – ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ ඝාතනය කර තිබියදී සොයාගත් උපකාරක පන්ති ගුරුවරයාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

මෙලෙස ඝාතනය කර තිබුණේ කළුතර – මග්ගොන සහ ඒ අවට උපකාරක පන්ති පවත්වන 25 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙක්.

සිද්ධියට අදාළව සැකකරුවන් හයදෙනෙකු (6) මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

පසුගිය 10 වනදා මොහුගේ සිරුර අදාළ රක්ෂිතය තුළ තිබී සොයා ගැනුණේ ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකට අනුවයි.

පසුගිය 08 වනදා සීදූව ප්‍රදේශයේ රැදී සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ගුරුවරයාව පැහැරගෙන ගොස් තිබුණා.

දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවටයි ෴

***************************************

(14.02.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

වසර 19 ක කාලයක් ආබාධිතව සිටි තරුණයෙකු සමඟ අතිනත ගත් තරුණියක පිළිබඳ පුවතක් ගාල්ල, ඉමදූව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ශිරෝමි පතිරණ නමැති මෙම තරුණිය විවාහා දිවියට පිවිසියේ සුනිල් ශාන්ත නම් තරුණයා සමඟයි.

2002 වසරේදී අඹ කැඩිමට ගොස් ඉන් ඇද වැටී අනතුරට ලක්ව ඇති මෙම තරුණයා එදින සිට මේ දක්වා වසර 19 ක කාලයක් ඇවිදීමට නොහැකිව ආබාධිත තත්ත්වයේ පසුවනවා.

මොවුන්ගේ විවාහ ලියාපදිංචිය හටන්ගල ග්‍රාම නිලධාරිනිය, ආර්ථික සංවර්ධන නිලධාරිනිය, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ තරුණයින් එක්ව සංවිධානය කර තිබූ බවයි වන්නේ.

අද (14) දිනට යෙදී තිබෙන ‘ආදරවන්තයින්ගේ දිනය’ට සැබෑ අරුතක් එක්කරමින් සිදු වූ මෙම විවාහ මංගල්‍ය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය මේ වනවිටත් යොමුව තිබීම විශේෂත්වයක්.

***************************************

(14.02.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය, උමයාල්පුරම් ප්‍රදේශයේදී අද (14) දහවල් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) බරපතල තුවාල ලබා තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ උමයාල්පුරම් ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුව ඇති අතර, එහිදි එම ස්ථානයේදීම 35 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

බරපතල කැපුම් තුවාල ලැබූ අනෙක් තිදෙනා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වැලි ජාවාරමක් සම්බන්ධයෙන් වූ අර්බුදයක් මෙම ගැටුමට හේතු වී ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ගැටුමට සම්බන්ධ කණ්ඩායම් දෙකේ අය සොයා වැඩිදුර පරීක්ෂණ කිලිනොච්චිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා ෴

***************************************

(14.02.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – දාරලුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික ඉපැරණි ‘කෲඩියා සෙලනිකා’ ශාකය මැදි කර කඩවත – මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය වෙත යෝජනා කළ බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළා.

පසුගිය දා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් එම ශාකය නිරීක්ෂණය කළ අතර, අදාළ යෝජනාව ඇතුළත් වාර්තාව විෂය භාර අමාත්‍ය සී.බී. රත්නායක මහතා වෙත භාරදීමෙන් අනතුරුව මහා මාර්ග අමාත්‍යාංශයට මේ වන විට යොමු කර තිබෙනවා.

මේ අතර, මෙම ශාකය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට උචිත ක්‍රියාමාර්ගය වන්නේ එම ශාකය පවතින ස්ථානයේ තැබීම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ එම ශාකය අද (14) දහවල් නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

@@@@@@@@@@@@@@

(14.02.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහජනතාවට වඩාත් සමීපව කටයුතු කරන ප්‍රාදේශීයව පවතින කුඩා වෛද්‍ය මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලවලට ද මෙම එන්නත ලබාදීමට ලබන බදාදා (17) සිට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත් අඩංගු එක් බෝතලයක් 11 දෙනෙකුට ලබාදීමට හැකියාව පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙනවා.

මේ අතර, දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාලේඛනවල දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ වාර්තා අතර පරස්පරතා පවතින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

ඊයේ (13) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 796 දෙනා අතරින් වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් 280 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128 දෙනෙකු, මහනුවරින් 91 දෙනෙකු, කළුතරින් 59 දෙනෙකු සහ රත්නපුරයෙන් 42 නෙකු ලෙස ඊයේ (13) ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මේ අතර, මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ එකම පවුලේ 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

හලාවත අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන 21 හැවිරිදි තරුණියක් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 2 වන දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදිත බව හඳුනා ගැනීමත් සමඟ පළමු පෙළ ආශ්‍රිතයින් 8 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදීයි එම පවුලේ තවත් ආසාදිතයන් 5 දෙනෙකු හදුනාගෙන ඇත්තේ.

එම ආසාදිතයන් අතර මුන්දලම සිංහල විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු සහ බත්තුලුඔය රජයේ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු ද වන අතර ආසාදිත දරුවන් ඉගෙනුම ලැබූ පන්ති කාමරවල සිටි දරුවන් සහ ගුරුවරුන් මේ වන විට නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එමෙන්ම, අද (14) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ගුවන් යානා 9 කින් ගුවන් මගීන් 656 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණ තිබෙනවා.

එමෙන්ම තවත් ගුවන් යානා 10 කින් ගුවන් මගීන් 652 නෙකු විදේශ රැකියා සදහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ.

+++++++++++++++++++

(14.02.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන (3) වසරේ ඉගෙනුම ලබන සිසුන් 8 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

අවසන් වසර විභාගයට පෙනී සිටීම සඳහා විශ්වවිද්‍යාලයට පැමිණි සිසුවෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බවයි තහවුරු වී ඇත්තේ.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් 46 දෙනෙකු විශ්ව විද්‍යාල පරීශ්‍රයේම නිරෝධායනයට යොමු කරමින් 11 වන දා සිදුකල පී.සී.ආර්. පරීක්ෂණයෙන් තවත් සිසුන් 7 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වූ බව එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ටී.එන්.ඒ. සමරක්කොඩි මහතා කියා සිටියා ෴

+++++++++++++++++++

(14.02.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනවාරි 29 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ එන්නත පුද්ගලයින් 1,86,654 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

මේ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ මෙරට එන්නත්කරණය සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතුව ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කර ඇති චක්‍රලේඛවලට අනුව ක්‍රියා කිරීමේ දී එන්නත් මාත්‍රා සැලකියයුතු ප්‍රමාණයක් අපතේ හැරීමට සිදුව ඇති බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ.

මෙරටට ගෙන්වා ඇති එන්නත් බහලුමක් මගින් පුද්ගලයන් 10 දෙනෙකුට එන්නත ලබාදෙන ලෙස නියමකර ඇති නමුත් එම බහලුමේ ඇති එන්නත් මාත්‍රා 11 ක් භාවිත කිරීමේ හැකියාව පවතින බවයි රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (14) දිනයේ 68,000 සීමාව ඉක්මවා ගියා.

ඒ ප්‍රතිකාර ලබා සුව වූ තවත් ආසාදිතයින් 865 දෙනෙක් අද (14) දිනයේ රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

ඒ අනුව මෙරට සුව ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 68,696 ක් ලෙසයි ෴

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන ශාඛාවේ නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම ආයතනය හෙට (15) දිනයේ වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා ෴

++++++++++++++++++++

(14.02.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 357 දෙනෙකු අද (14) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ආසාදිතයින් 357 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,209 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 865 දෙනෙකු අද (14) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 68,696 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++

(14.02.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

රට වසා දැමීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

නව කොරෝනා වෛරසය ප්‍රභේදය වැළදුණු රෝගීන් පිරිසක් මෙරටින් වාර්තා වීමත් සමඟ රට වසා දැමීමට සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ පුවත් පළව ඇති අතර ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමිනුයි යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ.

++++++++++++++++++++

(14.02.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

සීග්‍ර ව්‍යාප්තියක් සහිත නව කොරෝනා ප්‍රභේදය රට තුළින් වාර්තාවී තිබුණද රට වසා දමන්නේද, නැද්ද යන තීරණයට එළඹෙන්නේ විශේෂඥ මතය අනුව පමණක් බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මේ මොහොතේ නිවැරදිව ක්‍රියාත්මක නොවුණහොත් ඉදිරි මාසයක කාලය තුළ සම්පූර්ණයෙන්ම රට අඩපණ වීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර, කොරෝනා ආසාදිත නිලධාරියෙකු හඳුනාගැනීම හේතුවෙන් හෙට (15) දිනයේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය වසා තැබීමට තීරණය කර තිබෙනවා.

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන ඉන්දීය නිලධාරියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබෙනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු ඉදිරියට පත්වාගෙන යන බවයි.

මේ අතර අද (14) දිනයේදී නව ආසාදිතයින් 357 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,209 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ආසාදිතයන් 865 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 68,696 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *