ජනපති මීමුරේට

ජනපති මීමුරේට

*********************************************

ජනපති මීමුරේට

(13.02.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

ජනපති ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ දසවන (10) අදියර අද (13) මීමුරේ – කයිකාවල ප්‍රාථමික විද්‍යාලය ආශ්‍රිතව ක්‍රියාත්මක වනවා.

අද (13) එම ප්‍රදේශයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ – කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වුණා.

එහිදී ඉතා අඩු පහසුකම් යටතේ වුවද, අධ්‍යාපනයට සිසුන්ගේ ඇති ඇල්ම පිළිබඳව ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කළ බවයි ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් වී තිබුණේ.

***************************************

(13.02.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් තරුණියන් විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ට සීමා කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මුස්ලිම්වරුන්ට පමණක් බලපාන නීති සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

***************************************

(13.02.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් විදුලිබල උද්පාදනයේදී පුනර්ජනනීය බලශක්ති උපයෝගී කර ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමුකර වී තිබෙනවා.

මෙවන් පසුබිමක 2030 වන විට මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම වත්මන් රජයේ ඉලක්කයයි.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030 වන විට මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට වත්මන් රජය රජය අපේක්ෂා කරනවා.

පාවෙන සූර්ය විදුලි විදුලි බලාගාර ඉදිකිරීමේ නවමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර ඇත්තේ ඒ අනුවයි.

රන්දෙනිගල, උඩවලව සහ කලා වැව ජලාශයන් කේන්ද්‍ර කර ගනිමින් ඊට අදාළ ශක්‍යතා අධනයන් සිදු කිරීමට නියමිතයි.

මේ අතර කසල මගින් විදුලිය ජනනය කිරීමේ මෙරට පළමු බලාගාරය කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකර තිබෙනවා.

රුපියල් මිලියන 15,000 ක ආයෝජනය වූ මෙම ව්‍යාපෘතිය හරහා දිනකට කසල ටොන් 700 ක් යොදා ගනිමින් , මෙගාවොට් 10 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ලබන 17 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ නිරීක්ෂණ කටයුතු අද (13) සිදු කෙරුණේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

(13.02.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය නිසි ලෙස රාජකාරිය ඉටු නොකල බවට චෝදනා කරමින් බලංගොඩ සීතගල ප්‍රදේශයේ පිරිසක් විරෝධතාවක නිරත වුණා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට පොලීසිය පොරොන්දු වීමෙන් පසු ඔවුන් එම විරෝධතාව අවසන් කලා.

බලංගොඩ සීතගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් සිය නිවස තුළදීම ඝාතනයට ලක්ව තිබුණේ පසුගිය 8 වනදා රාත්‍රියේදීයි.

මිය ගිය පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ එදින රාත්‍රියේ මත්පැන් පානය කර ඇති අතර අනතුරුව ඝාතනය සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බාප්පා කෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චෝදනා කරන ඥාතීන් ඊයේ (12) දිනයේ සීතගල මංසන්ධියට පැමිණ විරෝධතාවක නිරත වුණා.

ඒ තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට සිටියදී පොලීසිය ඒ පිලිබඳව කටයුතු නොකරන බවට චෝදනා කරමින්.

එහිදී විරෝධතාකරුවන් විසින් මිය ගිය පුද්ගලයාගේ දේහයද එම ස්ථානයට රැගෙන එනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී බලංගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන් කලේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් සිටීද යන්න ප්‍රකාශ කල හැක්කේ විමර්ශණයෙන් පසුව බවයි.

***************************************

(13.02.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

නිසි මාර්ග පද්ධතියක් සංවර්ධනයේ මූලික අවශ්‍යතාවක්.

නමුත් නිසි සැලසුමක් නොමැතිව ක්‍රියාත්මක කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් යළි පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවයි.

මේ කන්තලේ පරාක්‍රම මාවත, ජයන්තිගම ඔස්සේ දිවෙන ප්‍රධාන මාර්ගයයි.

කානු පද්ධතියක් නොමැතිවීමෙන් වැසි දිනවල කන්තලේ වැව සහ නව රජ ඇළ ඔස්සේ එන ජලයෙන් මෙම මාර්ගය සහ අවට ප්‍රදේශය ජලගැලීම් වලට ලක්වන්නේ වසර ගණනාවක සිටයි.

නිසි මාර්ග පද්ධතියක්නොමැතිවීමෙන් සහ නිරන්තර ජලගැලීම් වලින් පීඩාවට පත් ගම්වාසීන් මේ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් ලිඛිතව දැනුවත් කළේ වරක් දෙවරක් නොවේ.

අවසානයේ ඔවුන් සිය ඉඩම් කොටස් වුවද කානු පද්ධතියක් සහිත මාර්ගයක් වෙනුවෙන් පවරා දීමටද එකඟ වී තිබුණා.

කෙසේ වෙතත් වසර 50 කට පමණ පසු මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ වුවත් මේ ජනතාවට අත්‍යවශම කානු පද්ධතිය නොමැති වීම කනගාටුවට කරුණක් බව ගම්වාසීන් චෝදනා කරනවා.

ප්‍රමිතියකින් තොරව සිදු කරන්නා වූ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් මහජන මුදල් නිකරුණේ නාස්ති වීම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ කවදාද?

***************************************

(13.02.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය ඇතුළු පාර්සලයක් සොයා ගෙන තිබෙනවා.

ඊයේ (12) මෙම පාර්සලය බන්ධනාගාරය තුලට විසිකරන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරින් විසින් එය භාරයට ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම පාර්සලයේ තිබී ජංගම දුරකථන 3 ක්, දුම්කොළ 4 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් ඇතුළු මත්ද්‍රව්‍ය කිහිපයක් ද, සොයා ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

***************************************

(13.02.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2020 වසර තුල රජයට හිමිවූ විදේශ විනිමය තුළු-ගලනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2 දක්වා පහත වැටුණු බව මහබැංකුව පවසනවා.

පෙර වසරේදී එය ඩොලර් බිලියන 6.5 ක් ලෙස පැවතුණා.

රජයේ සුරැකුම්පත් සඳහා ලැබුණු ආයෝජන වලට වඩා විදේශ ආයෝජන ඉවත් කර ගැනීම් පසුගිය වසරේ දක්නට ලැබුණු අතර එම වෙනස ඩොලර් මිලියන 553 ක් පමණ වන බව මහබැංකු කාර්ය සාධන වාර්තාවේ සඳහන්.

කෙසේ නමුත්, විගාමික ශ්‍රමිකයන්ගෙන් දිවයිනට ලැබුණු ආදායම පසුගිය වසරේ ඩොලර් බිලියන 7.1 දක්වා සියයට 5.8 කින් වර්ධනය වීම විශේෂත්වයක් ෴

***************************************

(13.02.2021 – 16:02 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ වුණා.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, මෙම බෝධීන් වහන්සේගේ අලුතින් මතුව ඇති අංකුර සහ මුල්, ක්‍රමානුකූලව වැඩීම පිණිස ප්‍රමාණවත් අවකාශ ලැබෙන පරිදි ඇතුළු ප්‍රාකාරය සහිත මළුව පුළුල් විය යුතු යැයි ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එසේම, ඊට උචිත පරිදි පළමු ප්‍රාකාරය සැදැහැවතුන්ගේ වන්දනා මාන හා පුදපූජා සඳහා පෞරාණික බෝධි ප්‍රාකාර හා බෝධිඝර සංරක්ෂණය පිලිබඳ විශේෂඥයින් උපදෙස් මත විශාල කොට ඉදිකිරීම අත්‍යාවශ්‍ය බව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(13.02.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කොමසාරිස්වරියක ලෙස යෝගේෂ්වරී පත්කුණරාජා මහත්මිය පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකට අනුවයි.

මාස හයක (6) කාලසීමාවක් බලපැවැත්වෙන පරිදි පසුගිය මස 20 වනදා සිට පත්කර ඇති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් කටයුතු කරන අතර, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සෙසු සාමාජිකයන් ෴

***************************************

(13.02.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් කොස්ලන්ද, අලුත්වෙල ප්‍රදේශයේ රුපියල් කෝටි තුනකට (3) ආසන්න වටිනාකමකින් යුත් ගංජා හේන් දෙකක් (2) වටලා සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස කළක පටන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19, 24, 29 සහ 34 යන වයස් වල පසුවන්නන්.

ඔවුන් ඉදිරි විමර්ශන සදහා කොස්ලන්ද පොලිසිය වෙත භාර දී තිබෙනවා.

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරනු ලබනවා.

***************************************

(13.02.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ දසවන (10) අදියර අද (13) මධ්‍යම පළාතේ උඩුදුම්බර – මීමුරේ ගම්මානයේදී පැවැත්වුණා.

දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට එම ගම්මානවලට ගොස්ම විසඳුම් ලබාදීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

ඒ අනුව, අද (13) ප්‍රථමයෙන්ම ජනාධිපතිවරයා මීමුරේ – කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයට ගොස් එම පාසලට අලුතින් ස්මාට් පන්ති කාමරයක් ප්‍රදානය කරනු ලැබුවා.

එමෙන්ම, ප්‍රදේශයට දැඩි අවශ්‍යතාවක් පැවති මීමුරේ සිට උඩුදුම්බර දක්වා ගමන් කිරීමට නව බස් රථයක් ද ජනතා අයිතියට පත් කරනු ලැබුවා.

එහිදී පාසලේ ගැටලු මෙන්ම ජනතාවගේ ගැටලු විමසූ ජනාධිපතිවරයා මීමුරේ කනිෂ්ඨ විද්‍යාලයේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට ද නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා.

***************************************

(13.02.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අද (13) අලුයම දෙකේ (2) සිට 6 දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකදී විදේශීය දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයින් 14 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අතර, කාන්තාවන් තුන් දෙනෙකු (3) ද සිටින අතර, එම මෙහෙයුමේදී විදේශීය දුම්වැටි කාටුන් 36 ක්, සහ විදේශීය මත්පැන් බෝතල් 22 ක් අත්අඩංගුවට ගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.

අත්අඩංගුවට පත්වූවන් අතර, වරෙන්තුකරුවන් ද සිටින අතර, මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි ෴

@@@@@@@@@@@@@@@@

(13.02.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදය කොරෝනා වෛරසයට එරෙහිව දියත් කරන ක්‍රියාමාර්ග සඳහා බාධා පමුණුවා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොරෝනා රාජකාරී කිරීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ගැටළු රැසකට මේ වනවිට මුහුණ පා තිබෙනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ ඊයේ (12) පැවැත් වූ සාකච්ඡාවකදී මේ බව අනාවරණ වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ.

ඊයේ (12) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 940 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ බස්නාහිර පළාතෙන්.

එම සංඛ්‍යාව 618 ක්. දිවයිනෙන් වාර්තා වූ ආසාදිතයින් අතරින් දිස්ත්‍රික්කයකින් වාර්තා වූ වැඩිම සංඛ්‍යාව වූ 278 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබුණා.

ඉන් 23 දෙනෙකු ගනේමුල්ල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 129 දෙනෙකු වාර්තා වී තිබු‍ණේ කොළඹ මහ නගර සභා සීමාවෙන්.

ඊයේ (12) දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් හඳුනාගත් අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් 88 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 79 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 51 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 47 ක් ලෙසද ආසාදිතයින් වාර්තා වුණා.

මේ අතර, කොළඹ – මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් 04 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබනවා. ඔවුන්ගෙන් එක් අයෙක් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ යෙදී සිටියදී ආසාදිතයෙකු බවට තහවුරු වී තිබුණා. එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති පිරිස 26 ක්.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි.

මේ අතර, කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් විකෘති වූ ප්‍ර‍භේදය මෙරට ප්‍රදේශ 4 කින් වාර්තා වීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (13) මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා.

මේ අතර, තලාතුඔය ප්‍රදේශයේ නිරෝධායනය කළ නිවසක සිටි තරුණියකට අයුතු බලපෑම් සිදුකළ 53 හැවිරිදි තලාතුඔය පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළව එම පොලිස් නිලධාරීයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (13) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

++++++++++++++++++++

(13.02.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව නිෂ්පාදනය කල කොවිඩ් 19 එන්නතට කුඩා ළමයින් දක්වන ප්‍රතිචාරය පිළිබඳ පරීක්ෂණාත්මක අධ්‍යයනයක් අද (13) දියත් කෙරෙනවා.

ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් සිදුකරන එම අධ්‍යයනය මගින් එන්නත ලබා දෙන ලමයින් තුල ප්‍රතිදේහ නිෂ්පාදනය වන්නේ ද යන්න මෙන්ම එය භාවිත කිරීමේ සුරක්ෂිතතාව පරීක්ෂා කෙරෙනු ඇති.

මේ සඳහා වයස අවුරුදු 6 ත් 17 ත් අතර ළමයින් 300 දෙනෙකු නියැදියක් ලෙස තෝරා ගෙන තිබෙනවා.

එන්නත් මාත්‍රා දෙකකින් (2) සමන්විත ඔක්ස්ෆ්ර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෝලීය කොරෝනා එන්නත ලෙස හඳුන්වනු ලබන්නේ එය මිලෙන් අඩුවීම සහ ගබඩා කිරීමට අධි ශීතලක් අවශ්‍ය නොවීම හේතුවෙන්.

ඇස්ට්‍රාසෙනකා කොරෝනා එන්නත් මාත්‍රා බිලියන 3 ක් මේ වසර තුළ නිපදවීමට අපේක්ෂා කරන අතර, ශ්‍රී ලංකාවේ යොදා ගැනෙන්නේ ඉන්දියාවේ පූනේ හි සීරම් ආයතනයේ කොවිෂීල්ඩ් නමින් නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆ්ර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නතයි ෴

++++++++++++++++++++

(13.02.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

තරුණියකට අයුතු බලපෑම් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, තලාතුඔය ප්‍රදේශයේ 53 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.

අදාළ පොලිස් වසමේ නිරෝධායන කර තිබු නිවසක සිටි තරුණියකට මෙම නිලධාරීයා අයුතු බලපෑම් කර ඇති බව සඳහන්.

සැකකාර නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා ප්‍රකාශ කළේ.

මෙම නිලධාරියා නිරෝධායනය කර ඇති නිවස පරීක්ෂා කිරීමට ගොස් තරුණියට අයුතු යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

+++++++++++++++++++

(13.02.2021 – 18:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 847 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 67,831 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 428 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 74,484 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++++

(13.02.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මරණ භූමදානයට සහ ආදාහනයට තමන් ඇතුළු කමිටුව අවසර ලබා දුන් බව, කොරෝනා මරණවල අවසන් කටයුතු සිදු කල යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කල විද්වත් කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සදහන් කලේ භූමදානය සදහා විශේෂිත නිර්නායක ඔස්සේ අදාළ අවසර ලබා දුන් බවයි.

කොරෝනා මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එච් මුණසිංහ මහතා විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී පත් කලා.

එහි සභාපතිනිය ලෙස ශ්‍රී ලංකා එන්නත් හා බෝවන රෝග පිලිබඳ සංසදයේ හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා පත් කෙරුණු අතර එම කමිටුවේ නිර්දේශ මෙතෙක් රටට අනාවරණවී නැහැ.

+++++++++++++++++++

(13.02.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව සති 08 ත්, 12 ත් අතර කාලයකදී ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

එන්නත පසුගිය ජනවාරි මස 29 වැනිදා සිට ලබාදීම ආරම්භ කෙරුණු අතර, මේ වනවිට පුද්ගලයින් 1,79,197 කට එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ විශේෂඥයින්ගේ මතය අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.

කොරෝනා වසංගතය සමඟ කටයුතු කිරීමේදී ඉදිරිය පුරෝකථනය කිරීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළා.

මේ අතර පාකිස්ථානයේ සත්ව උද්‍යානයක සිටි වසරක් (1) පමණ වයසැති කොටි පැටවුන් දෙදෙනෙකු (2) කොවිඩ්-19 ආසාදිතව මිය ගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *