කොරෝනා මර්දන වියදම රුපියල් බිලියන 110 යි – පී.සී.ආර්. සඳහා පමණක් දෛනිකව රුපියල් මිලියන 100 ක්

කොරෝනා මර්දන වියදම රුපියල් බිලියන 110 යි – පී.සී.ආර්. සඳහා පමණක් දෛනිකව රුපියල් මිලියන 100 ක්

*********************************************

කොරෝනා මර්දන වියදම රුපියල් බිලියන 110 යි – පී.සී.ආර්. සඳහා පමණක් දෛනිකව රුපියල් මිලියන 100 ක්

(13.02.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 940 දෙනෙකු ඊයේ (12) වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 74,056 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අඛන්ඩව 900 කට අධික කොරෝනා ආසාදිතයින් දිවයිනෙන් වාර්තා වූ 04 වන දිනය ඊයේ (12) දිනයයි.

මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 70,030 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 6,688 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ (12) දිනයේදී තවත් ආසාදිතයින් 773 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 66,984 ක්.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 384 ක් දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොටගල පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු උග්‍ර කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික් රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මතුගම පදිංචි 79 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු අක්‍රීයවීමයි.

කොවිඩ් නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව සහ අධි රුධිර පීඩනය හේතුවෙන් කොටහේනේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, මුල්ලේරියාව මූලික රෝහලේදීයි. එසේම, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත්වුණා. වැලිසර ලය රෝහලේදී ඔවුන් මියගොස් තිබූ අතර, මරණවලට හේතු වී තිබුණේ පෙනහළු රෝගී තත්ත්වය, කොවිඩ් නියුමෝනියාව සහ ශ්වසන පද්ධතිය අක්‍රීය වීමයි.

මේ අතර, කොවිෂීල්ඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (12) වනවිට පුද්ගලයින් එක්ලක්ෂ 79,197 දෙනෙකුට එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. ඊයේ (12) දිනයේදී එලෙස එන්නත් ලබාදුන් සංඛ්‍යාව 1,110 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා මර්දනය සඳහා රජය මේ වනවිට රුපියල් බිලියන 110 ක් වැය කර තිබෙනවා. කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේ දිනකට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රුපියල් මිලියන 100 ක් වැය වන බවයි.

එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ මේ වනවිට බ්‍රිතාන්‍යයේ පැතිර යන ඉහළ ප්‍රචාරණ හැකියාවක් සහිත බී 1-1-7 කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බැවින් ජනතාව දැඩි ලෙස නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සිදුකළ යුතු බවයි ෴

++++++++++++++++++++

(13.02.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසනවා.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය අංශ විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ රැසක් හඳුන්වා දුන්නා.

ඒ අනුව අදාළ ක්‍රමවේද අනුගමනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව විමර්ශන සිදුකළ අතර, ඊට අදාළවයි මෙම නඩු පැවරීම් සිදුකර ඇත්තේ ෴

++++++++++++++++++++++

(13.02.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (12) දිනය තුළ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එමඟින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගම්පහින් මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 278 ක් බවයි.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනෙකු ඇතුළු සෙසු දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 309 දෙනෙකු මෙලෙස ඊයේ (12) හඳුනාගත් ආසාදිතයින් අතර වනවා ෴

+++++++++++++++++++++

(13.02.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 615 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (13) පෙරවරු 08:30 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ගුවන් ගමන් 13 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස අතරට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 135 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 173 දෙනෙකු ද ඇතුළත්.

එමෙන්ම, ගුවන් ගමන් 9 ක් මගින් ශ්‍රී ලාංකිකයන් 431 දෙනෙකු රැකියා සඳහා විදේශ රටවල් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

++++++++++++++++++++

(13.02.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 615 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (13) පෙරවරු 08:30 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ගුවන් ගමන් 13 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස අතරට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 135 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 173 දෙනෙකු ද ඇතුළත්.

එමෙන්ම, ගුවන් ගමන් 9 ක් මගින් ශ්‍රී ලාංකිකයන් 431 දෙනෙකු රැකියා සඳහා විදේශ රටවල් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++

(13.02.2021 – 12:42 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – පූජා නගරය ආසන්නයේ පිහිටි බුලන්කුලම වැව් රක්ෂිතයේ ඉඩම් නීතිවිරෝධීව අත්පත් කර ගෙන ඇති බවට හිරු ප්‍රවෘත්ති කළ අනාවරණය සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රක්ෂිතයේ සිටින පිරිස් සති දෙකක් (2) තුළ ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

බුලන්කුලම වැව් රක්ෂිතයේ සිදුවන නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අප පසුගියදා හිරු ප්‍රවෘත්ති හරහා අනාවරණ කළා.

ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ‘සිංහලේ අපි ජාතික සංවිධානයේ’ කැඳවුම්කරු පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ද පසුගියදා එම ප්‍රදේශයට පැමිණි අතර එහිදී ද වැව් රක්ෂිතයට අයත් ඉඩම් ප්‍රදේශයේ පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට අනාවරණ වුණා.

මේ පිළිබඳව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අවධානයට යොමුවීමෙන් පසු ඔහු ඊයේ (12) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයා උතුරුමැද පළාත් ඉඩම් කොමසාරිස්වරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා.

@@@@@@@@@@@@@@@@@

(13.02.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී මියගිය බවට සැකකෙරෙන ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ මරණය තහවුරු කර ගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ ඉල්ලා සිටි පරිදි ඔහුගේ මවගෙන් සහ සහෝදරියගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල ඉන්දියාවට යැවීමට කටයුතු කෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඉන් අනතුරුව සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘අංගොඩ ලොක්කා’ගේ මියයෑම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගත හැකි බවයි.

කළුතර එතනමඩල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ‘සමයං’ නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස චෝදනා ලබා සිටින ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී මියගිය බවට අවස්ථා කිහිපයකදී තොරතුරු වාර්තා වී තිබුණා.

කෙසේ වෙතත්, ඒ පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කළ සාක්ෂි මෙතෙක් හමුව නොමැති අතර, ඊට අදාළව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමට අනුව සැකකරුගේ ළඟම ඥාතීන්ගෙන් ඩී.එන්.ඒ. සාම්පල ලබා ගැනීමට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව ඉන්දීය ආරක්ෂක අංශ ඉල්ලා සිටි පරිදි අදාළ ඩී.එන්.ඒ. සාම්පල අංගොඩ ලොක්කාගේ මව සහ සහෝදරියගෙන් ලබාගෙන ඇත්තේ පසුගිය 09 වැනිදායී.

ඒ අනුව නුදුරු දිනකදී අදාළ ඩී.එන්.ඒ. සාම්පල ඉන්දීය බලධාරීන් වෙත යැවීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(13.02.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

එක් දිනක් තුළ මෙරට විශාල පුරන්කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

පුරන්කුඹුරු අස්වැද්දීම සහ වෙනත් වගා කටයුතුවල යෙදෙන තරුණයින්ට ණය පහසුකම් ලබාදීමටද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සඳහන් කළේ.

එමෙන්ම, අක්කර 5 ක් හිමි ගොවීන්ට ලබාදුන් ගිනි අවි බලපත්‍රය වගා අක්කරයක් හිමි ගොවීන්ට ලබාදීමට හැකිවන ආකාරයෙන් චක්‍රලේඛ සංශෝධනය කරන බවද පෙරේදා පැවති එම උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා සඳහන් කළා.

ඌරන්, රිලවුන් වැනි සතුන් නිසා ගොවීන් වගා කටයුතු වලින් ඉවත් වීම නිසා මෙම තීරණය ගන්නා බවයි ඔහු එහිදී කියා සිටියේ.

මේ අතර, සමූපකාර සංකල්පයකට අනුව උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල වී මිලදී ගැනීම කටයුතු සඳහා ණය ලබාදීම අද (13) සිට ආරම්භ වනවා.

සමූපකාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ එහි ආරම්භක අදියර වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරය සහ කුරුණෑගල පළාත් සභා කාර්යාලයේදී ආරම්භ වන බවයි.

ඒ අනුව, වී මෙට්‍රික් ටොන් 45,000 ක් මිලදී ගැනීමට නියමිතයි. සියයට 4 ක ණය මුදලක් ඒ සඳහා ලබා දෙන බවත්, ණය මුදල මාස 06 කින් ගෙවිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා ෴

***************************************

(13.02.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 06 ක් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

වෙඩි තැබීම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන යතුරුපැදියක් පානදුර – ඌරකඩුව තොටුපල ආසන්නයේ තිබී පසුගිය දිනකදී සොයා ගනු ලැබුවා.

ඒ, ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාව මෙන්ම, පොලිස් කිමිඳුම් නාවික කොට්ඨාශයේ කණ්ඩායමක් බොල්ගොඩ ගඟෙහි සිදුකළ මෙහෙයුමකදීයි.

මෙම ඝාතනය සඳහා යොදාගත් ටී-56 ගිනි අවිය පානදුර – වදුරම්මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක් අසල පැරණි ලී කොටයක් තුළ සඟවා තිබියදී පසුගිය මස 29 වනදා සොයා ගැණුනා.

කෙසේ වෙතත් වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනා (2) සහ අදාළ යතුරුපැදිය ලබා දුන් පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නැහැ ෴

***************************************

(13.02.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 05 ක් ස්ථාපිත කර තිබෙනවා.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනපති කාර්ය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික මට්ටමින් විසඳිය යුතු සංවර්ධන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම අදාළ අනුකමිටුවල වගකීම බවයි.

පසුගිය 10 සහ 11 යන දිනයන්හි අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

අදාළ ජාතික සංවර්ධන කමිටුව කෘෂිකාර්මික, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් සහ මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන වශයෙන් 5 කට අයත්.

ඒ අනුව කෘෂිකාර්මික අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙකු ද, රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු ද කටයුතු කරනවා.

ජීවනෝපාය අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු කටයුතු කරන බවයි ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේ.

යටිතල පහසුකම් අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු කටයුතු කරන අතර, සමාජ යටිතල පහසුකම් අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 5 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු කටයුතු කරනවා.

මීට අමතරව, මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙකු පත් කර තිබෙනවා ෴

***************************************

(13.02.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට කාන්තා ජනගහනයෙන් 5 න් 1 ක් අක්‍රිය දුම්පානය සඳහා යොමුවන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වෛද්‍යවරයා සඳහන් කළේ කාන්තාවන් ඍජුවම දුම්පානය සිදු නොකළද එවැනි පුද්ගලයින් ආශ්‍රය කිරීම තුළින් සිදුවන ආඝ්‍රහණය මෙම තත්ත්වයට වැඩි වශයෙන් බලපා ඇති බවයි ෴

***************************************

(13.02.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ කිහිපයකදී මෝටර් රථවල පැති කණ්නාඩි සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ දෙමටගොඩ පොලිස් මාර්ග බාධයකදී යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි ෴

***************************************

(13.02.2021 – 12:30 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – දාරලුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික ඉපැරණි ‘කෲඩියා සෙලනිකා’ ශාකය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුව පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා වෙත භාරදී තිබෙනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු රජය ඉදිරි පියවර ගනු ඇති බවයි.

මේ අතර, මෙරට සියලු ශාක වල සංරක්ෂණ මට්ටම ඇතුළත් නවතම ‘ජාතික රතු දත්ත ග්‍රන්ථය’ ඉදිරි සති කිහිපයේ ප්‍රකාශයට පත් වීමට නියමිතයි.

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වර්ගීකරණ හා සංරක්ෂණ විද්‍යා පිළිබඳ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා එම ග්‍රන්ථයේ ප්‍රධාන උපදේශකවරයායි ෴

***************************************

(13.02.2021 – 12:38 +0530 – hirunews.lk/sinhala)

උතුරේ දෙමළ දේශපාලනඥයින් ඇතැම් විදෙස් රටවල ඒජන්තවරුන් ලෙස කටයුතු කරමින් මෙරට තුළ ජාතිවාදය හා ආගම්වාදය වපුරවමින් සිටින බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රය චෝදනා කරනවා.

එහි කැඳවුම්කරු අරුල් සිද්ධාර්ථන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ යුද සමයේ අපරාධ කළ පිරිස තමන්ට අපරාධ වූ බව හඟවමින් වර්තමානයේ ජිනිවා මානව හිමිකම් කොමිසම වෙත යාම හාස්‍යයට කරුණක් බවයි.

***************************************

වික්ටර්ව විනාශ කළේ මේ ගැහැණිය; වික්ටර්ගෙ ගෙදර බුදු පිළිමෙ නෑ; වික්ටර්ගේ මිත්‍රයා හෙලිකල කතාව (01.02.2021)

++++++++++++++

අමා දහර
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
දෙව්රම් වෙහෙරේ
නිවන් දුටු හිමි
පුන් සඳින් රැස්
සිරිමා බෝමැඩ
මෝහෙන් මුලාවෙලා

+++++++++++++

සර්, මෝහෙන් මුලාවෙලා ! රාගෙන් අන්ධ වෙලා ! ඔය වල් බැල්ලිව අතහැරලා දරුවන් ලඟට යන්න !

+++++++++++++++

“වික්ටර් රත්නායක මහල්ලා, නෙලූ අධිකාරි ලූයියා” – කොටුවේ පොඩි හාමුදුරුවෝ | Talk with Sudaththa (11.02.2021)

***************************************

රුපියල් කෝටි හතළිහක (40) ගොඩනැගිල්ල වෙනුවෙන් තරුණයෙක් මරා දමලා

(15.02.2021 – aruna.lk)

රුපියල් කෝටි හතළිහක් පමණ වටිනා මාතර නගරයේ ගොඩනැගිල්ලක් සම්බන්ධ ආරවුලකට තොරතුරු තාක්ෂණ ගුරුවරයකු ඝාතනය කර ඇති සැකකරුවන් හයදෙනෙකු ගැන තොරතුරු සීදුව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ඝාතනයට ලක්වන තොරතුරු තාක්ෂණ ගුරුවරයා නමින් සම්පත් හිරන්ත ප්‍රනාන්දුය. ඔහු විසිපස් හැවිරිදිය. බිරිඳ රමීෂා කාවින්දිට අයත් මාතර නගරයේ ​ගොඩනැගිල්ල බදුගත් පාර්ශ්වයක් සමග මාතර අධිකරණයේ නඩුවක්ද පවතී. මැදගම මල්ශාලා ගොඩනැගිල්ල නමින් එම ගොඩනැගිල්ල ප්‍රසිද්ධය.

එම නඩුවට සහභාගි වී නිවසට පැමිණි අවස්ථාවේ රමීෂා කාවින්දිගේ මව කපා කොටා ඝාතනය කරන්නේ නාඳුනන පිරිසක් විසින්ය. මීට වසර තුනකට පෙර එම ඝාතනය සිදුවන්නේ මොරටුව, රාවතාවත්තේ ඔවුන්ගේම නිවසේදීය.

එම ඝාතනය තවමත් අභිරහසක් නිසා විමර්ශන භාරකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.

නැන්දණියගේ මරණයෙන් පසුව මෙම මාතර ගොඩනැගිල්ලේ අයිතිය ඇත්තේ සම්පත් හිරන්තගේ බිරිඳටය. ඇයට මවගේ උරුමයෙන් ලද ගොඩනැගිල්ල සැමියාගේ මරණයෙන් අහවර වේ යැයි ඇයත් නොසිතන්නට ඇත.

එම ඝාතනය සැලසුම් කරන්නේ මාතර සිටය. සැලසුමට අනුව සම්පත් හිරන්තව ඔහු පදිංචි කුලියාපිටිය නිවසින් පිටතට ගන්නේ ෆේස් බුක් පෙම්වතියක යොදාගෙනය.

ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකස් කර මෙම තරුණිය හිරන්තගේ මිතුරියක බවට පත්කරන්නේ හිරන්තටත් නොදැනීය. ඇයට හිරන්ත පිටතට ගෙනැවිත් දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ගෙවීමට සැලසුමේ මහ මොළකරු යෝජනා කර තිබේ.

සැලසුමේ මහ මොළකරු කෝටිපති ව්‍යාපාරිකයකුය. ඔහු හිරන්තගේ බිරිඳට අයත් ගොඩනැගිල්ලේ ව්‍යාපාර කටයුතු කාලයක් කරගෙන ආ අයෙකි. ගොඩනැගිල්ල බදුදීම සම්බන්ධව ඇති වූ ආරවුලකින් පසුව බදු කුලි නොගෙවීම නිසා නඩු මගට යන්නටද හිමිකරුවන්ට සිදුවිය.

අවසානයේ ගොඩනැගිල්ල හිමිකරුවන්ට මුදල් ගෙවන්නට රුපියල් කෝටි ගණනක් වටිනා ජීප් රථය පවා විකුණන්නට සිදුවිය. ව්‍යාපාර බිඳවැටීම නිසා අසරණ වූ තැන එහි පලිය හිරන්තගෙන් ගැනීමට යන්​නේ තමාට වූ පාඩුවට වාඩුව ගන්නටය.

මෙම නඩුවේ නීතිඥයා හා මාතර ගොඩනැගිල්ලේ යාබද ව්‍යාපාරිකයාත්, ඔහුගේ බිරිඳවත් ඝාතනය කිරීමද ඔවුන්ගේ සැලසුම විය.

කුලියාපිටිය, මග්ගොන නිවසට පැන හිරන්තව කපාකොටා ඝාතනය කිරීමට ව්‍යාපාරිකයා සැලසුම් කළද, එය ව්‍යර්ථ විය. හිරන්තගේ නැන්දණිය ඝාතනය වූ ආකාරයේ ඝාතනයකින් හිරන්ත බේරුණේ ඝාතකයාගේ සැලැස්ම ඉටු නොවූ නිසාය.

ඉන්පසු හිරන්තව නිවසින් පිටතට ගෙන දෙන මෙහෙයුම භාරගත් ෆේස්බුක් හිතවතිය හිරන්තව කටුනායකට ගෙන්වා ගන්නා ගැටයක් ගැසුවාය. සීදුව මුතුවාඩිය පාලම පසුකර පසු ඇය සිටින තැනක් හිරන්තට දැන්වූවාය.

මේ වන විටත් වීරකැටිය, මීගස්ආර, දිවුලපිටිය, හක්මන හා පානදුර අඟුලානේ තරුණයන් සිවුදෙනෙකු සමග කෝටිපති ව්‍යාපාරිකයා හිරන්ත ඩැහැගෙන යන මෙහෙයුමට පියස් වර්ගයේ මෝටර් රථයකින් පැමිණෙමින් සිටියේය.

දිනය පෙබරවාරි 8දාය. එදින උදෑසන 7.00ට පමණ හිරන්ත මග්ගොන සිට ලසන්ත ප්‍රේමලාල් නමැති අයගේ ටොයෝටා වෑන් රථයෙන් කුලී ගමනක් යාමට කියා එන්නේය. හිරන්තගේ කුලී ගමන් නිතර ගියේ ලසන්ත සමගය.

ලසන්තට කීවේ මිතුරෙකුගේ පියකු බැලීමට කටුනායක යමු කියාය. හිරන්ත අතරමගදී ගත් දුරකථන ඇමැතුම්වලින් යායුතු තැන අසා ගත්තේය. හිරන්තගේ ගමනාන්තය මුතුවාඩිය පාලම පසුකර මීටර් 500 ක් ගිය තැන නතර විය. ඔහු වාහනය නතර කරන ලෙස ලසන්තට දන්වා බැසගොස් තරුණියක සමග කතාකරන්නට විය. සුළු මොහොතකින් පියස් වර්ගයේ රථයක් හරස් කර දෙදෙනකු බැස ගත්තේය. හිරන්ත හා එහි සිටි තරුණිය බලෙන් මෝටර් රථයට ඇද දමා ගත් ඔවුන් සීදුව දෙසට හඹායන්නේ සිතාගන්නටවත් ඉඩක් නොතබාය.

ලසන්ත වහාම සීදුව පොලිසියට පැමිණ මෙම පැහැරගැනීම ගැන පැමිණිල්ලක් ​යොමුකරන්නේ 10.15 ට පමණ මෙය වූ බව කියමිනි.

වහාම ක්‍රියාත්මක වූ සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශනට විමර්ශන පැවැරීය.

එම විමර්ශනවලදී ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කළද පැමිණිල්ලේ සඳහන් වේලාවට හෝඩුවාවක් සොයාගත නොහැකි විය. ජංගම දුරකථන දත්ත හා අනෙකුත් සාක්ෂි සැලකීමේදී මෙම පැහැර ගැනීම උදෑසන 9.20ට සිදුව ඇතැයි පොලිසිය අනාවරණය කරගත්තේය. ඒ වන විට සී.සී.ටී.වී. දර්ශන දහසක් පමණ පොලිසියේ පරීක්ෂාවට ලක්වූයේය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබදුන් තෙන්නකෝන්ගේ උපදෙස් මත විමර්ශන විවිධ පැති ඔස්සේ ක්‍රියාත්මක කරද්දී සිද්ධියට සම්බන්ධ තරුණිය ගැන අනාවරණය විය.

ඒ ඔස්සේ ගිය පොලිස් කණ්ඩායම තහවුරු කරගත්තේ පැහැරගැනීමට ලක් වූ හිරන්තව ඝාතනය කළේ මොටර් රථයේ යන ගමන් බවය. හිරන්ත පැහැරගත් පසු ඔහු සමග වාහනයට දමාගත් තරුණිය අතරමගදි බස්සන්නේය. ඒ ඇ​​ගේ කාර්යය අවසන් නිසාය. දෙවරක් නොහිතා වාහනය යන ගමන්ම එහි වූ ලණුවක් හිරන්තගේ ගෙලවටා ගැට ගසා වාහනය තුළදීම හිරකර අවසන් හුස්ම යනතුරු හිරකර තබා ඇත.

දේපළ තණ්හාවට ඉලක්කය අවසන් කළ ඝාතකයන් හිරන්තගේ සිරුර සවස 3.00 වෙද්දි කිලෝමීටර් 105 ක් ගෙවා ගෙනවිත් නිකවැරටිය, කොටවෙහෙරේ කැලෑවක දමායන්නේය. එම සිරුර කොටවෙහෙර පොලිසියට හමුවන්නේ ඉකුත් 11 දාය. එය තම සැමියාගේ බව නියපොතුවලින් හිරන්තගේ බිරිඳ හඳුනාගත්තාය.

සීදුව පොලිසියේ ස්ථානාධිපතිවරයා අපරාධ අංශයේ ස්ථානාධිපති කළ විමර්ශනයේදී ඝාතනයේ සුළමුල සොයාගෙන තිබේ.

ඊයේ (14 දා) වන විට ඝාතකයන් කොටු කරන මෙහෙයුම ක්‍රියාත්මක විය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා
දර්ශාන් කානිල් – ​මොරටුව

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *