කනේ පහරක් කෑ සිසුවෙකුට ලක්ෂ හයහමාරක් වන්දි ගෙවන්නැයි ගුරුවරයෙකුට සහ රජයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

කනේ පහරක් කෑ සිසුවෙකුට ලක්ෂ හයහමාරක් වන්දි ගෙවන්නැයි ගුරුවරයෙකුට සහ රජයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

*********************************************

කනේ පහරක් කෑ සිසුවෙකුට ලක්ෂ හයහමාරක් වන්දි ගෙවන්නැයි ගුරුවරයෙකුට සහ රජයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

(12.02.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

15 හැවිරිදි බාල වයස්කාර සිසුවෙකුට පහරදී ඔහුගේ ශ්‍රවණ හැකියාව අහිමි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර – පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකුට, අදාළ සිසුවාට රුපියල් 150,000 ක මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

අදාළ සිසුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී ප්‍රකාශ කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එම්. කරුණාපාල සහ කේ.ඩී. කුමුදුනී හමුවේ මෙම නඩුව අද (12) විභාගයට ගැනුණා. එහිදී මෙම සිසුවාගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් ද රුපියල් ලක්ෂ 5 ක වන්දියක් අදාළ සිසුවාට ගෙවිය යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

2017 වසරේ මෙම සිසුවාට ගුරුවරයා විසින් පහරදී තිබූ අතර එහිදී සිසුවා ඇද වැටී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජිවිත කාලය පුරාවටම සිසුවාට ශ්‍රවණ හැකියාව අහිමිවීම බරපතල මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බවටයි අධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ වන්දි මුදල් මාස 6 ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසට ද මෙහිදී නියෝග කෙරුණා ෴

***************************************

(12.02.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවනවා.

අන්තර්ජාලය හරහා විවිධ කණ්ඩායම් විසින් පුද්ගලයන් රැවටීමේ ක්‍රියාවලියක නිරතවීමේ සැලසුමක් ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් පෙම්වතා හෝ පෙම්වතිය එවා ඇති ත්‍යාගයක් ලබාගැනීම වෙනුවෙන් මුදලක් තැන්පත් කිරීමට අදාළ කණ්ඩායම් විසින් කෙටි පණිවුඩ මාර්ගයෙන් හෝ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුම්දෙනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

එවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසටයි ඔහු ඉල්ලා සිටියේ.

***************************************

(12.02.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියක අධික වටිනාකමින් යුත් කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ තොගයක්, බොරැල්ල ගෝතමී පාරේ ගබඩාවක තිබී බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාශයේ නිලධාරින් සහ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් එක්ව අද (12) සොයා ගැණුනා.

විදෙස් රටවලින් ගෙන්වා ඇති මෙම උපකරණ, මෙරට ප්‍රධාන රෝහල් සහ ඖෂධ අලෙවිසැල් වෙත බෙදා හරින බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුවයි, අදාළ වැටලීම සිදුකර තිබෙන්නේ.

එහිදී අදාළ ගබඩාවේ හිමිකරු වන 46 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිව සිටින අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාමකයි.

***************************************

(12.02.2021 – 16:33 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම්වරයාගෙන්, නීතිපතිවරයා ඉල්ලා සිටි බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා.

ඇය සඳහන් කළේ සැකකරුවන්ට එරෙහි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා නීතිපතිවරයා එම ඉල්ලීම සිදුකළ බවයි ෴

***************************************

(12.02.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී මෙම වාර්තාව අද (12) දිනයේදී භාර දුන් බවයි.

මෙයට සමගාමීව නූතන ගිහි බෞද්ධ ඉතිහාසය සහ බොදු සමළු සියවස ග්‍රන්ථය ද අග්‍රාමාත්‍යවරයාට මෙහිදී පිළිගන්වා තිබෙනවා ෴

***************************************

(12.02.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ ‘දීඝවාපිය අරුණ’ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී ආරම්භ කෙරුණා.

දීඝවාපිය විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුවයි චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ සැලසුම් කර ඇත්තේ.

ව්‍යාපෘතිය වසර තුනකදී (3) අවසන් කිරීමට අපේක්ෂා කරන අතර රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීම විශේෂත්වයක්.

දෙස් විදෙස් අනුග්‍රාහකයන්ට ඊට මූල්‍ය මෙන්ම ශ්‍රම දායකත්වය දිය හැකියි.

ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර ‘යළි දකිමු දීඝවාපිය’ වෙබි අඩවිය එළිදැක්වීම ද ඔහු අතින් සිදු කෙරුණා.

‘දීඝවාපිය අරුණ’ට පළමු දායකත්වය දෙමින් නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය අඟුල්මඩුවේ අරියනන්ද හිමිපාණන් වහන්සේ පරිත්‍යාග කළ රුපියල් මිලියන 100 ක මුදල සහිත චෙක්පත දායක සභා සමාජික චන්ද්‍රකීර්ති බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, ලංකා බැංකුව, මහරගම පිළිකා රෝහල ද සිය පරිත්‍යාග පිළිගන්වා තිබෙනවා.

සොළොස්මස්ථානවලින් එකක් වන දීඝවාපිය මෙරට දාගැබ් අතර විශාලත්වයෙන් හතරවන (4) ස්ථානය ගන්නවා.

බුදුරජානන්වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර සද්ධාතිස්ස රජතුමා විසිනුයි චෛත්‍ය ඉදිකර ඇත්තේ.

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණයට සමගාමීව පුද බිම වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසමින් ශාලා 04 ක් සහ කාමර 20 කින් යුත් විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා ෴

***************************************

(12.02.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

ඝාතනය කර යතුරුපැදියක ගැටගසා තිබු පුද්ගලයෙකුගේ අස්ථි කොටස් සහිත සිරුරක් හොරණ මීවනපලාන ප්‍රදේශයේ මාවක් ඔයේ තිබී සොයා ගෙන තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ එම ඔයෙහි මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) එය නිරීක්ෂණය කර ඒ පිළිබඳ දැනුම් දුන් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව එම ස්ථානයට ගොස් මළ සිරුර නිරීක්ෂණය කරන අවස්ථාවේදී එය දැඩි ලෙස දියවී ගොස් අස්ථි කොටස් පමණක් තිබී ඇති අතර, ලණුවක ආධාරයෙන් යතුරුපැදියකට සිරුර ගැට ගසා තිබූ බව පොලීසිය කියා සිටියා.

ඝාතනය කර ඇති පුද්ගලයා කවුරුන්ද යන්න සහ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

පොලීසිය සැක කරන්නේ මීට මසකට පමණ ඉහතදී මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි.

අදාළ යතුරුපැදියේ ලියාපදිංචි අංක තහඩු ද නොතිබුණු බව පොලීසිය සඳහන් කළා ෴

***************************************

(12.02.2021 – 18:45 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීමට තරම් ගෙවුම් ශේෂය තවමත් යථාවත් වී නොමැති බැවින් එම සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

එහි අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මේ බව කියා සිටියේ මෑත කාලීන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහබැංකු පරිශ්‍රයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

(12.02.2021 – 18:51 +0530 – hirunews.lk/sinhala)

සුළු පක්ෂවලට තනි තනිව ඉදිරි ගමනක් නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අද (12) ආරම්භ වූ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයට එක්වෙමින්.

***************************************

(12.02.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

දේශීය ටයිල් නිෂ්පාදකයින් සහ ටයිල් ආනයනකරුවන් යන දෙපාර්ශ්වයටම ගැටලුවක් නොවන අයුරින් නව ගැසට් පත්‍රයක් අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින්.

කෙසේවෙතත්, ඔවුන් දෙදෙනාගේ (2) සංවාදය හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තා.

***************************************

(12.02.2021 – 21:00 +0530 – hirunews.lk/sinhala)

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු සහ මව්පියන් පිරිසක් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද (12) සංදේශයක් බාර දුන්නා.

ඒ රණවිරුවන්ට එරෙහිව එල්ල වන චෝදනාවලට එරෙහිවයි.

මියගිය රණවිරු බිරින්දෑවරුන්ගේ හා දෙමව්පියන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් සමග මහජන යුතුකම් කේන්ද්‍රයේ නියෝජිතයින් පිරිසක් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට රැස්වූයේ අද (12) පෙරවරුවේයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් මෙරට රණවිරුන් සම්බන්ධයෙන් සිදුකරන බව පැවසෙන කටයුතුවලට විරෝධය පළකරමින් සංදේශයක් භාරදීමට එහි අරමුණ වී තිබුණා.

***************************************

(12.02.2021 – 22:35 +0530 – hirunews.lk/sinhala)

සියලුදෙනාගේ, සියලු අදහස්වලට පිළිතුරු ලබාදීමට යාමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යන බව බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ මහා සංඝරත්නය ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය වන්නේ විවේචන සාධාරණව සලකා බලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවීම බවයි.

බෞද්ධ උපදේශක සභාව මෙවර රැස්වූයේ 08 වැනි වරටයි.

ඊට සහභාගි වූ මහා සංඝරත්නය පෙන්වා දී ඇත්තේ ඇතැමුන් කුමක් ප්‍රකාශ කළ ද මහා සංඝරත්නය සහ ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි නොමඳ විශ්වාසයක් තබා ඇති බවයි.

ආණ්ඩුව පිළිබඳව නොයෙකුත් පාර්ශ්ව එල්ල කරන පදනම් විරහිත චෝදනා සහ අපහාසවලින් අධෛර්මත් නොවිය යුතු අතර ඉතිරිව ඇති ධුර කාලය තුළ ද ප්‍රතිපත්තිගරුකව රට පාලනය කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

මූලධර්මවාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපය මෙහිදී බෞද්ධ උපදේශක සභාවේ විශේෂ අවධානයට ලක් වුණා.

වර්තමානයේ ධනවතුන්, බලවතුන්, ප්‍රසිද්ධ කලාකරුවන් සහ දේශපාලන නායකයන් පවා මූලධර්මවාදීන්ගේ ගොදුරු බවට පත්ව සිටීම දැඩි කණස්සලයට කරුණක් බවයි මහා සංඝරත්නය පෙන්වා දුන්නේ.

තානාපති සේවය ඇතුළු තනතුරුවලට පත්කීරිමේදී ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාදාමයට පැසසුම් කළ මහා සංඝරත්නය විශ්‍රාම යන පිරිසට විවේක ගන්නා ස්ථානයක් බවට තානාපති සේවය පත් නොවිය යුතු බව පෙන්වා දී තිබෙනවා.

බුද්ධ චරිතය, බෞද්ධ දර්ශනය, පුරාවිද්‍යාත්මක හා පෞරාණික ස්ථානවලට දෙන වැරදි අර්ථ කථන නතර කිරීමේ අවශ්‍යතාව ද මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළා.

ඒ සඳහා බෞද්ධ ග්‍රන්ථ සහ ප්‍රකාශන නියාමන පනත සක්‍රීය කළයුතු අතර ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද මෙම බෞද්ධ උපදේශක සභාවේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(12.02.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

මත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් 19 වැළැක්වීමේ එන්නත ලබාදීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.

දුම් පානයට ඇබ්බැහිවූවන්ගේ පෙනහලු අක්‍රිය වීම සිදුවන බැවින් එය ඔවුන්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් කරන අතර කොවිඩ්-19 ද ශ්වසන පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයක්.

මේ හේතුවෙන් දුම් පානයට ඇබ්බැහිවූවන් කොවිඩ්-19 රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින අතර ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත යොමුවීමේ සහ මරණයට ගොදුරුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මත්පැන් හා දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන බැවින් එන්නත්කරණය තුළින් රටේ උද්ගතව ඇති වසංගත උවදුර මැඩපැවැත්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නොහැකිවනු ඇතැයි ඔහු සඳහන් කළා.

එමෙන්ම මත්පැන් හා දුම්වැටි භාවිත නොකරන අයට මෙම එන්නත් ලබාදීම වඩාත් ප්‍රතිඵලදායක බවයි ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් එන්නත ලබාගැනීමෙන් අනතුරුව අවම වශයෙන් මාස 6 ක් ගතවන තෙක් හෝ මත්පැන් දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිය යුතු බවයි.

++++++++++++++++++++

(12.02.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 773 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 66,984 ක්.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 73,116 ක් වාර්තාවී ඇති අතර ඉන් 5753 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 379 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 528 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 73,644 ක් ෴

++++++++++++++++++++

(12.02.2021 – 18:59 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ පැතිර යන ඉහළ ප්‍රචාරණ හැකියාවක් සහිත බී 1-1-7 කොරෝනා වෛරස් ප්‍රභේදය දිවයිනේ ස්ථාන 04 කින් හඳුනාගෙන තිබෙනවා.

ඒ, කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වවුනියාව යන ප්‍රදේශවලින්.

මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ කොරෝනා වෛරසයේ ජානමය හැසිරීම්වල වෙනස්කම් පිළිබඳ පරීක්ෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මඟින්.

දිවයිනම ආවරණය වන පරිදි එම ආයතනයට ලැබුණු සාම්පල 92 කින් 13 ක මෙලෙස නව වෛරස ප්‍රභේදය අන්තර්ගත බවට හඳුනාගෙන ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ.

මෙම වෛරස් ප්‍රභේදයේ පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයින්ද පෙන්වා දී තිබුණා.

බ්‍රිතාන්‍ය ජාන නිරීක්ෂණ වැඩසටහන නිවේදනය කළේ මෙම වෛරස් ප්‍රභේදය මේ වනවිට ලොව පුරා රටවල් 50 ක ව්‍යාප්ත වී ඇති බවයි.

මීට පෙර අවස්ථාවකදීද මෙම ඒකකය මගින් බ්‍රිතාන්‍යයෙන් පළමු වරට හමුවූ විකෘති වූ ප්‍රභේදය මෙරටින් හඳුනා ගත්තා.

එම අවස්ථාවේදී අදාළ වෛරසය වැළඳී තිබූණේ තරග සංචාරයකට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයකුටයි.

පසුගිය ජනවාරි මාසයේ ඔවුන්ට ලැබුණු සාම්පල පරීක්ෂා කිරීමේදී එලෙස බ්‍රිතාන්‍ය නව කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ එය නිරෝධායන මධ්‍යස්ථානයකින් හෝ මෙරට තුළදීම වෛරසය විකෘති වී හටගෙන ඇති බවට සැක පළ කරන බවයි.

මේ අතර, තවත් පුද්ගලයින් 773 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 66,984 ක් ලෙසයි.

කොවිෂීල්ඩ් එන්නත ලබාගන්නේ නම් මාස හයක්වත් (6) ගතවන තුරු දුම්වැටි සහ මධ්‍යසාර වලින් වැළකී සිටිය යුතු බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නා.

+++++++++++++++++++++

(12.02.2021 – 20:36 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන ද අද (12) අදහස් දැක්වූවා.

+++++++++++++++++++

(12.02.2021 – 21:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව හැත්තෑ හතර දහස (74,000) ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද (12) දිනයේ තවත් ආසාදිතයන් 408 ක් හමුවීමත් සමගයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 74,052 ක්.

අද (12) දිනයේ මෙරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 936 ක්.

හමුවී ඇති ආසාදිතයන්ගෙන් 6693ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති සංඛ්‍යාව 66984ක්.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 379 ක් ද වාර්තාවුණා ෴

අද (12) දිනයේදී පුද්ගලයන් 1110 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව එන්නත ලබාදීම ආරම්භ වූ පසුගිය ජනවාරි 29 වනදා සිට අද (12) දිනය දක්වා එන්නත ලබාදී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 179,197 ක් ෴

+++++++++++++++++++

(12.02.2021 – 22:15 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 5 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 384 ක්.

මියගොස් ඇත්තේ අවුරුදු 49, 59, 63, 69 සහ 79 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 5 දෙනෙක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *