සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණයට

සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණයට

*********************************************

සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණයට

(12.02.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම සඳහා වන ගිවිසුමට ඊයේ (11) අත්සන් තැබුණා.

අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ අධිකරණ පද්ධතියේ ලිපිගොනු පවත්වාගෙන යාම, අධිකරණ පද්ධතිය කළමනාකරණය, නඩු වාර්තා තබා ගැනීම හා නඩු වාර්තා නිකුත් කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දඩමුදල් ගෙවීම ඇතුළු සමස්ත අධිකරණ ක්‍රියාවලියම මෙහිදී ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම වැඩපිළිවෙල අධිකරණය අමාත්‍යාංශය, අධිකරණ සේවා කොමිෂන් සභාව, තාක්ෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා.

මේ අතර, අපරාධ නීතිය, සිවිල් නීතිය සහ වානිජ නීතිය ප්‍රතිසංස්කරණයට අදාළ පූර්ණ කාලීන අනුකමිටු 3 ක් මේ වනවිට ක්‍රියාත්මක බව පාර්ලිමේන්තුවේ පැවති අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අනාවරණ වුණා.

විෂය භාර අමාත්‍ය අලි සබ්රි එහිදී සඳහන් කර තිබුණේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට අදාළ විශේෂඥ කමිටුව එම කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි.

බන්ධනාගාරවල පවතින තදබදය සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.

එහිදී හෙලි වුණේ බන්ධනාගාර වල සිටින බහුතරය රිමාන්ඩ් සිරකරුවන් වන අතර, වැරදිකරුවන් ලෙස සිටින්නේ ආසන්න වශයෙන් 8,000 ක පමණ පිරිසක් බවයි.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සියයට 90 ක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් මිස මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් නොවන බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා ෴

***************************************

(12.02.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුල පාරම්පරිකව වගා කටයුතු කරන ගොවීන්ගේ ගැටලුවට නීති උපදෙස් ලැබුණු වහාම විසඳුම් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ගොවීන් පෙරේදා දින (10) සිට ආරම්භ කළ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුල සිදුකෙරෙන අනවසර වගා කටයුතු නවතා ඉන් ඉවත් වන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කිරීමත් සමඟයි ගොවීන් එම ගොවිබිම අභියස පෙරේදා දින (10) සිට අඛන්ඩව සත්‍යග්‍රහයක නිරත වන්නේ.

ඊයේ (11) දිනයේදී මෙම සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණියා.

එහිදී ඔහු ග්‍රාම නිලධාරිවරයාට දන්වා සිටියේ අදාළ ඉඩම් සහ ලියකියවිලි සහිත වාර්තාවක් පස්වරුව වනවිට කඩිනමින් තමන්ට ලබාදෙන බවයි.

මේ අතර, හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සූරියවැව – වල්සපුගල ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය ද 26 වන දිනටත් ක්‍රියාත්මකයි.

පසුගියදා ගොවීන් එම ස්ථානයේ පන්දම් පාලියක් පවත්වමින් බලධාරින්ට බලකර සිටියේ තම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසයි ෴

***************************************

(12.02.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

‘කෲඩියා සෙලනිකා’ හෙවත් ‘පඬු කරඳ’ ශාකය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණෙනතුරු කිසිදු පියවරක් නොගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ ඊයේ (11) පරිසර සංවිධාන නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් අතර කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂුන් වහන්සේ පිරිසක් මෙම ශාකයට සිවුරු පොරවා සඟසතු කිරීමට පසුගියදා කටයුතු කළා.

එසේම, සඟසතු කෙරුණු ගම්පහ දාරළුවේ කෲඩියා සෙලනිකා ශාකය භික්ෂුන් වහන්සේගේ මැදිහත්වීමෙන් තුන්රුවන වෙත භාර කිරීම ඊයේ (11) සිදු කෙරුණා.

මේ අතර, කෲඩියා සෙලනිකා ශාක පිහිටි ප්‍රදේශ පිළිබද තොරතුරු දන්නේ නම් දැනුම් දෙන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව, යම් ප්‍රදේශයක කෲඩියා සෙලනිකා ශාකයක් හෝ කිහිපයක් ඇත්නම් ඒ පිලිබඳ 011 367 1490 දුරකථන අංකයට දැනුම් දීමෙන් එම ශාකය සංරක්ෂණයට දායක වන ලෙසයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර ඉල්ලා සිටින්නේ.

මෙවැනි ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇති බවත්, කිසියම් ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහා දැනුම් දීමෙන් එම ශාකය සංරක්ෂණය කිරීමට දායක වන ලෙසත්, වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා ෴

***************************************

(12.02.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කළ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

ඊයේ (11) පස්වරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණයට එළැඹ ඇත්තේ.

අදාළ සාකච්ඡාව සඳහා පක්ෂ 12 ක පමණ නියෝජිතයින් එක්ව සිටි බව වාර්තා වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද ඊයේ එම සාකච්ඡාවට එක්වුණා ෴

***************************************

(12.02.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

‘කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය’ කඩිනමින් ස්ථාපිත කළ යුතු බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු පවසනවා.

සිංගප්පූරුවේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ ආචාර්ය ගනේෂන් විග්නරාජා ප්‍රකාශ කළේ කොළඹ වරාය නගරය, බටහිර දෙසින් ඩුබායි සහ නැගෙනහිර දෙසින් සිංගප්පූරුව අතර ජගත් මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කළ හැකි බවයි.

කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ ගෝලීය ආයෝජන ප්‍රවාහය මන්දගාමී වී ඇති අතර, කොළඹ වරාය නගරයේ විශේෂිත ආර්ථික කලාපය කඩිනමින් ස්ථාපිත කිරීමෙන් වැඩි වශයෙන් ආයෝජන ආකර්ශනය කරගත හැකි බවත්, ආචාර්ය විග්නරාජා සඳහන් කළා ෴

***************************************

(12.02.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

ඇකිරිය – ලුණුගල ප්‍රදේශය ආශ්‍රිතව අද (12) අලුයම සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල කියා සිටියේ මෙම කම්පනය රික්ටර් මාපක එකට වඩා අඩු අගයක් ලෙස පල්ලෙකැලේ සහ හක්මන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති භූ කම්පන මාපකවල සටහන්ව තිබූ බවයි.

පසුගිය ජනවාරි මස 22 වැනිදාද වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ 1.8 ක සුළු භූ චලනයක් සිදුවුණා.

මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කිහිපයකටද එම භූ චලන තත්ත්වය දැනී ඇති බවයි වාර්තා වුණේ ෴

***************************************

(12.02.2021 – 12:31 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයන් කිහිපදෙනෙකු අතර සිදුවන බහින් බස්වීමේ සිද්ධියක් ඇතුළත්ව සමාජ මාධ්‍ය තුල හුවමාරු වන වීඩියෝව හා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කියා සිටියේ අදාල සිදුවීමේදී දෙපාර්ශවය තුලින්ම යම් යම් සිදුවීම් සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි.

***************************************

(12.02.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන අප්‍රේල් පළවනදා (01) යලි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා.

ඒ, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ එම නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදීයි.

කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාසයක් ලබාදීම සහ ලබාගැනීම ඇතුලු අධිචෝදනා හයක් යටතේයි ඔවුන්ට මෙලෙස නඩු පවරා ඇත්තේ ෴

***************************************

(12.02.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ක්ෂණික විචලනයන්ට ලක්වීම සම්බන්ධයෙන් විනිමය හා සුරැකුම්පත් කොමිසම, කොටස් වෙළඳපොල සහ තැරැව්කාර සමාගම් අතර හමුවක් ඊයේ (11) පවත්වා තිබෙනවා.

එහිදී ප්‍රකාශ වී ඇත්තේ තැරැව්කාර සමාගම් විසින් ආයෝජකයන්ට ලබා දෙන ණයවර සම්බන්ධයෙන් අනවබෝධයක් පැවතීම මෙම විචලනයන්ට හේතුවී ඇති බවයි.

ප්‍රධාන පෙලේ සමාගම් විස්ස (20) නියෝජනය කරන ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි’ දර්ශකය සියයට 7 කට වැඩි ප්‍රමාණයකින් පහත වැටීම හේතුවෙන් ඊයේ (11) දිනයේ කොටස් වෙළඳපොල ගණුදෙනු දෙවරක් (2) අත්හිටුවීමට සිදුවුණා.

කෙසේ නමුත්, මිල දර්ශක මේ වසරේ මේ දක්වා කාලය තුල තවදුරටත් ඉහළ වර්ධනයක් අත්කරගෙන සිටින බවයි කොළඹ කොටස් වෙළඳපොල මගින් ප්‍රකාශ කළේ ෴

***************************************

(12.02.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායකගේ ක්‍රියාකලාපය තුළින් පාර්ලිමේන්තුවේ සහ අධිකරණ පද්ධතියේ ගෞරවයට බරපතළ හානියක් සිදුවූ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

‘හිරු ටී.වී. බලය’ වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.

***************************************

(12.02.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

සිය ඉල්ලීම් සඳහා අද (12) දිනය ඇතුළත විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව සත්‍යග්‍රහයක නිරත පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ගොවීන් පවසනවා.

එම ගොවීන්ගේ සත්‍යග්‍රහයට අදට (12) දින 3 ක් සපිරෙනවා.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ සිදුකෙරෙන අනවසර වගා කටයුතු නවතා ඉන් ඉවත්වන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කිරීමත් සමග එම ගොවීන් සිය ගොවිබිම් අභියස ආරම්භ කළ සත්‍යග්‍රහයේ තුන්වන (3) දිනය අදයි.

@@@@@@@@@@@@@@

(12.02.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් නවසිය හතලිස් දෙදෙනෙකු (942) ඊයේ (11) වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 73,116 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අඛණ්ඩව තුන්වන දිනටත් (3) මෙලෙස ආසාදිතයින් නව සියයේ (900) සීමාව ඉක්මවා වාර්තා වීම විශේෂත්වයක්.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 69,094 ක් වනවා.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 6,526 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (11) දිනයේදී තවත් ආසාදිතයින් 567 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 66,211 ක් වනවා.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 379 ක් දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොවිඩ් නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පාකින්සන් රෝගී තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එසේම, කොවිඩ් නියුමෝනියාව සහ අධි රුධිර පීඩනය හේතුවෙන් කොටහේනේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා.

42 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති අතර, ඇයගේ මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් සමඟ උත්සන්න වූ පෙනහළු පිලිකා රෝගී තත්ත්වය, අධි රුධිර පීඩනය සහ උග්‍ර දියවැඩියාවයි.

උඩතලවිල්ල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක්ද මහනුවර රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඇයගේ මරණයට හේතු වී තිබුණේ කොවිඩ් නියුමෝනියාව සමඟ ලේ විෂවීමේ කම්පනය සහ හෘදය අක්‍රීයවීමයි.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා තවත් රසායනාගාර 04 ක් ස්ථාපිත කරන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ.

මේ අතර, ගම්පහ නගරයේ වෙළඳසැල් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ නගරයේ ස්ථාන 05 ක පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (11) සිදුකෙරුණා.

එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 36 දෙනෙකු සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

එම පරීක්ෂණ සිදුකරනු ලැබුවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්නට පසුගියදා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

රජයේ මැදිහත්වීමකින් හෝ මුදලට ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++++++++++++

(12.02.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශන්හි සිරවී සිටි තවත්, ශ්‍රී ලාංකිකයින් 850 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (12) පෙරවරු 08:30 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ගුවන් ගමන් 10 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස අතරට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 108 දෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 102 දෙනෙකු ඇතුළත්.

එමෙන්ම, ගුවන් ගමන් 10 ක් මගින් ශ්‍රී ලාංකිකයන් 843 දෙනෙකු රැකියා සඳහා විදේශ රටවල් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

++++++++++++++++++++

(12.02.2021 – 12:35 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නත ලියාපදිංචිය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

එසේම, කොවිෂීල්ඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (11) වනවිට පුද්ගලයින් 1,78,087 දෙනෙකුට එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ඉදිරියේදී ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 18 ක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

කොරෝනා ආසාදිතයින් නවසිය හතලිස් දෙදෙනෙකු (942) ඊයේ (11) හඳුනාගත් අතර ඉන් 03 දෙනෙකු පමණක් විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 73,116 ක් දක්වා ඉහළ ගියා.

ආසාදිතයින් 534 දෙනෙකු බස්නාහිර පළාතෙන් ඊයේ (11) හඳුනාගත් අතර, වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 273 ක්. ඉන් 167 දෙනෙකු හඳුනාගෙන තිබුණේ කොළඹ මහ නගරසභා සීමාවෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 181 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 31 දෙනෙකු හඳුනාගැණුනේ මීරිගම ප්‍රදේශයෙන්.

ඊයේ (11) දිනයේදී දිස්ත්‍රික්ක 24 කින් ආසාදිතයින් වාර්තා වූ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් 102 ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 84 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 80 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 79 ක් වාර්තා වුණා.

මේ අතර, තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 379 ක් දක්වා ඉහළ ගියා.

ආසාදිතයින් 27 දෙනෙක් හඳුනාගත් අලව්ව නගරයේ වෙළෙඳසැල් අද (12) වසා දමා තිබෙනවා. අලව්ව වෙළෙඳ සංගමයේ ප්‍රධාන සංවිධායක එල්.එම්.ඒ.කේ. වර්ණසූරිය මහතා කියා සිටියේ වෙළෙඳ සංගමය ගන්නා ලද තීරණයකට අනුව මෙලෙස වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ බවයි.

දින 65 ක් සංචරණ සීමා පනවා තිබූ මහයියාව එම්.ටී. සහ එම්.සී. ප්‍රදේශ අද (12) පෙරවරුවේ එම තත්ත්වයෙන් මුදා හැරියා.

මේ අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමුකර තිබෙනවා ෴

++++++++++++++++++++++

(12.02.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ පැතිර යන ඉහළ ප්‍රචාරණ හැකියාවක් සහිත බී 1-1-7 කොරෝනා වෛරස් ප්‍රභේදය දිවයිනේ ස්ථාන 4 කින් හඳුනාගෙන තිබෙනවා.

කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව ප්‍රදේශවලින් ලැබුණු ආසාදිතයන්ගේ සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

මෙම වෛරස් ප්‍රභේදය මගින් ආසාදිත සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් එය පැතිරුණු රටවල දක්නට ලැබුණා.

එමෙන්ම, මෙම වෛරස් ප්‍රභේදය ලොව පුරා නව කොරෝනා රැල්ලක් ඇති කිරීමේ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයන් ද පවසා තිබෙනවා.

මේ වනවිට මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය ලොව රටවල් 50 කට පමණ පැතිරී අවසන් ෴

දිවයිනේ සියලුම පිරිවෙන් සහ බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන සඳුදා (15) විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව එම කටයුතු ආරම්භ කරන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *