ජිනීවා අභියෝගයට රජය සුදානම් – විදේශ ඇමති

ජිනීවා අභියෝගයට රජය සුදානම් – විදේශ ඇමති

*********************************************

ජිනීවා අභියෝගයට රජය සුදානම් – විදේශ ඇමති

(11.02.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථිකයට ඇඟිලි ගැසීමට බලා සිටින බටහිර රටවල් හෝ සංවිධානවලට යථාර්තය පැහැදිලි කරදීමට රජයට හැකියාව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බටහිර රටවලට ඒ සම්බන්ධ කරුණු රැසක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් බවයි.

***************************************

(11.02.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

අවශ්‍ය නීති සංශෝධනයෙන් දෙමසක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.

මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කලා.

මහනුව ශ්‍රී දළදා මාළිගාවට ඊයේ (10) පෙරවරුවේ පැමිණි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව ඔහු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබුණා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉන් අනතුරුව අනුරාධපුරයට පැමිණ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැදපුදාගත්තා.

පසුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

***************************************

(11.02.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

අදට (11) දින 25 ක් සපිරෙන සුරියවැව වල්සපුගල ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය ඊයේ (10) නවමුහුණුවරක් ගත්තා.

ඒ තම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට බලකරමින් ඔවුන් පන්දම්පාලියක් පැවැත්වීම හේතුවෙන්.

හම්බන්තොට යොජිත වන අලි කලමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සුරියවැව වල්සපුගල දී ගොවීන් පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහයේ 25 වැනි දිනය අදයි.

ඊයේ (10) රාත්‍රියේ දී ගොවීන් එම ස්ථානයේදී පන්දම්පාලියක් පවත්වමින් බලධාරීන්ට බලකර සිටියේ තම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසයි.

මේ අතර, පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ පාරම්පරිකව ගොවිතැන් කරන ගොවීන්ට ඒ සඳහා වනජීවී නිලධාරීන් අවසර ලබා නොදීම හේතුවෙන් මතුව ඇති ගැටලු මෙතෙක් නිරාකරණය වී නැහැ.

මේ හේතුවෙන් එම ගොවීන් සිය ගොවි බිම් අභියස අඛණ්ඩ සත්‍යග්‍රහයක් ඊයේ (10) ආරම්භ කළා.

අද (11) පෙරවුරුවේ එම ස්ථානයට පැමිණි ලංකාරපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නියෝජිතයින් සත්‍යග්‍රහයේ නිරතවන ගොවීන්ට දන්වා ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් පොළොන්නරුව වනජීවී කාර්යාලයට ලිඛිතව දැනුවත් කර ඇති බවයි.

එසේවුවද සත්‍යග්‍රහයේ නිරතවන ගොවීන්ගෙන් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා.

එම ස්ථානයට පැමිණි ලංකාරපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නියෝජිතයින්ට ගොවීන් පවසා ඇත්තේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම්වරයා එම ස්ථානයට වහා ගෙන්වන ලෙසයි.

මේ අතර මුතුරාජවෙල ඛනිජතෙල් ගබඩා තොග පර්යන්තයේ සිට දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතුවල නියුතු පෞද්ගලික අංශයේ ලීටර් 33,000 බවුසර් රථ සේවකයින් සහ සහයකයින් ගබඩා තොග පර්යන්තය ඉදිරිපිට අද (11) මෙලෙස විරෝධතාවක නිරත වුණේ තමන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

***************************************

(11.02.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වීමෙන් සිර දඬුවම් විඳීමට සිදුවූ පුද්ගලයින්ට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටුවිය යුතු බව පවසමින් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

***************************************

(11.02.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

කටාන-මිරිස්වත්ත සබීඩියාවත්තේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගිනිඅවි ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා.

එහි තිබී ගිනිඅවි 8 ක්, ජීව උණ්ඩ 1171 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ ෴

***************************************

(11.02.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට ඉදිරිපත් වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මහා සංඝරත්නය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ඊයේ (10) පස්වරුවේ පැවැති මෙම හමුවේදි ලබන මස ඉදිරිපත් කරන එම යෝජනාවලිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයාට උපදෙස් හා අවවාද ලබා දුන් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

කොවිඩ්-19 වසංගතය සාර්ථකව මර්දනය කළ ලොව රටවල් අතර, ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ප්‍රෝඩාකාරි ලෙස මානව හිමිකම් යෝජනාවලිය නිර්මාණය කර ඇති බව ද එම සාකච්ඡාවට එක්වී සිටි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා ෴

***************************************

(11.02.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වෙළඳ ප්‍රදර්ශනය ලබන 13 සහ 14 දෙදින තුල කොළඹදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

‘Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021’ ට පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වන්නැයි, ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීයත්වය අගය කරන සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කලා.

ඒ අද (11) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනය ඉදිරිපිට පදනම් මාවතේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා :

“ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය මීට සති 6 කට පමණ පෙර ජනගත කරනු ලැබුවා. මේ වන විට ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ලබාගෙන ඇති සහ ඉදිරියේ දී ලබා ගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන්ට පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරදීම කර්මාන්ත අමාත්‍යාංශය සතු වගකීමක්. ඒ වගේම අපගේ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඒ සඳහා සුවිශේෂී ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කරනවා. එහිදී ‘මේඩ් ශ්‍රී ලංකා’ සන්නාමය ලබාගෙන ඇති සහ ඉදිරියේදී එය ලබා ගැනීමට නියමිත නිෂ්පාදන සඳහා පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරදීමට ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනයක්’ අප අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අනුග්‍රාහකත්වයෙන් පැවැත්වීමට සූදානම්ව සිටිනවා.

‘Made in Sri Lanka Trade Fair 2021’ ලෙස නම් කර ඇති එම වෙළෙඳ ප්‍රදර්ශනය පෙබරවාරි 13 සහ 14 යන දෙදින පුරා උදේ 10:00 සිට රාත්‍රී 08:00 දක්වා කොළඹ පදනම් මාවත දෙපස සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට නියමිතයි. මෙහිදී නාගරික ජනතාවට උසස් ප්‍රමිතියෙන් යුතු දේශීය නිෂ්පාදනය මිලදී ගැනීමේ ඉඩකඩ ලැබෙනවා. ‘දේශීය නිෂ්පාදකයා සවිබලගැන්වීම’ සහ ඉවක් බවක් නොමැතිව පිටරට භාණ්ඩ නොගෙන්වීමේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව දේශීය නිෂ්පාදකයන් පෙර නොවූ විරූ උනන්දුවකින් මෙතෙක් කලක් අවධානය යොමු නොවූ නිෂ්පාදන ක්ෂේත්‍රවලට පවා යොමු වෙමින් ඉහළ ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ නිපදවීමට පෙළඹී සිටිනවා. එය තුළ ඇතිවී තිබෙන උනන්දුව සහ විශ්වාසය තවදුරටත් වඩවාලන්න මෙම ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනය 2021’ උපකාරී වේවි. ඒ නිසා නාගරික ජනතාවට පමණක් නොවෙයි අපි මේ රටේ දේශීයත්වය අගය කරන සියලු ජනතාවට ඇරයුම් කරනවා එම වෙළඳ සැණකෙළියට පැමිණෙන්න; එමගින් දේශීය නිෂ්පාදකයාව දිරිගන්වන්න; ඔවුන්ගේ නිෂ්පාදනවලට තිබෙන වටිනාකම උරගා බලන්න කියා.”

***************************************

(11.02.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

සමස්ථ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ඒ අධිකරණ අමාත්‍යංශය, අධිකරණ සේවා කොමිෂන් සභාව, තාක්ෂණ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්වයි.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම ආරම්භ කෙරෙනු ඇති.

අධිකරණ පද්ධතියේ ලිපිගොණු පවත්වාගෙන යාම, අධිකරණ පද්ධතිය කළමණාකරනය, නඩු වාර්තා තබා ගැනීම සහ නිකුත් කිරීම, මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේ දඩ මුදල් ගෙවීම ඇතුලු සමස්ථ අධිකරණ ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මීට පෙර අධිකරණ ක්ෂේත්‍රයේ ඇතැම් අංශ පරිඝණකගත කිරීම සිදුවුවත් මෙරට සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම පිළිබඳ ඒකාබද්ධ පුළුල් නව වැඩපිළිවෙලක් මෙමගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඩිජිටල්කරණ ක්‍රියාවලිය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පසුවිපරම් ඇතුලු තාක්ෂණික කටයුතු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් සිදු කෙරෙනු ඇති.

මෙම ව්‍යාපෘතිය මගින් අධිකරණ කටයුතු විධිමත් වීම, කඩිනම් කිරීම, විනිවිදභාවය, වියදම් අවමකර ගැනීම ඇතුලු වාසි රැසක් හිමිවනවා.

කෙටි පණිවුඩ සේවා මගින් අදාළ පාර්ශවයන්ට අධිකරණ කටයුතු දැනුම්දීම ද සිදුකෙරෙනු ඇති.

නීතිඥවරුන්, නීතිඥ සමාගම්, රජය හා අදාළ අනෙකුත් පාර්ශවයන්ට ලැබෙන වාසිදායක තත්වයන් හේතුවෙන් අධිකරණ පද්ධතියේ ගුණාත්මක භාවය ද වර්ධනය වනු ඇති බවයි අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයන සහ ප්‍රසම්පාදන කටයුතු ලබන මාර්තු මාසයේදී ක්‍රියාවට නැගීමට අපේක්ෂිතයි.

එහිදී මෙරට සැපයුම්කරුවන්ට ප්‍රමුඛත්වය හිමිවන අතර මූලික අරමුදල් සැපයීම මහා භාණ්ඩාගාරය මගින් සිදුකෙරෙනවා ෴

***************************************

(11.02.2021 – 15:57 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ මාර්තු 29 සහ 31 දිනවල සිදුකරන ලද මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාලව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 11 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (11) දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා අදාල විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමුකළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

රුපියල් බිලියන 51.98 ක මුදලක් සාවධ්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබෙනවා ෴

***************************************

(11.02.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය අත්හිටුවීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

අද (11) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සාධනීය විසඳුම් ලැබුණු බැවින් මෙම තීරණය ගත් බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණේ ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිටයි ෴

***************************************

(11.02.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

තමන්ට එරෙහිව දියත්වන මඩ ප්‍රකාශ වලට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය විමල් විරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ මෙලෙස අදහස් පලකළා :

***************************************

(11.02.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ මාර්තු 29 සහ 31 දිනවල සිදුකරන ලද මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාලව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 11 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (11) දැනුම් දී තිබෙනවා.

රුපියල් බිලියන 51.98 ක මුදලක් සාවධ්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

එසේම, මෙම මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ තවත් 8 දෙනෙකුට එරෙහිව නඩු විභාගය සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, මහබැංකු පළමු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 18 වනදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය අද (11) නියෝග කළා.

***************************************

(11.02.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත ‘State Trust Center’ (රජවාස) වෙළෙඳ සංකීර්ණය අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කෙරුණා.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර මෙම ‘රජවාස’ වෙළෙඳ සංකීර්ණය ඉදි කර තිබෙනවා.

එය රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන 78 කින් සමන්විතයි.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රාජ්‍ය ව්‍යවසායකයන්ගේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මක භාණ්ඩ හා සේවා එකම වහලක් යටදී සපයා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන භාණ්ඩ වෙළෙඳ සැල්වලට සැපයීමේ අවස්ථාව සැලසීම ද නව වැඩපිළිවෙළට අයත්.

සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා වෙළෙඳ සැල් වෙත යමින් නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් සමග අදහස් හුවමාරු කර ගත්තා.

බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරු, ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මහාචාර්ය චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූවා.

[ සේයාරූ ]

***************************************

(11.02.2021 – 17:24 +0530 – hirunews.lk/sinhala)

ජනතාව බලහත්කාරයෙන් සම්බන්ධ කරගනිමින් විවිධ ආගමික කණ්ඩායම් සිදුකරගෙන යන වැඩසටහන සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය විරෝධය පළ කළා.

ඒ, කොළඹ අගරදගුරු නිවසේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය අපේක්ෂාවෙන් ජාත්‍යන්තරයට යාමට වුව ද සූදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරය පිලිබඳව යුක්තිය ඉටු නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයට යාමට සූදානම් ද යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

@@@@@@@@@@@@@@@

(11.02.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

කසක්ස්ථානය සහ යුක්රේනයේ සිට ගුවන් ගමන් දෙකක් මගින් සංචාරකයින් 414 ක් අද (11) දිවයිනට පැමිණියා.

මත්තල ගුවන්තොටුපල හරහා ඔවුන් අද (11) පෙරවරුවේ මෙරටට පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව කසක්ස්ථානයේ සිට සංචාරකයින් 235 දෙනෙකු සහ යුක්රේනයේ සිට සංචාරකයින් 179 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 567 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 66,211 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *