PCR පරීක්ෂණවලට එල්ලවී ඇති බාධාවක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

PCR පරීක්ෂණවලට එල්ලවී ඇති බාධාවක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

*********************************************

PCR පරීක්ෂණවලට එල්ලවී ඇති බාධාවක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

(07.02.2021 – 09:05 +0530 – hirunews.lk/sinhala)

පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන ආයතනවල ඇතැම් නිලධාරීන්ට මෙන්ම සෞඛ්‍ය අංශයේ සැලකිය යුතු පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා පී.සී.ආර්. පරීක්ෂණවලට බාධා එල්ල වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ ඒ හේතුවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීමේ කටයුතු ද අඩාල වී ඇති බවයි.

මේ අතර, ඊයේ (06) දිනයේදීත් කොරෝනා මරණ 08 වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගියා.

කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී මියගොස් ඇති අතර, ලේ විෂවීමේ කම්පනය, කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු ආබාධිත තත්ත්වය මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

කඩවත ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද කොවිඩ් ආසාදනය වීමෙන් මුල්ලේරියාව මූලික රෝහලේදී මියගිය අතර, ඒ හෘද රෝගී තත්ත්වය, කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු ආබාධයක් හේතුවෙන්.

එමෙන්ම, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇති අතර, කොවිඩ් නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව සමඟ ඇති වූ වකුගඩු අක්‍රීයවීම මරණයට හේතුව ලෙස සඳහන්.

මීට අමතරව මහරගම ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක්ද මුල්ලේරියාව මූලික රෝහලේදී මියගොස් ඇත්තේ වකුගඩු හානිවීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්.

එමෙන්ම, පිරිමි පුද්ගලයින් සිව් (4) දෙනෙකුද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

ඔවුන්ගෙන් එක් අයෙකු මොරටුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, කොවිඩ් නියුමෝනියාව සහ පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු මියගොස් ඇත්තේ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

කැලණියේ පදිංචි 83 හැවිරිදි අයෙක්ද දංකොටුව රෝහලේදී මියගොස් ඇති අතර, කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදය සහ ශ්වසන ආබාධ මෙන්ම පිළිකා රෝගී තත්ත්වයත් සමඟ ඇති වූ සංකූලතා මියයාමට හේතුව ලෙස දැක්වෙනවා.

එමෙන්ම, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේදී කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව සඳහන්.

ඊයේ (06) වාර්තා වූ මරණ අටෙන් (8) සෙසු මරණය වාර්තා වන්නේ මුන්දලම ප්‍රදේශයෙන් වන අතර, 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේදී එලෙස මියගොස් තිබෙනවා.

ඔහු මියයෑමට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වය උග්‍ර වීම බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම, ඊයේ (06) දිනයේදීත් මෙරටින් කොරෝනා ආසාදිතයන් 726 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 68,576 දක්වා ඉහළ ගියා.

මේ අතර කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කළ පසුගිය 29 වනදා සිට ඊයේ (06) දිනය දක්වා කාලය තුළ පුද්ගලයින් 1,60,148 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඊයේ (06) දිනයේදීත් පුද්ගලයින් 3,838 කට එන්නත් ලබාදී ඇති බවයි එමඟින් සඳහන් කළේ ෴

++++++++++++++++++

(07.02.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (06) දිනය තුළදී හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම පිරිස 197 ක් වන අතර, එය ඌව පළාතෙන් කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ පළමු අවස්ථාවයි.

ඊට අමතරව කොළඹින් 116 ක්, ගම්පහින් 101 ක් සහ තවත් ආසාදිතයින් 312 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ (06) වාර්තා වී තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කළේ ඊයේ (06) දිනය තුල මෙරටින් කොරේනා ආසාදිතයන් 726 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

අද (07) උදෑසන 7 වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 64,580 ක්.

ඉන් පුද්ගලයන් 61,180 ක් මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම අද (07) උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 68,575 ක් වන අතර ඉන් පුද්ගලයන් 62,593 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබෙනවා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 5631 ක්.

ගතවූ පැය 24 ක කාලය තුල පමණක් සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 1133 ක්.

ඊයේ (06) දිනයේදී මෙරටින් කොරෝනා මරණ 8 ක් ද වාර්තා වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 351 ක්.

අද (07) වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 87 ක් තුල පුද්ගලයන් 8063 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

එමෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ඊයේ දිනය තුල පරීක්ෂණ 14,749 ක් සිදුකර ඇති බවයි.

++++++++++++++++++++

(07.02.2021 – 09:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 1087 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (07) පෙරවරු 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ සිදුකළ ගුවන් මෙහෙයුම් 22 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

එම පිරිස අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් හිරිහැර වලට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 306 දෙනෙකු මෙන්ම, කටාර් රාජ්‍යයේ සිට පැමිණි 165 දෙනෙකු ඇතුළත් බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@

(07.02.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (06) දිනය තුළ බස්නාහිර පළාත ආවරණය වන පරිදි පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1,406 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැය 10 ක කාලයක් තුළ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර වරෙන්තුකරුවන් 681 දෙනෙකු සහ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44 දෙනෙකුද සිටින බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

(07.02.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ සඟවා තිබූ කහ කිලෝ 1500 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු බුද්ධි තොරතුරකට අනුව පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසිනුයි අද (07) අලුයම වැටලීම සිදුකර ඇත්තේ.

මෙම කහ තොගය ඉන්දියාවේ සිට රැගෙන පැමිණ ප්‍රවාහනය කිරීම සඳහා වෙරළට ආසන්න ස්ථානයක සඟවා තිබී ඇතැයි සඳහන්.

උර 50 ක අසුරා තිබූ කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 75 කට අධිකයි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කහ තොගය නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ධීවර යාත්‍රා යොදාගෙන මෙටට රැගෙන ඒම සිදුකර ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කහ තොගය වැඩිදුර විමර්ශණ සඳහා කල්පිටිය පොලිසියට භාරදීමට නියමිතයි ෴

***************************************

(07.02.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ දියුණු රටවල අපරාධ වැළැක්වීම සහ විවිධ අපචාරී ක්‍රියාවන් වැළක්වීමේ අරමුණින් හඳුන්වා දෙන ප්‍රජා පොලිස් ක්‍රමය නව මුහුණුවරකින් අද (07) එළිදක්වන බව පොලිසිය පවසනවා.

මහජන ආරක්ෂක කමිටු ලෙස නම් කර ඇති නව සංකල්පය යටතේ මහජනතාව සහ පොලීසිය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

එහි සමාරම්භය මහරගම යොවුන් රඟහලේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ පැවැත්වෙනවා ෴

***************************************

(07.02.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – නාවුල – අරංගල කඳු පන්තිය තරණය කිරීමට ගොස් දින 3 ක සිට අතුරුදන්ව සිටි සරසවි සිසුවා ඊයේ (06) සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පොලීසිය, දඹුල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සිසුවා සොයාගත් බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා පසුගිය 4 වනදා නාඋල – අරංගල පර්වතය තරණය කිරීම සඳහා පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් සිසුවා පිළිබඳව දෙමාපියන් පේරාදෙණිය පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

එහිදී අනාවරණ වූයේ අරංගල පර්වතය තරණය කිරීම සඳහා තරුණයෙකු විශාල බෑගයක්ද සහිතව ගමන් කළ බවට කාන්තාවක් පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි.

ඉන් අනතුරුවයි පොලීසිය ඒ පිළිබඳව විමර්ශනය කොට සිසුවා සොයාගනු ලැබුවේ.

ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

තරුණයා සොයා නාවුල පොලිසිය සහ දඹුල්ල විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ (06) උදෑසන 08:30 ට පමණ අරංගල පර්වතය තරණය කිරීම ආරම්භ කළා.

පැය 3 ක පමණ මෙහෙයුමකින් පසු අරංගල කඳු පංතියේ තුන්වන කන්දේ බෑවුම් ප්‍රදේශයකදී තරුණයා සොයාගත් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

අනතුරුව විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ද සහයෙන් ඔහු කඳු පාමුලට රැගෙන විත් තිබෙනවා.

මීටර් 782 ක උසින් යුත් අරංගල කන්ද තරණය කිරීම පහසු කාර්යයක් නොවන අතර මෙම සරසවි සිසුවා කන්දට නැග ඇත්තේ කුමන අරමුණකින් ද යන්න පිළිබඳ නාවුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

[ සේයාරූ ]

***************************************

(07.02.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී බන්ධනාගාර ගතව සිටින ‘කුඩු මංගලිකා’ නැමැත්තියගේ පුත්‍රයෙකු වන ‘ලක්ෂාන් ධනංජය’ හෙවත් ‘කුඩු ධනූ’ නැමැත්තා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (06) මොහු පෑලියගොඩ පට්ටිය හන්දිය කළු පාලම අසළදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් විස්සක් (20) සහ මිලිග්‍රෑම් 336 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු විසින් දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති අතර, එමඟින් උපයාගත් මුදල්වලින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවටද අනාවරණ වී ඇති බවයි සිදුකරන ලද විමර්ශනවලින් හෙළිවී ඇත්තේ.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කිරිඳිවැල පොලිස් වසමේ වේයන්ගොඩ – ගෝනාගම ප්‍රදේශයේදී නීතිවිරෝධී බෝර 12 ගිනි අවියක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

***************************************

කුරුල්ලන්ගල අත්භූත සිතුවම්වල රහස සොයා නිව්ස්ෆස්ට් ගිය දුෂ්කර ගමන.. | News1st Explorers (08-01-2021)

***************************************

(07.02.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව දියත් කර ඇති විරෝධතා පා ගමනේ අවසන් දිනය අදයි (07).

කිලිනොච්චිය බස් නැවතුම්පලෙන් අද (07) ආරම්භ වන මෙම පෙළපාලිය පස්වරුවේ යාපනය – පොලිගන්ඩි ප්‍රදේශයෙන් අවසන් වීමට නියමිතයි.

පසුගිය 03 වැනිදා පොතුවිල් සිට ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලියට දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුලු දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.

අතුරුදන් වූ පුද්ගලයින්ට සාධාරණයක් ඉෂ්ට කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, සහ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා ඉහළ නංවා ගැනීම මෙම විරෝධතා පා ගමන්වල තේමා පාඨ වී තිබෙනවා ෴

***************************************

(07.02.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ මුදල්, ප්‍රාග්ධන වෙළඳපොල රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා.

මෙහිදී ලීසිං සහන තවදුරටත් දිගු කරන ලෙස බස් සංගම්වලින් ඉදිරිපත්ව ඇති යෝජනාව මෙන්ම කර්මාන්තය මුහුණදෙන තවත් ගැටළු රැසක් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන්.

පසුගිය සතියේදී බස් සංගම් ප්‍රකාශයට පත් කළේ වර්තමානය වනවිට කර්මාන්තය මුහුණදී ඇති අර්බුද නිසි ලෙස කළමනාකරණය නොකළහොත් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සිදුවන බවයි.

එය බොහෝ දුරට මෙම සතිය තුළ ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවටද ඔවුන් අනතුරු ඇඟවීමක් කරනු ලැබුවා.

මෙම ප්‍රකාශයත් සමඟ පෙරේදා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කළේ යළි දැනුම්දෙන තුරු සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කරන බවයි ෴

***************************************

(07.02.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

බැංකු හා මූල්‍ය ආයතන පෙරදැනුම් දීමකින් තොරව ගණුදෙනුකරුවන්ගෙන් අය කරගන්නා විවිධ ගාස්තු පිළිබඳ පසු විපරමක් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය මහ බැංකුවට යෝජනා කර තිබෙනවා.

ඒ, ගණුදෙනුකරුවන්ගෙන් ඉදිරිපත් වූ විවිධ පැමිණිලි සැළකිල්ලට ගනිමින්. දැනට සිදුකර ඇති මූලික සොයාබැලීමකදී මෙවැනි විවිධ අයකිරීම් වර්ග විස්සක් (20) පමණ ලේඛනගත කර ඇති බව සඳහන්.

පවතින ආර්ථික තත්වය මත මෙම ගාස්තු අවම කර හෝ ඉවත් කර යම් සහනයක් ලබාදෙන ලෙසයි මුදල් අමාත්‍යාංශය මහ බැංකුවට යෝජනා කර ඇත්තේ.

ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර සංවර්ධන හා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ හෙට (08) දිනයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණ අවධානයට ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි ෴

***************************************

(07.02.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට එරෙහිව පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ලක් රජයේ විරෝධය ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත ලිඛිතව දැනුම්දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ඊයේ (06) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් පෙබරවාරි 22 වනදා ආරම්භ කිරීමට නියමිත සැසිවාරය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවයි.

මෙම අවස්ථාවට බන්ධනාගාර පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එක්ව සිටි අතර, එහිදී ඔහු සඳහන් කළේ පසුගිය කාලසීමාව තුළදී සුළු වරදවල් සඳහා සිරගතවූ රැඳවියන් 11,000 කට පමණ නිදහස ලබාදී ඇති බවයි.

***************************************

(07.02.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala)

පොල්තෙල් කර්මාන්තකරුවන් සහ පාරිභෝගිකයන් රවටමින් පිරිපහදු නොකළ වෙනත් ආදේශක තෙල් විදෙස් රටවලින් මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

එලෙස ගෙන්වන තෙල් වර්ග ආහාර පිසීම සඳහා යොදා ගැනීම ජනතාවගේ සෞඛ්‍යයට හානි කර බවයි දඹුල්ලේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සහ එහි නියෝජිත උපාලි ගමගේ මහතා සඳහන් කළේ ෴

***************************************

(07.02.2021 – 11:31 +0530 – hirunews.lk/sinhala)

කහටගස්දිගිලිය – මුකිරියාව ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයෙකු වන අලි පහරදීමකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු එම හේනේ අඩි 15 ක් පමණ උස පැලක් තනා පැල් රකිමින් සිට ඇත්තේ තවත් පුද්ගලයෙකු සමගයි.

ඊයේ (06) මැදියම් රැයේ හේනට කඩා වැදුණු වන අලියෙකු පහරදීමෙන් එම පැල කඩා වැටී ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

මියගොස් ඇත්තේ මුකිරියාව – අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් ෴

***************************************

(07.02.2021 – 11:51 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා ලබන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහසහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට සනාථ කළා.

පාකිස්ථාන විදේශ කටයුතු ඇමති ෂා මහමුද් කුරේෂි ද පසුගිය 4 වනදා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වූ බවයි පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

එහිදී ද්වීපාර්ශවික කටයුතු සම්බන්ධයෙන් මෙන්ම කලාපීය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාව ප්‍රගතිය සහ සශ්‍රීකත්වය ලැබීම පාකිස්ථානයේ අපේක්ෂාව බවයි එරට විදේශ ඇමති ෂා මහමුද් කුරේෂි එහිදී පවසා ඇත්තේ.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිවයිනට පැමිණෙන්නේ තීරණාත්මක අවස්ථාවක බව ද දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

ජිනිවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ලබන 23 වනදා ඡන්ද විමසුමකට ලක් කෙරෙනවා.

මානව හිමිකම් මණ්ඩලයේදී පාකිස්ථානය ශ්‍රී ලංකාවට අඛන්ඩව සහය පළ කළ අතර මෙවර මුස්ලිම් රටවල සහය ද මෙරටට ලබා ගැනීම සඳහා උත්සාහයක නිරතව සිටින බව සඳහන්.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන්ට සුපුරුදු නමක්.

1986 වසරේ පෙබරවාරි 23 වනදා සිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ පාකිස්ථාන ක්‍රිකට් පිලට නායකත්වය ලබා දුන්නේ ද ඉම්රාන් ඛාන් විසින්.

එහිදී ටෙස්ට් තරගාවලිය එකට එකක් ලෙස සමව අවසන් වූ අතර, එක්දින තරගාවලිය පාකිස්ථාන පිල දෙකට බින්දුවක් ලෙස ජයග්‍රහණය කළේ තරග දෙකක් වර්ෂාව නිසා අත්හැර දැමීමෙන් අනතුරුවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *