ජාතික සංවිධාන එකමුතුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සංදේශයක්

ජාතික සංවිධාන එකමුතුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සංදේශයක්

*********************************************

ජාතික සංවිධාන එකමුතුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සංදේශයක්

(05.02.2021 – 12:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට මානව හිමිකම් කඩවී ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය චෝදනා කළද ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඒ සඳහා කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදීම අසාධාරණ බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා.

එම සංවිධානය අද (05) මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සංදේශයක් භාරදෙමින් මේ බව සදහන් කළා.

මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ එහි සාමාජික රටවලින් ඉල්ලා සිටියේ මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අවභාවිත කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව සළකා බලන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුව අද (05) මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් භාරදුන් අතර මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවට කරන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් කරුණු දැක්වීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඒමගින් ඉල්ලා තිබෙනවා.

***************************************

(05.02.2021 – 10:39 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතුකරයේ හර්තාල් ව්‍යාපාරයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වතු කම්කරුවන් සිය දෛනික කටයුතුවලින් ඉවත් වී ඇති අතර, කිසිදු කම්කරුවෙකු සේවයට වාර්තා කර නොමැති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ලංකා කම්කරු කොංග්‍රසය විසින් මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කර ඇති අතර, ඊට සමගාමීව හැටන්, බගවන්තලාව, නෝර්වුඩ්, මස්කෙලිය, කොටගල සහ තලවකැළේ ඇතුළු වතුකරයේ වෙළදසැල් වසා තිබෙනවා.

[ සේයාරූ ]

***************************************

(05.02.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වාරි සෞභාග්‍යා වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර – පළුගස්වැව දී ආරම්භ කෙරුනා.

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ග්‍රාමීය කුඩා වැව් 5000 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.

එහි පළමු පියවර ලෙස උතුරුමැද පළාතේ කිලෝමීටර් 94 ක දිගින් යුත් වයඹ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 26 ක් දිගින් යුත් වාරි උමගේ ඉදිකිරීම් කටයුතුයි අද (05) මෙලෙස ආරම්භ කෙරුණේ.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල සිට රජරටට ජලය ගෙන යාම ව්‍යාපෘතියේ අරමුණයි.

එය පරිසර හිතකාමී සංවර්ධන වැඩසටහනක් ලෙස සැලසුම් කර ඇත. මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවල අතිරික්ත ජලය පැයට කිලෝමීටර 65 ක ඇල මාර්ගයක් ඔස්සේ යකල්ල දක්වා ගෙන යනු ලැබෙනවා.

ඇල මාර්ගය සැකසීමේ දී අභය භූමි 03 ක් පසුකර යාමට සිදුව තිබෙනවා.

එහිදී පරිසරයට සහ වන සතුන්ට වන හානිය වැලැක්වීම වෙනුවෙනුයි වාරි උමග ඉදි කෙරෙන්නේ.

ඇලහැර කෝඳුරුවැවෙන් ආරම්භ වන උමග පලුගස්වැව මහමීගස්වැවෙන් අවසන් වනවා.

වසර 06 කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය වසර 04 කදී එනම් 2025 වන විට අවසන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ශ්‍රි ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියේ උමං මාර්ගය සඳහා වැය කෙරෙන මුදල අමරිකානු ඩොලර් මිලියන 244 ක්.

උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ දරිද්‍රතාවට සහ වකුගඩු රෝගයට ජල ගැටළුව ප්‍රබල සාධකයක් වී තිබෙනවා.

ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 25,000 කට ප්‍රතිලාභ සැලසෙන අතර කුඩා වැව් 1200 කට ජලය සැපයීමෙන් හෙක්ටයාර 43,000 ක් යල මහ දෙකන්නයේ අස්වැද්දීමට අපේක්ෂිතයි.

***************************************

(05.02.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ‘පර්පචුවෙල් ට්‍රෙෂරීස්’ සමූහ අධ්‍යක්ෂ අර්ජුණ ඇලෝසියස්ට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ නියෝග කළේ.

2016 වසරේ පෙබරවාරි 12 වන දා සහ එම වසරේ සැප්තැම්බර් 30 වන දා දක්වා කාලසීමාව තුළ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් නඩුවේ දෙවන විත්තිකරු වන අර්ජුණ ඇලෝසියස්ගේ නමට ලබාගෙන තිබූ ‘මොනාර්ක් නිවාස සංකීර්ණයේ’ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවටයි හිටපු මුදල් අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

***************************************

(05.02.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

උතුරේ දේශපාලනඥයින් පසුගිය අවුරුදු ගණනාව පුරාම සිදුකළේ දෙමළ ජනතාවගේ දුක කඳුල සිය දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් යොදා ගැනීම බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

යාපනයේ පැවති වැඩසටහනකදී ඔහු මේ අදහස් පළකළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධාන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වුණේ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

(05.02.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා.

එම මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේ ලබන සඳුදා (08) පෞද්ගලික බස් වර්ජනයක් සිදුකරන බවට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම නිවාඩු අවලංගු කිරීම සිදුකරන බවය ෴

***************************************

(05.02.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ලබන සඳුදා (08) සිට සතොස සහ සමූපකාර මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි.

***************************************

(05.02.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

සෝමාවතී ජාතික ජල ගැලුම් නිම්න උද්‍යානය තුල අලුතින් කුඹුරු ඉඩම් සකස් කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරක් අපට වාර්තා වුණා.

මේ වන විට එම උද්‍යානය තුළ අක්කර 50 ක පමණ ප්‍රදේශයක් බලහත්කාරයෙන් හෙලි පෙහෙලි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර අවසන්.

මෙලෙස අනවසරයෙන් කුඹුරු ඉඩම් සකසනු ලබන්නේ සෝමාවතී ජාතික ජල ගැලුම් නිම්න උද්‍යානයට අයත් පල්ලියගොඩැල්ල – බොරපංවැව ප්‍රදේශයේයි.

හිරු ප්‍රවෘත්ති අංශය අද (05) දිනයේ අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේ ඒ පිළිබඳ සොයා බැලීමටයි.

එහිදී ට්‍රැක්ටර් රැගෙනගොස් වනෝද්‍යානය තුල නව කුඹුරු බිම් සැකසීම සඳහා ඔවුන් කටයුතු කරන අයුරු මෙලෙස හෙළිවුණා.

අද (05) දිනය ඇතුළත අක්කර 50 ක පමණ ප්‍රදේශයක් වී වගාව සඳහා ඉඩම් සකසා තිබුණේ මෙලෙසින්.

පළු, වීර ආදී වටිනා ශාක 350 ක් පමණද ජාවාරම්කරුවන් විසින් විනාශකර දමා තිබුණා.

අප එම ප්‍රදේශයට ළඟාවන විට ඉඩම් සැකසීම සඳහා යොදාගත් ට්‍රැක්ටර් රථයද රැගෙන එම පිරිස වනෝද්‍යානයෙන් පිටතට පැමිණියේ මෙලෙසින්.

ගම්වාසීන් ප්‍රකාශකළේ ජලගැලුම් නිම්න උද්‍යානය තුල නව කුඹුරු ඉඩම් සකසා ඉඩම් ඇල්ලීමේ මෙම ජාවාරම පිටුපස මහාපරිමාණ ජාවාරම්කරුවන් පිරිසක්ද සිටින බවයි.

***************************************

(05.02.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

විදේශ සංචිත තුලනය කිරීම සඳහා ඉන්දියාවෙන් පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරටට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවා දැමූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

මේ අතර මෙරට විදේශ සංචිත තුලනය කරගැනීම සඳහා යුආන් බිලියන 10 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 1,500 ක ණය මුදලක් ලබාදීමට චීන මහ බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.

ඉන්දියාවෙන් ලබාගත් අදාළ ණය මුදල පසුගිය නොවැම්බර් මස ගෙවීමට නියමිතව තිබුණද එම කාලසීමාව ඉන්දියාව විසින් තවත් මාස 3 කින් දීර්ඝ කළ බවයි මහ බැංකුව සඳහන් කළේ.

ඒ අනුව අදාළ ණය මුදල පසුගිය 2 වනදා ගෙවා දමා තිබෙනවා.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීම හේතුවෙන් අදාළ ණය මුදල ගෙවා නිම කරන ලෙසට ඉන්දියාව රජයට බල කළ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවට මෙතෙක් නිල වශයෙන් දැනුම්දීමක් ද සිදුකර නොමැති බවයි.

චීනයේ ඩොලර් මිලියන 1,500 ක ණය මුදල මෙම මාසය අවසන් වනවිට මෙරටට ලැබීමට නියමිත අතර, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති බවයි.

වසර තුනක (3) කාලසීමාවක් සඳහා මෙම ණය මුදල ලැබීමට නියමිතව තිබෙනවා ෴

***************************************

(05.02.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

මේ මාතර – පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරවක නගරාසන්නව පිහිටා ඇති වෙලංගහවිට පාලමයි.

නිල්වලා ගඟ හරහා වැටී ඇති මෙම පාලම වරින් වර ඇතිවූ ගංවතුර උවදුර හමුවේ දැඩිලෙස අබලන්ව තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ විදුලි කණු, පුවක් කොට යොදා රැහැනක ආධාරයෙන් සාදාගත් පාලමක් මගින් ජනතාවට එගොඩ මෙගොඩ යාමට සිදුව ඇත්තේ විශාල අවදානමක්ද දරාගනිමින්.

වෙලංගහවිටවැලිව, පරදුපල්ල, අලුවන ඇතුළු ගම්මාන කිහිපයක ජනතාවට යෑමට ඇති එකම පාලම මෙය වන අතර පාසල් 3 ක දරුවන්ද මේ පාලම භාවිතා කරනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වසර 20 ක් තිස්සේ නව පාලමක් ලබාදෙන බවට බලධාරීන් දුන් පොරොන්දු මෙතෙක් ඉටුවී නොමැති බවටයි.

ජීවිතයත් මරණයත් අතර සටනකින් එගොඩ මෙගොඩ වීමට සිදුව ඇති මෙම ජනතාවගේ ගැටලුවට බලධාරීන්ගේ නෙත ගැටෙන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

@@@@@@@@@@@@@@@

(05.02.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව විසින් නිපදවූ ‘ස්පුට්නික් 5’ එන්නත මෙරටට ගෙන්වීමේ දේශීය නියෝජිතයා ලෙස ‘රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව’ තෝරාගෙන තිබෙනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා අවශ්‍ය කරන එන්නත් මෙරටට ගෙන්වීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් පමණක් ආනයනය කළ යුතු බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

ඒ අනුව ලෝකයේ දැනට භාවිතයට ගැනෙන කොරෝනා එන්නත් වර්ග පහක් (5) සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අවධානය යොමුව ඇති අතර, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා’ එන්නත මේ වනවිටත් මෙරට තුළ ප්‍රමුඛතා ලැයිස්තුවක් යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ සාමාජිකයන්ට ලබාදීම ආරම්භ කර තිබෙනවා.

රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නත මෙරටට ගෙන්වීමේ දේශීය නියෝජිත ලෙස තෝරාගැනුනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එම එන්නත භාවිතය සඳහා අවසර ලබාගැනීමට ඖෂධ නියාමන අධිකාරියට අවශ්‍ය ලේඛණ පසුගියදා ඉදිරිපත් කර තිබුණා.

එම අවසරය ලද වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව මත ‘ස්පුට්නික් 5’ එන්නත ගෙන්වීමට හැකියාව ලැබෙන බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේ.

මේ අතර මතුගම – බොන්දුපිටිය – 727 ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමට අද (05) පෙරවරුවේ සිට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ පෝසලේන් ප්‍රදේශය, ඉසුරු මාවත සහ එක්සත් ජනපදය යන ස්ථාන අද (05) උදෑසන සිට හුදකලා බවින් නිදහස් කෙරුණු බවද ඔහු කියා සිටියා ෴

+++++++++++++++++++

(05.02.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට (3) සහ සිසුන් දෙදෙනෙකුට (2) ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අධ්‍යයන කටයුත්තක් සඳහා ක්‍ෂේත්‍ර පරීක්ෂාවකට යාමට පෙර සිසු සිසුවියන් දස දෙනෙකුට (10) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදි මොවුන් ආසාදිත බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමි සඳහන් කළේ අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් කිසිදු වැඩපිළිවෙලක් නොතිබූ බැවින් සිසුන්ට පෞද්ගලිකව එම පරීක්ෂණ කරගැනීමට සිදුවූ බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කැළණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනටමත් නේවාසිකාගාර තුනක (3) නිරෝධායනයට ලක්වන සිසු සිසුවියන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. එමෙන්ම ඔවුන්ගේ විභාග කටයුතු ද අදාළ නේවාසිකාගාර තුළ සිටම සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බවද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කළා.

මේ අතර මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා මරණවලින් සියයට 70 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූවන් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා. ඒ වයස අවුරුදු 60 ට වැඩි ආසාදිතයන් සියයට 10 ක් තරම් අඩු ප්‍රතිශතයක් වාර්තාවන පසුබිමක් තුළයි.

මේ අතර පරමාණුක බල ශක්ති මණ්ඩලයේ විද්‍යාත්මක අංශයෙන් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම අංශය තාවකාලිකව වසා දමා තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *