නිවැරදි තීන්දු තීරණ ගතහැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවතිනවා – ජනපති

නිවැරදි තීන්දු තීරණ ගතහැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවතිනවා – ජනපති

*********************************************

නිවැරදි තීන්දු තීරණ ගතහැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවතිනවා – ජනපති

(04.02.2021 – 09:57 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ සෑම ස්ථරයකම තීන්දු තීරණ ගැනීමේ දුර්වලතා පවතින බැවින්, නිවැරදි තීන්දු තීරණ ගතහැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවතින බව, ජනපති නිදහස් සැමරුමේදී පැවසුවා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සැළසුම් කළ හා ඊට අනුබලදුන් පුද්ගලයින්ට නීතියෙන් පලායාමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

73 වන නිදහස් දින සමරු උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ සෑම ආගමිකයෙකුටම සහ සෑම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුළ එකලෙස නිදහස භුක්ති විඳීමේ අයිතිය පවතින බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, මහබැංකු වංචාව වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න ලෙසට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා.

රටේ ආර්ථික සම්පත් විදේශිකයින්ට අලෙවි නොකිරීමේ ප්‍රතිපත්තිය නොවෙනස්ව පවත්වාගෙන යන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

කොරෝනා මර්දනය කිරීම සඳහා සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් පළ කළා.

++++++++++++++++

(04.02.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

73 වන නිදහස් දින සමරු උළෙල අභිමානවත් අයුරින් අද පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා.

කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශණ අනුගමනය කරමින් පැවති එම උත්සවය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසු පැවැත්වූ දෙවන (2) නිදහස් සමරු උළෙල ද වනවා.

73 වන නිදහස් දින සමරු උළෙල ආරම්භ වූයේ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමඟයි. මෙවරත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිදහස් දින සමරු උළෙලට එක්වූ අතර, පසුගිය නිදහස් දින සමරු උළෙලට සහභාගිවූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙවර උළෙලට පැමිණ සිටියේ නැහැ.

එහෙත් 72 වන නිදහස් දින උළෙලට එක් නොවූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (04) පැවති නිදහස් දින සමරු උළෙලට එක්ව සිටියා.

නිදහස් දින උළෙලේ කටයුතු ආරම්භ වූයේ මගුල් බෙර වාදනය සහ සක් හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමත් සමඟයි.

අනතුරුව පාසල් සිසුවියන් 45 දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කළ අතර, ජයමංගල ගාථා සහ ‘දේවෝ වස්සතු කාලේන’ ගාථාව ගායනා කිරීම අනතුරුව සිදුවුණා.

පසුව මෙරට සෛවරීභාවය, භෞමික අඛන්ඩතාව වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයින් අනුස්මරණය කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබූ අතර, අනතුරුව ජනාධිපතිවරයා වෙත ආචාර වෙඩි මුර 21 ක් පවත්වනු ලැබුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතනු ලැබුවේ ඉන් අනතුරුවයි.

ජනාධිපතිවරයා ජාතිය ඇමතීමෙන් පසු යුද, නාවික, ගුවන්, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ආචාරය පෙළපාලිය පවත්වනු ලැබුවා.

මෙවර ඒ සඳහා එක්ව සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාව 7066 ක්.

එහිදී ගුවන් හමුදා ප්‍රහාරක යානා උත්සව භූමියට ඉහළ අහසේ සිට මෙම අවස්ථාවට එක්වුණා.

අනතුරුව සංස්කෘතික පෙළපාලිය පවත්වනු ලැබූ අතර, ඒ සඳහා දිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථාන නියෝජනය කරමින් එක්ව සිටි නර්තන හා වාද්‍ය ශිල්පීන් සංඛ්‍යාව 340 ක්.

නිදහස් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 337 දෙනෙකුට සහ සෙසු නිලයින් 8,266 කට උසස්වීම් සිදුකර තිබෙනවා.

එසේම බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේ නිදහස් දින සැමරුමට සමගාමීව රැඳවියන් 146 දෙනෙකු ජනාධිපති සමාව යටතේ අද නිදහස ලබාදෙන බවයි.

යුද හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්, ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සේනාධිනායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය ආචාරය පුදකළේ මේ අයුරින්.

++++++++++++++++++

(04.02.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

නිදහස් දින උත්සවයට සමගාමීව නාවික හමුදාව විසින් සාම්ප්‍රදායානුකූලව ජාතිය වෙනුවෙන් සිදුකරන ආචාර වෙඩි මුර පැවැත්වීම අද (04) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ ගාලු මුවදොර පිටියට ඇතින් වූ ගැඹුරු මුහුදේ නැංගුරම් ලා තිබූ සමුදුර නෞකාවේ සිටයි.

එහිදී ආචාර වෙඩි මුර 25 ක් පැවැත්වුණු බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.

1948 වර්ෂයේ සිට නාවික හමුදාව සෑම නිදහස් දිනයකදීම මෙලෙස ජාතිය වෙනුවෙන් ආචාර වෙඩි මුර පැවැත්වීම සිදු කෙරෙනවා.

ජාතික නිදහස් දින සමරු උළෙල අවසන් වන්නේද මෙම ආචාර වෙඩි මුර නාවික හමුදාව විසින් පිරිනැමීමෙන් අනතුරුවයි.

[ සේයාරූ ]

++++++++++++

***************************************

(04.02.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

නිවෙස් බිඳ රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය – කස්තුරියා ප්‍රදේශයේදී තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 26,97,500 ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සොරාගන්නා ලද විවිධ බරැති රන් මාල පහක් (5), රන් වළලු හතක් (7), රන් මුදු තුනක් (3) ඇතුලු රන් භාණ්ඩ කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා ෴

***************************************

(04.02.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

ජපාන තානාපති අකිරා සුගියාමා, ඊයේ (03) පස්වරුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණ ගැසුණා.

මෙම අවස්ථාවට කලාපීය සහයෝගීතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද එක්ව සිටි බවයි වාර්තාවන්නේ.

මෙහිදී කොළඹ වරාය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අවධානයට ලක්වූ බව රාජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී තහවුරු කළා.

නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාම සඳහා රජය තීරණය කිරීමෙන් පසු මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ පෙරේදා (02) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු හමුවුණා.

හින්දු පුවත්පත වාර්තා කළේ මෙම හමුවේදී කොළඹ වරාය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි.

එමෙන්ම මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් ද ඊයේ (03), විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡාවක නිරතවුණා.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හා දෙරටට වැදගත්වන කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

***************************************

(04.02.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

මුහුදු ජලය මිශ්‍රවීම හේතුවෙන් අත්හිටුවා තිබූ කළු ගඟේ වැලි කැණීම සඳහා යළි බලපත්‍ර නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ගංගා මෝයකටේ සිට නාර්තුපාන දක්වා කිලෝමීටර 14 ක ප්‍රදේශයක වැලි කැණීම් තහනම් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගනු ලැබුවේ මුහුදු ජලය මිශ්‍රවීම නිසා කළුතර ජනතාවට පානීය ජලය සැපයීමේදී ඇතිවූ අර්බුදය හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම තීරණය නිසා වැලි ගොඩදැමීම ජීවිකාව කරගත් පවුල් රැසක් අසරණ වී සිටින බවට ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී කොන්දේසි මත නැවත වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබාදීමට එකඟතාව පළවූ බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

***************************************

(04.02.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට ගිනිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල අද (04) දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට සුළඟේ වේගය ක්‍ෂණිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ෴

***************************************

(04.02.2021 – 11:58 +0530 – hirunews.lk/sinhala)

ජාතික නිදහස් දිනය සැමරෙන අද (04) දිනයේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී සිංහලේ ජාතික කොඩිය පවසා කොඩියක් එසවීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

මෙලෙස කොඩිය එසවීමට පැමිණ ඇත්තේ රඹුක්කන ගලදෙණිකඩ පුරාණ රජමහා විහාරාධිපති පුජ්‍ය මැදිරිගිරියේ සුඛී නම් හිමිනමක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී පොලිසිය පැමිණ ඊට එරෙහිව ලබාගත් අධිකරණ නියෝගය එම හිමිනම වෙත ඉදිරිපත් කර ඇති අතර අනතුරුව එම කොඩිය දළඳා සමිදුන් වෙත පූජා කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා.

එම අවස්ථාව පහතින් :

***************************************

(04.02.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – පුත්තලම ඒ තුන ප්‍රධාන මාර්ගයේ මීගමුව – ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන සෙනසුරාදා (06) පැය 36 ක කාලයක් ප්‍රධාන මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

ඒ අනුව ලබන සෙනසුරාදා (06) උදෑසන හයේ (06:00) සිට ඊට පසුදින (07) පස්වරු හය (06:00) දක්වා පැය 36 ක කාලයක් මාර්ගය වසා තැබෙන අතර, ගමන් කළ හැකි විකල්ප මාර්ගද පොලීසිය නම් කර තිබෙනවා ෴

***************************************

(04.02.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

නිදහසේ පියා ලෙස විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස්. සේනනායකයන්ගේ ගුණ සැමරුමක් නිදහස් චතුරශ්‍රයේ පිහිටි එතුමාගේ පිළිරුව අසළදී අද (04) පැවැත්වුණා.

ඊට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, හිටපු කථානායක කරූ ජයසූරිය මෙන්ම අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ සහ නිමල් සිරිපාල ද සිල්වා ඇතුලු පිරිසක්ද එක්වුණා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය – පොල්වත්ත විහාරස්ථානයේ අද (04) පෙරවරුවේ නිදහස් දින සැමරුමක් පැවැත්වුණා.

ඊට අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගිවූ අතර, සමගි ජනබලවේගයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව පහන් දල්වා මෙරට නිදහස වෙනුවෙන් සටන් කළ විරුවන් සැමරීමද සිදු කෙරුණා.

මේ අතර මීට වසර 73 කට පෙර ඒ අභිමානවත් දිනයට තම සහභාගීත්වය ලබා දෙමින් තවමත් ඒ අභිමානය හිතේ දරගනිමින් ජීවත් වන අපූරු මිනිසෙක් අපට හමුවුණා.

සීගිරිය කලාපුරයේ පදිංචි විශ්වකර්ම වෙද මහතා ලෙසින් කා අතරත් ප්‍රකට ඔහු ආර්.කේ.විජේරත්න මහතා යි.

@@@@@@@@@@@@@@@@@

(04.02.2021 – 09:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලද ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු ‘ඔක්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත් මාත්‍රා මිලියන 18 ක් සඳහා වන ඇනවුම ඊයේ (03) ඉන්දියාවේ පූනේ හි සීරම් ආයතනයට ලබාදී තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ එම එන්නත් මාත්‍රා මෙරට ජනගහණයෙන් මිලියන 9 ක පිරිසකට ප්‍රමාණවත් බවයි.

මේ අතර ‘කොවිෂීල්ඩ්’ එන්නත පෞද්ගලික අංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහාද ලබාදෙන ලෙස පෞද්ගලික රෝහල් හා හෙද නිවාස සේවක සංගමය ඉල්ලීමක් කරනවා.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොරෝනා වසංගත තත්වය හමුවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන පෞද්ගලික අංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමුඛතා ලැයිස්තුවට මේ දක්වා එක් කර නොමැති බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවකයන් සඳහාද එන්නත ලබාදීම පිළිබඳව සළකා බලමින් සිටින බවයි.

මේ අතර නව කොරෝනා ආසාදිතයන් 711 දෙනෙකු ඊයේ (03) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 66,409 දක්වා ඉහළ ගියා. ඊයේ (03) හඳුනාගත් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වනවා. ඒ අනුව රෝගීන් 6,194 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 59,883 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (03) නිවේදනය කළේ මීට පෙර කොවිඩ් මරණ දෙකක් (2) අවස්ථා දෙකකදී සඳහන් කිරීම මත මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සංශෝධනය විය යුතු බවටයි.

ඒ අනුව ඊයේ (03) වාර්තාවූ නව මරණ 4 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 332 ක් දක්වා ඉහළ යනවා.

වළස්මුල්ල, දේවාලපොල සහ යටියන්තොට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 89, 67 සහ 70 යන වයස්වල පසුවන කාන්තාවන් තුන්දෙනෙකු (3) සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගිය අය අතර වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *