ශ්‍රී ලාංකිකක විගමනික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමට විශේෂ වැඩපිළිවෙලක්

ශ්‍රී ලාංකිකක විගමනික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමට විශේෂ වැඩපිළිවෙලක්

*********************************************

ශ්‍රී ලාංකිකක විගමනික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමට විශේෂ වැඩපිළිවෙලක්

(02.02.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකිකක විගමනික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිනි පසු නිරෝධායනය සඳහා රඳවා තැබීමට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීම බවයි.

මේ හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් වලින් පළාත් නවයේ (9) නිරෝධායන මධ්‍යස්ථාන නවයක් (9) ආරම්භ කර එම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා එම මධ්‍යස්ථානවල ස්ථානගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී පැවසුවා.

covid-19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සමඟ මේ පිළිබඳව සාකච්ඡාකොට එම මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට අදාල ගුවන් ප්‍රවේශ පත ලබා ගැනීමට නොහැකිව අපහසුතාවට ලක්ව සිටින පිරිස් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ අරමුදල් භාවිතා කිරීමට රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමක දී පසුගිය දා තීරණය වූ බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකළ අමාත්‍යවරයා පැවසුවේ එලෙස ගුවන් ටිකට් පත ලබාගැනීමට නොහැකිව සිටින විගමනික සේවකයෙක් හෝ සේවිකාවක් කිසියම් රටක සිටී නම් ඔවුන් වහාම එම රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙසයි.

එසේ නොමැති නම් විදේශ සබඳතා අංශයේ ගාස්තු රහිත දුරකථන අංකය වන 800119119 අමතා මෙරට සිටින අදාළ ශ්‍රමිකයින්ගේ ඥාතීන්ට එම තොරතුරු ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

ඒ අනුව අදාළ ඉල්ලීම් විමර්ශනය කර බලා ඔවුන්ගේ කාර්යංශයේ ලියාපදිංචිය සහ අනන්‍යතාව තහවුරු කර නොපමාව ඔවුන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා සිටියා.

එසේම දැනට විදේශ රටවල රැඳී සිටින අපගේ ශ්‍රමිකයන්ට යම්කිසි ආධාර හෝඋදව් උපකාර හෝ අවශ්‍ය සහයක් ඇත් නම් ඒ පිළිබඳව විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් යුක්තව උපකාර ලබාදීමේ වැඩපිළිවෙළක් නොපමාව සකස් කරන ලෙස ද අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවා.

විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රක්ෂණ ආවරණය ඇතිව විදේශගත වූ ශ්‍රමිකයන්ට මෙම ආපදා අවස්ථාවේදී එකී රක්ෂණ ආවරණය යටතේ ලබා යුතු වන්දි හෝ දීමනා වේ නම් ඒවා ලබාදීමට ප්‍රමුඛත්වයක් දී නොපමාව ක්‍රියාත්මක වන ලෙසත්, එසේ වන්දි හා දීමනා ඉල්ලා සිටින අයගේ ලැයිස්තු සහ ඒ අතරින් එම වන්දි සහ ඉල්ලීම් ලබා දුන් අයගේ ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සති දෙකකට (2) වරක් රේඛිය අමාත්‍යංශයට ලබා දෙන ලෙසද අමාත්‍යවරයා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා තිබෙනවා.

එම කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා, කම්කරු අමාත්‍යාංශයේ ලේකම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරිවරයා, විදේශ කටයුතු අමාත්‍යංශයේ විදේශ සබඳතා අංශයේ ප්‍රධානියා සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඇමතිවරයා දන්වා සිටියා.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා ද,කම්කරු ජනරාල් නිතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක්ව සිටියා ෴

+++++++++++++

++++++++++++++++++++

(02.02.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව උතුර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් මහතා ප්‍රකාශ කළා.

ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධානයට යොමුකර ඇති බවයි ඔහු කියා සිටියේ.

යාපනය ශික්ෂණ රෝහලේදී පෙරේදා පී.සී.ආර්. පරීක්ෂණ 373 ක් සිදුකර ඇති අතර ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු (1) කොරෝනා ආසාදිත බවට හඳුනා ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++

(02.02.2021 – 16:50 +0530 – hirunews.lk/sinhala)

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහු මේ වනවිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තාවන්නේ.

එමෙන්ම කොරෝනා වැළදුණු දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කෙරුණා ෴

+++++++++++++++++++

(02.02.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු අද (02) පස්වරුවේ දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුනා.

ඒ, නිරෝධායන නීතිවලට අනුකූලවයි.

මෙම වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ සේවයේ නිරතව සිටියදී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පළමු වෛද්‍යවරයා මොහු බවයි.

මේ වනවිට වෛද්‍යවරුන් 89 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 63 දෙනෙකු දැනටමත් සුවය ලබා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වනවිට වෛද්‍යවරු 150 දෙනෙකු නිරෝධායනයේ පසුවනවා.

+++++++++++++++

කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ගේ වැඩිමහල් සොහොයුරා මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.

ඔහු විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරන සිසුවෙකු ලෙස සිටිය කාලය තුළදී සිදු වූ දුම්රිය අනතුරකින් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

රාගම සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක ගමන් කරමින් සිටියදී අදාළ තරුණයාගේ බෑගය දුම්රියෙන් පිටත ස්ථානයක පැටලීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සඳහන්.

මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාට වැඩිමහල් සොහොයුරෙකු සහ නැගණියක වනවා.

මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු ඊයේ (02) පස්වරුවේ දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුනා ෴

+++++++++++++++

තවත් කොවිඩ් ආසාදිතයින් 968 ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන තවදුරටත් ඉහළ ගියා. ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 59,043 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ෴

තවත් කොරෝනා ආසාදිතයන් 361 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

මීගමුව අධිකරණ සංකීර්ණයේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වූයේ යාපනය ශික්ෂණ රෝහලේදී පෙරේදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදියි ෴

තවත් කොරෝනා ආසාදිතයන් 354 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

තවත් කොරෝනා අසාදිත මරණ 07ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහලගොස් තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(02.02.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් පසු එහි සිටි මෙරට ධීවරයින් 06 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට පත්ව තිබෙනවා.

අදාළ පිරිස කඩිනමින් නිදහස් කර දෙන ලෙසයි එම ධීවරයින්ගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

යාපනය – මයිලඩි වරායෙන් පසුගිය මස 8 වනදා මුහුදුගිය ජෙරාදු 07 නැමති බහුදින ධීවර යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව තිබුණේ අන්දමන් දූපත් ආශ්‍රිත කලාපයේදියි.

ඒ අනුව දින 05 කට ආසන්න කාලයක් ඉන්දියානු මුහුදු කලාපය ආසන්නයේ පාවෙමින් තිබූ යාත්‍රාව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් භාරයට පත්ව තිබෙනවා.

අදාළ ධීවරයින් පිරිස මහවැව – තොඩුවාව සහ වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශවල පදිංචිකරුවන්.

වෙරළාරක්ෂක නිලධාරීන් භාරයට පත්වූ ධීවරයින් පිරිස මේ වන විට අන්දමන් දූපතේ රදවා සිටින බවයි ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ ෴

***************************************

(02.02.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බෙදීමට ප්‍රධානතම හේතුව ඔවුන්ගේ බිරින්දෑවරුන් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති අශන්තා ද මෙල් මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ‘හිරු ටීවි සලකුණ’ වැඩසටහනට එක්වෙමින්.

***************************************

(02.02.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

වාරි සෞභාග්‍යා වැව් හා වාරි ජල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම වසර තුළදී රට පුරා වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

වාරි සෞභාග්‍ය ජාතික වැඩසටහන ලබන 5 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

***************************************

(02.02.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ හඳුනාගත් රක්ෂිතවලට අයත් නොවන, ඌන භාවිතයේ පවතින ඉඩම් අක්කර 2,750 ක් දේශීය කෘෂි ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව වර්ෂයක කාලයක් සඳහා බදු පදනම මත අදාළ ඉඩම් කොටස් වෙන් කර දෙන අතර, වගාවේ සාර්ථකත්වය අනුව ඉදිරියේදී දිගුකාලීන බදු පදනම යටතේ එම ඉඩම් අදාළ ආයෝජකයන් වෙත ලබාදීමටයි අනුමැතිය හිමිව ඇත්තේ ෴

***************************************

(02.02.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala)

කැළණි ගඟේ ස්නානය කරමින් සිටියදී දියේ ගිලීම හේතුවෙන් අතුරුදන් වූ තරුණයන් දෙදෙනා (2) ගේ සිරුරු අද (02) උදෑසන සොයාගෙන තිබෙනවා.

ඒ, නවගමුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.

මිය ගිය තරුණයන් දෙදෙනා (2) ඇතුළු සිව් දෙනෙකු (4) ඊයේ (01) පස්වරුවේ මීපිටිය පාලම අසළින් කැළණි ගඟේ දිය නෑම සඳහා ගොස් තිබුණා.

එම අවස්ථාවේදී ඔවුන් මත්පැන් සාදයක් ද පවත්වා ඇති අතර එක් තරුණයෙකු දියේ ගිලීම හේතුවෙන් ඔහු බේරා ගැනීමට අනෙක් තරුණයා ද ගඟට පැන තිබෙනවා.

එම අවස්ථාවේදී ඔහු ද දියේ ගිලී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

28 සහ 18 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයින් රනාල – සුදුවිල සහ ගලේවල – මැදබැද්ද – දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයා රැකියාවට මෙම ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔහු ඉන් සමත් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් මෙම සාදය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

++++++++++++

***************************************

(02.02.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

වැගන් ආර් රථයකින් රැගෙනයමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 300 ක් සහ රුපියල් ලක්ෂ 11 ක මුදල් සමග දෙදෙනෙක් (2) රාජගිරිය ප්‍රදේශයේදී STF අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

(02.02.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන් ඔය කලාපයේ හදුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන ඌණ භාවිතයේ පවතින අක්කර 2750 ක භූමියක බඩ ඉරිඟු වගා කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

බඩ ඉරිගු ආනයනය කිරීම අත්හිටුවා ත්‍රීපෝෂ නිෂ්පාදනය සහ සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිගු දේශීයව නිෂ්පාදනය කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව හදුනාගත් දේශීය ආයෝජයකයින් වෙත වසරක බදුපදනම මත අදාල ඉඩම් කොටස් වෙන් කරදීමටත්, වගාවේ සාර්ථකත්වය මත එම ඉඩම් ඉදිරියේදි අයෝජකයින්ට ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත්, රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් පරිසර යුක්ති කෙන්ද්‍රය කොළඹ අද (02) කැදවා තිබූ මාධ්‍ය හමුවේදී පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ පරිසරවේදි සජිව චාමිකර මහතා ඊට විරෝධය පල කරමින් සදහන් කළේ මෙලෙස වගා සදහා හෙළිපෙහෙළි කිරීම තුළින් රක්ෂිතයන්වලට හානි සිදුවන බවයි.

මේ අතර, අදට (02) යෙදි තිබෙන ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් ආනවිලුන්දාව රැම්සා අභය භුමියේ දි කඩොලාන පැල රෝපනය කිරීමක් සිදු කෙරුණා.

ඒ සදහා රාජ්‍ය අමාත්‍යවරුන් වන විමලවීර දිසානායක සහ සනත් නිශාන්ත පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ අතර එම ස්ථානයට පැමිණි ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානයේ පිරිසක් විරෝධතාවයේ නිරත වුයේ තමන්ට නිවාස ඉදිකිරීම සඳහා ආනවිලුන්දාව රැම්සා තෙත් බිමෙන් බිම් කොටසක් ලබාදෙන බවට දේශපාලඥයින් පොරොන්දු වී තිබුණත් එය මෙතෙක් ඉටුකර නොමැති බව පවසමින්.

***************************************

(02.02.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරියට පවරා ගත්ත ද බටහිර පර්යන්තයේ සියයට 85 ක් ආයෝජනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ බටහිර පර්යන්තයේ සියයට 15 ක කොටසක් වරාය අධිකාරිය යටතට පත් කරන බවයි.

***************************************

(02.02.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ දැමීම හුදෙක්ම දරුවන්ගේ දක්ෂතා මත පදනම්ව සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

පසුගිය වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පසුගියදා නිකුත් කෙරුණු අතර, එය මෑත කාලයේ නිකුත් වූ ඉහළම කඩඉම් ලකුණු මට්ටමද වනවා.

එමෙන්ම මෙම කඩඉම් ලකුණුවලදී ජනප්‍රිය පාසල් කිහිපයකම මෙවර කඩඉම් ලකුණු පැවතියේද 190 ට වඩා ඉහළ අගයකයි.

මෙවැනි තත්වයක් තුළයි මසක් ඇතුලත විසඳුම් ලබාදෙන බවට අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (01) ප්‍රකාශයක් සිදුකළේ.

ලේකම්වරයා එලෙස සඳහන් කළද අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලට අනුව පසුගිය වසර හතර තුළදී ප්‍රධාන පාසල්වලට ඇතුලු කරගත් ළමයින් සංඛ්‍යාවේ විශාල අඩුවැඩිවීම් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලට අනුව 2020 වසරට සාපේක්ෂව මෙම වසරේ කඩඉම් ලකුණු ඉහළ දැමීමට අමතරව ඇතැම් පාසල්වලට ඇතුලු කරගන්නා ළමයින් සංඛ්‍යාවේද පැහැදිළි අඩුවීමක් දක්නට ලැබෙනවා.

මෙලෙස අඩුවීම සිදුව ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක පමණක් වීමත් සැලකිය යුතු කරුණක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *