බටහිර පර්යන්තය ගැන සාකච්ඡාවට කමිටුවක් – අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයත් අද (02) උදෑසන සිට අවසන්

බටහිර පර්යන්තය ගැන සාකච්ඡාවට කමිටුවක් – අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයත් අද (02) උදෑසන සිට අවසන්

*********************************************

බටහිර පර්යන්තය ගැන සාකච්ඡාවට කමිටුවක් – අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයත් අද (02) උදෑසන සිට අවසන්

(02.02.2021 – 08:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය ඊයේ (01) රාත්‍රියේ අනුමැතිය ලබාදුන්නා.

විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් ඒකමතිකව අනුමත කළා.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ කොළඹ වරායේ යෝජිත බටහිර පර්යන්තය ඉන්දියාවේ ආයෝජකයෙකු සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා සාකච්ඡා කිරීමට කමිටුවක්ද පත් කිරීමටද තීරණය කළ බවයි.

මීට සති කිහිපයකට ඉහතදී නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමඟ ඒකාබද්ධව ආයෝජනය කිරීමේ යෝජනාවට විරෝධය පළ කරමින් වරාය වෘත්තිය සමිති 23 ක් ඒකාබද්ධව විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කළා.

පසුව රජයේ පාර්ශවයෙන් සඳහන් කළේ සියයට 49 ක් පෞද්ගලික අයෝජනයක් ලෙසත් සියයට 51 ක් වරාය අධිකාරිය යටතේත් තබාගනිමින් මෙම ආයෝජනය සිදුකිරීමට යෝජිත බවයි.

එහෙත් එම යෝජනාවට වෘත්තිය සමිතිවල එකඟතාව පළවූයේ නැහැ.

පසුව මෙම ආයෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමටත් වෘත්තිය සමිතිවල යෝජනා ලබාගැනීමටත් අනුකමිටුවක් පත් කරනු ලැබුවා.

වරාය වෘත්තිය සමිති 22 ක්, රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවේ එවැනි පසුබිමක් තුළදියි.

තවදුරටත් එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් වරාය වෘත්තිය සමිති ඒකාබද්ධව අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හදිසි සාකච්ඡාවක් සඳහා වරාය වෘත්තිය සමිති අරලියගහ මන්දිරය වෙත කැඳවනු ලැබුවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය කිසිවිටෙකත් බදුදීමක් හෝ විකිණීමක් සිදු නොකරන බවයි.

වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ නැගෙනහිර පර්යන්තය තබාගැනීමේ කැබිනට් පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නා බවටද අග්‍රාමාත්‍යවරයා එහිදී පොරොන්දු වුණා.

ඒ අනුවයි ඊයේ (01) රාත්‍රියේ විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ.

මේ අතර අද (02) උදෑසන සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන බවයි වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය පෞද්ගලික ආයෝජකයෙකුට ලබාදීමේ උත්සහයකට එකඟ නොවන බවයි ෴

(02.02.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව සහ ජපානය නම්කරන පාර්ශවයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව වසර 35 කින් ආපසු භාරදෙන පදනම මත කොළඹ වරාය – බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එමෙන්ම, නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත පර්යන්තයක් ලෙස පවත්වාගෙන යාමටද කැබිනට් අනුමැතිය හිමිවුණා.

ඒ අනුව එය, සංවර්ධනය කිරීම සඳහා වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 700 ක මුදල දේශීය බැංකුවකින් ණය මුදලක් ලෙස සපයා ගැනීමට කටයුතු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.

බටහිර පර්යන්තයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් සම්මුති කමිටුවක් පත් කිරීමටද තීරණය කර තිබෙනවා.

ඊට ඇතුළත් සාමාජිකයින්ගේ නාම ලේඛණය මුදල් අමාත්‍යාංශය විසින් කඩිනමින් ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා කියා සිටියේ.

නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කරන බවට කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිවීමෙන් පසු වරාය වෘත්තිය සමිති පසුගිය සිකුරාදා (29) සිට ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයද අද (02) පෙරවරුවේ අවසන් වුණා.

***************************************

(02.02.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කරන ලෙස ඉල්ලා එළඹෙන පස්වනදා (05) දිවයින පුරා එක්දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබෙනවා.

මේ වනවිට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීමට අදාළව සාකච්ඡා වට කිහිපයක් රජය සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර පැවැත්වුණත් ඒවා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.

මේ අතර වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් සහ ලංකා වැවිලි සේවක සංගමය එක්ව බුලත්සිංහල නගරයේදී ඊයේ (01) විරෝධතාවක් පැවැත්වූවා ෴

***************************************

(02.02.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව – සෙට්ටිකුලම කැළෑබද ප්‍රදේශයකදී විල්පත්තු කැළය ආශ්‍රිත ක්‍රියාන්විත රාජකාරියේ නිරත හමුදා භට කණ්ඩායමක් සහ ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තුන්දෙනෙකු (3) අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ 22 කුගෙන් සමන්විත අදාළ හමුදා භට කණ්ඩායම වෙත ආයුධ සන්නද්ධව සිටි තුන්දෙනෙකු (3) මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

තුවාල ලැබූ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වවුනියාව රෝහලට මාරුකර යවා තිබෙනවා.

ආයුධ සන්නද්ධව සිටි සෙසු පුද්ගලයින් දෙදෙනා (2) පලාගොස් ඇති අතර, ඔවුන් සොයා සෙට්ටිකුලම පොලීසිය විමර්ශන සිදුකරනවා ෴

***************************************

(02.02.2021 – 09:31 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියක් සොරා ගැනීමට තැත්කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අල්ලාගෙන රෝහල් ගතකළ පුවතක් හෝමාගම, පිටිපන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පිටිපන ප්‍රදේශයේ ගරාජයක නවතා තිබූ යතුරුපැදියක් අදාල පුද්ගලයා විසින් මෙලෙස සොරා ගැනීමට තැත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ගරාජයේ නවතා තිබූ යතුරුපැදි සොරාගෙන පලා යාමට උත්සහ කළ අවස්ථාවේ එය දුටු ගරාජයේ හිමිකරු කෑගසා තිබෙනවා.

එම කෑගැසීමෙ ඇසුණු අසල සිටි පුද්ගලයින් සොරා අල්ලා ගැනීමට උත්සහ කර ඇති අතර එම අවස්ථවේ කලබලයට පත්වූ ඔහු මාර්ගයේ අලුත්වැඩියා කරමින් තිබූ කානුවකට යතුරුපැදිය සමඟ ඇද වැටී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ සමඟ ක්‍රියාත්මක වූ අසල සිටි පිරිස සැකකරු අල්ලගෙන එම අවස්ථාව් අදාල ස්ථානයෙන් යමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට භාර දී තිබෙනවා.

සැකකරු යතුරුපැදිය සමඟ කාණුවට වැටී සිදුවූ අනතුරෙන් ඔහුගේ එක් පාදයක් බිඳී ගොස් ඇති අතර සැකකරු ප්‍රතිකාර සඳහා පොලිස් ජීප් රථයේ නංවාගෙන හෝමාගම රෝහලට රැගෙන ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් පසුගිය මාසයේ මේ ආකාරයෙන්ම තවත් යතුරුපැදියක් සොරාගෙන ඇති බවටයි.

***************************************

(02.02.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව නගරයේදී රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අනතුරට ලක්කර පලාගිය වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හික්කඩුව පොලිසියට අනුයුක්තව සේවයේ නිරත මෙම පොලිස් කොස්තාපල්වරයා රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී සුදු ඉර කපා අදාල වෑන් රථය ධාවනය කර ඇති අතර එය නැවැත්වීමට උත්සහ කිරීමේදී අදාල අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඉන් බරපතල තුවාල ලැබු පොලිස් කොස්තාපල් වරයා මේ වන විට කරාපිටිය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම – තෙලිකඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් ෴

***************************************

(02.02.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ නඩුවේ 19 වන සැකකරු වන ‘බඩෝවිට ලොකූ’ හෙවත් ‘රජිත අසංක’ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද (02) නියෝග කළා.

ඒ, මීට අදාළ නඩුව අද (02) කැදවූ අවස්ථාවේදියි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බඩෝවිට ලොකූ’ මේ වන විට ඉන්දියාවට පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

(02.02.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කිඹුලා ඇලේ ගුණා’, ඔහුගේ පුත්‍රයා සහ තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘බුම්මා’ නැමැත්තා ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

මෙරට සිදුවූ ප්‍රධාන පෙළේ අපරාධ රැසකට සම්බන්ධ ‘කිඹුලා ඇලේ ගුණා’ ඇතුලු අනෙකුත් සැකකරුවන් කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

අත්අඩංගුවට ගැනුනු ‘සින්නයියා ගුණසේකරම්’ නොහොත් ‘කිඹුලා ඇලේ ගුණා’ නැමැත්තාට 1999 වසරේ කොළඹ නගර සභා පිටියේ පැවති මහජන රැස්වීමකදී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඉලක්ක කරගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී තිබෙනවා.

***************************************

(02.02.2021 – 11:51 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහනාධාරය යටතේ වී නොවන අනෙකුත් භෝග සඳහා ලබාදුන් පොහොර ප්‍රමාණය සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් අසීමිතව ලබාදුන් පොහොර ප්‍රමාණය වර්ෂයකට උපරිම වශයෙන් හෙක්ටයාර පහ (5) දක්වා සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ.

වී නොවන භෝග සඳහා පොහොර සහනාධාරය ඉලක්කගත ගොවීන්ගෙන් පරිභාහිරව වෙනත් පාර්ශව විසින් ප්‍රයෝජනයට ගැනීම මෙම තීරණයට හේතුවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් වී සඳහා පොහොර සහනාධාර ක්‍රමවේදය දැනට ක්‍රියාත්මක වන අයුරින්ම පවත්වාගෙන යනු ඇති.

***************************************

(02.02.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට සුළු අපනයන බෝග වගාවන් අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ගම්මිරිස් වගාවෙන් මීට ටික කලකට පෙර අත මිට සරු කරගන්නට ගොවීන්ට හැකි වුණේ, ඒ සඳහා නිසි මිලක් ලැබීම නිසයි.

නමුත් පසුගිය කාලය පුරා පැවැති කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ගම්මිරිස් සඳහා වෙළඳපොලක් නොමැතිව වගාකරුවන් දැඩි පීඩාවට පත්වුණා.

මේ වන විට යළිත් ගම්මිරිස් වගාවේ ඵල නෙලන්නට කාලය එළැඹ ඇතත් ගම්මිරිස් ගොවීන් පීඩාවට පත්ව සිටින්නේ වෙළඳපොලේ ගම්මිරිස් මිල පහළ යාම හේතුවෙන්.

ගොවීන් පෙන්වා දෙන්නේ සිය වගාවන් නඩත්තු කිරීමට පවා නොහැකි තත්ත්වයක් මේ හරහා උද්ගතව ඇති බවයි.

වෙළඳපොලක් නොමැතිව පීඩාවට පත්ව සිටින ගොවීන් කබලෙන් ලිපට වැටී ඇත්තේ සිය වගාවට දිලීර රෝගයක්ද ව්‍යාප්ත වීම හේතුවෙන්.

මේ නිසා දැනට සරුවට වැඩී ඇති ගම්මිරිස් වගාව ද විනාශ වෙමින් පවතින බව ගොවීන් පවසනවා.

නිසි මිලක් නොමැති වීමෙන් මෙන්ම වගාවන් විනාශ වීමෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගම්මිරිස් සඳහා නිසි වෙළඳපොලක් ලබා දී තමන් මෙම පීඩාවෙන් මුදා ගන්නා ලෙසයි.

@@@@@@@@@@@@@@@@@

(02.02.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබුණු ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදීමට කටයුතු කර නොමැති බවට වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ විද්වත් වෘත්තීය ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කළා.

ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය වැළඳී ඇත්ද යන්න තහවුරු කරගැනීම සඳහා ඍජුව පර්යේෂණ සිදුකරන ආයතනයක් ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය පෙන්වා දිය හැකි බවයි.

කෙසේ වෙතත් මේ දක්වා එම සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත්කරණයට ලක් නොකිරීම ගැටළුවක් බවයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ විද්වත් වෘත්තීය ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ ෴

මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබුණු ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත ලබාදීම ආරම්භ වූ පසුගිය 29 වනදා සිට මේ දක්වා 95,550 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඊයේ (01) දිනයේ පමණක් පුද්ගලයින් 36,396 කට මෙම එන්නත ලබාදී තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ 19,000 කට මේ වනවිට කොරෝනා එන්නත ලබාදී ඇති බවයි ෴

++++++++++++++++++++

(02.02.2021 – 09:49 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථ සහ පෞද්ගලික වෑන් රථ මෙන්ම පොදු ප්‍රවාහන සේවා නිරෝධායන නීති අනුගමනය කරන්නේද යන්න පිළිබද අද (02) දිනයේදීත් විශේෂ පරීක්ෂාවකට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම පරික්ෂා කිරීම් අතරතුර පාසල් බස් රථ හා වෑන් රථ රියදුරන්ට, රිය සහායකයන්ට අහඹු පී.සී.ආර්. හා රැපිඩ් පරීක්ෂණ සිදු කරන බවයි ෴

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

තම පෞද්ගලික ලේකම්වරයාට කොරෝනා ආසාදනය වීම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තමන්ට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් ඔහු කියා සිටියා ෴

++++++++++++++++++++++

(02.02.2021 – 11:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා අද (02) මියගොස් තිබෙනවා.

කොරෝනා ආසාදිතව මියගිය මෙරට පළමු වෛද්‍යවරයා මෙන්ම සෞඛ්‍ය අංශයේ එකම සාමාජිකයා ලෙසයි මොහු සැලකෙන්නේ.

රාගම හින්කන්ද පදිංචිව සිටි රාගම රෝහලේ වෛද්‍යවරුයෙකු වූ 32 හැවිරිදි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණේ පසුගිය 27 වනදායි.

මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා නුගේගොඩ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා චීනයේ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබා ඇති අයෙකි.

++++++++++++++++++++++

(02.02.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (01) මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 826 දෙනාගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 212 ක්.

ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ඊයේ (02) ආසාදිතයන් 100 ඉක්මවා වාර්තාවී ඇති අතර, කුරුණෑගලින් ආසාදිතයන් 78 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 62 කු වාර්තා වුණා.

පුත්තලම – කල්අඩිය බෝධිරාපුර මේධානන්ද විද්‍යාලයේ සිසුවියකට කොරෝනා අසාදනය වීමත් සමඟ එම පාසලේ ගුරුවරුන් සහ සිසුන් 23 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

සිසුවියගේ පියාද කොරෝනා අසාදිතයෙකු වන අතර ඔහු පුත්තලම ඩිපෝවේ සේවකයෙක්.

කොවිඩ් ආසාදිතයෙකු නේවාසිකව ප්‍රතිකාර ගැනීම හේතුවෙන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2), හෙදියන් තුන්දෙනෙකු (3) සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා කියා සිටියේ මේ වනවිට රෝහලට රෝගීන් ඇතුලක් කර ගැනීම අත්හිටුවා ඇති අතර බාහිර රෝගී අංශය ද තාවකාලිව වසා දමා ඇති බවයි.

නේවාසිකව ප්‍රතිකාර ගත් කොවිඩ් ආසාදිතයාගේ ඥාති දියණියක් හැටන් බොස්කෝ විදුහලේ ගුරුවරියක ලෙස සේවය කරන අතර ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබෙනවා.

සිසුවෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තාවකාලිව වසා දමා තිබු බොස්කෝ විදුහල යළි විවෘත කෙරුණේ ඊයේ (01) දිනයේයි.

කොවිඩ් ආසාදිත ගුරුවරියගේ සැමියා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයෙකු ලෙස කටයුතු කරන අතර ඔහුද ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

+++++++++++++++++++++

(02.02.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ භාවිතයට ගන්නා ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත ලබාදීමෙන් පසු ප්‍රතිදේහ වර්ධනය වන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම පර්යේෂණය යටතේ අදාළ එන්නත නව කොරෝනා ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන්ද සොයාබලන බවයි එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ.

මෙම පර්යේෂණයේ වාර්තාව මසක් (1) ඇතුළත ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.

සෑම මසකට දෙවරක් (2) සිදුකරනු ලබන නව ප්‍රභේද හඳුනාගැනීම සඳහා වන ජාන විශ්ලේෂණාත්මක පර්යේෂණය පෙබරවාරි මාසයට අදාළව හෙට (03) දිනයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය තුළ සිදුකිරීමට නියමිතයි.

කොවිෂීල්ඩ් එන්නත මෙරට සාමාන්‍ය ජනතාවටද ලබාදීම සඳහා එන්නත් තොග ලබාගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ එක්වෙමින් කියා සිටියේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නතෙන් තවත් මිලියන 05 ක් ඉදිරියේදී මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *