කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරියට – ඉන්දියාව තම ස්ථාවරය පහදයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරියට – ඉන්දියාව තම ස්ථාවරය පහදයි

*********************************************

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරියට – ඉන්දියාව තම ස්ථාවරය පහදයි

(01.02.2021 – 20:07 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අද (01) පස්වරුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වරාය වෘත්තිය සමිති සමඟ අරලියගහ මන්දිරයේ අද (01) පැවති සාකච්ඡාවේදියි.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරියට ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද (01) පස්වරුවේ සිය මතය ප්‍රකාශ කළා.

එමඟින් ඔවුන් ප්‍රකාශ කළේ 2019 වසරේ ඉන්දියාව සහ ජපානය සමඟ එළඹුණු ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

මෙම ව්‍යාපෘතිය විදේශ ආයෝජකයින් සමඟ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයද මීට මාස කිහිපයකට පෙර තීරණය කළ බවද ඔවුන් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත්, අද (01) දිනයේත් දිවයින පුරා බොහෝ ස්ථානවල විරෝධතා සංවිධාන කර තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම සිදුනොකරන ලෙසට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ මහනුවරදී පෙත්සමකට අත්සන් ලබාගැනීමක්ද සිදුකළා.

එසේම ජාතික භික්ෂු පෙරමුණ ද කොළඹ – කොටුවේ අද සත්‍යග්‍රහයක් ආරම්භ කරමින් කියා සිටියේ දේශීය සම්පත් විදේශිකයින්ට ලබාදීම වහාම නතර කරන ලෙසටයි.

මෙවන් පසුබිමකයි වරාය වෘත්තිය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අරලියගහ මන්දිරයේදී අද (01) පෙරවරුවේ සාකච්ඡාවක් ආරම්භ වූයේ.

ඒ අනුව පෙරවරු 11 ට පමණ අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ පැවති සාකච්ඡාව සාර්ථක වූ අතර නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරියට ලබා ගන්නා බවට අග්‍රාමාත්‍යවරයා එහිදී පොරොන්දු වූ බවයි.

අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයින් වරාය පරිශ්‍රයට පැමිණෙද්දී, එහි සිටි සාමාජිකයින් ඔවුන්ව මහත් හරසරින් පිළිගනු ලැබුවා.

වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලය අද (01) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.

එමඟින් දක්වා තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සියයට සියයක් (100%) වරාය අධිකාරියට ලබාගැනීමට කටයුතු කරමින් කැබිනට් පත්‍රිකාවක් අද (01) පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි.

එසේම අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවී සිටින වරාය සේවකයින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට කැමැත්ත පළ කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණා.

++++++++++++++++++

++++++++++++++++++

(01.02.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කටයුතු සියයට සියයක් (100%) ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මෙම තීන්දුවත් සමග සිය වෘත්තීය ක්‍රියාමාර්ග හෙට (02) උදෑසන සිට අවසන් කරන බව වරාය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබෙනවා ෴

***************************************

(01.02.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගමක් කළ ඉල්ලීම පාරිභෝගික අධිකාරිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක රුපියල් 1,493 ක්ව පවතින මිල රුපියල් 1,900 දක්වා ඉහළ දමන ලෙස එම ගෑස් සමාගම ඉල්ලා තිබුණේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බවට පෙන්වා දෙමින්.

කෙසේ වෙතත් ඊට අදාළ මිල ගණන් පිළිබඳ විස්තර ලබාදීමට එම සමාගම කටයුතු කර නොමැතිවීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තාවන්නේ ෴

***************************************

(01.02.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ අධ්‍යයන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදුවන අවධියක ඊට අවශ්‍ය පහසුකම් නොමැති පාසල් සිසුන් පිරිසක් පිළිබදව තොරතුරු වනාතවිල්ලුව – විජයපුර ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

මෙම දරුවන්ට කිලෝමීටර දෙකකට (2) ආසන්න දුරක් ගෙවා ගම්මානයේ කෙළවර පිහිටි වැව වෙත යාමට සිදුව ඇත්තේ දුරකථන සංඥා නොමැතිවීම හේතුවෙන්.

කෙසේ වෙතත් වැසි දිනවල වැස්සෙන් මෙන්ම සවස් කාලයේදී ජලය සොයා වැව් ඉස්මත්තට පැමිණෙන වන අලි රංචු හේතුවෙන් තමන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව ඇති බවයි එම සිසුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

***************************************

(01.02.2021 – 21:23 +0530 – hirunews.lk/sinhala)

මී ගව රංචුවක් දිවියෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ යාල ජාතික වනෝඋද්‍යානයේදීයි.

එහිදී දිවියෙකු විසින් මී ගව පැටියෙකු ගොදුරු කර ගැනීමට යාමේදී ගව රැල විසින් දිවියාට පන්නා පහරදෙන අයුරු ජංගම දුරකතනයක සටහන්ව තිබෙනවා.

එහිදී අවසානයේ මී ගව රැල හමුවේ දිවියා පසුබසින්නේ මෙලෙසින් :

***************************************

(01.02.2021 – 22:00 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මන්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා මෙවැනි අනාවරණයක් සිදුකළා.

***************************************

(01.02.2021 – 22:02 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ අධිකරණයට සිදුකළ බලපෑම් සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.

***************************************

අවුරුදු 14 දී පාසැල් ඇඳුම පිටින් අරගෙන ගියා. තියා ගත්තේ චන්ද්‍රිකාගේ නිවසේ. පස්සේ මුස්ලිම් කරලා කසාද බැන්දා. දරුවෝ 3 ක් එක්ක මම දැන් අනාථයි.

(30.01.2021 – colombotoday.com)

වයස අවුරුදු 14 දී සිංහල බෞද්ධ දැරියක් ලෙස සිටියදී පාසැල් නිල ඇඳුම පිටින් තමාව මුස්ලිම් ජාතිකයෙකු රැගෙන ගොස් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රොස්මිඩ් පෙදසේ ඇති නිවසේ රඳවා තබාගෙන සිටි බව එම් ඩි. ශිෆානි නමැති කාන්තාවක් ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කර සිටියා.

තමා එම නිවසේ සිටිබව හිටපු ජනාධිපතිනිය සහ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දැනගෙන සිටි බවත් එම නිවසේ සිට තමා පාසල් ද ගිය බවත් ඇය සඳහන් කරන ලදි.

එම නිවසේ රඳවාගෙන සිටීමෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයා තමාව විවාහ කරගෙන නම පවා වෙනස් කර තමාව මුස්ලිම් ජාතික කාන්තාවක් බවට පරිවර්තනය කල බවත් ඇය පැවසීය.

පසුව දරුවන් තිදෙනෙකු සමග තමාව අතහැර දැමු බවත් කති උසාවියට ගිය පසු කාතිවරයා පිරිමියාගේ පාර්ශවයට වාසි සහගත ලෙස ක්‍රියා කල බවත් ඇය මෙහිදී අවධාරණය කර සිටියේය.

***************************************

(02.02.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධාකිරීම සහ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිටිනවා.

අදාළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රථමයෙන් අධිකරණ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එම නිවසට ගොස් ඇති අතර, එහිදී රාජකාරියට බාධා කළ බැවින් ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහායි ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් යළිත් එම නිවසට පැමිණ ඇත්තේ.

එහිදී නිවසේ පදිංචිව සිටි පිරිස ආවේගශීලීව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබෙනවා ෴

***************************************

(02.02.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ලෝක තෙත් බිම් දිනය අදට (02) යෙදී තිබෙනවා.

1971 පෙබරවාරි දෙවන (02) දින ඉරානයේ රැම්සා හිදී පවත්වන ලද සම්මුතියකට අනුවයි සෑම වසරකම අද (02) දින ලෝක තෙත්බිම් දිනය ලෙස නම් කර ඇත්තේ.

තෙත් බිම් හා ජලය යන්න මෙවර එහි තේමාවයි.

මෙරට ප්‍රධාන වශයෙන් තෙත් බිම් පද්ධති හයක් (6) රැම්සා තෙත් බිම් ලෙස නම් කර තිබෙනවා.

බූන්දල ජාතික උද්‍යානය, ආනවිලුන්දාව අභයභූමිය, මාදුගඟ අභයභූමිය, වාන්කලේ අභයභූමිය, කුමන ජාතික උද්‍යානය සහ විල්පත්තු ජාතික උද්‍යානය එම තෙත් බිම් හය (6) ලෙස නම් කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@@@@

(01.02.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ජනතාවගෙන් යම් කොටසකට දැනටමත් කොරෝනා වෛරස ආසාදනය වී ඇති නිසා ඊට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ගොඩනැගී ඇති බව පර්යේෂණවලින් අනාවරණ වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසනවා.

කොරෝනා වෛරසය මර්දනය සඳහා නිපද වූ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත ප්‍රමුඛතාව මත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත ලබාදීමේ වැඩසටහනට සමගාමීව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදීමේ අවස්ථාවට අද (01) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ විද්වත් වෘත්තීය ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ එන්නත්කරණයට ලක් කරන පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්දනය වන ආකාරය සහ එහි බලපෑම සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පර්යේෂණ සිදුකළ යුතු බවයි.

මේ අතර ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත අද (01) පස්වරුව වනවිට සෞඛ්‍ය අංශයේ 60,000 ක පමණ ලබාදී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ප්‍රමුඛතාවය මත අද (01) එය ක්‍රියාත්මක වූයේ හතරවන (04) දිනටයි.

මේ අතර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට අද (01) තහවුරු වුණේ එම අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන්.

එමෙන්ම කොරෝනා ආසාදිත බවට පසුගිය දා හදුනා ගැනීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු බවට හදුනා ගත් ඔහුගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකු නිවාස නිරෝධායනයේ යෙදී සිටියදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

මුව ආවරණ නොමැතිව නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයකට සහභාගිවිම සම්බන්ධයෙන් වරද පිළිගත් 10 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 5000 බැගින් 50,000 ක දඩමුදලක් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (01) නියම කළා.

උණවටුන – ඉලුක්පිටිය ප්‍රදේශයේ නිවසක මෙලෙස උපන්දින සාදය පවත්වා ඇති අතර එහිදි ඔවුන් මුව ආවරණ නොමැතිව සිට ඇති බවටයි හෙලි වුණේ.

තවත් කොරෝනා ආසාදිතයන් 468 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(01.02.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

එල්ෆින්ස්ටන් සහ ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව කොවිඩ්-19 වැළක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම රංග ශාලා විවෘත කර පවත්වාගෙන යාමට ඒ අනුව අවසරය හිමිවනු ඇති.

එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එකිනෙකා අතර දුරස්ථභාවය රැකගැනීම, ශ්වසන ආචාරවිධි පවත්වාගැනීම, නිරතුරුවම දෑත් සේදීම, නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම කරුණු කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි ෴

++++++++++++++++++++

(01.02.2021 – 22:21 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 07 ක් වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 323 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

+++++++++++++++++++

(02.02.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

මාතර ඉදි කෙරෙන මෙරට පළමු ජීවවායු බලාගාරයෙන් කිලෝවොට් 400 ක විදුලියක් ජාතික පද්ධතියට මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මාතර කොටවිල ප්‍රදේශයේ ඉදි කෙරෙන අදාළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (01) එක්වෙමින්.

රුපියල් මිලියන 64 ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(02.02.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

නොකඩවා පස්වන (5) දිනටත් ඊයේ (01) හඳුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (01) දිනයේ නව ආසාදිතයන් 826 දෙනෙකු හඳුනාගැනුනු අතර, ඉන් 816 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 10 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

මෙරටින් හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 64,983 ක් වන අතර, ඉන් 58,075 ක් මේ වනවිට සුවය ලබා තිබෙනවා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 6,585 ක් පමණයි.

නව මරණ හතක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 323 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගිය අය අතරට ඇතුළත්.

එමෙන්ම උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකු, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු, මඩවල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් සහ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගිය සෙසු පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *