රැඳවුම් භාරයේ සිටින්නෙකුගේ සන්නිවේදන ජාලයක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සිටින බවට අනාවරණයක්

රැඳවුම් භාරයේ සිටින්නෙකුගේ සන්නිවේදන ජාලයක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සිටින බවට අනාවරණයක්

*********************************************

රැඳවුම් භාරයේ සිටින්නෙකුගේ සන්නිවේදන ජාලයක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සිටින බවට අනාවරණයක්

(01.02.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

රැඳවුම්භාරයේ සිටින ෆසාල් මොහොමඩ් නිසාර් විසින් පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල්ට දැනුම් දුන්නා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව අදාල සන්නිවේදන ජාලය සිදුකර ගෙන ගොස් ඇති අතර පුද්ගලයන් 494 දෙනෙකුගෙන් යුත් එකී සන්නිවේදන ජාලයේ මුස්ලිම් දේශපාලනඥයෙකුද සිටින බවයි.

ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර අදාල සන්නිවේදන ජාලය සකස් කර ඇති බැවින් විමර්ශණ සිදුකිරීමේදි දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.

ෆසාල් මොහොමඩ් නිසාර් ආගමික හා ජාතික සමගියට බාධා වන පරිදි වෛරීසහගත ප්‍රකාශ හා භික්ෂුන් වහන්සේලාට අපහාස වන ප්‍රකාශ මුහුණු පොත ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාව මත රැඳවුම්භාරයට ගෙන තිබුණා.

ඔහුගේ දුරකථන හා පරිඝණක විමර්ශණ කිරීමේදි ජංගම දුරකථනයෙන් තොරතුරු ලබා ගැනීම නොහැකිවන පරිදි දුරකථන ජාලයද අවහිර කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.

මෙම නඩුව ලබන 25 වනදා යළි කැදවනු ඇති ෴

***************************************

(01.02.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

කසළ ආහාරයට ගැනීම සඳහා වන අලීන් ගම්වැදීම් සහ නිසි කළමනාකරණයකින් තොරව කසළ පරිසරයට බැහැර කිරීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ ජනතාව මේ වනවිට දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ ගැටලුවට කඩිනමින් නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි.

***************************************

(01.02.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ පැවති පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව නිකුත් කළ කඩඉම් ලකුණු මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ කඩඉම් ලකුණු ඉහළ දමා ඇති බවට ලැබී ඇති පැමිණිලි සළකා මෙම තීරණය ගත් බවයි.

මේ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු අසාධාරණ ලෙස වැඩි කර ඇති බව පවසමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

අනතුරුව ඔවුන් පා ගමනින් ජනාධිපති කාර්යාලය ආසන්නයට පැමිණි අතර, එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර, උණුසුම් තත්වයක්ද හටගත්තා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ කඩිනමින් අදාළ ගැටළුවට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවයි.

පාසල්වලට ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් ඇතුළත් කරගැනීම තවදුරටත් ඉහළ දැමීම සඳහා පියවර ගන්නා බවද ලේකම්වරයා කියා සිටියා.

***************************************

(01.02.2021 – 16:36 +0530 – hirunews.lk/sinhala)

වළවේ ගඟේ දිය නෑමට ගොස් 16 හැවිරිදි සිසුවියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දැරිය ඉගෙනුම ලැබූ බලංගොඩ – තැන්න විද්‍යාලයේ ගුරුවරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහැර තිබෙනවා.

ඒ, සැකකාර ගුරුවරිය අද (01) බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මිය ගිය දැරිය ඇතුළු සිසු සිසුවියන් 12 දෙනෙකු පෙරේදා බලංගොඩ – කල්තොට වළවේ ගඟ ආශ්‍රිත ක්ෂේත්‍ර පුහුණු චාරිකාවකට ගොස් සිටි අතර, බටකොළ ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටියදියි 16 හැවිරිදි දැරිය දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණේ.

කෙසේ වෙතත් අදාළ ගුරුවරිය පාසලේ විදුහල්පතිවරයාට හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියකින් තොරව දරුවන් මෙලෙස රැගෙන ගොස් තිබූ බවට චෝදනා එල්ලවී තිබූ අතර, ඒ අනුවයි ඇයව පොලිස් භාරයට ගැනුනේ.

***************************************

(01.02.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා අමානුෂික ලෙස ඝාතනය කළ පුවතක් පිළිබඳව අම්පාර දමන ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි කාන්තාවක් සහ 13 හැවිරිදි වියේ පසුවූ ඇයගේ පුත්‍රයා බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම කාන්තාවගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.

මියගිය කාන්තාවගේ සැමියා යුද හමුදා නිලධාරියෙක් වන අතර ඔහු පසුගිය යුද සමයේදී ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මෙම කාන්තාව සැකකාර පුද්ගලයා සමඟ සම්බන්ධතාවක් පවත්වා තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇති කාන්තාව සහ ඇයගේ පුත්‍රයා සමඟ අම්පාර, දමන වරාලන්ද ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසේ වාසය කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය වූ දින රාත්‍රියේ සැකකාර සැමියා එම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

ඊට පසුදින අලුයම් කාලයේ අනියම් සැමියා විසින් මියගිය කාන්තවගේ මවට දුරකථන ඇමතුමක් ලබාදී එම කාන්තාව තමන්ට බැන වදින බව පවසා තිබෙනවා.

අනතුරුව මියගිය කාන්තාව ද සිය මවට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ සැකකරු විසින් තමන්ට හිරිහැර සිදුකරන බවයි.

එහිදී ඇය වැඩිදුරටත් සිය මවට පවසා ඇත්තේ තම පුතුට හෙට දිනයේ පාසල් යාමටද නොහැකිවන බවයි.

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ මව විසින් ඇයට දුරකථන ඇමතුම් කිහිපයක් ගෙන ඇතිමුත් ඒ සඳහා ඇය ප්‍රතිචාර දක්වා නොමැති වාර්තා වන්නේ.

අනතුරුව පසුදින උදෑසන අසල්වැසි නිවසක කාන්තාවක් මියගිය දරුවා පාසල් යාම සඳහා නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව විමසීමට නිවසට ගිය අවස්ථාවේදීයි අමානුෂික ලෙස ඝාතනය කර ඇති ඔවුන්ගේ සිරුරු දැක ඇත්තේ.

අනතුරුව ඔවුන් විසින් කළ දැනුම්දීමකට අනුව දමන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බව බව අනාවරණ වී ඇති අතර ඔහු මේ වනවිට සිද්ධිය වූ ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි සඳහන් වන්නේ.

දමන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශණ අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අහ්ටර මෙයට අමතරව පොලිස් නිළ සුනඛයින් යොදා ගනිමින් ඝාතකයා සෙවිමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

***************************************

(01.02.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

දැනට භාවිත කරන ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහයාගේ සලකුණේ යම්කිසි නිවැරදිතාවයක් සිදුවිය යුතු බවට විවිධ පාර්ශව ඔස්සේ යෝජනා රැසක් මේ වනවිට ලැබී ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරෙමින් පවතින බවයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ.

ඔහු මේ බව සඳහන් කළේ මෙවර ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්.

ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බවයි ඔහු පැවසුවේ.

එම නිවැරදි කිරීම් නිර්මාණ ශිල්පීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් මෙවර ජාතික නිදහස් දින උළෙල සඳහාද භාවිත කරනු ලබන්නේ පැරණි ජාතික කොඩිය බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කමල් ගුණරත්න ප්‍රකාශ කළේ.

***************************************

(01.02.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය සහ එහි අනුබද්ධ සංවිධාන හරහා ත්‍රස්තවාදීන්ට සහ ත්‍රස්ත හිතවාදීන්ට තම මතවාද ව්‍යාප්ත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉඩ නොදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරීස් මහතා ප්‍රකාශ කළා.

ඒ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේදීයි.

නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල යෙදෙන රාජ්‍ය නොවන සංවිධානවල නළු නිළියන් කිසිසේත් ධෛර්යමත් නොකළ යුතු බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් එළඹෙන අගෝස්තුවේ පැවැත්වෙන සමුළුවේදී සාධාරණීයකරණය කිරීමට අවස්ථාව ලබානොදිය යුත් බවත් ඔහු ප්‍රකාශ කළා.

ත්‍රස්තවාදය පිළිබඳ පොදු අර්ථ දැක්වීමක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් එකඟ වී නොමැති අතර ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහි පුළුල් සම්මුතියක් සඳහා ප්‍රමාණවත් ප්‍රගතියක් දක්නට නොමැති බවයි මොහාන් පීරිස් මහතා කියා සිටියේ.

මේ අතර මෙරට මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ වීඩියෝපටය සම්බන්ධයෙන් ලක් රජය විරෝධය පළ කර තිබෙනවා.

මිනිත්තුවයි තත්පර 28 ක කාලයකින් යුත් අදාළ වීඩියෝපටය පසුගිය සතියේ ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කළ අතර, එය එම කවුන්සිලයේ ක්‍රියාපටිපාටියෙන් සම්පූර්ණයෙන්ම බැහැරවීමක් බවයි විදේශ අමාත්‍යවරයා ජගත් සංවිධානයේ මෙරට නියෝජිතයා වෙත දැනුම් තිබුණේ.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය මේ මස 22 වන දා ජිනිවා නුවර දී ආරම්භවීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@@

(01.02.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

මස්කෙලිය, ස්තැස්පි වතු යායේ එකම පවුලේ මව, පියා සහ පුතාට කොරෝනා ආසාදනය වී ඇති බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

ඒ අනුව, කොරෝනා ආසාදනය වූ පුතු ඉගෙනුම ලබන මස්කෙලිය දෙමළ මහා විද්‍යාලය වසා දැමීමට කටයුතු කර ඇති බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා සදහන් කළේ.

එමෙන්ම කොරෝනා අසාදනය වු සිසුවාගේ මව නොර්වුඩ් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන අතර එහි සේවක සේවිකාවන් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මස්කෙලිය ස්තැස්පි වතු යායේ කොරෝනා ආසාදනය වූ එකම පවුලේ තුන්දෙනාගේ (3) නිවසට කොළඹ ප්‍රදේශයේ සිට පුද්ගලයෙකු පැමිණ ඇති බවට අනාවරණය වී ඇති බව ද මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(01.02.2021 – 15:31 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ නොමැතිව නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයකට සහභාගිවිම සම්බන්ධයෙන් වරද පිළිගත් 10 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 5000 බැගින් 50,000 ක දඩමුදලක් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (01) නියම කළා.

උණවටුන – ඉලුක්පිටිය ප්‍රදේශයේ නිවසක මෙලෙස උපන්දින සාදය පවත්වා ඇති අතර එහිදි ඔවුන් මුව ආවරණ නොමැතිව සිට ඇති බවටයි හෙලි වුණේ.

පසුව එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවන් තුන්දෙනෙකු (3) ද සිටිනවා ෴

++++++++++++++++++++

(01.02.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 916 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇතිබව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 58,075 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 348 ක් හඳුනාගෙන ඇතිබව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 64,505 ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

++++++++++++++++++++

(01.02.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලෙන් වාර්තාවීමත් සමඟ එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) , හෙදියන් තුන්දෙනෙකු (3) සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හයදෙනෙකු (6) ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එසේම අද (01) සිට රෝහලේ දෛනික කටයුතු සීමා කිරීමට තීරණය කළ බවයි බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා කියා සිටියේ.

මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සහ 25 වන වාට්ටුවේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුට හා වෛද්‍යවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වී තිබෙනවා.

මොවුන් දෙදෙනා (2) අඹුසැමියන් වන අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගනිමින් ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *